ධනවාදයේ අර්බුදය හා එක්සත් ජනපදය තුල පන්ති අරගලය යලි හිස එසවීම

The crisis of capitalism and the reemergence of class struggle in the United States

ජෝසෆ් කිෂෝර් විසිනි, 2015 මැයි 11

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් විසින් පවත්වන ලද මෙම කථාව, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මැයි 03 සංවිධානය කල අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දින රැලියේ නිමාව වෙනුවෙන් කරන ලදී.

අද දින පැවත්වූ කතා වලින්, අස්ථාවර හා පුපුරන සුලු ලෝක තත්වය පිලිබඳ පැහැදිලි විශ්ලේශනයක් ඉදිරිපත් කරයි. ලෝක යුද්ධය හා සමාජවාදී විප්ලවය අතර තියුනු ප‍්‍රතිරෝධය මේ තුල මතුකරයි.

වෛෂයික තත්වය ඉමහත් අනතුරු මෙන්ම ඉමහත් ශක්‍යතා ද මතු කරයි. පැරනි පර්යාය හා පැරනි දේශපාලන ව්‍යුහයන් බිඳ වැටෙමින් තිබේ. අප ඇතුලුවී තිබෙන්නේ අවසානයේදී බංකොලොත් හා යල්පිනූ සමාජ පද්ධතිය අහෝසි කර දැමීමත්, සමාජ සමානතාවේ මූලධර්මය මත පදනම්වූ ගෝලීයව ඒකාබද්ධ කල ආර්ථික පද්ධතියක් සඳහා පදනම ස්ථාපිත කිරීම ට මාවත විවර කරන විප්ලවවාදී කාල පරිච්ඡේදයක් තුලටය.

අනතුරු අවතක්සේරු නොකල යුතුව ඇත. ලෝක අධිරාජ්‍යවාදය ව්‍යසනකාරී මාවතකට අවතීර්නවී තිබේ.

අද දින සිදුකල කතා, පිපිරීමට නියමිත භූ-දේශපාලනික වෙඩිබෙහෙත් ගබඩාවක් පිලිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරයි: ගැඹුරුවන ආර්ථික අර්බුදය හමුවේ ලෝකය පුරා බැංකු ඇපදීම් හා “ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ” පියවර තුලින් දැවැන්ත සමපේක්ෂන බුබුලු ගොඩනැගී ඇත; යුරෝපය තුල උග‍්‍ර භූ-දේශපාලන ගැටුම් හා නැගෙනහිර යුරෝපයේ මිලිටරීකරනය; “ආසියාවට හැරීම” ඇමරිකාව චීනය සමග ගැටුමක පටලවා ඇත; ඉන්දියාව හා පකිස්ථානය අතර ආතතීන්; මැදපෙරදිග ප‍්‍රාදේශීය යුද්ධය; අනාගතයේ අපරාධ සඳහා සූදානම් වීමට ඉතිහාසය අලුතෙන් ලිවීමත් සමග අත්වැල් බැඳගත් ජර්මනියේ ජපානයේ යලි මිලිටරීකරනය; ලතින් ඇමරිකාවේ හා අප‍්‍රිකාවේ ඇමරිකාව හා චීනය අතර පැනනැගී තිබෙන ආතතිය; අධිරාජ්‍යවාදයේ අපරාධ වලින් පන බේරාගැනීමට පලා යන සංක‍්‍රමනිකයින්ට එල්ල කෙරෙන බිහිසුනු ප‍්‍රහාර; ජාතිකවාදී හා ෆැසිස්ට්වාදී ප‍්‍රතිගාමිත්වයේ වර්ධනය; ලොව පුරා කම්කරු පන්තියට එරෙහි අඛන්ඩ කප්පාදු විමසා බැලුනි.

ඩේවිඩ් නෝත් සහෝදරයා ඔහුගේ ආරම්භක සැඳහුම්වලදී ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කේන්ද්‍රීය හා ප‍්‍රගාඪ අස්ථාවරකාරී භූමිකාව වෙත අවධානය යොමු කලේය. එක්සත් ජනපදය ජාත්‍යන්තර යුද්ධයේ මෙහෙයුම් මධ්‍යස්ථානය යි. වංචාව හා සමපේක්ෂනයෙන් ගොඩගසා ගත් ධනයෙන් මත්වූ ද මිහිතලයේ අන් සියල්ලන්ම අඟුටුමිට්ටන් බවට පත්කරන මිලිටරි බලයකින් සන්නද්ධ ඇමරිකානු මූල්‍ය ප‍්‍රභූව ලෝක දිග්විජයේ මෙහෙයුමක නිරතව සිටියි.

2003 වසරේ ඉරාක යුද්ධය ආරම්භවූ දිනවලදී ලෝසවෙඅ මෙලෙස ලියුවේ ය (ඇමෙරිකානු අධිරාජ්‍යවාදය “විනාශයේ රහස් මධ්‍යස්ථානය” බවට පත්ව තිබේ. එයට ලෝකය යටත් කරගැනීමට නොහැක. මැදපෙරදිග මහජනයා යටත්විජිත විලංගු වලින් බැඳලීමට එයට හැකියාවක් ඇත්තේ නැත. එහි අභ්‍යන්තර ව්‍යාධීන්ට හිතකර විසඳුමක් යුද්ධයේ ක‍්‍රියාමාර්ගය හරහා එය සොයා නොගනු ඇත.”

මෙම විශ්ලේශනය කෙතරම් නම් නිවැරදි ද! එක්සත් ජනපදය දියත්කල සෑම යුද්ධයක්ම නිමාවූයේ ව්‍යසනයකිනි. බෝම්බ සහ ඩ්‍රෝන් යොදාගෙන එය අත ගැසූ සෑම රටක්ම අවුල් ජාලයක් බවට පරිවර්තනය කර තිබේ. එමෙන්ම සෑම විනාශයක්ම නව යුද්ධ සඳහා අවස්ථාවක් බවට පත්වෙයි. උම්මත්තකභාවය සමග අත්වැල් බැඳගත් තකතිරු බවින් යුතුව ඇමරිකානු පාලනය, ලෝක ඉතිහාසයේ පලමු වතාවට න්‍යෂ්ටික බලවතුන් අතර ගැටුමක් සඳහා පදනම දමමින් සිටියි.

යුද්ධයට එරෙහි ඕනෑම ව්‍යාපාරයක් ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග ගනු දෙනු බේරාගත යුතු අතරම එක්සත් ජනපදය දෙස බැලීමේදී එහි මිලිටරියේ හා රාජ්‍යයේ බලය හා තත්වය දෙස බැලීම පමනක් මාරක වැරැද්දක් වනු ඇත. ඇත්ත වසයෙන්ම එය, රටකට පසු තවෙකෙක් වසයෙන් විනාශයට ඇද දමන අතරේ, පාලක පන්තිය තමන්ගේ දේශය තුල වඩාත්ම ශක්තිමත් හා බලගතු සතුරා එනම්, ඇමරිකානු කම්කරු පන්තියට අභිමුඛව සිටියි.

පසුගිය මැයිදින රැලියේදී අප ඇමරිකානු කම්කරු පන්තිය හැඳින්වූයේ, ලෝක දේශපාලනයේ නිදා සිටින යෝධයා වසයෙනි. එම යෝධයා අවදිවීමට පටන් ගෙන ඇත.

පොලිසිය විසින් 25 වියැති ෆ්‍රෙඩී ගේ‍්‍ර ඝාතනය කිරීමෙන් අනතුරුව පසුගිය සති දෙක පුරා මේරීලන්ඩ් හා බැල්ටිමෝ වල දිගහැරුනු සිදුවීම් පිලිබඳව සලකා බලන්න. එක්සත් ජනපදය තුල දිනපතාම පාහේ සිදුවෙන තවත් එක් නිරායුධ තරුනයෙකු පොලිසිය විසින් ඝාතනය කිරීම පිලිබඳ හෙලිදරව්ව, රටේ ප‍්‍රධාන අගනගරයෙන් මයිල 40කට පමන එපිට ප‍්‍රධාන නාගරික ප‍්‍රදේශය හෙල්ලුම්කවන විරෝධතාවන් ඉතා ක්ෂනිකවම පුපුරා යාමට තුඩු දුන්නේය.

ඇමරිකා එක්සත් ජනපදය තුල පන්ති ආතතීන් කෙතරම් පුපුරන සුලු ද යත් ඒවා සමාජ පිපිරීමක් බවට පත්වීමට සුලු සිද්ධයක් වුවත් ප‍්‍රමානවත්ය. පොලිස් ඝාතනයක් වේවා වෙනත් මර්දනකාරී සිදුවීමක් වේවා, එක් සිදුවීමක් රටතුල මිලියන ගනනක් මහජනයාගේ ගැඹුරු සමාජයීය හා ආර්ථික දුක්පීඩා කේන්ද්‍රකර ගනිමින් ප‍්‍රතික‍්‍රියා මාලාවක් ක්ෂනිකව ඇවිලවීමේ ශක්‍යතාව පවතියි.

එවැනි ශක්‍යතාවක් කෙරෙහි පාලක පන්තියේ භීතිය ඔවුන් ඒවාට දක්වන ප‍්‍රතිචාරයෙන්ම පෙන්නුම් කරයි. සමස්ත දේශපාලන උපරිව්‍යුහය ජාතික ආරක්ෂක බලකායෙන් හමුදාභටයින් දහස් ගනනක් යෙදවීමට සහය දෙමින් ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. සන්නද්ධ මිලිටරි වාහන හා මිලිටරි හෙලිකොප්ටර්වල පිටුබලය ලබා ගනිමින්, දැඩි ලෙස සන්නද්ධ හමුදා භට කන්ඩායම් මුලු නගරය පුරා පොදු ස්ථානවලට ගෙන එමින් බැල්ටිමෝර් ක්ෂනිකවම මිලිටරිය යටතට පත් කෙරුනි. හදිසි නීතිය ප‍්‍රකාශයට පත් කල අතර සියලුම නිවැසියන් ඇඳිරි නීතියට යටත් කලේය.

බැල්ටිමෝ සිදුවීම් ඉස්මතු වුනේ, පසුගිය අගෝස්තුවේ මිසෝරිහි ෆර්ගියුසන් නගරයේ හටගත් එවැනිම රාජ්‍ය කඩාපැනීමකින් පොලිසිය මයිකල් බ‍්‍රවුන් ඝාතනය කිරීමට එරෙහිව හටගත් පසුගිය අගෝස්තු සිදුවීම්වලට අඩ වසරකට පසුව යි. විරෝධතාවන්ට ප‍්‍රතිචාර වසයෙන් සමස්ත මිසූරි ප‍්‍රාන්තයම යුද පිටියක් බවට පත් විය.

ඇමරිකානු අධිරාජ්‍යවාදය පිලිබඳ මොනතරම් අමු කුහක කමක්ද! ලෝකය පුරාම “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” හා “මානව හිමිකම්” ගැන බන කියන ආන්ඩුව, ඒවායේ පදනම මත තමන්ට කුමන රටකදී යුද්ධයකට යාමේ අයිතිය ඇති බව කියා සිටියි. සිය රට තුල සමාජ අසහනයේ මොනයම්ම හෝ ඇඟවීමකට ප‍්‍රතිචාර දැක්වීමේදී වඩවඩාත් වාරු වෙමින් සිටින්නේ යුදනීති විධික‍්‍රම -ආඥාදායක ක‍්‍රමෝපායන්- මත ය. විදේශයේදී නිමක් නැති යුද්ධයේ යෙදී සිටින, එම පාලක පන්තියම හා එම මූල්‍ය වංශාධිපතිත්වයම රටතුල ඇමරිකානු කම්කරු පන්තියට එරෙහිව යුද වැදී සිටියි.

මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය එය ප‍්‍රතික්ෂේප කිරීමට තමන්ට කලහැකි සියලු දේ කරන අතරේ, සමාජ අසමානතාව එනම් පන්ති භේදය, අද දින ඇමරිකාවේ සමාජ ජීවිතය පිලිබඳ තථ්‍ය ලක්ෂනය වන්නේය. නව සමාජයකට මාවත විවර කරනු ඇත්තේ, වර්ගය, ලිංගිකත්වය, ලිංගික අනන්‍යතාවේ දේශපාලනය නොව, පන්ති අරගලය යි.

එක්සත් ජනපදය කාර්මික ලෝකයේ වඩාත්ම අසමානතාවෙන් යුත් රට යි. බැල්ටිමෝ, ඩිට්‍රොයිට් වැනි නගරවලල දහස් ගනන් ජනයාට ජීවිතයේ වඩාත්ම මූලික අවශ්‍යතාවක් වන ජලය අත්හිටුවීමට බැංකුවල නියෝජිතයන් ලෙස කටයුතු කරන පාලක පන්තිය පියවර ගෙන ඇත. ඒ අතරම රටේ ධනවත්ම පුද්ගලයින් 400 දෙනා ඩොලර් ටි‍්‍රලියන 2.29ක් තරම් වන මහා ධනස්කන්ධයක් පාලනය කරති.

ඔබාමාගේ යුගය වන 2008 ආර්ථික අර්බුදයේ පටන් ගතවූ කාලපරිච්ඡේදයේදී දැක ගැනීමට ලැබුනේ, අසීමිත සම්පත් ප‍්‍රමානයක් බැංකුවලට හා වෝල්වීදියට ගලා ඒමට සලසා ඇති ආකාරයයි. කොටස් වෙලඳ පොල හා සංගතවල ලාභ වාර්තාගත මට්ටමකට නැග ඇත. 2009 වසරේ සිට, එක්සත් ජනපදයේ සෑම ආර්ථික වාසියක්ම ඩැහැගෙන ඇත්තේ, ජනගහනයෙන් ඉහලම සියයට එක විසිනි.

ලෝකයේ ධනවත්ම රටයැයි කියන ඇමරිකාවේ, ජනගහනයෙන් පහෙන් එකකට වැඩි ප‍්‍රමානයක් පසුගිය වසරේදී තමන්ට හා තම පවුල්වලට ආහාර සපයාගත නොහැකි බව ප‍්‍රකාශ කර තිබේ. තරුනයෝ තිරසාර නයගැති කමේ අනාගතයකට මුහුනපා සිටිති. වයස්ගත වූවන්ට කියන්නේ තවදුරටත් ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් සැපයීම දැරිය නොහැකි බවයි. නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ කම්කරුවන් දැන් උපයන්නේ දරිද්‍රතා මට්ටමේ වැටුප්ය. රජයේ පාසැල් බිඳ විසුරුවා හැරෙන අතර ගුරුවරුන් දඩයමට ලක් කෙරේ.

මේ සියල්ල කෙරෙන්නේ මුදල් නැතැයි යන පදනම මතය. තවත් කැපී පෙනෙන සංඛ්‍යා ලේඛනයක් ඇත: එක් එෆ්-35 ප‍්‍රහාරක යානයක් සඳහා ඩොලර් මිලියන 200ක තරම් මුදලක් වැය කරයි. මෙය ඩෙට්‍රොයිට්හි ජලය හා සනීපාරක්ෂක දෙපාර්තමේන්තුවේ අය වැය හිඟය මෙන් දස ගුනයකි. දස දහස් ගනනක් ජනතාවගේ නල ජල පහසුකම් කපාහැරීම යුක්තිසහගත කරන්නේ මෙම හිඟය පෙන්වමිනි.

සමාජ ආතතීන් පාලනය කිරීමට හා පන්ති ආතතීන් යටපත් කිරීමට පාලක පන්තීන් පූර්වයෙන් යොදාගත් යාන්ත‍්‍රනයන් කඩාවැටී ඇත. වෘත්තීය සමිති මුලුමනින්ම දූෂිත අතර ඔවුන් නියෝජනය කරන්නේ යයි කියන කම්කරුවන්ගේ දැවැන්ත වෛරයට ලක්වූ සංගත හිතැති ආයතන බවට පත්ව තිබේ. “පරිවර්තනීය අපේක්ෂකායා” යයි ඔබාමා වගවර්නනා කල, අනන්‍යතා දේශපාලනය කරගසාගත් මධ්‍යම පාන්තික “වාම” හා ලිබරල් සංවිධාන අපකීර්තියට පත්වී ඇත.

2016 මැතිවරනයට වසර එක හමාරක් තිබෙන අතර දැනටමත් පැහැදිලිව ඇත්තේ, එය ප‍්‍රධාන ව්‍යාපාරික පක්ෂ ජනාධිපතිවරන අපේක්ෂකයෙකුම ඩොලර් බිලියනයට අධික වියදමක් දරන, එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම දූෂිත ජනාධිපතිවරනය වනු ඇති බවය.

වෝල් වීදියේ පිටුබලය ලබන, දක්ෂිනාංශික යුදවාදියෙක් වන හිලරි ක්ලින්ටන් ජනතාවගේ අපේක්ෂකයා ලෙස පෙනී සිටීම අභූත දසුනක් බවට පත්ව ඇත. මෑතකදී අපට නිවේදනය කර ඇත්තේ, මුදලට ගත් හැකි හොඳම ඊනියා ‘‘සමාජවාදියා’’ ලෙස දිගු කලක් ඩිමොක‍්‍රටික් පක්ෂයේ අනුගාමිකයෙක්ව සිටි බර්නි සැන්ඩර්ස්ගේ ප්‍රෝඩාකාරී අපේක්ෂකත්වයයි.

පාලක පන්තිය ඔවුන්ගේ දේශපාලන පද්ධතියේ ප‍්‍රගාඪ අර්බුදයකට මුහුනපා සිටියි. ප‍්‍රමුඛ ධනපති පක්ෂ නියෝජනය කරන්නේ, මිලිටරි-බුද්ධි අංශ යාන්ත‍්‍රනය සමග සන්ධානගතව සිටින සංගත හා මූල්‍ය ප‍්‍රභූවේ තුනී ස්තරයක අවශ්‍යතාවන් ය.

ජනගහනයෙන් ඉහලම සියයට 5 හෝ 10කට පිටින් කෝපය, අතෘප්තිය හා සීග‍්‍රයෙන් එදිරිවාදී වෙමින් සිටින කම්කරු පන්තියට රාජ්‍ය මුහුනදී සිටී. ජනතාවගේ පුලුල් ස්තරයන් තවදුරටත්, තමන්ගේ දුක් කම්කටොලු කිසිවකට හෝ විසඳුම් සපයන යාන්ත‍්‍රනයක් ලෙස දේශපාලන පද්ධතිය දැක ගන්නේ නැත. මෙය ඉමහත් විප්ලවවාදී ඇඟවුම් සහිතය.

ප‍්‍රශ්නය වන්නේ, එක්සත් ජනපදයේ හා සත්තකින්ම ලෝකය පුරා, පන්ති අරගලයේ පිපිරීමක් සිදුවනු ඇතිද යන්න නොව, එය කුමන රූපයක් ගනු ඇති ද යන්න යි. සියල්ල රඳා පවතින්නේ, කම්කරු පන්තිය විප්ලවවාදී දේශපාලන ක‍්‍රියාමාර්ගයකින් සන්නද්ධ කිරීම මතය.

මෙය ඉල්ලා සිටින්නේ, සවිඤ්ඤානික ජාත්‍යන්තර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම යි. ලෝකයේ කම්කරු පන්තියට ඇමරිකානු කම්කරු පන්තියේ මැදිහත්වීමකින් තොරව අධිරාජ්‍යවාදය අවසානයකට ගෙන ආ නොහැකිවාක් මෙන්ම, ඇමරිකානු කම්කරු පන්තියට සෑම රටකම එහි පන්ති සහෝදරයින් හා සහෝදරියන් සමග දියත් කරන පොදු අරගලයකින් මිස තමන් මුහුනදී සිටින යෝධ කර්තව්‍යයන් විසඳා ගැනීමේ හැකියාවක් ඇත්තේ නැත.

මෙම ලෝක ව්‍යාපාරය එහි දැනුවත් ඉලක්කය ලෙස ගත යුත්තේ, කොල්ලකෑම හා සූරාකෑම මත පදනම්ව තිබෙන, එක්රටකට එරෙහිව තවත් රටක් පිහිටුවන, ධනපති පන්තියේ ඉවබව නැති කෑදරකම හා සොරකම වෙනුවෙන් හා එහි ලාභය හා බලය වෙනුවෙන් මනුෂ්‍ය වර්ගයාගේ නිෂ්පාදන ශක්‍යතාව යටත්කරන ධනවාදී පද්ධතිය පෙරලා දැමීම යි.

වෙනත් විප්ලවවාදී අවධියකදී එනම් එක්සත් ජනපද සිවිල්යුද්ධය ආරම්භයේදී, එවක ජනාධිපති ඒබ‍්‍රහම් ලින්කන් කොන්ග‍්‍රසයට යවන ලද ලිපියක සඳහන් කලේ, “අවස්ථාව දුෂ්කරතා කඳුගසා තිබෙන අතර අවස්ථාව අල්ලා ගැනීමට අපි එසවී ගත යුතු” බවයි. අද දින කර්තව්‍යයන් 1862 ඒවා එදා තිබුනාට වඩා වෙනස් වන නමුත් ලින්කන්ගේ කැඳවුම අවසන් වසයෙන් එක්සත් ජනපදයේ වහල්ක‍්‍රමය අහෝසි කිරීමට මෙහෙයවූවා සේ, අද අපගේ කර්තව්‍යල ජාත්‍යන්තර කම්කරු පන්තියේ කර්තව්‍ය වන්නේ ධනවාදය අවසන් කර දමමින් මානව සංවර්ධනයේ නව යුගයකට මාවත විවර කරගැනීම යි.

මෙම කර්තව්‍යයන් විසඳීම සඳහා බලගතු පදනමක් මෙම රැලිය පෙන්නුම් කරයි. අන්තර්ජාලය තුල පලවී ඇති ප‍්‍රකාශ කියවීම බෙහෙවින් දිරිගන්වන සුලුය. රැලිය පිලිබඳව අදහස් දැක්වූ අය අතර කැනඩාව, පේරු, තුර්කිය, එක්සත් ජනපදය පුරා, ඔස්ටේ‍්‍රලියාව, අබුඩාබි, ජර්මනිය, ස්කොට්ලන්තය, ඉන්දියාව, බංග්ලාදේශය, ප‍්‍රන්සය, රුමේනියාව, දකුනු අප‍්‍රිකාව, බි‍්‍රතාන්‍ය, චීනය, ඝානාව හා තවත් බොහෝ රටවල අය වෙති.

“යුද්ධය හා ජාත්‍යන්තරය” තුල ට්‍රොට්ස්කි ලියා ඇත්තේ, “අධිරාජ්‍යවාදය නියෝජනය කරන්නේ, මානව ආර්ථිකය ලෝක පරිමානයකින් ගොඩනැගීම, ජාතික රාජ්‍යයේ සිපිරි ගෙයින් නිදහස් වීමේ, ආර්ථික සංවර්ධනයේ ප‍්‍රගතිශීලී ප‍්‍රවනතාවක කොල්ලකාරී ප‍්‍රකාශනයයි.”

ඉතා වැදගත් අර්ථයකින් මෙම රැලිය, එම ප‍්‍රවනතාවේම ප‍්‍රගතිශීලී ප‍්‍රකාශනයයි. පොදු දේශපාලන ක‍්‍රියාමාර්ගයක් මත පදනම්වන ලෝක පරිමාන තනි ව්‍යාපාරයකි: විප්ලවවාදී සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක‍්‍රියාමාර්ගයකි.

නෝර්ත් සහෝදරයා ආරම්භක වාර්තාව තුල පැවසූ පරිදි මෙම රැලියට සහභාගී වන අප සියල්ලන්ටම “මගනොහැරිය හැකි වගකීමක්” ඇත. අන්තර්ජාලය හරහා අද දිනයේ එක්රොක්වන්නේ, දැවැන්ත ජාත්‍යන්තර ව්‍යාපාරයක න්‍යෂ්ටිය, මිලියන ගනන් ජනතාවට මගපෙන්විය හැකි හා මගපෙන්වනු ඇති නායකත්වයකි. අපට බැරෑරුම්ව මුනගස්වනු ලබන තත්වයෙන් මෙම වගකීමට අපි උරදිය යුත්තෙමු.

ඒ අනුව ආයාචනයකින් මම මේ රැස්වීම අවසන් කරනවා. සමාජවාදය සඳහා සටනට එක් වන්න! ඔබගේ විද්‍යාලයේ හෝ පාසැලේ සසජාතශි ශාඛාවක් ආරම්භ කරන්න. ඔබගේ කම්හලේ හෝ වැඩපොලේ සසප ශාඛාවක් ගොඩනගන්න. සමාජවාදී සමානතා පක්ෂයේ හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වැඩපිලිවෙල අධ්‍යයනය කරන්න. සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයට බැඳී එය ගොඩ නැගීමට තීන්දුව ගන්න!

Share this article: