සයිගොන් බිඳ වැටීමේ තැන් සිට හතලිස් වසරක්

Forty years since the fall of Saigon

බිල් වෑන් ඕකන් විසිනි, 2015 අප්‍රේල් 30

1975 (වියට්නාමයේ) සයිගොන් නගරය ඇද වැටීමේ 40වැනි සංවත්සරය අප්‍රේල් 30 දිනට යෙදී ඇත. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇමෙරිකාව සිදුකල විශාල ම මිලිටරි මැදිහත්වීමේ තීරනාත්මක පරාජය ඉන් සලකුනු කෙරේ.

ඇමරිකානු මිලිටරිය වසර දෙකකට කලින් වියට්නාමයෙන් ඉවත් කර ගැනීමට බල කෙරුනු තතු හමුවේ, ජෙනරාල් න්යෙන් වෑන් තියුගේ රූකඩ තන්ත්‍රය හා ඇමරිකාව පුහුනු කල හා සන්නද්ධ කල 700,000ක ශක්තිමත් වියට්නාම් හමුදාව සටනකින් තොරවම වාගේ ඇද වැටීම දෙස වොෂින්ටනය බලාසිටියේ අසරනව ය.

තානාපති කාර්යාලයේ වහලේ රඳවා තැබුනු හෙලිකොප්ටර් වල නැඟ, වටලන ලද නඟරයෙන් පලා යන අවසන් ඇමරිකානු නිලධාරීන්ගේ චිත්‍ර රූප සංකේතවත් කලේ, ඒවායේ බලපෑම් අදටත් දැනෙන, වොෂින්ටනයේ විදේශ ප්‍රතිපත්ති සංස්ථාපිතය හා ඇමරිකානු මිලිටරිය ඓතිහාසිකව මුහුනදුන් අවෘත අන්තරයයි.

වියට්නාමයට එරෙහි වොෂින්ටනයේ ආක්‍රමනකාරී, සාපරාධී යුද්ධය තුල, පාලනාධිකාර පෙලක්, ― කෙනඩිගේ සිට ජොන්සන් හා නික්සන් දක්වා ― රටේ සමස්ත ජනතාවටම වේදනාකාරී වූ ප්‍රචන්ඩත්වයේ ස්වභාවය අනුව, ආසන්න-ජනසංහාරක යුද්ධයක් ගෙන යාමට එකට ඒකාබද්ධ වූහ.

එහි උච්ච අවස්ථාවේ දී එරට ආක්‍රමනය කර සිටි 536,000ට වඩා භටයින් සහිත ඇමරිකානු මිලිටරිය, ගුවනින් හෙලන ලද බෝම්බ ප්‍රමානය ටොන් මිලියන 15 කි. එහි දිස් වූයේ රටේ සමස්ත ප්‍රදේශයන්ම කාපට් බෝම්බ ප්‍රහායන්ට ලක්ව ඇති ආකාරයකි. ඊට අමතරව, විස රසායනික ගැලුම් මිලියන 20කට වඩා එම ගිනිකොනදිග ආසියාතික රට මත හෙලන ලද අතර එහි විශාල පෙදෙස් මුඩු බිම් බවට පත්කරමින්, අද දක්වාත් ඉපදෙන දරුවන් ද ඇතුළු වියට්නාම් ජාතිකයින් මිලියන ගනනාවක් ඒවායේ විනාශකාරී බලපෑමට ගොදුරු කර ඇත.

ඇමරිකානු ආක්‍රමනයේ ප්‍රතිඵලයක් ලෙස සමස්තයක් වසයෙන්, මිලියන 3කට වැඩි වියට්නාම් වාසීන්ට ඔවුන්ගේ ජීවිත අහිමි විය. එම මිලිටරි ක්‍රියාන්විතයේදී මයි ලායි ගම්වැසියන් 500කට වඩා ― කාන්තාවන්, ලදරුවන්, ලමුන් හා වැඩිහිටියන් ― සමූහ ඝාතනයට ගොදුරු කිරීම වැනි භයානක ම්ලේච්ඡ ක්‍රියා සුලභ විය. මෙම යුද්ධය සැලැසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා වග කිව යුතු ඩෙමොක්‍රටික් මෙන් ම රිපබ්ලිකානුවන්, හිට්ලර්ගේ තුන්වැනි රයිකයේ ඇද වැටීමෙන් පසු සිදු කල නරකම අපරාධ පිලිබඳ වරදකරුවන් ය. සැබවින් ම, ඔවුන්ගෙන් කිසිවෙකු හෝ කවරදාක වත් වගවීමට ලක්කර නැත.

සයිගොන් ඇද වැටීම, ග්‍රහලෝකය මත සිටින බලගතුම අධිරාජ්‍යවාදියාට එරෙහිව පීඩිත ජනතාවක් විසින් අත්කරගත් විස්මයජනක ජයග්‍රහනයක් සනිටුහන් කලේය. කෙසේ නමුත්, පලමුව ප්‍රන්ස යටත්විජිතවාදයට ද දෙවනුව ඇමරිකානු අධිරාජ්‍යවාදයට ද එරෙහිව අවුරුදු 30ක යුද්ධය තුල වියට්නාම් ජනතාවගේ පූර්න වීරත්වය හා කැපවීම වෙනුවෙන්, ඔවුන්ගේ ජයග්‍රහනයෙන් පසු දශක හතරක කාලයක් තිස්සේ, ඛේදවාචකයේ ප්‍රතික්ෂේප කල නො හැකි අංගයක් ක්‍රියාත්මක වනු දැකගත හැකිය.

මෙම දැවන්ත අරගලය, පැරනි පීඩිත යටත්විජිත රටක් ලෙස වියට්නාමය පැවති තත්වයෙන්, එරට නිදහස් කර ගැනීමේ දී සාර්ථක නො වී ය. සයිගොන් ඇද වැටීමෙන් අවුරදු හතලිහකට පසුව වියට්නාමය, කම්කරුවන් සූරා කෑමෙන් සුපිරි ලාභ සොයන විදේශීය අන්තර්ජාතික සංගත සඳහා ලාභ ශ්‍රම වේදිකාවක් වී ඇත.

එමෙන් ම, අවසානඇමරිකානු හමුදා ඛන්ඩ වියට්නාමයෙන් පලවා හැරීමෙන් අවුරුදු 40කට පසුව, එම මිලිටරිය යලි පැමිනෙන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “ආසියාවට හැරීමට” වියට්නාමය සම්බන්ධ කර ගැනීමේ ව්‍යායාමයෙහි කොටසක් ලෙසය. වොෂින්ටනය එරටට යුද නැව් හා මිලිටරි ආම්පන්න සැපයීමෙහි යෙදී සිටියි. මේ අයුරින් කලාපයේ කුරිරු ම යුද්ධවලින් එකක දී ඇමරිකානු හමුදාව පරාජයට පත්කර ඇති වියට්නාමය, ඊටත් වඩා විනාසකාරී විය හැකි ඇමරිකානු යුද සූදානම තුල ―මෙවර න්‍යෂ්ටික බලවතෙකු වන චීනයට විරුද්ධව ― රූකඩයෙකු වනු ඇත.

මෑත දී වොෂින්ටනය, වියට්නාමයට මාරාන්තික අවි විකිනීම හෝ හුවමාරුව පිලිබඳව පනවා තිබුනු තහනමක් — 1975 එජ පරාජය සමග බලපැවත් වුනු — “නාවික ආරක්ෂක අරමුනු” සඳහා යොදාගැනීමට යයි කියනු ලබන, හැනෝයි වෙත ආයුධ නැව් ගත කිරීම සඳහා, ඉවත් කර තිබේ. මෙහි ප්‍රධාන ඉලක්කය, දකුනු චීන මුහුදේ මතභේදයට තුඩුදී ඇති දූපත් මුල්කරගෙන පැනනැඟී තිබෙන, චීන-වියට්නාම් ආතතීන් උග්‍ර කිරීම ය.

කලාපය තුල කැපී පෙනෙන ආර්ථික බලවතා ලෙස චීනයේ නැගීම පාලනය කිරීමට සැලැසුම් කෙරුනු, වෙලඳ හවුලක් වන යෝජිත අන්තර් - ශාන්තිකර හවුල්කාරිත්වය වෙත (ටීපීපී) හැනෝයි ආන්ඩුව ද ඇද ගැනීමට වොෂින්ටනය උත්සාහ කරමින් සිටී. වියට්නාම රජයට අයත් ව්‍යවසායන් විසුරුවා හැරීමට හා මේ වන විටත් පවතින ආර්ථිකයේ විශාල කොටස් ඇමරිකානු ප්‍රාග්ධනයේ සූරාකෑම සඳහා විවෘත කිරීමට බල කෙරෙන පරිදි ගිවිසුමේ කොන්දේසි සැලැසුම් කෙරෙමින් තිබේ.

චීනය වියට්නාමයේ විශාල ම වෙලඳ හවුල්කරුවා වන අතර, ඇමරිකාව එහි විශාල ම අපනයන වෙලඳපොල බවට පත්ව තිබේ.

වියට්නාම් නායකත්වයේ ජාතිකවාදී දෘෂ්ටියෙන් පෝෂනය කෙරුනු වියට්නාම් විප්ලවයේ ඉරනම තීරනය වුනේ එහි හුදකලාවෙනි. කෙසේ නමුත්, වියට්නාම් විප්ලවය හුදෙකලා කිරීමේ දී ඊටත් වඩා තීරනාත්මක වූයේ, මෙම එක ම කාල පරිච්ඡේදයේ දී රටකින් පසු තවත් රටක — 1968 ප්‍රන්සයේ, 1969 ඉතාලියේ,1973 චිලී, 1974 පෘතුගාලයේ හා ග්‍රීසියේ, 1975 ස්පාඤ්ඤයේ — සමාජ විප්ලවයේ මාවතින් කම්කරු පන්තිය අවමංගත කිරීමට හිතාමතා ම වැඩ කල ස්ටැලින්වාදීන්ගේ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ හා වෘත්තීය සමිති නායකත්වයේ භූ‍මිකාව යි.

තම පාර්ශ්වයෙන් චීනයේ මාඕ තන්ත්‍රය ක්‍රියා කලේ, කාම්බෝජයේ ලේ තැවරුනු පොල්පොට් තන්ත්‍රය පලවා හැරීම වෙනුවෙන් වියට්නාමයට දඬුවම් කිරීමට සිදු කල, 1979 ආක්‍රමනය මගින් වියට්නාමය දුර්වල කිරීමට හා හුදකලා කිරීමට ය. වියට්නාමයට එරෙහිව පොල්පොට් තන්ත්‍රයට අනුග්‍රහය දැක් වූ ඇමරිකාව ද චීනයේ වියට්නාම් ආක්‍රමනයට සහාය දුන්නේ ය, මෙය වියට්නාම් වැසියන් 100,000කගේ හා සොල්දාදුවන් හා මිලීෂියා භටයින් 125,000කගේ පමන ජීවිත බිලි ගත්තේ ය.

වියට්නාම් අත්දැකීමෙන් තිගැස්සුනු ඇමරිකානු පාලක ස්ථරයන්, “වියට්නාම් භීතිකාව” ලෙස ප්‍රසිද්ධවූ තත්වය ජය ගැනීමට දශක ගනනක් වැය කලේ ය. “වියට්නාම් භීතිකාව” යනු, ආසන්න වසයෙන් 60,000ක ඇමරිකානු සෙබලුන් සිය ජීවිත අහිමි කර ගත්තා වූ ද තව බොහෝ ගනනක් කායික හා මානසික ආබාධයන්ට මුහුනපා ආපසු පැමිනායා වූ ද යුද්ධය ඉක්බිත්තේ, ඇමරිකානු ජනතාවගේ විරුද්ධත්වය ප්‍රකාශ කල යෙදුමකි.

කෙසේ නමුත් ඇමරිකාව තුල ම ද වියට්නාම් මැදිහත්වීමට එරෙහිව මතුවුනු දැවන්ත යුද විරෝධී ව්‍යාපාරයේ නායකත්වය සිය පූර්න ශක්තිය වැය කලේ, යුද්ධයට එරෙහි සටන ධනවාදයට එරෙහි සටනින් හුදකලා කිරීමට― දැවන්ත වැඩවර්ජන මහජන රැස්වීම් හා කම්කරු පන්තියේ පීඩිතම ස්ථරයන් තුල හටගත් නාගරික කැරලිවල කොන්දේසි යටතේ ― හා, මෙම ව්‍යාපාරය ඩෙමොක්‍රටික් පක්ෂයට යටත් කිරීමට ය. යුද්ධය ඉක්බිත්තේ ඩෙමොක්‍රටික් පක්ෂය සමග මෙම ස්ථරයන් ද වේගයෙන් හැරුනේ දකුනට ය.

වියට්නාමයේ විනාසකාරී පරාජයෙන් හා ජනාධිපතිගේ සිට පහලට එහි සියළු ම ආයතන, අපකීර්තියට පත්වීමෙන් ගලවා ගැනීම සඳහා ඇමරිකානු පාලක පන්තියට හුස්ම ගැනීමේ අවකාශයක් මේ මඟින් සැපයුවේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස, ඊටත් වඩා ආක්‍රමනකාරී හා කොල්ලකාරී ආකාරයකට ඇමරිකානු මිලිටරිවාදය පුනරුත්තාපනයට හා ඇමරිකානු කම්කරු පන්තියට එරෙහිව අඛන්ඩ ප්‍රහාරයක් ගෙනයාමට අවසානයේ දී එයට අවස්ථාව සලසා දුන්නේය.

වියට්නාමයේ දී ඇමරිකාව ලත් පරාජයෙන් වසර හතලිහකට පසු මෙම අත්දැකීමේ පාඩම් තීරනාත්මකව පවතී. මෙම පාඩම්වල ඉතාමත් කේන්ද්‍රීය වන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන සාර්ථකව ගෙන යා හැක්කේ, ධනේශ්වර පද්ධතිය අවසන් කිරීමේ ජාත්‍යන්තර අරගලයක් තුල, කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීනව බලමුළු ගැන්වීම හරහා පමනක් ය යන්න යි.

Share this article: