හලාවත සෙනුර ජලජීවී ව්‍යාපෘතියේ කම්කරුවෝ දරුනු සේවා කොන්දේසිවලට මුහුන දෙති

කපිල ප‍්‍රනාන්දු සහ බී. අල්විස් විසිනි , 2015 මාර්තු 14

ඉස්සන්, තිලාපි හා මොද්දු වැනි මිරිදිය මත්ස්‍ය වර්ග නිෂ්පාදනය කරන හලාවත තොඩුවාවේ පිහිටි සෙනුර ජලජීවී ව්‍යාපෘතිය නම්වූ සමාගමක් යටතේ රැකියාවේ නියුතු කම්කරුවන් දරුනු සේවා කොන්දේසිවලට මුහුන දී සිටී. ඊස්රායල ධනපතියෙකු 2013 වසරේ ලංකාවේ ආයෝජන මන්ඩලයේ වරප‍්‍රසාද ලබමින් අරඹා ඇති මෙම සමාගම කම්කරුවන් රුදුරු ලෙස සූරාකමින් අධික ලාභ ලබයි.

අක්කර 80 ක භූමි ප‍්‍රමානයක විහිදී ඇති අක්කර දෙකක් පමන විශාල පොකුනු 33කින් සමන්විත තොඩුවාව ගොවිපලට අමතරව ඊට කිලෝමීටර් 5 ක් පමන දුරින් හලාවත අඹකඳවිල තවත් ගොවිපලක් මෙම සමාගමට අයත්ව තිබේ. තොඩුවාව පොකුනු 33 සඳහා රැකියා කිරීමට මුලින් බඳවා ගෙන සිටි කම්කරුවන් 25 න් මේ වන විට සේවකයන් 7 ක් ප ාලකයන් විසින් අත්තනෝමතික ලෙස රැකියාවෙන් දොට්ට දමා ඇත. බඳවා ගැනීමේ හා සේවයෙන් පහ කිරීමේ කුමන හෝ පටිපාටියකින් හා රැකියා කොන්දේසි පිලිබඳ කුමන හෝ සහතිකයකින් තොරව පාලකයන් විසින් ඔවුන් දඩයමට ලක් කරමින් සූරාකන ආකාරය කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට විස්තර කලහ.

“ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බිම සුද්ද කර පොකුනු සකස් කිරීමේ දී සේවකයන් 6 ක් රුපියල් 1000 ක දෛනික වැටුපට මාස 6 ක් වැඩ කලා. ඉන් පසු 25 ක් බඳවා ගෙන තිලාපි මත්ස්‍ය වගාව ආරම්භ කලා. මත්ස්‍ය අස්වැන්න ධීවර සංස්ථාවටත් මාලූ වෙලඳපලවලටත් විකුනුවා. දැන් කම්කරුවන්ගේ මාසික වැටුප රුපියල් 30,000 යි. නමුත් පත්වීම් ලිපියක් නෑ. වැටුප් වාර්තාවක් නෑ. නිවාඩු කීයක් තියෙනවා ද, ලෙඩ නිවාඩු කීයක් තියෙනවා ද අපි දන්නේ නෑ. නිවාඩු ගන්න ගියාම පාලකයෝ රැකියාවෙන් ඉවත් කරන බවට අපිට තර්ජනය කරනවා. රැකියාව කරන කාලසීමාවක් නෑ. රෑ වෙනකන් වැඩ කලත් අතිකාලවලට ගෙවීමක් නෑ. එක කම්කරුවෙකුගේ අතේ මාලු කටුවක් ඇනිලා නරක් වෙලා ඇඟිලි පුරුකක් ශෛල්‍යකර්මයකින් ඉවත් කලා. ආයතනය කිසිම ගෙවීමක් කලේ නෑ. ව්‍යාපෘති භූමිය තුල විදුලි රැහැන් ප‍්‍රමිතියකින් තොරව ඇද ඇති නිසා විදුලි රැහැන් පයට පෑගී කම්කරුවෙක් පොකුනට වැටුනා. තවත් කම්කරුවෙකුට විදුලි සැර වැදීමෙන් ඇඟිලි 4 ක් වැඩ කරන්නේ නෑ. මේ විදුලි සැර වැදී වෛද්‍ය ප‍්‍රතිකාර ගත් එම කම්කරුවාට පාලකයන් වැටුප් රහිත නිවාඩු ලබා දීම හැර වෙනත් කිසිදු සහනයක් නොලැබුන” බව කම්කරුවෙක් පැවසුවේය.

“දවල් කෑම එක සමාගමෙන් දුන්නත් නිසි තැනක් නැති නිසා කන්නෙ ගස් යට ඉඳගන. වැසිකිලියට යන්න වතුර නෑ. උදේ හවස කහට තේ එකක් හකුරු කෑල්ලක් එක්ක දෙනවා.” තවත් කම්කරුවෙක් ප‍්‍රකාශ කලේ ය.

“මෝදා (බැරමොන්ඩි) යන මත්ස්‍යයො වගාවත් දැන් ආරම්භ කරලා තියෙනවා. ඔවුන් ට කෑමට දෙන්නේ විවිධ මසුන්ගේ කොටස් අමුවෙන් කැබලිවලට කපලා. ඒවා නරක් වී ජලය දූෂනය වී ඇති පොකුනුවලට බැහැල වැඩ කරන කම්කරුවන්ගේ ඉකිලි තුවාල වෙලා. ඉතා කුඩා ජීවින් වර්ගයක් ඇඟපුරා දුවනවා. මේ කිසිම දෙයකට ආරක්ෂිත උපකරන නෑ. කම්කරුවන් අධීක්ෂනය කරන තැනැත්තා ඉතා පරුෂ වචනයෙන් අපිට බැන වදිනවා. මෙවර ඉස්සන් වගාවේ ඉලක්කය වුනේ ටොන් 15 යි. කම්කරුවන් මරවල වැඩ අරගෙන ඉලක්කය සම්පුර්න කරගත්තා. එක්කෝටි හතලිස් ලක්ෂයක ඉස්සන් වික්කා. වියදම් ගියාම සමාගමට ලක්ෂ 80 ක ලාබයක් තිබුනා. ඉස්සන් එකවරක් ලොකු කර අස්වැන්න ගැනීමට යන්නේ මාස 4 යි. මේ ගමන සමාගමේ ඉලක්කය ටොන් 50 යි.” ඔහු පැවසුවේ ය.

මෑත දී රැකියාවෙන් දොට්ට දැමූ කම්කරුවෙක් වන නීල් තරංග සමාගමේ අත්තනෝමතික පිලිවෙත ගැන මෙසේ පැවසුවේ ය: “අධික වැඩ හේතුවෙන් මට උන රෝගය වැලඳුනා. වෛද්‍ය උපදෙස් මත දින දෙකක් විවේකීව ගත කොට පසු දින වැඩට වාර්තා කිරීමට යන විට දින දෙකක වැටුප් රහිතව නිවාඩු ගත්ත කියා මාව රැකියාවෙන් පහ කරලා.” විරැකියාව නිසා ගමෙන් හෝ ගමට පිටින් රක්ෂා වලට ගන්න ඕනෑ තරම් පිරිස් සිටීමත් රැකියාව අහිමි වීමේ අවදානමත් නිසා කම්කරුවන් රුදුරු සේවා කොන්දේසිවලට විරුද්ධව කතා කිරීමට බියෙන් සිටින බව ද ඔහු කීවේ ය.

අඹකඳවිල වත්තේ කම්කරුවන්ගේ මාසික වැටුප රුපියල් 20,000 කි. එම කම්කරුවන් තොඩුවාව ගොවිපලේ වැඩ ට යෙදවීම මගින් රුපියල් 10,000 ක වැටුප් කප්පාදුවක් කි‍්‍රයාවට දමා ලාබය තවත් ඉහල දමා ගැනීමට සමාගම පියවර ගෙන ඇත.

කඩොලාන පරිසර පද්ධතිය ආශි‍්‍රත කලපු තුල පොකුනු සකස් කර ඉස්සන් වගා කිරීමේ කර්මාන්තය 1980, 1990 දශකවල ලංකාවේ බටහිර හා වයඹ දිග වෙරලාශි‍්‍රතව ප‍්‍රචලිතව පැවතුනි. ප‍්‍රාදේශීයව සුලු ව්‍යාපාරිකයන් හා සමහර විශාල සමාගම් ඉස්සන් නිෂ්පාදනයෙන් අධික ලාබ උපයා ගත්තේ සැලැස්මකින් තොරව පරිසරය ද නොතකා කර්මාන්තය පතුරුවා ගනිමින් කම්කරුවන් සූරාකමිනි.

තොඩුවාවේ ඉස්සන් ව්‍යාපෘතිය එවකදී පවත්වාගෙන ගියේ ලිවර් බ‍්‍රදර්ස් නම් වූ ප‍්‍රචලිත බහු ජාතික සමාගම විසිනි. පොකුනු තුල භාවිතා කරන ලද දූෂිත ජලය නැවත ස්වභාවික ජල මාර්ගවලට මුදාහැරීම නිසාත් කඩොලාන ශාක විශාල ලෙස විනාශ කිරීම නිසාත් සෑදුනු “සුදු පුල්ලි” රෝගයෙන් ඉස්සන් කර්මාන්තය මුලුමනින්ම පාහේ බිඳ වැටුනි.

දශකයකට පසු යලි කර්මාන්තය පන ගන්වා ඇත්තේ පෙරටත් වඩා දරුනු කොන්දේසි යටතේ ය. ප‍්‍රදේශය පුරා අනෙකුත් පොකුනු තුල රැකියා කරන කම්කරුවන් අතර මධ්‍යම කඳුකරයේ සිට පැමිනි වතු කම්කරු තරුනයන් ද සැලකිය යුතු සංඛ්‍යාවක් සිටීම, රට පුරා පැතිර ඇති විරැකියාව මනාව පෙන්වයි. එමෙන් ම විරැකියාව තීව‍්‍ර වීම රුදුරු ශ‍්‍රම සූරා කෑම මගින් ලාබ තර කර ගැනීමට ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්ත කරුවන්ට ඉඩ සලසා ඇත.

කම්කරු නීති මගින් ලැබුන සීමිත රැකවරනය ද කම්කරුවන්ට අහිමි කරමින් අවශ්‍ය විට වැඩට ගැනීමේත් හිතුමතයට දොට්ට දැමීමේත් ධනපති සූරා කෑමේ ගෝලීය පිලිවෙත ලංකාව තුල ද ආන්ඩුව සහ ධනපති හාම්පුතුන් විසින් කි‍්‍රයාවට දමා ඇත.

ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීම සඳහා නව සම සමාජ පක්ෂය (නසසප) වැනි ව්‍යාජ වාම පක්ෂ, සිංහල ස්වෝතමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා වෘත්තීය සමිති නිලධරය 89-90 කාලපරිච්ඡේදයේ දී ඉටු කල ද්‍රෝහී කි‍්‍රයාකලාපය පිලිබඳ අත්දැකීම් අරගලයට ඇදෙන කම්කරුවන්ට තීරනාත්මකය.

ලිවර් බ‍්‍රදර්ස් ඉස්සන් ගොවිපලේ කම්කරුවන් සංවිධානය වී සිටියේ නසසපට සම්බන්ධ වානිජ හා කාර්මික සේවක සංගමය තුලය. සමාගමට වාසිදායක සාමුහික ගිවිසුම් මගින් කම්කරුවන් මත අඩු වැටුප් සහ රුදුරු සේවා කොන්දේසි පවත්වාගෙන යාමට හාම්පුතුන්ට මෙම සමිති නායකයෝ ඉඩසලසා දුන්හ. අවසානයේ ඉස්සන් කර්මාන්තය බංකොලොත් වීමත් සමග සොච්චම් වන්දියකට යටත් කර කම්කරුවන්ගේ රැකියා අහිමි කිරීමේ දී ඊට එරෙහිව මතු වූ කම්කරු විරෝධය සමිති නායකයන් විසින් යටපත් කරන ලදී.

අනෙක් අතින්, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සන්නද්ධ ෆැසිස්ට් මැර බලකායන් විසින් කම්කරු පන්තිය දුර්මුඛ කරනු ලැබූ හ. ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව 89-90 කාල පරිච්ඡේදයේ “මව් බිම” රැකීමේ නමින් වර්ගවාදී හා දක්ෂිනාංශික ව්‍යාපාරයක් ගෙන ගිය ජවිපෙ රාජ්‍ය ත‍්‍රස්තයට සමගාමී ව ෆැසිස්ට් ත‍්‍රස්ත ව්‍යාපාරයක් කම්කරු පන්තියට එරෙහිව මුදා හලේ ය.

මෙම ත‍්‍රස්ත ව්‍යාපාරයට එරෙහිව කම්කරු පන්තිය එකමුතු කිරීමට එක්සත් පෙරමුනක් සඳහා ද ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත ද සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පෙර ගමන්කරු වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ලංකාව තුලත් ජාත්‍යන්තරවත් ගෙන ගිය අරගලය එහිදී තීරානාත්මක විය. එම අරගලයට විරුද්ධ වූ නසසප, ලංකා සම සමාජ පක්ෂය හා ශී‍්‍ර ලංකාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය ධනපති රාජ්‍යය සමග පෙල ගැසුනි.

මෙම අරගලයට සම්බන්ධිත ව, තොඩුවාවේ ලිවර් බ‍්‍රදර්ස්, මාදම්පේ පිහිටි හේලීස් අනුබද්ධ හේකාබ් ආයතනයේ, මාරවිල සමරසිංහ කොහු කර්මාන්ත ශාලාවේ ආදී වශයෙන් පුපුරා ගිය කම්කරු අරගල වලට මැදිහත් වෙමින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුලුගැන්වීමට විකොස සටන් කලේ ය. ලිවර් බ‍්‍රදර්ස් කම්කරුවන්ගේ රැකියා රැක ගැනීමේ අරගලයේ දී කි‍්‍රයාශීලීව ඊට මැදිහත් වූ විකොස සාමාජිකයෙකු වූ තොඩුවාවේ ගේ‍්‍රෂන් ගීකියනගේ 1989 ජවිපෙ සන්නද්ධ කල්ලි විසින් ඝාතනය කලේ මෙම අරගලය මැදදී ය.

1989 කාලපරිච්ඡේදය පිලිබඳව සිය ජීවමාන අත්දැකීම් පැහැදිලි කල කම්කරුවෙක්: “අපි ඒ දිනවලත් අරගල කලේ රැකියාව ස්ථීර කරන ලෙස ඉල්ලා. විවිධ වැඩ කොන්ත‍්‍රාත්කරුවන්ට දීලා තිබුනා. මම එක් කොන්ත‍්‍රාත්කරුවෙක් යටතේ දවසට රුපියල් 16.50 ට වැඩ කලා. තවත් වැඩක් සඳහා කොන්ත‍්‍රාත්කරුවෙක් රුපියල් 30 දුන්නා. මේ කොන්ත‍්‍රාත්කරුවන්ට ලිවර් බ‍්‍රදර්ස් එකෙන් රුපියල් 60 ලැබුනා. නමුත් අපිට ගෙව්වේ ඒතරම් අඩු මුදලක්.

“මට මතකයි විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සිය ධජය සහිතව අපේ රැකියා ස්ථීර කරන්න කියලා පෙලපාලි ගියා. ඒවට සෑහෙන කම්කරුවන් සහ අවට ජනතාව සම්බන්ධ වුනා. ඊට දින කිහිපයකට පසුව ලිවර් බ‍්‍රදර්ස් ගේට්ටුව අසලට පැමිනි ජවිපෙ තුවක්කු කරුවන් ස්ට‍්‍රයික් කෙරුවොත් වෙඩි තියෙනවා කියලා තර්ජන කෙරුවා. ඊට සති දෙකකට පසුව තමයි විකොස සාමාජික ගේ‍්‍රෂන් ගීකියනගේ සහෝදරයාව ඝාතනය කෙරුවේ. මේ සිද්ධි අපිට ඒ දවස්වල අරගලය ඉදිරියට ගෙන යෑමට විශාල ලෙස බලපෑවා. ඊට පස්සේ කොම්පැනිය ඉස්සන්ට වැලඳුන සුදු පුල්ලි රෝගයත් දඩමීමා කරගෙන කම්කරුවන්ට සොච්චම් වන්දි දීලා කොම්පැනිය වහලා දැම්මා.

තොඩුවාවේ සෙනුර කම්කරුවන් මුහුන දෙන රුදුරු සේවා කොන්දේසි ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදය තුල ලාබ රැක ගැනීම සඳහා ධනපති සමාගම් ධනපති ආන්ඩුවල රැකවරනය ඇතිව කි‍්‍රයාවට දමන කප්පාදු පිලිවෙත් වල කොටසකි. ශ‍්‍රී ලංකාවේ පමනක් නොව, පොදුවේ සෑම රටක ම කම්කරුවෝ මේ සමාන ප‍්‍රහාරවලට මුහුන දෙති.

ධනපති ආන්ඩුවලට ආයාචනය කිරීමේ හා හාම්පුතුන්ට බල පෑම් දැමීමේ නිස්සාර උද්ඝෝෂන මගින් කම්කරු පන්තියේ කවර කොටසකට වත් සිය රැකියා හා යහපත් සේවා කොන්දේසි පිලිබඳ අයිතීන් දිනා ගත නොහැක. ආන්ඩුවේ සහ ධනපති ව්‍යාපාරිකයන්ගේ ඍජු උපකරන ලෙස කි‍්‍රයාත්මක වන ව්‍යාජ වාම සංවිධාන, වෘත්තීය සමිති හා ආගමික සංස්ථාපිතයන් කම්කරුවන් නොමග යැවීමේ මැදිහත්වීමක යෙදී සිටිති.

එහෙයින් ස්ථීර රැකියා, ජීවන වියදමට සරිලන වැටුපක් සහ යහපත් සේවා කොන්දේසි සඳහා වූ තොඩුවාවේ සෙනුර ජලජීවී කම්කරුවන්ගේ අරගලය ලාබ පද්ධතියට එරෙහිව කම්කරු පන්තිය විසින් කලයුතු දේශපාලන අරගලය සමග බැඳී ඇත. ධනපති ලාබ පද්ධතියේ ආරක්ෂක උපකරනය වන ධනපති පන්ති පාලනය පෙරලා දමා සමාජවාදී වැඩ පිලිවෙලක් කි‍්‍රයාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන එන දේශපාලන අරගලයකට කැපවූ ධීවරයන් හා ගම්බද දුගී ගොවීන් ඇතුලු පීඩිත ජනකන්ඩායම් තමන් වටා රැලි කර ගත් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුලුගන්වා ගැනීමට සම්බන්ධවීම එහි ප‍්‍රාථමික හා අත්‍යාවශ්‍ය පියවර වන්නේ ය. සමාජවාදී සමානතා පක්ෂය මෙම වැඩපිලිවෙල ඉදිරිපත් කරයි.

Share this article: