එක්සත් ජනපදය සමග ශ‍්‍රී ලංකාවේ බැඳීම් සවිමත් කිරීම පිනිස කෙරී කොලඹට පැමිනෙයි

Kerry visits Colombo to deepen US ties with Sri Lanka

කේ. රත්නායක විසිනි, 2015 මැයි 07

පසුගිය සති අන්තයේ සිදු කෙරුනු ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ දෙදින ශ‍්‍රී ලංකා සංචාරය, චීනයට එරෙහි මිලිටරි සූදානමේ කොටසක් ලෙස, කොලඹ සමග එරට බැඳීම් යලි තහවුරු කර ගැනීමේ තවත් පියවරකි.

මෙරට හා ඇමරිකාව අතර සම්බන්ධතා, චීනය වෙත නැඹුරු වෙමින් හා වොෂින්ටනය ද බීජිනය ද අතර තුලනය වීමට උත්සාහ කල, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ පලුදුවී තිබුනි. ඇමරිකාවේ පිටුබලය ලත් පාලන තන්ත‍්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමේ ප‍්‍රතිපලය වූයේ, පසුගිය ජනවාරියේ පැවති ජනාධිපතිවරනයෙන් මෛත‍්‍රිපාල සිරිසේන ජයගැනීම ය.

කෙරී ජනාධිපති සිරිසේන ද අගමැති රනිල් වික‍්‍රමසිංහ ද විදේශ ඇමති මංගල සමරවීර ද දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) නායකයින් ද හමුවිය. “දුෂ්කර තීන්දු” ගැනීම වෙනුවෙන් ඔහු සිරිසේන, වික‍්‍රමසිංහ හා සමරවීරට ප‍්‍රසංසා කලේය. එසේම “අපට ඔබ සමග ඇති හවුල්කාරිත්වය දැඩිකර ගනීම සඳහා අපගේ ආන්ඩු දෙක අතර වාර්ෂික හවුල්කාරිත්ව සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි” ඔහු නිවේදනය කලේය.

2004 දෙසැම්බරයේ ව්‍යසනකාරී ආසියානු සුනාමියෙන් පසුව එවක ඇමරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් 2005දී මෙරටට පැමිනීමෙන් පසුව පැමිනි පලමු ඉහල පෙලේ ඇමරිකානු රාජ්‍යතාන්ත‍්‍රිකයා ඔහු වීම වැදගත් ය. පවෙල් විපතට පත් රටවල් ගනනාවක සංචාරය කරමින් එම ව්‍යසනය ඇමරිකාවේ මූලෝපායික අවශ්‍යතා පෙරට ගෙනයාම සඳහා යොදා ගැනීමට උත්සාහ ගත්තේ ය.

සිය සංචාරය අතරතුර කෙරී, මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රය හා සංහිඳියාව ගැන කුහක දේශන පැවැත්වී ය. මේ කිසිවක් ඔහුගේ සැබෑ න්‍යායපත‍්‍රය නොවී ය. ඔහුගේ සංචාරයෙහි අරමුන වූයේ, ඔබාමා පාලනයේ ආසියාවට “හැරීම” පිටුපස මෙරට පෙල ගස්වා ගැනීම ය. හැරීම එල්ල කෙරෙන්නේ චීනය වටලා එරට ඇමරිකානු ආධිපත්‍යයට යටත් කිරීම වෙත ය. කෙරීගේ සංචාරය, ඇමරිකානු අධිරාජ්‍යවාදය චීනයට එරෙහි සිය ව්‍යායාමය ආක‍්‍රමනකාරී ලෙස ඉදිරියට ගෙන යන්නේය යන පුලුල් පනිවිඩය නිකුත් කිරීමක් ද වේ.

වසර පහක් තිස්සේ වොෂින්ටනය, බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි රාජපක්ෂ ආන්ඩුවේ යුද්ධයට පූර්න පිටුබලය දුන්නේය. එහෙත් චීනය ප‍්‍රමුඛ මිලිටරි ආම්පන්න හා මූල්‍ය අර්බුදයට මුහුනපා සිටි ආන්ඩුවේ අරමුදල් සැපයුම්කරුවා බවට පත්වීමත් සමග ඇමරිකාවට ප‍්‍රශ්න මතුවිය. ඉන් පසුව ඔබාමා පාලනය, කොලඹ පාලනය බීජිනයෙන් ඈත් කිරීම පිනිස, දස දහස් ගනන් සිවිල් ජනතාව මරුමුවට පත්වූ යුද්ධයේ අවසන් මාසවල සිදුවූ මානව හිමිකම් කඩකිරීම් නරුම ලෙස පෙරමුනට ගත්තේ ය. පසුගිය වසරේදී වොෂින්ටනය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ යෝජනාවට සහාය දෙමින්, ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂනයක තර්ජනය ගෙන ආවේය.

රාජපක්ෂ කල්තියා ජනාධිපතිවරනය ජනවාරි 08දා පැවැත්වෙන බව නිවේදනය කල විට රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්, තමන් දිගු කලක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ජානධිපති චන්ද්‍රිකා කුමාරතුංග සමග ගොඩනගාගෙන තිබුන සම්බන්ධකම් ප‍්‍රයෝජනයට ගනිමින් ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරයෙකුව සිටි මෛත‍්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරියට ගත්තේය. “මැතිවරන ප‍්‍රතිපල වලට ගරුකරන” ලෙස දන්වමින් මැතිවරන දිනයේදී කෙරී රාජපක්ෂට පෞද්ගලික දුරකථන ඇමතුමක් දුන්නේය.

සිරිසේන හා වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ඔහුගේ සුලුතර ආන්ඩුව, විශේෂයෙන්ම වොෂින්ටනය ඇතුලු බටහිර බලවතුන් හා මෙරට කලාපීය සහචරයා වන ඉන්දියාව වෙත වහ වහා මාරු විය. ආන්ඩුව, චීන අරමුදල් සැපයෙන ව්‍යාපෘතීන් යලි විමර්ෂනය කරන බව ද නිවේදනය කලේය. අත්හිටුවා තිබෙන ඩොලර් බිලියන 1.4ක කොලඹ වරාය නගර ව්‍යාපෘතිය අනුමත කල යුතුව ඇත. චීනයට දී ඇති පනිවිඩය, සම්බන්ධකම් දිගටම පවත්වාගෙන යන නමුත් පැරනි ආකාරයට නොවන බවයි.

කොලඹ කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවැත්වූ දේශනයකදී කෙරී, වොෂින්ටනයේ මූලෝපායික අවශ්‍යතා ගෙනහැර දැක්වීය. එල්ටීටීඊය තලා දැමීමේ රාජපක්ෂගේ යුද්ධය සමග ඇමරිකාවට මතභේදයක් නොතිබිනැයි ඔහු පැවසීය. ලෝකය පුරා ගෙන යන ඇමරිකාවේ කුරිරු යුද්ධ සුජාත කිරීමට ද උත්සාහ කරමින් කෙරී පැවසුවේ, “පෙලක් අවස්ථාවල එහි වේදනාව නොතකා යුද්ධයට යාම අවශ්‍ය වේ. පූර්වයෙන් පැවති ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව සමග මගේ රටට පැවති සියලු මතභේද පදනම් වුනේ ආන්ඩුව එල්ටීටීඊයට විරුද්ධව සටන් කරන්නේ කෙසේ ද යන්න පිලිබඳව ය. මේ රට මිනීමරු ත‍්‍රස්තවාදී කන්ඩායමක් අතින් නිදහස් කර ගැනීමේ අවශ්‍යතාවය අපි පැහැදිලිවම වටහාගෙන සිටියෙමු.”

රාජපක්ෂගේ චීන සම්බන්ධකම් ගැන සඳහන් නොකර කෙරී, චීනය බෙහෙවින් රැඳී සිටින්නාවූ වැදගත් වෙලඳ මාර්ග ආසන්නයේ මෙරට පිහිටීමේ භූ-මූලෝපායික වැදගත්කම පෙන්වා දුන්නේය. ඔහු මෙසේ පැවසීය. “ඔබගේ රට පිහිටා ඇත්තේ, අප‍්‍රිකාව, දකුනු ආසියාව හා නැගෙනහිර ආසියාව යා කරන සන්ධිස්ථානයක ය. ඉන්දියානු සාගරය ලෝකයේ වැදගත්ම වානිජ්‍ය මහා මාර්ගයයි.

සියලූ මුහුදු මාර්ග තෙල් ප‍්‍රවාහනය සිදුවන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා වන අතර ලෝකයේ වානිජ්‍ය නෞකා ගමනාගමනයෙන් අඩක් මැලැක්කා සමුද්‍ර සන්ධිය හරහා සිදුවන” බව කෙරී සඳහන් කලේය. “ඉන්දියාවේ හා මියන්මාරයේ ගැඹුරු මුහුදු වරායන් ආශ‍්‍රිතව එහි මූලෝපායික පිහිටීම නිසා ශ‍්‍රී ලංකාවට, නවීන හා ගතික ඉන්දු-පැසිෆික් කලාපයේ උපස්තම්භය ලෙස සේවය කල හැකිය.”

“ඉන්දියාව, ඕස්ට‍්‍රටේ‍්‍රලියාව, ඉන්දුනීසියාව හා ජපානය ඇතුලු කලාපයේ සමීප මිතුරන් හා අනුගාමිකයින්” සමග සහයෝගයෙන්, ඉන්දියානු සාගරයේ නාවික ආරක්ෂාව දැනටමත් ඇමරිකාව විසින් සම්පාදනය කරන බව කෙරී අවධාරනය කලේය.

ඇමරිකාව හා ශ‍්‍රී ලංකාව, “භෞමික හෝ නාවික හිමිකම් පෑමේදී කිසිවෙකුත් බලය හෝ බියගැන්වීම යොදාගන්නේ නම් ඊට විරුද්ධව එක්ව කටයුතු කරන බව ද” රාජ්‍ය ලේකම් පැවසීය. “නාවික ගමනාගමනයේ නිදහස හා ඉහලින් පියාසර කිරීමට හා මුහුද ද ගුවන් පථය ද අනෙකුත් නීතිමය කටයුතු සඳහා යොදාගැනීම” රැකගැනීමේ අවශ්‍යතාව ද ඔහු ගෙනහැර දැක්වීය. නැගෙනහිර චීන මුහුදේ ජපන් අධිරාජ්‍යවාදයේ හිමිකම් පෑම ද ෆිලිපීනය හා වියට්නාමය දකුනු චීන මුහුදේ හිමිකම් පෑම ද දිරිගන්වන අතරතුර ඇමරිකාව, චීනයට එරෙහි ප‍්‍රකෝපකාරී කටයුතු සඳහා යොදාගන්නේ, නාවික ගමනාගමනයේ නිදහස පිලිබඳ සටන් පාඨයයි.

පෙන්ටගනය දැනටමත් මෙරට මිලිටරිය සමග සම්බන්ධතා තරකරමින් සිටී. ඇමරිකාවේ හත්වන නාවික බලඇනියේ ආඥාපතීන් අපේ‍්‍රල් 19දා, සමරවීර, ආරක්ෂක නියෝජ්‍ය ඇමති රුවන් විජේවර්ධන ඇතුලු නියෝජිත පිරිසකට, යූඑස්එස් වින්සන්ට් ප‍්‍රහාරක නාවික බලඇනිය කරා පැමිනෙන ලෙස ආරාධනය කල අතර එහිදී සාකච්ඡා සිදුව ඇති අතර ඔවුන්ට එහි මිලිටරි ශක්තිය ද දැකගත හැකිවී තිබේ.

ප‍්‍රධාන දෙමල ධනපති සන්ධානය වන ටීඑන්ඒ, ආන්ඩුවට සහයෝගය දීම සහතික කර ගැනීමට කෙරී උනන්දු විය. වොෂින්ටනයේ මූලෝපායික අවශ්‍යතාවන්ට හරස්වන, මෙරට මෙන්ම දකුනු ඉන්දියාවේ ද දේශපාලන අස්ථාවරත්වය උග‍්‍ර කල හැකි, දිවයිනේ දෙමල සුලුතරය මර්දනය කිරීම පිලිබඳ කවර හෝ ආන්දෝලනයක් නතරකර ගැනීමට වොෂින්ටනයට අවශ්‍යව තිබේ.

ටීඑන්ඒ නියෝජිතයින් සමග පැවැත්වූ රැස්වීමේදී කෙරී, උතුරු හා නැගෙනහිර දෙමල ප‍්‍රභූව හා කොලඹ අතර බලය බෙදීමේ සූත‍්‍රයක් වන, “බලය පැවරීමේ” යෝජනාවට සහාය පල කලේය. කෙසේ වෙතත් ඔහු ටීඑන්ඒට කියා සිටියේ, “මිත‍්‍රශීලී විසඳුමක් දෙසට පියවර ගන්නා නව ආන්ඩුව” සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස බව එහි ප‍්‍රකාශක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් පැවසීය.

මෙරට ප‍්‍රභූ පැලැන්තියේ සැලකිය යුතු කොටසක් ඇමරිකාව සමග ඇතිකරගන්නා නව සබඳතා පිලිබඳව ප‍්‍රමුදිතව සිටිති. කෙරීගේ සංචාරය ගැන මෙරට මාධ්‍ය ලිපි පලකොට තිබේ. සන්ඩේ ටයිම්ස් කතුවැකියක් මෙසේ සඳහන් කරයි. ශ‍්‍රී ලංකාව හා එක්සත් ජනපදය අතර “කථාබහ මුලුමනින්ම බිඳ වැටී තිබුනි. එය මෙරට මැතිවරනය රල පහර ආපසු හැරවීම පිනිස යොදාගත යුතුව තිබුනි. බොහෝ කොටම ලේකම් කෙරීගේ සංචාරය, එක්සත් ජනපද-ශ‍්‍රී ලංකා සබඳතා නියම මාවතට ගැනීම පිනිස රාජපක්ෂ තන්ත‍්‍රය ඉවත් කිරීමට උපකාරී වූ මෙරට ඡන්දදායකයින්ට හොඳහිත පලකිරීම සඳහා වූවකි.”

මෙරට ධනපතීන් ඇමරිකාව සමග ව්‍යාපාරික කටයුතු අහිමිවනු ඇතැයි බියට පත්ව සිටියේය. විශාලතම තනි වෙලඳපොලක් ලෙස එරට සමග වෙලඳාම 2013දී ඩොලර් බිලියන 2.5ක් විය. ඇමරිකාව සමග සිය සමීප බැඳීම් ප‍්‍රයෝජනයට ගෙන වඩ වඩාත් ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය කරා පිවිසීමටත්, විදේශ ආයෝජන ආකර්ෂනය කර ගැනීමටත් සිරිසේනගේ ආන්ඩුව බලාපොරොත්තු වෙයි. කෙරී සමග හිඳිමින් විදේශ ඇමති සමරවීර මෙසේ පැවසීය. “වසර ගනනාවක් තිස්සේ ශ‍්‍රී ලංකාව සංචාරකයින්ගේ පාරාදීසයක් සේ සලකනු ලබයි. එසේම අපගේ ආන්ඩුව දැන් මෙරට ආයෝජකයින්ගේ පාරාදීසයක් බවට පත් කිරීමට ද උනන්දුවෙන් සිටියි.”

“විශාල ආයෝජන හා විශාල වර්ධනයක්” අත්කර ගැනීමේ ආර්ථික පියවර සම්බන්ධයෙන් ආන්ඩුව සමග ඇමරිකාවේ භාන්ඩාගාරය හා වෙලඳ දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කරනු ඇතැයි කෙරී පැවසීය. එහි අර්ථය, ආර්ථික ප‍්‍රතිසංස්කරනයේ නාමයෙන් වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන්ට තව තවත් ප‍්‍රහාර එල්ල වනු ඇත යන්න හා චීනයට එරෙහි යුද්ධයේ තර්ජනයට කලාපයේම කම්කරුවන් නිරාවරනය කෙරෙනු ඇත යන්නයි.

Share this article: