ඒකාබද්ධයන්ගේ උත්පාතය, මූල්‍ය කතිපයාධිකාරය හා අධිරාජ්‍යවාදය

The mergers boom, the financial oligarchy and imperialism

2015 ඔක්තෝබර් 30

30දා පලවූ මාධ්‍ය වාර්තාවලට අනුව ඇලර්ගන් හා ෆයිසර් යන ඖෂධ නිෂ්පාදකයෝ, ඒකාබද්ධ වීමේ ලඟටම පැමින සිටිති. අයර්ලන්තය මුල්කරගෙන, ඩොලර් බිලියන330 අගයක් සහිත ලෝකයේ විශාලතම ඖෂධ සමාගම එමඟින් නිර්මානය වන අතර එය කිසිදු බද්දක් ගෙවීමට යටත් ද නැත.

මේ වසර තුල සිදුවන ලොකුම හා නවතම ඒකාබද්ධය ද එය වන අතර 2007වෝල් වීදිය කඩා වැටෙන විට සිදුවූ ඩොලර් ට්‍රිලියන 3.4ක ගනුදෙනු අගය ඉක්මවා යමින්, 2015 අත්පත්කර ගැනීම්වල වාර්තාගත වසර බවට පත්වීමේ රැල්ලට එය එක්ව සිටියි.

ඇලර්ගන්-ෆයිසර් නිවේදනය නිකුත් වුනේ, ඩොලර් බිලියන 17.2ක් වටිනා ගිවිසුමකට පැමිනෙමින් වැල්ග්‍රීන් ෆාමසි සමූහය, සිය තරඟකාර රයිට් ඒඩ් මිලට ගැනීමේ සැලසුම් නිවේදනය කිරීමෙන් දිනකට පසුවය. එසේ බිහිවන සමාගම ඇමරිකාවේ ඖෂධ වෙලඳසැල් වලින් සියයට 41ක් හිමිකරගන්නා අතර තරඟකාර සීවීඑස් තවත් සියයට 58ක් පාලනය කරනු ඇත. අනෙක් සියලු සමාගම් එකට ගත් කල වගකියන්නේ හුදෙක් සියයට 0.6කට පමනි. සෞඛ්‍ය අංශයේ ඒකාබද්ධවීම් වල වාර්තාගත වසර තුල මේ දක්වා, බිලියන 54.2ක අගයක් සහිතව සිග්නා සෞඛ්‍ය රක්ෂන සමාගම තරඟකාරී ඇන්තෙම් මිලට ගැනීම ද බිලියන 37 ක අගයක් සහිතව ඒට්නා විසින් හියුමනා අත්පත්කර ගැනීම ද ඇතුලත්ය. මේ සිදුවීම් දෙකත් සමග සති කිහිපයක් තුල ඇමරිකාවේ විශාලම සෞඛ්‍ය රක්ෂනකරුවන් පස්දෙනා තිදෙනෙක් බවට පත් විය.

සමාගම් දෙකක් ලෙස ඉහතින් සඳහන් කල ඒකාබද්ධයේ මූලික අරමුන, මිල නියම කිරීමේ බලය වැඩිකර ගනිමින් වෙලඳපොල තවදුරටත් ඒකාධිකාරී කිරීමයි. ඇමරිකාවේ ඔෂධ වෙලඳපොල ද්විත්ව ඒකාධිකාරයක් බවට පත්වීම මඟින් ඖෂධ සඳහා පාරිභෝගිකයා ගෙවිය යුතු මිල වේගයෙන් ඉහල යනු ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒකාධිකාරී තත්වය වර්ධනය වීම තුලින් ඇමරිකාවේ පිරිවැය වේගයෙන් ඉහල නංවනු ඇත. දත්ත ලබාගත හැකි මෑතම වසර වන 2013දී, උද්ධමනය ඉහල යාමේ වේගය මෙන් අට ගුනයකින් එනම් සියයට 12.9න් ජනප්‍රිය ඖෂධ වට්ටෝරු මිල වැඩිවී ඇත.

ඒකාබද්ධයන්ගේ හා අත්පත්කර ගැනීම්වල වේගවත් වර්ධනය, පෙන්නුම් කරන්නේ ආර්ථිකයේ සෞඛ්‍යසම්පන්න කම හා ගතිකය නොව, ගෝලීය ධනවාදයේ හදවතෙහිම අතිව තිබෙන කුනුවීමයි. වාර්තාගත ඒකාබද්ධයන් සමඟ අතිනත ගෙන ගමන් කරන්නේ, 2008-09 පටන් ගෝලීය ආර්ථිකයේ වර්ධනයෙහි පහතම මට්ටම යි.

ආසන්නම අර්ථයෙන් ගත් කල මෙම ඒකාබද්ධයන්, ගෝලීය පසුබෑම තුල පහත් ඉල්ලුම හා කම්කරුවන්ගේ ආදායම පහත බැසීම ද තව තවත් ඉහල ප්‍රතිලාභ වෙනුවෙන් වෝල් වීදියෙන් යෙදෙන පීඩනය ද කෙරෙහි දැක්වෙන ප්‍රතිචාරයයි.

වාර්තාගත කොටස් යලි මිලට ගැනීම් හා මුලුමනින්ම පරපුටු අනෙකුත් කටයුතු ද ඇතුලු ඒකාබද්ධයන්ගේ රැල්ලට, ඇමරිකාවේ ෆෙඩරල් මහ බැංකුවේ මූලිකත්වය යටතේ, ලෝකයේ මහ බැංකුවල පිලිවෙත් මඟින් පාවඩ එලනු ලබයි. ඒවා ශුන්‍යයට ආසන්න පොලී අනුපාත හා “ප්‍රමානාත්මක ලිහිල්කිරීම්” ලෙස නම්කර ඇති බැඳුම්කර මිලට ගැනීම් හරහා සිදුවන ඩොලර් ට්‍රිලියන ගනන් මූල්‍ය වෙලඳපොල වලට පොම්ප කරනු ලබයි.

මූල්‍ය ක්ෂේත්‍රයට ගලා එන අරමුදල් නිෂ්පාදනයේ ආයෝජනය කරනවා වෙනුවට ප්‍රධාන සංගත, ඔවුන් ගොඩගසාගෙන සිටින ට්‍රිලියන 1.4ක් තරම් විශාල ධනස්කන්ධය යොදවනු ලබන්නේ, පොහොසතුන්ගේ හා සුපිරි ධනවතුන්ගේ කොටස් අගය හා ප්‍රතිලාභ තවදුරටත් පුම්බනු ලබන, කොටස් යලි මිලට ගැනීම්, විධායකයින්ගේ දීමනා ඉහල නැංවීම හා ඒකාබද්ධයන් ද අත්පත්කර ගැනීම් ද සඳහාය.

ආයෝජකයින් සඳහා දැවැන්ත ලාභ හා සංගත විධායකයින්ට විශාල ප්‍රතිලාභ අත්කරදෙන එකාබද්ධයන්, පොදුවේ රැකියා වලින් දොට්ට දැමීම්, වැටුප් කප්පාදු, වැඩ වේගවත් කිරීම් හා කම්හල් ද සිල්ලර වෙලඳසැල් ද වසා දැමීමට ද තුඩුදී ඇත. සමාජයේ නිෂ්පාදන බලවේග කොල්ලකෑම මඟින් මූල්‍ය ප්‍රාග්ධනයේ ලාභ තර කරන ක්‍රියාවලිය වන්නේ එවන් මූල්‍ය පරපුටු කමයි.

වසර බොහෝ ගනනක් තිස්සේ සිදුවෙමින් පැවති මෙම ක්‍රියාවලීන් 2008 අර්බුදයෙන් පසුව වේගවත්වී ඇති අතර වැඩකරන ජනතාවගේ පුලුල් බහුතරයක් සමාජ ව්‍යසනයකට ඇද දමා තිබේ. ඇමරිකානුවන් මිලියන ගනනක් එනම් ජනගහනයෙන් සියයට 40ක්, වසරකට ලබන්නේ, ඩොලර් 20,000ට අඩු ආදායමකි.

එක් පසෙක පවතින සමාජ කාලකන්නිකම සමග ඇදහිය නොහැකි ධන සම්පත් හිමියන් ද වේ. පසුගිය වසරේ ඩොලර් බිලියන 1.3ක් ආදායම් ඉපැයූ චිකාගෝ සිටාඩෙල්හි කෙනත් ග්‍රිෆින්, නගර තුනක මිලියන 300ක දේපොල මිලට ගෙන ඇත. නිව්යෝර්ක් නගරයේ සෙන්ට්‍රල් පාක්හි ගොඩනැඟෙමින් ඇති කොන්ඩෝ තට්ටු සංකීර්නයේ මහල් තුනක් සඳහා වාර්තාගත මිලියන 200ක් ඔහු ගෙවා ඇත.

ඇමරිකාවේ පමනක් නොව ලෝකයේම ආර්ථික හා දේශපාලන ජීවිතය තුල අධිකාරය දරන්නේ, ග්‍රිෆින් වැනි මුදල් පිස්සුවෙන් වහවැටී සිටින පරපුටු මුල්‍ය කතිපයාධිකාරීන්ය. ලෝකය පුරා මහ බැංකු හා ධනපති ආන්ඩු මිනිසාගේ සම්පත් සිය පෞද්ගලික සුඛ විහරනය සඳහා කොල්ලකන මෙම පරපුට්ටන්ගේ ධනය වැඩිකර දීම හා ආරක්ෂාකර දීම සිය පරම වගකීම ලෙස සලකති.

ඉතා ආරම්භක අවධියේම මෙම ක්‍රියාවලිය වටහාගත් රුසියානු විප්ලවයේ නායක හා න්‍යායාචාර්ය ව්ලැඩිමීර් ලෙනින් 1917 පල කල සිය අධිරාජ්‍යවාදය, ධනවාදයේ උච්ඡතම අවධියයි යන මහඟු කෘතිය තුල ඒවා විදහා දැක්වීය.

මූල්‍ය පරපුටුකම, ඒකාධිකාරය, ආඥාදායකත්වය හා යුද්ධය දෙසට වන ප්‍රවනතාවය, හුදෙක් දේශපාලන නායකයින් විසින් තෝරාගනු ලැබූ ආත්මීය ප්‍රතිපත්තීන්හි ප්‍රතිපලය නොව, ජරපත්වීමේ හා රෝගී භාවයේ අවධිය තුල අධිරාජ්‍යවාදයේ මූලික ප්‍රවනතාවන්ගේ ප්‍රකාශනය බව ලෙනින් පැහැදිලි කලේය.

“සිය දිවිය පුරාම ධනවාදයේ ස්වාභාවික අංඟලක්ෂනය දේශපාලන ප්‍රතිගාමිත්වයයි.” එය නීර්නය කලේ, “දූෂනය, මහා පරිමාන අල්ලස හා සියලු වර්ගයන්ගේ වංචාවයි.” ලෙනින් ලිවීය. සමාජ ජීවිතයේ සෑම අංශයන්හිම බැංකුවල අධිකාරය, සිය දේශපාලන ප්‍රකාශනය අත්කර ගත්තේ, දේශීයව ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කාබාසිනියා කිරීම තුලය. “මූල්‍ය ප්‍රාග්ධනය වෙහෙසෙන්නේ ආධිපත්‍යය සඳහා මිස නිදහස සඳහා නොවේ.”

මෙම මූල්‍ය වංශාධිපතිත්වයේ සාපරාධී ස්වභාවය හා විදෙස් පිලිවෙතේ සාපරාධී ස්වභාවය අතර සම්බන්ධයක් පවතී. ඇමරිකානු කම්කරුවන්ට එරෙහිව රට තුල යුද්ධය, මැද පෙරදිග හා අප්‍රිකානු ජනතාවට එරෙහිව එරට දියත්කර තිබෙන කොල්ලකාරී යුද්ධයන් ප්‍රතිබිම්බනය කරයි. බිලියන ගනන් උපයා ගැනීම පිනිස සමපේක්ෂනයේ සූදුව යොදාගන්නා මූල්‍ය අධිකාරය, භූ දේශපාලනික “අවදානම් දැරීම” හා සිය ජාත්‍යන්තර පිලිවෙතේදී අපරාධකාරී ඉවබව නැතිකම දෙසටත් හැරී සිටියි.

20 වන හා 21 වන සියවස්වල ඉක්බිති ඉතිහාසය තුල සනාථ කෙරී ඇති ලෙනින්ගේ න්‍යායෙහි ප්‍රකාශනය, අධිරාජ්‍යවාදය යුද්ධයන්ගේ හා ප්‍රතිගාමිත්වයේ අවධිය පමනක් නොව විප්ලවයේ අවධිය ද වන බවයි. දැන් ධනවාදයේ අතිමූලික ස්වභාවය අතිශය නග්න ආකාරයෙන් තෙමේම ප්‍රකාශිත වන්නේ, අඛන්ඩව තියුනු වෙමින් ඇති පන්ති ප්‍රතිවිරෝධයන් විප්ලවවාදී නැගිටීම් කරා යොමු වීම නොවැලැක්විය හැකි බවයි.

ඇන්ඩ්‍රෙ ඩැමොන්

Share this article: