බ්ලැක් මාස් : මැරයෙකු හා එෆ්බීඅයි ඔත්තුකරුවෙකු වූ වයිටි බල්ජර් පිලිබඳ කතාව

Black Mass: The story of Whitey Bulger, gangster and FBI informant

කෙවින් මාටිනස් විසිනි, 2015 ඔක්තෝබර් 10

අධ්‍යක්ෂනය ස්කොට් කූපර්ගෙනි; රචනය මාක් මැලෝක් හා ජෙස් බටර්වර්ත් විසිනි; ඩික් ලේර් හා ජෙරාඞ් ඔ’නීල් රචනා කල කෘතිය ඇසුරිනි

බ්ලැක් මාස්හි ජොනී ඩෙප්

ජොනී ඩෙප් රඟන Black Mass (බ්ලැක් මාස්) චිත‍්‍රපටයට පදනම් වන්නේ ජේම්ස් “වයිටි” බල්ජර් නම් කුප‍්‍රකට බොස්ටන් අපරාධ ලොක්කාගේ ජීවන චරිතය යි. ඔහු 1999 සිට 2011 ජූනියේ දී අල්ලා ගැනෙන තෙක් ම එෆ්බීඅයිහි “වඩාත් ම අවශ්‍ය පලායිතයන් දහ දෙනා” අතරින් කෙනෙක් විය. ලැයිස්තුවේ උඩින් ම සිටි ඔසාමා බින් ලාඩන් 2011 දී එක්සත් ජනපද හමුදා අතින් ඝාතනයට ලක් වූ පසු බල්ජර් වහා ම පලමු වැන්නා බවට පත් කෙරින. එෆ්බීඅයි ආයතනය ඔහු අත් අඩංගුවට ගැනීමට මග පෑදෙන හෝඩුවාවල් උදෙසා ඩොලර් මිලියන 2ක් පිරිනැමෙන බව නිවේදනය කලේය. මෙය එක්සත් ජනපද පලායිතයෙකු අල්ලා ගැනීම සඳහා එදා මෙදා තුර කැප කල ලොකු ම මුදල වේ.

1970 ගනන් හා 1980 ගනන් පුරා ම වින්ටර් හිල් මැර කල්ලිය නමින් ප‍්‍රකට අයිරිෂ් මැර කන්ඩායමේ ප‍්‍රධානියා වූයේ වයිටි බල්ජර් ය. බොස්ටන් පාතාල ලෝකයෙන් වැඩි කොටසක් පාලනය කලේ මෙම කල්ලිය යි. ඔහුගේ සොහොයුරු විලියම් “බිලී” බල්ජර් 1978 සිට 1996 දක්වා මැසචුසෙට්ස් සෙනෙට් සභාවේ සභාපති විය. 2011 දී වයිටි බල්ජර් අත් අඩංගුවට ගත් පසුව ඝාතන, කූට ජාවාරම්, කලු සල්ලි නීත්‍යනුකූල කිරීම්, බලෙන් මුදල් ලබා ගැනීම් හා ආයුධ ජාවාරම් 19ක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා කෙරින. අද ඔහු බන්ධනාගාරගතව සිටී.

බ්ලැක් මාස්

බල්ජර්ට නීතිය බලාත්මක කරන ආයතන හා පුද්ගලයන් සමග පැවති සම්බන්ධතාවල තරම මුලුමනින් ම පැහැදිලි නැත. එහෙත් ඔහු ඉතාලි මාෆියාව ගැන තොරතුරු සැපයීම සඳහා 1975 දී එෆ්බීඅයි ආයතනය සමග සහයෝගී වීමට පටන් ගත් බව නම් මැනවින් ලේඛනගතව ඇත. වයිටි ට බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුව, මැසචුසෙට්ස් ප‍්‍රාන්ත පොලීසිය හා එෆ්බීඅයි ආයතනය සමග සම්බන්ධකම් පැවතින. ඔහුගේ අපරාධ හා ප‍්‍රචන්ඩ සමයට මේ හැම ආයතනයකින් ම උදව් ලැබින. එපමනක් නො වේ. බල්ජර් එවකට බි‍්‍රතාන්‍යයන් විසින් උතුරු අයර්ලන්තය වාඩි ලා ගැනීමට එරෙහිව සටන් වදිමින් සිටි අයිරිෂ් රිපබ්ලිකානු හමුදාවට (අයිආර්ඒ සංවිධානයට) මුදල් හා තුවක්කු ද දුන්නේ ය.

ඔහුගේ කල්ලිය වැඩිපුර ම මුදල් ඉපැයුවේ බොස්ටන් ප‍්‍රදේශයේ අනෙක් මත්ද්‍රව්‍ය කෙරුම්කාරයන්ගේ මුදල් වංචනිකව ගසා කෑමෙනි. අවසානයේ 1990 ගනන් මැද වෙද්දී තමන් හසුරුවන ලද එෆ්බීඅයි ලොක්කන්ගේ අනුග‍්‍රහය නැතිව ගියෙන් බල්ජර්ට ඊලඟ 16 වසර පුරා ම පලා යමින් දිවි ගෙවීමට බල කෙරින. 2011 වසරේ කැලිෆෝනියාවේ සාන්ත මොනිකාහි මහල් නිවාසයක දී අල්ලා ගත් විට ඔහු තමන්ට එරෙහි නඩුවේ දී අන්‍යයන්ගේ නම් සඳහන් කරති යි බියක් ඇති විය.

එෆ්බීඅයි ආයතනයට කනස්සල්ලට පත් වීමට විශේෂයෙන් ම හේතුවක් තිබින. ඉතාලි මාෆියාවට එරෙහිව බල්ජර් සැපයූ තොරතුරුවලට හිලව් කොට එෆ්බීඅයි ආයතනය බල්ජර් හා ඔහුගේ මිතුරන් නීතිමය පියවරයන්ට ගොදුරු වීමට නො දී ආරක්ෂා කලේ ය. දුරකථන සංවාදවලට රහසේ කන් දුන් බව හෙලිදරව් වූයෙන් බල්ජර් තම කල්ලිය තුල සිටි ආන්ඩුවේ ඒජන්තයන් ඝාතනය කලේ ය.

බල්ජර් කල්ලිය සිදු කල ඝාතන සම්බන්ධයෙන් අහිංසක මිනිසුන්ට එරෙහිව බොරු චෝදනා ගොතනු ලැබ ඔවුහු බන්ධනාගාරවල මියෙන්නට හරින ලදහ. දැන් මෙම සිදුවීම්වලින් බොහොමයක් ප‍්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ බල්ජර්ට ගොදුරු වූවන්ගේ පවුල්වල සාමාජිකයන් මධ්‍යම ආන්ඩුවට එරෙහිව පවරා ඇති සිවිල් නඩු හේතුවෙනි.

බොස්ටන්හි සංවිධානාත්මක අපරාධවල මෙම ඉතිහාසය බියකරු නමුත් අනාවරනකාරී බැවින් හොලිවුඩ් පුරවරය පොලීසිය හා හොරුන් පිලිබඳ මෙම කතාව පදනම් කර ගෙන සිය වශීකෘත දසුන් රචනා කිරීම යම් ආකාරයක නො වැලැක්විය හැකි දෙයක් විය. සැබවින් ම මාටින් ස්කොසීස් අධ්‍යක්ෂනය කල The Departed (ද ඩිපාර්ටඩ්) නම් නින්දා සහගත චිත‍්‍රපටයෙහි ජැක් නිකොල්සන් නිරූපනය කල මැර නායක චරිතය වයිටි බල්ජර් මත ලිහිල්ව පදනම් වූවක් විය.

Crazy Heart (කේ‍්‍රසි හාට්) හා Out of the Furnace (අවුට් ඔෆ් ද ෆර්නස්) වැනි චිත‍්‍රපට නිර්මානය කල ඇමරිකානු අධ්‍යක්ෂ ස්කොට් කූපර් දැන් බල්ජර් ලෙස ජොනී ඩෙප් ප‍්‍රධාන චරිතය රඟන බ්ලැක් මාස් චිත‍්‍රපටය නිර්මානය කර ඇත. සෙනෙට් සභික බිලී බල්ජර් ලෙස බෙනඩික්ට් කම්බර්බැච් ද වයිටි ඔත්තුකරුවෙකු ලෙස බඳවා ගත් එෆ්බීඅයි ඒජන්ත ජෝන් කොනොලි ලෙස ජොයෙල් එඩ්ගර්ටන් ද වයිටිගේ දකුනත හා “සහචරයා” වූ කෙවින් වීක්ස් ලෙස ජෙසී ප්ලෙමන්ස් ද රඟපාති.

චිත‍්‍රපටය දක්ෂ ලෙස නිමවා ඇත. එය පුරා ම ප‍්‍රබල රංගනයන් දැක ගත හැකි ය. බරපතල වෙස් ගැන්වීමක සැඟවී සිටින හෙයින් කිසි සේත් ම පාහේ හඳුනා ගත නොහැකි ඩෙප් විශේෂයෙන් ම ප‍්‍රබල රංගනයක යෙදෙයි. සංගීතය හා කැමරාකරනය බෙහෙවින් බලගතු ය. චිත‍්‍රපටය නිර්මානය කල අය එහි කතාවෙන් වැඩි කොටස දිග හැරෙන බොස්ටන් නගරයෙහි 1970 ගනන් හා 1980 ගනන්වල පැවති භෞතික පෙනුම හා ස්පර්ශය ප‍්‍රතිනිර්මානය කිරීමේ දී හැකි තාක් ඓතිහාසික වීමට උත්සාහ දැරී ය යන හැඟීම කෙනෙකුට ඇති වේ.

එහෙත් බ්ලැක් මාස් චිත‍්‍රපටය මෙම සංකීර්න ඉතිහාසය ජීවමාන කිරීමට අසමත් වීම පුදුමයකි. අවසන් ප‍්‍රතිඵලය වී ඇත්තේ නාට්‍යමයව හා සෞන්දර්යාත්මකව සෑහීමට පත් විය නොහැකි සිනමා කෘතියක් බිහි වීම යි. චිත‍්‍රපටය ස්කොසීස්ගේ හෝ ක්වෙන්ටින් ටැරන්ටිනෝගේ පරිශ‍්‍රමයන්ට ආවේනික තරමට ප‍්‍රචන්ඩ නොවන නමුත් බල්ජර් හා ඔහුගේ මිනිසුන් කරන පහර දීම්, වෙඩි තැබීම් හා ගෙල මිරිකීම් කෙරෙහි පමනට වැඩි (උදාසීන) අවධානයක් යොමු කරයි. අධ්‍යක්ෂ ස්කොට් කූපර් පොලිස්කාරයන් හා හොරුන් අතර පවත්නා මෙම “අශුද්ධ” සම්බන්ධකම් ගැන නිශ්චිත වශයෙන් පැවසීමට උත්සාහ දරන්නේ කුමක් දැයි තීරනය කිරීම ද අසීරු ය.

බ්ලැක් මාස්

බල්ජර් හා එවකට මැසචුසෙට්ස්හි ප‍්‍රමුඛ ඩිමොක‍්‍රැටික් පක්ෂ දේශපාලනඥයෙකු වූ ඔහුගේ සොහොයුරා අතර පවත්නා සම්බන්ධතාව ද බල්ජර් හා එෆ්බීඅයි ආයතනය අතර පවත්නා සම්බන්ධතාව ද යන දෙක ම අතිශයින් ඇඟවුම්කාරී ය. මෙම සම්බන්ධකම් නොතිබියේ නම් බල්ජර් තමන් ලද සාර්ථකත්වය සම්බන්ධයෙන් ප‍්‍රචලිත වනු ඇත් ද? පන්තිවලට බෙදී ගිය ඇමරිකාව තුල පවත්නා “අපරාධවල” හා “යුක්තියේ” ස්වභාවය ගැන මින් කියැවෙන්නේ කුමක් ද? එපමනක් නො වේ. චිත‍්‍රපටයට පසුබිම් වන කාල පරාසය ද අර්ථභාරී ය: 1970 ගනන් මැද සිට 1990 ගනන් මැද දක්වා දිවෙන මෙම කාල පරිච්ඡේදය වූ කලි රීගන්, බුෂ් හා ක්ලින්ටන්ගේ යුගය යි. එනම් “නිදහස් වෙලඳ පොල,” කෑදරකම හා පුද්ගලවාදය වන්දනාමාන කිරීමෙන් ද සෝවියට් සංගමය බිඳ වැටීමෙන් ද “ඉතිහාසයේ අවසානයෙන්” ද තවත් එවැනි දැයින් ද සමන්විත වූ යුගය යි. මේ කිසිවක් කෙරෙහි එතරම් අවධානයක් යොමු නො කෙරේ.

බ්ලැක් මාස් චිත‍්‍රපටයේ සමහර අංග බෙහෙවින් ප‍්‍රබල ය. විශේෂයෙන් ම පොලීසිය හා දේශපාලනඥයන් කරන දූෂනය සත්‍ය බව පෙනේ. වයිටි හා ඔහුගේ මිනිසුන් මත්පැන් බොන දුමින් ගැවසි මන්දාලෝකය සහිත බීම හල් ද මනනඳන අවන් හල් හා නිසරු පොලිස් කාර්යාල හා රාජ්‍ය නිලධාරීන් ද අතර පවත්නා සම්බන්ධතාවට කිසි ම සීමාවක් නැති තරම් ය. අන් අයුරකින් කියන්නේ නම් ශ‍්‍රම විභජනයක් පවතියි. එෆ්බීඅයි ආයතනය හා පොලීසිය දේශපාලනඥයන් සමග එක්ව ප‍්‍රසිද්ධියේ “නීතිය හා සාමය” දේශනා කරති. එහෙත් යථාර්ථයේ දී ඔවුහු වයිටි බල්ජර් වැනි බලගතු මැරයන් සමග සහයෝගී වී ඔවුන්ගෙන් ප‍්‍රයෝජන ලබති.

චිත‍්‍රපටයේ එක් අවස්ථාවක බල්ජර් කල්ලිය තුල සිටින ඒජන්තයන් හා ඔත්තුකරුවන් ගැන ඔහුට රහසිගත තොරතුරු සැපයීමට උදව් කරන එෆ්බීඅයි ඒජන්ත ජෝන් කොනොලි (එඩ්ගර්ටන්) සිහින් වයිරම් ඇඳුම් කට්ටලයක් හැඳ අව් කන්නාඩි හා අබරන පැලඳ ජේත්තුකාර මෝටෝ රියක් පදවනු පෙනේ. සත්තකින් ම ඔහු මේ සියල්ල ම මිලට ගන්නේ බල්ජර් දුන් අල්ලස්වලිනි. එහෙත් මැරයා අවසන් කරන්නේත් පොලිස් නිලධාරියා පටන් ගන්නේත් කොතැනින් දැයි පැවසීම දුෂ්කර ය. නිසැකව ම ගැටලුව මෙය යි.

කෙසේ වුව ද බොස්ටන් කම්කරු පන්තික ජීවිතයේ ස්වභාවය හා ප‍්‍රතිවිරෝධතා ගැඹුරින් විමසා නො බැලේ. “ඔත්තු කීම” පිලිබඳ ප‍්‍රශ්නය හා නගරයේ ඊනියා නිහඬතාව ගැන කිව හැක්කේ ද මෙය ම ය. බල්ජර් වැනි මැරයෝ, එකිනෙකාට තදින් බැඳුනු හා පොලීසියෙන් වට කෙරුනු බොස්ටන් කම්කරු පන්තිය තම වාසියට යොදා ගත්හ. දේශපාලන නිලධරය හා එහි ක‍්‍රියා කලාපය අපකීර්තියට හා ගර්හාවට පත් තත්ත්වය තුල අයිරිෂ් මැර කල්ලිය සමහර අවස්ථාවල දිලිඳු ප‍්‍රජාව හමුවේ විකල්ප සමාජ අධිකාරයක් ලෙස පෙනී සිටිමින් අයිරිෂ් රිපබ්ලිකානුවන් උදෙසා තුවක්කු මෑනීමට ඇවැසි විශ්වාසය ද දිනා ගත්තේ ය. බල්ජර්ගේ සමාජ විරෝධී ප‍්‍රචන්ඩත්වය සහ ඔහුට එෆ්බීඅයි ආයතනය හා පොලීසිය සමග පැවති සහයෝගිතාව යන දෙක ම නිසා සත්තකින් ම මෙය මුලුමනින් ම වංචාවක් වූ බව පෙනී යා යුතු ය. එහෙත් බ්ලැක් මාස් චිත‍්‍රපටය මෙම කාරනා පැහැදිලි නො කරයි.

සැබවින් ම චිත‍්‍රපටය බල්ජර් නමැති පුද්ගලයා සම්බන්ධයෙන් පවා තරමක් දෙගිඩියා සහගත ය. ඔහු බිඳුනු පෞරුෂයක් ඇත්තෙකු බව නිසැක නමුත් ආදරනීය පියෙකු හා තම රෝගී මවට ලෙන්ගතු පුතෙකු බව ද පෙනේ. පවුලේ රෑ කෑම වට්ටෝරුව “හෙලි කිරීම” නිසා බල්ජර් තම ඒජන්තයෙකුට බැන වදින අවස්ථාව වැනි දර්ශන ගනනාවක් ම මේ සම්බන්ධයෙන් අප වෙහෙස කරවයි. Goodfellas (ගුඩ්ෆෙලාස්) ඇතුලු ස්කොසීස්ගේ චිත‍්‍රපට ගනනාවක දී ම අප මෙවැනි රූපාවලි දැක ඇත.

මෙලෙස අන්තිමට බ්ලැක් මාස් තරමක් නීරස චිත‍්‍රපටයක් බවට පත් වෙයි. මෑත වසරවල දී අපරාධ චිත‍්‍රපට ගනයට ඇතුලත් වූ වඩාත් ම මතක හිටින චිත‍්‍රපටය එය නො වේ.

ඓතිහාසික කරුනක් සඳහන් කරන්නේ නම් කිව යුත්තේ 2015 වනාහි බොස්ටන් පාසල් තුල හට ගැනුනු වර්න භේදවාදී අර්බුදයේ 40 වන සංවත්සරය බව යි. 1974 දී එක්සත් ජනපද දිස්ත‍්‍රික්ක අධිකරන විනිසුරු කනිෂ්ඨ ඩබ්ලිව්. මැක්ආතර් බහුතරය සුදු පාසල්වල හා බහුතරය කලු පාසල්වල සිසුන් එක ම බස් රථයක ගමන් කිරීම අනිවාර්ය කරන සැලැස්මක් ක‍්‍රියාවට නැංවූ අතර මෙය අසල්වැසි සුදු ප‍්‍රදේශ තුල විරෝධතා ඇවිලීමට හේතු විය. සැලැස්මට එරෙහිව පැන නැගි විරුද්ධත්වය හමුවේ 1975 දී පොලීසිය සිය ආවේනික කාර්ය භාරය ඉටු කරමින් දකුනු බොස්ටන් ප‍්‍රදේශය වාඩි ලා ගත්තේ ය. විවිධ “වාම” කන්ඩායම් කලේ ගැටලුව වී තිබෙන්නේ සුදු කම්කරු පන්තිය සමස්තයක් ලෙස ම වර්ගවාදයට යට වීම යැයි ප‍්‍රකාශ කරමින් මධ්‍යම ආන්ඩුවේ සන්නද්ධ භට කන්ඩායම් එහි යවන ලෙස ඉල්ලා සිටීම යි.

බොස්ටන් කම්කරු පන්තිය බෙදීමට හා පසුගාමිත්වය ඇවිස්සීමට සෑම ප‍්‍රයත්නයක් ම දරන ලදී. අදාල සමාජ පසුබිම ගෙන හැර පෑම සඳහා මෙහි ලා යමක් කිව යුතු ය. වර්න භේදවාදී ප‍්‍රතිපත්තිය පිලිබඳ අර්බුදය පැවති සමයේ දී නගරය පුරා සිටි සුදු සිසුහු කලු සිසුන්ට වැඩි ඒකපුද්ගල ශිෂ්‍යාධාර මුදලක් ලදහ. එනමුත් බහුතරය සුදු (හා දුප්පත්) දකුනු බොස්ටන් උසස් පාසලේ සිසුන්ට ලැබුනේ රොක්ස්බරි ප‍්‍රදේශයෙහි වූ බහුතරය කලු පාසල්වල සිසුන්ට වඩා අඩු ඒකපුද්ගල ශිෂ්‍යාධාර මුදලකි.

සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ වර්කර්ස් ලීගය වර්ගවාදී කන්ඩායම් හා මධ්‍යම පන්තික “වම” යන දෙපාර්ශ්වයට ම විරුද්ධව සටන් වැදින. මොවුන් වඩාත් තදින් ගැට ගැසී සිටියේ ඩිමොක‍්‍රැටික් පක්ෂයේ කොටස්වලට හා එන්ඒඒසීපීය වැනි එහි මිත‍්‍ර පාක්ෂික කන්ඩායම්වලට ය. වර්කර්ස් ලීගය දරිද්‍රතාවට හා වර්ගවාදයට එරෙහි සටන තුල කම්කරු පන්තිය එකමුතු කිරීම සඳහා උද්ඝෝෂනය කලේ ය.

පුදුම නොවන පරිදි වර්න භේදවාදී ප‍්‍රතිපත්තිය අවසන් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රචන්ඩ ලෙස විරෝධය පෑ වයිටි බල්ජර් ඒ අවුරුදුවල දී ප‍්‍රසිද්ධියට ද පත් විය. එක ම බස් රථයක ගමන් කරවීමේ සැලැස්මට විරෝධය පෑ ප‍්‍රමුඛතම කන්ඩායම වන දකුනු බොස්ටන් තොරතුරු මධ්‍යස්ථානයේ නායකත්වය දැරුවේ බල්ජර්ගේ සගයෙකු වූ ජේම්ස් කෙලී ය.

සංවත්සරය සැමරීම සඳහා “එක ම බස් රථයක ගමන් කරවීමේ සැලැස්ම හා වයිටි බල්ජර්” නමින් ඩබ්ලිව්ජීබීඑච් නිව්ස් වෙනුවෙන් ලියූ තියුනු අන්තර්ඥානයක් පල වන ලිපියේ දී ලේඛක මයිකල් පැටි‍්‍රක් මැක්ඩොනල්ඩ් ඒ අවධිය මෙසේ යලි සිහිපත් කලේ ය:

“මගේ අසල්වැසියන් අතර දකුනුදිගයන් [දකුනු බොස්ටනය සඳහා යෙදෙන අන්වර්ථ නාමයකි] දෙදෙනෙකු සිටි බව අප හැම විට ම දැන සිටියා. ඒ අතරේ තමයි දකුනුදිග හිටි සමහර අය අප බොහෝ දෙනෙකුට නම් කිසි ම සම්බන්ධකමක් නොතිබූ බලයේ සිටි ‘සමහර පුද්ගලයන් දැන හඳුනා ගෙන හිටියේ’. ... ‘අපි නම් ඔය අපායට යන්නේ නැහැ’ යි [එක ම බස් රථයක ගමන් කරවීමේ සැලැස්මට විරුද්ධව] අප ගැයූ ගීවල හඬ එකට එක්ව බටහිර පැත්තේ පිහිටි ප්ලාස්ටික් බිත්ති ඇති දැලි කුනු වැකි පේලි ගෙවල් ව්‍යාපෘතිවලින් පටන් ගෙන නගර තුඩේ පිහිටි කුඩා කඳු හෙල් දක්වා පැතිර ගියා. එකමුතු වූ අප හරි වේවා වැරදි වේවා වටලෑමකට ලක්ව ඇතැයි හැඟුනු ප‍්‍රජාවක් තුල ජනප‍්‍රියත්වයේ හිනි පෙත්තට නගිමින් සිටි වෘත්තීය දේශපාලනඥයන්ගේ දෑත්වලට පැන ගත්තා. අපේ එක්සත්, ප‍්‍රබල, සමහර විට ප‍්‍රචන්ඩ ප‍්‍රතිරෝධය විනිසුරු ගැරිටිට වාසි ගෙන දෙමින් අවසන් වුනා: ප‍්‍රභූ වෙලස්ලි ප‍්‍රදේශයේ පිහිටි සියල්ල ම සුදු, මැනවින් අරමුදල් සම්පාදිත පාසල් ‘වාර්ගිකව අසමතුලිත’ යැයි කිසි දා නොසැලකෙන බව කියැවුනා. ‘වාර්ගිකව අසමතුලිත’ යන මේ යෙදුම ‘සුලුතරය’ සියයට 50ට වඩා සිටින පාසල් උදෙසා නීතියෙන් වෙන් කර තබන ලද යෙදුමක්.”

මැක්ඩොනල්ඩ් මේ බව ද ලීවේ ය: “බල්ජර්ට සාර්ථකත්වය කරා ලඟා වීම සඳහා දසතින් වැසුනු, පීඩනෝන්මාදයෙන් පෙලෙන, කුමන්ත‍්‍රනකාරී නිහඬ සංස්කෘතියක් තුල දකුනුදිග එකමුතු වීම අවශ්‍ය වුනා. ඒත් අපේ දුප්පත් ම පවුල්වලින් වැඩි හරියකට නම් ඒකෙන් අන්තිමට සිද්ධ උනේ තමන්ගේ ම විනාශය ලඟා කර ගත්තු එක.”

බ්ලැක් මාස් චිත‍්‍රපටයෙන් නිශ්චිත වශයෙන් ම මග හැරී ඇත්තේ මෙම සංකීර්න සමාජ පසුබිම යි. එය මීට වඩා බෙහෙවින් යහපත් හා පොහොසත් කතාවක් සඳහා පදනම් කර ගත හැකිව තිබින.

Share this article: