නාය යාමෙන් විපතට පත් මීරියබැද්ද වැසියෝ නිවාස ඉල්ලා උද්ඝෝෂනයේ යෙදෙති

අපේ වාර්තාකරුවන් විසිනි, 2015 නොවැම්බර් 12

2014 ඔක්තෝබර් 29 වන දින සිදුවූ නාය යාම හේතුවෙන් නිවාස අහිමිව තාවකාලික කඳවුරු වල ලැගුම් ගෙන සිටින කොස්ලන්ද මීරියබැද්ද පවුල් 75ක ට පමන අයත් වතු කම්කරුවන් 400 කට අධික පිරිසක් තමන්ට ස්ථිර නිවෙස් ලබා දෙන ලෙස ඉල්ලා පසුගිය 1 දා බන්ඩාරවෙල නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූහ.

2004 සුනාමි ව්‍යසනයෙන් පසු සිදුවූ දැවැන්තම ස්වභාවික විපත වන කොස්ලන්ද, මීරියබැද්ද වතු යායේ සිදුවූ මහා නාය යෑමෙන් පවුල් 150ක් පමන වෙසෙන කිලෝමීටරයක් පමන පුලුල් බිම් තීරයක් විනාශයට පත්විය. 200කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බැව් මුලදී වාර්තා වුව ද පසුව රජය විසින් එම සංඛ්‍යාව 34ට පහත හෙලීය. මලසිරුරු බොහොමයක් මඩ සහ පස්වලට යටව අතුරුදහන් වූ අතර කාමර 20ක් බැගින් බෙදා තිබූ දිගු “ලැයිම්” 7 ක් එක් හින්දු කෝවිලක් සහ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන 2 ක් පොලවට සමතලා විය.

නායයෑම් අවදානම නිසා ප‍්‍රදේශවාසීන්ට ඉවත්වීම සඳහා කල් තියා අනතුරු අඟවා තිබූ බව පවසමින් එවක පැවති රාජපක්ෂ ආන්ඩුව ඇඟ බේරා ගැනීමට උත්සාහ කල අතර වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහ එම අනතුරු ඇඟවීම් නොසලකා හැරීම සම්බන්ධයෙන් වතු කලමනාකාරිත්වයට චෝදනා කලේය.

2015 ජනවාරියේ මැතිවරනයක් ප‍්‍රකාශයට පත්කිරීමේ සුදානම තුල එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ තම සංවේගය ප‍්‍රදර්ශනය කිරීමේ උත්සාහයක යෙදෙමින් ප‍්‍රදේශයේ සංචාරය කරමින් අනතුරින් දිවි ගලවාගත්තවුන් නව නිවාස ක‍්‍රමයක නැවත පදිංචි කරවන බවට බේගල් ඇද ඔවුන් තාවකාලික කඳවුරු තුලට ගාල් කලේය. එලෙසම එවක විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, “පක්ෂ හා අනෙකුත් බැඳීම් පසෙක ලමින් ” විපතට පත් වූවන්ට සෑම අයෙක්ම උදවු උපකාර කල යුතු බව කියමින් ව්‍යාජ ප‍්‍රකාශයක් නිකුත් කලේය.

පාලක පන්තියේ කොටස් වල උත්සුකයන් ගැඹුරින් හෙලිදරව් කරමින් 2014 ඔක්තෝබර් 31 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසීය. “කෙසේ වෙතත් විපතට පත් ජනතාව ඔවුන්ගේ ඉරනමට අතහරිමින් පාලක හා විපක්ෂ පාර්ශවයන් පල කරන මෙවන් උත්සුකයන් ඉක්මනින්ම අමතක කර දමනු ඇත.” එය එලෙසින්ම සිදුවී ඇත.

සියලු හිමිකම් ඇඳිවතට පමනක් සීමාවූ 400 ක පමන දෙනා පලමුව පූනාගල මහා විද්‍යාලයේ රැඳවූ අතර පසුව අවුරුදු 30 කටත් අධික කාලයක් වසා තිබු තෙමහල් ජරාජීර්න අබලන් තේ කර්මාන්ත ශාලාවකට ගෙන ගියේය. මිනිස් වාසයට නුසුදුසු සනීපාරක්ෂක කොන්දේසි යටතේ හාඩ්බෝඩ් වැනි දෑවලින් වටකල දිග අඩි 11 සහ පලල අඩි 08 වශයෙන් වන කාමර 55 ක එදින සිට මේ දක්වා මෙම අවතැන්වූවන් රඳවා ඇත. මෙම කුඩා ලෑලි කාමරයක් දල වශයෙන් පුද්ගලයන් නව දෙනෙකුට පමන බෙදා ගැනීමට සිදුව ඇති අතර එක් කාමරයක පවුල් දෙකක් වශයෙන් පදිංචිව සිටිති.

කාමර වල පදිංචි අයගේ ඇඳුම් සහ පාසල් යන ලමයින්ගේ පොත්පත් තබා ගැනීමට නිසි ස්ථානයන් නොමැති අතර, ඒවා කැඩුනු කාඩ්බෝඩ් පෙට්ටි වල අසුරා ඇත. බිම එලාගත් පරන පැදුරු සහ ඉරී ගිය මෙට්ටවල නිදාගන්නා ඔවූහු කෑම කාමරයෙන් පිට අහුමුලුවල කෑම පිස ගනිති. 400ක් පමන වූ අවතැන් වූවන් සියල්ලන්ටම ඇත්තේ ටකරන් වලින් සෑදූ වැසිකිලි 30ක් පමනක් වන අතර එය ඔවුන්ගේ සනීපාරක්ෂාවට ද දැඩි තර්ජනයක් එල්ල කරයි.

තත්ත්වය මෙලෙස පැවතියදීම ඔවුන් අන්ත අසරන ආර්ථික අගාධයකටද ඇද වැටී ඇත. අවතැන් කඳවුරේ සිටින ගැහැනු සහ පිරිමි කම්කරුවන් 25 ක් පමන මීරියබැද්ද වත්තේ වැඩ කල ද මොවුන්ගෙන් බහුතරයකගේ රැකියා ස්ථීර කර නැත. බොහොමයක් පිරිමි කම්කරුවන්ට ඉඳහිට ලැබෙන කුලී වැඩකින් පමනක් ජීවිකාව ගෙන යාමට සිදුව ඇත. මීට අමතරව ඔවුන් මත යැපෙන වයස අවුරුදු 60 ඉක්මවූ ගැහැනු සහ පිරිමි කම්කරුවන් 60 පමන ද පාසල් ලමුන් 97 දෙනෙකු ද සිටී. සමුපකාරයෙන් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම පිනිස හය දෙනෙකු සිටින පවුලකට සතියකට රුපියල් 1,500 වශයෙන් ආපදා කලමනාකරන කූපන්පත් නිකුත් කරයි. එනම් රජය ගනන් බලා ඇති පරිදි එක් අයෙකුගේ දෛනික වියදම රුපියල් 35 ක් පමනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දක්වමින් අවතැන් වූ කාන්තාවක් “හය දෙනෙක් සිටින පවුලකට රුපියල් 1,500 ක, හතර දෙනෙක් සිටින පවුලකට රුපියල් 1,300 ක හා තුන්දෙනෙක් සිටින පවුලකට රුපියල් 1,100 ක කූපන් ලබා දෙනවා. ඒත් හාල් කිලෝ 01ක් රුපියල් අසූවයි. සීනි කිලෝ එකක් රුපියල් සීයයි. කිරිපිටි පැකට් එකක් රුපියල් තුන්සිය විසි පහයි. ඒ නිසා මේ හම්බවෙන ගාන කොහොමවත් ප‍්‍රමානවත් නෑ” යනුවෙන් පැවසීය.

මේ තත්ත්වය මත පසුගිය පලමු වනදා මොවුන් විරෝධතාවයක නියැලුනු අතර එම ස්ථානයට පැමිනි ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ (සීඩබ්ලිව්සී) වෘත්තීය සමිති නායකයෙකු වන සෙන්දිල් ආරුමුගම් 2016 ජනවාරි අවසන් වන විට නිවාස 75 ක් සාදා දෙන බව ප‍්‍රකාශ කලේය. සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් විපත සිදුවූ දිනට පසුදින මීරියබැද්දට පැමින තෙමසක් තුල නිවාස සාදා දෙන බවට දුන් පොරොන්දු වසරක් ගත වන තුරුත් ඉටු නොකිරීම පිලිබඳව කම්කරුවන් ප‍්‍රශ්න කල විට සෙන්දිල් ආරුමුගම් ප‍්‍රකාශ කලේ බඩු සොයා ගැනීමට නොහැකිවීම සහ දැනට පවතින වර්ෂාව එයට බාධාවක් වූ බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අවතැන් වූවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ මෙය බොරුවක් බවත් අවතැන් වූවන්ට අවශ්‍ය නිවාස ප‍්‍රමානය 125 ක් පමන වන බවත් සිරිසේන රනිල් හවුල් ආන්ඩුවෙන් තමන්ට අවශ්‍ය නිවාස තැනීම සිදුවනු ඇති බවට කිසිදු විශ්වාසයක් තමන්ට නොමැති බවත්ය.

උද්ඝෝෂනයට ක‍්‍රියාකාරීව සහභාගි වී සිටි අවුරුදු 35 ක් වයසැති එස්. කෙලෙයිමගල් නැමති කාන්තාව: “අපිත් මීරියබැද්ද නායත් සමග මිය ගියා නම් කාටවත් කරදරයක් නැහැ.” යනුවෙන් පවසමින් සිය ආවේගය මුදා හලේය. එයට හේතුව ලෙස ඇය වැඩිදුරටත් දැක්වූයේ තමන් මුහුන දී සිටින ඛේදජනක ඉරනමෙන් ගොඩ ඒම සම්බන්දයෙන් කිසිදු විශ්වාසයක් කිසිදු ආන්ඩුවක් සම්බන්ධයෙන් තැබිය නොහැකි බවයි.

සමස්තයක් ලෙස ගතහොත් ලංකාවේ වතු කම්කරුවන්ගේ මූලික නිවාස අවශ්‍යතාවය සපුරා ගැනීමට අඩුම තරමින් නිවාස 200,000ක් වත් අවශ්‍යය. බෙහෝ කම්කරුවන් ජීවත් වන්නේ වසර 100කටත් පෙර ඉදිකරන ලද මූලික පහසුකම් කිසිවක් නැති කුඩා ලයින් කාමර වලය. ඒවා කෙතරම් අබලන් තත්වයේ තිබේ ද යත් නිරන්තරයෙන් විදුලි කාන්දුවීම් සිදුවේ. කොස්ලන්ද මීරියබැද්ද වතු කම්කරුවන් මීට වසරකට පෙර මුහුන පෑ ව්‍යසනයමත් හඟවනුයේ වතුකරයේ පවතින අනතුරුදායක තත්වයයි.

කම්කරු පීඩිත මහජනතාවට බොරු පොරොන්දු මාලාවක් ලබා දෙමින් අටවා ගත් සිරිසේන-වික‍්‍රමසිංහ හවුල් ආන්ඩුව මේ වන විට මාස 11 කටත් අධික කාලයක් ගතකොට ඇති නමුත් මේ ප‍්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් අල්ප මාත‍්‍රයක හෝ පියවරක් ගෙන නැත. තමන් මුහුන දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය මධ්‍යයේ වඩ වඩාත් සමාජ සුභසාධන සේවාවන් සඳහා යොදවන වියදම් කපා හෙලීමට රාජපක්ෂ ආන්ඩුවට මෙන්ම වත්මන් ආන්ඩුවටද බලකෙරී ඇත. පසුගිය සැප්තැම්බරයේ ලංකාවට පැමිනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ “2016 මූල්‍ය පරතරය දදේනි යෙන් සියයට 5.5 පවත්වා ගත යුතු බවට දැඩිව රෙකමදාරු කරන” බව පැවසූහ. එහි අර්ථය, ආන්ඩුවේ වියදම් තව දුරටත් කපා හැරිය යුතු බවයි.

මීරියබැද්දේ අවතැන්ව සිටින කම්කරුවන්ද ඇතුලු සමස්ත වතු කම්කරුවන්ගේ නිවාස ප‍්‍රශ්නයට හෝ වෙනත් අති මූලික ප‍්‍රශ්නයකට හෝ ආමන්ත‍්‍රනය කිරීමට කිසිදු ධනපති ආන්ඩුවකට නොහැක. වතු කම්කරුවන්ට තම නිවාස අයිතිය ඇතුලු අනෙකුත් අයිතීන් තහවුරු කර ගත හැක්කේ අනෙකුත් කම්කරු පීඩිතයන් සමග එක්ව ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වැදීමෙන් පමනකි.

Share this article: