ලංකාව තමන් වෙත හරවා ගැනීමට උදවුවීම ගැන ඇමරිකානු රාජ්‍ය ලේකම් මානව හිමිකම් කවුන්සිලය පසසයි

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2015 මාර්තු 12

මාර්තු මස දෙවන දින ජිනීවා වල පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (යූඑන්එච්ආර්සී) 28 වන සැසියේ ඉහල මට්ටමේ හමුව අමතමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශී‍්‍ර ලංකාව ප‍්‍රශංසාවට ලක් කලේ යූඑන්එච්ආර්සී විසින් ලොව පුරා දියත් කර ඇති මානව හිමිකම් සුරක්ෂිත කීරීමේ වැඩපිලිවෙලෙහි සාර්ථකත්වය උකහාගත් රටක් ලෙස නම් කරමිනි. ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ කැපී පෙනෙන සාර්ථකත්වය අතරට පැමින ඇති බවත් ලංකාව තුල දැන් සැබෑ වෙනසකට අවස්ථාවන් පවතින බවත් එම කතාවේදී කෙරී පවසා සිටියේය.

කෙරීගේ ප‍්‍රකාශ මුලසිට අග දක්වා කුහකත්වයෙන්, කෛරාටිකකමෙන් පිරී ගිය උපාසක බලල් කතාවකි. මානව අයිතීන් ගැන බින්දු මාත‍්‍ර කැක්කුමක් හෝ ඇමරිකාවට නැතිබව එහි පසුගිය දශක දෙකේ ඉතිහාසය වුව සාක්ෂි දරයි.

යූඑන්එච්ආර්සීයේ “සාර්ථකත්වය” එලෙස පැසසුමට ලක්වුයේ එක්සත් ජනපදය පසුගිය වතාවල් ගනනාවකම ලංකාවේ යුද අපරාධ ගැන පරීක්ෂා කල යුතුයයි එතුල යෝජනා ඉදිරිපත්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දැමීමේ වැඩපිලිවෙල පල දැරීම නිසයි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව ගෙන ගිය යුද්ධයට මුලුමනින් සහාය දුන් එක්සත් ජනපදය කුහක ලෙස එහිදී මානව අයිතීන් කඩකිරීම් හුවා දැක්වීමට ඉදිරිපත්වූයේ රාජපක්ෂ ආන්ඩුව චීනය සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගන්නා තතු තුලයි. බෙයිජිනය ලංකාවට යුද අවි හා මුදල් දුන්නේය.

චීනයේ ආර්ථික බලවත් වීම යටපත් කර තම බල ආධිපත්‍යයට යටත් කර ගැනීමට එරට රාජ්‍ය තාන්ති‍්‍රකව හුදකලා කිරීමට හා මිලිටරි වටලෑමකට කි‍්‍රයා කරන ඇමරිකාව ලංකාව හෝ වෙනත් රටක් බෙයිජිනය සමග සම්බන්ධකම් ගොඩ නගා ගැනීමට ඉඳුරාම සතුරුය. රාජපක්ෂ චීනය හා ඇමරිකාව අතර තුලනය වීමට දැරූ තැතට වොෂින්ටනය මුලුමනින්ම විරුද්ධ විය. යූඑන්එච්ආර්සී තුලින් යෙදු පීඩනය ද ඇතුලු බලපෑම මගින් ලංකාවේ පාලක ප‍්‍රභූව තුලින් කොටසක් නමාගෙන රාජපක්ෂ ආන්ඩුව ඉවත් කර ඇමරිකානු ගැති එක්සත් ජාතික පක්ෂයේ (එජාප) හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ සහයෙන් මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපති කර ගැනීමට හැකිවීම හා ලංකාවේ විදෙස් පිලිවෙත තමන්ට ගති ආකාරයට වෙනස් කර ගැනීමට හැකිවීම ගැන කෙරී පී‍්‍රතියෙන් පිනා යාම පුදුමයක් නොවේ.

ලංකාවේ අලුත් ආන්ඩුවේ ඉල්ලීම අනුව මානව හිමිකම් පිලිබඳ එජා මහකොමසාරිස් සෙයිඩ් රාඩ් අල්-හුසේන්ගේ නිර්දේශය මත ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳ සිදුකෙරුනු ජාත්‍යන්තර විමර්ශනයේ වාර්තාව නිකුත් කිරීම මාර්තු සිට සැප්තැම්බර් තෙක් පමාකිරීමට තීරනය කලේය. එම තීරනයට අල්හුසෙන් එලඹුනේ ලංකාවේ විදේශ ඇමති සමරවීර, රාජ්‍ය ලේකම් කෙරී හමුවී වාර්තාව කල් දැමීමට ඔහුගේ සහය ලබා ගැනීමෙන් පසුය. තමන්ගේ සංඥාවට මානව හිමිකම් මහකොමසාරිස් කන්දීම කෙරීගේ සතුට තවත් වැඩි කලාට සැක නැත.

කෙරීගේ කුහක කතාවේදී ලෝකය පුරා මානව හිමිකම් සුරැකීම අරබයා ඇමරිකාවේ “අකලංක උත්සාහය” මෙලෙස උත්කර්ෂයට නැගීය. “මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වෙනත් කිසිඳු රටක් ඇමරිකාව තරම් ඇප කැප වී වැඩ කර නැහැ”

දැන් මෙවැනි ප‍්‍රකාශයන් කරන ඇමරිකාව ලංකාවේ යුද්ධයට මුලුමනින්ම පිටුබලය දුන්නා පමනක් නොව සියලු ආකාරයේ මානව හිමිකම් උල්ලංඝනයට වගකීම දරයි. ඉරාකය හා ඇෆ්ගනිස්ථානය තුල සාපරාධී ලෙස මුදාහල ඇමරිකානු ප‍්‍රහාරවලදී මිලියන ගනන් සාමාන්‍ය ජනතාව අමු අමුවේ ඝාතනය කෙරුනි. ලිබියාව හා සිරියාව තුල පාලන තන්ත‍්‍ර මාරුවලට පිටුබලය දුන් ඔබාමා පාලනාධිකාරය ඉස්ලාමික මූලධර්මවාදීන් සන්නද්ධ කිරීම හේතුවෙන් සාපරාධී කි‍්‍රයාවන් තවදුරටත් වර්ධනය විය.

ඇමරිකාව යූඑන්එච්ආර්සීය යොදා ගන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිය අධිරාජ්‍යවාදී උවමනාවන් සඳහා උපාමරු දමා ගැනීමට පාවිච්චි කරන සංවිධානයක් ලෙසය. කෙරීගේ පහත ප‍්‍රකාශය ඒ සඳහා තවත් කදිම උදාහරනයකි. “සැබෑ වෙනසකට ඉඩ ඇති බුරුමය සහ ශී‍්‍ර ලංකාව වැනි රටවල නායකයින් ඔවුන්ගේ පොරොන්දු සහ කැපවීම් වෙත ලඟාවීමට දිරිමත් කරන මානව හිමිකම් කවුන්සිලයේ අත්‍යාවශ්‍යක භූමිකාව ගැන සිතා බලන්න.”

2011-2012 වසරවල බුරුමය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිව්‍යුහගත කිරීම් මුවාවෙන් ඔවුන් ක‍්‍රියාත්මක කල කූට උපාය, මානව හිමිකම් කඩවීම් යොදාගෙන වෙනත් රටවල් වලට කල අතපෙවීම් සඳහා උදාහරන ගොන්නක් අතුරෙන් ආසන්නතම එකක් හැටියට පෙන්වාදිය හැකිය. බුරුමය ආර්ථික හා මිලිටරිමය වශයෙන් චීනය සමග දැවැන්ත සබඳතා ගොඩනගාගෙන සිටි රාජ්‍යයකි. බුරුමය “මැර රාජ්‍යක්” ලෙසට හංවඩු ගසමින් එකල පැවති බුරුම මිලිටරි ජුන්ටා පාලනයට ආර්ථික සම්බාධක පනවමින් එය හුදකලා කිරීමට මැදිහත්වූ ඇමරිකාව එහි විදෙස් ප‍්‍රතිපත්තියේ දිශානතිය ඉතා නාටකාකාර ලෙස චීනයෙන් ඉවතට හරවා තමන් වෙත නතුකර ගැනීමට සමත් විය. යූඑන්එච්ආර්සීය එහිදී යොදා ගත් එක් වේදිකාවකි. ජුන්ටාව චීනයෙන් ඉවත්වීම පටන් ගැනීමත් සමග එය ඇමරිකාව විසින් මැර රාජ්‍යයක සිට “ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා මාරුවන” රටක් බවට පරිවර්තනය කෙරින.

“ජාත්‍යන්තර ප‍්‍රජාව මෙම මානව හිමිකම් කඩවීම් තේරුම්ගන්නා තරමටම ඔවුන් එම වැරදි කරන්නන්ට මහත් පීඩනයක් එල්ල කරනවා. ක‍්‍රමයෙන් එම පීඩනය ජිවිත සුරක්ෂිත කරන, නිදහස සහතික කරන ස්වරූපයකට පරිවර්තනය වනවා.” යයි පැවසූ කෙරී මානව හිමිකම් කවුන්සිලයේ කාර්යභාරය මෙසේ උපාසක බනක් ද දෙසා බෑවේය: “ලෝකයේ සෑම කෙලවරකම මිනිසුන්ගෙන් මෙලෙස ඔවුන්ට හිමි අයිතීන් උදුරාගන්නා මෙවන් කාලයකදී කවුන්සිලය එය නිර්මානය කෙරී ඇති ප‍්‍රමිතීන් ලඟා කරගත යුතුයි.” තේරුම නම් මානව අයිතීන් උල්ලංඝනය කිරීම් ඇමරිකාව විසින් දිගටම ගසාකන බවට අනෙකුත් රටවලට අනතුරු ඇඟවීම සහ යූඑන්එච්ආර්සීය ඒ සඳහා වේදිකාවක් ලෙස දිගටම යොදා ගන්නා බවයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ බලයෙන් පහ කොට ඇමරිකාවේද සහය ඇතිව පිහිටුවා ගන්නා ලද සිරිසේන ආන්ඩුව රඳා ඇත්තේ හතර අතට අදින බලවේග මතය. දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය, සිංහල වර්ගෝත්තමවාදී ජාතික හෙල උරුමය ආදී හවුලක් ලෙස පිහිටුවා ඇති මේ ආන්ඩුව දෙමල ධනේශ්වරය නියෝජනය කරන දෙමල ජාතික සන්ධානය, වර්ගවාදයේ ගිලුනු ජනතා විමුක්ති පෙරමුන හා ව්‍යාජ වම්මුන්ගේ කර උඩ ලැග සිටී.

කෙරීට පසුව මානව හිමිකම් කවුන්සිලයට කතා කල ලංකාවේ විදේශ ඇමති මංගල සමරවීර “ජාත්‍යන්තර ප‍්‍රමිතියකට” ලංකාවේ මානව අයිතීන් කඩවීම සොයා බලන බව කීවේය. ආන්ඩුවේ අර්බුදය ගැන ද ඔහු මෙසේ ප‍්‍රකාශ කලේය: “පසුගිය දින 48ක් බලයේ සිටිමින් ආන්ඩුව බොහෝ දේවල් සිදු කලත් නිලධාරිවාදී හිර කිරීම්, පසුගිය ආන්ඩුවේ භාවිතා නිසා කාවැදී තිබෙන ආකල්ප හා අන්තවාදීන් ආන්ඩුවේ මූලිකත්වය ගැනීම් පීලි පැන්වීමට දරන උත්සාහය ආදී බාධක වලට ඊලඟ මැතිවරනයට යනතුරු මුහුන දී සිටී.”

මානව අයිතීන් රැකීමක් ඇමෙරිකානු ආන්ඩුවෙන් බලා පොරොත්තුවීම ප‍්‍රතිගාමී මිථ්‍යාවක් මෙන්ම, රාජපක්ෂ පාලන තන්ත‍්‍රය ඇතුලු සියලු ආන්ඩුවල යුද අපරාධ වලට වගකිවයුත්තන් පෙල ගැසී සිටින ලංකාවේ ආන්ඩුවෙන් අපේක්ෂා කිරීම ද මුලාවකි. දැන් සිදුවන්නේ ඇමරිකාවේ යුද කරත්තයට ලංකාව කෙලින්ම ගැට ගැසීමේ වැඩ කටයුතුය.

Share this article: