ශ‍්‍රී ලංකා අගමැති මහා ව්‍යාපාර තර කිරීමේ “ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය” ඉදිරිපත් කරයි

Sri Lankan PM delivers “economic policy statement” to boost big business

සමන් ගුනදාස විසිනි, 2015 නොවැම්බර් 16

ජාතික අයවැයට පෙරාතුව රජයේ “මධ්‍ය කාලීන” ප‍්‍රතිපත්තියේ දල සැලැස්මක් ශ‍්‍රී ලංකා අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් ආර්ථික ප‍්‍රකාශනයක් හැටියට නොවැම්බර් 5 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය. විදේශ ආයෝජකයන්ට හා දේශීය මහා ව්‍යාපාරවලට වැඩි වාසි හා සහන ප‍්‍රදානය කරන අතර තුර කම්කරුවන්ගේ හා දුගීන්ගේ රැකියා, වැටුප් හා ජීවන තත්වයන්ට ප‍්‍රබල ලෙස බලපාන පුලුල් වෙලඳපොල හිතැති ප‍්‍රතිසංස්කරන ඔහු සංක්ෂිප්තව ගෙනහැර දැක්වීය.

බරපතල ආර්ථික ගැටලු නිර්මානය කිරීම සම්බන්ධව වික‍්‍රමසිංහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුවට දොස් පැවරීය. 2000 දී රටෙහි අපනයන, දල දේශීය නිෂ්පාදනයෙන් (දදේනි) සියයට 30 ක් වූ නමුත් එය 2014 දී සියයට 15 කට පසු බැස්ස බව ඔහු ප‍්‍රකාශ කලේය. ජනගහනයෙන් සියයට 43ට දිනකට ඇමරිකානු ඩොලර් 2 ක් පමනක් ලැබෙන අතර ආදායම් අසමතුලිතතාව ඉහල ගොස් තිබේ.

රටෙහි නරක අතට හැරෙන ආර්ථික තත්වය පිලිබඳව රාජපක්ෂ ආන්ඩුවට සියලු දොස් පැවරීම අවම වශයෙන් කියනවා නම් කුහකය. ලෝකය පුරා වෙලඳ භාන්ඩ අපනයන කරන රටවලට දැනටමත් බලපා ඇති ගෝලීය ආර්ථික අර්බුදය නිසාවෙන් ලංකාවටත් එහි අපනයනයන්ටත් දිගින් දිගටම පහර වැදෙමින් තිබේ.

“ආදායම් මට්ටම්හි බරපතල අසමතුලිතතාව” වික‍්‍රමසිංහගේ සැලකිල්ලට භාජනය වුවත්, 1977 දී ඔහුගේම එජාප ආන්ඩුවෙන් පටන්ගෙන පසුව අනෙකුත් ආන්ඩු විසින් ද පවත්වා ගෙන ගිය, සමාජ සේවා සහන කැපීම, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය හා සහනාධාර කප්පාදු ඇතුලත් වෙලඳපොල ගැති ප‍්‍රතිපත්ති, දුප්පතුන් හා ධනවතුන් අතර පරතරය ඉමහත් ලෙස පුලුල් කර ඇත.

2001 සිට 2004 දක්වා පැවති වික‍්‍රමසිංහගේ කලින් පැවති ආන්ඩුව විසින් ලෝක බැංකුවේ අනුමැතිය සහිතව ක‍්‍රියාත්මක කල ‘යලි පුබුදමු ශ‍්‍රී ලංකා’ වැඩ සටහන තුලින් සමාජ බෙදීම ගැඹුරු කල අතර පසුකාලීනව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හා රාජපක්ෂ ගේ ආන්ඩු විසින් මෙය දිගටම කර ගෙන යන ලදී. වික‍්‍රමසිංහ විසින් දැන් කතා කරනු ලබන ප‍්‍රතිපත්ති සමාජ බෙදීම තවදුරටත් ගැඹුරු කරනු ඇත.

වර්තමානයේ දදේනියෙන් සියයට 6.8 ක් වන අයවැය හිඟය 2020 දී සියයට 3.5 දක්වා අඩකින් කපා හරින ලෙසට කර ඇති ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නිර්දේශ ඉෂ්ට කිරීම වික‍්‍රමසිංහගේ ආර්ථික ප‍්‍රකාශනයේ කේන්ද්‍රීය කාරනයයි. මෙය කල හැකි වන්නේ මිල සහනාධාර කප්පාදුවත්, පුද්ගලීකරනය හඳුන්වා දීමත් හා සාමාන්‍ය ජනතාව මතට බදු බර පැටවීමත් මගිනි.

රාජ්‍ය අංශයේ ආයතන සඳහා “පුද්ගලික අංශය අනුගමනය කරන ආකාරයේ කාර්යක්ෂම වැඩ පිලිවෙලක්” හඳුන්වා දී ඒවා ලාභ ලබන ආයතන හැටියට ඵලදායීව වෙනස් කරන්නට වික‍්‍රමසිංහ යෝජනා කලේය. සියලු රාජ්‍ය ආයතන, භාන්ඩාගාර ලේකම්, මහ බැංකු අධිපති, වානිජ මංඩලයේ, වෘත්තීය සමිති හා ඊනියා සිවිල් සමාජ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් “රාජ්‍ය දේපල සංස්ථාව” හා “පොදු සම්පත් භාරය ” යටතේ තබනු ඇත.

රාජ්‍ය ව්‍යවසායයන්ගේ කොටස් රට තුල හා ගෝලීය ආයෝජකයින්ට විකුනනු ලබන අතර ඵලදායිත්වය ඉහල දැමීමට උනන්දු කරවීමේ උපක‍්‍රමයක් ලෙස සේවකයන්ට ද කොටස් ලබා දෙනු ඇත. මොඩලය වන්නේ රාජ්‍යයට අයත් ව්‍යවසායයන් ලාභ උපයන වානිජ ආයතන ලෙස පවත්වා ගෙන යන සිංගප්පූරුවේ ටෙමාසෙක් ක‍්‍රමයයි.

“ආන්ඩුව පුද්ගලික ව්‍යවසායයන් පවරා නොගන්නා බවට” අගමැති යලි යලිත් සපථ කරන අතර රාජපක්ෂ පරිපාලනය තුල “පවරාගත් ව්‍යාපාර” යලි නිදහස් කිරීම ගැන සලකා බැලීමට ද අගමැති පොරොන්දු විය. ව්‍යාපාරික කටයුතු කර ගෙන යාමට ඇති බාධා තව තවත් අඩු කිරීමේ “ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීමට නව නීති ගෙන එන බව” ඔහු සඳහන් කලේය. එවන් එක් අවශ්‍යතාවයක් වන්නේ දිවයිනේ ඉඩම් අත් කර ගැනීමට විදේශිකයන්ට පවතින බාධා ඉවත් කිරීමයි.

වික‍්‍රමසිංහගේ අනෙක් යෝජනාවන්ට ඇතුලත් වන්නේ:

⋆ සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල යන රටෙහි විශාලතම අරමුදල් පවරා ගනිමින් භාරකාර මන්ඩලයක් මගින් පාලනය කෙරෙන “ජාතික විශ‍්‍රාම අරමුදලක්” පිහිටුවීම. දැන් රුපියල් ටි‍්‍රලියන 1.7ක් වන (ඇ. ඩො. බිලියන 11.9) විශ‍්‍රාම අරමුදල පරිපාලනය කෙරෙන්නේ මහ බැංකුව විසිනි. වඩා විශ්වාසවන්ත පරිපාලනයක් සැපයීමේ මුවාවෙන් මෙම වෙනස මගින් මඟ පාදනු ඇත්තේ බොහෝ කලක් තිස්සේ ජාමූඅ නිර්දේශ කල ලෙස කොටස් වෙලඳපල හරහා ව්‍යාපාරයන්ට මෙම මුදල් ලබා ගැනීමට සැලැස්වීමයි.

දැනට විශ‍්‍රාම වැටුප් අරමුදලෙන් ගෙවීම් කරන්නේ, විශ‍්‍රාම ගැනීමේදී එකවර ගෙවන මුදලක් ලෙසිනි. අරමුදල් ආයෝජනයේ දිගටම යොදවා තැබීම සඳහා මාසික විශ‍්‍රාම වැටුපක් හඳුන්වා දීමේ සිය බලාපොරොත්තුව ආන්ඩුව අඟවා තිබේ. සේවක අර්ථසාධක අරමුදලට මෙවැනිම වෙනස්කම් හඳුන්වා දීමට 2011 දී රාජපක්ෂ කල උත්සාහය කටුනායක නිදහස් නිදහස් වෙලඳ කලාපය තුල වර්ජනයකට තුඩු දුන් අතර එක් කම්කරුවෙකු ඝාතනය කෙරුනු ප‍්‍රචන්ඩ පොලිස් මර්දනයකට මඟ පෑදීය. ආන්ඩුවට එම ක‍්‍රියාවලිය අකුලා ගැනීමට බල කෙරිනි. “අත්දැකීම් වලින් ඉගෙන ගන්නා ලෙස” හා “ගින්දර සමග සෙල්ලම් නොකරන” ලෙසට අයිලන්ඩ් කතුවැකිය අනතුරු හැඟවීය

⋆ අඩු බදු හා අනෙක් පහසුකම් භුක්ති විඳින දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයන් සඳහා ආයෝජන කලාප ඇති කිරීම. රටෙහි නොයෙක් ප‍්‍රදේශ වල වර්ග සැතපුම් 20 සිට 200 දක්වා වූ කලාප ඇති කිරීම. මින් හම්බන්තොට, රයිගම, ත‍්‍රිකුනාමලය හා මහනුවර යන ප‍්‍රදේශ වල කලාපයන් ලබන වසරේදී ඇති කිරීමට නියමිතය.

⋆ විශ්ව විද්‍යාල පුද්ගලීකරනය දිගටම ගෙන යාම. “තාක්ෂන මන්ඩප, තෘතීය පුහුනු ආයතන, හා පුද්ගලික විශ්ව විද්‍යාල වත්මන් විශ්ව විද්‍යාල සමගම පිහිටුවා පවත්වා ගෙන යාම” පිලිබඳව වික‍්‍රමසිංහ කතා කලේය. “අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ සිසුන්ට” මෙම ආයතන වලට ඇතුල් වීමේ ඉඩකඩ සලසන වව්චර් ක‍්‍රමයක් ඔහු හඳුන්වා දුන්නේය. වෙනත් වචන වලින් කිවහොත් ඔවුන් ඉගෙන ගත්තේ කොහේ ද යන්න නොසලකා ඒ ඒ සිසුන්ට අරමුදල් සැපයෙන බවයි. මෙය රජයේ විශ්වවිද්‍යාල වලට වල කපන අතර ලාභ උපයන පෞද්ගලික ආයතන වලට අරමුදල් සැපයීමට නොවෙනස් ක‍්‍රියාවලියකි.

⋆ “ග‍්‍රාමීය ආර්ථිකය නැංවීමේ” නාමයෙන් “ගොවීන්හට සාමාජිකයන් බවට පත් විය හැකි, අපනයන වෙලඳපල සඳහා නිපදවන මහා පරිමාන කෘෂිකර්ම ව්‍යවසායයන්” ඇති කිරීම. මෙය දුප්පත් ගොවීන්ගේ වියදමෙන් කෘෂිකර්ම ව්‍යවසායයන් දිරි ගැන්වීමේ තවත් වැඩ පිලිවෙලකි.

මහා ව්‍යාපාරයන්ට සිය අනුග‍්‍රාහකත්වය පුද කරමින් වික‍්‍රමසිංහ පුරසාරම් දෙඩුවේ 1977දී එජාපය වෙලඳපල ආර්ථිකය පන ගැන්වූ බව කියමිනි. එනමුදු එහි ප‍්‍රතිපල පිලිබඳව ඔහු කිසිවක් කීවේ නැත. වෙලඳ පල ගැති ක‍්‍රියා මාර්ගයන්ට එරෙහිව පැන නැගුනු මහ වර්ජනය මැඬීමට 1980දී එජාප ආන්ඩුව රජයේ සේවකයන් 100,000ක් දොට්ට දැමුවේය. වැඩෙන සමාජ ආතතිය මධ්‍යයේ එම ආන්ඩුව කම්කරු පන්තිය බෙදීමට දෙමල විරෝධී ප‍්‍රකෝපකරනයන් ඇති කර ගොඩ නැගූ විෂ සහිත වර්ගවාදී වාතාවරනය මගින් දිවයින 26 අවුරුදු සිවිල් යුද්ධයට ඇද දැමීය.

එජාපයේ වාර්තාව පිලිබඳව පාරට්ටු කරමින් අගමැති ව්‍යංගයෙන් කියා සිටියේ ඔහුගේ පක්ෂය එහි දිගුකාලීන විරුද්ධවාදියා වූ ශ‍්‍රීලනිපයට වඩා මහා ව්‍යාපාරික න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට දැමීමේ හැකියාවෙන් යුක්ත බවයි. එජාපය දැන් ශ‍්‍රීලනිපය සමග සභාගයකින් වෙලඳපල ගැති ක‍්‍රියා මාර්ග ඉදිරියට ගෙන යන අතර දැනටම ඉස්මතු වෙමින් ඇති කම්කරු පීඩිත ජනයාගේ විරුද්ධත්වය මැඩලයි.

වෘත්තීය සමිති හා “සිවිල් සමාජය” ලෙස හැඳින්වෙන බොහෝ ආන්ඩුවේ නොවන සංවිධාන හා මධ්‍යම පන්තික කන්ඩායම් වල සහය ගොනු කර ගනිමින් විශ‍්‍රාම අරමුදල් වෙනස් කිරීම, අවම වැටුප් තීන්දු කිරීම හා පුද්ගලීකරනය ට එරෙහි විරුද්ධත්වය කොටුකර මැඩලීමට එජාපය උත්සාහ දරයි.

ලංකා වානිජ මන්ඩලය, ජාතික වානිජ මන්ඩලය, අපනයනකරුවන්ගේ සංගමය ඇතුලු නොයෙකුත් ව්‍යාපාරික දෘෂ්ටි මන්ඩල ගනනාවක් වික‍්‍රමසිංහගේ ප‍්‍රකාශයට වහාම ප‍්‍රශංසා කලේ එමගින් “ආන්ඩුවේ අනාගත සැලසුම් පිලිබඳ වැදගත් දිශාවනතියක්” සැපයෙන බව කියමිනි.

යුරෝමනි සඟරාවේ අනුග‍්‍රහයෙන් ප‍්‍රකෝටිපති ජෝර්ජ් සොරෝස් ගේ සහභාගිත්වය සහිතව ජනවාරියේදී ආර්ථික සමුලුවක් පැවැත්වීමට වික‍්‍රමසිංහ යෝජනා කලේය. ජනවාරියේදී ඩවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුලුවට සහභාගි වීමට ආන්ඩුවට ආරාධනා ලැබී ඇතැයි ඔහු උදම් ඇනුවේය.v

රටෙහි ලඹ දෙන ගෙවුම් ශේෂ අර්බුදය යම් තාක් දුරට සමහන් කර ගැනීම සඳහා විදේශ ආයෝජන සැලකිය යුතු ලෙස ආකර්ෂනය කර ගැනීම වික‍්‍රමසිංහගේ පැහැදිලි එල්ලයකි. වර්තමානයේදී ආන්ඩුවේ ආදායමෙන් සියයට 35 ක් නය ආපසු ගෙවීම සඳහා යෙදවේ. මූල්‍ය අර්බුදයක් වලක්වා ගැනීම සඳහා ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇ. ඩො. බිලියන 4.6ක නය මුදලක් ඉල්ලා ඇත.

වික‍්‍රමසිංහ ගේ ප‍්‍රකාශය සකසා ඇත්තේ, ඔහුගේ ආන්ඩුව ජාමූඅ නියෝග ක‍්‍රියාවට දමමින් වැඩෙන අර්බුදයේ බර කම්කරු පීඩිත ජනතාව මත පටවන බවට මහා ව්‍යාපාරයන්ට යලි සහතික කිරීම සඳහා ය.

Share this article: