ලතින් ඇමරිකාවේ අර්බුදය හා විප්ලවවාදී නායකත්වය සඳහා සටන

The crisis in Latin America and the fight for revolutionary leadership

බිල් වෑන් ඕකන් විසිනි, 2015 මැයි 7

එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන බිල් වෑන් ඕකන් විසින් මෙම කථාව පවත්වන ලද්දේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මැයි 03දා සංවිධානය කල අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දින රැලිය වෙනුවෙනි.

2015 වසරේ මෙම මැයි දින සැමරුමේදී, උතුරු, මධ්‍යම හා දකුනු ඇමරිකාවේ කම්කරුවන් ඔවුන්ගේ පොදු සතුරා වන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සහ ධනවාදී පද්ධතියට එරෙහිව අරගලය තුල ඒකාබද්ධ කිරීම සඳහා වන සිය අධිෂ්ඨානය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව යලි වතාවක් සහතික කර සිටියි.

අර්ධගෝලයේ සෑම රටකම කම්කරු පන්තිය එල්ල කර ගනිමින්, ඔවුන්ගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් මත නිමක් නැතිව කෙරී ගෙන යන ප‍්‍රහාර හා සමාජ අසමානතාවේ වැඩීම, මෙකී ඒකාබද්ධතාව ප‍්‍රායෝගිකව සිදුකිරීමට වඩාත්ම බලගතු කොන්දේසි නිර්මානය කර තිබේ.

ලතින් ඇමෙරිකාව ලෝකයේ වැඩිම අසමනාතාවෙන් යුත් කලාපය යි. ආසන්න වසයෙන් මෙම කලාපයේ මිලියන 167ක ජනකායක් දරිද්‍රතාවේ ගිලී සිටින අතර තවත් මිලියන 200ක ජනයා දුප්පත්කමට ඇද වැටීමේ අනතුරට මුහුනදී සිටිති. මහජනතාව මුහුන දෙන දුප්පත්කම හා කාලකන්නිකම සමගම, අනික් පැත්තෙන් කලාපයේ ධනවත්ම පුද්ගලියින් සියයට 1, අදහාගත නොහැකි යෝධ ධනස්කන්ධයක් ගොඩගසා ගෙන සිටිති. ලතින් ඇමරිකාවේ ප්‍රකෝටිපතියන් සංඛ්‍යාව 114දක්වා ඉහල නැඟී ඇති අතර ඔවුන්ගේ ඒකාබද්ධ වත්කම ඩොලර් බිලියන 440කි. එය, ලතින් ඇමරිකාවේ විශාලතම ජාතික ආර්ථිකයන් සහිත රටවල් හතරේම දල දේශීය නිෂ්පාදිතයේ වටිනාකම පරයා යයි.

අනෙකුත් කලාපවල අප දැක ඇති අයුරින්, විශේෂයෙන්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් සමූල ඝාතනවලට සමාන තරමේ මර්දනය හා සමස්ත සමාජයන්ම අතුගා දමන යුද්ධයන් ආරම්භ කර ඇති මධ්‍යම ඇමරිකානු දූපත්වල මහාපරිමාන දරිද්‍රතාව, නිරන්තරයෙන් සිදුවන ප‍්‍රචන්ඩ ක‍්‍රියා හා සමාජ කඩාවැටීම මගින් සිය නිවෙස් වලින් පලායන සරනාගතයින්ගේ ප‍්‍රවාහයක් නිර්මානය කර ඇත.

මෙකී සංක‍්‍රමනික කම්කරුවන් හා තරුනයින්ට, පලා යාමට සහ පොලිසියේ හා ආගමන නිලධාරීන්ගේ මර්දනයට ලක්නොවී, තමන් කැමති තැනක ජීවත්වීමටත් වැඩකිරීමටත් ඇති අයිතිය එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය විසින් ආරක්ෂා කරනු ලබයි. සංක‍්‍රමන විරෝධී ස්වෝත්තමවාදය අවුස්සන රිපබ්ලිකන් දක්ෂිනාංශයට සහ මිලියන දෙකකට අධික වාර්තාගත සංක‍්‍රමනිකයන් පිරිසක් පිටුවහල් කල ඔබාමා පාලන තන්ත‍්‍රයට යන දෙපාර්ශවයටම එරෙහිව අරගලයක් තුල සංක‍්‍රමනික හා දේශීය කම්කරුවන් ඒකාබද්ධ කිරීමට අපගේ පක්ෂය සටන් වදියි.

යුද්ධය සඳහා ජාත්‍යන්තරවම තල්ලුව සපයන එකී මූලික ප‍්‍රතිවිරෝධතාවන්ම ලතින් ඇමෙරිකානු කලාපය තුල ද මතුව තිබේ. කලාපය තමන්ගේ ‘‘පිලිකන්න’’ යැයි එකදිගට කියාපාන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, තම අධිකාරය පවත්වා ගැනීමට සිය ප‍්‍රතිමල්ලවයන් කෙරෙන්, විශේෂයෙන් ම චීනයෙන් එල්ල වන වැඩෙන අභියෝගයන්ට මුහුන දී සිටියි.

පසුගිය වසරේ චීන බැංකු ලතින් ඇමෙරිකාව තුල සිය ආයෝජන සියයට 71න් වැඩි කල අතර මෙය, ලෝක බැංකුව හා අන්තර් ඇමරිකානු සංවර්ධන බැංකුව කලාපයට පිරිනමන ඒකාබද්ධ නයවල වටිනාකමට වඩා වැඩි ප‍්‍රමානයකි. ඊලඟ දශකයේදී කලාපය සමග සිය වෙලඳාම දෙගුන කිරීමට බීජිනය බලාපොරොත්තු වේ. එය දැනටමත් ද්වී පාර්ශ්වික වෙලඳාම සම්බන්ධයෙන් ගත්විට බ්‍රසීලය, ආජන්ටිනාව, පේරු හා වෙනිසියුලාව යන රටවල්වල ඇමරිකානු වටිනාකම් ඉක්මවා ගොස් තිබේ.

එක්සත් ජනපද මිලිටරියේ දක්ෂින මෙහෙයුම් බලඇනියේ ප‍්‍රධානියා මෑතකදී කොන්ග‍්‍රසය හමුවේ සාක්ෂි දෙමින් ප‍්‍රකාශ කලේ, පෙන්ටගනය සිය ‘‘ආසියාවට හැරීමේ’’ මූලෝපායික වැඩසටහන ක‍්‍රියාවට දමද්දී චීනය තමාගේම ‘‘ඇමෙරිකාවන් වෙතට හැරීම’’ පිලිබඳ වැඩසටහනක නිරතව සිටින බව යි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය එහි අධිකාරී බලය සාමකාමීව අත්හැර යාමට සූදානම් නැත. එහි ආර්ථික පරිහානියේ ප‍්‍රතිපලයක් ලෙස එක්සත් ජනපදය වඩාත් වේගයෙන් මිලිටරිවාදය මත වාරු වනු ඇත.

1898 ස්පාඤ්ඤ-ඇමරිකානු යුද්ධයත් සමගම ගෝලීය අධිරාජ්‍යවාදී බලයක් ලෙස ඉස්මතුවූ තැන් පටන් ගතවූ ශතවර්ෂයේදී, එක්සත් ජනපදය එක්කෝ සෘජු මිලිටරි මැදිහත්වීම් මගින් නැතිනම් පෙන්ටගනයේ හා සීඅයිඒ විසින් සැලසුම්කරන ලද කුමන්ත‍්‍රන මගින් ලතින් ඇමෙරිකාවේ ආන්ඩු 40කට වැඩි ප‍්‍රමානයක් පෙරලා දමා ඇත. එවැනි වඩාත් මෑතම සිදුවීම් අතරට 2002 වසරේදී වෙනිසියුලාවේ හිටපු ජනාධිපති අසාර්ථක කුමන්ත‍්‍රනයකින් පෙරලා දැමීමට වෑයම් කිරීම, 2004 වසරේදී හෙයිටි ජනාධිපතිපති ඇරිස්ටයිඩ් බලයෙන් පහකිරීම හා 2009දී හොන්දුරාස් රාජ්‍යයේ සෙලායා නෙරපීම යන සිදුවීම් දැකගත හැකිය.

මිලිටරි අභ්‍යාස සඳහා පේරු, ඩොමිනිකානු සමූහාන්ඩුව හා අර්ධගෝලයේ අනෙකුත් ප‍්‍රදේශවලට හමුදා යවමින්ද මිලිටරි කඳවුරු ප‍්‍රමානය ක‍්‍රමානුකූලව වැඩි කරමින් ද වොෂින්ටනය, එකදිගට කලාපය තුල මැදිහත්වෙමින් සිටියි.

අධිරාජ්‍යවාදය පරාජය කිරීම, ඇමරිකා එක්සත් ජනපදයේ කම්කරුවන් ද ඇතුලු ලතින් ඇමෙරිකානු රටවල කම්කරු පන්තියේ කර්තව්‍යය යි. ධනේශ්වර ආන්ඩු හෝ ව්‍යාපාර කෙතරම් ඉහලින් “වාමාංශික” යයි හුවා දැක්වුවද ඔවුන් වෙත එය පැවරිය නොහැක.

විසිවැනි ශතවර්ශයේ පාඩම වන්නේ මෙය යි. කියුබානු විප්ලවයේ ස්වභාවය පිලිබඳව ඇතිකරන ලද ව්‍යාකූලත්වය හා ගරිල්ලා යුද කෙලිවලට උඩගෙඩි දෙමින් එය අනුකරනය කිරීමට දැරූ ප‍්‍රයත්නයන් යොමු වූයේ, එම කාල පරිච්ඡේදයේදී කලාපය පිසගෙන ගිය විප්ලවවාදී අරගල රැල්ල පාවාදීමට යි.

මෙම පාවාදීමේ තීරනාත්මක භූමිකාවක් ඉටුකරනු ලැබුවේ ලතින් ඇමෙරිකාව තුල එහි මොරිනොයිට් ප‍්‍රභේදය ඇතුලු පැබ්ලෝවාදී ප‍්‍රතිසංස්කරනවාදය යි. මෙම බලවේග, කියුබාව තුල කම්කරුවන්ගේ රාජ්‍යයක් පිහිටුවීමට කැස්ත්‍රෝවාදයට හැකිය යි ද සුලු ධනේශ්වර ජාතිකවාදී ගරිල්ලා ක‍්‍රමයට පොදුවේ සමාජවාදය සඳහා නව මාවතක් නියෝජනය කල හැකියැයි ද යන ඉදිරි දර්ශනයක් ගෙන එමින් කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය ප‍්‍රතික්ෂේප කලහ.

එක්සත් ජනපද වානිජ මන්ඩලයේ පිටුබලය ලද හා පසුගිය මාසයේ ලතින් ඇමෙරිකානු රටවල්වල ඕඒසී සමුලුව විසින් වගවර්නනා කල, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා කියුබානු පාලන තන්ත‍්‍රය යලි සමගිවීම, මෙම පාලනය හා එය බලයට ගෙනආ විප්ලවයේ ඇත්ත ස්වභාවය හෙලිදරව් කරන අතර මෙම අත්දැකීම පිලිබඳ ශේෂපත‍්‍රයක් සකසා ගැනීමට දැන් අවස්ථාව සලසා තිබේ.

කාල්මාක්ස් විස්තාරනය කල, ‘‘කම්කරුවනගේ නිදහස දිනාගැනීම කම්කරුවන්ගේ ම කාර්භාරය යි ” යන අතිමූලික සංකල්පයල පැබ්ලෝවාදීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිනි. කම්කරු පන්තියේ ක‍්‍රියාකාරී හා සවිඤ්ඤානික මැදිහත්වීමකින් තොරව සමාජවාදය අත්කර ගත හැකි බවත් දේශපාලන බලය අත්කර ගැනීම සඳහා කම්කරු පන්තිය තුල සවිඤ්ඤානිකත්වය ගොඩ නැගීමට සටන් වදින මාක්ස්වාදී පක්ෂයක් ගොඩ නැගීම තවදුරටත් අවශ්‍ය නැති බවත් ඔවුහු කියා සිටියහ.

මෙම ප‍්‍රතිසංස්කරනවාදී දෘෂ්ටියට එරෙහිව සටන් වැදුනේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ම පමනි. එහි දේශපාලන ගම්‍යයන් කියුබාවෙන් එපිටට පැතිර ඇති බවත් කම්කරු පන්තියට ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක ජනනය කරන බවත් එය අනතුරු ඇඟවීය.

මෙම අනතුරු ඇඟවීම ඛේදනීය ලෙස සනාථවී ඇත. කැස්ත්‍රෝවාදී ගරිල්ලා ක‍්‍රමය උත්කර්ෂයට නැංවීම මගින් මිලිටරිය සමග ආත්ම ඝාතක සටන්වලට ඔවුන් තල්ලුකර හරිමින් තරුනයින්ගේ රැඩිකල් කොටස් කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය සඳහා සටන් කිරීමෙන් ඉවතට හරවනු ලැබින. මෙය, ස්ටැලින්වාදීන්ට, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට හා ධනේශ්වර ජාතිකවාදී නිලධරයන්ට කම්කරු ව්‍යාපාරය මත ග‍්‍රහනය පවත්වා ගැනීමටත් කම්කරුවන්ගේ විප්ලවවාදී අරගල මර්දනය කිරීමටත් අනුබලය දුන්නේය. එමෙන්ම එය ෆැසිස්ට්වාදී මිලිටරි ආඥාදායකත්වයන් ස්ථාපිත කිරීමට කඩතුරාවක් සම්පාදනය කලා. මෙහි අනිවාර්ය ප‍්‍රතිපලය වූයේ, ජාත්‍යන්තර පරිමානයෙන් වැඩෙමින් පැවැති තියුනු විප්ලවවාදී අරගල කාල පරිච්ඡේදයකදී, පනනල බේරාගැනීමට අධිරාජ්‍යවාදයට ශක්‍යතාව සලසමින් සමස්ත ලතින් ඇමරිකාව පුරා බලගතු විප්ලවවාදී නැගිටීමක් පරාජයට පත් කිරීම යි.

ජාත්‍යන්තර කමිටුව, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පදනම් වෙමින් මෙම පැබ්ලෝවාදී ඉදිරිදර්ශනයට එරෙහිව දැඩි ලෙස සටන් වැදෙමින් අවධාරනය කලේ, අධිරාජ්‍යවාදය පරාජයට පත්කල හැක්කේ, කම්කරු පන්තියේ නායකත්වය යටතේ බලය අල්ලා ගෙන, විප්ලවය ජාත්‍යන්තරව ව්‍යාප්ත කිරීමෙන් පමනක් ම බව යි.

මෙම ඉදරි දර්ශනය සාක්ෂාත්වීමේ කොන්දේසි ලතින් ඇමෙරිකාව තුලත් ජාත්‍යන්තරවත් ඉස්මතු වෙමින් තිබේ. මෙක්සිකෝව තුල, අයොට්සින්නාපා ශිෂ්‍ය සමූලඝාතනය හා අතුරුදහන් කිරීම බලගතු නැගීටීම් අවුලුවා තිබෙන්නේ, වම්මුන් යැයි කියා ගන්නා පීආර්ඩී හා මොරීනො ව්‍යාපාර ඇතුලු මෙම ඉතිහාසගත අපරාධයට සම්බන්ධ සියලුම දේශපාලන පක්ෂ නින්දාවට පත් කරමිනි. සිය සමාජ ප්‍රතිවිප්ලවය ඉදිරියට ගෙනයාමේදී මෙක්සිකෝවේ ධනපතියන් ද අධිරාජ්‍යවාදීන් ද යොදාගත් ක්‍රමවේදයන්හි සෘජු ප්‍රකාශනය වූ මෙම ඓතිහාසික අපරාධයට මේ සියල්ලන්ම වගකිවයුතුය.

බ‍්‍රසීලය සම්බන්ධයෙන් සැලකූ කල වසර 13ක් තිස්සේ බලය හෙබවීමෙන් අනතුරුව පැට්රොබාස් දූෂන සෝලියේ ගිලී, කම්කරු අයිතීන් හා සමාජ කොන්දේසි මත ප‍්‍රහාර එල්ල කිරීමෙන් ද වීථිවල දක්ෂිනාංශික කල්ලිගැසීම් හමුවේ වඩ වඩාත් තියුනු ලෙස දකුනට හැරීම මගින් ප‍්‍රතිචාර දැක්වීම මගින් ද කම්කරු පක්ෂය මුලුමනින්ම අපකීර්තියට පත්ව ඇත.

මෙක්සිකෝවේ, ඇමරිකාවේ හා ලෝකය පුරා මෙන්ම බ්‍රසීලයේ ද පාලක පන්තිය නග්න රාජ්‍ය ප්‍රචන්ඩත්වය යොදාගනියි. එය, පසුගිය සතියේදී කියුරිටිබා යන දකුනු නගරයකදී විරෝධතාවයේ යෙදුනු ගුරුවරුන්ට මිලිටරි පොලිසිය විසින් එල්ල කල රුදුරු ප්‍රහාරයේදී දැකගත හැකි විය. මෙම කොන්දේසි යටතේ, පීටී ආන්ඩුවේ ප‍්‍රධාන ප‍්‍රකාශක මිගුවෙල් රොසෙටෝ පූර්වයෙන් බ‍්‍රසීලය තුල පැබ්ලෝවාදී ව්‍යාපාරයේ නායකයා වීම අහම්බයක් නොවේ.

ලතින් ඇමෙරිකාවේ ධනපති පන්තිය එවැනි පුද්ගලයින් යොදාගෙන තම පාලනය රැකගැනීම පිලිබඳ කාරනය ගැඹුරුවෙමින් පවත්නා අර්බුදය පිලිබඳවත් ඉදිරියේ එන පන්තිය අරගලය පුපුරායාම පිලිබඳවත් සංකේතවත් කරයි.

මෙම එලැඹෙමින් පවත්නා විප්ලවවාදී නැගිටීම් රැල්ල සඳහා සූදානම් වීමේදී තීරනාත්මක ප‍්‍රශ්නය වන්නේ, කම්කරු පන්තියේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී නායකත්වයක් ගොඩ නැගීම යි. එනම්, සමාජවාදී එක්සත් ඇමරිකානු සංගමයක පොදු ඉදිරි දර්ශනයක් සඳහා, අර්ධගෝලයේ සෑම රටකම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩ නැගීම යි.

Share this article: