චීන කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන

The fight for the political independence of the working class in China

ජේම්ස් කොගන් විසිනි, 2015 මැයි 08

ඕස්ටේ‍්‍රලියාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් වන ජේම්ස් කෝගන් මෙම කථාව පැවැත්වූයේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සංවිධානය කරන ලදුව මැයි 03 පැවැත්වූ ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය වෙනුවෙනි.

වඩාත් නිවැරදිව කිවහොත්, ඇමරිකා, ඕස්ටේ‍්‍රලියා හා ජපන් අධිරාජ්‍යවාදය චීනයට විරුද්ධව යුද්ධය සඳහා සූදානම් වීම නැතිනම්, ඇමරිකාවේ ආසියාවට “හැරීම” ලෙස හඳුන්වන පිලිවෙත, මානව වර්ගයාගේ අනාගතයටම තර්ජනය කරයි.

මේ හැම රටකම මිලිටරි බලවේග, ගුවන් මුහුදු සටන පිලිබඳ “සංකල්පය” ක‍්‍රියාවට නැගීම පිනිස සන්නද්ධ කර, ස්ථානගත කර, පුහුනු කර තිබේ. එමගින් සූදානම් කෙරෙන්නේ, චීන ආර්ථිකය අඩපන කර එරට ජනතාව කුසගින්නේ තැබීම ඉලක්ක කර, “ඇස් නිලංකාර කරන මෙහෙයුමක්” දියත් කිරීමට යි.

2015 මැයි දින රැලියේ දී ජේම්ස් කෝගන් පැවැත්වූ කථාව: චීන කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන

එරටට එරෙහිව ගුවනින් බෝම්බ හා මිසයිල් එල්ල කිරීම, සයිබර් අවකාශයේ හා “ප‍්‍රතිඅභ්‍යවකාශ” ප‍්‍රහාර දියත් කිරීම සඳහා වන මෙම ප‍්‍රහාරයේ අරමුන වන්නේ, මිලිටරි මධ්‍යස්ථාන, මෙහෙයුම් මධ්‍යස්ථාන, චන්ද‍්‍රිකා, තොරතුරු හුවමාරු පද්ධති හා බල ශක්ති ජාලයන් විනාශ කිරීම වගේම, චීන නගර අලු දූවිලි කිරීම, කිව නොහැකි තරම් සිවිල් ජනතාවක් සමූලඝාතනය කිරීම යනාදියයි.

කිසිදු ඉවබවකින් තොර මෙම ක‍්‍රියාවලිය, ඇමරිකාවේ මූලෝපායික හා මිලිටරි කවයන් තුල ප‍්‍රකාශයට පත්කර තිබෙන යුද්ධය පිලිබඳ නානා ප‍්‍රකාර අධ්‍යයනයන් තුල ප‍්‍රකාශයට පත්වේ. එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් අපේ‍්‍රල් 01දා ප‍්‍රකාශයට පත් කර තිබෙන, වාර්තාව මෙහි අලුත්ම එකයි. එය මෙසේ අවධාරනය කරයි: “චීනයට එල්ල කෙරෙන සම්ප‍්‍රධායික ප‍්‍රහාර සැලසුම් කිරීම අනුව ගැටුම් පැතිරවීමක් ලෙස පෙනී යා හැකි නමුත් ඒවා, අනිවාර්යයෙන්ම න්‍යෂ්ටික ගැටුම් පැතිරවීමකට තුඩුදෙනු නැත” යනුවෙනි.

වෙනත් වචන වලින් කියන්නේ නම්, මේ අවස්ථාවේදී, සිය ජපන් හා ඕස්ටේ‍්‍රලියානු සහචරයින්ගේ සහාය ඇතිව ඇමරිකානු පාලක පන්තිය, තම ඉලක්ක සපුරා ගැනීමට න්‍යෂ්ටික යුද්ධයේ අවදානම ගැනීමට සූදානම් වන බවයි. වොෂින්ටනය චීනය යටපත් කර, එරට දැවැන්ත ශ‍්‍රම සම්පත ඇමරිකානු බැංකු, ආයෝජන සමාගම් හා සංගත වල අධිකාරය යටතේ තැබීමෙන් පමනක් නතර වන්නේ නැත.

යුද්ධයේ තර්ජනය හමුවේ චීන කම්කරු පන්තියට තම ඉරනම චීන කොමියුනිස්ට් පක්ෂ තන්ත‍්‍රයේ අතෙහි තබන්නට පුලුවන් කමක් නැත. චීන කොමියුනිස්ට් පක්ෂය එරට ධනපති පන්තියේ දේශපාලන නියෝජිතයා ය. කම්කරු පන්තිය මත පදනම්වී අධිරාජ්‍යවාදයට විරුද්ධව මොනයම් හෝ අරගලයක් කිරීමට ඔවුන් සිය උපතේ සිටම විරුද්ධය. මක්නිසා ද යත් එය තමන්ගේම ද්‍රව්‍යමය උවමනාකම් වලට ද පාලනයට ද තර්ජනය කරන බැවින්ය.

මා ඕ සේතුංගේ නායකත්වය යටතේ 1949දී බලය අල්ලාගත් චීන කොමියුනිස්ට් පක්ෂය, සෝවියට් සංමයේ ස්ටැලින්වාදී නිලධර තන්ත‍්‍රයේ රාජ්‍ය ආකෘතිය චීනය තුල ද පිහිටුවීය. තමන් යටත් විජිතවාදයේ සුන්බුන් අතුගා දමා චීන ජනතාව පසුගාමිත්වයෙන් මුදා ගන්නා බව ඔවුහු කියා සිටියහ.

එයට පටහැනි ලෙස, “තනි රටක සමාජවාදය” පිලිබඳ ස්ටැලින්වාදී න්‍යාය කරපින්නාගත් මා ඕ සේතුංගේ ජාතිකවාදී ප‍්‍රතිපත්ති, වසර 23ක් ඇතුලත ඇමරිකානු අධිරාජ්‍යවාදී ධර්මයට අනුව යමින් පසුව ධනවාදය පුනස්ථාපනය වෙත යොමුවිය. පසුව නායකත්වයට පත්වූ ඩෙන් සියා ඕපිං හා ඔහුගේ අනුප‍්‍රාප්තිකයින් යටතේ චීන කොමියුනිස්ට් පක්ෂය, ඇමරිකාව ආධිපත්‍යය දැරූ ලෝක පර්යාය තුලට චීනය ඒකාග‍්‍ර කිරීම පිනිස වොෂින්ටනය සමග සහයෝගයෙන් කටයුතු කලේය.

අද දවසේ චීනය, ලෝක අධිරාජ්‍යවාදයේ ප‍්‍රධාන නිෂ්පාදන ලාභ ශ‍්‍රම වේදිකාව හා අන්තර්ජාතික සංගත සඳහා වගේම බොහෝ විට කොමියුනිස්ට් පක්ෂයේ මුදුනින් පැන නැගි චීනයේ අලුත් ධනපතියන් සඳහා ද ඉමහත් ලාභ උපයා දෙන මූලාශ‍්‍රය බවට පත්වී තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයට බැඳුනු ධනපතියන් ඉමහත් වාසානාවක් උදාකරගෙන ඇත. බිලියන 1.35 වන මුලු ජනගහනයට සාපේක්ෂව එරට ප‍්‍රකෝටිපතියන් 450 දෙනෙක් සිටී. පුද්ගලයින් 60,000කට වැඩි සංඛ්‍යාවකට ඩොලර් මිලියන 200කට වැඩි පුද්ගලික ධන සම්පත් තිබෙන බවටත්, ඩොලර් මිලියන පතියන් මිලියන 2.5 සිටින බවටත් එරට නායකයෝ කයිවාරු ගසති.

ඊට ප‍්‍රතිකූල ලෙස, මිලියන 400ක් ජනතාව, විශේෂයෙන්ම ගම්බද ගොවීන්, අන්ත දුගී බවේ ගිලී සිටින අතර කෝටි ගනනක් කාර්මික හා ඊනියා “සංක‍්‍රමනික” කම්කරුවන්, අඩු වැටුප් හා රුදුරු සේවා කොන්දේසි වලට යටකර තිබේ. ගෝලීය ආර්ථික පසුබෑම හා අවධමනය පුලුල් වෙද්දී ද වර්ධන වේගය මන්දගාමී වෙද්දී මහා විරැකියාවේ තර්ජනය මතුව ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂය තවමත් කියන්නේ මෙම තත්වය “චීන ලක්ෂන සහිත සමාජවාදය” බවයි.

වොෂින්ටනයේ තර්ජන වලට ප‍්‍රතිචාර වශයෙන් බීජිනය, ගුවන්යානා හාරක නෞකා, න්‍යෂ්ටික අවි සහිත සබ්මැරින හා දකුනු චීන මුහුදේ ගල් පර දූපත්වල ගුවන් පථ ඉදිකිරීම පිනිස ඩොලර් බිලියන සිය ගනන් යොදවන මංමුලා සහගත ව්‍යායාමයක යෙදී සිටින අතර එමගින් වොෂින්ටනයේ යුද ගැත්තන් බියගැන්විය හැකිය යන නිරර්ථක බලාපොරොත්තුව මත පදනම්ව ඇත. ඒ වගේම චීනය, රුසියාව සමග පෙර නොවූ විරූ සමීප මිලිටරි බැඳීම් ඇතිකර ගනිමින් තමන් සමග කිට්ටු සම්බන්ධතා ඇතිකර ගැනීම සඳහා ඇමරිකාවේ යුරෝපීය ප‍්‍රතිවාදීන්ට ඉල්ලීම් කරති.

දැනටමත් ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් අතර කටුක ආතතීන් වර්ධනය වෙමින් තිබේ. ඒ චීන වෙලඳපොලෙහි අනසක පතුරවන්නේ කවුරුන් ද යන්න මතය. වොෂින්ටනයේ ඉල්ලීම නොතකා බි‍්‍රතාන්‍ය, ජර්මනිය, ප‍්‍රන්සය හා ඉතාලිය ආසියාවේ යටිතල ව්‍යුහ ආයෝජන බැංකුවට සම්බන්ධ වීමට ගත් තීන්දුවෙන් මෙය මනාව පෙන්නුම් කෙරේ. ඇමරිකාව හා ජපානය මීට ප‍්‍රතිචාර දක්වන්නේ, තමන්ගේ මිලිටරි සන්ධාන පුලුල් කරමින් හා චීනයට විරුද්ධ තම ආක‍්‍රමනකාරී පියවර උග‍්‍ර කරමිනුයි.

මිලිටරි ගැටුම් පිලිබඳ තර්ජනය නැගී එද්දී හා රට තුල පන්ති ප‍්‍රතිවිරෝධයන් දැඩි වෙද්දී චීන කොමියුනිස්ට් පක්ෂය, ජාතිකවාදය, ඇමරිකානු විරෝධය හා ජපන් විරෝධී ස්වෝත්තමවාදය වපුරති. ඒ යුද්ධය නතර කිරීමටත් තම සමාජ හා දේශපාලන අයිතීන් දිනාගැනීමේ අරගලයේදී තමන්ට සිටින එකම මිතුරන්ගෙන් චීන කම්කරු පන්තිය බෙදා දැමීමටයි. එම මිතුරන් වන්නේ, එක්සත් ජනපදයේ, ජපානයේ, ආසියාවේ හා ලෝකයේම කම්කරුවනුයි.

චීන කම්කරු පන්තිය 20වන සියවසේ දැවැන්ත මූලෝපායික පාඩම් උකහාගත යුතුය. ඒවා අතර, 1911-1949 අතර කාලයේ චීන ජනතාවන්ම ගෙනගිය බාරදූර විප්ලවවාදී අරගල ද ටියන්ආන්මෙන් චතුරස‍්‍රයේ ජන ඝාතනයෙන් කුලුගැන්වුන, චීන කොමියුනිස්ට් පක්ෂ පාලනයට විරුද්ධව කම්කරු පන්තිය ගෙනගිය අරගලයේ කටුක පාඩම් ද වේ.

චීනය තුල කර්තව්‍යය වන්නේ, චීන ධනපතියන්ගේ සෑම කොටසකින්ම කම්කරු පන්තිය තම ස්වාධීනත්වය අත්කර ගැනීමයි. චීන කොමියුනිස්ට් පක්ෂයට කිසියම් ආකාරයක ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පිහිටුවන ලෙස බල කල හැකි බව ද අධිරාජ්‍යවාදය සමග සහයෝගී වීමෙන් සාමය උදාකරගත හැකි බව ද දේශනා කරන සුලු ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ද මෙයට ඇතුලත්ය. 1989 ජූනියේදී කම්කරු පන්තිය ශිෂ්‍ය නායකත්වයට හා ඔවුන්ගේ විරෝධතා ඉදිරිදර්ශනයට යටත් කිරීම මගින්, බීජිනයේ හා රට පුරා මහජන ව්‍යාපාරය ලේ විලක ගිල්ලවීමට චීන කොමියුනිස්ට් පක්ෂයට හැකියාව ලබා දුන්නේය.

කම්කරු පන්තිය, ටිබෙට්, සිංජියෑන් හා චීනයේ අනෙක් ප‍්‍රදේශවල ජාතික ස්වයංනීර්නය දේශනා කරන ප‍්‍රතිගාමීන්ට ද එක හෙලා විරුද්ධ විය යුතුය. එය තොරොම්බල් කරන්නවුන් කටයුතු කරන්නේ ඊනියා “මානවවාදී අධිරාජ්‍යවාදයේ” දේශපාලන ඒජනතයින් ලෙසය. එහි අරමුන රට සිවිල් යුද්ධයකට හා විනාශයකට ඇද දමමින්, අධිරාජ්‍යවාදී මැදිහත් වීමක් සඳහා කඩතුරාව සම්පාදනය කිරීමයි.

චීන කම්කරු පන්තියට ඇති එකම ඉදිරි මාවත වැටී ඇත්තේ, ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය මත පදනම්ව, ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම පිනිස ලෝකය පුරා තම මිතුරන් සමග අත්වැල් බැඳගැනීම තුලය. යුද්ධය නිමාකල හැක්කේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් ධනවාදය පෙරලා දැමීම තුලින් පමනි.

මෙම ඉදිරිදර්ශනයේ තීරනාත්මක කොටසක් වන්නේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය, මූලධර්ම හා ක‍්‍රියාමාර්ගය චීනයේ වැඩි දියුනු කම්කරුවන් හා තරුනයින් අතරට ගෙන යාමත්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ චීන ශාඛාවක් ගොඩනැගීමත් ය.

Share this article: