එක්සත් ජනපද නිලධාරීහු රුසියාවට එරෙහි න්‍යෂ්ටික ප්‍රහාර ගැන සලකා බලති

US officials consider nuclear strikes against Russia

නීල් විලියම්සන් විසිනි , 2015 ජූනි 05

ඇමරිකානු ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර්, ජර්මනියේ ස්ටුට්ගාට්හි ඇමරිකානු යුරෝපීය අනදෙන මූලස්ථානයේදී සිය රටේ මිලිටරි ආඥාපතීන් දුසිම් දෙකක් ද යුරෝපීය තානාපතිවරු ද හමුවී රුසියාවට එරෙහි මිලිටරි හා ආර්ථික ව්‍යායාමය උත්සන්න කරන්නේ කෙසේ ද යන්න ගැන අද දිනයේදී සාකච්ඡා පවත්වයි. වත්මන් ආර්ථික සම්බාධකවල බලපෑම ඔවුන් තක්සේරු කරන අතර රුසියාව සමඟ යුද්ධයේ තර්ජනය එල්ල කරමින් විශාල වශයෙන් නැගෙනහිර යුරෝපයට මිලිටරි ආම්පන්න හා හමුදා යෙදවීම පිනිස යුක්‍රේන් අර්බුදය ගසාකෑමේ නේටෝ මූලෝපාය ගැන ද සාකච්ඡා කරනු ඇත.

ඇමරිකානු ආරක්ෂක නිලධාරියෙක් රොයිටර් වෙත පැවසුවේ, “පසුගිය වසරේදී රුසියාව සමඟ ආතතීන් උනුසුම් වීම පිලිබඳව ඇමරිකාව හා එහි ප්‍රධාන අනුගාමිකයින් සිතිය යුත්තේ කෙසේ ද යන්න තකසේරු කර පෙලගැස්වීම රැස්වීමේ අරමුන” වූ බවයි. එසේම ඔහු පැවසුවේ කාටර්, මේ වසරේ මුල යුක්‍රේන රෙජිමයට බිහිසුනු අවි සැපයීම ගැන යොමුවූ සැලකිල්ල ගැන අවධානයෙන් සිටින බවත්ය.

අතිශය ප්‍රකෝපකාරී ලෙස වාර්තාවක් පල කල ඇසෝසියේටඩ් ප්‍රෙස් මාධ්‍ය ජාලය 04දා කියා සිටියේ පෙන්ටගනය, 1987 මධ්‍යම දුර න්‍යෂ්ටික අවි ගිවිසුම (අයිඑන්එෆ්) උල්ලංඝනය කර ඇතැයි යන චෝදනාව මුල්කරගෙන රුසියාව තුල මිලිටරි ඉලක්කයන්ට න්‍යෂ්ටික මිසයිල් ප්‍රහාර එල්ල කිරීම පිලිබඳව ඉක්මන් සැලකිල්ල යොමුකර ඇති බවයි. තහනම් කර ඇති දුරක් පොලවේ සිට යවන කෲස් මිසයිල අත්හදා බැලීම් මඟින් අයිඑන්එෆ් ගිවිසුම උල්ලංඝනය කල බවට ඇමරිකාව එල්ල කරන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි.

පෙන්ටගනයේ සැලකිල්ල යොමුව තිබෙන විකල්ප තුන වන්නේ, අහසේදීම රුසියානු මිසයිල වෙඩිතැබීම සඳහා ඉලක්ක කල මිසයිල් නාශක ආරක්ෂක පද්ධතීන් යුරෝපය තුල ස්ථානගත කිරීම, රුසියානු මිලිටරි මධ්‍යස්ථාන වෙත පූර්ව භංග න්‍යෂ්ටික නොවන ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ “ප්‍රති බලය යෙදවීමේ” විකල්පයක් හා රුසියාව ඇතුලත ඉලක්ක වෙත පූර්ව භංග න්‍යෂ්ටික මිසයිල් ස්ථානගත කිරීමට සම්බන්ධ “ප්‍රතියෝජන ප්‍රහාරක හැකියාවන්” ය.

ඒඑෆ්පීය මෙසේ පවසයි. “විකල්ප, විශේෂයෙන් සඳහන් නොකල ද යමෙක් අදහස් කරනවාට වඩා දුර යමින්, රුසියානු භූමිය තුල මිලිටරි ඉලක්ක විනාශ කිරීම සඳහා ඇමරිකාවේ න්‍යෂ්ටික හැකියාවන් ප්‍රවර්ධනය කරනු ඇත.” වෙනත් වචන වලින් කිවහොත්, ඇමරිකාව රුසියාවට එරෙහි න්‍යෂ්ටික යුද්ධයකට ලහි ලහියේ සූදානම් වන බවයි.

කාටර්ගේ න්‍යෂ්ටික ප්‍රතිපත්ති පිලිබඳ උපදේශකයෙක් වන රොබට් ස්කර්, අප්‍රේල් මාසයේදී කෙන්ග්‍රසය හමුවේ පැවසුවේ, “ප්‍රතිබලය” යෙදවීමේ පියවර වනාහි, “අපට, රුසියාව තුල කොතැනක හෝ ඇති මිසයිල් මධ්‍යස්ථාන වෙත පහර දීමට පියවර ගත හැකිය” යන්න බවය. අනෙකුත් පෙන්ටගන් නිලධාරීන්ට අනුව, මෙම විකල්පය අනුව පොලවේ සිට යවන කෲස් මිසයිල යුරෝපය පුරා ස්ථානගත කිරීමට හැකිය.

පෙන්ටගන් ප්‍රකාශක ලුතිනන් කර්නල් ජෝ ස්කිවර්ස් ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත මෙසේ පවසා ඇත. “තමන්ගේ පියවරයන්ගෙන් රුසියාවට කිසිදු වැදගත් වාසියක් අත්කර නොගත හැකි වන පරිදි සියලු දේ සැලකිල්ලට ගන්නා විකල්ප සැලසුම් කර ඇත.”

වොෂින්ටනයේ හා එහි නේටෝ සහචරයින්ගේ විදෙස් පිලිවෙතේ ඉවබව නැතිකම හා සාපරාධිත්වය කියා නිමකල නොහැකිය. බොහොමයක් ජනාකීර්න ප්‍රදේශවල පිහිටි රුසියානු මිලිටරි මධ්‍යස්ථාන වලට එරෙහි පූර්ව භංග න්‍යෂ්ටික ප්‍රහාර වලින් තත්පර ගනනක් තුල මිලියන ගනනකගේ ජීවිත නැතිවනු ඇති අතර එය, මානව වර්ගයාම අතුගා දැමිය හැකි න්‍යෂ්ටික යුද්ධයකට තුඩුදෙනු ඇත. රුසියාවට තර්ජනය කරන ඇමරිකානු නිලධාරීන්ට සැබවින්ම එවැන්නක් අවශ්‍ය නොවන්නේ යයි හා ඔවුන් මොස්කෝව බියගැන්වීමට උත්සාහ කරනවා පමනක් යයි යමෙක් සිතාගත්ත ද එවන් තර්ජනයන්හි කුරිරු වෛෂයික තර්ජනයක් පවතියි.

ඇමරිකානු නිලධාරීන්ගේ න්‍යෂ්ටික යුදවාදී උන්මාදය මිලිටරි ආතතීන් හා මූලෝපායික අනිශ්චිතතා පැතිරයාම හමුවේ හදිසියේ පැනනැඟිය හැකි පූර්න යුද්ධයක තර්ජනය ඉමහත් ලෙස උත්සන්නන කරයි. නේටෝ හමුදා, ආක්ටික් සාගරය හා බෝල්ටික් මුහුදුවල සිට නැඟෙනහිර යුරෝපය ද කලු හා මධ්‍යධරනී මුහුදු දක්වාද රුසියාව වටේම මිලිටරි අභ්‍යාස පවත්වයි. ප්‍රදේශීය මිලිටරි බලයන් සියල්ල සීරුවෙන් තබා ඇත.

රුසියාවට තර්ජනය කරන ඇමරිකානු නිලධාරීන් ක්‍රෙම්ලිනය එවන් තර්ජනයන්ට කෙසේ ප්‍රතික්‍රියා දක්වනු ඇත් ද යන්න නොදනී. හදිසි නේටෝ ප්‍රහාරයක තර්ජනය පිලිබඳ මොස්කෝවේ කනස්සල්ල තුල, නේටෝවේ මිලිටරි ක්‍රියාවක සලකුනු වටහා ගත්කල රුසියාව අන් කවරදාකවත් නොවූ පරදි ඊට ප්‍රතිචාර දැක්විය හැක්කේ, සිය මිලයිල මුදා හැරීමෙනි. මන්ද යත් එසේ නොවුනහොත් තම මිසයිල් පොලවේදීම විනාශවනු ඇතැයි යන බිය නිසාය. වැරදි ගනන් බැලීම් හා වැරදි සන්නිවේදනයේ අන්තරාය, පූර්න යුද්ධයක අනතුර ඉමහත් ලෙස උත්සන්න කරනු ඇත.

ස්කර් හා කාටර්ගේ ප්‍රකාශ, පසුගිය වසරේ පෙබරවාරියේදී නේටෝව, කියෙව්හි ෆැසිස්ට්වාදීන් මූලිකත්වය ගත් කුමන්ත්‍රනයට සහාය දීමට ගත් තීරනය හා එම්එච්17 ගුවන් යානය වෙඩිතබා බිම හෙලීම ගැන කිසිදු සාක්ෂියකින් තොරව රුසියාවට චෝදනා කිරීම තුලින් යුද්ධයක අවදානම මතුව එන බවට ලෝසවෙඅ කල අනතුරු ඇඟවීම සනාථ කරයි. “මැලේසියානු ගුවන් සේවයට අයත් එම්එච්17 ගුවන් යානය විනාශ කිරීමේ තැන් පටන් සිදුව ඇති වර්ධනයන්ගේ ආලෝකයෙන් සෑම අයෙක්ම තමාගෙන්ම අසාගත යුතු ප්‍රශ්නය, න්‍යෂ්ටික යුද්ධය ද ඇතුලුව එක්සත් ජනපදය, යුරෝපය හා රුසියාව අතර යුද්ධය සඳහා ඔබ සූදානම් ද?” යනුවෙන් ලෝසවෙඅ ලිවීය.

මාර්තුවේ පුටින් පවසා තිබුනේ, කියෙව් කුමන්ත්‍රනයෙන් පසුව රුසියාවට නේටෝ ප්‍රහාරයක් එල්ලවේය යන බිය නිසා න්‍යෂ්ටික බලයන් ද ඇතුලු රුසියානු හමුදා සීරුවෙන් තැබූ බවය. දැන් ඇමරිකානු මිලිටරියේ ප්‍රකාශයන්ගෙන් කෙලින්ම සනාථ කරන්නේ, යුද්ධයේ තර්ජනය ඇමරිකානු ප්‍රතිපත්තියෙන්ම ගලා එන බවය.

මෙම තර්ජන බොහෝකොටම නැඟී එන්නේ ලෝක කම්කරු පන්තියේ පිටුපසින්ය. ඇමරිකාව, යුරෝපය හා ලෝකය පුරා කම්කරුවන්, ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු යුද්ධ වලට තමන්ගේ විරුද්ධත්වය යලි යලිත් පෙන්වා ඇත. එහෙත් එම යුද්ධ ආරම්භ කෙරී පහලොස් වසරකට පසුව ලෝකය නැගිට සිටින්නේ ඊටත් වඩා ලේවැකි හා විනාශකාරී ගැටුමක් අභියසය. ලෝකය පුරා පාලක පන්තීන් ද මාධ්‍ය ද න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය වසං කරති.

මේ සති අන්තයේ පැවැත්වෙන ජී 7 සමුලුවේදී ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා, පසුගිය වසරේදී රුසියාව ක්‍රිමියාව ඈඳා ගැනීමට ප්‍රතිචාර වශයෙන් ක්‍රියාත්මක කල ආර්ථික සම්බාධක දිගටම පවත්වාගත යුතු බව අවධාරනය කරමින් රුසියාව මත පීඩනය තවත් දැඩි කිරීමට බලාපොරොත්තු වෙයි. මේ සතිය තුල යුක්‍රේනයේ යලි හටගත් ප්‍රචන්ඩත්වය සම්බන්ධයෙන් ඇමරිකාව රුසියවට එරෙහිව චෝදනා නඟන අතර එය සම්බාධක පවත්වා ගැනීමේ නිමිත්ත වනු ඇත.

04දා පාර්ලිමේන්තුව අමතමින් යුක්‍රේන ජනාධිපති පෙට්රෝ පොරෂෙන්කෝ අනතුරු ඇඟවූයේ, “විශාල පරිමානයෙන් සතුරුකම් යලි පැන නැංවීම මඟින් රුසියානු හා ත්‍රස්තවාදී සංවිධාන දැවැන්ත තර්ජනයක් එල්ල කර ඇත.” යනවෙනි. සාක්ෂියකින් තොරවම ඔහු පැවසුවේ, කැරලිකරුවන් යටතේ පවතින නැඟෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් හා ලූහාන්ස් ප්‍රදේශවලට 9000ක රුසියානු හමුදාව යොදවා ඇති බවය.

“සතුරාගේ නව ආක්‍රමනයට මෙන්ම රුසියානු ෆෙඩරේෂනයේ සමස්ත දේශසීමාව දිගටම සිදුවන පූර්න පරිමානයේ ආක්‍රමනයකට යුක්‍රේන මිලිටරිය සූදානම් කල යුතුය. අපි මේ සඳහා සැබවින්ම සූදානම් විය යුත්තෙමු.” පොරෂෙන්කෝ එසේ පැවසීය. ඔහු කියා සිටියේ අඩුම තරමින් 50,000න් සමන්විත සෙබලු පිරිසක් යුක්‍රේන හමුදාව විසින් රට රැක ගැනීමේ සූදානමක් ලෙස, නැගෙනහිර ප්‍රදේශයේ ස්ථානගතකර තිබෙන බවය.

පොරෂෙන්කෝ මෙසේ පැවසුවේ, දුසිම් ගනනක් මරුමුවට පත් කරමින් කියෙව් හමුදා හා රුසියාවට පක්ෂපාතී බෙදුම්වාදීන් අතර නැගෙනහිර යුක්‍රේනයේ අලුතෙන් හටගත් සටන් වලින් දිනකට පසුවය. මේ සතිය තුල ඇතිවූ සටන්, පසුගිය පෙබරවාරියේදී අත්සන් තබන ලද සටන් විරාමය මේ දක්වා බරපතල ලෙස උල්ලංඝනය කල පලමු අවස්ථාව සටහන් කරයි.

04දා ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් වර්තාකර්වන්ට පැවසුවේ, කලින්දා පැනනැඟි සතුරුකම්, මේ සති අන්තයේ පැවැත්වීමට නියමිත ජී7 සමුලුවේ සාකච්ඡාවන්ට මෙන්ම මාසය අවසානයේ බ්‍රසල්ස්හි පැවැත්වෙන යුරෝපා සංඟමයේ සමුලුවට බලපෑම් කිරීමේ අටියෙන් කියෙව් පාලනය විසින් උසිගන්වා ඇති බව රුසියාවේ අදහස බවය. “යුක්‍රේන මිලිටරි බලයන් විසින් සංවිධානය කල මෙම ප්‍රකෝපකරන ක්‍රියා ගැන අපි සැලකිලිමත්ව සිටින්නෙමු.” ඔහු පැවසීය.

කැරලිකරුවන්ගේ බල කඳවුරක් වන ඩොනෙට්ස්ක්හි සිට සැතපුම් නවයක් තරම් දුරින් පිහිටි මරින්කාවේ ස‍ටන් සම්බන්ධයෙන් දෙපාර්ශවය එකිනෙකාට චෝදනා කරයි. පොරෂෙන්කෝගේ උපදේශකයෙක් වන යූරි බියුකොව් 04දා වාර්තා කලේ, සටනේදී යුක්‍රේන සෙබලු 9 දෙනෙක් මියගොස් 39 දෙනෙක් තුවාල ලත් බවය. ඩොනෙට්ස්ක් මහජන සමූහාන්ඬුවේ ප්‍රකාශකයෙකු හා නියෝජ්‍ය ආරක්ෂක ඇමති එඩුවාඩ් බසුරින් ඉන්ටෆැක්ස් මාධ්‍යයට පැවසුවේ කැරලිකරුවන් 16 හා සාමාන්‍ය වැසියන් 5 මියගිය බවය.

03දා යුක්‍රේන හමුදා කැරලිකරුවන් යටතේ ඇති ඩොනෙට්ස්ක් නගරයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කලේය. ෂෙල් වෙඩි ඊසානදිග කිරොව්ස්කි හා පෙට්රොව්ස්කි වෙත පතිතවූ අතර ඉන් මිනිසුන් 6 මියගොස් අඩුම තරමින් තවත් 90කට තරම් තුවාල සිදුවිය. සොකොල් වෙලඳපොලට බරපතල ලෙස හානි සිදුවිය. කඩපේලි ගනනාවක් ගිනිගෙන පොලවට සමතලා විය.

03දා සිදුවීම් වලට ප්‍රතිචාර දක්වමින් ෆැසිස්ට්වාදී දක්ෂින නිකාය සිය මිලිෂියා සාමාජිකයින් ද සටනට කැඳවා ඇත. මිලිෂියාවේ පැරා මිලිටරි සේනාංකයේ ආඥාපති ඇන්ඩෘ ස්ටෙම්පිට්ස්කි, සටන් විරාම අවධියේ ගෙවල් දොරවල් බලා ගිය අය කැඳවමින් “තමන්ගේ සටන් ඒකක වෙත වාර්තා කරන ලෙස” ෆේස්බුක් පනිවිඩයක් යවා ඇත. දක්ෂින නිකාය “සටන් විරාමය වන්දනා කරන අය නොතකා යුද්ධය ගෙන යන” බවට ඔහු අනතුරු ඇඟවීය.

Share this article: