මාදුලුවාවේ සෝභිත (1942-2015) : ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හා සමාජ සාධාරනත්වයේ ව්‍යාජ සලු පොරවා ගත් දක්ෂිනාංශික භික්ෂුවක්

පානි විජේසිරිවර්දන විසිනි, 2015 නොවැම්බර් 21

ශී‍්‍ර ලංකාවේ ධනේශ්වරය හා එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදය වෙනුවෙන් ප‍්‍රධානතම දේශපාලන කාර්ය භාරයක් ඉටු කලාවූ ද සිංහල වර්ගෝත්තමවාදයේ සහ කුරිරු යුද්ධයේ උද්ඝෝෂකයෙකු වූ ද මාදුලුවාවේ සෝභිත භික්ෂුව පසුගිය නොවැම්බර් 8 දා සිංගප්පූරුවේ දී මිය ගියේය. මියයන විට 73 වන වියේ පසුවූ සෝභිත කොලඹ පාලක පන්තියට ඉටුකර දුන් සේවාව වෙනුවෙන් ඔහුගේ අවසන් කටයුතු, මහජන මුදලින්, සියලු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමටත් නොවැම්බර් 12 වන දා ජාතික ශෝක දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමටත් වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව පියවර ගත්තේය.

සෝභිත වාසය කල කෝට්ටේ නාග විහාරයේ සිට, ගුවනින් මල්වැසි වස්සවමින් ගෙනඑන ලද ඔහුගේ දේහය ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ඉදිරිපිට ඉදිකොට තිබූ දැවැන්ත චිතකයක දවාලීය. දේශීය හා විදේශීය රාජ්‍ය තාන්ති‍්‍රකයන්ගේ සහභාගිත්වයෙන් රාජ්‍ය අවමගුල් උත්සවය පැවැත්විනි.

සෝභිත ජීවත්ව සිටියදී හෝ අවම වශයෙන් මරනාසන්නව රෝගීව සිටියදී පවා ඔහු පිලිබඳව සැලකිය යුතු මහජන උත්සුකයක් නොමැතිව තිබූ තතු යටතේ, ඔහුගේ මෘත දේහය වටා ජනකායක් පෙල ගැසීම මහා විකෘතියක් ලෙස සිතන මතන කවරෙකුට හෝ පෙනීයාම නොවැලැක්විය හැකිය. සැබැවින්ම ඔහුට ලැබුනු බුහුමන ඔහුට තිබුනු මහජන ප‍්‍රසාදයක පිලිබිඹුවක් නොවේ. මෙම බුහුමන වනාහි ශී‍්‍ර ලංකාවේ ධනපති පන්තිය, විශේෂයෙන්ම වත්මන් ආන්ඩුව, තම මුලු වෙර යොදා නිර්මානය කරන ලද්දකි. තම දේශපාලනික අරමුනු ඉටු කරගනුවස් මල සිරුරු ඔජවැඩවීමේ ප‍්‍රතිගාමී සම්ප‍්‍රදාය ශී‍්‍ර ලංකාවේ පාලක පන්තියේ පරවේනික උරුමයකි. ප‍්‍රජාතන්ත‍්‍රීය හා සමාජ අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාර හේතුවෙන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන කෝපය සෝභිත කෙරෙහිද එල්ල වෙමින් තිබියදීය, ඔහුගේ අවමගුල වටා සානුකම්පිකභාවයක් ගොඩනංවන ලද්දේ. ඒ සමගම පසුගිය ජනවාරි 8 දා ඔහුගේ ද සහභාගිත්වයෙන් එක්සත් ජනපද ගැති ප‍්‍රතිගාමී තන්ත‍්‍රයක් පිහිටුවා ගැනීම මහජනතාව ලැබූ විජයග‍්‍රහනයක් ලෙස හුවා දැක්වීමටත් මෙම මරනය යහමින් යොදා ගැනීමට ආන්ඩුව ගනන් බැලූ බව සෑම අතින්ම පැහැදිලි වෙයි.

සෝභිත මියගිය බව සැලවූ වහාම නාග විහාරයට ගිය අගමැති රනිල් වික‍්‍රමසිංහ අවමගුල ඉහලම ගෞරවයෙන් සිදු කරන බවට ශපථ කරනවාත් සමගම ධනපති මාධ්‍යයන්හි කුලියට ලියන්නන් සහ ධනේශ්වරයේ ආවතේවකාර ඊනියා බුද්ධිමත්හු වැඩ ආරම්භ කලහ. සෝභිත ගේ නැති ගුන ගැයෙමින් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ අතොරක් නොමැතිව පල වූ කතුවැකි හා ලිපි සරනියෙන් ද, විද්‍යුත් මාධ්‍යයන් හි නිරන්තරව විකාශය වූ වැඩසටහන් මාලාවෙන් ද, ඔහු ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ’, ‘සමාජ සාධාරනත්වයේ’ හා ‘යහපාලනයේ’ මුදුන්මල්කඩක් ලෙස චිත‍්‍රනය කෙරුනි. සෝභිත කෙරෙහි ක්ෂනිකව උපන් අනපේක්ෂිත මහජන සානුකම්පිකභාවය සහ ගෞරවය මෙම ව්‍යාජයන්ගේ නිර්මිතයකි.

ශී‍්‍ර ලංකාවේ ධනපති පන්තියේ දේශපාලනික සුලං දිශාවේ ප‍්‍රධානතතම දර්ශකයක් වන ඩේලි මිරර් පුවත්පත නොවැම්බර් 9 දා කතුවැකියේ ලියූ ප‍්‍රශස්තිය මෙසේය: ‘ශී‍්‍ර ලංකාවේ නූතන ඉතිහාසය තුල බොහෝ දෙනෙකුට බොහෝ දෑ කල මෙවන් ආගමික නායකයකු මින් පෙර නොසිටියේයැයි පැවසීම සාධාරන හා නිරවද්‍යයැයි අපි විශ්වාස කරන්නෙමු....ජනවාරි 8 දා නිහඬ විප්ලවය තුල පුරෝගාමී සහ කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කල මෙම ආගමික නායකයාට පෙර නොවූවිරූ ආකාරයේ රාජ්‍ය ගෞරව ලැබෙනු ඇත..... මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියට ගැනීම සඳහා අනපේක්ෂිත දොරටුවක් විවෘත කරනු වස් සෝභිත හාමුදුරුවෝ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සමග එකතු වූහ.’

සිරිසේන ඉදිරියට ගැනීමේ සහ ජනවාරි 8 දා සිදුවූ තන්ත‍්‍ර මාරුවේ සැබෑ අරමුන වූයේ, චීනයට නැඹුරුව සිටි මහින්ද රාජපක්ෂ තන්ත‍්‍රය හෙලා, එක්සත් ජනපද හිතකාමී තන්ත‍්‍රයක් බලයට ගෙනඒම බව ඩේලි මිරර් දැනුවත්ව වසන් කරයි. තම දගු කාලීන බත් බැලයන් දෙදෙනෙකු වන වික‍්‍රමසිංහ සහ කුමාරතුංග යොදා ගනිමින් වොෂින්ටනය විසින් සිදු කරන ලද මෙම මෙහෙයුම, චීනය මිලිටරිමය සහ ආර්ථිකමය වශයෙන් වටලෑමේ එක්සත් ජනපද මූලෝපායෙන් නිර්නය වූවකි. මෙම තන්ත‍්‍ර මාරුව සඳහා දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය වටා ව්‍යාජ වාම පක්ෂ සහ පුරවැසි බලය වැනි මධ්‍යම පන්තික ව්‍යාපාර පෙල ගස්වා ගැනීමේ දී සෝභිත ඉටුකල ‘පුරෝගාමී සහ කේන්ද්‍රීය භූමිකාව’ ට කෘතවේදිත්වය පල කරනු වස් පසුගිය අගෝස්තුවේ දී ශී‍්‍ර ලංකාවේ හිටපු එක්සත් ජනපද තානාපතිනි මිචෙල් සිසොන් නාග විහාරයට කල විශේෂ සංචාරය පුදුමයට කරුනක් නොවේ.

විධායකය, ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) සහ අධිකරනය ඇතුලු ශී‍්‍ර ලංකාවේ සමස්ත ධනේශ්වර සංස්ථාපිතය සම්බන්ධයෙන් විශ්වාසය බිඳ වැටී එය කෙරෙහි වැඩෙන මහජන විරෝධය හමුවේ කෙසේ හෝ එම සංස්ථාපිතය රැක දීමේ අරමුනෙන් වැඩට බැසගත් සෝභිත ගේ ‘සාධාරන සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය’ කැපවී ගත්තේ අතලොස්සක් වූ ධනපතියන් සඳහා වන ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජ සාධාරනත්වය ගැන මිස, මහජන අයිතීන් රැකීම සඳහා නොවේ.

අව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ සාධාරනත්වය තහවුරු කල හැක්කේ එක් පන්තියක් විසින් තවත් පන්තියක් මත ආධිපත්‍යය දරන පන්ති සමාජ ක‍්‍රමය අහෝසි කෙරෙන ජාත්‍යන්තර සමාජවාදය ස්ථාපිත කිරීමෙන් පමනකි. එම කාර්යය සඳහා ඓතිහාසිකව නිර්නය වී ඇති පන්තිය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. සෝභිත සහ ඔහුගේ ව්‍යාපාරය තුල ගැලතීගත් අය කම්කරු පන්තියේ මෙම ඓතිහාසික ශක්තිය හා කාර්ය භාරය මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කොට ඊට හතුරුව පිහිටා ගත්තෝය. එම ව්‍යාපාරයේ න්‍යායාචාරියා ලෙස කටයුතු කලේමත් ජාත්‍යන්තර සමාජවාදයේ සතුරෙකු ලෙස කුප‍්‍රකට නිර්මාල් රංජිත් දේවසිරිය.

සෝභිතගේ ව්‍යාපාරයේ තවත් ප‍්‍රමුඛයෙකු වූයේ සමන් රත්නප‍්‍රියයි. වර්ගවාදී යුද්ධය වෙනුවෙන් කම්කරු අරගල යටපත් කිරීමේ හා පාවාදීමේ ද්‍රෝහී ඉතිහාසයකට ඔහු හිමිකම් කියයි. එමෙන්ම ඔහු කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට එරෙහිව ඊනියා බලපෑම් දැමීමේ සීමාව තුල කම්කරුවන් සිර කොට, ධනේශ්වර පද්ධතිය ආරක්ෂා කර දීමට දැනුවත්ව කි‍්‍රයා කරන, වෘත්තීය සමිති නිලධරයේ කුප‍්‍රකට නියෝජිතයෙකි.

රාජපක්ෂ වටා සිටි ඔහුගේ නෑ හිතවතුන් සහ හෙන්චයියන් විසින් සියලු වරප‍්‍රසාද හා වරදාන භුක්ති විඳින තතු යටතේ එම වරප‍්‍රසාදයන් අහිමිවීම සම්බන්ධයෙන් උරනව සිටි පාලක පන්තියේ කොටසක් නියෝජනය කල මොවුහු, ‘යහපාලනය’ සහ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ සඳහා යැයි කියමින් ගෙනගිය උද්ඝෝෂනය වටා රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් එලෙසම උරනව සිටි මධ්‍යම පන්තික කොටස් ගොනු කර ගත්හ.

මේ නඩයට අනුව, සියලු ප‍්‍රශ්නයන්ගේ මූලය වූයේ පාරාජිකා වූ ධනපති ක‍්‍රමය නොව විධායක ජනාධිපති ක‍්‍රමයයි. විධායක ජනාධිපති ක‍්‍රමය ස්ථාපිත කිරීමමත් ලෝක ධනේශ්වර පද්ධතියේ ඓතිහාසික අර්බුදයේ සහ පරිහානියේ ප‍්‍රතිඵලයක් බව ඔවුහු වසන් කලහ. තම ලාභ රේට්ටු කඩා වැටීමට ප‍්‍රතිචාරී ලෙස, ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය විසින් කි‍්‍රයාවේ යොදවමින් සිටි නිශ්පාදනයේ භූගෝලීයකරන කි‍්‍රයාවලියට ශී‍්‍ර ලංකාව ඒකාග‍්‍ර කර ගැනීමේ දී කම්කරු පන්තියෙන් එල්ලවන විරෝධය මැඩලනු හැකි අයුරින් ධනේශ්වර රාජ්‍යය සකසා ගැනීම පාලක පන්තියේ අවශ්‍යතාව විය. 1978 ව්‍යවස්ථාවත් එහි ප‍්‍රධාන අංගයක් වන විධායක ජනාධිපති ක‍්‍රමයත් එම අවශ්‍යතාවයෙන් නිර්නය වූවකි.

2008 න් ඇරැඹි ජාත්‍යන්තර ආර්ථික අර්බුදය වඩවඩාත් ගැඹුරු වන කොන්දේසි යටතේ එහි බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා කි‍්‍රයාවට දමන කප්පාදු වැඩපිලිවෙලවල් වලට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරු පන්තිය මැඩලීම සඳහා ලොවපුරා පාලක පන්තීන් තම රාජ්‍යයන් ශක්තිමත් කරමින් සිටී. ශී‍්‍ර ලංකාව මෙහි ව්‍යතිරේඛයක් නොවේ. සෝභිත ඇතුලු නඩය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන ලෙස පලමුවෙන් ඉල්ලා සිටියේ, තමා මුහුන දී සිටි අර්බුදය හමුවේ එයින් යහමින් ප‍්‍රයෝජන ගනිමින් සිටි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන්මය. එය ව්‍යර්ථව ගිය කල ඔවුන් හැරෙමින් සිටියේ විධායක ජනාධිපති ක‍්‍රමය ගෙන ආ එක්සත් ජාතික පක්ෂය වෙතටයි. වික‍්‍රමසිංහ සහ කුමාරතුංග එකතුව සිරිසේන කරලියට ගෙන ආවේ මෙම පසුබිම තුලය. දෙමල ජන වර්ගයට එරෙහි කුරිරු යුද්ධයේ ලේ වලින් නැහැවී තිබූ සිරිසේන ගේ දෑත් සෝදා ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට පැමිනි සුර දූතයෙකු ලෙස ඔසවා තැබීමේදී සෝභිත සහ ඔහුගේ නඩය ප‍්‍රමුඛව කි‍්‍රයාත්මක වූහ.

සෝභිත සමග මෙම යහපාලන ප්‍රෝඩාවේ ඉදිරියෙන්ම සිටි ව්‍යාජ වාම නායකයෙකු වන, නව සම සමාජ පක්ෂයේ ලේකම් වික‍්‍රමබාහු කරුනාරත්න පසුගිය 15 වන දා රාවය පුවත්පතට දී ඇති සම්මුඛ සාකච්ඡාවක දී ඔවුන් අතර පැවති සන්ධානයේ මූලධර්ම විරහිත අවස්ථාවාදී ස්වභාවය සහ සෝභිතගේ වර්ගවාදයට සලු පැලඳවීම නිර්ලජ්ජිතව අනාවරනය කරන්නේ මෙසේය: ‘එහිදී උන්වහන්සේ ඒකාධිපති ජනාධිපති ක‍්‍රමය, දේශපාලන මනාප ක‍්‍රමය හා බලය බෙදා රට එක්සත් කිරීම යන කරුනු තුන මත තමයි සංවිධාන ගතවුනේ. ආපසු උන් වහන්සේ බලය බෙදීම කියන තුන්වෙනි කාරනාව ප‍්‍රධාන ඉල්ලීම් වලින් ඉවත් කලා. බලය බෙදීමක් නැතිව සාධාරන සමාජයක් ගොඩනැගීමට පුලුවන්ය කියන අදහසේ තමයි පසුව එතුමන් හිටියෙ. සුචරිතවාදීව මේක කරන්න පුලුවන් කියලායි එතුමන් හිතුවෙ. මම නම් කීවෙ එහෙම කරන්න බැහැ යනුවෙන්. ඒත් අපි එකට එකතු වෙලා වැඩ කලා. ඒක අපට ප‍්‍රශ්නයක් වුනේ නෑ.’

ඔවුන් සියල්ල එකතුවී සිදුකල ‘විප්ලවයෙන්’ දැන් බිහිව පවතින්නේ වඩාත් කුරිරු පොලිස් පාලනයකි. ඔවුනගේ ‘යහපාලන ආන්ඩුව’ පානීය ජලය ඉල්ලා සිටි බඳගිරිය ගොවි ජනතාවට සහ එච්එන්ඩීඊ තාක්ෂනික සිසුන්ට පොලීසිය යොදා පහර දුන්නේ රාජපක්ෂට නොදෙවෙනි ආකාරයෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගයන් මත එල්ල කිරීමට නියමිත ප‍්‍රහාරයන්ට එරෙහිව නැගී සටින කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් මැඩීම සඳහා මර්දන යන්ත‍්‍රය ශක්තිමත් කරනු වස් ආරක්ෂක වියදම ඉතිහාසයේ ඉහලම අගයට නංවා ඇත.

අනෙක් අතට, වොෂින්ටනය ආසියාව තුල කි‍්‍රයාත්මක කරන සැලසුම් තුලට, විශේෂයෙන්ම චීනයට එරෙහි සැලසුම් තුලට, ශී‍්‍ර ලංකාව මේ වනවිට වේගයෙන් ඇද ගනිමින් පවතී. චීන මුහදු සීමා තුලට කඩා වදිමින් එක්සත් ජනපද යුද නෞකාවන් දකුනු චීන මුහුදේ සිදු කරන ප‍්‍රකෝපකරනයන් හේතුවෙන් මෙම න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර කවර හෝ මොහොතක යුද්ධයක් ඇවිලයාමේ තර්ජනය මතු කෙරී ඇත. මෙම තතු යටතේ ශී‍්‍ර ලංකාව එක්සත් ජනපද යුද යන්ත‍්‍රයට බැඳ තැබීමෙන් ශී‍්‍ර ලංකාවේ පමනක් නොව ඉන්දියානු උප මහාද්වීපීය කලාපය තුල වෙසෙන සමස්ත මහජනතාව මුහුන දී සිටින අතිමහත් ව්‍යසනය සම්බන්ධයෙන් සෝභිත ඇතුලු යහපාලන නඩය ඝෘජුවම වගකිව යුතුය.

මේ සියලු ව්‍යසනයන් වහංගු කිරීම සඳහා සෝභිත ගේ අවමංගල සභාව අමතමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මෙසේ පැවසීය: ‘මේ රටේ ජනයාට ජීවත් වෙන්න පුලුවන් යහපත් සාධාරන සමාජයක් ඇති කරන්නත් නීතියේ පරමාධිපත්‍යය තහවුරු කරන්නත් ශී‍්‍ර ලාංකික ජනතාව එකමුතු කරන්නත් උන් වහන්සේ උත්සාහ ගත්තා. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කි‍්‍රස්තියානි මේ සියලු දෙනා එකතු කර ගන්නයි උන් වහන්සේ කි‍්‍රයා කලේ.’

‘ශී‍්‍ර ලාංකික ජනතාව එකමුතු කිරීම’ පිලිබඳ සෝභිත ගේ සැබෑ ඉතිහාසය, වික‍්‍රමසිංහ ගේ ඉහත මුසාව ට මුලුමනින්ම විපරීතය. සෝභිත යනු සිංහල සහ දෙමල කම්කරු පන්තිය බෙදීමට කොලඹ පාලකයන් ගෙනගිය වර්ගවාදී යුද්ධයට පූර්න සහාය පලකල හා ඒ වෙනුවෙන් පෙරමුනේම සිට උද්ඝෝෂනය කල තැනැත්තෙකි. දෙමල පීඩිත ජන වර්ගයට එරෙහිව පිහිටුවන ලද සිංහල-බෞද්ධ ‘ඒකීය රාජ්‍යය’ රැකීම සඳහා දිවි හිමියෙන් කැප වූවෙකි.

1987 දී අත්සන් කෙරුනු ඉන්දු- ලංකා ගිවිසුමට එරෙහිව ‘මව්බිම සුරැකීමේ ව්‍යාපාරය’ නමින් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සමග එක්ව ගෙනගිය රුදුරු වර්ගවාදී උද්ඝෝෂනය තුල සෝභිත ප‍්‍රමුඛතම කාර්ය භාරයක් ඉටු කලේය. දෙමල ජනතාව රවටා කොලඹ පාලනයේ මර්දනයට යටත් කිරීම සඳහා ඉදිරිපත් කෙරුනු මෙම ගිවිසුම ‘මව්බිම පාවාදීමක්’ ලෙස හඳුන්වමින් ගෙනගිය මෙම වර්ගවාදී උද්ඝෝෂනයට සහභාගිවීම ප‍්‍රතික්ෂේප කල කම්කරුවන් සහ දේශපාලන විරුද්ධවාදීන් සිය ගනනක් ජවිපෙ ප‍්‍රමුඛ ‘මවුබිම සුරකින්නන්’විසින් මරා දැමින. ජවිපෙ සමග උපායශීලී සන්ධානයකට ගිය එජාප ආන්ඩුව පසුව කුරිරු මිලිටරි ප‍්‍රහාරයක් දියත් කරමින් 60,000 කට අධික සිංහල තරුනයන් මරා දැමීය.

කෙසේ නමුත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක ධනේශ්වරය වෙනුවෙන් තම මෙහෙවර ඉටු කිරීම පහසුවනුවස් කවර හෝ දේශපාලන පක්ෂයකට ඝෘජුව සම්බන්ධ නොවීමට වග බලා ගත් සෝභිත ධනේශ්වර සන්ධාන ගොඩ නැගීමේ ලා මෙම ‘නිර්පාක්ෂික’ බව යහමින් යොදා ගත්තේය. සෝභිතගේ අවමගුලේ අවසන් කතාව කල ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඔහුගේ ‘නිර්පාක්ෂිකභාවය’ අගය කරමින් මෙසේ පැවසීය: ‘දේශපාලන පක්ෂයකින් තොරව යහපත් චේතනාවන් මුල් කර ගෙන උන් වහන්සේ තම ශාසනික සේවාවත් සමාජ සේවාවත් පසුගිය දශක කීපයේ සිදු කලා. යුද්ධයෙන් හිරිහැරයට පත්වුනු සියලු ජන කොටස් වෙනුවෙන් මහා මෙහෙවරක් ඉටු කලා.’ යුද්ධයේ කසකරුවෙකු වූ සෝභිත යුද්ධයෙන් හිරිහැරයට පත්වුනු සියලු ජන කොටස් සම්බන්ධයෙන් දැක්වූයේයැයි කියන සානුකම්පිකභාවය යුද්ධය ගෙනගිය සිරිසේනලා ඔවුන් කෙරෙහි දක්වන සානුකම්පිකභාවය තරමටම ව්‍යාජය, කුහකය.

අනතුරුව සිරිසේන, තමා බලයට ගෙනඒම වෙනුවෙන් සෝභිත ඉටුකල කාර්ය භාරය වෙනුවෙන් කෘතවේදී වෙයි. ‘ඒ යුග මෙහෙවරෙහි ක‍්‍රමික වූ අවස්ථාවක් ලෙස පසුගිය ජනවාරි 8 වැනිදා ට පෙර යහපාලනයක් ගොඩ නගන්න කටයුතු කලා. මා අද ජනාධිපති ධුරයේ සිටින්නේ ඒ යහපාලනයේ නිර්මාතෘවරයානන් වන උන් වහන්සේ නිසා.’

මහජනතාවගේ ප‍්‍රජාතන්තී‍්‍රය සහ සමාජ අයිතීන් තලා දැමීම කි‍්‍රයාවට නගන මෙම ආන්ඩුව බලයට ගෙන එමින්, කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ වෛරයට ලක්වෙමින් පැවති ධනේශ්වර දේශපාලන සංස්ථාපිතය ආරක්ෂා කිරීම සඳහා දරදිය ඇදීමේ නිරත වූ රාවය පත‍්‍රයෙහි දේශපාලන ලියුම්කරු සෝභිත ගේ දේශපාලන භූමිකාව මෙසේ පැහැදිලි කර තිබුනි. ‘නව ආන්ඩුව ආරම්භයේ සිටම යන බකල ගමනින් හති වැටී සිටි ජනතාව යලි ඡන්දපොලින් පිටමංවීමේ අනාගත අනතුර වැලකී ගියේ අන් බලවේග සමගින් සෝභිත හිමියන් නායකත්වය ගෙන නැගූ හඬ හේතුවෙනි.’ ව්‍යාජ වම්මුන් හැමදෙනාම සෝභිත සමග ශ‍්‍රමය වැගුරුවේ කම්කරුවන්ගේ සහ පීඩිතයින්ගේ විප්ලවවාදී ගමනට මග අවුරා ව්‍යසනකාරී අධිරාජ්‍යගැති ධනපති ක‍්‍රමය රැකීමටයි.

සමාජ සාධාරනත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) මුල සිටම දැරුවේ මෙම ව්‍යාජ වම්මු සහ සෝභිත ඇතුලු සන්ධානයේ ආස්ථානයට ප‍්‍රතිකූල කම්කරු පන්තික ආස්ථානයකි. සාධාරන සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඉදිරිපත් කල වැඩපිලිවෙල පිලිබඳ සසප නිල ස්ථාවරය දන්වන ලෙස ඉල්ලා එම සංවිධානය විසින් 2014 ඔක්තෝබර්10 වන දා එවන ලද ලිපියට අපි මෙසේ පිලිතුරු දුන්නෙමු: ‘ලොවපුරා මෙන්ම ලංකාවේ ද මහජනතාව අද මුහුන දී සිටින අභියෝගය වන්නේ විප්ලවවාදී පෙරටු බලඇනිය වන කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයෙන් ද ඊට කැප වූ නායකත්වයෙන් ද සන්නද්ධ කර පීඩිත ජනතාවන් සහ තරුනයන් ඒ වටා විප්ලවවාදී ලෙස පෙල ගස්වා ගැනීමයි. එවන් ව්‍යාපාරයක අරමුනු වන්නේ ධනපති පාලනයට පාර්ලිමේන්තුවාදී පැලැස්තර ඇලවීම නොව එම පාලනය පෙරලා දැමීමේ විප්ලවවාදී අරගලයට පිවිස ගැනීමය. එම ඉලක්කය ජය ගැනීමේදී ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට පාරාජිකාවූ පාර්ලිමේන්තු ක‍්‍රමයට මාරුවීම නොව මහජන ඡන්දයෙන් පත්කර ගන්නා ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් මගින් සියලු මර්දනකාරී නීති අහෝසි කොට කම්කරුවන්ගේ සහ සියලු පීඩිතයන්ගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් තහවුරු කෙරෙන නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට සටන් වැදිය යුතුය.’ අද දින සනාථ වී ඇත්තේ එම ආස්ථානයේ නිරවද්‍යතාවයයි.

Share this article: