බෙල්ජියම් හා ප්‍රන්ස බලධාරීහු රුසියාවේ වත්කම් පැහැරගැනීමට සැරසෙති

Belgian and French authorities move to seize Russian assets

ඇන්ඩ්‍රියා පීටර්ස් විසිනි , 2015 ජුනි 20

බෙල්ජියමේ හා ප්‍රන්සයේ ඇති රුසියානු රජයේ වත්කම් පැහැරගැනීමේ උත්සාහයත් සමග බටහිර, මේ සතියේදී රුසියාවට එරෙහි ආර්ථික යුද්ධය දිග්ගස්සති. යුකොස් බලශක්ති සමාගමේ පැරනි ආයෝජකයින්ට මොස්කෝව ඩොලර් බිලියන 50ක් ගෙවිය යුතු බව පවසමින්, පසුගිය ජූලියේදී හේග් නගරයේ සිට නිකුත් කරන ලද නියෝගයකට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගනු ලැබුනු අතර එය, යුරෝපයේ අනෙක් රටවලට ද ඇමරිකාවට හා ලෝකය පුරා අනෙකුත් රටවලට ද පුලුල් කිරීමට අපේක්ෂිතය.

ඒවා සිදුවුනේ, විදේශ ආයෝජකයන් රුසියාවට ආකර්ෂනය කරගැනීමේ අරමුනෙන් ශාන්ත පිටර්ස්බර්ග් හි පැවති ප්‍රධාන ආර්ථික සමුලුවක ආරම්භයේ හා රුසියාවට එරෙහි ආර්ථික සම්බාධක මාස හයකින් දීර්ඝ කිරීම, යුරෝපා සංගමයේ සාමාජිකයින් 28 දෙනාම අනුමත කිරීමෙන් දින කිහිපයකට පසුවය.

යුකොස් සමාගම මෙහෙයවූ බිලියනපති රුසියානු කතිපයාධිකරියකු වන මිහායිල් කොදොර්කොවුස්කි මහාපරිමානව බදු නොගෙවීම නිසා 2006 දී බංකොලොත් භාවයට පත්කර සමාගම ඈවර කිරීමට රුසියානු ආන්ඩුව කටයුතු කලේය. සෝවියට් සංගමය විසුරුවාහැරීමත් සමග සිදු කල මහා පරිමාන සොරකම් හා රජය සමග පැවති සමීප සබඳතා හේතුකොටගෙන, ඒවන විට ඔහු රටේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටියේය. ක්‍රෙම්ලිනයේ විවේචකයෙක් හා රුසියාවේ ප්‍රජාතන්ත්‍රවාදයට සහාය දක්වන්නෙකු බව කියාගත් තැනකට පත්වීම නිසා ඔහු පුටින්ගේ තන්ත්‍රය සමග ගැටුනේය.

පුරා දශකයක කාලයක් යුකොස්හි ප්‍රධාන කොටස් කරුවෙකුව සිටි සීමාසහිත ජීඑම්එල් සමාගම, යුකොස් හි දේපල අත්පත්කරගෙන විකුනා දැමීම හේතුවෙන් රුසියාවෙන් වන්දි ලබා ගැනීම සඳහා බල කිරීමට යුරෝපිය අධිකරනය යොදා ගැනීමට උත්සාහ කර තිබුනි. බදාදා ,බෙල්ජියානු බේරුම්කාර අධිකරනය රුසියාවට එරෙහිව ජීඑම්එල් හි හිමිකම් පෑම සඳහා ඩොලර් බිලියන 1.87 අනුමත කල අතර මෙය එරට විදේශ වත්කම් වලට එරෙහි ක්‍රියාමාර්ගයක් මුදා හලේය.

ප්‍රන්ස අනුබද්ධයක් වන රුසියාවේ වීටිබි බැංකුවේ සමහර කටයුතු තහනම් කර ඇතැයි වාර්තා වේ. ප්‍රන්සයේ හා බෙල්ජියමේ සමාගම් රාශියකට බලකෙරී ඇත්තේ, රුසියානු හිමිකමක් ඇති වත්කම් ප්‍රකාශයට පත් කරන ලෙසය. ඒවා විදේශයන්ට ගෙන යාම තහනම් කර ඇත. රුසියානු සම්මතධාරී පල්ලියේ වත්කම් පවා එයට ඉලක්ක වී ඇත.

රට පුරා ඇති අනුබද්ධ ආයතන අවදානමට ලක්ව ඇති බව පහැදිලි කරමින්, ජීඑම්එල් හි විධායක අධ්‍යක්ෂක තිමෝති ඔස්බෝන් පැවසුවේ, “සුළු කලෙකින් බටහිර යුරෝපය පුරාම නඩු ඇති වේවි, අපි ඉන් පසු තවත් දිහාවකට යොමු වෙමු” යනුවෙනි. ඔස්බෝන්ට අනුව, ජීඑම්එල් හි දිගු කාලීන බලාපොරොත්තුව, ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාරයන් -බලශක්ති ආයතන වන ගෑස්ප්‍රොම් හා රොස්නෙෆ්ට් හා රුසියානු ගුවන් සේවය වන එරෝෆ්ලොට්-ඉලක්ක කිරීමය.

රුසියානු රජයට රටවල් 124ක සෘජු දේපල 3000ක් ඇති බව කොමෙර්සාන්ට් .ආර්යු වාර්තා කරයි. වීටිබියට ප්‍රන්සය, එක්සත් රාජධානිය, අයර්ලන්තය, ජර්මනිය හා ඔස්ට්‍රියාවද ඇතුලු යුරෝපය පුරා ක්‍රියාත්මක අනුබද්ධයන් 30ක් ඇත. රොස්නෙෆ්ට් ට ජර්මනිය, ඉතාලිය, එක්සත් ජනපදය හා කැනඩාව යන රටවල තෙල් හා ගෑස් මෙහෙයුම් වලින් සැලකිය යුතු කොටසක් හිමිව ඇත . එරෝෆ්ලොට් රටවල් 52 ක ක්‍රියාත්මක වෙයි.

පොලිටිකෝ අන්තර්ජාල පුවත් ප්‍රකාශනය පෙන්වා දෙන්නේ, “ජීඑම්එල් සාර්ථක වුවහොත්, රුසියානු සමූහාන්ඩුවෙන් වන්දි ඉල්ලා සිටින අනෙක් පාර්ශවයන්ට එය කල් පවත්නා ආකෘතියක් සපයනු ඇත” යනුවෙනි. වෙනත් වචන වලින් පැවසුවොත්, ජීඑම්එල් නඩුවේ එක් අරමුනක් වන්නේ, රුසියානු ආන්ඩුවට විදේශයන් හි ඇති තම දේපල කිසිසේත් ආරක්ෂා කිරීමට නොහැකි වන ආකරයේ පුර්වාදර්ශයක් සැපයීමයි.

පුටින් තන්ත්‍රය රැකෙන්නේ රාජ්‍ය ව්‍යාපාර මගින් උපදවන වත්කම්, කතිපයාධිකාරින්ට හා ක්‍රෙම්ලිනයේ නිලධාරීන්ට බෙදා හැරීමෙන්ය. මෙම ආයතනයන්ට හිමි විදේශ වත්කම් තර්ජනයට ලක්වීම මගින් රුසියාව ඇතුලත එයට සහයෝගය ලබා දෙන පදනම තවදුරටත් පීඩනයට ලක්වේ,

2013 දී පුටින් බටහිර සමග හිතවත් වීම සඳහා කොදොර්කොවුස්කි සිරෙන් නිදහස් කිරීමෙන් පසුව ඔහු ස්විට්සර්ලන්තයේ ජීවත් වෙයි. බ්‍රහස්පතින්දා ඔහු තම ටුවිටර් පිටුවේ සඳහන් කර තිබුනේ “බෙල්ජියමේ සිටින අපගේ රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ වත්කම් තහනම් කිරීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. මා විශ්වාස කරනවා මෙම ක්‍රියාමාර්ග රුසියානු සමාජයට ප්‍රයෝජනයක් වන දිශාවට හැරෙනු ඇත කියා.” කොදොර්කොවුස්කි යුරෝපය, එක්සත් ජනපදය හා රුසියාව තුලම සිටින මොස්කව්හි තන්ත්‍ර මාරුවක් අපේක්ෂා කරන බලවේග සමග සමීප සබඳතා පවත්වයි . “රුසියානු සමාජයට ප්‍රයෝජනවත්” යන්න පිලිබඳ ඔහුගේ දැක්මට, රුසියාව එක්සත් ජනපද අර්ධ යටත් විජිතයක් බවට පත් කිරීම ද පුටින් තන්ත්‍රය ඉවත දැමූ පිරිසගේ යහපත උදෙසා රටේ ආර්ථික වාසි නැවත බෙදීමට ද ආන්ඩුවේ දක්ෂිනාංශික විරුද්ධවාදීන්ට විශාල බලයක් ලබා දීම සහ කම්කරු පන්තිය මත උග්‍ර කප්පාදු වැඩපිලිවලවල් ක්‍රියාත්මක කිරීම ද ඇතුලත්ය.

පසුගිය වසරේ යුක්‍රේනයේ ඇමෙරිකානු සහයෙන් සිදුකල දක්ෂිනාංශික කුමන්ත්‍රනයේ තැන් පටන් එක්සත් ජනපදය හා නේටෝව, රුසියානු ආර්ථිකය විනාශ කිරීමට දැඩි ප්‍රයත්නයක් දරයි. රුසියානු ජනතාවගේ ජීවන තත්වයන්, සම්බාධක මගින් දැඩි ලෙස පිරිහෙලනු ලැබීමට අමතරව, රුසියානු මුදල සමපේක්ෂකයන්ගේ තර්ජනයට මුහුන පා ඇති අතර, ආනයනයන්ගේ මිල ඉහල යෑම පාරිභෝගික ඉල්ලුමට හා කර්මාන්ත නිෂ්පාදනයට අයහපත් ලෙස බලපා ඇත. ඛනිජ තෙල් මිල පහල යෑම ආන්ඩුවේ අයවැය අර්බුදයට පත් කර ඇත. ආන්ඩුව ආර්ථික තත්වය ස්ථාවර වී ඇති බව පැවසුවත්, රුසියාව නව පසුබෑමක් කරා ඇදී යයි.

විදේශයන්හි ඇති වත්කම් වලට එල්ල කල ප්‍රහාරය පිලිබඳ රුසියානු රජයේ මුල් ප්‍රතිචාරය සාපේක්ෂ වශයෙන් නිහඬ ස්වභාවයක් ගත්තේය. විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කලේ, දේපල තහනම් කිරීම ජාත්‍යන්තර සම්මතයන් හා රාජ්‍යතාන්ත්‍රික මුක්තිය කඩ කිරීමක් බවය. සිකුරාදා මාධ්‍යවේදීන්ට කතාකරමින්, විදේශ ඇමති සර්ජි ලැව්රොව් පැවසුවේ, බලපෑමට හසුව ඇති රුසියානු ව්‍යාපාර “රුසියානු ෆෙඩරේෂනය තුල එවැනිම ක්‍රියාමාර්ග ගැනීම සඳහා රුසියානු අධිකරනයේ පිහිට පැතීමට අදහස් කරන බවයි”

කෙසේවෙතත්, ජනාධිපති මාධ්‍ය ලේකම් දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ ආන්ඩුවට බෙල්ජියමේ තත්වය ගැන අදහසක් නොමැති බවයි. බ්‍රහස්පතින්දා ඔහු ජනමාධ්‍යවේදීන්ට පැවසුවේ “නීතිවේදීන් මේ පිලිබඳ කටයුතු කරනවා” යනුවෙනි. මෙම වසරේ පමනක් ඩොලර් බිලියන 100 ප්‍රග්ධනය පිටතට ගලා ගිය තතු හමුවේ, මෙම සිදුවීම් රුසියාවට ආර්ථිකව වැදගත්කමක් නොමැති බව පෙන්වීමට උත්සාහ දරමින් ඔහු පැවසුවේ, මෙම සිදුවීම් “රුසියානු ෆෙඩරේෂනයේ ආයෝජන තත්වයට කිසිදු සබඳකමක් නොමැති බවයි”.

ඔහුගේ ස්ථාවරයම ප්‍රතිරාවය කරමින් නියෝජ්‍ය අගමැති ඉගොර් ශුවාලොව් සිකුරාදා පැවසුවේ, “ ප්‍රන්සය හෝ බෙල්ජියම වත්කම් අත්නොහිටුවයි, එය එම රටවල නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ වැඩකි ...මා හිතන්නේ එවැනි දෙයක් සිදුවූ විට, නීතිවේදින්ට ඔවුන්ගේ කාර්ය කිරීමට ඉඩදිය යුතු බවයි.”

රුසියානු ජනාධිපතිගේ සහචරයෙකු වන ඇන්ඩ්‍රි බෙලොසොව් පැවසුවේ, තහනම් කිරීම සිදුවිය හැකි බව පෙර සිටම ක්‍රෙම්ලිනය දැන සිටි බව හා “ප්‍රන්සයේ හා බෙල්ජියමේ තත්වය ..අවාසනාවන්ත ලෙස දැඩිව දේශපාලනීකරනය වී ඇත” යනුවෙනි.

“සාධාරනත්වය ජය ගනු ඇත කියා අප හිතනවා. අපට අනාගතයේ මෙලස සිදුනොවනු ඇතැයි කියා සිතන බව ද ” ඔහු පැවසුවේය.

ක්‍රෙම්ලිනයේ රොසිකායා ගැසෙටා පුවත්පත සමග සම්මුඛ සාකච්චාවකට එක් වෙමින් ප්‍රන්සයේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් ඔර්ලොව් පැවසුවේ, දේපල තහනම් කිරීමේ “නීතිමය අංශය” මූලික ගැටලුව බවයි. තවදුරටත් ප්‍රකාශ කලේ, ප්‍රන්සයත් සමග ඇති රුසියාවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනැගී තිබෙන්නේ, ජාත්‍යන්තර නීති හා ගිවිසුම් මාලාවකින් බවයි. “ ප්‍රන්ස ආන්ඩුව අපගේ අයිතීන් අරක්ෂා කිරීමට උදව් වනු ඇති” බවට ඔහු විශ්වාසය පලකලේය.

ශාන්ත පිටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුවේ ප්‍රධාන දේශනය කල ජනාධිපති පුටින්, මෙම සිදුවීම ගැන සඳහන් නොකලේය. බටහිර “සහකරුවන්ට” යුක්රේනයේ අර්බුද ඇති කිරීම පිලිබඳව හා එක්සත් ජනපදය “තර්ජන” ගැන චෝදනා කරමින් ඔහු, සමුළුව රුසියාව එම බලවේගයන් සමග “සංවාදයක්” හා “සහයෝගිතාවයක්” ඇති කරගැනීමට අඛන්ඩ උත්සාහයක් දරන බව පෙන්වීමට උත්සාහ කලේය. රුසියාවට “තාවකාලිකව මහා බලවතෙකුගේ තත්වයක්” ලබා ගැනීමේ බලාපොරොත්තු නොමැති බව පෙන්වමින් පුටින් තර්ක කලේ, “අප කලහකාරී ලෙස හැසිරෙන්නේ නැත” යනුවෙනි. තව දුරටත් ඔහු පැවසුවේ, රුසියාව “ තම උවමනාවන් වෙනුවෙන් දීර්ඝව හා ස්ථිරසාරව නැගී සිටිමින් ඇත ” යනුවෙනි.

ප්‍රන්සයේ හා බෙල්ජියමේ සිදුවීම් වල බැරෑරුම්කම අඩුකත්සේරු කිරීමට ක්‍රෙම්ලිනය උත්සහා දැරුව ද එක්සත් ජනපදය හා නේටෝව රුසියාවට එරෙහි ඔවුන්ගේ යුද තර්ජන දිගටම පවත්වාගෙන යන අතර ආතතීන් උත්සන්න වෙමින් පවති . න්‍යෂ්ටික අවි තොගයට තවත් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල එකතු කරන බව මොස්කෝව පැවසිමෙන් පසුව, බ්‍රහස්පතින්දා නේටෝවේ ප්‍රධාන නිලධාරියා වන ෆිලිප් බ්‍රිඩ්ලෝව්, රුසියාව “වගකීම් සහිත න්‍යෂ්ටික ජාතියක්’ ලෙස නොහැසිරෙන බව පවසමින් එරට විවේචනය කලේය. ඇමෙරිකානු නිලධාරීන් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ආයුධ යොදා ගැනීමේ හැකියාව ගැන විවෘතවම සාකච්චා කරන තත්වයක් යටතේ මෙම ප්‍රකාශයේ නරුමකම විදහා දැක්වේ .

ස්වීඩන් පුවත් පතක් සමග කරන ලද සම්මුඛ සාකච්චාවකදී ස්වීඩනයේ රුසියානු තානාපති අනතුරු ඇඟෙව්වේ, ස්කැන්ඩිනේවියානු රටවල් නේටෝවට සම්බන්ධ වුවොත් මොස්කෝවට ප්‍රති මිලිටරිමය ක්‍රියාමාර්ග ගැනීමට බලකෙරෙනු ඇති බවයි. “නේටෝවට සම්බන්ධ වන රටක් එය නිරාවරනය වන අනතුර ගැන සැලකිලිමත් විය යුතුය” වික්ටර් ටටාර්නෙස්ටෙව් පැවසුවේය.

Share this article: