ශ‍්‍රී ලංකාවේ ව්‍යාජ වාමාංශිකයා එක්සත් ජනපදය සිදු කල තන්ත‍්‍ර වෙනස ”ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයක්” ලෙස සරසයි

Sri Lankan pseudo-left dresses up US regime-change as a “democratic revolution”

කේ. රත්නායක විසිනි, 2015 මාර්තු 06

ව්‍යාජ වාම නව සමසමාජ පක්ෂයේ (නසසප) නායක වික‍්‍රමබාහු කරුනාරත්න, ජනවාරි 09දා නව ජනාධිපති ලෙස මෛත‍්‍රිපාල සිරිසේන තේරී පත්වීම “ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයක්” ලෙස දක්වන නින්දිත දේශපාලන ව්‍යාපාරයකට මුලපුරා ඇත.

ඔහුගේ ප‍්‍රකාශය අභූතයකි. පසුගිය නොවැම්බරය වන තෙක්ම කලින් පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුව සිටි සිරිසේන කම්කරු පන්තියට එරෙහිව එය සිදුකල අපරාධවල හා එල්ල කල සියලු ප‍්‍රහාරයන්ගේ වගකීම දරා සිටියි. තව ද සිරිසේන, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක, දැන් අගමැතිව සිටින රනිල් වික‍්‍රමසිංහ සමග අතිනත ගෙන වැඩකරයි. පාලන තන්ත‍්‍රය වෙනස් කිරීමේ සම්පූර්න මෙහෙයුම සිදුවූයේ, රාජපක්ෂගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රමෝපායන්ට නොව, චීනය සමග ඔහුට පැවති බැඳීම් වලට කලක් තිස්සේම සතුරුකම් දැක්වූ, ඇමරිකාවේ පිටුබලය සහිතවය.

ජූනියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරනය හමුවේ නව ආන්ඩුව කෙරෙහි අප්‍රසාදය වැඩී යද්දී කරුනාරත්න එහි ප‍්‍රධාන ක්ෂමාලාපකයා බවට පත්ව සිටියි. ආන්ඩුවේ ඉහලම උපදේශක සභාව වන ජාතික විධායක මන්ඩලයට (ජාවිම) ඇතුලුව සිටින ඔහු සිරිසේන හා වික‍්‍රමසිංහ සමග උරෙනුර ගැටෙමින් කටයුතු කරයි. අවස්ථාවාදී සන්ධාන තුල ලැග සිටීමේ දශක ගනනක නිපුනයෙකු වන කරුනාරත්න, මෙම දක්ෂිනාංශික, ඇමරිකානු ගැති ආන්ඩුව, වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය හා සමාජ අයිතීන්ට පහර දීමට සූදානම් වෙමින් සිටියදී, එය දීප්තිමත් “ප‍්‍රජාතන්ත‍්‍රවාදී” පාටින් පින්තාරු කිරීමේ රාජකාරිය බාරගෙන තිබේ.

දේශපාලන සුදුහුනු ගෑම මොන තරම් කැත ද ඒ තරමට ම බොරු හා ඓතිහාසික මුසාකරන දෙසාබෑම ද වශාල වන්නේය යන කියමන කරුනාරත්න සම්බන්ධයෙන් මොනවට තහවුරු වෙයි.

ඔහු ජාතික විධායක මන්ඩලයට පත්කිරීමෙන් පසුව පැවැත්වූ මාධ්‍ය හමුවේදී කරුනාරත්න, සිරිසේනගේ මැතිවරන ජයග‍්‍රහනය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බන්ඩාරනායක 1956 ලත් ජයග‍්‍රහනයට සමාන කලේය. ඔහු පැවසුවේ බන්ඩාරනායක, ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ග‍්‍රාමීය ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන ශ‍්‍රී ලංකාවේ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවනතා දෙකම නියෝජනය කල බවයි.

ඔහු කියා සිටියේ මෙසේය. “වික‍්‍රමසිංහ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන ආවේය. සිරිසේන පැහැදිලිවම නියෝජනය කලේ ගම් සභාය, ග‍්‍රාමීය ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. විමුක්ති බලවේගයක් ලෙස පැමින ඇත්තේ මෙම එකමුතුවයි.”

මෙම ප‍්‍රකාශ තරයේම සාවද්‍ය ය. “ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ග‍්‍රාමීය ප‍්‍රජාතන්ත‍්‍රවාදය” යන මෙම ප‍්‍රවනතා කරුනාරත්න සොයාගෙන ඇත්තේ හිස් අවකාශයෙනි. ඒවා 1956දී නොපැවතියාක් මෙන්ම අද ද නොපවතී.

සිය නොනවතින විප්ලවයේ න්‍යාය තුල ලියොන් ට්‍රොට්ස්කි පෙන්වාදී ඇති ආකාරයට, ලංකාව වැනි ධනේශ්වර වර්ධනය කල්පසුවූ රටවල ධනපති පන්තිය, 18 හා 19වන සියවස්වල යුරෝපයේ හා ඇමරිකාවේ සිදුවූ මහා ධනේශ්වර විප්ලවයන් තුල ඉටුකල ප‍්‍රජාතන්ත‍්‍රීය කර්තව්‍යයන් ඉටුකිරීමෙහිලා ඓන්ද්‍රීයවම නොසමත්ය. මෙරට සමස්ත ඉතිහාසයම ට්‍රොට්ස්කිගේ නිගමනයෙහි නිවැරදිතාවය පිලිබඳ සාක්ෂියකි.

රජය සතු ඬේලි නිව්ස් හි කොලමක නසසප නායකයා සිය තර්කය සවිස්තරාත්මකව ගෙනහැර දැක්වූයේ මෙසේය. “1956 ආන්ඩුව වෙනස් වූයේ මහජන නැගිටීමක් නිසා බව බොහෝ දෙනෙක් විශ්වාස කරති. එය ආන්ඩු වෙනසක් පමනක් නොව, සම්ප‍්‍රදායික ග‍්‍රාමයන්, විප්ලවයට නව නායකත්වයක් සැපයූ නව ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයක් ද විය.”

යථාර්තය නම් 1956දී බන්ඩාරනායක බලයට පත්වීමෙහි කිසිදු “ප‍්‍රජාතන්ත‍්‍ර” හෝ “ප‍්‍රගතිශීලී” බවක් නොවීමයි. ඔහුගේ අධිරාජ්‍ය විරෝධී හා සමාජවාදී වාචාලය සරලවම, වැඩකරන ජනතාව වර්ගවාදී රේඛා ඔස්සේ බෙදීම අරමුනු කරගත් සිංහල බෞද්ධ අධිපතිවාදී ප‍්‍රතිගාමී ක‍්‍රියාමාර්ගය ආවරනය කිරීමේ පිරුවටයක් පමනි.

බන්ඩාරනායකගේ ව්‍යාපාරය යොමුවී තිබුනේ, සිංහල පමනක් රාජ්‍යයේ එකම නිල භාෂාව කිරීම හා බෞද්ධාගමට විශේෂ තත්වයක් පිරිනැමීම කෙරෙහිය. බන්ඩාරනායක පැවසූ පරිදි සිංහලයා “අද්වීතීය වර්ගයකි.” ඒ පදනම මත ඔහු, තමන්ගේම අවශ්‍යතා පෙරදැරි කරගත් බෞද්ධ භික්ෂූන්, දේශීය වෛද්‍යවරුන්, හා සුලු ව්‍යාපාරිකයින් වැනි සිංහල සුලු ධනේශ්වර තට්ටුවල සහාය ගොනුකර ගත්තේය.

බන්ඩාරනායක “සිංහල පමනක්” ධජය ඔසවා ගැනීම අහම්බයක් නොවේ. සිංහල වර්ගවාදය ඇවිලවීම පිනිස ඔහු 1937 සිංහල මහා සභාව පිහිටුවීය. ඒ වන විට ට්‍රොට්ස්කිවාදය කරා හැරෙමින් සිටි ලංකා සම සමාජ පක්ෂ (ලසසප) නායක කොල්වින් ආර්. ද සිල්වා, එය “දුඹුරු ෆැසිස්ට්වාදයේ දේශීය ප‍්‍රභේදයක්” වීමේ හැකියාවෙන් යුක්ත “අන්තරායකාරී ප‍්‍රතිගාමී සංවිධානයක්” වන බවට නිවැරදි ලෙස අනතුරු ඇඟවීය.

1948 නිල වශයෙන් නිදහස ලැබීමෙන් පසුව පිහිටුවු ප‍්‍රථම එජාප ආන්ඩුවේ කොටසක් වෙමින් බන්ඩාරනායක මිලියනයක් දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි භාවය අහෝසි කල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පනත් වලට සහාය දුන්නේය. ඔහු 1951දී ශ‍්‍රීලනිපය පිහිටුවීම සඳහා එජාපය හැර ගියේය.

“ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයක්” වීම කෙසේ වෙතත් 1956 බන්ඩාරනායක බලයට පත්වීම, කම්කරු පන්තියට එරෙහිව යොමුවූ ප‍්‍රතිවිප්ලවයක ස්වභාවය ගත්තේය. කම්කරු පන්තිය හා ගම්බද පීඩිතයින් කෙරෙහි බියවූ පාලක පන්තියේ කොටස් සිය සහයෝගය බන්ඩාරනායක පිටුපස පෙලගැස්වූහ.

1953දී ලසසප කැඳවූ ධනපති පන්තිය හිස සිට දෙපතුලටම සොලවාලූ හර්තාලය එජාප ආන්ඩුවට දැවැන්ත පහරක් විය. ලසසපය සැලසුම් කලේ එක්දින විරෝධතාවක් වුවත් එය දිවයින වෙලාගත් නැගිටීමක් බවට පැතිරීගියේ එජාප කැබිනට් මන්ඩලයට කොලඹ වරායේ නවතා තිබුනු බි‍්‍රතාන්‍ය යුද නැවක සිය රැස්වීම පැවැත්වීමට බල කරමිනි.

1956 මැතිවරනය ජයගැනීමෙන් පසුව බන්ඩාරනායක, දෙමල ජනතාවගේ පුලුල් විරෝධතා අවුලුවා ලමින්, මෙරට සුලු ජන කොටස්වල මූලික අයිතින් පැහැරගත් සිය “සිංහල පමනක්” පිලිවෙත බලගැන්වීය. බන්ඩාරනායක මෙහෙයවූ ගම්බද සිංහල සුලු ධනේශ්වරය - කරුනාරත්නගේ ඊනියා ග‍්‍රාමීය ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් - දෙමල විරෝධී ප‍්‍රචන්ඩ ක‍්‍රියා මාලාවක් ගෙනගිය අතර ඔවුන්ගේ සියලු ඉල්ලීම් ක‍්‍රියාත්මක කිරීම මගහැරි විට අවසානයේදී බන්ඩාරනායක ද ඝාතනය කලේය.

බන්ඩාරනායකගේ “ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයට” නිදසුන් ලෙස කරුනාරත්න “ඔහුගේ ආන්ඩුවේ වඩාත්ම වැදගත් ක‍්‍රියාව” 1957 බන්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම අත්සන් තැබීම බව පවසයි. දෙමල ධනේශ්වරයේ ප‍්‍රධාන පක්ෂය වූ ෆෙඩරල් පක්ෂයේ නායක චෙල්වනායගම් සමග ඇතිකරගත් දූෂිත ගනුදෙනුවක් වූ ගිවිසුම යටතේ, උතුරු හා නැගෙනහිර සඳහා රට සභා පිහිටුවීමට හා දෙමල භාෂාවට “සාධාරන තැනක්” ලබාදීමට නියමිත විය. බන්ඩාරනායකගේ ප‍්‍රමුඛ උත්සුකය වූයේ නැගී එන දෙමල විරෝධය දියකර හැරීමය.

ගිවිසුම අසාර්ථකවීම වෙනුවෙන් කරුනාරත්න චෝදනා නගන්නේ විපක්ෂයේ සිටි ලසසප හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ වලටය. කෙසේ වෙතත්, සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම වෙතින් පල්ලම් බසිමින් සිටිය ද ලසසප 1950 ගනන්වල, බන්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමටත් විසකුරු බෙදුම්වාදී “සිංහල පමනක්” පිලිවෙතටත් නිවැරදි ලෙස විරුද්ධ විය.

කරුනාරත්න 1956 මැතිවරනය පිලිබඳ ඉතිහාසය යලි ලිවීමත්, වැඩකරන ජනතාවගේ වියදමින් සිංහල හා දෙමල පාලක පැලැන්තිය අතර ගිවිසුම වැලඳ ගැනීමත් පෙන්නුම් කරන්නේ, මෙරට සංස්ථාපිත වර්ගවාදී දේශපාලනය තුල ඔහු හා නසසපය කෙතරම් ගැඹුරට ගිලී සිටින්නේ ද යන්නය.

“සිංහල පමනක්” පිලිවෙතට විරුද්ධ වෙමින් ලසසසපය, දිවයින වර්ගවාදී ගැටුමක් තුලට ඇද වැටීම පිලිබඳව කල අනතුරු ඇඟවීම සැලකිය යුතු දුර දර්ශී බවක් පෙන්නුම් කලේ ය. එහෙත් ඔවුන් පෙර නොදැක්කේ, සිරිමා බන්ඩාරනායකගේ ධනපති ශ‍්‍රීලනිප ආන්ඩුවට ඇතුලු වෙමින් 1964දී කම්කරු පන්තිය පාවාදීමේ තමන්ගේම කටයුතු එවන් ගැටුමකට දොර විවර කරනු ඇති බවයි.

ලසසපය 1972දී සිංහල රාජ්‍ය භාෂාව ලෙසත් බෞද්ධාගම රාජ්‍ය ආගම ලෙසත් සිහසුන් ගැන්වූ නව ව්‍යවස්ථාව ගෙන ආ ශ‍්‍රීලනිප නායකත්වයෙන් යුත් ආන්ඩුවේ කොටස්කරුවෙකුව සිටිමින් නිර්මානය කල කටුක වර්ගවාදී බෙදීම්, එජාප ආන්ඩුව යටතේ 1983දී පුපුරා ගිය සියවස් කාලක සිවිල් යුද්ධයකට මෙරට ඇද දැමීය.

දේශීය ගැමි ප‍්‍රජාතන්ත‍්‍ර සම්ප‍්‍රදායක් සොයාගැනීමේ උත්සාහය තුල කරුනාරත්න, කාල් මාක්ස් ද ඇදගෙන මුසාකරනය කරයි. බන්ඩාරනායක මෙන්ම වික‍්‍රමසිංහ හා සිරිසේන ද නියෝජනය කරන්නේ, බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා “ආසියාතික කොමියුන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ” සංකලනයකි. “මාක්ස් පෙන්වාදුන් ආකාරයට, මෙම ආසියාතික ප‍්‍රජාතන්ත‍්‍ර උරුමය, යටත්විජිතවාදයට හා ගම්බද මත පැටවූ සමාජ ප‍්‍රතිව්‍යුහකරනයට ප‍්‍රතිරෝධ දැක්වීමට තරම් බලගතු විය.” යි කරුනාරත්න පවසයි.

මාක්ස් සහ ඔහුගේ සම චින්තක ෆෙඩ්රික් එංගල්ස් කතා කලේ “ආසියාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායක්” ගැන නොව, ප‍්‍රාථමික ස්වයං-සම්පූර්න ග‍්‍රාමයන් හෝ කොමියුන මත වාරුවූ “ආසියාතික අත්තනෝමතික පාලනයක්” පැවති, “ආසියාතික නිෂ්පාදන විධික‍්‍රමයක්” පිලිබඳව ය. මෙම පූර්ව-ධනවාදී සැකැස්ම වෙනසකට - එනම්, නිෂ්පාදන බලවේගවල වර්ධනයට සහ සමාජ ප‍්‍රගමනයට අතිශයින්ම ප‍්‍රතිරෝධක වූ බව සනාථ කෙරුනි.

ඩූරිං විරෝධයේ (Anti Dhuring) එංගල්ස් එය මෙලෙස පැහැදිලි කලේ ය: “පැරනි කොමියුන අඛන්ඩව පැවතීගෙන යන තැන්වල ඉන්දියාවේ සිට රුසියාව දක්වා, අවුරුදු දහස් ගනනක් තිස්සේ ඒවා පදනම දමා ඇත්තේ කෲරතර රූපාකාරයේ රාජ්‍යයන් වන අපරදිග අත්තනෝමතිකත්වයටයි.”

සමාජවාදය ග‍්‍රාමීය කොමියුනවල පදනම මත නැගී ආ හැකිය යන රුසියානු ජනතාවාදීන්ගේ, නරෝද්නිකයන්ගේ, කියාපෑම් එංගල්ස් එකහෙලා ප‍්‍රතික්ෂේප කලේය. “එය තුලින්ම පොදු හිමිකාරිත්වයේ ඉහල රූපාකාරයක් වර්ධනය කිරීම සඳහා කිසිවිටෙකත් ජවය සම්පාදනය නොකරමින්ම රුසියානු කොමියුන වසර සියගනනක් පැවතීගෙන ගොස් තිබේ” යයි ඔහු ලිවීය.

කරුනාරත්න ග‍්‍රාමීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායක් පිලිබඳව ප‍්‍රබන්ධ ගෙතීමට දරන උත්සාහය, සියවසකටත් පෙරාතුව නරෝද්නිකයන් රුසියානු කොමියුන උත්කර්ෂයට නැංවීමටත් වඩා එහා ගිය උග‍්‍ර විකාරයකි. 19වන සියවස තුල රුසියාවේ ධනේශ්වර සම්බන්ධතා වැඩීයාමෙන් රුසියානු කොමියුන කුඩුපට්ටම්වී ගිය ආකාරයටම බොහෝ කලකට පෙර බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනය යටතේ මෙරට හා ඉන්දියාවේ ද පූර්ව ධනේශ්වර සම්බන්ධතා විනාශයට පත් විය.

අද ගම්මාන මෙරට හා ජාත්‍යන්තර ධනවාදය තුලට මුලුමනින්ම ඒකාග‍්‍ර කෙරී ඇත. මෙරට ආර්ථිකයේ අධිකාරය දරන ගෝලීය සමාගම් හා බැංකු, අතරමැදියන්ගේ හා නය දෙන්නන්ගේ කොල්ලකාරී කටයුතු ද ඇතුලු බහුවිධ මාධ්‍යයන් තුලින් ගම විනිවිදගොස් ඇත. වරප‍්‍රසාදිත ගොවීන් හා ඉඩම් අහිමි දෛනික කම්කරුවන් අතර සමාජ බෙදීම ගැඹුරුවී ඇත. “ග‍්‍රාමීය ප‍්‍රජාතන්ත‍්‍රය” සඳහා පදනම ලෙස කරුනාරත්න වර්නනා කරන ගම් සභා, සැබවින්ම පිහිටුවන ලද්දේ, යටත් විජිත පාලනයේ මාධ්‍යයන් ලෙස බි‍්‍රතාන්‍යයන් විසිනි. ඒවායේ කොටස් මත අද දිනයේ අධිකාරය දරන්නේ, ගම්බද සුලු ධනේශ්වරයේ ධනවත් ස්ථරයන් ය.

කරුනාරත්න “ග‍්‍රාමීය ප‍්‍රජාතන්ත‍්‍රය” හුවා දැක්වීම සාවද්‍ය වනවා පමනක් නොව, ප‍්‍රතිගාමී මෙන්ම අනතුරුදායක ද වේ. කම්කරුවන් හා තරුනයින්, “පුරාන ග‍්‍රාමීය සංස්කෘතියෙන් ගලා එන කොමියුන ප‍්‍රජාතන්ත‍්‍රවාදය මගින් නියෝජනය වන සම්ප‍්‍රදායික ගම, කම්කරු පන්තියට 1956දී නායකත්වය” දුන් බවට කරන ඔහුගේ ප‍්‍රකාශ අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය.

ස්වාධීන දේශපාලන භූමිකාවක් ඉටුකල නොහැකි ගොවි ජනතාවට එක්කෝ ධනේශ්වරය නැත්නම් කම්කරු පන්තිය අනුගමනය කිරීමට බල කෙරෙන බව ට්‍රොට්ස්කි යලි යලිත් පෙන්වා දී ඇත. 1905 රුසියානු විප්ලවයේදී ලිබරල් ධනේශ්වරයේ පිටුබලය ලත් සාර්වාදී ආඥාදායකත්වයට කම්කරු පන්තිය තලා දැමීම පිනිස හමුදාවේ රූපයෙන් ගොවිජනතාව බලමුලු ගැන්වීමට හැකි විය. 1917දී බොල්ෂෙවිකයන්ගේ නායකත්වය යටතේ කම්කරු පන්තිය, ගොවි ජනතාව දිනාගනිමින් ලෝකයේ ප‍්‍රථම කම්කරු රාජ්‍යය පිහිටුවීමට සමත් විය.

1956දී මෙරට තුල බන්ඩාරනායක කම්කරු පන්තියට එරෙහිව සිය ආන්ඩුව සඳහා සහයෝගිතා පදනම ලෙස සිංහල ග‍්‍රාමීය සුලු ධනේශ්වර තට්ටු බලමුලු ගැන්විය. වැඩවර්ජන රැල්ලක නැගී ඒම හමුවේ ඔහු, 1958 මාර්තුවේදී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මහජන ආරක්ෂක පනත ශක්තිමත් කරමින් ටික දිනකදී දස මසක හදිසි නීතිය පැනවීය.

කරුනාරත්න මෙම අත්දැකීම නගා තබන්නේ, මෙරට හා ජාත්‍යන්තරව ඊට වඩා බොහෝ ගැඹුරු ධනේශ්වර අර්බුදයක කොන්දේසි යටතේ, කම්කරුවන්ට හා තරුනයින්ට විරුද්ධව මෙහෙයවනු ඇති ගම්බද සුලු ධනේශ්වරය අතර සහයෝගිතා පදනමක් ගොඩනගාගෙන පාලක පන්තියේ සිරිසේන-වික‍්‍රමසිංහ කන්ඩායමට වැඩකරන ජනතාව යටත්කර දීම පිනිසය. වික‍්‍රමසිංහ, 1988-90 කාලයේ 60,000ක් ගම්බද තරුනයින් ඝාතනය කල මිලිටරියේ පිටුබලය ලත් ඝාතක කල්ලි වලට කොල එලිය දැල්වූ එජාප ආන්ඩුවේ කොටස්කරුවෙක් වූ බව අමතක නොකල යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ කප්පාදු නියෝග ක‍්‍රියාවට නැගීමේදී හා කම්කරුවන්ගේ ද නාගරික හා ගම්බද පීඩිතයින්ගේ ද ප‍්‍රතිරෝධය මැඬීමේදී සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව රාජපක්ෂ මෙන්ම නිර්දය වනු ඇති බවට සමාජවාදී සමානතා පක්ෂය අනතුරු අඟවයි. දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදය සඳහා පුලුල් සටනක කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමේ විප්ලවවාදී අරගලයේදී කම්කරු පන්තියට පීඩිත ගොවි ජනතාවගේ පුලුල් ස්ථරයන් තමන් වෙත දිනාගත හැකි බව සසපට විශ්වාසය. මේ සඳහා ධනේශ්වරයේ සියලු කොටස් වලින් මෙන්ම කරුනාරත්න වැනි ඔවුන්ගේ ව්‍යාජ වාම ක්ෂමාලාපකයින්ගෙන් ද කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීන කර ගැනීමේ නිර්දය අරගලයක් ඉල්ලා සිටියි.

කතුවරයා පහත සඳහන් පොත කියවන ලෙස ඉල්ලා සිටියි.

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

Share this article: