ශ‍්‍රී ලංකා ජනාධිපති “ජාතික ආන්ඩුවක්” පිහිටුවයි

Sri Lankan president forms a “national government”

කේ. රත්නායක විසිනි, 2015 මාර්තු 25

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, පාලක එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායකත්වයෙන් යුත් සභාගය තුලට තම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ‍්‍රීලනිප) ද ඇතුලත් කර “ජාතික ආන්ඩුවක්” පිහිටුවන බව 22දා නිවේදනය කලේය.

සභාගය පුලුල් කිරීමට හදිසියේ තීන්දු කලේ, ශ‍්‍රීලනිපයේ ප‍්‍රබල චරිතයක් වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හා එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ සමග 19දා පැවැත්වූ රහස් සාකච්ඡාවකින් අනතුරුවය. සිය බිඳෙන සුලු ආන්ඩුව ස්ථාවර කර ගැනීමේ පියවරක් ලෙස සිරිසේන, කැබිනට්, නියෝජ්‍ය හා රාජ්‍ය ඇමති තනතුරු 26ක් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන්ට වෙන්කර දුන්නේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කැබිනට්ටුවෙන් ඉවත්වූ සිරිසේන ජනවාරි 08දා ජනාධිපතතිවරනයට ඉදිරිපත්වී ජයගත්තේය. එය, කුමාරතුංග හා එක්සත් ජනපද ගැති එජාපයේ ද සහාය ඇතිව ඔබාමා පාලනය විසින් මැනවින් සූදානම් කල පාලන තන්ත‍්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමක් විය. ඇමරිකාවට අවශ්‍යව තිබුනේ, චීනය සමග රාජපක්ෂ ආන්ඩුවට පැවති සම්බන්ධකම් බිඳ, චීනය රාජ්‍යතාන්ත‍්‍රිකව හා මිලිටරිමය වශයෙන් වැටලීමේ සිය ආසියාවට “හැරීම” පිටුපස මෙරට ස්ථිර ලෙස පෙලගස්වා ගැනීමය.

ජනාධිපතිවරන ව්‍යාපාරයේදී තමන්ට ඡන්ද වැඩිකර ගැනීම පිනිස සිරිසේන හා එජාපය, දින 100ක් ඇතුලත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරන ඇතිකරන බවටත්, වැඩකරන ජනතාවට ආර්ථික සහන සලසන බවටත් ඉන් පසුව අපේ‍්‍රල් 23දා පාර්ලිමේන්තුව විසුරුවාහැර ජූනි මාසයේදී මහ මැතිවරනය පවත්වන බවටත් පොරොන්දු දුන්නේය.

කෙසේ වෙතත් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරන සාකච්ඡා, ආන්ඩුව තුල මෙන්ම පාර්ලිමේන්තු විපක්ෂය තුලත් ඇති කන්ඬායමික එදිරිවාදිකම් හා මතභේද නිසා මාස දෙකක් තිස්සේ ඇදී යයි.

සිරිසේනගේ ජයග‍්‍රහනයෙන් පසුව එජාපය, සුලුතර සභාග ආන්ඩුවක් පිහිටවීය. ආසන 225 යුත් පාර්ලිමේන්තුව තුල ශ‍්‍රීලනිපයේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 130ක් පමන හිමිව තිබේ. ආන්ඩුව පවතින්නේ එහි මුක්කුව මතය. ආන්ඩුවේ පාලක හවුල්කරුවන් අතර සිංහල අන්තවාදී ජාතික හෙල උරුමය හා වර්ගවාදී මුස්ලිම් පක්ෂ ද වේ.

ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී විධායක ජනාධිපති ක‍්‍රමය හා රාජපක්ෂගේ අත්තනෝමතික පාලනය කෙරෙහි කම්කරුවන් හා පීඩිතයින් අතර පැවති විරුද්ධත්වය ගසාකෑම පිනිස සිරිසේන, ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරන වලට මූලිකත්වය දුන්නේය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකර වඩාත් පාර්ලිමේන්තුවාදී ආකෘතියක් යලි ඇතිකරන බවට ඔහු පොරොන්දු විය.

ජනාධිපතිගේ බලතල කප්පාදු කර ඒවා අගමැති විසින් නායකත්වය ගන්නා කැබිනට්ටුවට පැවරිය යුතු යයි එජාපය යෝජනා කලේය. කෙසේ වෙතත් ජාහෙඋ, විධායක බලතල මුලුමනින්ම අගමැති වෙත පැවරීමට එජාපය උත්සාහ කරන්නේ යයි චෝදනා කල අතර ශ‍්‍රීලනිපය ද එවැනිම චෝදනා එල්ල කලේය.

පාලක හා විරුද්ධ පක්ෂ අවසන් යෝජනාවට එකඟ වූ බව කියන අතර එය මාර්තු 16දා 19වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස ගැසට් පත‍්‍රයේ පල කර තිබේ. කෙසේ හෝ කැබිනට්ටුව, යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මේ සතියේදී යලි සංශෝධනය කලේය.

සංශෝධිත සැලැස්ම අනුව විධායක බලතල, පාර්ලිමේන්තුවට වග කියන අගමැතිගේ නායකත්වයෙන් යුත් කැබිනට්ටුවට පැවරෙනු ඇත. ජනාධිපති අගමැතිගේ උපදෙස් මත කටයුතු කරන නමුත් රාජ්‍ය නායකයා ද සන්නද්ධ හමුදාවන්හි ප‍්‍රධාන අනදෙන නිලධාරියා ද වේ. පත්වී වසරක් තුල පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපති සතුව ඇති බලය පහත හෙලා, වසර හතරක කාලයකට එය දීර්ග කර ඇත. එම කාලය තුල පාර්ලිමේන්තුව, ජනාධිපතිගේ මැදිහත්වීමෙන් නිදහස් කෙරේ. අධිකරනයේ ඉහල නිලධාරීන් හා මැතිවරන කොමසාරිස් ද ඇතුලු රජයේ ඉහල තනතුරු වලට පත්කිරීම්, ආන්ඩුව හා විපක්ෂය විසින් තෝරා පත්කරන ව්‍යවස්ථා මන්ඬලයකට පැවරේ.

මෙම මුහුනුවර ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පිලිබඳ මොනයම් හෝ කැක්කුමක් ඇතිව සිදුකෙරෙන දෙයක් නොවේ. එජාප හා ශ‍්‍රීලනිප ද ඇතුලු මේ සියලු පක්ෂ අන්ත ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වාර්තාවකට හිමිකම් කියති. ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම, පොලිස්-රාජ්‍ය පිලිවෙත් හා වැඩකරන ජනතාව බෙදීමේ එල්ලය සහිත දෙමල විරෝධී යුද්ධය දශක තුනක පමන කාලයක් තිස්සේ ගෙනගොස් තිබේ. මෙම න්‍යායපත‍්‍රයට සහාය පිනිස මහ හඬින් මොර දෙන ජාහෙඋ ට ඇත්තේ, මර්දනය පවත්වාගෙන යන රූපය පිලිබඳ උපායාත්මක වෙනස්කම් පමනි.

ආන්ඩුව තුලත් ශ‍්‍රීලනිපය තුලත් කන්ඬායමික ගැටුම් දිගටම පවතී. සංශෝධනය වනාහි බලය අල්ලා ගැනීමට එජාපය විසින් දියත්කල “ව්‍යවස්ථා කුමන්ත‍්‍රනයක්” බව ජාහෙඋ කැබිනට් ඇමති චම්පික රනවක 23දා කියා සිටියේය. ශ‍්‍රීලනිපයේ පාර්ලිමේන්තු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ තමා එම තනතුර අත් නොහරින බවයි. සමස්තයක් ලෙස ශ‍්‍රීලනිපයම ආන්ඩුවට එකතුවී ඇත් ද යන ප‍්‍රශ්නය මතුව තිබේ. ඡන්ද ක‍්‍රමයේ ප‍්‍රතිසංස්කරන ඇතුලත් නොවන්නේ නම් සංශෝධනයට ශ‍්‍රීලනිපය සහාය නොදක්වන බව ද ඔහු ප‍්‍රකාශ කලේය. තවත් කථාවකදී සිල්වා, අපේ‍්‍රල් 23දා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරනයක් පැවැත්වීම අදාල නොවේ යයි කියමින්, ජූනියේ මැතිවරනය පැවැත්වීම ගැන සැක මතු කලේය.

ශ‍්‍රීලනිපය තුල තමා සතු අනුහස යොදාගනිමින් දේශපාලන අර්බුදය උග‍්‍රකිරීමට රාජපක්ෂ උත්සාහ කරයි. නියමිත මැතිවරනයේදී රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස නම්කරවා ගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුන හා මහජන එක්සත් පෙරමුන යන එජනිසං සිංහල අන්තවාදී සහචර පක්ෂ හා ශ‍්‍රීලනිපයේ කොටස් ගෙනයන උද්ඝෝෂනයට, අවස්ථාවාදී ලංකා සමසමාජ පක්ෂය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය පිටුබලය දෙති. දෙමල ප‍්‍රභූව සමග සංහිඳියාවකට උත්සාහ කරන්නේ යයි සිරිසේන හෙලා දකින ඔවුන්ගේ වර්ගවාදී සටන් පාඨය වී ඇත්තේ, “මාතෘ භූමිය බේරාගනිමු” යන්නයි.

මේ අතර රාජපක්ෂ රට වටා යමින් ප‍්‍රධාන බෞද්ධ පන්සල් වල භික්ෂූන් ද සිය ආධාරකරුවන්ද මුනගැසෙමින් ආගමික වතාවත්වල යෙදී සිටියි. පක්ෂයට එය “කාල බෝම්බයක්” යයි කියමින් ඔහු, ශ‍්‍රීලනිපය පාලක සභාග ආන්ඩුවට ඇතුලු වීමට විරුද්ධ විය.

“ජාතික ආන්ඩුවක්” පිහිටුවමින් සිරිසේන, රාජපක්ෂ හා අනෙකුත් විරුද්ධ පක්ෂ විසින් ගෙන යන ව්‍යාපාරය අඩපන කිරීමට උත්සාහ කරයි. කෙසේ හෝ සිරිසේන හා එජාපය නායකත්වය දරන ආන්ඩුවට ඇති ප‍්‍රධාන කනස්සල්ල, සියල්ලටත් වඩා කම්කරුවන් හා පීඩිත ජනතාව අතර වැඩෙන නොසංසුන්තාවයි.

ඡන්ද වැඩිකර ගැනීම සඳහා ආන්ඩුව, ජීවන වියදම අඩුකරන පියවර ගන්නා බවට පොරොන්දු වෙමින් සිදුකල රජයේ සේවක වැටුප් වැඩිවීම, හුදු දීමනාවක් බවට සිඳුවා ඇත. පසුගිය දෙසතිය තුල නිදහස් වෙලඳ කලාප හා කොන්ත‍්‍රාත් කම්කරුවන් වැටුප් වැඩිවීම් ඉල්ලා විරෝධතා ගනනාවක් පවත්වා ඇත. සාධාරන මිල ගනන් හා සහන ඉල්ලා ගම්බද පලාත්වල ගොවියෝ කොලඹට පැමින පෙලපාලි දැක්වූහ.

එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ “වම්මුන්”ගේ පිටුබලය ලබමින් වෘත්තීය සමිති, වැඩෙන සමාජ නොසංසුන්තාව අවමංගත කිරීමට විරෝධතා සංවිධානය කලහ. එසේ වුවත් මෙම විරෝධතා, වර්ධනය වන සමාජ පිපිරීම් තත්වය පිලිබඳ පෙර නිමිත්තකි.

සිංහල වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුන, උපදේශක මන්ඬලයක් වන සිරිසේනගේ ජාතික විධායක සභාවේ සාමාජිකයෙකුව සිටිමින්, ඔහුට තීරනාත්මක සහායක් ලබාදීමෙන් පසුව දැන්, ආන්ඩුවට පලවන විරුද්ධත්වය ගසාකෑමට උත්සාහ කරයි. එහි නායක අනුර කුමාර දිසානායක පැවසුවේ, ජාතික ආන්ඩුව සිරිසේනගේ මැතිවරන ප‍්‍රකාශනයට ඇතුලත් නොවුන බවයි. මේ අනුව ජවිපෙ, “සිවිල් කන්ඬාම්වල අදහස් විමසීමෙන්” පසුව විධායක සභාවේ තවදුරටත් සිටින්නේ ද යන්න තීරනය කරනු ඇති බව ඔහු ප‍්‍රකාශ කලේය.

සිරිසේන හා පාලක පැලැන්තියේ කොටස් පැහැදිලිවම උත්සාහ කරන්නේ, කම්කරු පන්තියට හා පීඩිත ජනතාවට මුහුන දීමට පෙර ඇමරිකානු ගැති ආන්ඩුව, දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂ හවුල් කරගෙන ස්ථාවර කර ගැනීමටය. මාධ්‍ය ප‍්‍රධානීන් හමුවේ පසුගිය 18දා සිරිසේන, ජාතික ආන්ඩුවක වැදගත්කම අවධාරනය කරමින් පැවසුවේ, මැතිවරනයෙන් පසුව පවා “අඩුම තරමින් දෙවසරක” කාලයකටවත් එවන් ආන්ඩුවක් සඳහා වැඩ කිරීමට තමන් අදහස් කර ඇති බවයි.

ජාතික ආන්ඩුවක් පිලිබඳ ප‍්‍රකාශයට 23දා ඩේලි මිරර් කතුවැකිය ප‍්‍රසංශා කලේය. එහි මෙසේ සඳහන් විය. “ශ‍්‍රී ලංකා ඉතිහාසයේ බාරදූර පරිච්ඡේදය මේ වසරේ ජනවාරි 08දා ආරම්භ වුනේ නම්, එහි ස්වර්නමය පිටුව ලියවුනේ, ආත්ම කේන්ද්‍රීය පක්ෂ දේශපාලනයට ඉහලින් නැගී සිටීමට ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඊයේ එකඟත්වයකට පැමිනි කලය.” එසේම සිලොන් ටුඩේ පත‍්‍රය “වෙලඳපොල මූලාශ‍්‍ර” උපුටා දක්වමින් පැවසුවේ, ජාතික ආන්ඩුව “ස්ථාවරත්වය ගෙන එමින්, සෘජු විදේශ ආයෝජන ආකර්ෂනය කර ගෙන, රුපියල මත යෙදෙන පීඩනය ලිහිල් කරනු” ඇති බවය.

එම ප‍්‍රකාශ ඇඟවුම් කරන්නේ, පාලක පැලැන්තියේ කලබලයට පත් කොටස් වලට, සියල්ලටත් වඩා කම්කරු පන්තියට එරෙහිව තම අවශ්‍යතා සුරක්ෂිත කර ගැනීමේ උවමනාවයි.

Share this article: