මිලිටරිවාදය, යුද්ධය හා ඉතිහාසය මුසාකරනයට එරෙහි සටන

The fight against militarism, war and the falsification of history

උලී රිපට් විසිනි, 2015 මැයි 6

ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් උලී රිපට් විසින් පැවැත්වූ මෙම කථාව, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මැයි 03දාට සංවිධානය කල අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දිනය වෙනුවෙන් කරන ලද්දකි.

දයාබර මිත‍්‍රවරුනි, සහෝදරවරුනි,

ජර්මනිය තුල දැවන්ත මිලිටරි තරකිරීමක් සිදුවන අතර එය විස්තර කල හැක්කේ “ජර්මානු මිලිටරිවාදයේ පුනරාගමනයක්” ලෙස පමන යි.

ඒ අතරම, ඉතිහාසය මුසාකරනයට ක‍්‍රමානුකූල උත්සාහයන් දරනු ලැබේ.

අවුෂ්විට්ෂ්, ට‍්‍රබේලින්කා, මැජ්ඩනෙක්, බුකෙන්වෝල්ඩ් හා අනෙකුත් වද කඳවුරු නිදහස් කර ගැනීමෙන් වසර 70කට පසුව, නාසීන්ගේ අපරාධ සාපේක්ෂ කරනයත් සුදු හුනු ගෑමත් සිදු වෙයි.

මාධ්‍ය හා විශ්වවිද්‍යාලවල ප‍්‍රකාශ කෙරෙන්නේ මෙම භීෂනය, රුසියානු විප්ලවය, බොල්ෂෙවික්වාදය හා රතු හමුදාව සමග සම්පාත වෙමින් ආරම්භ වූ බව යි. ඒ නිසා, නාසි යුද්ධයේ අපරාධ, තේරුම් ගත හැකි ප‍්‍රතික‍්‍රියාවක් වන බවයි.

2015 මැයි දින උලී රිපට් පැවැත්වූ කථාව

මෙම ඉතිහාස මුසාකරනය කෙලින්ම සම්බන්ධ වන්නේ, මිලිටරිවාදය හා මහා බල දේශපාලනයේ යලි නැගී ඒම සමග යි. ජර්මානු අධිරාජ්‍යවාදයේ නව අපරාධ සූදානම් කිරීම සඳහා එහි ඓතිහාසික අපරාධ ශුද්ධ කල යුතු අතර මකා දැමිය යුතු ය.

වසරකට පෙර, ජනාධිපති ජෝසිම් ගෝක් හා ජර්මානු ආන්ඩුව, මිලිටරි සීමා පැනවීම් වල අවසානය නිවේදනය කලහ. ඔවුන් කීවේ, ලෝක දේශපාලනයේ පැත්තක ඉඳන් නිකම්ම අදහස් ප‍්‍රකාශ කරමින් සිටීමට තරම් ජර්මනිය විශාල වැඩිවා වගේ ම ආර්ථික වසයෙන් බලගතු වැඩි බව යි.

එතැන් සිට, වඩා හොඳ ආයුධ, සොල්දාදුවන්ට වඩා හොඳ පුහුනුව හා හමුදාවට වඩ වඩා මුදල් ඉල්ලා සිටීමෙන් තොරව දවසක් වත් ගෙවී යන්නේ නැත.

ඉතිහාසය මුලු බලයෙන් පුනරාගමනය වේ.

රුසියාවට එරෙහිව උත්සන්න කර ඇති යුද බෙර වැයීම පුදුමාකාරය.

ජර්මන් අධිරාජ්‍යවාදය පසුගිය ලෝක යුද්ධ දෙකේදී ම අල්ලාගෙන යටත් කරගත් යුකේ‍්‍රනය, රුසියාවට එරෙහි සිය ඉදිරි ගමන අලුත් කිරීම සඳහා යොදා ගනිමින් සිටියි. මෙම අරමුන සඳහා දෙවැනි ලෝක යුද්ධයේ නාසි හවුල්කරුවන්ගේ සම්ප‍්‍රදායන් රකින ස්වොබෝදා හා දක්ෂින නිකායික ෆැසිස්ට්වාදීන් සමග ජර්මන් ආන්ඩුව හවුල් වී සිටියි.

ජර්මනිය මැද පෙරදිග තුලත් මිලිටරි මැදිහත්වීම් වැඩි කර තිබේ. ඉරාක යුද්ධය ඇරඹුනු 2003ට හෝ 2011 ලිබියානු මැදිහත් වීමට වෙනස් ලෙස බර්ලින් ආන්ඩුව දැන්, කලාපය ප‍්‍රචන්ඩ ලෙස කැබලි කිරීමේ ඊ ලඟ වටයේ දී ජර්මනිය ක‍්‍රියාකාරී භූමිකාවක් ඉටු කරනු ඇති බව සහතික කරයි.

නාසීන් සිදු කල දැවන්ත අපරාධවලින් ජර්මනිය පාඩම් ඉගෙන ගෙන ඇති බවටත්, සාමකාමී විදේශ ප‍්‍රතිපත්තියක් ඇරඹූ බවට හා ස්ථාවර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් වර්ධනය කල බවට පශ්චාත් යුද දශකවල ගෙනගිය ප‍්‍රචාරය මිත්‍යාවක් බවට හරවා ඇත.

ජර්මන් අධිරාජ්‍යවාදය නැවත වතාවක් පෙන්වා ඇත්තේ, රට තුල මෙන් ම විදේශයන් හි ද එහි සියලු ආක‍්‍රමනිකත්වයන් සහිතව, ඓතිහාසිකව වර්ධනය වී ඇති ආකාරයට දැන් ද එරට කටයුතු කරමින් සිටින බව යි.

අවුරුද්ද පටන් ගැන්මේ දීම, නව යුද ටැංකි, ප‍්‍රහාරක හෙලිකොප්ටර් හා ප‍්‍රහාරක රයිෆල් තොග ගසා ගන්නා බව ආන්ඩුව නිවේදනය කලේය. යූ-බෝට් නාවුක බල ඇනි විශාල කෙරුනු අතර සියල්ලටත් වඩා සටනට යොදා ගන්නා ඩ්‍රෝන් යානා මිලිදී ගත්තේය. පෙබරවාරි මාසයේ දී, නව මිලිටරි ප‍්‍රවාදයක් සූදානම් කිරීම ආරම්භ කලේය.

ප‍්‍රතිචාර දැක්වීමේ වේගවත් බල ඇනි හා ලෝකය පුරා මෙහෙයුම් සඳහා නේටෝවේ වේගවත් ගොඩබැස්වීමේ හමුදාවන්හි නායකත්වය ජර්මන් හමුදාව අතට ගෙන තිබේ. එය බොහෝ මිලිටරි උපාමාරු දැමීම් වල ප‍්‍රමුඛ හවුල්කරුවා වන අතර නැගෙනහිර යුරෝපයේ නේටෝව ගොඩනැගීමේ දී හා රුසියාව වටකිරීම තුල වැදගත් කාර්යභාරයක් උසුල යි.

මෙම වසරේ මියුනික් ආරක්ෂක සමුලුව ආරම්භයේ දී ස්වීඩනයේ හිටුපු අගමැති කාල් බිල්ඩ්ට් කීවේ, රුසියාව සමග යුද්ධයක් සිදුවිය හැකි බව යි. ඔහු මෙසේ පැවසීය “අපි දැන් ජීවත් වන්නේ ලෝක දේශපාලනයේ ඉතා අනතුරුදායක අවධියක ය. නැගෙනහිර ගිනි ගන්නවා, දකුන ගිනි ගන්නවා. මෙම ගිනිදැල් අපිට ලංවෙමින් තියෙනවා” යනුවෙනි.

වෙනත් වචනවලින් කිවහොත්, යුරෝපය තිබෙන්නේ න්‍යෂ්ටික විනාසයක් අද්දර ය. එය 1914 හා 1939 යුද්ධ පරයා යනු ඇත.

හැම පක්ෂයක්ම යුද ව්‍යායාමයට සහාය දෙයි. විදේශ ඇමති තනතුර දරන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය, කසයක ක‍්‍රියාකලාපය ඉටු කරයි.

හරිත හා වාම පක්ෂ ඔවුන්ට සහාය දෙන අතර ප‍්‍රධාන ක‍්‍රියා කලාපයක් ඉටු කරයි. ඔවුන්ගේ විශේෂ දායකත්වය වන්නේ “සාමය”, “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” හා “මානව හිමිකම්” කතා පිටුපසින් ජර්මානු මිලිටරිවාදයේ හිස එසවීම වසං කිරීම හා එයට එරෙහි විරුද්ධත්වය මර්දනය කිරීම යි.

වෘත්තීය සමිති ද යුද ව්‍යායාමයට සහාය දෙන අතර ඞීජීබී හෙවත් ජර්මානු වෘත්තීය සමිති සම්මේලනයේ රේනර් හොෆ්මාන්, “පෙර දක්නා නුවනින් යුත් විදේශ ප‍්‍රතිපත්තිය” ලෙස ජර්මනියේ මහා බල දේශපාලනයට ප‍්‍රසංශා කර යි.

ඩීජීබී දෙවසරකට පෙර ජර්මානු හමුදාව සමග හවුලක් අටවා ගෙන තිබේ. එවකදී ඩීජීබී සභාපති පැවසුවේ, වෘත්තීය සමිති පමනක් නො ව මිලිටරිය ද සාම ව්‍යාපාරයේ කොටසක් කියා ය.

මාධ්‍ය, දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති එක්ව මහජනතාවට එරෙහිව සැබෑ කුමන්ත‍්‍රනයක යෙදී සිටිති. ඔවුන්ගෙන් එකෙකුවත් දේවල් ඒවායේ සැබෑ නම්වලින් හඳුන්වන්නේ නැති අතර රුසියාව සමග යුද්ධයේ අර්ථය න්‍යෂ්ටික ව්‍යසනයක් බව නොකියති.

ඒ වෙනුවට, මිලිටරිය සමග එක්ව පක්ෂ හා වෘත්තීය සමිති, ජූනි මාසයේදී සන්නද්ධ හමුදාවන්ගේ දිනයක් සූදානම් කරමින් සිටිති. “තරුන නිලධාරීන්” හා “මිලිටරි වෘත්තීය උපදේශකයින්” සිය ගනනක් හමුදාවට බඳවා ගැනීම සඳහා පාසල්වලට යවනු ඇත. පෘසියානු මිලිටරිවාදය හා වාමාක්ට් මෝස්තරය තුල “සෙබල සදාචාරය” නැවත වතාවක් ආදර්ශ වැකිය වනු ඇත.

මිලිටරි සන්දර්ශනයේ එක කොටසක් වන්නේ, නාසි නිලධාරින්ට බුහුමන් දැක්වීම යි, ජර්මනිය යලි සන්නද්ධ කිරීමේ දී හා යුද්ධයෙන් පසුව ෆෙඩරල් සන්නද්ධ හමුදා ගොඩනැගීමේ දී ඔවුන් ප‍්‍රයෝජනවත් විය.

මිලියන ගනනාවක් මිනිසුන් යුද ප‍්‍රචාරය හා මිලිටරිය ශක්තිමත් කිරීම දකින්නේ අදහාගත නොහැකි කමේ, කම්පනයේ හා වැඩෙන කෝපයේ මිශ‍්‍රනයක් සමග ය.

වදකාගාර නිදහස් කර ගැනීමේ 70වැනි සංවත්සරය සලකුනු කිරීමට පසු ගිය සතිවල රූපවාහිනී වාර්තා පෙන්වමින් තුබුනා. එය නැවත වතාවක් පැහැදිලි කරන්නේ යුදෙව්වන් මිලියන හයකගේ මහා ජනඝාතනයේ සම්පූර්න භීෂනයයි.

නාසීන්ගේ යෝධ අපරාධ බහුතර ජනතාවකගේ විඥානයට කාවැදී ඇත. “තවත් නම් යුද්ධ එපා!” හා “ෆැසිස්ට්වාදයේ පුනර්කරනයක් එපා!” යන ඉල්ලීම පරම්පරා ගනනාවක් හැඩ ගස්වා තිබෙන අතර ඒවා අදටත් බලවත්ව තිබේ.

මෙම ප‍්‍රතිරෝධය බිඳීමට ඉතිහාසය නැවත ලිවීමේ හා විකෘති කිරීමේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක වෙයි. වසර තිහකට පෙර අර්න්ස්ට් නෝල්ටේ නාසිවාදයේ අපරාධ සාපේක්ෂ බව කියා සිටි අතර ඒවා බොල්ෂෙවික් වාදයට එරෙහිව “තේරුම් ගත හැකි” ප‍්‍රතිචාර බව පැවසීය. එම අවස්ථාවේ දී ඔහු විරුද්ධත්වයකට මුහුන දුන්නේය. ඔහු ඉදිරිපත් කල නිබන්ධය ප‍්‍රතික්ෂේප විය.

අද ඓතිහාසික සම්මේලන හා සම්මන්ත‍්‍රන හා ප‍්‍රධාන විශ්වවිද්‍යාල තුල ඔහුගේ සංශෝධනවාදය ආරක්ෂා කරයි. බර්ලිනයේ හම්බෝල්ට් විශ්වවිද්‍යාලය මෙයට ඇතුලත් ය. මෙම ඓතිහාසික මුසාවාද පිලිබඳ ඕනෑම විවේචනයක් මර්දනය කිරීමට විශ්වවිද්‍යාලය වැඩ කරයි.

එහෙත් ඉතිහාසය වෛෂයික දෙයකි. ඓතිහාසික සත්‍ය බලගතු දේශපාලන බලයකි. ඉතිහාසයට බොරු කල හැකි යි යමෙකු සිතනවා නම් එය ලොකු වැරැද්දකි.

ෆැසිස්ට්වාදයේ බියකරු අපරාධ සහ ලෝක යුද්ධවල දී මිලියන ගනනාවකගේ ජීවිත බිලිගැනීම අවසාන වශයෙන් මුල් බැස තිබුනේ ධනේශ්වර ලාභ පද්ධතිය තුල ය යන කාරනය වසං කිරීමට කිසිවෙකුටත් හැකි නොවනු ඇත.

පුද්ගලයන් මිලියන ගනනාවක් කම්පනයට පත්කර ඇති මිලිටරිවාදයේ හා යුද්ධයේ පුනරාගමනය හෙලිදරව් කරන්නේ සමාජ සම්බන්ධතාවන්ගේ සැබෑ තත්වය යි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස හා සමාජ හවුල්කාරිත්වය ධනවාදය සමග පෑහේ ය යන සියලුම මිත්‍යාවන් එමගින් ප‍්‍රතික්ෂේප කෙරේ. එය සියලු පක්ෂ හා වෘත්තීය සමිතිවල සැබෑ ස්වභාවය හෙලිදරව් කර යි. එසේ කිරීමේ දී එය කම්කරු පන්තියේ විප්ලවවාදී වර්ධනය සඳහා කොන්දේසි නිර්මානය කරයි.

අපගේ පක්ෂයේ ශක්තිය වන්නේ අප කිසි දා අනුගත නො වී සිටියාය යන්න යි. ඉතිහාසය මුසාකරනයට එරෙහිවත් ඓතිහාසික සත්‍යය වෙනුවෙනුත් අප වෙහෙස නොබලා සටන් කරන්නෙමු. අවස්ථාවාදයේ හා ජාතිකවාදයේ සෑම රූපාකාරයකට ම එරෙහිව හා සමාජවාදී පදනමක කම්කරු පන්තියේ ජාත්‍යන්තර එක්සත් කම සඳහා අපි වෙහෙස නො බලා සටන් කරන්නෙමු.

මූලධර්ම වෙනුවෙන් ගෙන යන මෙම සටන දැන් පුලුල් ශ‍්‍රාවකත්වයක් දිනා ගනිමින් සිටින අතර එය අපගේ විශ්වාසයේ, අපගේ යහදැක්මේ මූලාශ‍්‍රය යි.

Share this article: