පරපුටුකම, කුවේර තන්ත‍්‍රය හා ආර්ථික අවපාතය

Parasitism, plutocracy and economic depression

2015 මැයි 02

2008 මූල්‍ය කඩා වැටීමේ තැන් පටන් සත් වසරක් ගෙවී යද්දී ඇමරිකානු ආර්ථිකය, පසුබෑමේ, පල්වීමේ හා මූල්‍ය පරපුටු භාවයේ ගිලී ඇත. ඇමරිකාව ආර්ථික “ප‍්‍රකෘතියක්” මධ්‍යයේ පසුවන බවට ඔබාමා පාලනයේ නිමක් නැති ප‍්‍රකාශ ප‍්‍රතික්ෂේප කරමින් මේ වසරේ පලමු කාර්තුව තුල ආර්ථිකය, ඇනහිට නැතුවා පමනක් යයි, අපේ‍්‍රල් 29දා නිකුත්වූ සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරන යථාර්තය සලකුනු කරයි.

එරට වානිජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තා කලේ, ජනවාරි-මාර්තු පලමු කාර්තුව තුල, දල දේශීය නිෂ්පාදිතය පූර්ව කාර්තුවේ පැවති සියයට 2.2 සිට 0.2 දක්වා වැටී ඇති බවයි. පසුබෑම අවසන් බවට නිල වශයෙන් ප‍්‍රකාශ කල 2009 පටන් ඇමරිකානු ආර්ථිකය වර්ධනය වී ඇත්තේ, වාර්ෂිකව සියයට 2.2න් පමනි. මෙය 1990 ගනන්වල සියයට 3.2ක්ව තිබුනු අතර 1950 ගනන්වල සියයට 4.2ක වාර්ෂික සාමාන්‍යයක් පෙන්නුම් කර තිබුනි.

ඇමරිකාව මුහුනදී සිටින ආර්ථික පලවීම, ලෝක ආර්ථිකය ග‍්‍රහනයට ගෙන තිබෙන ගෝලීය අර්බුදය පිලිබඳ එක් දර්ශකයකි. පසුගිය මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය World Economic Outlook (ලෝක ආර්ථික දැක්ම) තුල අනතුරු ඇඟවූයේ, 2008 මූල්‍ය උනුවීමට පෙරාතුව පැවති වර්ධන අනුපාතයන් කරා ගෝලීය වර්ධනය යලි ලඟාවීම සිදු නොවන බවටය.

“දියුනු රටවල විභව වර්ධනය අර්බුද පූර්ව අවධියේ පැවතියාට වඩා පහතින් රැඳී සිටිනු ඇති අතර නැගී එන ආර්ථිකයන්හි මධ්‍ය කාලීන වර්ධන අනුපාතය තවදුරටත් පහත වැටෙනු ඇත. 2008 අර්බුදය කඩාපාත්වීමෙන් මඳකට පසුව ආර්ථික කටයුතු බිඳවැටුනු අතර අර්බුදයෙන් වසර හයකටත් වැඩි කාලයක් ඉක්ම යද්දී වර්ධනය, අර්බුදයට පෙරාතුව බලාපොරොත්තුවූ මට්ටමට වඩා දුබල වී ඇත.”

ව්‍යාපාරික ආයෝජන ඓතිහාසික මට්ටමකින් පහත වැටී තිබේ. එය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිවූ ඕනෑම ප‍්‍රකෘතියකදී පෙන්වා තිබෙන මට්ටමට වඩා සැලකිය යුතු තරම් පහත්ය. ජාමූඅ මෙම තක්සේරුව, ඇමරිකානු ආර්ථික වර්ධනය පිලිබඳ වෙලඳ දෙපාර්තමේන්තුවේ වාර්තාව තුලින් සනාථ කෙරේ. ඒ අනුව පූර්ව කාර්තුවට වඩා ව්‍යාපාරික ස්ථාවර ආයෝජන සියයට 3.4න් පහත වැටී ඇත.

නිෂ්පාදන ආයෝජනයේ පසුබෑම සිදුවන්නේ, ඉතිහාසයේ විශාලතම මුදල් තොග මුදුනේ ව්‍යාපාර වාඩිවී සිටින තතු තුලය. ඇමරිකානු සංගතවල ශේෂපත‍්‍රවල පමනක් ඩොලර් ටි‍්‍රලියන 1.4ක මුදල් සංචිත ඇත.

මෙම මුදල් ආයෝජනයේ, කම්කරුවන් බඳවා ගැනීමේ හෝ වැටුප් වැඩි කිරීම සඳහා යොදවනු වෙනුවට ඇමරිකාවේ ප‍්‍රධාන සංගත ඒවා යොදවන්නේ, කොටස් යලි මිලට ගැනීමට, ප‍්‍රතිලාභ ඉහල නැංවීමට හා ඒකාබද්ධයන් හා අත්පත්කර ගැනීම් සඳහා ය.

2009 මෝටර් රථ ප‍්‍රතිව්‍යහකරනය කාලයේ අලුතින් බඳවාගන්නන්ගේ වැටුප් අඩකින් කපා හල ජෙනරල් මෝටර්ස් සමාගම එලඹෙන සාමූහික ගිවිසුමේදී තවදුරටත් ශ‍්‍රම පිරිවැය කැපීමට බලාපොරොත්තු වන අතර සිය මුදල් තොගය සමාගමේ කොටස් හිමිකරුවන් තවත් ධනවත් කිරීම පිනිස කොටස් යලි මිලට ගැනීමේ වැඩසටහනක් සඳහා ඩොලර් බිලියන 5ක් යොදවන බව නිවේදනය කලේය.

මේ අතර වැඩි වැටුප් හා ආරක්ෂක අවශ්‍යතා වැඩිදියුනු කල යුතු බවට බල කරමින් තෙල් පිරිපහදු කම්කරුවන් කටුක සටනක් ගෙන යමින් ආරම්භ කල වැඩවර්ජනයට එරෙහිව බලශක්ති යෝධයෙකු වන ෂෙල් සමාගම, බීජී ගෲප් යන බි‍්‍රතාන්‍ය තෙල් සමාගම මිලට ගැනීම පිනිස ඩොලර් බිලියන 70ක් වෙන් කර තිබෙන බව නිවේදනය කලේය.

මෙම වසර, ඒකාබද්ධයන් හා අත්පත්කර ගැනීම්වල ඉතිහාසයේ විශාලතම වසරක් ලෙස හැඩ ගැසෙමින් තිබෙන අතර ක්‍රෙඩිට් සුවිස් ආයතනයට අනුව, ඒකාබද්ධවීමේ කටයුතු වෙනුවෙන් වාර්තාගත ඩොලර් ටි‍්‍රලියන 4.3ක් වෙන්කර තිබේ.

සැලකිය යුතු ඒකාබද්ධයන්ට, ආහාර නිෂ්පාදනයේ යෙදී සිටින ක‍්‍රාෆ්ට් හා හෙයින්ස් සමාගම් (5000ක රැකියා අහෝසි වනු ඇත) ස්ටේපල්සි හා ඔෆිස් ඩිපෝ සමාගම් (ගබඩා 1000ක් පමන වසා දමා රැකියා දහස් ගනනක් අහෝසි කෙරෙන) ඇතුලත් ය. මේ අතර රේඩියෝ ෂැක් ස්ටෑන්ඩර්ඞ් ජෙනරල් සමාගම සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුමේ ප‍්‍රකාර ගබඩා 2000ක් වසා දමා 20,000ක් තනතුරු අහෝසි කිරීමට නියමිත ය.

කොටස් වෙලඳපොලවල් මෙම සංගත මගඩි ඉහලින් සමරයි. පසුගිය මාසයේ තාක්ෂනික නැස්ඩැක් දර්ශකය එහි ඉහලම අගය සටහන් කල 2000 ඩොට්කොම් බුබුලේ වාර්තාව බිඳ දැමීය. 2009 සිට නැස්ඩැක් අගය සිව් ගුනයකින් ද ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය තෙගුනයකින් ද ඉහල නැගී ඇත.

පිම්මේ නගින කොටස් වෙලඳපොලේ ප‍්‍රතිපලය වශයෙන් ඇමරිකාවේ පොහොසත්ම 400 දෙනා, ඔබාමා අවධිය තුල තම ධනය 2009 පටන් දෙගුනවීමක් අත්විඳීය. දැන් ඔවුන් සතු ඒකාබද්ධ ශුද්ධ අගය ඩොලර් ටි‍්‍රලියන 2.29කි. මෙය ලෝකයේ දුප්පත්ම රටවල් 130 වාර්ෂික නිමැවුම් වටිනාකමට වැඩි අගයකි.

මූල්‍ය කතිපයාධිකාරීන්ගේ ධනවත්කම වේගයෙන් ඉහල යාම, වැඩකරන ජනතාවගේ දුප්පත්කම හා කාලකන්නි කම වැඩීයාමේ අනෙක් පැත්තයි. ඇමරිකානු ලමුන්ගෙන් හතරකට එකක් නිල වශයෙන් දුප්පත් කමට මුහුනපා සිටියි. පහකට එකක් කෑමට ප‍්‍රමානවත් ආහාර නොලබයි. රජයේ පාසැල් සිසුන්ගෙන් අඩක් මිල අඩු හෝ නොමිලයේ දෙන දිවා ආහාරය සඳහා ලියාපදිංචිවී සිටිති.

ඇමරිකානු රාජ්‍යය කටයුතු කරන්නේ, මෙම උග‍්‍ර අසමානතාවය පහත හෙලීම පිනිස නොව, සංගත හා මූල්‍ය වංශාධිපතිතියන් තවත් තර කිරීමට ය.

මූල්‍ය පද්ධතිය “නියාමනය” කිරීමේ වගකීම දරනවා යයි කියන ආයතන, ඔවුන්ගේ අපරාධ වසං කිරීම හා ඒවාට පහසුකම් සැලසීමට වැඩි යමක් නොකරයි. මෑතකදී ඇමරිකාව හා ඩොයිෂ් බැංකුව අතර ඇතිවූ සම්මුතිය තුල මේ මූලික යථාර්තය පෙන්නුම් කරයි. තමන්ගේ වාසිය සඳහා ප‍්‍රධාන ගෝලීය පොලී අනුපාතය වන ලිබෝ දර්ශකය වෙනස් කිරීම වෙනුවෙන් එම ජර්මානු බැංකුවට පනවන ලද්දේ සාපේක්ෂව සුලු දඩයකි.

ඊනියා මූල්‍ය නියාමකයින්ගෙන් ලැබෙන සහයෝගය හා ආරක්ෂාව වෙනුවෙන් වෝල් වීදිය යහමින් ගෙවයි. ෆෙඩරල් රිසර්ව් බැංකුවේ සභාපති වශයෙන්, වෝල් වීදියේ ශේෂ පත‍්‍රයන්ට ඩොලර් ටි‍්‍රලියන ගනන් මාරුකර යැවූ, බැංකු ඇපදීම් හා “ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම්” අධීක්ෂනය කල බෙන් බර්නාන්කේගේ ප‍්‍රශ්නය නිදසුනකි.

දැන් බර්නාන්කේට වාසි සහගත කාලයක් උදාවී ඇත. ලෝකයේ බැඳුම්කර වෙලඳාමේ ප‍්‍රමුඛයින් වන සිටාඩෙල් හා පිම්කෝ යන ආරක්ෂක අරමුදල් දෙකම ඔහු කුලියට ගෙන තිබේ. ඒ දෙකම ඔහුගේ සේවය වෙනුවෙන් හොඳ ගෙවීම් කරනු ලබයි.

වත්මනදී ආර්ථික ජීවිතයේ මෙම මුඛ්‍ය ලක්ෂන අහම්බ දෝෂ නොවේ. එය පෙන්නුම් කරන්නේ වසර 170කට පෙර මාක්ස් හා එංගල්ස් විසින් ධනපති ක‍්‍රමය තුල අවශ්‍යයෙන්ම පවත්නා ස්වභාවය පිලිබඳව, එනම්, අර්බුද, ආර්ථික පල්වීම හා නොකඩවා වැඩිවන අසමානතාවය, ගැන කල ප‍්‍රකාශයන්ගේ නිරවද්‍ය භාවයයි.

මෙම පරපුටුකම හා ආර්ථික කඩාවැටීමේ චක‍්‍රය අවසන් කල හැකි හා සියලු දෙනාට යහපත් ජීවන තත්වයක් සහතික කල හැකි එකම ක‍්‍රමය, මූල්‍ය කතිපයාධිකාරයේ දේශපාලන ගලග‍්‍රහනය බිඳ දැමීම ය. මෙය, පරපුටු හා යල්පැනගිය ධනපති ක‍්‍රමය සමග ගනුදෙනු බේරාගැනීම හා එය සමාජවාදී ක‍්‍රමයකින් විස්තාපනය කිරීමෙන් වෙන්කල නොහේ. සියලු දෙනාගේ අවශ්‍යතාවයන් ඉටුකල හැකි පරිදි සමාජය තර්කානුකූලව ප‍්‍රතිසංවිධානය කල හැක්කේ ඒ ආකාරයට පමනි.

ඇන්ඩි‍්‍ර ඩැමොන්

Share this article: