එක්සත් ජනපදය දකුනු චීන මුහුදේ නව මිලිටරි ප‍්‍රකෝපකරන සූදානම් කරයි

US prepares new military provocations in South China Sea

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2015 මැයි 23

සීඑන්එන් වාර්තාකරුවන් කන්ඩායමක් පී8-ඒ පෝසිඩන් නිරීක්ෂන ගුවන් යානා චාරිකාවක යෙදීමෙන් දින ගනනාවකට පසුව එය, දකුනු චීන මුහුදේ චීනය පාලනය කරන දිවයින මුල්කරගෙන එරට මත පීඩනය දැඩි කිරීමට ගනන් බලා කල ප‍්‍රකෝපකරනයක් බව පැහැදිලිවී ඇත. ඇමරිකානු නිලධාරීන් මෙම වාර්තාකරනය, එම මූලෝපායිකව වැදගත් මුහුදු ප‍්‍රදේශයේ චීන හිමිකම් පෑමට අභියෝග කිරීමේ වොෂින්ටනයේ අධිෂ්ඨානය සලකුනු කිරීම සඳහා වහාම ඩැහැගත්තේ, ප‍්‍රතිවිපාක පිලිබඳ කිසිදු තැකීමකින් තොරවය.

නාවික මුර සංචාරයන්ට අමතරව ඇමරිකාවේ නිරීක්ෂන ගුවන් චාරිකා, දකුනු චීන මුහුදේ චීන ඉදිකිරීම් කටයුතු මත වොෂින්ටනය ජනවාරියේ සිට පටන්ගෙන ඇති බියගැන්වීමේ ව්‍යාපාරය සඳහා පුරුද්දක් කරගෙන ඇත. එහෙත් 20දා පලමු වතාවට සීඑන්එන් වාර්තාකරුවන්ගේ සම්බන්ධය, ගුවන් ගමන් හා පෙර නොවූ විරූ පරිදි වීඩියෝ පට ප‍්‍රදර්ශනය, මේ ප‍්‍රශ්නය පිලිබඳව ඇමරිකාවේ හා ජාත්‍යන්තරව ජනතා අවධානයට යොමුවී තිබේ.

2003 ඉරාක ආක‍්‍රමනයේදී මෙන්ම ඇමරිකාව චීනය සමග යුද්ධයට සූදානම් වෙද්දී, යලි වතාවක් මාධ්‍ය, මිලිටරියේ ප‍්‍රචාරක හස්තය බවට පත්වෙමින් තිබේ. සීඑන්එන් එය, ස්වාධීන වාර්තාකරනයක් බව ඇඟවීමටවත් සූදානම් නොවූ අතර ෆියරි ක්‍රොස් ගල්පර මත ඉදිකර ඇති කල්තියා අනතුරු ඇඟවීමේ රේඩාර් මධ්‍යස්ථානය, “දැවැන්ත මිලිටරි ඉදිකිරීමක්” ලෙස පෙන්වමින් චීනය සාහසිකයෙක් ලෙස පින්තාරු කල අතර “අනවබෝධය වැලැක්වීම පිනිස කරුනාකර ඉවත් වන්න...” යන චීන රේඩියෝ ක‍්‍රියාකරුවාගේ ඉල්ලීම අනතුරු ඇඟවීමක් ලෙස ගෙනහැර දක්වයි.

සීඑන්එන් වාර්තාවට ප‍්‍රතිචාර දක්වමින් පෙන්ටගන් ප‍්‍රකාශක කර්නල් ස්ටීව් වොරන් පැවසුවේ වර්තමාන “සුපුරුදු ගුවන් ගමන්” එසේම පවත්වාගෙන යනවා පමනක් නොව, අනාගතයේ චීන දිවයින් වටා නාවික සැතපුම් 12 සීමාව කඩකරන ගුවන් ගමන් ද සිදුවිය හැකි බවය. පෝසිඩන් යානය 20දා එසේ කලේ නැති නමුත් “එය ඊලඟ පියවර වනු ඇති බව” ඔහු පැවසීය.

“අපි එම දිවයින් ජාත්‍යන්තර අවකාශය තුල ඇති දේ ලෙසින් මිස වෙනත් ආකාරයකට නොසලකන්නෙමු. එය හරහා පියාසර කිරීමේදී අප කටයුතු කරන ආකාරයේ වෙනසක් අපි නොදකිමු” යයි වොරන් පැවසීය. කෙසේ වෙතත්, ඇමරිකාව පසුගිය 20 වසරක කාලය තුල චීනය හිමිකම් කියන දකුනු චීන මුහුදේ භූමි භාගයන් මතින් පියාසර නොකල බව ඔහු පිලිගත්තේය.

ඇමරිකානු ආරක්ෂක ලේකම්, සැතපුම් 12 සීමාව තුලට ගුවන් යානා පියාසර කරවීම හෝ යුද නැව් යැවීම පිලිබඳ විකල්ප සකස් කරන ලෙස පෙන්ටගනයට උපදෙස් දී තිබෙන බවට පසුගිය දෙසතිය පුරා පලවූ මාධ්‍ය වාර්තා, වොරන්ගේ ප‍්‍රකාශ තහවුරු කරයි. වොෂින්ටනය හොඳින්ම දන්නා පරිදි එවන් ඉවබව නැති ක‍්‍රියා ගැටුමක් ඇවිලවීමේ ශක්‍යතාව ගැබ්කර ගනියි.

සීඑන්එන් වාර්තාව හිටපු සීඅයිඒ නියෝජ්‍ය ලේකම් මයිකල් මොරෙල්ගේ ප‍්‍රකාශ ද උපුටා දක්වයි. ඔහු මෙසේ අනතුරු අඟවයි. “මේ ආකාරයේ ගැටුමක් තිබියදී ඔබ, ඉතා නරක දෙයක් සිදුවීමේ සැබෑ අන්තරායකට මුහුනපායි.” චීනය හා ඇමරිකාව අතර යුද්ධයක අන්තරාය ගැන විමසූ කල ඔහු පැවසුවේ එය, “ඔවුන්ගේ අවශ්‍යතාවන්ට හෝ අපගේ අවශ්‍යතාවන්ට අදාල නොවූවත් පරම වශයෙන්ම එය අන්තරායකි.” යනුවෙනි.

බීජිනයට එරෙහි මිලිටරි තර්ජනයක් ලෙස පමනක් අර්ථ දැක්විය හැකි පරිදි, නැගෙනහිර ආසියාව පිලිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩැනියෙල් රසල් 21දා මාධ්‍යයට පැවසුවේ, නිරීක්ෂන ගුවන් ගමන් “මුලුමනින්ම යුක්ති සහගත” වන බවත් ඇමරිකාව, “ජාත්‍යන්තර මුහුදේ මෙන්ම ගුවනේ ද ක‍්‍රියාත්මක වීම සඳහා තමන්ට ඇති අයිතිය මුලුමනින්ම පාවිච්චි කරන” බවත්ය. “හොඳ සිහියෙන් කටයුතු කරන කිසිවෙක් ඇමරිකානු නාවික හමුදාවේ කටයුතු නතර කිරීමට උත්සාහ නොකරනු ඇත...එය හොඳ ඔට්ටුවක් නොවේ.” යයි ද ඔහු පැවසීය.

මෙයින් මතු කරන කුහකත්වය හා නරුමත්වය කියා නිමකල නොහැකිය. චීනයට වල කපමින් හා එරට මිලිටරිමය වශයෙන් වැටලීම අරමුනු කරගත් සිය “ආසියාවට හැරීම” ක‍්‍රියාවට නැගීමට සූදානම් වූ 2010 වන තෙක් ඔබාමා පාලනය තම “නාවික ගමනාගමනයේ නිදහස භුක්තිවිඳීමේ අයිතිය ගැන කථා නොකලේය. දිගු කලක් තිස්සේ පවතින හා සංකීර්න භෞමික ආරවුල් තුලට වොෂින්ටනයේ මැදිහත්වීම, සමස්ත කලාපයම අනතුරුදායක ජ්වලන කේන්ද්‍රයක් බවට පත්කර ඇත.

භූමිය ගොඩකිරීම සම්බන්ධයෙන් චීනයට දොස් පවරන අතර ඇමරිකාව, තමන්ගේ පාලනය යටතේ පවතින දිවයින් හා ගල්පරවල වියට්නාමය හා පිලිපීනය ගෙන යන එවැනිම කටයුතු පිලිබඳව නිහඬ පිලිවෙතක් අනුගමනය කරයි. වොෂින්ටනයේ කිසිවෙකුත්, මැනිලාව හා හැනෝයි විසින් පාලනය කරන මතභේදයට තුඩුදී ඇති භූමි භාගයන් වටා සැතපුම් 12 සීමාවට අභියෝග කිරීමට පෙන්ටගනය පියවර ගන්නා බව නොකියති.

සැබවින්ම ඇමරිකාවේ එක් අරමුනක්ව ඇත්තේ, චීනය හා එහි අසල්වාසීන් අතර භේද අවුලුවමින් ගිනිකොනදිග ආසියාව පුරා සමීප මිලිටරි බැඳීම් අතිකර ගැනීමය. චීනයට එරෙහිව දකුනු චීන මුහුදේ සිය හිමිකම් පෑම් වඩාත් ආක‍්‍රමනකාරී ලෙස පෙරට ගැනීම සඳහා වොෂින්ටනය පිලිපීනය හා වියට්නාමය දිරිමත් කරයි.

සිය පැරනි යටත් විජිතය තුල මිලිටරි කඳවුරු වෙත සීමාවකින් තොරවම පාහේ පිවිසීමට ඇමරිකානු හමුදාවන්ට ඉඩ සැලසෙන, සවිමත් කල ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් පසුගිය වසරේදී ඇමරිකාව හා පිලිපීනය විසින් අත්සන් තැබීය. සැබවින්ම සම්බන්ධතා කෙතරම් සමීප ද යත්, පෝසිඩන් ගුවන්යානය ගුවන්ගත වූයේ පිලිපීනයේ ක්ලාක් ගුවන් කඳවුරේ සිටය.

සීඑන්එන් කන්ඩායමකට ගුවන් ගමනට සහභාගී වීමට ආරාධනා කිරීමේ තීරනය, චීනය සමග යුද්ධය සඳහා වන මනාව සැලසුම් කල සූදානමේ කොටසකි. එය සිදු වූයේ, භූමිය ගොඩකිරීම අත්හිටුවන ලෙස චීනයට බලකිරීම පිනිස රාජ්‍ය ලේකම් කෙරී බීජිනයට යාමෙන් දින කිහිපයකට පසුව හා ඊලඟ සති අන්තයේ ඇමරිකානු ආරක්ෂක ලේකම් සිංගප්පූරුවේ පැවැත්වෙන ෂන්ග‍්‍රිලා සාකච්ඡාවන්ට සහභාගී වීමට ආසන්නව තිබිය දී ය. එහිදී ඔහු චීනයේ මිලිටරි නායකයින් හමුවීමට නියමිතය.

මූලෝපායික හා ජාත්‍යන්තර කටයුතු පිලිබඳ මධ්‍යස්ථානයේ (සීඑස්අයිඑස්) විශ්ලේෂක මීරා රැප් හූපර් මේ සතියේදී පැහැදිලි කලේ, “ඔබට දැකගත හැක්කේ, එහි සියලු විස්තර හා ශක්‍ය අනතුරු සහිතව එක්සත් ජනපදය විසින් ගනන් බලා, විනිවිද භාවයකින් යුතුව තත්වය හෙලිදරව් කිරීමකි.”

එම ආයතනය “ආසියාවට හැරීම” ක‍්‍රියාවට නැගීමේදී ඇමරිකානු මිලිටරිය සමග සමීපයෙන් කටයුතු කරයි. දකුනු චීන මුහුදු අර්බුදය පිලිබඳව චීනය සමග ආතතීන්, ඔබාමා පාලනය විසින් මේ වසරේදී උත්සන්න කල තතු හමුවේ එම ආයතනය, හූපර්ගේ නායකත්වය යටතේ ආසියානු නාවික ගමනාගමනයේ විනිවිද භාවය පිලිබඳ ආරම්භකත්වය පිහිටුවා ගැනීම අහම්බයක් නොවේ. සීඑන්එන් වාර්තාවෙන් පසුව එම ආයතනය, පෙන්ටගනය සමග තමනට ඇති සියලු බැඳීම් ප‍්‍රයෝජනයට ගනිමින් සිය වෙබ් අඩවිය තුල ඇමරිකාවේ නිරීක්ෂන ගුවන් ගමන් පිලිබඳ සවිස්තර වීඩියෝ පටයක් නිකුත් කලේය.

වොෂින්ටනය අදහස් කරන්නේ සිය ප‍්‍රකෝපකරනයන් තවදුරටත් පුලුල් කිරීම බව නිසැකය. 2013දී චීනය, නැගෙනහිර චීන මුහුදේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයක් නිවේදනය කල විට ඇමරිකාව, න්‍යෂ්ටික බලය සහිත බී-52 ගුවන් යනා ප‍්‍රදේශය තුල පියාසර කරවීම මගින් ක්ෂනිකව ඊට අභියෝග කලේය. චීන දිවයින් වටා සැතපුම් 12 සීමාවට පිටතින් මිලිටරි ගුවන් යානා යැවීම ඊටත් වඩා ඉවබව නැති ක‍්‍රියාවකි. චීනයේ ප‍්‍රධාන නාවික කඳවුරු වලට සමීප දකුනු චීන මුහුද බීජිනය විසින් සලකනු ලබන්නේ, සිය මූලෝපායික අවශ්‍යතාවන් සඳහා තීරනාත්මක ප‍්‍රදේශයක් ලෙසය.

සීඑන්එන් ගුවන් චාරිකාව ගැන චීන විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශක හොං ලී පැවසුවේ, “එවන් ක‍්‍රියාවක් හදිසි අනතුරකට හේතුවිය හැකිය, එය අතිශයින්ම වගකීම් විරහිත හා අනතුරුදායක මෙන්ම කලාපයේ සාමයට හා ස්ථාවරත්වයට තර්ජනයකි. අපි අපගේ දැඩි නොසතුට පල කරන්නෙමු, අප ඇමරිකාවෙන් ඉල්ලා සිටින්නේ, ජාත්‍යන්තර නීතියට හා රෙගුලාසිවලට ගරු කරන ලෙසත්, අවදානම් හා ප‍්‍රකෝපකාරී ක‍්‍රියාවන්ගෙන් වැලකී සිටින ලෙසත්ය.” චීනය තත්වය සමීපව නිරීක්ෂනය කරමින්, දකුනු චීන මුහුදේ සිය දිවයින් හා ගල්පරයන්හි ආරක්ෂාව සඳහා “අවශ්‍ය හා යෝග්‍ය පියවර ගන්නා බවට” ඔහු අනතුරු ඇඟවීය.

ඇමරිකාවේ සමස්ත අරමුන දකුනු චීන මුහුදේ “නාවික ගමනාගමනයේ නිදහස” සුරක්ෂිත කිරීම නොවේ. ඒ වෙනුවට ආසියාවේ ඇමරිකානු ආධිපත්‍යය පිලිගන්නා තැනට බීජිනය තල්ලු කිරීමේ අරමුනෙන් බලය පෙන්වීම සඳහා දකුනු චීන මුහුදු ප‍්‍රදේශය නිමිත්තක් බවට පත්කරගෙන ඇත. මේ සඳහා වොෂින්ටනය, යුද්ධයට සූදානම් වෙමින් හා එම අවදානම ගැනීමට කැමැත්තෙන් සිටී.

Share this article: