සිරිසේන‐වික‍්‍රමසිංහ ආන්ඩුව නැවතත් සරසවි සිසුන්ට පොලීසිය යොදා පහර දෙයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2015 මැයි 06

පසුගිය අපේ‍්‍රල් 29 දා, “සරසවි තුල භික්ෂු සිසු කප්පාදුව නවතනු” යන තේමාව යටතේ විරෝධතා පාගමනකින් කොලඹ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට පැමිනි සරසවි සිසුන්ට පොලීසිය විසින් දරුනු ප‍්‍රහාරයක් එල්ල කලේය. සිසුන් කොමිසන් සභා භූමියට ඇතුලුවීම වලකාලීම සඳහා එහි රඳවා තිබූ පොලිස් ඛන්ඩයන් බැටන් පොලු, කදුලු ගෑස් හා ජල විදින වලින් සිසුන්ට කුරිරු ලෙස පහර දුන්හ. තුවාල ලැබු සිසුන් රෝහලට රැගෙන යාමට පවා ඉඩ නොදෙමින් ප‍්‍රහාරය දියත් කල නමුදු අවසානයේදී සිසුහු කොමිසන් සභා භූමියට ඇතුලු වූහ.

සිසුන්ට පහර දීමට සූදානම්ව සිටින පොලීසිය

ප‍්‍රහාරයෙන් සිසුන් 8 දෙනෙක් සහ සිසුවියක් තුවාල ලැබූ අතර උද්ඝෝෂනයට සම්බන්ධ වූ සිසුන් දෙදෙනෙකු පොලිස් නිලධාරියෙකුට පහරදීමේ ව්‍යාජ චෝදනා මත අත් අඩංගුවට ගැනින.

විරෝධතාවට සහභාගී වූ විශ්ව විද්‍යාල සිසුහු

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මන්ඩලය (අවිභිබම) සංවිධානය කල මෙම පාගමනට සිසුන් 600 ක් පමන සහභාගි වූහ. සිසු විරෝධතාවට මූලික හේතුව වූයේ මේ වසරේ සිට ජයවර්ධනපුර හා කැලනි සරසවිවල පාලි, සංස්කෘත වැනි ශාස්තී‍්‍රය භාෂා සහ දර්ශනය වැනි විෂයනට ඇතුලත් කර ගැනෙන සිසුන් සංඛ්‍යාව කප්පාදු කිරීමයි. මෙම විෂයයන් සඳහා රැකියා වෙලඳපොලේ ඇති අඩු ඉල්ලුම නිසා ඒවා හැදෑරීමට පෙලඹෙන සිසුන් සංඛ්‍යාව අඩුවී ඇත. ඒ හේතුවෙන් එම විෂය ධාරාවන් සඳහා සිසුන් බඳවා ගැනෙනුයේ “විශේෂ ප‍්‍රවේශය” නම් වූ පටිපාටියකට අනුවය. මෙම විෂයයන් අධ්‍යනය කිරීමට පෙලඹෙන සිසුන් අතරින් බහුතරය බෞද්ධ භික්ෂුන් ය.

කෙසේ නමුදු, මෙය අධ්‍යාපන කප්පාදුවේ සෘජු ප‍්‍රතිඵලයකි. මෙය බඳවා ගැනීමේ සංඛ්‍යා ලේඛන වලින් මනාව පැහැදිලිවේ. 2010 දී කැලනි සරසවියට පාලි සංස්කෘත විෂයයන් සඳහා සිසුන් 126 ක් බඳවා ගැනුන ද 2013 දී එය 26 දක්වා කප්පාදු කර ඇත්තේ මානව ශාස්ත‍්‍ර පීඨයේ පුරප්පාඩු 177 ක් මෙතෙකුදු පවතිද්දීය.

මේ තත්වයන් පිලිබඳව බලධාරීන් දැනුවත් කල ද නිසි පිලියමක් නොලැබුනු බැවින් එකී සරසවි ඉදිරියේ සත්‍යග‍්‍රහයන් ආරම්භ කල බව හා එයින් ද විසඳුමක් නොලැබුනු තැන මෙම විරෝධතා පාගමන සංවිධානය කල බව එයට සහභාගිවූ සිසුහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූහ. එක් ශිෂ්‍යයෙකු මෙසේ පැවසුවේය: “අදාල දෙපාර්තුමේන්තුවෙන් අහුවහම කියනවා උපකුලපතිගෙන් අහන්න කියලා. උපකුලපතිගෙන් ඇහුවාම කියනවා දෙපාර්තුමේන්තුවෙන් අහන්න කියල. හැමෝම බෝලේ පාස් කරනවා විතරයි.” විශේෂ ප‍්‍රවේශයේ දේශපාලන ඇඟිලි ගැසීම් බහුල බව පවසමින් පරිපාලකයන් විසින් එම කප්පාදුව සාධාරනිකරනය කරන බව සිසුහු තවදුරටත් පැවසූහ. දැනට එක වාරයක් අවසන් වීමට ආසන්න බැවින් මෙලෙස ගැටලුව මගහැර, දෙවන වාරය පැමිනි විට, වාරයක් ඉක්ම ගොස් ඇති බැවින් අලුතින් සිසුන් බඳවා ගත නොහැකි බව පවසනු ඇතැයි ද සිසුහු පැවසූහ. මෙලෙස කප්පාදු කිරීම තුලින් ඇතිවන අවස්ථා මුදලට විකුනන උපාධි සඳහා යොදා ගැනීමට සැලසුම් කෙරෙන බව බොහෝ සිසුන්ගේ අදහස විය.

සිසුන්ට නැවත නැවතත් එල්ල කරන පොලිස් ප‍්‍රහාර වලින් එලිමහනට පැමිනෙන්නේ සිරිසේන‐වික‍්‍රමසිංහ තන්ත‍්‍රයේ සැබෑ න්‍යාය පත‍්‍රයයි. මෙම තන්ත‍්‍රය බලයට පැමිනියේ රාජපක්ෂ විසින් අධ්‍යාපනයේ රාජ්‍ය වියදම දල ජාතික නිශ්පාදනයෙන් (දජානි) සියයට 1.5 දක්වා පහත හෙලමින් කරන ලද කප්පාදුව නිරවද්‍ය කරමින් එය දජානියෙන් සියයට 6 දක්වා වැඩි කරන බවට පොරොන්දු දෙමිනි. අධ්‍යාපනය සඳහා කෙරෙන ප‍්‍රතිපාදන නව තන්ත‍්‍රය යටතේ දශමයකුදු වැඩි කෙරී නොමැති අතර වැඩි කෙරෙන්නේද නැත. ඒ වෙනුවට සිදුවනු ඇත්තේ අර්බුදග‍්‍රස්ත ධනේශ්වර ක‍්‍රමය යටතේ රටක් රටක් පාසා පාලකයන් කි‍්‍රයාවට දමමින් සිටින පිලිවෙත් අනුයමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වඩා වේගවත් කිරීම සහ එම කප්පාදු වලට එරෙහිව අරගලයට අවතීර්නවන කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් මර්දනය කිරීම සඳහා අවශ්‍ය මර්දන යන්ත‍්‍රය වඩාත් ශක්තිමත් කර ගැනීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ “ඓතිහාසික ජයග‍්‍රහනයක්” ලෙස ඔජවැඩවෙන 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කල දිනයට පසු දිනයේම සිසුන්ට එල්ල කල මෙම ම්ලේච්ඡ ප‍්‍රහාරයෙන්මත් පෙන්නුම් කෙරෙන්නේ එම “ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ” යථා ස්වභාවයයි.

කෙසේනමුදු, මෙම විෂය ධාරාවන් හදාරන බහුතරය බෞද්ධ භික්ෂූන් යන්න දඩමීමා කර ගනිමින් සිදු කෙරී ඇති කප්පාදුව භික්ෂූන්ට එරෙහි ප‍්‍රහාරයක් ලෙස ව්‍යාජ ලෙස හුවා දැක්වීමට දරන ප‍්‍රයත්නය අතිශය ප‍්‍රතිගාමීය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබම* අන්ඩක් වන අවිභිබම යොදා ගනිමින් සිදු කෙරෙන මෙම ප‍්‍රතිගාමී උද්ඝෝෂනයේ පිටුපස සිටින්නේ අවිශිබමට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප)යි. අවිභිබම යනු සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මගින් අවිශිබම මෙහෙයවෙන කාල පරිච්ඡේදයේ ගොඩ නගන ලද ප‍්‍රතිගාමී සංවිධානයකි. එය විශ්ව විද්‍යාල තුල සහ ඉන් පිටත ආගමික හා වාර්ගික බෙදීම් ඇවිලවීම සහ පෝෂනය කිරීම සඳහා යොදා ගන්නා ලද්දකි.

දෙමල ජනතාවට එරෙහිව ගෙනගිය වර්ගවාදී යුද්ධයේදී ජවිපෙ විසින් ප‍්‍රමුඛ කසකරුවෙකු ලෙස මෙම සංවිධානය යොදා ගැනින. පෙසප විසින් මෙම විෂඝෝර සංවිධානයන් තවදුරටත් පෝෂනය කොට පවත්වාගෙන යනු ලබන්නේ සිංහල වර්ගවාදී කොටස්වල සහය දිනා ගැනීමට හා ශිෂ්‍යයන් වාර්ගිකව හා ආගමිකව බෙදීමටයි. ජවිපෙහි සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී පෙකනිවැලෙන් පෙසප කවර ලෙසකින් හෝ කැඩී නොමැති බවට එයමත් සාක්ෂියකි.

කම්කරු පන්තියේ නායකත්වය යටතේ සිසුන් බලමුලු ගැන්වීමකට පරම සතුරු අවිශිබම එහි ඉතිහාසයම පුරාම වපුරා ඇත්තේ ශිෂ්‍යයන්ට ස්වාධීන කි‍්‍රයා මාර්ගයක් ඇතැයි යන මිථ්‍යාවයි. “ශිෂ්‍ය බලය” නම්වූ මෙම බංකොලොත් සහ ප‍්‍රතිගාමී ඉදිරි දර්ශනය ඔස්සේ සිසුන් මංමුලා සහගත කි‍්‍රයාවන්ට පොලඹවමින් ඔවුන් රාජ්‍ය මර්දනයේ හස්තයට හසුකරදීම සම්බන්ධයෙන් පෙසප සහ අවිශිබම වගකිව යුතුය.

Share this article: