සෙමෝර් හර්ෂ් බින් ලාඩන් ඝාතනය ගැන නිල මුසාවාද හෙලිකර යි

Seymour Hersh exposes official lies about Bin Laden killing

නයිල්ස් විලියම්සන් විසිනි, 2015 මැයි 12

ඔසාමා බින් ලාඩන්ගේ ඝාතනයට මග පෑදූ ඇමරිකානු විශේෂ බලකායේ ප‍්‍රහාරයෙන් පසුව ආසන්න වශයෙන් වසර හතරක දී, පුලිස්ටර් ත්‍යාගලාභී ගවේෂනාත්මක මාධ්‍යවේදියෙකු වන සෙමෝර් හර්ෂ් විසින් 10දා London Review of Books ‘ලන්ඩන් පොත් විමසුම’ සඟරාවේ ප‍්‍රසිද්ධ කරන ලද අසාමාන්‍ය හෙලිකිරීම ඇමරිකානු ආන්ඩුවේ නිල වෘත්තාන්තයේ වෙස් මුහුන ගලවා දමා ඇත.

හර්ෂ්ගේ ලිපියේ ගෙනහැර දක්වන විස්තරවල පොහොසත්කම, වාර්තාව ගැන කිසිම ආන්ඩුවේ නිලධාරියෙකු කියන දේවල සත්‍ය ලෙස ගත හැකි යමක් නැති බව හා ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යය නිල මුසාවන් සඳහා හොරනෑවක් ලෙස ක‍්‍රියාත්මක වේ යන යතාර්ථයට අවධානය යොමු කරයි. හර්ෂ් ප‍්‍රකාශ කරන්නේ ජනාධිපති බරක් ඔබාමා හා ඔහුගේ පාලනාධිකාරයේ සාමාජිකයින් විසින් දෙන ලද වාර්තා ඇලිස්ගේ විස්මලන්තයේ කතුවර “ලුවිස් කැරොල් විසින් ලියා තිබෙන්නට ඇති” බව යි.

බින් ලාඩන් සැඟවුනු තැන සොයා ගැනීමට සීඅයිඒ වධහිංසා වැඩසටහන මුල් විය: ප‍්‍රහාරය සිදු කරන ලද්දේ පකිස්තාන ආන්ඩුවේ අනු දැනුම නොමතිව ය: විශේෂ මෙහෙයුම් කන්ඩායම බින් ලාඩන් පනපිටින් අල්ලා ගැනීමට බලාපොරොත්තු විය, ඔහු විරුද්ධ වූවාට පසු පමනක් ඔහු ඝාතනය කලේ ය: මුහුදේ දී යූඑස්එස් කාල් වින්සන් නැවේදී බින් ලාඩන්ට ඉස්ලාමීය මිහිදන් කිරීමක් ලබා දුනි යන ප‍්‍රකාශ ගොතන ලදැ යි හෙලිදරව් කරන ලද ඒවා අතර වේ.

හර්ෂ් සඳහන් කරන්නේ 2011 බින් ලාඩන් ඝාතනය කිරීමේ මෙහෙයුම ආරම්භ කෙරුනේ 2010 අගෝස්තුවේ දී ජ්‍යෙෂ්ට පකිස්තානු ඔත්තුසේවා නිලධාරියෙකු ඉස්ලමාබාදයේ ඇමරිකානු තානාපති කාර්යාලයට ගිය පසු ව බව යි. බින් ලාඩන් සැඟවී සිටින තැන සීඅයිඒ සංවිධානයට ලබා දීමට ඔහු ඉදිරිපත් වූයේ 2001 සැප්තැම්බර් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් අනතුරුව ඇමරිකානු ආන්ඩුව අල් කයිඩා නායකයාගේ හිස වෙනුවෙන් පොරොන්දු වූ ඩොලර් මිලියන 25ක ත්‍යාගයට හිලව් වශයෙනි.

11දා රාත‍්‍රී විකාශනයේ දී එන්බීසී ප‍්‍රවෘත්ති සේවය පැවසුවේ 2010දී පකිස්තානු ඔත්තු කරුවෙකු බින් ලාඩන් සිටි තැන සීඅයිඒ සංවිධානයනට දැන්වූ බව තමන් ස්වාධීනව තහවරු කරගෙන තිබූ බව යි -- හර්ෂ්ගේ වාර්තාවේ ඉතාමත් වැදගත් ප‍්‍රකාශය එය විය හැකි අතර ඔබාමා පාලනාධිකාරයේ නිල වසං කිරීමේ කතාන්තරය අති ප‍්‍රබල ලෙස ප‍්‍රතික්ෂේප කිරීමකි. සීරෝ ඩාක් තර්ටි නම් ප‍්‍රචාරක චිත‍්‍රපටය තුල විස්තර කෙරුනු පරිදි අල් කයිඩා නායකයාගේ වාසස්ථානය සොයා ගැනුනේ සීඅයිඒ වධහිංසා වැඩසටහන හරහා නො වේ. මෙම ප‍්‍රකාශය හා චිත‍්‍රපටය යොදා ගැනුනේ නීති විරෝධී සීඅයිඒ මෙහෙයුම් හා ඝාතන සම්බන්ධයෙන් ඔබාමා පාලනාධිකාරයේ ගොතන ලද කතාන්දර තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා මහජන සහයෝගය දිරිමත් කිරීමට ය.

පකිස්තාන අභ්‍යන්තර - ඔත්තු සේවාව (අයිඑස්අයි) විසින් අල්ලස් දෙන ලදුව ප‍්‍රාදේශීය ගෝත‍්‍රිකයෙකු ඔහු සිටි ස්ථානය හෙලි කරන අවස්ථාවේ දී, බින් ලාඩන් ඔහුගේ බිරින්දෑවරුන් කීප දෙනෙකු හා දරුවන් සමග 2001 සිට 2006 දක්වා ඇෆ්ගනිස්තානයේ හින්දුකුෂ් කඳුකරයේ සැඟ වී ජීවත් ව සිට ඇති බව ඔත්තු කරුවා සීඅයිඒ සංවිධානයට පැවසී ය.

ඊට පසු බින් ලාඩන් පකිස්තානයේ ඇබොටාබාද් හි නිවාස සංකීර්නයකට මාරු කරන ලද අතර, එහි ඔහු රඳවා ගනු ලැබුවේ අයිඑස්අයි සිරකරුවෙකු ලෙසිනි. නවාතැන තිබුනේ පකිස්තානු මිලිටරි ඇකඩමියේ සිට සැතපුම් දෙකකටත් අඩු දුරක මෙන් ම අයිඑස්අයි රහසිගත මෙහෙයුම් කඳවුර වන ටාබෙලා ඝාසි හි සිට මිනිත්තු 15ක හෙලිකොප්ටර් ගමනක දුරිනි.

හැමවිටම බින් ලාඩන්ගේ වාසස්ථානය තිබුනේ, ආරක්ෂක ඒජන්තයින් නිතර ගැවසෙන, පකිස්තාන මිලිටරියේ මූලස්ථාන නගරයක ය යන්න, අල් කයිඩා නායකයා ඝාතනය කෙරුනු මෙහෙයුම් කතන්දරයේ දුර්වල ම සම්බන්ධය වී තිබුනි. බින් ලාඩන් ඇබොටාබාද් හි වූයේ ඇයි ද යන්න පිලිබඳව හර්ෂ්ගේ වාර්තාව සපයන්නේ වඩාත් ඒත්තු යන පැහදිලි කිරීමකි. පකිස්තානු බලධාරීන් විසින් ඔහු නිවාස අඩස්සියේ රඳවා ගෙන සිට ඇත්තේ ඔවුන් ඇමරිකානු පඩි ගෙවන්නන් සමග ඔහුගේ ඉරනම සාකච්ඡා කරන අතරතුර ය.

හර්ෂ් විසින් සම්මුඛ සාකච්ඡාවකට ලක් කරන ලද ඇමරිකානු නිලධාරියෙකුට අනුව, ඇබොටාබාද් හි බින් ලාඩන්ගේ නඩත්තුවට මුදල් සැපයූ සෞදි අරාබිය අයිඑස්අයි විසින් ඔහු රඳවා ගෙන සිටිනු ලබන බව ඇමරිකානු ආන්ඩුව සොයා ගතහොත් අල් කයිඩාව සඳහා සෞදි රාජාන්ඩුවේ අනුග‍්‍රහය පිලිබඳ විස්තර ලබා දීමට බල කරනු ඇතැ යි භීතියට පත්විය. අනෙක් අතට පකිස්තානය, ඇමරිකාව සමග ගැටුමක් අවුලුවමින් සෞදිය ඔහුගේ වාසස්ථානය පිලිබඳ තොරතුරු සපයන්නට ඉඩ ඇතැ යි කනස්සල්ලට පත්වි ය. අල් කයිඩාවට එරෙහිව යයි කියන ලද අරගලය තුල ඇමරිකාවේ ප‍්‍රධාන සහචරයින් දෙදෙනෙකු බින් ලාඩන්ට නවාතැන් දී අරමුදල් සපයන ලද අතර මෙම සම්බන්ධතා ප‍්‍රදර්ශනය කරන්නේ “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” පිලිබඳ ව්‍යාජය යි.

සැබවින් ම, සෞදි අරාබියට අල් කයිඩාව සමග දීර්ග කාලයක් තිස්සේ බැඳීම් ඇති අතර සෞදි රාජාන්ඩුවේ සාමාජිකයෝ -- විය හැකි පරිදි ඇමරිකානු ආන්ඩුවේ කන්ඩායම්වල දැනුම ඇතිව -- සැප්තැම්බර් 11වැනිදා ප‍්‍රහාරයන්ට සම්බන්ධ වූ ගුවන්යානා පැහැරගත් අයට මුදල් සැපයූ අතර සහාය දුන්හ.

හර්ෂ්ගේ තොරතුරු මනාව පැහදිලි කරන්නේ මුල පටන් ම බින් ලාඩන් ඝතානය කිරීම ඔබාමා පාලනාධිකාරයේ අභිප‍්‍රාය වූ බවය. එමෙන් ම, “මැරුනු මිනිසුන් පාවාදෙන්නේ නැත” යන චිරන්තන කාරනය සිහියට නංවමින් අනෙකුත් පාර්ශ්ව, එනම් පකිස්තානය හා සෞදිය, උද්යෝගීමත්ව එයට සහාය දුන්නේය. අයිඑස්අයිහි ආශීර්වාදය ද ඇතිව බින් ලාඩන්ගේ නිවස්නයට කඩා පැනීම, ඔබාමා නම් ප‍්‍රධාන අලුගෝසුවා විසින් නියෝග කරන ලද ප‍්‍රහාරයකට වඩා අඩු දෙයක් නොවේ. බින් ලාඩන් අයයහපත් සෞඛ්‍ය තත්වයක සිටින බවත් කිසියම් විරෝධයක් නො දක්වනු ඇති බවත් පනිවුඩකරුවා සීඑයිඒ ඒජන්තයින්ට කියා තිබුනි.

විශ‍්‍රාමික නිලධාරියෙක් පැවසුවේ බින් ලාඩන්ට එරෙහි මෙහෙයුම “පැහැදිලිවම හා අත්‍යන්තයෙන් ම හිතා මතා සැලැසුම් කෙරුනු මිනීමැරුමක්” බව යි. හිටපු සීල් (මුහුදු, ගුවන්, ගොඩබිම්, නාවික හමුදා) අනදෙන්නකු හර්ෂ්ට මෙසේ පැවසී ය, “අපි යමින් සිටියේ බින් ලාඩන් පන පටින් නොතියන්න -- ත‍්‍රස්තවාදියෙකුට ජීවත්වීමට ඉඩ දීමට -- නොවේ. නීතිය අනුව අපි පකිස්තානය තුල කරන දෙය මනුෂ්‍ය ඝාතනයක් බව අපි දන්නවා. අපි එය වටහා ගතිමු. අප එකිනෙකා, මෙවැනි මෙහෙයුම් කරන විට අපට ම කියා ගන්නේ ‘එයට මුහුන දෙමු. අපි යමින් සිටින්නේ මනුෂ්‍ය ඝාතනයකටය.’”

බින් ලාඩන් ඝාතනය අවසාන උපායක් ලෙස පමනක් දකින ලද අතර මූලික මෙහෙවර වූයේ ඔහු පනපිටින් අල්ලා ගැනීම බව ඝාතනය කිරීමේ තැන් සිට ඔබාමා පාලනාධිකාරය ප‍්‍රචාරය කර ඇත.

හර්ෂ්ට අනුව, නිවස්නයට ඇතුලු වූ ඇමරිකානු කොමන්ඩෝ භටයෝ ප‍්‍රතිරෝධයකට මුහුන නොපෑහ. ඇමරිකානු නිලධාරීන් පවසන පරිදි වෙඩි තැබීම් සිදු නොවුනි. පුපුරන ද්‍රව්‍ය පාවිච්චි කරමින් වානේ ආරක්ෂක දොර පුපුරුවා විවෘත කර, විශේෂ හමුදා කන්ඩායම අනුක‍්‍රමයෙන් බින් ලාඩන් වාසය කල තුන්වැනි මහලට පිවිසුනහ. අල් කයිඩා නායකයා ඔහුගේ නිඳන කාමරයට පසු බැසි අතර එහි දී නාවික සීල් භටයින් දෙදෙනෙකු ඔවුන්ගේ ස්වයංක‍්‍රීය රයිෆල්වලින් ඔහුගේ සිරුර පසාරු කරමින් වෙඩි තැබුහ. කොමාන්ඩෝ භටයින් වෙඩි තැබුවේ ස්වයං ආරක්ෂාවට නො වේ. දරුනු ලෙස අසනීපව සිටි බින් ලාඩන්ට කිසිසේත් ඒකේ 47 ගිනි අවියකට ලංවිය නො හැකි විය. එමෙන් ම ඔහු තමන්ගේ එක් බිරිඳක් හෝ මානව පලිහක් ලෙස යොදා ගැනීමට කිසිසේත් උත්සාහ කලේ ද නැත.

බින් ලාඩන් ඝාතනයෙන් පසු, ඇමරිකාවට ඔහුගේ නවාතැන ගැන තොරතුරු සැපයීමේ දී පකිස්තානය අනුගමනය කල ක‍්‍රියාපිලිවත හෙලිදරව්වීම වැලක්වීමේ කොටසක් ලෙස, “ප‍්‍රවේසමෙන් ගොතන ලද වසං කිරීමේ කතාවක් පතුරවා හැරීමට ඉඩ තිබුන” බව හර්ෂ් සඳහන් කර යි. ඝාතනයෙන් සතියකට පසු, “හින්දු කුෂ් කඳුකර දේශසීමාවේ ඇෆගනිස්තානය පැත්තේ කල ඩ්‍රෝන් සෝදිසියක දී බින් ලාඩන් මරා දමා ඇතැ යි ඩීඑන්ඒ විශ්ලේෂනයකින් තහවුරු වී ඇති බව පසමින් ඔබාමා නිවේදනයක් නිකුත් කිරීමට ඉඩ තිබුනි... පකිස්තානු ක‍්‍රියාපිලිවෙත දැන ගත හොත් ප‍්‍රචන්ඩ විරෝධතා මතුවනු ඇතැ යි සියලු දෙනා වටහා ගන්නා ගෙන තිබුනි...’’

කෙසේ නමුත්, එය සිදු වූ දින රාත‍්‍රියේ දී ධවල මන්දිරය බින් ලාඩන් ඝාතනය නිවේදනය කිරීමට තීරනය කලේ, යම් තාක් දුරකට, මෙහෙයුම සැඟවිය නො හැකි බවට පත් කරමින් ඇමරිකානු හෙලිකොප්ටර් යානයක් බිල් ලාඩන්ගේ ගෘහාංගනයට කඩා වැටී තිබීමේ කාරනය නිසා ය. ‘‘ස්වයං සේවා හා සාවද්‍ය ප‍්‍රකාශ පෙලක්’’ ලෙස හර්ෂ් විස්තර කරන නිවේදනය, විදේශයන්හි මිලිටරිවාදය ව්‍යාප්ත කිරීමට හා ඇමරිකාව තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට පහර දීම සඳහා සහාය ගොනුකර ගැනීමට ධවල මන්දිරයට අවස්ථාවක් ද සැපයී ය.

යූඑස්එස් කාල් වින්සන් නෞකාව පසුව මුහුදේ දී, බින් ලාඩන්ගේ දේහයට නියම ඉස්ලාමීය මිහිදන් කිරීමක් ලබා දෙන ලදැ යි යන ප‍්‍රකාශය ද බොරුවක් ලෙස එලිදරව් වුනි. ඒ වෙනුවට, වෙඩි සිදුරු කීපයක් පමනක් ඇතැ යි විස්තර කෙරුනු ඔහුගේ හිස ඇතුලුව, වෙඩි පහරවල් රාශියකින් සිදුරුව තිබූ බින් ලාඩන්ගේ දේහයේ ඉතුරු කොටස් ගරු සරු නැතිව මල්ලකට ඔබන ලදී. කොමන්ඩෝ භටයින්ගේ හෙලිකොප්ටරය ආපසු ඇෆ්ගනිස්තානයේ ජලහබාද්වලට එන අතරතුර දී ශරීර කැබලි හින්දුකුෂ් කඳු මත හෙලන ලදී.

නිර්නාමික මූලාශ‍්‍ර මත විශ්වාසය තැබීම හේතුවෙන් හර්ෂ් වහාම ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යයන්ගේ ප‍්‍රහාරයට ලක් වුනි. එවැනි විවේචනයන්ගේ අර්ථය වන්නේ, “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” නිල පිලිවෙත ප‍්‍රචාරය කිරීමේදී හා යුකේ‍්‍රනයේ සිට දකුනු චීන මුහුද දක්වා සිදු කෙරෙන ඇමරිකානු ප‍්‍රකෝපකරනයන්ට සහාය දැක්වීමේදී, ආන්ඩුවේ හා ඔත්තුසේවාවල නිර්නාමික තොරතුරු මත දැඩි ලෙස වාරුවන මාධ්‍යයකින් කිසිවක් සිදු නො වන බව යි. සංගත පාලිත මාධ්‍යය තුල ආන්ඩුවේ ලඝුලේඛකයින්ගේ දෘෂ්ටියෙන් ගත් විට හර්ෂ්ගේ ප‍්‍රධාන පාපය වන්නේ, එය වමාරනවා වෙනුවට නිල කතාන්දරවලට අභියෝග කිරීමට ඔහු නිර්නාමික මූලාශ‍්‍ර ප‍්‍රයෝජනයට ගැනීම යි.

ඓතිහාසික වාර්තා මත පදනම් වන හර්ෂ්, ඇමරිකානු අධිරාජ්‍යවාදය වෙනුවෙන් ක්ෂමාලාපකයින් ලෙස සේවය කරන, දශලක්ෂපති ආරක්ෂක අංශ පුද්ගලයන් හා පන්ඩිතයින්ට වඩා වැඩියෙන් විශ්වස කල හැකි ය. ඇමරිකානු සොල්දාදුවන් විසින් අබුග‍්‍රායිබ් හි ඉරාක සිරකරුවන් අපචාරයට ලක් කිරීම හෙලිදරව් කල පලමු මාධ්‍යවේදියා ද ඔහු විය. සිරියානු ආන්ඩුව රසායනික අවි පාවිච්චි කර තිබු බවට ඇමරිකාව කල ප‍්‍රකාශ පිලිබඳව 2013 - 2014දී, ඔහු අති ප‍්‍රබල හෙලිදරව් කිරීම් දෙකක් ප‍්‍රසිද්ධ කලේය. සිරියානු ආන්ඩුවට වඩා එයට ඇමරිකාවේ අනුග‍්‍රහය ලත් “කැරලිකරුවන්” වග කිව යුතු යැයි ඔහු තර්කානුකූලව එය තහවුරු කලේය.

බින් ලාඩන්ගේ ඝාතනයට මග පෑදූ සිදුවීම් පිලිබඳ ව හර්ෂ් අවසාන තක්සේරුව සපයා ඇතැ යි යන්න ඕනෑවටත් වඩා පැහැදිලි ය. ඇමරිකාවේ හා පකිස්තානයේ නම් නො කෙරුනු වෙනත් ඔත්තුසේවා නිලධාරීන් විසින් තහවුරු කරන ලද, තනි නිර්නාමික විශ‍්‍රාමික ජ්‍යෙෂ්ට ඔත්තු සේවා නිලධාරියෙකුගේ වාර්තාව මත එය ප‍්‍රධාන වසයෙන් විශ්වාස තබන අතර, ඔහුගේ වෘත්තාන්තය ඔබාමා පාලනාධිකාරය හා සංගත මාධ්‍ය විසින් භ‍්‍රමනය කරවන වාර්තාවට වඩා බොහෝ ශක්තිමත් හා විශ්වාස කල හැකි කථාවකි.

Share this article: