වර්ජනයේ යෙදුනු ඩීසයිඩ් කම්කරුවන්ට එරෙහි නව ප‍්‍රහාර මාලාවක්

අපේ වාර්තාකරුවන් විසිනි, 2015 මාර්තු 6

වැඩ ප‍්‍රමානය ඉහල දැමීමට එරෙහිව පසුගිය පෙබරවාරි 10 දා සිට තෙදින වර්ජනයක යෙදුනු මස්කෙලියේ ග්ලෙන් ජී වතුයායට අයත් ඩීසයිඩ් කොටසේ කම්කරුවන්ට එරෙහි නව ප‍්‍රහාර මාලාවක් එම වතුයාය හිමි මස්කෙලිය වැවිලි සමාගම විසින් කි‍්‍රයාවට නංවා ඇත.

දිනකට කැඩිය යුතු අවම තේ දලු ප‍්‍රමානය කි.ග‍්‍රෑ 18 සිට කලින් පැවති අගය වන කි.ග‍්‍රෑ 16 ට පහත හෙලීම සහ නව ඉලක්කය පිහිට වූ පසුගිය අපේ‍්‍රල් මාසයේ සිට දිනකට අමතරව කඩා ඇති කි.ග‍්‍රෑ 2 සඳහා මුදල් ගෙවීම යන ඉල්ලීම් දෙක මුල් කර ගෙන කම්කරුවන් වර්ජනයේ යෙදුනි.

වර්ජනය පැවැත්වෙන අතරතුර, පෙබරවාරි 12 දා ජාතික කම්කරු සංගමයේ (එන්යූඩබ්ලිව්) ප‍්‍රාදේශීය නායක නගුලේශ්වරන් ග්ලෙන් ජී වතු පාලකයන් සමග සාකච්ඡාවක යෙදුනි. පලමු ඉල්ලීමට, එනම් දිනක ඉලක්කය කි.ග‍්‍රෑ 16 ට පහත හෙලීමට පාලකයන් වාචිකව එකඟ වූ බවද දෙවන ඉල්ලීම කම්කරු විනිශ්චය සභාව හරහා ලබාගතහැකි බව ද කම්කරුවන්ට පැවසූ නගුලේශ්වරන් එම විසඳුම් මත වර්ජනය නතර කරන ලෙස ඉල්ලා සිටියේය.

නමුදු වර්ජනය නතර කිරීමෙන් පසුව වැඩට ගිය කම්කරුවන්ට මුහුන දීමට සිදුව ඇත්තේ නව තත්වයකටයි. පාලකයන් විසින් වැඩ කාලය දීර්ඝ කොට කම්කරුවන් මෙතෙක් භුක්ති විඳි අයිතීන් මාලාවක් උදුරා ගැනීමට පෙරට පැමින ඇත.

ඩීසයිඩ් කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරමින් තමා මුහුන දී ඇති තත්වය පැහැදිලි කලහ. එක් කම්කරුවෙකු මෙසේ පැවසීය; “වර්ජනයෙන් පස්සෙ පාලකයො නව ප‍්‍රහාරයක් පටන් ගත්තා. අපි හදිසියකට ලබා ගත්ත කෙටි නිවාඩු දැන් නැති කරල. ඒ වගේම වැඩ කාලය දීර්ඝ කරල. යූනියන් නායකයො කිව්ව වර්ජනය කරන්න එපා කියල. අපි ඒව අහන්නෙ නැතිව වර්ජනය කල නිසා දැන් පාලකයො අපෙන් පලි ගන්නව.”

වතුකරයේ ප‍්‍රධාන වෘත්තීය සමිති වන ලංකා කම්කරු කොන්ග‍්‍රසය (සීඩබ්ලිව්සී) සහ කඳුරට මහජන පෙරමුන (යූපීඑෆ්) වර්ජනයට සහභාගි නොවන ලෙස කම්කරුවන්ට බලකර සිටියහ. ඒවායේ සාමාජිකත්වය දැරූ බොහෝ කම්කරුවන් නායකත්වයේ බලපෑම් නොතනා වර්ජනයට සහභාගි වූ අතර වර්ජනයෙන් පසු එම සමිති වලින් ඉවත්ව ඇත. කම්කරුවන් ස්වාධීනව අරගලයට අවතීර්න වත්ම ඩීසයිඩ්හි එන්යූඩබ්ලිව් ශාඛා ලේකම්වරයා වර්ජනයට සහයෝගය දෙන බවක් පෙන්නුම් කෙරුවද පසුව වර්ජනය කඩාකප්පල් කිරීමට නගුලේශ්වරන් සමග එක්විය.

ඩීසයිඩ් වර්ජනයට කවර වෘත්තීය සමිතියක් හෝ මාධ්‍යයක් සහාය නොදැක්වූයේ කම්කරුවන් සටනට පිවිසියේ හුදෙක් වතු පාලකයන්ට එරෙහිව පමනක් නොව සමිති නායකත්වයට ද එරෙහිව බැවිනි. ඩීසයිඩී අරගලය සමග ආරම්භයේ සිටම උරෙනුර පැහැර සිටියේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ලෝසවෙඅ පමනි. වෘත්තීය සමිති වලින් සහ ඔවුනගේ දේශපාලනයෙන් ස්වාධීන වූ කි‍්‍රයාකාරී කමිටු ගොඩ නගා ගනිමින් හා අවශේෂ කම්කරුවන්ගේ සහාය දිනා ගනිමින් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් ඔස්සේ අරගලය ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාව සසප නිරතුරුව පැහැදිලි කලේය. කි‍්‍රයාකාරී කමිටු ගොඩනැගීම සම්බන්ධයෙන් සසප කැඳවූ සාකච්ඡුාවට 20 කට අධික කම්කරුවෝ සහභාගි වූහ.

වර්ජනය නිමා වීමෙන් පසු සසප සාමාජිකයෝ ඩීසයිඩ් කම්කරුවන් හමු වීමට ගියහ. ඔවුනගේ අරගලය සම්බන්ධයෙන් ලෝසවෙඅ හි පල වූ “ශී‍්‍ර ලංකාවේ වතු කම්කරු සමිති වර්ජනය නිමා කරන ලෙස කම්කරුවන්ට පීඩනය යොදයි” යන හිසින් යුත් ලිපියේ මුද්‍රිත පිටපත් බෙදා හරිමින් අරගලය ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් කල සාකච්ඡාවට ඔවුහු උනන්දුවෙන් සහභාගි වූහ.

පාලකයන්ගේ නව ප‍්‍රහාර සඳහා සමිති නායකත්වය දුන් සහාය පිලිබඳව තම කෝපය සහ පිලිකුල ප‍්‍රකාශයට පත් කරමින් එක් කම්කරු ස්ති‍්‍රයක් මෙසේ පැවසුවාය; “පසුගිය 15 දා වැඩ කරමින් සිටියදී මම හදිසියේ අසනීප වෙලා මස්කෙලිය රෝහලට ඇතුල් කලා. මම ගෙදර ආවෙ පස්සෙ දවසෙ. කලින් දවසෙ මම පැය කීපයක් වැඩ කලත් එදින සටහන් කරල තිබුනෙ වැඩ නොකල දිනයක් හැටියට. වර්ජනයට කලින් නම් මෙහෙම අවස්ථාවක සම්පූර්න දිනයම ලකුනු කරනව. කලින් දවල් කෑමට ගෙදර එන්නෙ නැත්නම් 3.30 ට ගෙදර එන්න පුලුවන්. ඒත් දැන් 4.30 වෙනකම් ඉන්න ඕන. පාලකයො අපෙන් පලි ගන්නව. මේවට සමිති නායකයො වග කියන්න ඕන.”

නුරෙයිදා නම් කම්කරු ස්ති‍්‍රයක් මෙසේ පැවසුවාය. “දැන් දලු කිරද්දි ගොඩක් වංචා සහ අසාධාරනකම් කරනව. ඇස් පනාපිටම දලු බර අඩුවෙන් ලියනව. සමිති නායකයො කටක් අරින්නෙ නෑ. ඔවුන් අපෙන් මාස් පතා සාමාජික මුදල් අරගෙන පාලකයන්ට උදව් කරනව.”

ඇන්තන් දාවිදන් නම් 54 හැවිරිදි කම්කරුවෙකු තම කෝපය පල කලේ මෙසේය; “පසුගිය අවුරුදු 30 පුරා අපේ පවුලෙ අය හිටියෙ සීඩබ්ලිව්සී එකේ. මේ සමිතියෙ නායකයො අපිට විරුද්ධව පාලකයොත් එක්ක එකතු වෙලා ඉන්නෙ. ඔවුන් අපිට කිව්ව වර්ජනයට යන්න එපා කියල. අපි ඔවුන් කියන දේ ඇහුවෙ නෑ. අපිට සටන් නොකර බැරි නිසයි අපි සටනට බැස්සෙ. වර්ජනයෙන් පස්සෙ අපි ඔක්කොම සීඩබ්ලිව්සීයෙන් අස් උනා.”

තම දරුවනට වෙන් වෙන් නිවාස ලබා දීම වතු පාලකයන් ප‍්‍රතික්ෂේප කල බැවින් තම දරු තිදෙනාගේ පවුල් ද සහිතව ඔහුගේ කුඩා නිවසේ පවුල් හතරක් ජීවත් වන බව දාවිදන් පැවසීය.

මනෝමනී

එවැනිම ප‍්‍රශ්න වලින් වෙලී සිටින මනෝමනී; ”අවුරුදු 18 කටත් වැඩි කාලයක් තිස්සෙ මම ඉන්නෙ තාවකාලිකව අටව ගත්ත නිවසක. දරුවො තුන්දෙනාත් එක්ක කන්නෙ, කෑම උයන්නෙ, නිදා ගන්නෙ මේ පොඩි ඉඩකඬේ. දරුවන්ට පාඩම් කරන්න තැනක් ඇත්තෙම නෑ. වත්තට කඹුරන මම අවුරුදු ගානක් තිස්සෙ ගෙයක් ඉල්ලනව. පාලකයොන්ට අපි කියන ඒව ඇහෙන්නෙත් නෑ. මං වගේ තව අය හුඟක් මේ වත්තෙ ඉන්නව.”

ඇගේ ඥාතියෙකු ජීවත්වන යාබද නිවස කොයි මොහොතක හෝ කඩා වැටීමට නියමිත බවත් බොහෝ දෙනා වැස්සෙන්, සුලඟෙන් සහ දැඩි සීතලෙන් බලගතු ලෙස පීඩා විඳින බවත් ඒ හේතුවෙන්ම නිතර ලෙඩ රෝග වලට ගොදුරු වී අකාලයේ මිය යන බවත් මනෝමනී තවදුරටත් පැවසුවාය.

තවත් කම්කරු ස්ති‍්‍රයක්: “මගේ රෝගී තත්වය නිසා පසුගිය මාසෙ වැඩට ගියෙ දවස් 17 යි. දින 18 ට අඩු වුනොත් දිරි දීමනාව දෙන්නෙ නෑ. මේ එක දවසෙ අඩුව නිසා මට රුපියල් 3000 ක් අහිමි උනා. මේ දිරි දීමනා ක‍්‍රමය සමිතිකාරයො පාලකයොත් එක්ක එකතු වෙල ගහපු සාමුහික ගිවිසුමෙන් අටවපු උගුලක්. දලු ඉලක්කය 16 ඉඳල 18 ට වැඩි කලෙත් දෙගොල්ල අත්සන් කරල.”

Share this article: