සමිති නායකයන් පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ වැටුප් අරගලය ගබ්සා කිරීමේ තැතක

කපිල ප‍්‍රනාන්දු සහ බී. අල්විස් විසිනි, 2015 මාර්තු 2

උද්ඝෝෂනයට සහභාගී වූ කම්කරුවන්

පුද්ගලික අංශයේ මාසික වැටුප් රුපියල් 2500 න් වැඩි කිරීමට නීති සම්පාදනය කරන ලෙස ඉල්ලා නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවක සංගමය (නිවෙකපොසේස) හා ජනතා විමුක්ති පෙරමුනේ පිටුබලය ලබන අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස) පෙබරවාරි 25 දා කටුනායක නිදහස් වෙලඳ කලාපය ඉදිරිපිට ප්‍රෝඩාකාරී විරෝධතාවයක් සංවිධානය කර තිබුනි. මෙම උද්ඝෝෂනයේ ප‍්‍රකාශිත අරමුන වුයේ පෙබරවාරි 7 වෙනිදා ඉදිරිපත් කල අතුරු අයවැයේ දී පුද්ගලික අංශයට රුපියල් 2500 වැටුප් වැඩිකරන ලෙස ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ඇමති කල ඉල්ලීම නීතිගත කරන ලෙස ආන්ඩුවට බල කිරීමය.

කලාපයේ සේවයේ නියුතු හතලිස් දහසකට වැඩි කම්කරුවන්ගෙන් 1000 ක පමන සුලු පිරිසක් පමනක් උද්ඝෝෂනයට සහභාගී වීමෙන් පෙන්නුම් කලේ වැටුප් ඉහල දමා ගැනීම සඳහා කම්කරුවන්ට සටන් කිරීමේ අවශ්‍යතාවයක් නැති බව නොව, ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ උවමනාකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති කෙරෙහි ඔවුන්ට පවතින අවිශ්වාසය සහ ඒ නිසා ම සමිතිවල සාමාජිකත්වය දිය වී ගොස් ඇති ආකාරයයි.

සවස 5 ට ආරම්භ කල විරෝධතාවය කි.මී. භාගයක් පමන කටුනායක ගම්පහ මාර්ගයේ පාගමනේ ගොස් නැවත කලාපය ඉදිරිපිටට පැමිනි අතර විරෝධතාවය ධනපති හාම්පුතුන්ට පාඩුවක් ගෙන නොදෙන්නක් කිරීමට සමිති නායකයන් වග බලා ගෙන තිබුනි. රැස්ව සිටි කම්කරුවන් ඉදිරියේ බොරු සටන්කාමීත්වයක් ප‍්‍රදර්ශනය කරමින් නිවෙකපොසේස නායක ඇන්තනි මාකස් මෙසේ පැවසුවේය: “බදාදා දිනය සමාන්‍යයෙන් අතිකාල නැති දවස. ඒ නිසා අපි බදාදා ම විරෝධතාවය පැවත්වීමට තීන්දු කලේ කාටත් බාධාවක් නොවන්නයි. ඊට බාධා කිරීමට සමහර කර්මාන්ත ශාලා හිමියෝ අදත් අතිකාල දමලා තියෙනවා. අපිට බාධා කරන්න ආවොත් අපි දවසක්ම වර්ජනය කරනවා.”

සමිති නායකයන් විසින් සිරිසේන ආන්ඩුවේ අතුරු අයවැයට පෙර පුද්ගලික අංශය සඳහා රුපියල් 10,000 ක වැටුප් වැඩි කීරීමක් ඉල්ලා සිටි අතර ආන්ඩුව එම ඉල්ලීම කුනුකුඩයට දැමීමෙන් පසු දැන් අයවැයෙන් පොරොන්දු වූ රුපියල් 2500 වැටුප් වැඩි වීම නීති ගත කරන ලෙස ආන්ඩුවට බලකරන ප්‍රෝඩාකාරී උද්ඝෝෂනයක් පටන් ගෙන ඇත. දරිද්‍රතා මට්ටමේ අවම වැටුප් ලබන කම්කරුවන් ගනයට වැටෙන නිවෙක කම්කරුවන්ගේ නිල අවම වැටුප රුපියල් 6,500 කි. ජීවන වියදම පිම්මේ ඉහල යන තත්වයක් තුල ඊට සරිලන වැටුප් වැඩි වීමක් ගැන කම්කරුවන් අතර කරන කවර හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්ඡාවකින් තොර ව ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයට සමිති නායකයන් විසින් වැටුප් ඉල්ලීම් කප්පාදු කර ඇත.

එමෙන් ම අතුරු අයවැයේ දී ආන්ඩුව පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ කිසිදු වැටුප් වැඩි කිරීමක් සිදු කලේ නැත. එහි දී මුදල් ඇමති රවී කරුනානායක පැවසුවේ වැටුප් වැඩිකරන ලෙස පුද්ගලික සමාගම්වලට “බලකලහොත් සමාගම් වැසී යාමට ඉඩ ඇති” බවයි. ඔහු එහිදී කලේ කම්කරුවන්ගේ ඇස්වලට වැලි ගැසීම සඳහා රුපියල් 2,500 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන්නැයි මහා ව්‍යාපාරිකයන්ට හිස් ආයාචනයක් කිරීමක් පමනි. රාජ්‍ය අංශයේ කම්කරුවන්ට රුපියල් 10,000 වැටුප් වැඩි වීමක් දෙන බවට සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂය මැතිවරනයට පෙර පොරොන්දු වුව ද එය මූලික වැටුපට එකතු නොවන දීමනාවක් බවට දැන් සිඳුවා ඇත.

ආන්ඩුවේ ආයාචනය දැනටමත් ප‍්‍රතික්ෂේප කර ඇති ශ‍්‍රී ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය, පුද්ගලික අංශයට සම්බන්ධිත පඩි පාලක සභාවල කෙරන සාකච්ඡා වලින් පසුව වැටුප් වැඩි කිරීම් ගැන සලකා බලන බව ප‍්‍රකාශ කර ඇත. පුද්ගලික අංශයේ බොහොමයක් කම්හල් මෙම පඩිපාලක සභා වලට ඇතුලත් නොවේ. කෙසේ වුවත් හාම්පුතුන්ගේ සම්මේලනයේ ප‍්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ජීවන වියදමට සරිලන වැටුපක් තබා රුපියල් 2,500 ඉල්ලීම පවා දීමට ඔවුන් සුදානම් නැති බව ය.

උද්ඝෝෂනයට සහභාගී වූ කම්කරුවන් ඇමතූ මාකස් සහ අසසේස නායක වසන්ත සමරසිංහ බොරු සටන්කාමිත්වයක් මවා පාමින්, මාර්තු මස 10 දා වැටුපට 2500 ක් වැඩි කොට නොතිබුනහොත් පුද්ගලික අංශයේ සියලූ වෘත්තීය සමිති මෙහෙයවා ගනිමින් මාර්තු 12 දා “දැවැන්ත විරෝධතාවයක්” පවත්වන බවට වාචාල කතා පැවැත්වූහ.

“ජනවාරි 08 දා රාජපක්ෂ ගෙදර යැවීමට කම්කරු ජනතාව ඡන්දය පාවිච්චි කල ආකාරයට 2500 වැටුප් වැඩි නො කොලොත් මේ ආන්ඩුවත් ගෙදර යවනවා” යයි සමරසිංහ කීවේ ය. ජවිපෙ සිරිසේන ජනාධිපතිත්වය දරන දක්ෂිනාංශික එජාප ආන්ඩුව බලයට ගෙන ඒමට දර දිය ඇද්ද සංවිධාන වලින් එකකි. දැන් ආන්ඩුවේ දින සියයේ වැඩ පිලිවෙලට සහය දෙමින් හා ආන්ඩුවට උපදෙස් දෙන ඊනියා ජාතික විධායක සභාවට ගාල් වී සිටී.

ජීවන වියදමට සරිලන වැටුපක් සඳහා රාජ්‍ය හා පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කරනු වෙනුවට කම්කරුවන් භේද කිරීමට මෙම සමිති නායකයෝ දැනුවත් ව ම ක‍්‍රියාත්මක වෙති. සමිති නායකයන් විසින් “රජයේ අයට 30,000 යි. අපේ අයට 10,000 යි. අපි හැමෝම කන්නේ බොන්නේ, එකම මිලට වෙලඳ පොලෙන්.” වැනි සටන් පාඨ උද්ඝෝෂනය සඳහා යොදා ගැනීම ඊට දෙස් දෙයි.

එමෙන් ම විරෝධතාවට සහභාගී නොවී තම නේවාසිකාගාර කරා ගමන් ගත් කම්කරු කාන්තාවන්ට “නිවට නොවී අපිත් එක්ක එකතු වෙන්න” යයි හඬ තැලීමෙන් හා කොම්පැනි මගින් සපයන ප‍්‍රවාහන පහසුකම් යටතේ නවාතැන් වෙත ගිය කම්කරුවන්ට හු කියමින් අපහාස කිරීමෙන් කම්කරුවන් කෙරෙහි සමිති නායකයන් දක්වන තුච්ඡ පිලිකුල හා එක ම ක්ෂේත‍්‍රයේ කම්කරුවන් භේද කිරීමට ඔවුන් කටයුතු කරන ආකාරය මැනවින් ප‍්‍රදර්ශනය විය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) අදහස් දැක් වු කම්කරුවන් ආන්ඩුවේ පොරොන්දු ගැන විශ්වාසයක් නැති බවත් ඉහල යන ජීවන වියදම හමුවේ තමන් මුහුන දී සිටින දුෂ්කර කොන්දේසිත් පැහැදිලි කලහ.

එම්. තුෂාරි

වයස අවුරුදු 39 ක් වන මාතලේ එම්. තුෂාරි, මයිකල් ඈන්ජලෝ සපත්තු කර්මාන්ත ශාලාවේ අවු 12 ක් පුරා රැකියාවේ නිරතව සිටින්නීය. “මට පාසල් යන වයසේ දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඒ අයගේ අධ්‍යාපන කටයුතු කරන්න විතරක් රුපියල් 3000 ක් විතර මාසයකට යනවා. ලමයි දෙන්නා මගේ අම්මයි තාත්තයි ගාව ඉන්නේ. මට මාසයකට ගෙදරට යවන්න පුලුවන් වෙන්නේ රුපියල් 6000 ක් විතරයි. මොකද මෙහෙ වියදමත් වැඩියි. අපේ පඩිය ගොඩක් අඩුයි. මගේ මූලික පඩිය රුපියල් 17,500 යි. කෑමටයි බෝඩිමටයි මාසයකට රුපියල් 7000 ක් යනවා. මගේ දෙමාපියන්ට දැන් වයසයි. දෙන්නටම 60 ට වැඩියි. දුප්පතුන්ගේ අය-වැයක් කිව්වට අපේ ජීවන වියදම අඩු වෙලා නෑ. මට මේ කිසිම ආන්ඩුවක් ගැන විශ්වාසයක් නෑ. මගේ ජීවිත කාලය තුල කම්කරුවො ගැන බලපු ආන්ඩු තිබුනේ නෑ. මේවා පැක්ටරි හිමියන්ගේ ආන්ඩු තමා. අපිට රුපියල් 2500 ක වැටුප් වැඩි වීමක් හොඳටම මදි. ඒකත් දෙනකන් විශ්වාස නෑ. දුප්පතුන්ගේ ආන්ඩු නම් අපිට මීට වඩා වැටුප් වැඩි කරන්න එපෑ.” යයි ඇය ප‍්‍රකාශ කලා ය.

ජැකට් සාදන එස්ටීඑස් කර්මාන්ත ශාලාවේ රැකියාව කරන දමිල භාෂාව කථා කරන නුවරඑලියේ කාන්තා කම්කරුවන් දෙදෙනෙක් කියා සිටියේ තමන්ට වතුකරයේ රැකියාවක් හෝ සොයා ගැනීම දුෂ්කර නිසා නිවෙක රැකියාවකට පැමිනි බවයි.

එස්ටීඑස් රැකියා කරන තවත් සේවිකාවන් දෙදෙනෙක් කියා සිටියේ පැක්ටරිය මගින් දිවා ආහාරය රුපියල් 8.50 ට ලබා දෙන නිසා ආහාර සඳහා යන වියදම අඩු නමුත් “ආහාර වියදම් හා බෝඩිම සඳහා මසකට රුපියල් 5000 ට වැඩියෙන් වැය වන තත්වයක් තුල රුපියල් 2500 ක වැටුප් වැඩිවීමක් කොහෙත්ම ප‍්‍රමානවත් නැති” බවය.

ස්ටාර් ගාමන්ට් හි වසර තුන හමාරක් රැකියාවේ යෙදී සිටින තවත් දෙදරු මවක් ප‍්‍රකාශ කලේ, “මගේ මූලික වැටුප රුපියල් 13000 යි. අතිකාල සමග රුපියල් 17000 ක් විතර ගත්තැකි. ඒත් මේ දවස්වල අතිකාල නෑ. ඇනවුම් අඩුයි. මම වසර 12 ක් ජා-ඇල ලොස්ටර් කියලා ටයර් කොම්පැනියක බර වැඩ කලා. ඒකේ 35000 ක් ගෙව්වා. නමුත් කාන්තාවකට ඒ වැඩ දිගටම කරන්න බෑ. ඒ නිසයි ඇඟලුම්වලට ආවේ. මට උසස් පෙල ඉගෙන ගන්න පුතෙක් ඉන්නවා. දෙන්නගේ අධ්‍යාපනයට විතරක් රුපියල් 6000 ට වැඩිය යනවා. දෙනවා කියන මේ සොච්චම් සහන ඊලඟ මැතිවරනය වෙනකන් විතරයි”.

සමිති නායකයන් කරන්නේ අමූලික ප්‍රෝඩාවක් බව හිතන මතන කම්කරුවන්ට තේරුම් ගැනීමට අපහසු නැත. මෙම සමිති නායකයෝ පසුගිය සෑම අය-වැයකටම රුපියල් 10,000 කින් හෝ ඊටත් වැඩි ගනන්වලින් පුද්ගලික අංශයේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් කම්කරුවන් මුලා කරන පුහු උද්ඝෝෂනවල නිරතව සිටි අතර පසුව ඒවා ඇත හැර දැමූහ.

එපමනක් නොව 2008 දී පුපුරා ගිය ලෝක ධනවාදයේ අවපාතයත් සමග ශ‍්‍රී ලංකාවේ කර්මාන්තකරුවන්ට සහන සැලසීම සඳහා රාජපක්ෂ ආන්ඩුව ක‍්‍රියාත්මක කල, ආන්ඩුව, හාම්පුතුන් හා වෘත්තීය සමිති ඒකාබද්ධ කල කම්කරු උපදේශක සභාවට සම්බන්ධ වී කර්මාන්තකරුවන්ට වාසිදායක ලෙස කම්කරුවන් දොට්ට දැමීමට, සේවා කොන්දේසි කප්පාදු කිරීමට මොවුහු සහාය දුන් හ.

ලෝක ධනවාදයේ අවපාතය වඩ වඩා ගැඹුරු වෙමින් පවතින තතු තුල ලෝකයේ සියලුම පාලක පන්තීන් සහ ධනපති ව්‍යාපාරිකයන් යොමු වී සිටින්නේ කම්කරු පන්තියට සහන සැලසීමට නො ව, ඔවුන් පසුගිය සියවස පුරාම දුෂ්කර අරගලවලින් දිනා ගත් සියලු සහන සහ අයිතීන් කප්පාදු කිරීමටයි. රාජපක්ෂ ආන්ඩුවට මෙන් ම එජාප ආන්ඩුවට ද මෙම අර්බුදය තුල බල කෙරී ඇත්තේ කම්කරු පන්තියට එරෙහිව ආර්ථික හා සමාජ කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දැමීමටය. දැනටමත් එජාප ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන හතරක නයක් ඉල්ලීම මගින් පෙන්නුම් කෙරෙන්නේ ශ‍්‍රී ලංකාවේ පාලක පන්තිය මුහුන දී සිටින අර්බුදයේ ගැඹුරයි.

ලෝක වෙලඳ පොලේ තරගය උග‍්‍රවීම සහ අපනයන ආදායම පහත වැටීම නිසා අර්බුදයට මුහුන දී සිටින කර්මාන්ත කරුවන් සිය ලාභය රැක ගැනීමට උත්සාහ කරන්නේ ද කම්කරුවන්ගේ වැටුප්, රැකියා සහ සේවා කොන්දේසි කප්පාදු කිරීමෙනි. එහෙයින් ආන්ඩුවට හෝ ධනපති හාම්පුතුන්ට බල කරන පුහු උද්ඝෝෂන මගින් කම්කරුවන්ට වැටුප් ඉල්ලීම් දිනා ගත නොහැකිය. සමිති නායකයන් කම්කරුවන්ගෙන් වසන් කරන්නේ මෙම ලෝක වෛෂයික සත්‍යයයි.

කම්කරු පන්තියට සිය අයිතීන් දිනා ගත හැක්කේ ධනවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයක කොටසක් ලෙස පමනි. එම පදනම මත වෘත්තීය සමිති වල ජාතිකවාදී ප‍්‍රතිගාමී ඉදිරිදර්ශනය ප‍්‍රතික්ෂේප කරමින් හා සමිතිවලින් බිඳී වෙන්වෙමින් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත වැටුප් සහ සෙසු අයිතීන් දිනා ගැනීම සඳහා සමස්ත කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කිරීමට කම්කරු පන්තිය පෙරට ආ යුතුය.

Share this article: