තුර්කිය රුසියානු ජෙට් යානයක් බිම හෙලීම හා ලෝක යුද්ධයේ තර්ජනය

Turkey’s downing of a Russian jet and the danger of world war

2015 නොවැම්බර් 25

1. තුර්කි ප‍්‍රහාරක ජෙට් යානා 24දා තුර්කි සිරියානු දේශසීමාවේදී රුසියානු යුද ජෙට් ගුවන් යානයක් බිම හෙලීම, අමු යුදවාදී ක‍්‍රියාවකි. රුසියාව විසින් සිය ගුවන් සීමාව උල්ලංඝනය කලේය යන චෝදනාව, නේටෝව සහාය දෙන ඉස්ලාමීය විපක්ෂ සටන්කරුවන් හා රුසියාවේ පිටුබලය ලබන ජනාධිපති බෂර් අල් අසාද් තන්ත‍්‍රය අතර සිරියාව තුල ඇවිල යන කුලීකාර යුද්ධය කැපී පෙනෙන පරිදි විහිදුවාලීම පිනිස, තුර්කි බලධාරීන් විසින් ගසා කමින් සිටියි. එය එක් පසෙකින් රුසියාව හා අනෙක් පසින් තුර්කිය ද නේටෝ සන්ධානයේ අනෙකුන් ද අතර පූර්න පරිමානයේ යුද්ධයක් ඇවිල යාමේ තර්ජනය මතු කරයි.

රුසියානු එස්යූ-24 ජෙට් යානය එක් විනාඩියකට තුර්කි ගුවන් සීමාව උල්ලංඝනය කල බව තුර්කිය කියා සිටි අතර රුසියාව කියන්නේ තමන් කිසිවිටෙකත් සිරියානු ගුවන් සීමාවෙන් පිටතට නොගිය බවයි. තුර්කි ගුවන් හමුදාව රුසියානු යානාවට අනතුරු අඟවන පරිදි සිය ජෙට් යානා ඉහල නැංවීම හෝ එය ආපසු සිරියානු ගුවන් පථයට පලවා හැරීම නොකල අතර, කියන පරිදි විනාඩි පහක අනතුරු ඇඟවීමෙන් පසුව වෙඩිතබා බිම හෙලීය.

ඇමරිකානු ආන්ඩුවේ සෘජු පූර්ව අනුමැතියකින් තොරව, සිය බලගතු අසල්වැසියා සමග බරපතල ප‍්‍රතිවිපාක ජනනය කල හැකි එවන් තීරනයක් තුර්කිය තනිවම ගත්තා යයි සිතීමට නොහැකිය.

2. අසාද් තන්ත‍්‍රය ආරක්ෂා කිරීම පිනිස සිරියාවට කරන මැදිහත්වීම මොටකර දැමීම පිනිස, න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව සමග සෘජු මිලිටරි ගැටුමක් භාර ගැනීමට සිය අභිමතය පල කරමින් ඇමරිකානු නිලධාරීහු, තුර්කිය රුසියානු යානය බිම දැමීමට සහාය දැක්වූහ.

ප‍්‍රන්ස ජනාධිපති ප‍්‍රන්සුවා ඔලන්ද් සමග 24දා වොෂින්ටනයේ පැවැත්වූ මාධ්‍ය සමුලුවකදී ඔබාමා, තුර්කියට “සිය භූමි ප‍්‍රදේශ හා ගුවන් පථය ආරක්ෂාකර ගැනීමට අයිතියක් ඇති” බව කියා සිටිමින් එම ක‍්‍රියාවට අනුමැතිය පල කලේය. එවැනිම අවස්ථා උදාවුවහොත් රුසියානු ප‍්‍රහාරක යානා වලට යලි පහර දීම සඳහා මෙය තුර්කියට ලැබුනු හිස් චෙක්පතක් වැනිය.

ඉන්පසුව ඔබාමා රුසියාවට අනතුරු ඇඟවූයේ, නේටෝව විසින් සහයෝගය දෙනු ලබන බටහිර සිරියාවේ ඉස්ලාමීය විපක්ෂ මිලිෂියාවන්ට පහර නොදිය යුතු බවටය: “තුර්කි දේශසීමාවට ඉතා සමීපව රුසියානු මෙහෙයුම් සිදුකරන තතු හමුවේ හා ඔවුන් ලුහුබඳින්නේ තුර්කිය පමනක් නොව පුලුල් පරාසයක රටවල් ගනනාවක් සහාය දක්වන මධ්‍යස්ථ විපක්ෂය ද වීම, දැන් ඇතිව තිබෙන ප‍්‍රශ්නයට හේතුව බව මම සිතන්නෙමි. රුසියාව ඩයෙෂ් හා අයිඑස්අයිඑල් වෙත සිය ශක්තිය යොමුකරන්නේ නම්, එම ගැටුම් සමහරක්වත් පැතිරයාමේ හෝ අත්වැරදීමේ හැකියාව අඩුවනු ඇත.”

ඔබාමා කථාකිරීමෙන් පසුව යලි වතාවක් අමරිකාවේ හිටපු නේටෝ තානාපති නිකොලස් බර්න්ස් පැහැදිලි කලේ, රුසියානු යානයට වෙඩි තැබීමෙන් තුර්කිය වොෂින්ටනයේ බලල් අතක් ලෙස කටයුතු කර ඇති බව ය. ඔහු පීබීඑස් මාධ්‍ය වෙත පැවසුවේ, ඇමරිකාව සිරියානු තුර්කි දේශසීමා ප‍්‍රදේශයේ පියාසර තහනම් කලාපයක් ප‍්‍රකාශ කිරීම ගැන සලකා බලමින් සිටින බවය. එහි අර්ථය, ඉස්ලාමීය විපක්ෂ හමුදාවල ආරක්ෂාව පිනිස එම ප‍්‍රදේශයට ඉහලින් පියාසර කරන රුසියානු ප‍්‍රහාරක යානා වෙඩිතබා බිම හෙලන බවයි. තුර්කිය කර ඇත්තේ හරියටම ඒ දේය.

3. ඔබාමාගේ හා බර්න්ස්ගේ ප‍්‍රකාශ සලකුනු කරන්නේ, ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය මිලිෂියාවන් (අයිසිස්) ඉලක්ක කරගත්, “ත‍්‍රස්තයට එරෙහි යුද්ධයක්” ගෙන යන බවට කරන වොෂින්ටනයේ ප‍්‍රකාශයන්හි ප්‍රෝඩාකාරීත්වයයි. ඉස්ලාමීය ත‍්‍රස්තවාදයට විරුද්ධව යයි කියා සිටින අතර වොෂින්ටනය ඇත්ත වශයෙන්ම, අල් කයිඩාවට බැඳුනු අල් නුස්රා පෙරමුන මෙන්ම චෙච්නියාවේ ඉස්ලාමීය කැරලිකරුවන් ද ඇතුලු ලටාකියා කඳු ප‍්‍රදේශයේ ඉස්ලාමීය මිලිෂියාවන් ආරක්ෂා කරයි. අයිසිස්ට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් වොෂින්ටනය, දැන් අසාද් බලයෙන් පහ කිරීමේ මැද පෙරදිග මධ්‍යස්ථානයෙහි සැබවින්ම ඉවබව නැතිව සිය භූදේශපාලනික අභිලාෂයන් පෙරට ගෙන යයි.

අසාද්ගේ මිතුරන් වන රුසියාව හා ඉරානය මෙන්ම චීනය ද ඇතුලු ඇමරිකානු අධිරාජ්‍යවාදී අභිලාෂයන්ට මිලිටරිමය වශයෙන් බාධාවක් වන කුමන හෝ බලවතෙකු සමග ගැටුමක් කරා, මෙය තවත් පියවරක් පමනි. මැද පෙරදිග ගැටුම පතුරුවා හැරීමට සූදානම් වෙමින් සිටියදී පවා ඔබාමා, පසුගිය සතිය තුල ආසියාවේ පැවති ඉහල පෙලේ සමුලු උපයෝගී කර ගත්තේ, දකුනු චීන මුහුදේ භූමිභාගයන්ට හිමිකම් පෑම මත චීනය සමග ගැටුම උත්සන්න කිරීමට ය.

4. වඩාත් පැහැදිලි වෙමින් ඇත්තේ, අයිසිස් සංවිධානය මතුව ඒමත්, එය ජාත්‍යන්තර මාධ්‍ය තුල පෙනී සිටීමත් මූලිකවම, තමන්ගේ යුද්ධ සඳහා කඩතුරාවක් ලෙස අධිරාජ්‍යවාදී බලවතුන්ගේ වෙනස් වෙමින් ඇති අවශ්‍යතාවන් සමග එය පෙලගැසෙමින් සිටින බවය. ඇමරිකාවේ ප‍්‍රමුඛ සහචරයෙක් වන පකිස්ථානයේ සැඟව සිටියදී 2011 වසරේ, ඔසාමා බින් ලාඞ්න් ඝාතනය කිරීම මගින් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීම යුක්තිසහගත කිරීමට ඔබාමා පාලනය දරන ලද උත්සාහයෙන් පසුව, “ත‍්‍රස්තයට එරෙහි යුද්ධය” සඳහා පැහැදිලි ඉලක්කයක් නොතිබුනි. වොෂින්ටනය හා අනෙකුත් නේටෝ බලවතුන්, 2011 ලිබියානු යුද්ධයේදීත්, සිරියානු ගැටුම ආරම්භයේ සිටමත්, කුලීකාරයන් ලෙස ඉස්ලාමීය මිලිෂියාවන් සමඟ කටයුතු කර ඇත.

එහෙත්, 2013දී සිරියාව තුල සැලසුම් කල යුද්ධයේ අපකීර්තිය හා විදෙස් ප‍්‍රතිපත්ති සංස්ථාපිතය තුල ඇතිව තිබූ ගැඹුරු මතභේද නිසා වොෂින්ටනයට හා පැරිසියට, යුද්ධයෙන් පසුබැසීමට බලකෙරුනි. නේටෝ බලවතුන් යුද්ධය යුක්තිසහගත කිරීමේ මාවතක් සොයමින් සිටියදී, ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන් මත ඔවුන්ගේ වාරුවීම පිලිබඳ සැබෑ වාර්තාවට මුලුමනින්ම පරස්පර විරෝධීව නමුත් තමන්, එම ත‍්‍රස්තවාදයට විරුද්ධව සටන් කරන්නේ යයි කියාපෑම, යුද්ධය අලෙවි කිරීමේ මාවතක් ලෙස, යලිත් එය ඔවුන්ට සිත්ගන්නා දෙයක් බවට පත්ව තිබේ.

සිරියාව තුල අනෙකුත් ඉස්ලාමීය මිලිෂියාවන් ගෙන යන බෝම්බ ප‍්‍රහාර හා ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන්ට තරමක් වෙනස් නිසා මාධ්‍යයේ ප‍්‍රහාර සඳහා අයිසිස් මෙහෙයුම් තෝරාගෙන ඇති අතර, එවන් අනෙකුත් කන්ඩායම්, නිහඬ හා ප‍්‍රසිද්ධියේම පවා ඇමරිකාවේ සහයෝගය දිගටම ලබමින් සිටිති.

ඔත්තු සේවාවන්ගේ සමීප නිරීක්ෂනය යටතේ පවා ත‍්‍රස්තවාදීන්ට, මෙහෙයුමක් දියත් කිරීම පිනිස පුදුමාකාර හැකියාවක් තිබීම ගැන හා නොවැම්බර් 13 පැරිස් ප‍්‍රහාර පිලිබඳ සැකයේ වලාකුලු ඊයේ සිදුවීම් වලින් තවත් අන්ධකාර වී ඇත. සත්තකින්ම ඉස්ලාමීය ත‍්‍රස්ත කන්ඩායම් හා නේටෝ බලවතුන් අතර සමීප සම්බන්ධතා පවතී. ප‍්‍රහාරයන්ගෙන් පසුව යුරෝපීය පාලක කවයන් විසින් අවුලුවන ලද ආරක්ෂක භීතිකාව සමග එක්ව, අයිසිස් සමග සෙවනැලි යුද්ධය මුල්කරගෙන වපුරන ලද ව්‍යාකූලත්වය, ව්‍යසනාකාරී ගෝලීය යුද්ධ හරහා සිය අභිලාෂයන් ඉටුකර ගැනීම පිනිස අධිරාජ්‍යවාදයට අවශ්‍ය දේශපාලන වාතාවරනය නිර්මානය කිරීමට උපකාරී වී ඇත.

5. වොෂින්ටනය හා යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් අතර, විශේෂයෙන්ම, සිරියානු යුද්ධයට නව යටත්විජිත විසඳුමක් සැලසුම් කිරීමේදී රුසියානු මැදිහත්වීමේ ප‍්‍රමානය පිලිබඳව ජර්මනිය හා ප‍්‍රන්සය සමග, ගැටුම් මධ්‍යයේ මෙම ගුවන් ප‍්‍රහාරය සිදුවීමේ කාල වකවානුව අතිශයින්ම වැදගත්ය. රුසියාව සමග ගිවිසුමක් ඇතිකර ගැනීමේ යුරෝපීයානුවන්ගේ උත්සාහය කඩාකප්පල් කිරීමට වොෂින්ටනය තීරනාත්මක ලෙස මැදිහත්වී ඇත.

නොවැම්බර් 13දා පැරිසියේ අයිසිස් ප‍්‍රහාර හා 14 වියානා සාකච්ඡා වලින් පසුව ඔලන්ද්, සිරියාව තුල අයිසිස් සමග සටන් කිරීමට හා සියලු ප‍්‍රමුඛ බලවතුන්ට පිලිගත හැකි ආකාරයේ කොන්දේසි මත අසාද් බලයෙන් පහ කිරීමේ සාකච්ඡා සඳහා ඇමරිකාව, රුසියාව හා අනෙකුත් යුරෝපීය බලවතුන්ගේ එක්සත් කන්ඩායමක් පිහිටුවීමේ සැලසුම් නිවේදනය කලේය.

කෙසේ වෙතත් ඔලන්ද් ඔබාමා සමග සාකච්ඡා සඳහා වොෂින්ටනයට පැමිනි විට, රුසියානු ජෙට් යානය බිම හෙලීමේ සිද්ධිය ඔහු හමුවට පැමිනියේ, රුසියාව සමග රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධකම් පිලිබඳ සිය යෝජනා අකුලා ගැනීමටත් සිද්ධිය දැනටමත් ඉෂ්ඨවූ දෙයක් ලෙස පිලිගැනීමටත් එමගින් ඔහුට බල කෙරෙමිනි. යූඑස්ඒ ටුඬේ සටහන් කලේ ප‍්‍රහාරය, “පැරිස් ප‍්‍රහාරයන්ට පිලිතුරු වශයෙන්, ඉස්ලාමීය රාජ්‍ය (සංවිධානය) පරාජය කිරීම පිනිස එක්සත් ජනපදය හා රුසියාව සමග සන්ධානයක් ගොඩනගා ගැනීමේ ප‍්‍රන්ස වෑයමට බරපතල හානි පැමිනවීය” යනුවෙනි.

6. පසුගිය වසරේ ඇමරිකානු-ජර්මානු පිටුබලය ඇතිව සිදුවූ යුකේ‍්‍රන කුමන්ත‍්‍රනයෙන් පසුව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ලෝක යුද්ධයේ තර්ජනය පිලිබඳව නිරතුරුව අනතුරු ඇඟවීය. මෙම අනතුරු ඇඟවීම් අසාමාන්‍ය වේගයකින් සනාථ වෙමින් තිබේ.

අද න්‍යෂ්ටික බලවතුන් වන රුසියාව හා නේටෝ සන්ධානයේ එවැනි බලවතුන් අතර යුද්ධයේ අන්තරාය, මාධ්‍ය හා ප‍්‍රමුඛ දේශපාලඥයින් විවෘතව කථාබස් කරති. කෙසේ වෙතත් මෙම අන්තරාය, අධිරාජ්‍යවාදීන්, සියල්ලටත් වඩා ඇමරිකාව, සිය අවශ්‍යතා වෙනුවෙන් යොදන බලපෑමට විරාමයක් නොතබනු ඇත. ඒ වෙනුවට ඒවා යුද ධාවනය තව තවත් උත්සන්න කරයි.

7. අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පෙර නොවූ විරූ තරම් උමතු පිලිවෙත් වලට රුසියානු හා චීන පාලන තන්ත‍්‍රයන්ට ඉදිරිපත් කල හැකි කිසිදු ප‍්‍රති තුලනයක් ඇත්තේ නැත.

සිරියානු සිදුවීම් යලිත් පෙන්නුම් කර ඇත්තේ, සියවස් කාලකට ඈතදී, පැරනි සෝවියට් සංගමය විසුරුවා හැරීමේ ව්‍යසනකාරී භූ දේශපාලනික ප‍්‍රතිවිපාකය. මොස්කෝව, තමන්ට මැද පෙරදිග ඉතිරිව ඇති අනසක රැකගැනීමට හා චේච්නියාවෙන් හා රුසියාවේ අනෙකුත් ප‍්‍රදේශවලින් සිරියාවට ගොස් සිටින ඉස්ලාමීය සටන්කරුවන්, අසාද් පෙරලා දමා ඊලඟ සටනට රුසියාව කරා ආපසු පැමිනීම නතර කර ගැනීමට මංමුලා සහගත උත්සාහයක යෙදී සිටියි. එහිදී එම කන්ඩායම් වලට විනාශකාරී සමාජ කොන්දේසි හා ක්‍රෙම්ලිනයේ රුසියානු ස්වෝත්තමවාදී පිලිවෙත් වලින් නිර්මානය කර තිබෙන නොසතුට ලෙහෙසියෙන්ම ගසාකෑමේ හැකියාව පවතී.

රුසියාව තුල ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් පසුව උදාවනු ඇත්තේ, එරට අර්ධ යටත් විජිතයක් බවට පත්වීම යයි ට්‍රොට්ස්කි කල අනතුරු ඇඟවීම සනාථවී ඇත. අධිරාජ්‍යවාදී ආක‍්‍රමනිකත්වයට රුසියාවේ මිලිටරි ශක්තියෙන් පිලිතුරු දිය හැකිය යන පුටින්ගේ මිත්‍යාව නිරර්ථක වනවා පමනක් නොව, ව්‍යසනකාරී ප‍්‍රතිවිපාකයන්ට ද තුඩුදෙනු ඇත. අධිරාජ්‍යවාදයට යටත්වීමේ හා ඉවබව නැති මිලිටරි ප‍්‍රතික‍්‍රියා අතර වැනෙන ක්‍රෙම්ලිනයේ පිලිවෙත, අධිරාජ්‍යවාදී බලවතුන් සමග ලෝක යුද්ධයේ අන්තරාය මතු කරයි.

8. ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක මැදිහත්වීමකින් තොරව යුද්ධය ශක්‍යතාවක් වනවා පමනක් නොව නොවැලැක්විය හැකි ද වන්නේය.

අධිරාජ්‍යවාදී බලවතුන් හොස්නි මුබාරක් පෙරලා දැමූ ඊජිප්තියානු විප්ලවය තලා දැමීමට වෑයම් කරද්දී සිරියානු යුද්ධය, මිලියන ගනනකගේ ජීවිත විනාශ කරමින් කලාපයේ සියලු ප‍්‍රමුඛ බලවතුන් ඇද ගත් කුලීකාර යුද්ධයක් ලෙස මතුවී වර්ධනය විය. ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඊලඟ දේශපාලන ප‍්‍රති ප‍්‍රහාරය පදනම් විය යුත්තේ, ලඹදෙමින් ඇති අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයේ තර්ජනයට එරෙහිව සමාජවාදය සඳහා අරගලය මතය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කතෘ මන්ඩලය

Share this article: