අවස්ථාවාදය හා අනුභූතිවාදය

සෝෂලිස්ට් ලේබර් ලීගයේ ජාතික කමිටුව - 1963 මාර්තු 23

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එවක බ්‍රිතාන්‍ය ශාඛාව වන සෝෂලිස්ට් ලේබර් ලීගයේ ජාතික කමිටුව විසින් මෙම ලියවිල්ල කෙටුම්පත් කරන ලද්දේ ඇමරිකාවේ සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) නායක ජෝශප් හැන්සන්ගේ කියුබාව පිලිබඳ ආස්ථානයට පිලිතුරු වසයෙනි. එස්ඩබ්ලිව්පීයේ තත්කාර්යවාදී විධික්‍රමයට එරෙහි අරගලය ඉදිරියට ගෙන යන මෙම ප්‍රකාශය, ජාත්‍යන්තර කමිටුව ආරක්ෂා කිරීමේ හා එය වර්ධනය කිරීමේ සටනේ වැදගත් ඉදිරි පියවරකි.

***

“එක් අතකින් ඉන් වෙන්ව හා පිටස්තරව හා එයට ඉහලින් පවත්නාවූ කවර හෝ හුදෙකලා ස්වාභාවික දර්ශනවාදයකින් හෝ අනෙක් අතට ඉංගී‍්‍රසි අනුභූතිවාදයෙන් එය ලද උරුමය වන සීමිත චින්තන විධික‍්‍රමයේ ම සීමාවන්ගෙන් හෝ මිදීමට (ස්වභාව විද්‍යාව), සමත් වනු ඇත්තේ පසුගිය වසර දෙදහස් පන්සියයක කාලයක් පුරා දර්ශනවාදයේ වර්ධනයේ ප‍්‍රතිඵල ස්වීකරනය කර ගැනීමට උගැනීම මගින් පමනකි.”

අනුභූතිවාදය ලෝකය පිලිබඳ අපෝහකවාදී සංකල්පයට බාධකයක් යයි එංගල්ස් සලකන බව, ඔහුගේ ඉහත ඡේදයෙන් පැහැදිලි වේ. “සුසංගත අනුභූතිවාදය” පිලිබඳ හැන්සන්ගේ කථා, වනාහි හුදු ප‍්‍රලාපයන් ය. “සංජානනය වන අයුරින් ම කරුනු” පිලිගැනීමක් වූ අනුභූතිවාදය පිලිබඳ ප‍්‍රශ්නය නම් සුසංගත වීමට අසමත් බවය.

අනුභූතිවාදය, සහ අත්ලාන්තික් සාගරයෙන් එතෙර එහි බාල සහෝදරයා වන තත්කාර්ය වාදය, වෛෂයිකව පවත්නා බාහිර ලෝකයේ ස්වභාවය කුමක් ද යන ප‍්‍රශ්නයට පිලිතුරු දීමේ හැකියාව ප‍්‍රතික්ෂේප කරයි, “එමගින් ඒවා මනස වශයෙන් පමනක් ලෝකය අර්ථ කථනය කරන ආත්මීය විඥානවාදයට පාර හැර තබයි. අනුභූතිවාදය, දර්ශනවාදයේ ඉතිහාසය නොතකා හරිමින්, ඥානනය පිලිබඳ අපෝහක න්‍යාය “පාරභෞතිකවාදය” යයි ප‍්‍රතික්ෂේප කරයි. ලෝකය පහදා දීමට සමත් වන්නේ අපෝහක භෞතිකවාදී දෘෂ්ටියම පමනි. මන්ද යත්, එය අපගේ සංකල්ප විසින් පිලිබිඹු කරනු ලබන භෞතික ලෝකයේ වර්ධනය පමනක් නොව අපගේ සංකල්පවල ම වර්ධනය ද පිලිබඳ භෞතිකවාදී පැහැදිලි කිරීමක් අන්තර්ගත කරගන්නා හෙයිනි. අනුභූතිවාදය ප‍්‍රතික්ෂේප කල යුතු ව ඇත, එය “සුසන්ගත” කල නො හැක. හැන්සන්ගේ මෙම ක‍්‍රමවේද දෝෂයට පැති ගනනාවක් ඇත.

මේ වූ කලී, ඔහු විසින් විද්‍යාත්මක විශ්ලේෂනය වෙනුවට ධාරනාවාදය යොදාගැනීමේ එක් අංශයක් පමනි. (බලන්න: Trotskyism Betrayed - ට්‍රොට්ස්කිවාදය පාවා දීම (1) - සහ පුන් සැසිය ට ජෝශප් හැන්සන් ඉදිරිපත්කල වාර්තාවට ක්ලිෆ් ස්ලෝටර්ගේ පිලිතුර, අංක [2] ජාත්‍යන්තර බුලටිනය ( නො11). මෙහිදී හැන්සන්ගේ ප‍්‍රවිෂ්ටයේ ක‍්‍රම වේදමය පදනම කුමක් ද? සැමවිටම ඔහුට ප‍්‍රමුඛ ප‍්‍රශ්නය වූයේ, ආසන්නම දේශපාලන දෘශ්‍යමානයන්ගේ පටු පර්යාලෝකය මත පිහිටා විමසන කල්හි - “හොඳින්ම වැඩකරන්නේ කුමක් ද ?” යන්නයි. එය වනාහි අනුභූතිවාදයට, පියර්ස්, ජේම්ස් හා ඩූවි ඇති කල “ඇමරිකානු” වර්ධනය වන තත්කාර්වාදයේ ආරම්භක ලක්ෂ්‍යය යි.

(1953) භේදයට හේතුභූත වූ කරුනු තවමත් පැහැදිලි කෙරී නැති තතු තුල, “වමට” තල්ලු වන ජනයාට ආකර්ශනයක් ලෙස වඩාත් හොඳින් “වැඬේ කෙරෙන” නිසා, පැබ්ලෝ කන්ඩායම සමග එකතු වීම ට සහය දීමට, එම ක‍්‍රමවේදය විසින් හැන්සන්ව යොමු කරනු ලැබ ඇත. අප මීට ඉහත ලේඛනයන්හිදී පැහැදිලි කල පරිදි, එවැනි ක‍්‍රමයක් ව්‍යාපාරයේ න්‍යායික පදනම විනාශ කරනු අත. අපගේ දේශපාලන කටයුතු තුලදී සාවද්‍ය සංකල්ප හා විධික‍්‍රම පරාජය කල හැක්කේ දැනුවත් න්‍යායික හා ප‍්‍රායෝගික අරගලයක් තුලින් විනා ඒවා පැදුර යටට අතුගා දැමීමෙන් නොවේ.

තත්කාර්යවාදය සහ කියුබානු අර්බුදය

එපරිද්දෙන් ම, කියුබානු අර්බුදය සාරාංශ කොට කැනන් ඩොබ්ස්ට යැවූ ලිපිය [3] තත්කාර්යවාදී විධික‍්‍රමයේ නිදර්ශනයකි. විප්ලවවාදී මාක්ස්වාදය සඳහා, විශේෂයෙන් ම ස්ටැලින්වාදයට එරෙහිව, අරගලයක යෙදී ගෙවූ ජීවිත කාලයකට පසු දැන් ඔහු, හැන්සන් තමාගේ ශෝචනීය “න්‍යායික” යත්නයෙන් සාධාරනීකරනය කල ජාතියේ දේශපාලනයකට බැසගනිමින් “දෙනලද තත්වයන්” තුල වෙන කුමක් කල හැකිව තිබුනි දැ? යි අසා, සිය මුලු අභිවෘත්තිය ම පිටු දෙකක් ඇතුලත නිෂ්ප‍්‍රභා කර ගනී.

ප‍්‍රථමයෙන් ම කිවයුත්ත නම්, සුලු ධනපති ජාතික ව්‍යාපාරය තුල ප‍්‍රභේද තිබිය නො හැකි බවක් වත් ඔවුන් ජනතා පීඩනයේ බලපෑමෙන් විමුක්ත ව සිටින බවක් වත් කවරෙකු හෝ කියා නැති බව යි. කවරෙක් නම් එසේ නැතැයි කීවෝද? විවාදයට භාජන වී ඇත්තේ, මෙම “කරුන” විශ්ලේෂනය කෙරෙන ක‍්‍රමවේදය කුමක් ද යන්න හා කම්කරු පන්තියේ අරගලයට නායකත්වය දීම සඳහා ස්වාධීන විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමේ කාර්යයෙහි ලා එවැන්නක ප‍්‍රතිවිපාක මොනවා ද යන්න යි. අනෙක් අතට, හැන්සන් හා පැබ්ලෝවාදීහු, ඇතැම් සුලු ධනපති ජාතිකවාදීන් “වමට” තල්ලුවීම පිලිබඳ “කරුන”, එකී බලවේගවලට යටත්වීම යුක්තියුක්ත කිරීම සඳහා යොදා ගනිති. මෙම ප‍්‍රශ්නය විධික‍්‍රමය හා දර්ශනය පිලිබඳ වෙනස්කම්වලින් වියෝ වූවක් ද? කිසි සේත්ම නැත, සමස්ත නූතන යුගය පිලිබඳව මාක්ස්වාදී විග‍්‍රහය විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, කම්කරු පන්තික නො වන සමාජ ස්ථරයන් නියෝජනය කරන නායකත්වයන්ට අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය තුලදී යාගත හැක්කේ කිසියම් දුරක් පමනක් බවයි. ඔවුන්ගේ විප්ලවයේ වෛෂයික සීමා විසින් ඔවුන් අන්තිමේ දී, මෙහෙයවෙන්නේ, ජාත්‍යන්තර සමාජවාදී විප්ලවය සමග සම්පාත වන්නා වූ ස්වාධීන ඉල්ලීම් ඇති පන්තිය වන කම්කරු පන්තියට විරුද්ධව ය.

එක් එක් ජාතික විප්ලවයක් ලෝක අධිරාජ්‍යවාදය සඳහා අලුත් ස්ථාවර කරනයක් බවට පරිවර්තනය වීම වලක්වාලිය හැක්කේ, නොනවතින විප්ලවයේ වැඩ පිලිවෙල මත පදනම්ව, කම්කරු පන්තියේ බලය අරමුන කර ගත් ස්වාධීන කම්කරු පන්ති පක්ෂ ගොඩ නැගීම මගින් ම පමනකි. එබඳු පක්ෂ නිර්මානය කිරීම සඳහා වන අරගලය, ව්‍යාපාරය තුල ම අවස්ථාවාදීන්ට හා ප‍්‍රතිවිප්ලවවාදී ප‍්‍රවනතාවලට එරෙහිව, විශේෂයෙන් ම අධිරාජ්‍යවාදය සමග ජාත්‍යන්තර සම්මුතියකින් කටයුතු කරන ස්ටැලින්වාදී නිලධරයේ පිලිවෙතට හොඳින් ම ගැලතෙන අවධි දෙකේ න්‍යාය අනුයමින්, කම්කරු පන්තිය ජාතිකවාදීන්ට, ධනපතීන්ට හා සුලු ධනපතීන්ට යටත් කරදෙන ස්ටැලින්වාදීන්ට එරෙහිව, කලයුතු අරගලයක් සමග බැඳී ඇති බව ඔප්පු වී ඇත. අද දින දේශපාලන ප‍්‍රවනතාවල ඉරියව් සහ ක‍්‍රියාමාර්ග අප විසින් තක්සේරු කරනු ලබන්නේ හැන්සන් හා ජේ.පී. කැනන්ගේ ක‍්‍රමය අනුව කරුනු “දෙන ලද හැටියෙන් ම” හෝ “දෙන ලද තත්වයන්” ලෙස ගැනීමෙන් නො වේ: “කරුනු”, එනම් ලෙනින්, ට්‍රොට්ස්කි ඇතුලු මාක්ස්වාදීන්ගේ අරගල හා න්‍යායික කටයුතු මගින් තහවුරු කෙරුනු (සැබෑ) කරුනුවලට අනුකුලව ය.

<bright>පන්ති විශ්ලේෂනයක් උවමනාය

හැන්සන් හා එස්ඩබ්ලිව්පී නායකත්වය සමස්ත ජාත්‍යන්තර තත්වයට අවතීර්න වන්නේ මෙන්න මේ මාක්ස්වාදී නොවන අනුභූතිවාදී ආකාරයට ය. “නව යථාර්ථය” ලෙනින් හා ට්‍රොට්ස්කිගේ වට්ටෝරු සමග නොසැසඳෙන බවක් පෙනී යන හෙයින් එස්එල්එල්, කරුනු නොතකා හරිමින්, එකී නව යථාර්ථය විශ්ලේෂනය කිරීම ප‍්‍රතික්ෂේප කරන්නේ යයි හැන්සන් චෝදනා කරයි. ඊට පටහැනි ලෙස, වත්මන් තත්වයේ මතුපිට “කරුනු”වල සැබෑ පන්ති පදනම් විශ්ලේෂනය කිරීමෙහි ලා එස්එල්එල්හි සහෝදරවරු මුල පුරා ඇත්තාහ. හැන්සන් “යටත් විජිත විප්ලවයේ යෝධ බලවේග හා ස්ටැලින්වාද හරනයේ අන්තර් සම්බන්ධිත ක‍්‍රියාදාමය” ලැයිස්තුගත කිරීමෙන් තෘප්තියට පත් වෙයි. එයට ප‍්‍රතිකූලව, මෙම කි‍්‍රයාදාමයන් දෙක (යටත් විජිත රටවල අරගල හා ස්ටැලින්වාදයේ අර්බුදය), අධිරාජ්‍යවාදයට එරෙහි කම්කරු පන්තියේ ජාත්‍යන්තර විප්ලවය කෙරහි දරන්නේ කුමන සම්බන්ධතාවයක් දැයි පන්ති විග‍්‍රහයක් මගින් නිර්නය කිරීම ඇරඹූ අපි ලිපි ගනනාවක් පල කොට ඇත්තෙමු. (බලන්න: Labour Review (ලේබර් රිවීව්) 1961 හා 1962, බේකර්, කෙම්ප්, ජෙෆ්රිස්ගේ ලිපි හා “සමාජවාදය සඳහා ලෝක ඉදිරිදර්ශනයක්” යෝජනාව) එස්ඩබ්ලිව්පී යේ හෝ පැබ්ලෝවාදීන්ගේ ප‍්‍රකාශන තුල එවැනි ප‍්‍රයත්නයක් අපට තවමත් දක්නට නැත.

ඔවුන්ගේ ප‍්‍රකාශන තුල අපට දක්නට ලැබෙන්නේ ස්ටැලින්වාදී සහ ජාතිකවාදී ව්‍යාපාර ඇතුලේ වඩාත් සාධනීය හෝ ප‍්‍රගතිශීලි ප‍්‍රවනතා සොයා යාමකි. මින් අදහස් වන්නේ, චීන හෝ රුසියානු ස්ටැලින්වාදී නායකයන්ගේ ප‍්‍රකාශ වැනි මතුපිට “කරුනු” අල්ලා ගෙන, ඒවාට සාධනීය හෝ නිෂේධනීය අගයයන් ආරෝපනය කිරීමකි. උදාහරනයක් හැටියට (5), විප්ලවවාදී ජාත්‍යන්තරය පිලිබඳ සංකල්පයට පිටස්තරව, ට්‍රොට්ස්කිවාදී ක‍්‍රියා මාර්ගයේ “කැබලිති” “බිඳුනු” ආකාරයකට කම්හල් කමිටු පවතින යුගෝස්ලාවියාවේ පටන්, ඉතාලිය, රුසියාව හා චීනය හරහා ද, යම් “බිඳුනු” ආකාරයකින්, කුඩා පක්ෂවල අයිතිවාසිකම් ඉල්ලා සිටින ඇල්බේනියාව දක්වා ද, ප‍්‍රවනතාවයක් ලෝකයේ නොයෙකුත් කොමියුනිස්ට් පක්ෂ තුල පවතින්නේය යන නිගමනය ට ජර්මේන් එලඹුනේ ය! මෙය ක‍්‍රමානුකුලව ක‍්‍රියාත්මක කෙරුනු අනුභූතිවාදය පිලිබඳ මනා උදාහරනයක් බව නිසැකය. සුලුතර කන්ඩායමකින් - ඇල්බේනියානු කොමියුනිස්ට් පක්ෂය ඇතුලත යැයි සිතමු - ඔවුන්ට “ක‍්‍රමානුකූල අනුභූතිවාදයේ” මෙකී “තත්කාර්යවාදී” ප‍්‍රතිවිපාක කෙසේ බලපැවැත්තේ දැයි අසා බැලුවොත් ලැබෙන පිලිතුර සිත්ගන්නා සුලු වනු ඇත! 22 වන සම්මේලනයේ එක්සත් ලේකම් මන්ඩල යෝජනාවේ විවිධ ස්ටැලින්වාදී පාර්ශ්වවලට පුදා ඇති “විවේචනාත්මක සහයෝගය” ද බලන්න)

ඊවියන් සම්මුතිය ජයග‍්‍රහනයක් වීද?

එහෙත් අපි හැන්සන්ගේ පිලිතුර කරා ආපසු එමු. ඇල්ජීරියාව මෙම විවාදයෙන් මුලුමනින් ම පාහේ අතහැර දමනු ලැබීම බෙහෙවින් ම කුහුල දනවන්නේ වේ! ඊට හේතුව නම්, ජාතිකවාදී නායකයන්ට “දනගැසීම” පිලිබඳ එස්එල්එල් චෝදනාවට හොඳින් ම ඔප්පුවන සාධකය දැක ගත හැකි වන්නේ මෙතන දී වන හෙයිනි.

ඇල්ජීරියානු රජය හා ප‍්‍රන්ස අධිරාජ්‍යවාදය අතර ඇති වූ ඊවියන් ගිවිසුම, එස්එල්එල් විසින් හෙලාදකිනු ලැබීම පිලිබඳව හැන්සන් මීට ඉහත දී පල කල ලේඛන තුලින් මහත් ඝෝෂාවක් නැංවීමට කටයුතු කලේය. එම ගිවිසුම ද්‍රෝහී පාවාදීමක් යයි අපි පැවසුවෙමු. ඊවියන් ගිවිසුමට අවම තරමින් ජාතික නිදහස හෝ ඇතුලත් වූ හෙයින් අප එය ජයග‍්‍රහනයක් ලෙස සාදරයෙන් පිලිගත යුතු බව වටහා ගැනීමට පවා අප අසමත් ව ඇතැයි කියා පෑ හැන්සන්, අප ආස්ථානය අති-වාමවාදී දෝෂයකැයි හෙලා දුටුවේ ය. අප ඇරඹුවේ සිය විප්ලවවාදී ඉල්ලීම් දිනාගැනීමට ඇල්ජීරියානු ජනතාව පෙරට ඒම වලක්වමින්, ප‍්‍රන්ස අධිරාජ්‍යවාදය සමග සම්මුතියකට එලැඹීම මගින් එෆ්එල්එන් (ඇල්ජිරියානු ජාතික විමුක්ති පෙරමුන) නායකත්වය තුලින් ම ප‍්‍රකාශයට පත් වූ පන්ති ප‍්‍රවනතාවය පිලිබඳ විශ්ලේෂනයකිනි. බෙන් බෙලාගේ “ජයග‍්‍රහනයට” සිත් දී ගෙන ඔහු කැස්ට්‍රෝගේ මාවතේ ඉදිරියට යාමක් ගැන සමපේක්ෂනයේ යෙදුනු අය, මහජනයා රැවටීම සඳහා හුදෙක් බෙන් බෙලාට ආධාර කලා පමනක් නොව, සමාජවාදීන්ගේ ශක්තීන් ස්වාධීන විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීම සඳහා යොදවනු වෙනුවට ධනපතීන් සමග සන්ධාන ගතවීම දෙසට හරවා යැවූහ. මෙය, අවස්ථාවාදයේ කුප‍්‍රකට ස්වරූපයක් ලෙස අපි විලක්ෂනය කලෙමු. තවද, පැබ්ලෝවාදීන් හා එස්ඩබ්ලිව්පීය කම්කරු පන්තියේ පක්ෂ ගොඩනැගීමේ විප්ලවවාදී මාක්ස්වාදී වගකීම ඉටු කිරීම වෙනුවට මෙවන් ප‍්‍රවිෂ්ටයක් ගැනීම මගින්, ඇල්ජීරියානු කම්කරු පන්තිය මතට කඩාපාත් කිරීමට පරාජයන් සුදානම් කිරීමෙහි කොටස් කරුවන් වන බවද අපි දැන් කියා සිටිමු.

පැබ්ලෝම ද වැඩ කරන්නේ ඇල්ජීරියානු රජයේ කිසියම් තාක්ෂනික නිලධරයෙකු ලෙස ය. හුදු මෙම කරුනම ගත්කල, එයට ඕනෑම අර්ථයක් තිබිය හැකි ය, නැත හොත් කිසිදු අර්ථයක් නො තිබීමට වුව ද ඉඩ ඇත. වැදගත් ප‍්‍රශ්නය වන්නේ ඔහුගේ ම ද ඔහුගේ සංවිධානයේ ද දේශපාලන පිලිවෙතයි. ඔහුගේ දේශපාලන පිලිවෙත නිසා පරිපාලනය තුල ඔහු දරන තැන ඔහුට නැති නොවන බවට අල්පමාත‍්‍ර හෝ සැකයක් නැත. (ඔහු තැනින් ඉවත් නොකෙරෙන බවක් මින් කිසිසේත් අදහස් නොකෙරේ). ද මිලිටන්ට් පුවත් පතේ පල වූ හැන්සන්ගේ ලිපි සහ “ඇල්ජීරියානු විප්ලවයට ආධාර කිරීමේ” පැබ්ලෝවාදීන්ගේ උද්ඝෝෂනය, ප‍්‍රන්ස අධිරාජ්‍යවාදයේ විපාක වලට ගොදුරු වූ දිලින්දන්ට ආධාර කිරීම සඳහා පමනක් සීමා විය. කම්කරු ව්‍යාපාරය තුල කෙරෙන උද්ඝෝෂනයක් වෙනුවට මෙහි ඇත්තේ මානුෂීය ආයාචනයකි. ඇල්ජීරියාවට ගොස් බෙන් බෙලා ආන්ඩුවේ සේවකයන් බවට පත් ව එමගින් ප‍්‍රන්ස - ඇමරිකානු ආධාරවල ද සහ පිරිස්වල ද ප‍්‍රතිගාමී විය හැකි බලපෑම කපා හැරීමට ක‍්‍රියා කරන ස්වේච්ඡා සංවිධානයක් පිහිටුවා ගන්නා ලෙස තාක්ෂනවේදීන්ට හා පරිපාලකයන්ට පැබ්ලෝ හා ඔහුගේ මිතුරෝ කියා සිටියහ. ඔහුට අනුව බෙන්බෙලා දකුනට වෙනුවට වමට ගෙන යාමට “වෛෂයික” කොන්දේසි මේ මගින් නිර්මානය කරගත හැකි වනු ඇත. මේ සියල්ල මෙසේ සිදුවන අතරතුර ඇල්ජීරියානු කොමියුනිස්ට් පක්ෂය තහනම් කොට, අලුත් ප‍්‍රන්ස ආධාර වැඩ පිලිවෙලක් ප‍්‍රකාශයට පත් කොට, ඇල්ජීරියානු වෘත්තීය සමිති මත බෙන් බෙලා කල්ලියේ ඍජු පාලනය තහවුරු කර ගැනිනි.

ඒ අතරේ බෙන් බෙලා, “බූට් බ්ලැක්” මගඩිය සුද්ද කර දැමීම මහත් සේ හුවාදැක්වීමේ උත්සාහයක යෙදෙමින්, සහරාවේ තව තවත් දකුනට බෝම්බ දමන ලෙස ප‍්‍රන්සය ඒත්තු ගැන්වීමේ “දැඩි ස්ථාවරයක” සිටි. ජාතිකවාදී නායකයන් මහජනයා “වෙනුවෙන්” “වාම” පියවර ගන්නා අතරතුර, මේ ජාතියේ “ට්‍රොට්ස්කිවාදීහු” කම්කරු පන්තියේ සෑම ප‍්‍රජාතන්ත‍්‍ර අයිතියක්ම අහිමි කිරීමට ඉඩ හැර බලා නොසිටිත් ද? මෙය ජාතික ධනපති පන්තිය ඉදිරිපිට දනින් වැටීම නොවේ නම්, දනින් වැටීම යනු මේ ලෝකයේ වෙන මොකක් ද? අපට විප්ලවවාදී පක්ෂ උවමනා වග “කවුරුත් දන්නේ යයි” කියන හැන්සන්, එකම මතභේදය නම් ඒවා ගොඩනැගිය හැක්කේ කෙසේද යන්න යයි පවසයි. එහෙත් පැබ්ලෝවාදීහු භාවිතයේදී පක්ෂ ගොඩ නැගීමට විරුද්ධ වෙති. එවැන්නක අවශ්‍යතාවය මග හැර යති. “නව” යථාර්ථයේ වෛෂයික වර්ධනයන් සුලු ධනපති ජාතිකවාදීන් අනිවාරනීයව විප්ලවවාදී මාක්ස්වාදය කරා තල්ලු කරයි නම්, ට්‍රොට්ස්කිවාදීන්ගේ කාර්ය භාරය වන්නේ හුදෙක් මේ පසුබිමේ ඇති “වෛෂයික බලවේග” දිරිගැන්වීම පමනක් වනු ඇත.

මෑතක දී ඇල්ජීරියාවේ සංචාරය කල පැබ්ලෝ කන්ඩායමේ ප‍්‍රමුඛ නායකයකු පියර් ෆ්‍රෑන්ක් එහිදී තමා සොයා ගත් දේ ක්වත්රිම් ඉන්ටර්නැෂනාල් සඟරාවේ (නො .17, 13.2.63) Quatrieme Internationale අතිරේකය වන ද ඉන්ටර්නැශනලිස්ට් හි පල කල වාර්තා වාර්තාවේ යට දැක්වෙන ඡේද පිලිබඳ අර්ථ නිරූපනයක් අනවශ්‍ය තරම් ය.

“රජය විවිධ සමාජ හා දේශපාලන කොටස් වලින් සැදී ඇත්නම්, යමෙකු පැවසිය යුත්තේ, එතෙකුදු වුවත් එහි මධ්‍ය න්‍යෂ්ටිය, එනම්, වර්තමානයේ එෆ්එල්එන්හි (ජාතික විමුක්ති පෙරමුනේ) දේශපාලන මන්ඩලයේ දක්නට ලැබෙන තීරනාත්මක න්‍යෂ්ටිය, නගරවල ද අන් සියල්ලටමත් වඩා පිටිසර ද දිලිඳු ම ජනයා මත පදනම් වී ඇති බවය. එහි ප‍්‍රධාන ශක්තිය එයයි. එහෙත් ව්‍යසනකාරී ප‍්‍රතිවිපාකවල අවදානමට මුහුන නො දී, ආර්ථික ව්‍යුහය පෘතුල ලෙස ජනසතු කිරීම කරා ඉබේම යොමුවීම එයට නොහැකි ය. සමහර ක්ෂේත‍්‍රවල විදේශීය ප‍්‍රාග්ධනය සමග සම්මුති ගැසීමට ද සමහර අවස්ථාවන්හිදී සමාජවාදී සමාජයක් ගොඩනැගීම කරා පසුව ගමන් කිරීම අරමුනු කොට ගම්බද හා නගරවල බලකඳවුරු නිර්මානය කරගනු වස්, වසර කිහිපයකට ධනේශ්වර බලවේගයන් වර්ධනය වීමට ඉඩ දීමට ද එයට සිදුවනු ඇත. මෙය, අර්බුදවලින් තොරව හෝ මෙම දුෂ්කර දිශානතියට ප‍්‍රතිවිරුද්ධව වන ජාත්‍යන්තර හා දේශීය වර්ධනයන්ගෙන් තොරව සිදු විය නොහැකි වේ.

“නිගමනය: සියලු දේ පවතින්නේ චලනයේ ය. මේ වනාහි ලොව පුරාම සහය දිය යුතු වූ ද ක්ෂේත‍්‍රය තුල කි‍්‍රයාත්මක වන විවිධ බලවේගවල වර්ධනය මිනිය හැකි වන පරිදි, ගමන් මග නිතිපතා නිර්නය කල යුතුවැ ඇත්තාවූ ද අතදා බැලීමකි, අරගලයකි. මේ ආකාරයට මුලුමනින්ම එයටම සුවිශේෂ ගතිලක්ෂනවලින්, දුෂ්කරතාවයන්ගෙන් හා විභවයන්ගෙන් යුත් මෙම නව විප්ලවවාදී අත්දැකීමට දායක වෙමින්, සමාජවාදී ප‍්‍රතිඵලය කරාගමන් කිරීමට ඊට ආධාර කිරීමට අපට හැකි වනු ඇත.”

විධික‍්‍රමයේ ලා මෙය විදහා පාන්නේ, “විප්ලවවාදී - ප‍්‍රායෝගික” ආකල්පයකට ප‍්‍රති විරුද්ධව “ධ්‍යානශීලී” ආකල්පයක අන්ත විපාකයන් ය. “ධ්‍යානශීලී” ආකල්පයට නම්, “දෙන ලද තත්වයන්” හෙවත් “කරුනු” අනුභූතිකව හඳුනා ගැනීම වනාහි ස්වභාවික ආරම්භක ලක්ෂ්‍යය (සහ අවසාන ලක්ෂ්‍යය ද) වේ. අපෝහකවාදී විධික‍්‍රමය අත්හැර දැමීමේ විපාකය ලෙස, දේශපාලන මට්ටමේදී එය විදහා දක්වන්නේ, ඉස්මතුව පවත්නා බලවේගවලට හා දේශපාලන ව්‍යාපාරය තුල පවත්නා විඥාන ස්වරුපයන්ට යටත්වීමයි: අවසානයේ දී මෙය අධිරාජ්‍යවාදයේ සේවකයන්ට සහය දැක්වීම වනු ඇත.

කවරෙකු විසින් කවරෙකුගේ දෝෂ නිවැරදි කරන ලද්දේද?

1953 පැබ්ලෝවාදී සංශෝධනයන් පැබ්ලෝවාදී “ජාත්‍යන්තරය” අවස්ථාවාදී මාවතකට ඇදදැමීමට හේතුභූතව ඇති අන්දම පෙන්වා දෙනවා වෙනුවට, අප කරන්නේ එම වසරේ පැනනැගි මුල් මතභේද කරා ම ආපසු ගමන් කිරීම යයි හැන්සන් කියයි. එහෙත් ඇල්ජීරියාව සම්බන්ධ පැබ්ලෝවාදීන්ගේ වත්මන් ආස්ථානය හැන්සන් විසින් පිලිගත් පලියට, එම ආස්ථානයේ අවස්ථාවාදී බව වෙනස් නො වන හෙයින්, මෙම “දෝෂ නිවැරදි කිරීම” සම්බන්ධව අප නැගූ ප‍්‍රශ්නයට පිලිතුරු දීම මගහැර යාම හැන්සන්ට කල නොහැකිය. ඔහු එයට පිලිතුරු දිය යුතුය. (බලන්න: සාමාජික රැස්වීමේදී හැන්සන් ඉදිරිපත් කල වාර්තාවට ක්ලිෆ් ස්ලෝටර්ගේ පිලිතුර, International Bulletin (No.11). යලි-එක්සත් කිරීමට පක්ෂව හැන්සන් තර්ක කරන්නේ පැබ්ලෝවාදීන් 1953 ගත් මාවත නිවැරදි කර ගෙන ඇතැයි යන පදනමේ පිහිටාය. එහෙත් පැබ්ලෝවාදී විධායක කමිටුව අවධාරනය කරන්නේ, එකමුතුව සිදුකරගත හැකිව ඇත්තේ ඊට ප‍්‍රති විරුද්ධව හේතුව නිසා බව ය, එනම්, එස්ඩබ්ලිව්පීයට පැබ්ලෝගේ වැඩ පිලිවෙල “වටහා ගැනීමට” එම පක්ෂයට එදා තිබුනු නොහැකියාව දැන් ජයගෙන තිබෙන නිසාය. (Declaration on Reunification of the World Trotskyist Movement", ජුනි 23 / 24, 1962)

අපි දියුනු රටවල ද, පැබ්ලෝවාදීන්ගේ වත්මන් ප‍්‍රතිපත්ති වෙත අවධානය යොමු කොට ඇත්තෙමු. අපගේ විවේචන, පැබ්ලෝවාදී ශාඛාවල හුදෙකලා ප‍්‍රකාශවල එල්ලීමක ට සමාන බව හැන්සන් මවාපායි: “මෙම සහෝදරවරුන් කන්ඩායම (පැබ්ලෝ කන්ඩායම) ඒ හෝ මේ ප‍්‍රාදේශීය තත්වයන් අලලා නිකුත් කරන පත‍්‍රිකා පවා චරපුරුෂයන් ගේ අවධානයෙන් බේරෙන්නේ නැත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට එරෙහිව කියුබාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්, පැරිසියේ රෙනෝල්ට් කම්හල අසල බෙදාහල පත‍්‍රිකාවකින් ගත් වාක්‍ය ඛන්ඩයක් ලන්ඩනයේ ද නිව්ස්ලෙටර් පත‍්‍රයේ මුල් පිටුවේ අවධානයට පවා ඔසොවා ඇත. එස්එල්එල් නායකත්වය අයි.එස්හි සංශෝධනවාදය පිලිබඳ සාක්ෂි සොයා ගැනීමට එතරම්මැ දැඩි ලෙස උත්සුක වන්නේ ය.” (Cuba ) The Acid Test )

මුලින්ම කිවයුත්තේ, එක්සත් කිරීම සම්බන්ධයෙන් හැන්සන්ගේ අවසාන පුන්සැසි වාර්තාවට (International Bulletin No.11) අප දුන් පිලිතුර, අද දවසේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රශ්න පිලිබඳ පැබ්ලෝවාදී ලේඛනයන් පරීක්ෂාවට ලක් කරන හෙයින්, එස්එල්එල්ය. පෘථුල විවේචනයන් සිදු කොට නැතැයි පැවසීම ප‍්‍රලාපයකි. හැන්සන් “කියුබාව - අම්ල පරික්ෂනය” නම් ලිපිය ලියූවේ අප ගේ පිලිතුර කියැවීමට පෙර නම්, ඇතැම්විට, අප එහි ලියා ඇති දෙයට එරෙහිව ඔහු දැන්වත් පැබ්ලෝව ආරක්ෂා කිරීමට ඉදිරිපත් වනු ඇත. දෙවනුව, පැබ්ලෝවාදී ශාඛා පල කරන පත‍්‍රිකා පරික්ෂා කිරීමේ ඇති වරද කුමක්ද? අපගේ විධික‍්‍රමවල වෙනස්කම් වඩාත්ම පැහැදිලි ලෙස පෙන්නුම් කෙරෙන්නේ සැබවින් ම, ශාඛාවල කටයුතු තුල ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක වන අන්දමින් ය. නිසැකවම පැරිස් ශාඛාව පැබ්ලෝවාදී ශාඛාවක සාධාරන නිදර්ශනයකි. පැබ්ලෝවාදී ජාත්‍යන්තරයේ ස්නායු කේන්ද්‍රය එතැන ය.

තවද, රෙනෝල්ට් කම්හල යනු හුදෙක් “ඒ හෝ මේ ප‍්‍රාදේශීය තත්වයක්”ද? නැත, එය වනාහි අතිශය මර්මික ප‍්‍රන්ස කම්කරු සංකේන්ද්‍රනයකි. 1953 දී එස්ඩබ්ලිව්පීය පැබ්ලෝ ගෙන් ප‍්‍රසිද්ධියේ බිඳී වෙන්වීම සිදුවුයේ (පැබ්ලෝවාදීන්) රෙනෝල්ට් කම්හලේ බෙදා හල පත‍්‍රිකාවක් එස්ඩබ්ලිව්පී යේ විමර්ශනයට සහ ප‍්‍රහාරයට ලක් වීමත් සමග නො වී ද? තුන්වනුව, නිව්ස්ලෙටර් හි විවේචනයට භාජනය වූ ඡෙදය එහි සන්දර්භයෙන් උදුරා ගෙන ඇතැයි හැන්සන් කියා සිටින්නේ නම් ඔහු එහි සන්දර්භය ගෙන හැර දක්වා, අප විධික‍්‍රමයේ විකෘතිය පෙන්වා නොදෙන්නේ මන්ද ? ඔහුට එය කල නො හැකි ය: අදාල ඡෙදය ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගිතා ක‍්‍රියා සහ ස්ටැලින්වාදී නිලධරය දෙන “ආධාර” සමාන ලෙස ගනි යි. අදාල පත‍්‍රිකාවෙන් හෝ ඒ පිලිබඳ ද නිව්ස්ලෙටර්හි විවේචනයෙන් එකදු වචනයක් හෝ උපුටා දැක්වීමට හැන්සන් අසමත් ය!

(මෙහි අයිඑස්හි ඉතාලි ශාඛාව සම්බන්ධයෙන් වූ කෙටි සඳහන, ඔවුන්ගේ සඟරාවේ ලිපියක වැරදි පරිවර්තනයක් මත පදනම් වී තිබූනු හෙයින් අපි එය අත හැර දැමුවෙමු)

කියුබාව හා ස්පාඤ්ඤය

“අති වාමාංශික කට්ටිවාදීන්ට” හැන්සන් එල්ල කරන ප‍්‍රහාරයේ ප‍්‍රධාන කොටස උත්සුක වන්නේ, කියුබාව කෙරේ එස්එල්එල් දරන ආකල්පය ගැන ය. හැන්සන් සිය ලේඛනය පටන් ගෙන ඇත්තේ, එක අතෙකින් එස්එල්එල් සහ එහි ජාක (ජාත්‍යන්තර කමිටු) ආධාරකරුවන් ද අනෙක් අතින් ලඟදී ජාලේම (පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය) වෙතින් බිඳී ගිය පොසදාස් කන්ඩායම ද ව්‍යාජ ලෙස මාට්ටු කර දැක්වීමට දරන උත්සාහයකිනි. හැන්සන් මේ ප‍්‍රවනතා දෙක මුලුමනින් ම වෙන් බව ද සහ වෙනස් බව දනී. එහෙත් ඔහු ඒවායේ දේශපාලන අන්තර්ගතය හෝ වත්මන් ආස්ථාන කරා පරිනාමය වූ ආකාරය පිලිබඳ කිසියම් මැ හෝ තක්සේරුවක් කරන්නේ ම නැත. දෙපාර්ශ්වයම “එක්සත්කිරීමට” විරුද්ධ හෙයින් ඔවුන් එකම සමාජ බලවේගයන්ට අනුගත ව ඇති බවත්, සාරභූත වශයෙන් එකිනෙකට සමාන විය යුතු බවත් ඔහු ඉන් ගම්‍ය කර ගනී. මෙය හැන්සන් ගේ තත්කාර්යවාදී විධික‍්‍රමය පිලිබඳ තවත් අගේ ඇති උදාහරනයකි.

හැන්සන් අදාල ප‍්‍රවනතා අතර වෛෂයික සම්බන්ධතා හා ඒවායේ ඉතිහාසය ද ප‍්‍රමුඛ දේශපාලන ගැටලු කෙරේ ඒවා දක්වන ප‍්‍රතිචාරය ද නො තකා හරී. ඒ වෙනුවට එක්සත් කිරීම කඩාකප්පල් කිරීමට වැඩ කරන “අති වාම ධාරා” යයි ඒවා අනන්‍ය කර දැක්වීම ඔහුගේ වාසියට හිටී, වැඬේ කෙරෙයි. පොසදාස් කන්ඩායම ධනපති ක‍්‍රමයට එරෙහි න්‍යෂ්ටික යුද්ධයක ඉදිරි දර්ශනය සිය වැඩ පිලිවෙලට ඇතුලත් කොට ගෙන සිටින බව වාර්තා කරන හැන්සන්, කියුබාව කම්කරු රාජ්‍යයක් ලෙස විලක්ෂනය කිරීමට එස්එල්එල් දක්වන විරුද්ධත්වය ද ඒ ගොඩට ම දමයි. පොසදාස් ට කියුබාව කම්කරු රාජ්‍යයක් ය යන නිගමනයට එකඟ වීමට සිදුව ඇත්තේ ලතින් ඇමරිකාව තුල දී වෙනස් ආකාරයකට සිතීම “දේශපාලන සියදිවි නසාගැනීමක්” වන හෙයින් හැන්සන් කියයි. ඒ අනුව, මතභේද පහදා දිය යුත්තේ භූගෝලීය පිහිටීම උඩ ය: ඔහුට අනුව පොසදාස් කන්ඩායම හා එස්එල්එල් සංවිධානය එක්සත් කිරීමට දක්වන බියෙන් දේශපාලනිකව, එක ගොඩකට වැටී සිටින, එකම ජාතියේ අති වාමාංශික කට්ටිවාදීන් ය. දෙගොල්ලගේ මේ “ඇට්ටරකම අර්ථ කථනය කල හැක්කේ කෙසේද? මෙහි දී හැන්සන් ව්‍යාකූලය; ඔහු කියන පරිදි ට්‍රොට්ස්කිවාදයේ “මුඛ්‍ය ධාරාව” (එස්ඩබ්ලිව්පී නායකත්වය හා පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය) යලි එක්සත්වීම කරා එලඹීම සිදුවන්නේ, “යටත් විජිත විප්ලවයේ යෝධ බලවේග හා අන්තර් සම්බන්ධිත ස්ටැලින්වාදහරනයේ සන්තතිය තුලිනි”.

ඔහු මෙසේ කියයි, “මෙම පොදු කලිකලහයෙන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයටද ගැලවිය හැකි වුයේ නැත. චීන ජයග‍්‍රහනය ස්ටැලින්වාදහරනය හා හංගේරියානු නැගිටීම, පිලිබිඹු කෙරුනේ හුදෙක් යටත්වීම හා අති වාමාංශික බව යන දෙවර්ගයේ මනෝභාවයන් ලෙස පමනක් නොවේ, මුඛ්‍ය ප‍්‍රවාහ - ට්‍රොට්ස්කිවාදය ශක්තිමත්වීමක් හැටියට ද එය පිලිබිඹු වීය. දැන් අපගේ ව්‍යාපාරය තුල සැබවින් ම අප දැක ගනිමින් සිටින්නේ, ඇමරිකානු සිවිල් යුද්ධයෙන් මෙපිට බටහිර අර්ධ ගෝලයේ සිදු වූ දැවැන්තම සිද්ධිය (කියුබානු විප්ලවය) තුලින් කුලු ගැන්වුනු විප්ලවීය සිද්ධිදාමයට, විවිධ ට්‍රොට්ස්කිවාදී කන්ඩායම් හා ප‍්‍රභේද කෙසේ ප‍්‍රතික‍්‍රියා කර ඇත්දැයි කරන ලද උරගා බැලීම් ගනනාවක ප‍්‍රතිඵලයන් ය. ඒකිකරනය සඳහා ගැනුනු පියවරයන් ද ඊට සමමිතික ලෙස පැන නැගුනු ප‍්‍රතිතිරෝධයන් ද වනාහි, එම ප‍්‍රතිවිපාක - විශේෂයෙන්ම දැවැන්ත කියුබානු ක‍්‍රියාවේ අම්ල පරීක්ෂාවෙන් උකහාගත් ප‍්‍රතිඵල පිරික්සා උකහාගන්නා ලද තාර්කික නිගමනයන්ට වැඩි දෙයක් නොවේ.

අර්ථ නිරූපනය කොහි ද? මෙහිලා එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ දෘෂ්ටි ආස්ථානයන් දෙකක් එකම දෙයකින් “අර්ථ දක්වා” ඇත. ඒවා වනාහි එකම සිද්ධීන් කරා ප‍්‍රවිෂ්ට වීමේ දී උකහා ගැනුනු වෙනස් “තාර්කික” ප‍්‍රතිඵල පමනි. විවාද හා භේද වල ඉතිහාසය සලකා බැලීම ද න්‍යාය හා විධික‍්‍රමය තුල ඒවායේ පදනම් විමසාබැලීම ද ප‍්‍රතික්ෂේප කිරීමේ වඳ විපාක වලට කොතරම් විශද උදාහරනයක් ද? අතයට වංචාවක් මගින් තම විරුද්ධවාදියා වන එස්එල්එල් සංවිධානය, පොසදාස් කන්ඩායමේ දෘෂ්ටිය හා අනන්‍ය කිරීම, වඩාත් “ප‍්‍රායෝගික” යයි හැන්සන් සිතුවේ ය.

මෙම පිලිතුරට අමුනා ඇති ප‍්‍රන්ස සහෝදරවරුන්ගේ සටහන, මෙම විවාද ක‍්‍රමවේදයේ ජනඝෝෂක ප‍්‍රතිඵල ගැන එවන්ම කාරනා ඉස්මතු කරයි. එහි පෙන්වා දී ඇති පරිදි, කියුබාව පිලිබඳ ඔවුන්ගේ ලේඛනය, හැන්සන්ගේ දැඩි ප‍්‍රහාරයට ලක් වන නමුත්, හැන්සන් එය සිය පක්ෂ සාමාජිකයන් ට ලබාදුන්නේ නැත. තවද ඔවුහු, පහත දැක්වෙන ආකාර තර්කයේ ප‍්‍රතිපත්ති විරහිත ස්වභාවය නිවැරදිව පෙන්වා දෙති: ලතින් ඇමරිකාව තුල ගනනට ගැනෙන කවරෙක් හෝ කියුබාව සම්බන්ධ එස්එල්එල් විලක්ෂනය සමග එකඟ නො වෙති; එබැවින් එය සැක සහගත වේ; එ පමනක් නොව ඔවුන් කෙතරම් තකතීරු හා කට්ටිවාදීදැයි ද එමගින් පෙන්නුම් කෙරේ.

ප‍්‍රන්ස සහෝදරවරුන් පෙන්නුම් කරන පරිදි, මීට සමාන ආකාරයකින් සෝවියට් හා ස්පාඤ්ඤ ජනතාවගේ “අදහස්”, රාජ්‍යය ද එම දෙරටේ පාලක කල්ලි ද පිලිබඳ ට්‍රොට්ස්කිගේ විලක්ෂනයට එරෙහි ව නිරතුරුව ගෙනහැර දක්වනු ලැබ ඇත. ප‍්‍රන්ස සහෝදරවරු ඊට අමතරව තමන්ගේ කලින් ලිපියකදී කියුබාවේ “ඡායා” ධනපති රාජ්‍යයක් පිලිබඳව කල සඳහනක් සම්බන්ධයෙන් හැන්සන් ඉදිරිපත් කල ආයාසිත විහිලු තහලු පිලිබඳව ද සටහන් කරති. එබඳු සංකල්පයක් විහිලුවට නිමිත්තක් කරගත යුත්තේ මන්දැයි යන්න ද, තමන් සිතන ආකාරයට එය 1936-37 කාල පරිච්ඡේදයේ දී ස්පාඤ්ඤයේ පන්ති බලවේග පිලිබඳව ට්‍රොට්ස්කි කල විශ්ලේෂනය වැන්නකින් වෙනස් වන්නේ කවර ආකාරයකින්දැයි ද හැන්සන් විසින් පැහැදිලි කර දිය යුතුව ඇත. ඒ කල්හි ට්‍රොට්ස්කි ඉදිරිපත් කල “ධනේශ්වරයේ සෙවනැල්ල සමග සන්ධානයක්” පිලිබඳ සංකල්පය එක්කෝ හැන්සන්ට අමතක වී ගොසිනි, නැතහොත් එය සිය පාඨකයන්ට මතක් කර නො දීමට ඔහු වග බලා ගෙන ඇත. ඇතැම්විට ඒ ගැන ද හොඳ විහිලු ඔහු දන්නවා ද විය හැක.

හැන්සන්ගේ ලේඛනවල සෑම පියවරක්ම මේ ආකාරයෙන් විභාග කිරීම නිෂ්ඵලය. ඔහුගේ සමස්ත විධික‍්‍රමය නම්, සිදුවීම් හා ධාරනා, යටත් විජිත විප්ලවයේ “ශක්තිය” හා “ස්ටැලින්වාද හරනයේ අන්තර් සම්බන්ධිත කි‍්‍රයාදාමය” යනාදී අවිශද සාමාන්‍යයකරනයන් සමග කලතාගෙන තර්ක කිරීම යි.

කියුබාව පිලිබඳ අපේ වාර්තාව

කියුබාව පිලිබඳ ප‍්‍රශ්නය ම මත සිදුවූ සාකච්ඡාව තුලදී ද හැන්සන්, කිසිත් නව තර්කයක් හෝ කියුබානු රාජ්‍යය පිලිබඳ කිසිදු නව කරුනක් හෝ ගෙන හැර දක්වන්නේ නැත. 1962 ඔක්තෝබර් - නොවැම්බර් එක්සත් ජනපදය විසින් කියුබාව අවරෝධනයට (ඊලොකේඩ්) පෙරද එය සිදුවෙන අතර ද එරට ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද නිව්ස්ලෙටර් පත‍්‍රයේ වාර්තාව (record) පිලිබඳව හැන්සන් මවන විකාර රූපයට සවිස්තර පිලිතුරක් දීමේ උවමනාවක් අපට නොපෙනේ. හැන්සන් සිය මුලු අවධානය යොමුකර ඇත්තේ ද නිව්ස්ලෙටර් පිටු වලට ය: අපගේ පත‍්‍රයේ ලියා ඇති සියලු දේ පිලිබඳ සියලු වගකීම අපි භාරගන්නෙමු. මෙම අර්බුද කාලයේ හැන්සන් යුරෝපයේ සිටි බව ද පෙන්වා දෙනු කැමැත්තෙමු. හැන්සන් හෝ ලන්ඩන්හි මිලිටන්ට් වාර්තාකරු, එම අර්බුදය සමයේ එස්එල්එල්හි උද්ඝෝෂන කටයුතු පිලිබඳ අවබෝධයක් ලබා ගැනීමෙහිලා සුලු හෝ යත්නයක් දරා නැත. වැටලීමට එරෙහිව පෙලපාලි රාශියක් පැවති බව හැන්සන් නිවැරදිව කියා සිටියි. - ඔහු එය “හුදෙකලා” නිව්ස්ලෙටර් පත්තරයට එරෙහිව පිහිටුවයි! මෙය මඩ ගැසීමක් විනා අන් කිසිවක් නො වේ. එස්එල්එල් සාමාජිකයෝ එම පෙලපාලි සෑම එකකම පෙරමුනෙහි සිටියෝය. ඒ සෑම විටෙකදී ම ඔවුහු ඒවා දිරිමත් කිරීමට හා ඒවාට නායකත්වය දීමට වැඩ කලෝය. බි‍්‍රතාන්‍යයේ මුලින්ම පැවැති මහජන රැස්වීම් හා පෙලපාලිවලට නායකත්වය දෙනු ලැබුවේ ද, ඒවා ඇමතුනු ලැබුවේ ද අපේ සාමාජිකයන්ය.

එස්එල්එල් හැර වෙනත් කිසිවෙක් කියුබාව වැටලීමට එරෙහිව කම්හල් දොරටු අසල එකදු රැස්වීමක් හෝ සංවිධානය කලේ නැත. විරෝධතාවන් විශේෂයෙන් ම කම්කරු ව්‍යාපාරය තුලට හා කම්හල් කරා හැරවීමට අපේ සහෝදරවරු මුලු වැර යොදා සටන් කලෝය. එහි ලා දක්ෂිනාංශිකයන්ට හා ස්ටැලින්වාදීන්ට එරෙහිව දැඩි සටනක් කිරීමට ඔවුන්ට සිදු වී තිබින. ඔවුහු මෙම පෙලපාලි වලදී අධිරාජ්‍යවාදයට එරෙහිව හා කියුබානු විප්ලවය ආරක්ෂා කිරීම සඳහා නායකත්වය දුන් අතර ම, සෝවියට් නිලධරයේ කාර්යභාරය පිලිබඳව කම්කරුවන් හා ශිෂ්‍යයන්ට අධ්‍යාපනයක් ද ලබා දුන්හ. ඔවුහු කෘෂෙව්ගේ “දීප්තිමත්” රාජ්‍යතාන්ත‍්‍රික කටයුතු වර්නනා කිරීමට රසල් හා සාමවාදීන් සමග එක්වනු වෙනුවට, ඔහුගේ ගේ පරස්පර විරෝධී පිලිවෙත්වලට හේතුසාධක වූ කරුනු පැහැදිලි කලෝ ය. මෙය ඉටු කිරීමේ දී ඔවුන්ට ස්ටැලින්වාදීන්ට එරෙහිව සටන් වැදීමට සිදුවිය. එ මගින් කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් රැසකගේ සහාය මාක්ස්වාදය වෙත දිනා ගැනීමට හැකි විය.

එස්එල්එල් සංවිධානය විප්ලවවාදී කොමියුනිස්ට් වැඩ ක‍්‍රම වල ජීවයෙන් හා සංශෝධනවාදයට එරෙහි අරගලයෙන් පන්නර ගන්වා නොතිබෙන්නට, මෙය ඉටු කරගත නොහැකි වනු ඇත. යම් හෙයකින් අපේ සාමාජිකයින්, “නිලධරයට ප‍්‍රතිවිප්ලවවාදී පියවරයන් ගැනීමට පවත්නා හැකියාව, අලුත් තත්වය විසින් වඩ වඩාත් සීමා කරනු ලැබේ”, එසේත් නැතහොත්, “දෙන ලද තත්වයන් යටතේ අපට වෙන කුමක් නම් කල හැකිව තිබුනි ද?” යන කැනන්ගේ සමායාචනය, සහ “අධිරාජ්‍යවාදී ප‍්‍රචාරයේ බලපෑමට හසු නොවූ නේරු හා රසල්”ගේ සහය පැතීම වැනි දෑ ද ඇතුලු පැබ්ලෝවාදී උරුමයෙන් සන්නද්ධ කරනු ලැබ සිටියෝ නම්, ඔවුන් කටයුතු කරනු ඇත්තේ මොන අන්දමින් ද? අපි පසුගිය ශරත් ඍතුවේ කියුබානු සිද්ධීන් තුල අපේ වාර්තාව ගැන ආඩම්බර වෙමු. එමෙන්ම සෝවියට් නිලධරය හමුවේ කැනන් හා පැබ්ලෝවාදීන්ගේ යටත්වීම “ට්‍රොට්ස්කිවාදය ලෙස” අනන්‍ය කිරීම පිලිබඳව අපි ලජ්ජා වෙමු. ද නිව්ස්ලෙටර් පත‍්‍රයෙන් හැන්සන් කරන දීර්ඝ උපුටා දැක්වීම් ලැයිස්තුව, එකී යටත්වීම සඳහා දාගත් වෙස්මුහුනක් පමනකි.

වියුක්ත ප‍්‍රතිමානයෝ

මූලිකව ගත් කල හැන්සන්ගේ පෙවෙත, 1953දී පැබ්ලෝගේ පෙවෙතට ම සමාන ය: පාවා දීමට නො හැකි තත්වයක් සෝවියට් නිලධරයට උද්ගත කරන්නාවූ, සමාජවාදය කරා තල්ලුව සපයන වෛෂයික බලවේග, සුලු ධනපති කාන්ඩායම් වලට පවා විප්ලවවාදී මාවත තෝරා ගැනීමට සිදු කරයි. මේ අනුව ඇල්ජීරියාවේදී බෙන් බෙලා සහ ඔහුගේ ජාතිකවාදී ආන්ඩුව වාම මාවතක ගෙන යාමට තල්ලුව දෙන “වෛෂයික” බලවේගවලට සරල ව ම ආධාර දිය යුතු යයි මාක්ස්වාදීන් ඇනැ වූ සැටි අපි කලින් දුටුවෙමු. කියුබාව “කම්කරු රාජ්‍යයක්” ලෙස හැඳින්වීම සමග වෙන් කල නොහැකි ලෙස බැඳී ඇතැයි ඔවුන් සිතන දෘඩ අධිරාජ්‍ය විරෝධය පිලිබඳ සකල කයිවාරු තිබුනු පලියට, එස්ඩබ්ලිව්පීය ද පැබ්ලෝවාදීන් ද කියුබානු විප්ලවයට දෙන ඊනියා සැබෑ “ආරක්ෂාව” ට කෘෂෙව්ගේ ප‍්‍රතිවිප්ලවවාදී නිලධරයෙන් වෙන් වීමට වත් බැරි වී තිබේ! හැන්සන් කියුබාව විශ්ලේෂනය කරන්නේ ජාත්‍යන්තර පන්ති අරගලයේ වර්ධනයෙහි දෘෂ්ටියෙන් නො වන බවත්, එය හුදෙකලා සංසිද්ධීන්ට වියුක්ත ප‍්‍රතිමානයන් යෙදීමක් බවත් පැවසීමේදී අප අදහස් කරන එක් දෙයක් නම් මෙය යි.

කියුබාව පිලිබඳ නිර්වචනය සම්බන්ධ ගැටලුවට හැන්සන් ප‍්‍රවිෂ්ට වන්නේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල පැවැති එවන් සාකච්ඡාවල ඉතිහාසයට එය සම්බන්ධ කිරීමේ උත්සාහයකිනි. සත්තකින්ම එම සාකච්ඡාව පිලිබඳ විශ්ලේෂනය, අද දින කියුබාව විසින් ඉස්මතු කරනු ලබන ප‍්‍රශ්නවලට දෙන මාක්ස්වාදී පිලිතුරෙහි අවශ්‍ය අංගයක් වනු ඇත: එහෙත් එවැන්නක් කල යුතුව ඇත්තේ හැන්සන් ගන්නා පිලිවෙතට වෙනස් මගක් ඔස්සේ ය. සෝවියට් සංගමය පිලිබඳ ට්‍රොට්ස්කිගේ නිර්වචනයෙහි වියුක්ත ප‍්‍රතිමානයන්, අද දින කියුබාවේ ආර්ථික හා දේශපාලන පර්යාය මත පැටවීම උපහාසයට ලක් කරීම ගැන ඔහු එස්එල්එල් ජාතික කමිටුව හෙලා දකියි. ඒ අනුව අප, වර්තමානයේ හා අතීතයේ සාකච්ඡාවන් අතර “පුරුක කපාදමා” ඇතැයි ඔහු පවසයි. “කියුබාව සම්බන්ධ සාකච්ඡාවට සෝවියට් සංගමය පිලිබඳ ට්‍රොට්ස්කිගේ නිර්වචනයේ කිසිදු අදාලත්වයක් නැතැයි ප‍්‍රකාශ කිරීම මගින්” අප එම නිර්වචනය අත හැර ඇති බවක් පවා හැන්සන් කියා සිටී. එයත්, කියුබානු ප‍්‍රශ්නය, මෙම පැරනි සාකච්ඡාවේ “උපමානයන් වියුක්ත ලෙස යොදාගෙන” විසඳිය නො හැකි බව පැවසීමත් යන දෙකම එක ද? ඔබේ ප‍්‍රතිවාදියාගේ තර්කය යලි ඔබේම යෙදුම් යොදා අලුතින් සකසාගත් කල ඔහුව බිඳ දැමීම හැම විටම පහසු ය.

අපේ සංකල්පවල වර්ධනය පිලිබඳ ඓතිහාසික විශ්ලේෂනයක් කිරීමේ සැබෑ ලක්ෂ්‍යය නම්, එම සංකල්ප වෛෂයික ලෝකය පිලිබිඹු කිරීමේ දී විද්‍යාත්මකව වර්ධනය වූ ආකාරය තහවුරු කිරීමයි. සෝවියට් සංගමය පිලිබඳ ට්‍රොට්ස්කිගේ අර්ථකථනයන්, සෝවියට් සංගමයේ හා ලෝකයේ වෙනස් වන තත්වයන්හි පදනම මත, සංශෝධනවාදී ප‍්‍රවනතාවන්ට එරෙහි අරගලය හා නව ජාත්‍යන්තරයක් ගොඩනැගීමේ අරගලය මගින් පන්නර ගැන්වුනේ යම් සේ ද එපරිද්දෙන්ම අද දින සාකච්ඡාවේ ඓතිහාසික හුයපට දැකගත යුත්තේ ද, කම්කරු පන්තිය බලය කරා මෙහෙයවීමට සමත් විප්ලවවාදී ජාත්‍යන්තරයක් ගොඩනැගීමට කෙරෙන අරගලයේ කොටසක් ලෙස ය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල එකිනෙකට වෙනස් ප‍්‍රවනතාවන්හි සමස්ත දේශපාලන පිලිවෙත ම, ඔවුන් මෙකී ප‍්‍රශ්නමත කරන සාකච්ඡාව පිලිබඳ විශ්ලේෂනයක අන්තර්ගතය විය යුතුය. “ඓතිහාසික” විශ්ලේෂනයක් ලෙස පෙනෙන්නට ඇති දෙය, හැන්සන් අත පත්ව ඇත්තේ අතිශයින් අනම්‍ය වූත් අනෛතිහාසික වූත් පිරි යමක් බවට ය.

සුලු ධනපති නායකත්වයන් හා කම්කරු පන්තිය

උදාහරනයක් ලෙස, සෝවියට් නිලධරය සුලු ධනපති නිලධරයක් ලෙස විලක්ෂනය කිරීමට අසමත්වීම ගැන ඔහු “ට්‍රොට්ස්කිවාදය පාවාදීම” (Trotskysm Betrayed) නැමති ලිපිය විවේචනය කරයි. හැන්සන් මේ කරුන පිලිබඳවැ කරන අවධාරනයට නිශ්චිත අරමුනක් තිබේ: “මෙම තත්වය තුල පැවැති අලුත් දෙය - ප‍්‍රශ්නය පිලිබඳ ට්‍රොට්ස්කිගේ ආස්ථානයේ හදවත - වූයේ මෙයයි. මේ වර්ගයේ ප‍්‍රතිගාමී සුලු ධනපති නිර්මිතයක්, දේශපාලන ප‍්‍රතිවිප්ලවයක් කලායින් පසුව පවා කම්කරු රාජ්‍යයක බලය දරා සිටීමට පමනක් නොව, මූලිකවම තම සුවිශේෂී අවශ්‍යතා පිලිබඳව උත්සුකවන ගමන් ම, එම රාජ්‍යයේ පදනම් ආරක්ෂා කිරීමට පවා සමත් වීමයි. “හැන්සන්ගේ මෙම නිගමන අඟවන්නේ යම් නිශ්චිත තත්වයන් යටතේ, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ විප්ලවයන්ට නායකත්වය දීමට හා ධනපති රාජ්‍යය අහෝසි කිරීමට සුලු ධනපති නිර්මිතයන්ට බලකෙරෙන බවකි. හැන්සන් මෙසේ ද කියයි: එස්එල්එල් නායකයන් මෙය නැගෙනහිර යුරෝපය හා චීනය සම්බන්ධයෙන් පිලිගෙන ඇති හෙයින් කියුබාව පිලිබඳව ද එසේ කල නො හැක්කේ මන්ද? (“කියුබානු නායකත්වය සෑම ආකාරයකින්ම චීන නායකත්වයට වඩා උසස්” යයි ද ඒ නිසා ඔවුන් ඊට වඩාත් කැමති විය යුතු යයිද හැන්සන් යෝජනා කරයි.) දැන්, සාකච්ඡාවේ “අඛන්ඩතාව” යන්නෙන් හැන්සන් අදහස් කරන්නේ කුමක් දැයි අපට දැන් පැහැදිලි ය: එනම් සුලු ධනපති නිලධරයක් කම්කරු රාජ්‍යයකට නායකත්වය දීමට හා එය “ආරක්ෂා කිරීම”ට පවා සමත් යැයි ට්‍රොට්ස්කි දුටු බවකි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව, විප්ලවය පතුරුවා හැරීම සඳහා නායකත්වය ගැනීමට පමනක් නොව නව “විකෘති කම්කරු රාජ්‍ය” පිහිටුවීමට පවා මෙම මෙම සුලු ධනපති නිර්මිතය සමත් විය. ඉදින්, කියුබාව වැනි රටවල කම්කරු රාජ්‍යයක් පිහිටුවීම සඳහා නායකත්වය දීමට සුලූ ධනපති නායකත්වය සමත්ය යන අදහස ගිලගැනීමට එස්එල්එල්ට බැරි ඇයි ? “මතභේදයේ ඉතිහාසය” සමග හැන්සන් කරන මුලු සෙල්ලම ම ඔන්න ඔතනයි. ඔහු ඉතිහාසයෙන් එහි එක් පැත්තක්, එනම්, යම් සමාජ කන්ඩායම් සුලු ධනපතීන් ලෙස විලක්ෂනය කරනු ලැබීම, තෝරා ගනී. මෙම පැත්ත තෝරා ගැනුනේ ඔහුගේ වත්මන් දේශපාලන ගමන් මග යුක්තියුක්ත කිරීමට එය උවමනා නිසාය. සැබවින්ම නම් මෙවන් යෙදීමක් සඳහා “සුලු ධනපතීන්” පිලිබඳ විලක්ෂනය අතිශය නිරවද්‍ය වීම ඒකාන්ත ලෙස ම අවශ්‍ය ය. මෙම පන්තිය දිගටම සමාජයේ ප‍්‍රධාන පන්ති වලින්, එනම්, ධනපති පන්තියෙන් හා කම්කරු පන්තියෙන්, නිරතුරව බිඳී වෙන් වෙමින් තැනෙමින් පවත්නා එකකි. එහි විවිධ දේශපාලන නියෝජිතයෝ මෙම අතරමැදි, පරාධීන හා චපල ස්වභාවය පිලිබිඹු කරති. ඔවුහු කිසිදු ස්වාධීන, ස්ථිරසාර කි‍්‍රයාමාර්ගික පිලිවෙතක් පවත්වා ගෙන යාමට අසමත් වෙති. සුලු ධනපති බුද්ධිමතෙකුට එම ස්වාධීනත්වයත්, න්‍යාය හා භාවිතය අතර සුසංගත භාවයත් අත්කර ගත හැක්කේ, මාක්ස්ගේ ම වචනවලින් කිවහොත්, කම්කරු පන්තියට එක් වීමෙන් පමනි.

සටහන් :

1. ක්ලිෆ් ස්ලෝටර් සංස්කරනය: Trotskyism vs. Revisionism, Vol. 3 (සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය, වෙලුම 3, ), ලේඛන 19 සහ 21.

2. ක්ලිෆ් ස්ලෝටර් සංස්කරනය: Trotskyism vs. Revisionism, Vol. 4 (සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය, වෙලුම 4, ), ලේඛනය 5.

Share this article: