විරෝධතාවන්ගෙන් පසුව ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව යාපනයේ කඩාපැනීම් මෙහෙයවයි

எதிர்ப்புக்களுக்கு பின்னர் இலங்கை அரசாங்கம் யாழ்ப்பாணத்தில் வன்முறையை கட்டவிழ்க்கிறது

අපේ වාර්තාකරුවන් විසිනි, 2015 මැයි 26

යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ දේශපාලන හා සමාජ නොසංසුන්තාවයේ ලක්ෂනයක් බවට පත්ව ඇති මහජන විරෝධය, යාපනයට බටහිරින් පිහිටි පුන්ගුඩුතීව් දිවයිනේ පාසැල් ශිෂ්‍යාවක් දුෂනය කර මරා දැමීමට එරෙහිව ද පුපුරා යාම පිලිබඳව බියට පත් ආන්ඩුව යාපනයේ විරෝධතාකරුවන්ට එරෙහිව කඩා පැනීම් දැඩි කර ඇත. විරෝධතා මුලුමනින්ම තහනම් කර, පොලිස් පරීක්ෂක කන්ඩායම් යොදා මිලිටරිය සීරුවෙන් තබා ඇත.

මැයි 13දා සිවලෝගනාදන් විද්‍යා යන පාසැල් සිසුවිය පැහැරගෙන ගොස් දූෂනය කර මරා දැමීමට එරෙහිව උතුරු හා නැගෙනහිර පුරා අඛන්ඩ විරෝධතා පසුගිය සතියේදී පැවැත්වින. අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයින් 09ක් අත්අඩංගුවට ගෙන තිබුන ද සැකකරුවන් පිලිබඳව පොලිසියේ උදාසීනත්වය නිසා කෝපයට පත් ජනතාව පාරවල්වල උද්ඝෝෂනය කලහ.

යාපනය දිස්ත‍්‍රික්කය ඇනහිටි 27දා විරෝධතාකරුවෝ අධිකරන පරිශ‍්‍රයට පහර දුන්හ. පොලිසිය කඳුලු ගෑස් යෙදූ අතර 130 දෙනෙක් අත්අඩංගුවට ගත්තේය. ඒ අතර පාසැල් සිසුන් 20ක් වන බව ඔවුන්ගේ නෑදෑයෝ පැවසූහ. අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට පොලිසිය පහරදී ඇත. ජූනි 02දා දක්වා රිමාන්ඩ් ගත කල ඔවුන් බහුතරයක් සිංහල සිරකරුවන් සිටින අනුරාධපුර බන්ධනාගාරයට මාරුකරන ලදී. දෙමල රැඳවියන්ට පහර දෙන ලෙස සිරකරුවන් උසිගන්වන බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් එය කුප‍්‍රකට තැනකි.

27දා පටන් යාපනයේ මධ්‍යම බස් නැවතුම්පොල, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වැනි ප‍්‍රධාන ස්ථානවල සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබලු යොදා ඇති අතර සන්නද්ධ රථ මුර සංචාරය කරයි. ඉහල පොලිස් නිලධාරියෙක් මාධ්‍යයට පැවසුවේ සියලු ආන්ඩුවේ ආයතන ආරක්ෂක වැටකින් ආරක්ෂා කෙරෙන බවත් “නීතිය හා සාමය රැකීමට” විශේෂ කාර්ය බලකාය යොදා තිබෙන බවත්ය. ශබ්ද විකාශන මගින් පොලිසිය නිවේදනය කලේ කන්ඩායම් වශයෙන් රැස්වීම හා කඩසාප්පු වසා තැබීම නොකල යුතු බවයි.

රාජ්‍ය සුපරික්ෂාව දැඩි වීම සලකුනු කරමින් යාපනයට ගිය ඉහල නිලධාරීන් අතර අග‍්‍ර විනිශ්චයකාර ශ‍්‍රී පවන්, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් හා නීතිපති ද වූහ.

22දා යාපනය මහේස්ත‍්‍රාත් පී. සිවකුමාර්, යාපනය නගරය තුල සියලු ආකාරයේ විරෝධතා තහනම් කරන නියෝගයක් පැනවීය. පූර්න තහනමක් ලබාගැනීම පිනිස පොලිසිය කන්ඩායම් තුනක් විරෝධතා දැක්වීමට සූදානම්ව සිටින බවට පැමිනිලි කලේය. ඒවා නම්, දෙමල ජාතික සන්ධාන මන්ත‍්‍රී ආනන්දි සසිදරන් නායකත්වය දරන කාන්තා විප්ලවවාදී සංවිධානය, ජනතා බලය කන්ඩායම හා කාන්තා විමුක්තිය සඳහා සංවිධානය විය. මේවා ප‍්‍රකට නොවන සංවිධාන වන අතර සසිදරන් රැඩිකල් ජාතිකවාදියෙක් ලෙස පෙනී සිටියි.

පසුගිය සතියේ සිදුවීම් පිලිබඳව සොයා බැලීමට අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් 15 ආන්ඩුව උතුරට පිටත්කර යවා තිබෙන බව සන්ඩේ ටයිම්ස් පත‍්‍රය වාර්තා කලේය. මෙම සිදුවීම් වලට තුඩුදුන් හේතු සොයාබැලීම හා “ජාතික විරෝධී” කන්ඩායම් අර්ධද්වීපය අස්ථාවර කිරීමේ අරමුනින් ඒවාට සම්බන්ධවී ද යන්න සොයා බලනු ඇත.

අධිකරනයට පහර දුන් අයගේ වතගොත ඔවුන් ඒ සඳහා යොදාගන්නවා ඇත. මෙම විරෝධතා පිලිබඳ වීඩියෝ පට ඇත්නම් ඒවා පොලිසියට බාර දෙන ලෙස මහේස්ත‍්‍රාත් වරයා නියෝගකර ඇත. සිරස රූපවාහිනිය ද 27 වාර්තා කලේ, අපරාධ විමර්ෂන අංශය, කොලඹ අපරාධ අංශය හා විශේෂ විමර්ෂන ඒකකය යන කන්ඩායම් තුන පරික්ෂන ආරම්භ කර ඇති බවය.

ටයිම්ස් පත‍්‍රය විස්තර කල පරීක්ෂනයේ ස්වභාවය අනුව පෙනී යන්නේ, ආන්ඩුව හා පොලිසිය, මෙම සිදුවීම් “ජාතික විරෝධී” නැතිනම් “ත‍්‍රස්තවාදී” යයි හංවඩු ගසමින්, මිලිටරිය යටතේ පවතින උතුරු ප‍්‍රදේශයේ තවදුරටත් මර්දනකාරී පියවර ගැනීම සඳහා කඩතුරාවක් කරගැනීමට උත්සාහ කරන බවයි. සෑම අහු මුල්ලක්ම පොලිසිය හා ඔත්තු සේවා අංශ විසින් පරීක්ෂාවට ලක් කරයි.

කෙසේ වෙතත් වාර්තා වලින් පෙනී යන්නේ ක්ෂනිකව ජනතාව කෝප ගැන්වූයේ, පොලිසිය අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ප‍්‍රමාද කිරීම හා එසේ අල්ලාගත් පුද්ගලයෙකුට කොලඹට පැන යාමට ඉඩ හැරීම නිසා බවය. ස්විට්සර්ලන්තයේ ජීවත් වන බව කියන සැකකරුවා රටින් ද පැන යනු ඇති බවට ජනතාව සැක කලෝය. පසුව ඔහු කොලඹදී අත්අඩංගුවට ගෙන යාපනයට රැගෙන ආවේය. පුපුරා ගිය ජනතා කෝපය හමුවේ ආන්ඩුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ගනනාවක් යාපනයෙන් පිටතට මැරුකර යැවීය. කෙසේ වෙතත් මේ මගින් අපරාධකාර කන්ඩායම් පොලිසියේ හා මිලිටරියේ රැකවරනය සහිතව රහසිගත ලෙස උතුරේ ක‍්‍රියාත්මක වන බවට ජනතාව අතර පැවති සැකය තහවුරු විය. එජාප මන්ත‍්‍රීවරයෙක් හා විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකුගේ සම්බන්ධය ගැන ටයිම්ස් වාර්තාව ඉඟි කරයි. එමගින් සැකය තවත් වැඩි කරයි.

සැබවින්ම මෙම විරෝධතා නියෝජනය කරන්නේ, අහිංසක තරුන සිසුවියට සිදුකල අපරාධය පිලිබඳ කෝපය පමනක් නොවේ. පුලුල් වශයෙන් එය, දශක තුනක සිවිල් යුද්ධය අවධියේ හා ඉන් පසුව තවමත් උතුරේ ජනතාව මුහුනපෑ හා මුහුනපාන දුක් වේදනා පිලිබඳ විරුද්ධත්වය ද පෙන්නුම් කරයි. යුද්ධය අවධියේ ද ඉන් පසුව ද කාන්තාවන්ගේ අනාරක්ෂිත භාවය වැඩිවී ඇත. වසර හයකට පෙර මැයි මාසයේදී එල්ටීටීඊය පරාජය කරමින් අවසන්වූ යුද්ධය අවධියේ දස දහස් ගනනක් සිවිල් වැසියන් මරුමුවට පත්වීම පසුගිය සතියේ නැගී ආ විරෝධතාවන් සමග සම්පාත විය.

අධිකරනයට පහර දීම හා විරෝධතා යොදාගනිමින් වර්ගවාදී ආතතිය උනුසුම් කිරීමට දකුනේ සිංහල වර්ගවාදී කන්ඩායම් වහාම ක‍්‍රියාත්මක වූහ. ආන්ඩුවට එරෙහි සිය දේශපාලන රැස්වීම්වලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය තේමාව කර ගත්තේ, “එල්ටීටීඊය උතුරේ යලි හිස ඔසවන්නේය” යන්නයි. අම්පාරේ පැවති රැස්වීමකදී කථා කරමින් ඔහු පැවසුවේ, “යාපනයේ හර්තාල් පැවැත්වීමට පටන්ගෙන ඇත. මැරයින් පොලිසියට හා උසාවියට පහරදී ඇත. දකුන බලා පැමිනි බස්රථ යාපනයේදී නතර කර ඇත. මේ අන්දමට එල්ටීටීඊය යලි හිස ඔසවමින් සිටියි.”

ටීඑන්ඒ හා ඊපීඩීපී වැනි දේශපාලන පක්ෂ රජය විසින් විරෝධතාකරුවන් මැඩීමට තුච්ඡ ලෙස දායක වෙති. ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද චූදිතයාගේ නම සඳහන් නොකරමින් ප‍්‍රධාන දෙමල දේශපාලඥයෙක් හා ටීඑන්ඒ මන්ත‍්‍රීවරයෙක් වන අයෙක් සැකකරුවෙකුට පැන යාමට උදව් කල බව සඳහන් කරමින් “ජනතාවට අවශ්‍ය වන්නේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට” බව පැවසීය.

ටීඑන්ඒ මන්ත‍්‍රී සුමන්තිරන්, ඊපීඩීපී යයි කෙලින්ම නොකියා ඊට පිලිතුරු වශයෙන් ඩේලි මිරර් පත‍්‍රයට කියා ඇත්තේ, ජනතාව මර්දනය කිරීම පිනිස සන්නද්ධ කන්ඩායමක් යුද්ධය අවධියේ හා ඉන් පසුවත් නාවික හමුදාව හා මිලිටරිය සමග සම්බන්ධව වැඩ කරන බවය. ගම්මාන දෙකක සිට පැමිනි කන්ඩායමක් ප‍්‍රචන්ඩ ක‍්‍රියා උසිගැන්වූ බව විස්තර රහිතව ඔහු පවසා ඇත.

පැරාමිලිටරි කන්ඩායමක් මෙහෙයවන ඊපීඩීපීය, යුද්ධය අවධියේ මිලිටරියට පිටුබලය දුන් අතර දැන් ජනාධිපති සිරිසේන සමග පෙල ගැසීමට උත්සාහ කරමින් සිටියි. යුද්ධය අවධියේ එල්ටීටීඊයේ හොරනෑව ලෙස කටයුතු කල ටීඑන්ඒ, දැන් සිරිසේනට පිටුබලය දෙමින්, ඇමරිකාවේ හා ඉන්දියාවේ සහාය ඇතිව ඔහු සමග දේශපාලන ගනුදෙනුවක් සඳහා මාන බලමින් සිටියි. දෙමල ප‍්‍රභූවේ මෙම කන්ඩායම් දෙකම, තමන්ගේ වරප‍්‍රසාද පිලිබඳව පමනක් උත්සුක වන අතර දෙමල ජනතාව මුහුනදෙන දුක් ගැහැට පිලිබඳව වගකිව යුතුය.

උසාවියට පහර දීම හෙලා දකිමින්, තමන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අය වෙනුවෙන් ඉදිරිපත් නොවන බව යාපනයේ නීතිඥයින් කියා සිටියේය. එවැනිම හෙලාදකින නිවේදනයක් ශ‍්‍රී ලංකාවේ නීතිඥ සංගමය විසින් ද නිකුත් කර තිබේ. දේශපාලන සංස්ථාපිතය මෙන්ම මෙම සංවිධාන ද රාජ්‍යය සමග සමීපව කටයුතු කරන අතර වර්ධනය වන කැලඹීම් නිසා තමන්ගේ උවමනාකම් අනතුරට පත් වේයයි කනස්සල්ලට පත් වෙති. ටීඑන්ඒ, ඊපීඩීපී හා රාජ්‍යය සමග පෙල ගැසෙන අනෙකුත් අය ද පෙන්නුම් කරන්නේ ජනතාව විසින් අරඹන ඕනෑම සමාජ අරගලයකට තමන් විරුද්ධ බවය.

ජනතාව අතර කෝපය සමනය කිරීම හා රාජ්‍යයේ කඩා පැනීම වසං කිරීමේ උත්සාහයක යෙදෙමින් කාන්තා කටයුතු ඇමති රෝසි සේනානායක, ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන හා අධිකරන ඇමති විජේදාස රාජපක්ෂ සමග එක්ව කොලඹදී ඊනියා ඉටිපන්දම් එලි දල්වාගත් ක‍්‍රියාවකට සම්බන්ධ වූවාය. ඇය වහාම අපරාධකරුවන් අත්අඩංගුවට නොගැනීම ගැන පොලිසියට චෝදනා කරමින් තවත් නීති පනවමින් රාජ්‍යය ශක්තිමත් කල යුතු බව අවධාරනය කලාය.

Share this article: