ශ‍්‍රී ලංකාවේ මිලිටරිය ශක්තිමත් කිරීමට ජනාධිපති පොරොන්දු වෙයි

Sri Lankan president pledges to strengthen the military

රොහාන්ත ද සිල්වා විසිනි , 2015 මැයි 26

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන, මැයි 19 දා “යුද ජයග‍්‍රහන දිනය”, එනම් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය පරාජය කිරීමේ 06 වන සංවත්සරය යොදා ගනිමින්, මිලිටරිය වගවර්නනා කල අතර එය ශකිත්මත් කිරීම සඳහා “ඇති තරම් භෞතික හා මානව සම්පත්” ලබා දීමට පොරොන්දු විය. එල්ටීටීඊ නායකත්වය ඇතුලුව යුද කලාපය තුල කොටු වී සිටි දෙමල සිවිල් වැසියන් දස දහස් ගනනක් ඝාතනය කිරීම මගින් 2009 දී සිවිල් යුද්ධය අවසන් විය.

ප‍්‍රධාන සැමරීම සිංහල බහුතරයක් වසන දකුනේ මාතර දී පවත්වන ලදි. ඊට, යුද්ධ ටැංකි හා අනෙකුත් මිලිටරි උපකරන ද, 7,300 ක හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක හමුදා කාර්ය භටයන් ද සහභාගී කරගත් මිලිටරි පෙලපාලියක් ද ඇතුලත් විය. සැමරුම් දෙකක් කොලඹ පවත්වන ලදි.

මැයි 15 දින මාධ්‍ය ඇමතූ කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කලේ සිරිසේන හා දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ආන්ඩුව, යුද්ධයේ අවසාන අදියරේ දී එයට නායකත්වය දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන් යුද ජයග‍්‍රහනය “ජාතිවාදී” ලෙස සලකන්නේ නැති බව ය. ඔවුන් එය “සිහිපත් කරන දවසක්” ලෙස සලකන බව යි.

මෙය අතිශය කුහක ප‍්‍රකාශයකි. එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව 1983 දී යුද්ධය ආරම්භ කලා පමනක් නොව, ජනවාරි ජනාධිපතිවරනයේ දී රාජපක්ෂට එරෙහිව තරග කිරීම සඳහා පැති මාරු කරන තෙක් ම සිරිසේන ඔහුගේ සෞඛ්‍ය ඇමති ද විය. 1989 දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ සිරිසේන, විසින් යුද්ධය පවත්වා ගෙන ගිය කිසිදු ආන්ඩුවකට විරුද්ධ නො වූ අතර 2009 වසරේ රාජපක්ෂගේ අවසන් මිලිටරි ප‍්‍රහාරයට ද පිටුබලය සැපයීය.

“ජයග‍්‍රාහී පෙලපාලිය” අමතා “කුරිරු ත‍්‍රස්තවාදය නැවත මේ රට තුල හිස එසවීමට ඉඩ දෙන්නේ නැතැයි” ප‍්‍රකාශ කල සිරිසේන, තමාට “ත‍්‍රිවිධ හමුදාව විසින් නායකත්වය දෙන ආරක්ෂක අංශය ගැන මූලික විශ්වාසයක් හා ගෞරවයක් පවතින” බව කියා සිටියේ ය. “නව ජාතික ආරක්ෂක පද්ධතියක් හා සැලැස්මක් ඇති කිරීම” සඳහා හමුදා ප‍්‍රධානීන් ට ආන්ඩුව උපදෙස් දී ඇති බව ද ඔහු පැවසීය.

ඔහුගේ සියලු පූර්ව-ගාමීන් මෙන් ම සිරිසේන ද යුද්ධය සඳහා වගකීම එල්ටීටීඊය ට පවරා සිංහල-ජාතිවාදී භාෂාවෙන් බෙදුම්වාදී කන්ඩායම යක්ෂයන් යැයි හැඳින් වූ අතර ආන්ඩුවේ යුද අපරාධ ආරක්ෂා කරමින් හමුදාව “මව්බිමේ නිර්භීත ආරක්ෂකයන්” යයි පැවසී ය.

ඒ අතර ම සිරිසේන “සාමයේ” සෙබලෙක් ලෙස තමා හඳුන්වාගනිමින් “ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා” ඇති තරම් අවධානය යොමු නොකලේ යැයි රාජපක්ෂ විවේචනය කලේ ය.

සිරිසේනගේ “සාමය සහ සංහිඳියාව” ගැන වාචාල කතා එක්සත් ජනපදය හා ඉන්දියාව දෙසට වන ඔහුගේ විදේශ ප‍්‍රතිපත්ති මාරුව සමග ගැලපෙයි. දෙමල ප‍්‍රභූවේ නියෝජිතයන් වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) සමග කොලඹ ආන්ඩුව සීමිත බලය බෙදා ගැනීමක් ඇති කර ගැනීම වොෂින්ටනයේ හා නව දිල්ලියේ බලාපොරොත්තුවයි.

කොලඹ ආන්ඩුවේ යුද ප‍්‍රයත්නයන්ට සහාය දුන් එක්සත් ජනපදයට හා ඉන්දියාවට, ලංකාවේ දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ගැන කිසිදු තැකීමක් නැත. වොෂිංටනය හා නව දිල්ලිය ගනන් බලන්නේ දෙමල ප‍්‍රභූව සමග ඇති කර ගන්නා එවැනි එකඟතාවයක් ලංකාවේ හා දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ දෙමල ජනතාව අතර අතෘප්තිය වාෂ්ප කර දමනු ඇති බවයි. තම “ආසියාවට හැරීමේ” පිලිවෙතට, එනම් චීනයට එරෙහිව සිය මිලිටරි හා භූ-මූලෝපායික සැලසුම් සමග මෙරට එක පෙලට ගෙන ඒමට දරන ඇමරිකානු උත්සාහයන්හි කොටසකි මෙම වැඩ කටයුතු.

බීජිනය සමග සමීප සබඳතා වර්ධනය කල රාජපක්ෂ බලයෙන් පහ කිරීමට, නව දිල්ලිය සමග එක්ව වොෂින්ටනය විසින් ක‍්‍රියාත්මක කල පාලන තන්ත‍්‍ර වෙනසක් හරහා ය සිරිසේන බලයට පැමිනියේ.

ඔහුගේ “සංහිඳියාව” ප්‍රෝඩාවට වාරුවක් දීම සඳහා සිරිසේන, බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනය අවසන් කිරීම සඳහා 1930 හා 1940 ගනන් වල ගෙන ගිය “නිදහස් අරගලයට සියලු ජාතීන්ගේ සහාය ලැබුනු” බව ප‍්‍රකාශ කරයි. මෙය අමූලික බොරුවකි. ලාංකික ප‍්‍රභූවේ කිසිදු කන්ඩායමක් මොනම “නිදහස් අරගලයක” ට වත් නායකත්වය දුන්නේ නැත.

බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනයට ගැතිකම් දැක් වූ දේශීය ධනපති පන්තිය, කිසි විටෙක “ජාතික නිදහස” ඉල්ලා සිටියේ නැත. ඔවුන් ඉල්ලා සිටියේ බි‍්‍රතාන්‍ය කිරීටය යටතේ වූ “ඩොමීනියන් තත්වයකි.” ඉන්දු-උප මහාද්වීපය තුල ක‍්‍රියාත්මක කල පශ්චාත් යුද සම්මුතිය යටතේ ජාතික ධනපතියන්ට දේශපාලන බලය බාර දීමට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය සකස් කල සැලසුම් වල කොටසකි 1948 ඊනියා නිදහස.

බි‍්‍රතාන්‍ය පාලනයෙන් ලංකාව සහ ඉන්දියාව නිදහස් කර ගැනීම සඳහාත් ඉන්දියානු උප මහාද්වීපයේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහාත් සටන් කලේ හතරවන ජාත්‍යන්තරයේ ඉන්දු-උප මහාද්වීප ශාඛාව වූ ට්‍රොට්ස්කිවාදී ඉන්දීය බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය ය (බීඑල්පීඅයි) පමනි.

නිදහස ලැබීමෙන් පසු “සාමය, සමගිය, සහජීවනය සහ සංහිඳියාව” ගොඩ නැගීම සඳහා ප‍්‍රයත්නයන් දැරුනු මුත් තිබූ “බොහෝ අඩුපාඩු”, “ජාතීන් අතර බෙදීමට” තුඩු දුන් බව සිරිසේන සඳහන් කලේ ය. මෙය ද අමූලික බොරුවකි. කම්කරු පන්තියේ හා ගම්බද පීඩිත ජනතාවගේ මහජන අරගලයන්ගේ පුපුරා යාම ගැන බියට පත් මෙරට පාලක ප‍්‍රභූව, කම්කරු පන්තිය වාර්ගික රේඛා දිගේ බෙදා ලාභ පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ක‍්‍රමානුකූලව දෙමල විරෝධී වර්ගවාදය ඇවිස්සූහ.

නිදහස ලැබීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව සිදු කල ප‍්‍රථම කටයුත්ත වූයේ දෙමල කතා කරන වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කර ඔවුන් ගේ මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට පහර ගැසීමය. ඉන්පසුව ගත වූ දශකයන්හි දී දෙමල විරෝධී වර්ගවාදය ඇවිලවූ සිරිසේනගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ‍්‍රිලනිප) ආන්ඩුව 1956 දී සිංහල එකම රාජ්‍ය භාෂාව බවට පත් කලේ ය. 1972 දී, බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කරන ලදි.

සිරිසේනගේ ප‍්‍රකාශයන්ට විපරීතව, දෙමල ජනතාවට එරෙහි යුද්ධය පිලිබඳ මූලික වගකීම පැවරෙන්නේ මෙරට පාලක පන්තිය මත ය. ලංකා සම සමාජ පක්ෂය, 1964 දී ශ‍්‍රිලනිප සමග ධනපති සභාගයකට ඇතුලුව කම්කරු පන්තිය පාවා දී සමාජවාදී ජාත්‍යන්තරවාදය සම්පූර්නයෙන්ම අතහැර දැමූ නිසා, එවැන්නකට අවස්ථාව ලැබුනි.

1983 දී පුපුරා ගිය සිවිල් යුද්ධයට ඍජුව ම මග පෑදුවේ ජේ. ආර්. ජයවර්ධනගේ එජාප ආන්ඩුවයි. නිදහස් වෙලඳ පොල ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාවට දැමීමට සමගාමීව, වැටුප්, රැකියා හා කම්කරුවන්ගේ සමාජ අයිතීන් ට පහර එල්ල කරන අතරම, දෙමල විරෝධී වර්ගවාදී ප‍්‍රහාර උත්සන්න කලේ ය.

මෙරට සිදුකල මෑත සංචාරය තුල දී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, කොලඹ පාලක පන්තිය සමග බලය බෙදා ගැනීම සඳහා තමන්ට ආයාචනය කල බව දෙමල ප‍්‍රභූව පෙන්වා දෙති. ගෝලීය ද්‍රවිඩ සංසදයේ එස්. ජේ. එම්මානුවෙල්, “නැගී එන රාජ්‍යතාන්ත‍්‍රිකයකු” ලෙස සිරිසේනට හුරේ දැම්මේ ය. ඊට සමානව, බි‍්‍රතාන්‍ය දෙමල සංසද නායක සුරේන් සුරෙන්දිරන් රජයේ ප‍්‍රවේශය “අතිශයින්ම නැවුම්” යයි සඳහන් කලේ ය.

රාජපක්ෂ ආන්ඩුව චීනයෙන් දුරස්ත කිරීම සඳහා පීඩනය යෙදීම සඳහා වොෂිංටනය, මානව අයිතීන් උල්ලංඝනය කිරීම ගසා කෑමට දැරූ උත්සාහයට දෙමල ප‍්‍රභූවේ සියලු කොටස් පිටුබලය සැපයීය. ඔවුනට අවශ්‍යවන්නේ කොලඹ ආන්ඩුව, දෙමල කම්කරුවන් සූරාකෑම සඳහා වඩා වාසිදායක කොන්දේසි නිර්මානය කර දීම ය.

ඉන්දියාව හා විවිධ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහයෝගය මත පදනම් වූ එල්ටීටීඊයේ බෙදුම්වාදී ඉදිරිදර්ශනය බිඳ වැටීම අවධාරනය කරන්නේ දෙමල ජාතිකවාදයේ ප‍්‍රතිගාමී හා බංකොලොත් ස්වභාවයයි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා එහි භූ-මූලෝපායික න්‍යාය පත‍්‍රය පිටුපස පෙල ගැසීම මෙම ජාතිකවාදී ඉදිරිදර්ශනයේ තර්කානුකූල ප‍්‍රතිඵලය වේ.

උතුරින් සහ නැගෙනහිරින් හමුදා ඉවත් කිරීමේ ඉල්ලීම ඉදිරිපත් කල එකම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) යි. මෙය දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා කරන සටනේ අවියෝජනීය කොටසකි.

2009 මැයි 18 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉදිරි දර්ශනය “ශී‍්‍ර ලංකාවේ යුද්ධයෙහි දේශපාලන ඇඟවීම්” මගින් සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් පැහැදිලි කලේ:

“දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය විසින් පතුරුවා හරින බඩ ඳඟලවන සුලු යුද උන්මාදය සියලු කම්කරුවන් විසින් ප‍්‍රතික්ෂේප කල යුතු ය. මෙය ඔවුන්ගේ යුද්ධයක් නොවන බවත් ඔවුන්ගේ ජයග‍්‍රහනයක් නොවන බවත් සසප කම්කරුවන්ට කියා සිටියි. ජයග‍්‍රහනයේ පාජාව පිටුපසින් කම්කරු පන්තියේ සමාජ හා ආර්ථික තත්වයනට එරෙහිව නව ප‍්‍රහාරයක් සූදානම් වෙමින් පවතින බවට අපි අනතුරු අඟවන්නෙමු.”

එක්සත් ජනපදයේ ඉව බව නැති චීන විරෝධී න්‍යාය පත‍්‍රය සමග පෙල ගැසී සිටින සිරිසේන ඇතුලු පාලක ප‍්‍රභූවේ සියලු කොටස් සූදානම්ව ඇත්තේ කම්කරු පන්තියට එල්ල කරන ප‍්‍රහාරයන් උත්සන්න කිරීමට ය. යුද හමුදාව හා අනෙක් ආරක්ෂක හමුදා ශක්තිමත් කිරීම සඳහා සිරිසේන දෙන පොරොන්දුවේ අන්තර්ගතය මෙයයි.

Share this article: