එක්සත් ජනපදය දකුනු චීන මුහුදේ චීනය සමග මිලිටරි ගැටුමක තර්ජනය ගෙන එයි

US threatens military confrontation with China in South China Sea

ජෝසෆ් සැන්ටොලන් විසිනි, 2015 මැයි 14

වෝල් ස්ටී‍්‍රට් ජර්නලය 12දා පලකල ලිපියකින්, චීනය හිමිකම් කියන, මතභේදයට තුඩුදී ඇති ස්ප‍්‍රැට්ලි දිවයින් වලින් නාවික සැතපුම් 12ක් ආසන්නයේ මිලිටරි ගුවන් යානා හා යුද නැව් රැඳවීම කෙරෙහි ඇමරිකානු මිලිටරිය සැලකිල්ල යොමුකර ඇති බව හෙලි කරයි. මෙම තොරතුරු ලැබුනේ නම හෙලි නොකල ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධරයෙකුගෙන් යයි පුවත්පත පවසා ඇත.

වොෂින්ටනය විශේෂයෙන්ම ඉලක්ක කරන්නේ, දකුනු චීන මුහුදේ චීනය විසින් හිමිකම් කියන ගල්පර ප‍්‍රදේශ, මුහුදෙන් ඇදගන්නා වැලි පුරවා පුලුල් කිරීමේ ප‍්‍රතිසංස්කරන කටයුතු සිදුකරන දිවයින් ය.

මෙම පියවර, චීනය මත බලපෑම් යෙදීම හා කලාපය තුල ඇමරිකානු අධිපතිකම නගා සිටුවීමේ ගනන් බැලූ ප‍්‍රකෝපකරනයකි.

වියට්නාමය, තායිවානය හා පිලිපීනය ද දකුනු චීන මුහුදේ මතභේදයට ලක්ව ඇති දිවයින්වල මිලිටරි හා සිවිල් සේනාංක ස්ථානගත කර තිබේ. බීජිනය මෙන්ම වියට්නාමය හා තායිවානය ද ඉදිකිරීමේ කටයුතුවල ක‍්‍රියාශීලීව යෙදී සිටිති. එහෙත් වොෂින්ටනයේ කෝපයට හේතුවී ඇත්තේ විශේෂයෙන්ම චීනයේ කටයුතු ය.

ඇමරිකාවේ මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය යන දෘෂ්ටි මන්ඩලය විසින් ගෙන යන ආසියාවේ නාවික විනිවිද භාවයේ ආරම්භකත්වය මගින් පලකල මෑතම තොරතුරු වලට අනුව, චීනය ඉදිකර ඇති භූමි ස්කන්ධයේ ප‍්‍රමානය වර්ග කිලෝ මීටර් දෙකක් පමන ය.

ඇමරිකාවේ පියවර මිලිටරි තීක්ෂන භාවයෙන් තොර, තමන් හිමිකම් කියන භූමිභාගයන් වෙතින් ඉවත්වන ලෙසට චීනයට ගනන් බලා කරන බලපෑමකි. වෝල් ස්ටී‍්‍රට් ජර්නලය සඳහන් කරන නම නොකියන ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියාට අනුව, “ජලයට යටව තිබෙන ගල්පර මත චීනය කෙතරම් වැලි ගොඩගැසුවත් එය චීනයේ හිමිකම් පෑම ශක්තිමත් කරන්නේ නැත. ඔබට ස්වෛරිත්වය නිර්මානය කල නොහැක.”

පසුගිය වසර පුරා, වොෂින්ටනය පූර්වයෙන් කියා සිටි දකුනු චීන මුහුදේ ආරවුල් සම්බන්ධයෙන් තමන් පැත්තක් නොගන්නේය යන ප‍්‍රකාශ ක‍්‍රමානුකූලව අතහැර දමා ඇත. චීනයේ භූමි ප‍්‍රදේශ පිලිබඳ හිමිකම් පෑමට අභියෝග කරමින් මුහුදු ප‍්‍රදේශ පිලිබඳ ජාත්‍යන්තර නීති ආයතනය ඉදිරියේ පිලිපීනය ගොනුකර තිබෙන නඩුව වොෂින්ටනය විසින් පෙරට තල්ලු කරයි. දෙසැම්බරයේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රසිද්ධියට පත්කල, “මුහුදේ සීමාවන්” පිලිබඳ එහි අංක 143 දරන වාර්තාව, දකුනු චීන මුහුදේ චීන නාවික හිමිකම් පෑමේ වලංගු භාවය පරීක්ෂාවට ලක් කලේය. එම වාර්තාව චීනයේ නමය ඉරක් යන දකුනු චීන මුහුදේ හිමිකම පිලිබඳ ඓතිහාසික වාර්තාව ප‍්‍රතික්ෂේප කර තිබේ. චීනයේ හිමිකම් පෑම “ජාත්‍යන්තර මුහුදු නීතිය සමග අනුකූල නොවන බව” එය විශේෂයෙන් සඳහන් කරයි.

වොෂින්ටනයේ කුහකත්වය ඇඟ කිලිපොලන සුලුය. පිටු 26න් යුත් එම ලියවිල්ල පුරාම සිදුකරන චීනයේ හිමිකම් පෑම හෙලාදැකීම පදනම්ව ඇත්තේ, එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිලිබඳ ගිවිසුම මතය. වසර 32ක් පුරාම එම ගිවිසුමට අත්සන් තැබීම ඇමරිකාව විසින් ප‍්‍රතික්ෂේප කර තිබුනි.

ඇමරිකාවේ ශාන්තිකර නාවික සේනාංකයේ අනදෙන නිලධාරී අද්මිරාල් හැරී හැරිස් මාර්තු 31දා, දකුනු චීන මුහුදේ චීන ඉදිකිරීම් කටයුතු හෙලාදකිමින් පැවසුවේ, එය “වැලි වලින් ගොඩනගන චීන මහා ප‍්‍රකාරයක්” බවයි. අපේ‍්‍රල් 22දා එම ආයතනය ප‍්‍රසිද්ධ කල ලියවිල්ලකින්, “මෙම ඉදිකිරීම් වලට නාවික සැතපුම් 12ක් ආසන්නයට” වොෂින්ටනය විසින් ඇමරිකානු නැවක් යවා ඇති බව වාර්තා කලේය.

වොෂින්ටනය විසින් සූදානම් කරන මිලිටරි ව්‍යායාමය ලිහිල් කරවීමේ අපේක්ෂාවෙන් චීනය, දකුනු චීන මුහුදේ සිය පහසුකම් මානවවාදී හා ව්‍යසනකාරී ගැලවීමේ මෙහෙයුම් සඳහා ඇමරිකාවට හා අනෙකුත් රටවලට ඒකාබද්ධව ප‍්‍රයෝජනයට ගැනීමේ ඉඩකඩ සලසා දෙන බව ප‍්‍රකාශ කර ඇත. අපේ‍්‍රල් 30දා චීන නාවික අද්මිරාල් වූ ෂෙංලී, ඇමරිකානු අද්මිරාල් ජොනතන් ග‍්‍රීනට් වෙත මෙම යෝජනාව ඉදිරිපත් කලේ ය. වූ පැවසුවේ චීනයේ කටයුතු, “නාවික ගමනාගමනයේ හා ගුවන් තරනයේ නිදහසට තර්ජනයක් නොවනු ඇති” බවයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන නියෝජ්‍ය ප‍්‍රකාශක ජෙන් රත්කෙ පැවසුවේ ඇමරිකාව ඒ ගැන උනන්දුවක් නොදක්වන බව හා චීනය කලාපයේ ආතතීන් ලිහිල් කල යුතු බවයි.

වොෂින්ටනයේ යෝජිත පියවර දැනටමත් දහනශීලී තත්වයක පවතින කලාපීය ආතතීන් තවත් නරක අතට හැරවීමක් පමනි. වෝල් ස්ටී‍්‍රට් ජර්නලය “එක්සත් ජනපදයේ සූදුව චීනය සමග ගැටුමක අවදානම මතුකරයි” යන ශීර්ෂයෙන් යුත් කතුවැකියකින් කියා ඇත්තේ, “එක්සත් ජනපදය අන්තරායකාරී හා ආතතියේ විකල්පයක් සමග; සීමිත නමුත් සෘජු මිලිටරි ක‍්‍රියාවක්” අනුගමනය කරන බවයි.

ඇමරිකාව දැනටමත් පිහිටුවා ඇත්තේ චීන හිමිකම් පෑමට සෘජුවම අභියෝග කරන මිලිටරි පූර්වාදර්ශයකි. බීජිනය ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයක් ප‍්‍රකාශයට පත් කල වහාම 2013 නොවැම්බරයේදී ඇමරිකාව, නැගෙනහිර චීන මුහුදු කලාපය ඉහලින් බී 52 බෝම්බ හෙලන යානා දෙකක් පියාසර කරවීය.

වොෂින්ටනය චීනය හිමිකම් කියන දකුනු චීන මුහුදු ප‍්‍රදේශය නිදහස් ගමනාගමනයේ කලාපයක් විය යුතු බවට යෝජනා කරන තත්වය හමුවේ එය ඉවබව නැති ක‍්‍රියාවක් විය. එය ගුවන් හෝ නාවික ප‍්‍රවාහනය සඳහා යොදාගනු ඇත්තේ, දැනට චීන ප‍්‍රහාරක බෝට්ටු හා මිලිටරිය ලැගුම්ගෙන සිටින ප‍්‍රදේශයක් තුලය. මෙම බලවේගයන්ට එක්කෝ ඇමරිකානු ඇතුලුවීම නොතකා සිටීමට හෝ තමන් නියම කරගත් පරිදි ඇමරිකානු හමුදාවන්ට මුහුනදීමට බල කෙරෙයි.

එවන් ගැටුමක් සිදුවීමට ආසන්න තත්වයක් දැනටමත්, ඉදිකරන ලද භූමි ප‍්‍රදේශයේ නාවික සැතපුම් 12 පිටත පවතී. මැයි 11දා “නාවික ගමනාගමනයේ නිදහස” පාවිච්චි කරමින් යූඑස්එස් ෆෝට් වර්ත් යන යුද නෞකාව ඒ ප‍්‍රදේශයේ යාත‍්‍රාකරමින් තිබියදී යැන්චෙන් යන චීන නාවුක 054ඒ වර්ගයේ මිසයිල් සහිත ෆ‍්‍රිගේට් නැවක් ඒ පිටුපස ගමන්කර තිබුනි. යූඑස්එස් ෆෝට් වර්ත් ගුවන් විදුලි පනිවිඩයකින් යැන්චෙන් වෙත දන්වා ඇත්තේ තමන් ජාත්‍යන්තර මුහුදේ යාත‍්‍රා කරන බවයි.

චීනය හිමිකම් පාන දිවයින් පිහිටි ප‍්‍රාදේශීය මුහුදු සීමාව තුල මෙම සිද්ධිය හටගත්තේ නම්, චීන හමුදා පසු නොබසිනු ඇති අතර දැඩි ලෙස සන්නද්ධවූ යුද නැව් දෙක අතර ගැටුමක් ඇති විය හැකිව තිබුනි. එවන් ගැටුමක් ලෙහෙසියෙන්ම න්‍යෂ්ටික අවි සහිත දෙරට අතර වඩාත් පුලුල් යුද්ධයක් කරා පරිවර්තනය විය හැකිව තිබුනි. එහි ගෝලීය ඇඟවුම් බිහිසුනු විය හැකිව තිබුනි. වොෂින්ටනය හිතාමතාම බීජිනයට එරෙහිව සතුරු කම් හා ප‍්‍රකෝපකරන ක‍්‍රියාවන්හි යෙදීම මගින් ඇතිකර තිබෙන අනතුරුදායක වාතාවරනය මෙවැනිය.

වොෂින්ටනය අදහස් කරන ක‍්‍රියාව ගැන චීන විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශිකාවක් වන හුවා චුන්යින් මෙසේ ප‍්‍රතිචාර දැක්වුවා ය. “චීන පාර්ශවය දකුනු චීන මුහුදේ නිදහස් නාවික ගමනාගමනයට ඉඩ දෙනු ලබයි. එහෙත් නිදහසේ අර්ථය නිශ්චිතවම විදේශ මිලිටරි යාත‍්‍රාවන්ට හා ගුවන් යානා වලට රටේ භෞමික මුහුදු හා ගුවන් සීමා තුලට කැමති පරිදි ඇතුල්විය හැකිය යන්න නොවේ. චීනය තම භෞමික ස්වෛරිත්වය දැඩි ලෙස ආරක්ෂා කරනු ඇත. අප, සැලකිලිමත් වන සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ, වචනයෙන් හා ක‍්‍රියාවෙන් අව්‍යාජ වන ලෙසත් කුමන හෝ අවදානම් සහිත හා ප‍්‍රකෝපකාරී කටයුතු වලින් වැලකී කලාපීය සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කරන ලෙසත් ය.”

වොෂින්ටනය දිගටම චීනය සමග යුද්ධයට සූදානම් වෙමින් සිටියි. අපේ‍්‍රල් මාසයේ අවසන් දෙසතිය තුල ඇමරිකාව හා පිලිපීනය, වසර 15ට පසුව පැවැත්වෙන දෙරටේ විශාලතම මිලිටරි අභ්‍යාසය දියත්කර ඇත. බලිකටාන් අභ්‍යාසයට 11,600ක් හමුදා පිරිස් සම්බන්ධ වන අතර ඔවුන් ජීව උන්ඩ සහිත අභ්‍යාසවල යෙදෙමින් දකුනු චීන මුහුදේ දිවයින් වලට ප‍්‍රහාරාත්මකව ගොබැසීමේ පුහුනුවීම් වල යෙදේ.

පලමු වතාවට මෙම අභ්‍යාස වලට පිලිපීනයේ ප‍්‍රධාන දිවයින වන ලූසොන් විදේශ ආක‍්‍රමනයකින් ආරක්ෂා කර ගැනීම ද ඇතුලත් ය. ඇමරිකානු මිලිටරිය මෙම වාතාවරනය නිල වශයෙන් පැහැදිලි කලේ මෙසේ ය. “මාර්තු 22දා පොදු ආරක්ෂක ගිවිසුම බලගැන්වෙන අතර පිලිපීනයේ භෞමික අඛන්ඩතාවය යලි පිහිටුවීම පිනිස ඇමරිකාවේ ඒකාබද්ධ කාර්ය සාධක බලකාය පිහිටුවන ලදී. පලවාන්හි ඇමරිකානු සේනාංකය, ‘කලින් ස්ථානගත’ කල නාවික මෙහෙයුම් පවත්වන අතර ඒකාබද්ධ ගොඩබැසීමේ බලකායක් මෙහෙයවනු ඇත.” යනුවෙනි.

“කලින් ස්ථානගත කිරීම” යන අපැහැදිලි යෙදුම පාවිච්චි කරමින් වොෂින්ටනය උත්සාහ කරන්නේ, වසරකට පෙර අත්සන් තබන ලද හා වඩාත් ශක්තිමත් කරන ලද, ආරක්ෂක සහයෝගිතා ගිවිසුම යටතේ ඇමරිකානු හමුදා පිලිපීනය පුරා ස්ථානගත කිරීමට ය. ගිවිසුම පිලිබඳව එරට ශ්‍රේෂ්ඨාධිකරනය තවමත් විභාග පවත්වයි. ධවල මන්දිරය ගිවිසුම අධිකරනයෙන් අනුමත කරවා ගැනීම පිනිස ආන්ඩුව මත බර තබා ඇත. බලිකටාන් අභ්‍යාසයන්හි අර්ථය වන්නේ, එල්ල විය හැකි චීන ආක‍්‍රමනයක දී පිලිපීනය, ඇමරිකාව විසින් ගලවා ගනු ඇතැයි යන්න මත දේශපාලන පීඩනය යොදවමින් තම හමුදා “කලින් ස්ථානගතවීම” අනුමත කරවා ගැනීම ය.

අතීතයේදී බලිකටාන් අභ්‍යාස දියත්කරනු ලැබුවේ, තමන් වෙනත් රටක් ඉලක්ක කරන්නේ නැති බව පෙන්වමිනි. 2015 අභ්‍යාස පටන් ගත්තේ, පිලිපීනයේ හමුදා නායක ජෙනරාල් කැටපාන්ග් ඉදිරිපත් කල දකුනු චීන මුහුදේ චීන ඉදිකිරීම් පිලිබඳ සාක්ෂි හා ඊට බැඳුනු චීන ආක‍්‍රමනයක් පිලිබඳ තර්ජනය මුල්කර ගෙනය.

මේ සතියේදී පිලිපීනය, ජපානය සමග එරට පවත්වන පලමු මිලිටරි අභ්‍යාසයන්ට එක් විය. ජපන් ඩිස්ට්‍රෝයර් යාත‍්‍රා දෙකක් හා පිලිපීනයේ යුද නැවක් දකුනු චීන මුහුදේ මෙම යුද අභ්‍යාස පවත්වයි. මේවා පැවැත්වෙන්නේ, වොෂින්ටනය හා ටෝකියෝව අතර මෑතකදී අත්සන් කල මිලිටරි ගිවිසුමක් යටතේ ය. එය චීනයට විරුද්ධව ජපානය වොෂින්ටනයේ යුද ව්‍යායාමයට වඩාත් සමීපව ඒකාබද්ධ කරයි. ජපානය කියා ඇත්තේ, දකුනු චීන මුහුදේ සටන් වලට සම්බන්ධ වන ඇමරිකානු නැව් වලට මෙන්ම තමන්ගේ ජෙට්යානා වලට ද ඉන්ධන පිරවීම පිනිස පිලිපීන මිලිටරි කඳවුරු යොදාගැනීමට අවශ්‍ය වන බවයි.

Share this article: