එච්එන්ඩීඒ සිසුන්ට එරෙහි ප‍්‍රහාරයෙන් දේශපාලන පාඩම්

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2015 නොවැම්බර් 23

ඔක්තෝබර් 29 දා එච්එන්ඩීඒ සිසුන්ට එරෙහිව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන-අගමැති රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව උසි ගැන්වූ ලේවැකි ප‍්‍රහාරය සිසුන්ට, තරුනයන්ට හා කම්කරුවන්ට බරපතල අනතුරු ඇඟවීමකි. එය නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් මත නව ලිබරල්-වෙලඳපොල ආර්ථික ප‍්‍රතිපත්ති අලූත් තලයකට නැංවීමට සූදානම් වන ආන්ඩුව ඊට එරෙහිව එන ඕනෑම ප‍්‍රතිරෝධයක් රුදුරු ලෙස මඩිනු ඇත, යන්නයි.

සිසුන්ට පහර දුන්නේ ආන්ඩුවේ මැදිහත් වීමක් නිසා නොවන බව මෙහෙයුම භාරව සිටි නියෝජ්‍ය පොලිස් පති සුදු හුනු ගෑවේ ය. සිද්ධිය ගැන කනස්සල්ල පල කල අගමැති පොලිස්පති ගෙන් වහාම වාර්තාවක් කැඳවා, කරුනු සොයා බැලීමට කමිටුවක් ද පත් කලේ ය. තවත් එවැනි කනගාටු වීම් හා කම්පාවට පත්වීම් ජන මාධ්‍ය හරහා එමට පල විය. මේ සියල්ල ඇත්ත වසන් කිරීමේ බේගල් හා ඉච්ඡා දෙසා බෑම් ය.

සිසු උද්ඝෝෂනය කැඳවීමට මූලිකත්වය ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) නායකයෝ පොලීසියේ ප‍්‍රහාර හෙලා දැක, ඒවාට එරෙහිව විරෝධතා ද සංවිධානය කල අතර ම “සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට වඩා වෙනස් නැති” බව ඔප්පු වී ඇතැයි පෙනෙන්ට ඇති සත්‍යය පුන පුනා කියති. එච්එන්ඩීඒ සිසුන්ගේ ඩිප්ලෝමාවට උපාධි තත්වය පිරිනැමීමේ තීරනයක් කැබිනට් මන්ඩලය ගෙන ඇතැයි ප‍්‍රකාශ වූ වහාම තම සටන ජයග‍්‍රහනය කර ඇතැයි නිවේදනය කල අවිශිබම නායකයන් අයිතීන් දිනා ගත හැක්කේ “සටනින් ම” බව ප‍්‍රකාශ කරමින් සිසු ඉල්ලීම් මත තව තවත් උද්ඝෝෂන කැඳවා ඇත.

ඉල්ලීම් දිනා ගැනීමට තමන්ගේ සටන්කාමී ඉදිරිපත් වීම සිසුන් එක විරෝධතාවක් පසුපස තව එකකට සම්බන්ධ වෙමින් පෙන්නුම් කර තිබේ. එසේ වුව ද සටන්කාමිත්වය පමනක් ප‍්‍රමානවත් නො වේ. අවිශිබම නායකයන් සිසුන් ඉදිරියේ ඇති අන්තරායන් ආවරනය කරමින්, තම අයිතීන් දිනා ගැනීමට ඔවුන්ට අවශ්‍ය සමාජවාදී දේශපාලන වැඩපිලිවෙල සම්පාදනය කිරීම වැලැක්වීමට කි‍්‍රයා කරන බව සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය කියා සිටී.

එච්එන්ඩීඒ සිසුන්ගේ ඩිප්ලෝමාවට උපාධි තත්වය ලබා දීම හෝ වෙනත් සහනයක් දීම වැනි තාවකාලික උපාමාරු දැමීම් ආන්ඩුව විසින් සිදු කරනු ලබන්නේ සූදානම් කෙරෙන ප‍්‍රහාරයේ මොනම වෙනසක් වත් සිදු නො කරමිනි. රාජ්‍ය අධ්‍යාපනය කප්පාදු කිරීමේ පිලිවෙත් ඇරඹූ 1980 ගනන්වල මුල පටන් සෑම ආන්ඩුවක් යටතේ ම අත්දැකීම එයයි. රෝහල් වැනි සේවා කප්පාදුව, සුබසාධන කි‍්‍රයා මාර්ග අතු ගා දැමීම, ලාභ ශ‍්‍රම කොල්ලයේ කොන්දේසි හා පුද්ගලීකරනය කි‍්‍රයාවට දැමීම වෙලඳ පොල අර්ථික ප‍්‍රතිපත්ති පලල් කිරීම එලෙස ම සිදු විය.

1977 දී ඇරඹූ ධනපති විවෘත වෙලඳපොල ප‍්‍රතිපත්තිවල “තුන්වන පරම්පරාවේ ප‍්‍රතිසංස්කරන” තම ආන්ඩුව කි‍්‍රයාවට දමන්නට යන බව නොවැම්බර් 4 දා ඉදිරිපත් කල ආන්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කර සිටියේ ය. එය මුලු ආර්ථිකයම ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය සඳහා විවෘත කිරීමක් හා ශ‍්‍රම සූරාකෑම උග‍්‍ර කිරීමක් සමග බැඳී ඇත.

රාජ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙම ප‍්‍රතිපත්ති විසකුරු ලෙස කි‍්‍රයාත්මක වීමට නියමිත ය. සරසවිවලට තෝරන සිසුන් සඳහා පාඨමාලා මිල දී ගැනීමට හැකිවන පරිදි වවුචර් ක‍්‍රමයක් හඳුන්වා දීම හා සංගත හා සුලු හා මධ්‍යමපරිමාන කර්මාන්තවලට සේවකයන් සම්පාදනයට කෙරෙන ආයතන බවට සරසවි පත් කිරීම ඉන් පියවරයන් දෙකක් පමනි.

ඇමරිකාවෙන් ඇරඹී අන් අධිරාජ්‍යවාදී රටවල් හරහා ලොක් ධනපති පද්ධතිය අලලා ගත් මූල්‍ය බිඳ වැටීමෙන් ද අවපාතයක් දිසාවට වැඩෙන කොන්දේසිවලින් ද ගැඹුරු වන ගෝලීය අර්බුදයක් මැද මොන ම ධනපති පන්තියකට වත් ආන්ඩුවකට වත් එම අර්බුදය කම්කරුවන් හා දුගීන් මත පැටවීම හැර වෙනත් විකල්ප මාවතක් නැත.

මූල්‍ය ප‍්‍රාග්ධනය ඉල්ලා සිටින්නේ සමාජ ප‍්‍රතිවිප්ලවයේ වැඩපිලිවෙල - එනම් සමාජ අයිතීන් සමූලෝත්පාඨනයේ වැඩපිලිවෙලයි. පොලිස් රාජ්‍ය විධික‍්‍රම මුවහත් කෙරෙන්නේ ඒ වැඩපිලිවෙල කි‍්‍රයාවට දැමීමට යි.

අවිශිබම ද එය පාලනය කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද පසු ගිය ආන්ඩුවලට පසුව දැන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් දමා මූල්‍ය ප‍්‍රාග්ධනයේ වැඩපිලිවෙල නතර කිරීමට හැකියයි සිසුන් හුදු විරෝධතාවල ගිල්වීම දේශපාලන මුලා කිරීමක් වන්නේ ඒ නිසා ය. සිසුන් සටන්කාමීව අරගලවලට ඒම ද ඔවුන් රුදුරු ලෙස පොලිස් මර්දනයට ලක් වීම ද අවිශිබම හා පෙසප යොදා ගන්නේ මෙම දේශපාලන මුලා කිරීම තවතවත් තහවුරු කිරීමට ය.

අවිශිබම හා පෙසප දේශපාලනයේ අතිමූලික ලක්ෂනය නම් සමාජවාදී වැඩපිලිවෙලක් මත අධ්‍යාපන අයිතිය රැක ගැනීමේ අරගලයක් සූදානම් කිරීමට පවතින මාරක විරුද්ධත්වය යි. මහ ව්‍යාපාර, බැංකු ඇතුලු ප‍්‍රධාන ධනපති දේපොල කම්කරු පාලනය යටතේ ජනසතු කිරීමේ ද විදේශ නය අහෝසි කිරීමේ ද සමාජවාදී ප‍්‍රතිපත්ති මත ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කිරීමෙන් පමනක්ම ය අධ්‍යාපන අයිතිය රැක ගැනීම හා වර්ධනය කිරීම කල හැකි වන්නේ. මෙම වැඩපිලිවෙල ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසකි.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් දැමීම්වල තමන් කොටු කිරීමේ අවිශිබම හා පෙසප වැඩ පිලිවෙල ප‍්‍රතික්ෂේප කර සිසුන් සටන් කල යුත්තේ කම්කරු පන්තිය වෙතට හැරී, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම මගින් සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දැමීමට දොර විවෘත කර ගැනීම ය.

පසුගිය විරෝධතා කි‍්‍රයාවලින් ද ආන්ඩුවේ හා පොලීසියේ මුර්ග ප‍්‍රහාරයන්ගෙන් ද සිසුන් පාඩම් උකහා ගත යුතු බව සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ඉල්ලා සිටී. සසජාතශි ශාඛා සරසවි හා අනෙකුත් අධ්‍යාපන ආයතන තුල ගොඩ නගමින් මෙම අරගලය වර්ධනය කිරීම අද සිසුන් ඉදිරියේ ඇති තීරනාත්මක කර්තව්‍යයයි.

Share this article: