මූල්‍ය පරපුටුකම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විනාශය - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

මූල්‍ය පරපුටුකම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විනාශය

Financial parasitism and the destruction of democracy

2015 නොවැම්බර් 24

ඇමරිකාවේ ඖෂධ නිෂ්පාදක ෆයිසර් සමාගම සිය ප‍්‍රතිවාදී ඇලර්ගන් පීඑල්සී සමාගම සමග ඒකාබද්ධ වන බව 23දා නිවේදනය කල අතර එය ඉතිහාසයේ තෙවන විශාලතම සමාගම් ඒකාබද්ධය බවට පත්වේ.

ෆයිසර් නමෙන් ක‍්‍රියාත්මක වන අලුත් සමාගම ලෝකයේ විශාලතම ඖෂධ නිෂ්පාදකයා බවට පත්වේ. අයර්ලන්තයේ පිහිටා ඇති කුඩා ඇලර්ගන් සමාගම ඇමරිකාවේ වඩා විශාල ෆයිසර් සමාගම මිලට ගනු ලබන බැවින් “ඇතුලට හැරීමක්” ලෙස විස්තර කෙරෙන ගනුදෙනුවේ ප‍්‍රතිපලයක් වශයෙන්, පසුගිය වසරේ ෆයිසර් සමාගම ගෙවූ සියයට 25.5 බද්ද සමග සසඳන කල නව සමාගම ගෙවනු ඇත්තේ, සියයට 17-18 අතර බද්දකි.

නව ඒකාබද්ධය, මේ වසරේ මේ දක්වා නිවේදනය කර ඇති ගෝලීය ඒකාබද්ධයන්ගේ හා අත්පත්කර ගැනීම්වල මුලු අගය ඩොලර් ටි‍්‍රලියන 4.2 දක්වා ඉහල යවනු ඇත. 2015 වසරේ ඒකාබද්ධ වීමේ ක‍්‍රියාවලිය, ගෝලීය මූල්‍ය අර්බුදය පැන නැගීමට මාස කිහිපයකට පෙර 2007දී වාර්තාකල ඉහලම අගය වන ටි‍්‍රලියන 4.38 අගය ඉක්මවා යනු ඇත.

ඇලර්ගන් සමග ඒකාබද්ධවීම නිවේදනය කරමින් ෆයිසර් ප‍්‍රධාන විධායකයා පැවසුවේ මෙම ගනුදෙනුව, “පරියේෂනයන්ට නව සොයාගැනීම් වලට හා ලෝකය පුරා බොහෝ ජනතාවන් වෙත බෙහෙත් හා ප‍්‍රතිකර්ම වැඩි වැඩියෙන් ලබා දීමට අවශ්‍ය ශක්තියෙන් යුත් ලෝකයේ ප‍්‍රමුඛතම ඖෂධ සමාගම නිර්මානය” කරනු ඇති බවය.

එහෙත් යථාර්තය එහි අනෙක් පැත්තයි. ඒකාබද්ධයේ කොටසක් ලෙස නිකුත්කර ඇති මූල්‍ය ලියවිලි අනුව, බිහිවන සමාගම දැවැන්ත වියදම් කප්පාදුවක සැලසුම් නිවේදනය කර ඇත. පරියේෂන හා සංවර්ධන අරමුදල් වලින් 660,000ක් ද සහිතව බිලියන 2ක වියදම් ඉතිරිකර ගැනීමට බලාපොරොත්තු වන සමාගම, කපා හරින අනෙක් වියදම් වලට රැකියා වලින් දොට්ට දැමීම හා වෙනත් වියදම් ඇතුලත් කරනු ඇත.

ඒකාබද්ධවීම් රැල්ලේ මූලික අරමුන, වඩ වඩාත් ඉහල ප‍්‍රතිලාභ ඉල්ලා සිටින මූල්‍ය ආයෝජකයින්ගේ සාක්කු වලට මුදල් පොම්ප කරන නව මාවත් සොයාගැනීමයි. එය ගෝලීය ආර්ථිකය සිසාරා පැතිර ඇති මූල්‍ය පරපුටුකම පිලිබඳ එක් ප‍්‍රකාශනයක් පමනි.

මේ මාසයේ මුල බිරින්යි ඇසෝසියේට්ස් වාර්තා කලේ, වසරේ මුල් කාර්තු තුන තුල ඇමරිකානු සමාගම්, ඩොලර් බිලියන 516.72ක් වටිනා තමන්ගේම කොටස් යලි මිලට ගෙන ඇති බවයි. එය 2007න් පසුව වාර්තාවී ඇති ඉහලම අගයයි. එය මිලියන 45ක ජනගහනයකින් යුත් ආර්ජන්ටිනාවේ දල දේශීය නිෂ්පාදිතයට සමාන වේ.

ලෝකයේ විශාලතම තනි සමාගම වන ඇපල්, මේ වර්ෂය තුල බිලියන 30.22ක කොටස් යලි මිලටගෙන ඇත. ඒ කාලය තුල සමාගම පරියේෂන හා සංවර්ධනය සඳහා වැයකර ඇත්තේ බිලියන 6ක් පමනි. සිය ශ‍්‍රම බලකායට ගෙවා ඇත්තේ බිලියන 12ටත් අඩුවෙනි. මෙයට ඇමරිකාවේ සිල්ලර වෙලඳ සේවකයින් ද ඇතුලත්ය. ඔවුන්ගේ පැයක වැටුප ඩොලර් 13කි. චීනයේ එකලස් කිරීමේ කම්කරුවෙකු උපයන්නේ පැයකට ඩොලර් 1.50ක් පමනි.

ඇපල් සමාගම සුවිශේෂිත නැත. මේ වසර මුල වෝල් ස්ටී‍්‍රට් ජර්නලය වාර්තා කලේ, මෑත වසරවල ඇමරිකානු සමාගම්, තමන්ගේම කොටස් යලි මිලට ගැනීම පිනිස කර ඇති වියදම, සේවකයින් සේවයේ යෙදවීමට හෝ කම්හල් ඉදිකිරීමට වැයකල මුදලට වඩා බොහෝ වැඩි බවය. එහි ප‍්‍රතිපල වශයෙන් කොටස් මිල පිම්මේ ඉහල නැග ඇති අතර වඩ වඩාත් කොටස් අගයේ “හැසිරීමට” ගැටගසා ඇති විධායකයින්ට ලැබෙන ප‍්‍රතිලාභ ද ඉහල නැග තිබේ.

ඇමරිකානු බැංකුවේ අප‍්‍රකාශිත පරියේෂන වාර්තාවක් ගැන සටහන් කල බ්ලූම්බර්ග්ට අනුව, “මේ දශකය තුල එක්සත් ජනපදය නිර්මානය කල සෑම රැකියාවක් වෙනුවෙන්ම සමාගම, ඩොලර් 296,000ක සිය කොටස් මිලට ගෙන ඇත.”

වාර්තාගත වන තරමේ ලාභ ඉපැයූ වසර ගනනාවකට පසුව ඇමරිකානු සමාගම්, ඩොලර් ටි‍්‍රලියන 1.4ක දැවැන්ත මුදල් කන්දරාවක් පොදි ගසාගෙන සිටිති. මෙම අරමුදල් නිෂ්පාදන ආයෝජනයේ යොදවනවා වෙනුවට ගෝලීය සංගත ඒවා යොදවනු ලබන්නේ, සිය කොටස් මිලට ගැනීමට, ඒකාබද්ධයන්ට හා අත්පත්කර ගැනීම් වලට මෙන්ම විධායක නිලධාරීන්ගේ ප‍්‍රතිලාභ වැඩිකරලීමටය.

මෙම ක‍්‍රියාවලියේ ප‍්‍රතිපල වශයෙන් සැබෑ ආර්ථික නිමැවුම තවත් හකුලුවාලයි. 23දා නිකුත් කල සංඛ්‍යාවන්ට අනුව පසුගිය මාසයේ ඇමරිකානු නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ වර්ධනය දෙවසරක් තුල ඇතිව තිබෙන පහත්ම වර්ධනයයි. විශ්ලේෂකයින් “මවිතකර” හා “සංඛ්‍යා පරයා ගිය” යනාදි වශයෙන් වර්නනා කල, අලුත්ම මාසික රැකියා වාර්තාව, ඔක්තෝබරයේ ඇමරිකාව නිෂ්පාදන අංශයට එකතුකල රැකියා ප‍්‍රමානය හරියටම බිංදුවක් යයි පෙන්වා ඇත.

වෝල් වීදිය හා සංගත අධ්‍යක්ෂ මන්ඩල කාමර තුල ඇතිව තිබෙන සමපේක්ෂනයේ නාඩගම, 2008 මූල්‍ය බිඳවැටීමෙන් ඉක්බිත්තේ දැවැන්ත ලෙස ධනය ඉහලට යලි බෙදාහැරීමේ එක් පැත්තක් පමනි. මෙයට පහසුකම් සැලසුනේ, ඇමරිකානු මහ බැංකුව හා ලෝකයේ මධ්‍යම බැංකු විසින් ගෝලීය මූල්‍ය ක‍්‍රමයට එන්නත් කල මුදල් වලිනි. ලේමන් බ‍්‍රදර්ස් බැංකුව කඩා වැටීමෙන් පසුව ලෝකයේ මහ බැංකු ඩොලර් ටි‍්‍රලියන 12.4ක් වටිනා වත්කම් මිලට ගෙන තිබේ. එසේම 606 වතාවක් පොලී අනුපාතික කපාහැර ඇත. ඒ, ඉහතින් සඳහන් කල ඇමරිකානු මහ බැංකුවේ පරියේෂන වාර්තාවට අනුවය.

මූල්‍ය වංශාධිපතියන්ගේ දැවැන්ත ධන රාශීකරනය පදනම්ව ඇත්තේ, වැඩකරන ජනතාවට හිමිවන සමාජ සම්පත්වල පංගුව එක දිගට කපා හෙලීම මතය. දශක ගනනාවක් තිස්සේ උතුරු ඇමරිකානු හා යුරෝපීය කම්කරුවන්ගේ ආදායම එකතැන පල්වෙයි. බොහෝ රටවල එම මට්ටම අර්බුදයට පෙර පැවතියාට වඩා සැලකිය යුතු තරමකින් අඩුය. නිදසුනක් ලෙස ඇමරිකාවේ සාමාන්‍ය කුටුම්භයක ආදායම 2007-2013 අතර කාලයේ සියයට 12න් පහත වැටී තිබේ. ඒ පාරිභෝගික වියදම් පිලිබඳ මහ බැංකු සමීක්ෂනයකට අනුවය.

ඒ අතර ජනගහනයේ ඉහලම සියයට 1, 2009න් පසුව සමස්ත ආදායමේ ඇතිව තිබෙන වැඩිවීමෙන් සියයට 95ක්ම සාක්කුවේ දමාගත්හ. ඇමරිකාවේ ලොකුම පෝසතුන් 400 දෙනාගේ ධනය දෙගුනයක් වී තිබේ. සමාජ අසාමානතාවයේ වර්ධනය අනෙක් අතට, ධනේශ්වර ක‍්‍රමය හා ජන ජීවිතයේ සෑම අංශයකම පවතින මූල්‍ය අධිකාරීන්ගේ පාලනය කෙරෙහි විරුද්ධත්වය පුලුල් කර ඇත.

නොවැම්බර් 13දා පැරිසියේ සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයන්ට යුරෝපීය හා උතුරු ඇමරිකානු පාලක පන්තීන් දක්වන්නේ උන්මාදනීය ප‍්‍රතිචාරයකි. ප‍්‍රන්සය හා බ‍්‍රසල්ස් මෙය අල්ලාගෙන ඇත්තේ, ඔනෑම අයෙකුගේ පෙලපාලියක්, රැස්වීමක් හා වෙනත් එවැනි ක‍්‍රියාවක් තහනම් කර අත්අඬංගුවට ගැනීම පිනිස පොලිසියට බලය පවරමින්, ව්‍යවස්ථාමය අයිතීන්ට දුරදිග යන හා පුලුල් ප‍්‍රහාර එල්ල කිරීම පිනිසය. ඇමරිකාවේදී පැරිස් ප‍්‍රහාර උපයෝගී කර ගන්නේ, කේතාංකික ආරක්ෂිත සන්නිවේදනය අපරාධයක් ලෙස ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටීමටය.

ලෝකයේ පැරනිම සමහර “ප‍්‍රජාතන්ත‍්‍රවාදයන්” සියවස් දෙකක් පමන කාලයක් තමන් පෙරට ගෙන ගිය බව පවසන මූලධර්ම අතහැර දැමීමට තුඩු දුන්, ලොව පුරා කම්පන තරංග නිකුත් කල පැරිස් ප‍්‍රහාර, ගෝලීය වෙලඳපොල වලට දැනී නොතිබීමේ කාරනය සැලකිල්ලට ගත මනාය. ප‍්‍රහාරයන්ගෙන් ඉක්බිතිව ගෙවී ගිය දින දහය තුල සෑම රටකම පාහේ කොටස් අගය ඉහල නැගී ඇත. ඇමරිකානු නැස්ඩැක් දර්ශකය සියයට 3.5න් ද ප‍්‍රන්ස කැක් 1.69න් ද ජර්මානු ඩැක්ස් 3.59න් ද ඉහල නැගුනි.

සමාජවාදී අර්ථශාස්ත‍්‍රඥ රුඩොල්ෆ් හිල්පඩිංග් ගෙන් උපුටා දක්වමින් රුසියානු විප්ලවවාදී ලෙනින්, “මූල්‍ය ප‍්‍රාග්ධනය වෙහෙසෙන්නේ ආධිපත්‍යය වෙනුවෙන් මිස නිදහස සඳහා නොවේ” යයි සටහන් කලේය. පලමු හා දෙවන ලෝක සංග‍්‍රාම අවධීන්ට පෙරාතුව පාලක පන්ති, සිය ධනය ආරක්ෂාකර ගැනීමේ නොවරදින මාධ්‍යය ලෙස සලකා, පාලනයේ පොලිස්-රාජ්‍ය ආකෘතීන් වෙත විවෘතවම හැරී ගත්තෝය.

ඇන්ඩෙ‍්‍ර ඩැමෝන්

Share this article: