වොෂින්ටනය තුන්වන ලෝක යුද්ධයට සූදානම් වේ

Washington prepares for World War III

2015 නොවැම්බර් 5

ඇමරිකා එක්සත් ජනපදයේ යුද්ධ-බුද්ධි අංශය තුන්වන ලෝක යුද්ධය සඳහා ක්‍රමානුකූල සූදානමක යෙදී සිටී. චීනය සහ රුසියාව යන දෙරටම සමග නැතහොත් ඒ දෙරටින් එකක් සමග න්‍යෂ්ටික ඝට්ටනයක් නොවැලක්විය හැකි යයි ඒත්තුගෙන සිටින පෙන්ටගනය එම ඉදිරිදර්ශනය සිය උපායික සහ මූලෝපායික ධාවක බලය බවට පත් කර ගෙන සිටී.

අඟහරුවාදා පවත්වනලද කොංග්‍රස් මන්ඩල මන්ත්‍රන තුනක් මෙම යථාර්තය විදහා දැක්වීය. උදේ වරුවේ , සෙනෙට් මන්ඩල සන්නද්ධ සේවා කමිටුව සයිබර් යුද්ධක්‍රම පිලිබඳ දීර්ඝ විමර්ශනයක් පැවත් විය. සවස් වරුවේ , මහජන මන්ත්‍රී මන්ඩල සන්නද්ධ සේවා කමිටුවේ උප කමිටුවක් එක්සත් ජනපද ගුවන්යානා වාහක නෞකා හමුදාවේ වත්මන් පරිමාවත් එහි නෞකාවන් ස්ථානගත කර ඇති ආකාරයත් සැලකිල්ලට භාජනය කලේ ය. එම මන්ඩලයේම තවත් උප කමිටුවක් එක්සත් ජනපද න්‍යෂ්ටික අවි නවීකරනය කිරීම සාකච්චාවට භාජනය කලේ ය.

මෙම මන්ත්‍රන වලට වාර්තාකරුවෙකු යැවු ලොසවෙඅ ඒවායේ වඩාත් සවිස්තර වාර්තා ලඟදි ඉදිරිපත් කරනු ඇත. එතෙක් අපි වඩා ප්‍රාථමික නිරීක්ෂනයන් ඉදිරිපත් කරන්නෙමු.

මෙම මන්ත්‍රන එකක් වත්ඇමරිකා එක්සත් ජනපදය අර අඳිමින් සිටින ලෝක මහා යුද්ධයේ වඩා පෘථුල ප්‍රති විපාකයන් සලකා බැලුවේ නැත; එ මතු නොව, න්‍යෂ්ටික ආයුධධාරී රාජ්‍ය අතර මහා සංග්‍රාමයක් මානවවර්ගයා පමනක් නොව, අප මුලු ග්‍රහලෝකයේම සමස්ත ජීව පද්ධතියටම ඇති කරනු ඇති විපාකයන් සලකා බැලුවේ ද නැත. මෙයට ප්‍රති විරුද්ධව ඒවායින් පෙන්නුම් කරන ලද්දේ, 3 වන ලෝක යුද්ධය එක්සත් ජනපදයේ නිත්‍ය පිලිවෙත බවට පත්කර ගැනීමය. එක්සත් ජනපදය විසින් චීනයට හෝ රුසියාවට එරෙහි කරන ලෝක යුද්ධයක් අනිවාර්ය බව පිලිගත් ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ දෙකේම සෙනෙට් මන්ත්‍රීවරුන් සහ නියෝජිත මන්ත්‍රීවරුන් දෙගොල්ලගේ ම ඒකායන උත්සුකය වූ යේ එවන් යුද්ධයක් දිනාගත හැක්කේ කෙසේද යන්න පමන ය.

මෙම මන්ත්‍රන වනාහි දිගින්දිගටම පවත්වාගනයන වැඩ සටහනක කොටස් ය. කරුනු ඉදිරිපත් කල සාක්ෂිකරුවෝ තමන් කලින් ලියා තුබු සහ කරතිබූ ප්‍රකාශ සඳහන් කලෝ ය. සෙනෙට් සභිකයෝ ද නියෝජිත මන්ත්‍රීවරු ද වෙනත් සාක්ෂි කරුවන්ගේ සාක්ෂි සඳහන් කලෝ ය. වෙනත් වචනවලින් කිවහොත් සයිබර් ආයුධ, ගුවන්යානා වාහක නෞකා, බෝම්බදමන ගුවන් යානා , මිසයිල සහ තවත් අවි ආයුධ පරාසයක් සූදානම් කිරීම වනාහි දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන යනු ලැබ ඇති වැඩ සටහනකි. ඒවා වනාහි මෑත අවුරුදුවල සිද්ධීන්ට - දකුනු චීන මුහුදේ වුව, යුක්රේනයේ වුව, සිරියාවේ වුව වෙන කොතැන වුව සිදුවීම්වලට - දැක්වුනු හදිසි ප්‍රතිචාරයක් නොවේ.

මේ එක් එක් මන්ත්‍රනයක් උපකල්පනය කර ගත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය සාපේක්ෂකව කෙටි කාලයක් තුල ( විටෙක නම් නොකරන ලද, විටෙක රුසියාව සහ චීනය ලෙස නම් කරන ලද ) බලවත් රටක් සමග මහා ඝට්ටනයකට යනු ඇති බවය. මෙම මන්ත්‍රන වලදී මහජන මතය උමතු කොට නොමග යැවීම සඳහා නිරතුරව උග්‍ර කොට මවා පෙන්වන ලද ත්‍රස්තවාදය පිලිබඳ අනතුර ට අඩු තැනක් දෙනලද අතර, සමහටර විටෙක මුලුමනින්ම නොතකා හරින ලදී. සයිබර් යුද්ධය පිලිබඳ සෙනෙට් සභා මන්ත්‍රනයේ එක් අවස්ථාවක දී , ඩිමොක්‍රැටික් පාක්ෂික ජින් ශහින් ගේ ඍජු ප්‍රශ්නයකට ප්‍රතිචාර ලෙස , මුලු සාක්ෂි මන්ඩලයම ප්‍රකාශ කර සිටියේ තමන්ගේ ප්‍රමුඛ උත්සුකය නම් ජාතික -රාජ්‍ය මිස, ත්‍රස්‌තවාදීන් නොවන බව ය.

මන්ත්‍රනයේ එක් සාක්ෂිකරුවෙකු වූයේ ආචාර්ය පීටර් ඩබ්ලිව්. සිංගර් ය. ඔහු එහි දී හැඳින්වුනේ නිව්ඇමරිකා නම් වොශින්ටන් චින්තන පර්ෂදයේ “ මූලොපායඥයෙකු සහ ජ්‍යේෂ්ඨ සභාධ්‍යායියෙකු” ලෙසය. ඔහු තම ප්‍රතිපාදනය නම් කලේ. “ 3වන ලෝක යුද්ධයේ පාඩම් යනුවෙනි.” ඔහු සිය කලින් සුදානම් කරගෙන තිබුනු ප්‍රකාශය ආරම්භ කලේ එම කල්පිත ඝට්ටනය පිලිබඳ පහත දැක්වෙන විස්තරය සමග ය:

“ඇමෙරිකානු සහ චීන යුදනැව් මුහුදේ සටන් කරමින් කාල තුවක්කු, කෲස් මිසයිල සිට ලේසර් දක්වා එල්ල කර ගනිති. රොබෝ ඩ්‍රෝන පිරිවරා ගත් රුසියානු සහ ඇමරිකානු රහස්‍ය යුද ගුවන්යානා මුහුනලා ගෙන සටන් කරති. ෂැන්හයි සහ සිලිකන් ද්‍රෝනියේ අතික්‍රමිකයෝ (Hackers) ද්විමය අංකික (ඩිගිටල්) ක්ෂේත්‍රයේ ද්වන්ද සටන්වල යෙදෙති. අභ්‍යවකාශයේ සංග්‍රාමිකයෝ මිහිතලයේ දිනන්නෝ කවුරු දැයි තීන්දු කරති. මේවා ප්‍රබන්ධයක ඡේද ද නැතහොත් අනිද්දා මේ සබෑ ලෝකයේ සිදුවෙන්නට යන දේවල් ද ?

මේ මන්ත්‍රන එකකවත් මහායුද්ධයක් සිදුවන්නට ඉඩ තිබේ ද එවන්නකින් ජය ලබාගැනීමේ අවශ්‍යතාව කුමක් ද ප්‍රශ්න පිලිබඳ විවාදයක් දක්නට ලැබුනේ නැත. න්‍යෂ්ටික අවි -සන්නද්ධ රාජ්‍යයන් අතර ලෝක යුද්ධයක “ජයග්‍රහනය” අර්ථයක් ඇති සංකල්පයක් දැයි අභියෝගාත්මකව ප්‍රශ්න කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් වූයේ නැත. සාකච්චාව මුලුමනින්ම කැපවූයේ එක්සත් ජනපද මිලිටරියේ ජග්‍රහනයට අවශ්‍ය කුමන තාක්ෂනයන් ද , කුමන සම්පත් ද, සහ කොතරම් මිනිස් සම්පත් ද යන්නටය.

මෙහි ලා ඩිමොක්‍රැටික් පාක්ෂික සෙනෙට්සභිකයන් සහ මන්ත්‍රීන් ද ඔවුන්ගේ රිපබ්ලිකන් ප්‍රතිසගයන් ද යන දෙගොල්ලම අතර වෙනසක් තිබුනේ නැත. සිරිත් පරිදි දෙගොල්ල සභාපති වරුන්ගේ ප්‍රතිවිරුද්ධ දෙපැත්තේ අසුන් ගෙන සිටියහ. මේ පිලිවෙල නැතිව, මොවුන්ගේ ප්‍රශ්න හා මත දැක්වීම් වලින් ඔවුන් අයත් කුමන පක්ෂයට දැයි වෙන්කරගත නොහැකි වනු ඇත.

වොෂින්ටන් පාලනය අශමනියව ප්‍රතිවිරුද්ධ දේශපාලන දෘෂ්ටින්ගෙන් යුතු පක්ෂ දෙකක් අතර බෙදී තිබේය යන මාධ්‍ය මිත්‍යාවට ප්‍රතිවිරුද්ධව මෙහිදී සැබවින්ම දක්නට ලැබුනේ අති මූලිකතම ප්‍රයුක්තිය , එනම් අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයට සුදානම් වීම පිලිබඳව පවත්නා ද්විපාක්ෂික එකඟතාවයයි.

මහ ධනපතින්ගේ දේශපාලන නියෝජකයන් ගේ ඒකමතිකතාවය උන්ගේ යුදධාවනයට බාධාවක් නොමැති බවක් කිසිසේත්ම පෙන්නුම් කරන්නේ නොවේ. මන්ත්‍රනයන් එකිනෙකක් විවිධ ආකාරයෙන් පොරබැදුවේ ඇමරිකානු අධිරාජ්‍යවාදය මුහුනපානා ප්‍රගාඪ අර්බුදය සමගය. එම අර්බුදයේ ප්‍රමුඛ සංරචක දෙකකි: ඒ වනාහි සිය ප්‍රමුඛ ප්‍රතිමල්ලයන් ට සාපේක්ෂකව ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික බලය පිරිහී යාම ද රටතුල කම්කරු පන්තිය, විශේෂයෙන්ම තරුනයන් විරස්ත වීම ගැඹුරු වීමද වේ.

නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ උප කමිටු මන්ත්‍රනයේ දී එහි සභාපතිවරයා පෙන්නුම් කල පරිදි, නාවුක අද්මිරාල් කෙනෙකු වූ එක සාක්ෂිකරුවෙක් “ගුවන් යානා වාහක නෞකා 15ක් අවශ්‍ය ලෝකයක අමෙරිකාව සතු වාහක නෞකා ගනන 11 කට සීමා වීම” ගැන කනස්සල්ල පලකලේ ය. ඔහු මෙසේ ද කීය: “ වොෂින්ටනය මුහුනදෙන අභියෝගයන් බොහෝ ය. ඇත්ත වශයෙන් අවශ්‍ය වන්නේ වාහක 2 1 ක නාවුක බලයකි”. ඒ දැන් පවත්නා ප්‍රමානය මෙන් දෙගුනයකි. එවැන්නක් එක්සත් ජනපදයට වඩා බොහෝ සම්පත් පවත්නා රටක් වුව බංකොලොත් කරනු ඇත.

සයිබර් ආරක්ෂාව පිලිබඳ සෙනට් මන්ත්‍රනය ඇමරිකානු යුදවාදයට මුහුනදීමට සිදුව තිබෙන අභ්‍යන්තර අභියෝගය සංක්ෂිප්තව සලකා බැලුවේය. පෙන්ටගනයේ ජාතික ආරක්ෂක ඒජන්සියේ (එන් එස් ඒ) සහ සයිබර් කොමාන්ඩ් යන දෙකෙහි ම හිටපු ප්‍රධාන විශ්‍රාමික ජනරාල් කීත් අලෙක්සැන්ඩර් එන්.එස්. ඒ. කොන්ත්‍රාත් සේවක එඩ්වඩ් ස්නෝඩන් සහ හිටපු හමුදා භට කෙල්සී මැනින්ග් කල රහස් එලිදරව්වෙන් සිදුවූ පාඩු ගැන කම්පා වෙමින්, එක්සත් ජනපද මිලිටරිය මුහුන දෙන බරපතලම තර්ජනයක් නම් ‘සයිබර් ප්‍රහාරයන්’ යයි කියා සිටියේය.

ස්නොඩන් ගැන සඳහන් කල බටහිර වර්ජිනියාවේ ඩිමොක්‍රැටික් පාක්ෂික නියෝජිත ජෝ මන්චින් ඔහුගෙන් මෙසේ කෙලින්ම පිලිවිසී ය, “ අප ඔහුට සැලකියයුත්තේ දේශ ද්‍රෝහියෙකු ලෙස ද? “ ඔහු දේශ ද්‍රෝහියෙකු ලෙස සැලකිය යුතු බවද, ඔහුට එසේ නඩු පැවරිය යුතු යයි ද ඇලෙක්සැන්ඩර් ප්‍රතිචාර දැක්විය.” මන්චින් හිස සලා සිය විශද එකඟතාවය ප්‍රකාශ කලේ ය.

“ඇතුලේ ඉන්නා සතුරා” පුද්ගලාරෝපනය කොට දැක්වීමට ස්නොඩන් සහ මැනින් යන දෙන්නා ගේ නම් යොදාගත් නමුත්, යුද්ධය කෙරේ රටතුල පවත්නා විරෝධය, මෙම අනතුරු හඟවන නලාව හඬවන්නන් ටිකදෙනාට වඩා අතිශයින් පුලුල් බව සාක්ෂිකරුවෝ ද සෙනට් මන්ත්‍රීවරු ද පැහැදිලිව ම දැන සිටිති.

ඇෆ්ගනිස්ථානයේ ද, ඉරාකයේ ද, සෝමාලියාවේ ද, ලිබියාවේ ද, සිරියවේ ද , යේමනයේ සහ උතුරු අප්‍රිකාව හරහා ද අවුරුදු 14ක් තිස්සේ කරගෙනයන ලේ නාගත් අධිරාජ්‍ය, කඩා වැදීම් කෙරේ වැඩකරන ජනතාව තුල ගැඹුරින් මුල්බැස පවත්නා පිලිකුල වැදගත් ය; එහෙත් මෙය වනාහි හුදෙක් එම විරෝධය පිලිබඳ කරුනක් නොවේ.

ඇමරිකා එක්සත් ජනපදය ද චීනය සහ රුසියාව වැනි ප්‍රමුඛ බලවතෙකු ද අතර යුද්ධයක්, මුලුමනින්ම න්‍යෂ්ටික ප්‍රහාර හුවමාරුවක් දක්වා වැඩෙන්නට නොදී සීමා කරගත්තත් ඇමෙරිකානු සමාජයේ ආර්ථික සහ මානව සම්පත් අතිමහත් ලෙස යටකිරීම අවශ්‍ය කරනු ඇත. එය ඇමෙරිකානු ජනයාගේ ජීවන තත්වයන් තවදුරටත් උග්‍ර ලෙස වහවහා ම පහත දමනු පමනක් නොව ඉන් ඇති කරනු ලබන මහා ලේ ගැලීම ප්‍රධාන වශයෙන්ම කඩා පාත්වනු ඇත්තේ, වැඩකරන පන්තියේ කුඩා දරුවන්ගේ සිරුරු මතට ය.

1970, වියට්නාම් යුද්ධයෙන් මෙදෑතුර, එක්සත් ජනපද මිලිටරිය, 1960-70 ගනන්වල පෘතුල මහජන විරෝධයක් පමනක් නොව ඍජු ප්‍රතික්ෂේපයක් ජනනය කල බලහත්කාර හමුදා සේවය අත්හිටුවා මුලුමනින්ම ස්වෙච්චා සේවයක් ලෙස පවත්වාගෙන යන ලදී. චීනයට සහ රුසියාවට එරෙහි න්‍යෂ්ටික නොවන යුද්ධයක් වුව, බලහත්කාරයෙන් හමුදවට බඳවාගැනීම යලිත් ඇති කොට ඇමරිකාවේ සෑම නිවහනකටම මිනිස් ජීවිත හානියේ යුද්ධයේ වියදම දරාගැනීමට සිදු කරනු ඇත.

මෙවන් තත්වයක් තුල, යුද විරෝධී හැඟීම් වලට එරෙහිව පොලිස් බලය සහ මර්දන පියවර කොතරම් දරුනු වුව ද ඇමරිකානු සමාජයේ ස්ථාවරත්වය අභියෝගයට ලක්වනු ඇත. එවන් තත්වයක දේශපාලන ප්‍රතිවිපාක පිලිබඳව ඇමරිකානු පාලක ප්‍රභූව ගැඹුරින්ම භීතියට පත්ව සිටී. එය එසේ විය යුතු ය.

පැට්‍රික් මාටින්

Share this article: