ජර්මනියෙහි පැවැත්වූ රැස්වීම් ලියොන් ට්‍රොට්ස්කිගේ අභාවයෙන් 75 වන සංවත්සරය සමරයි

Meetings in Germany mark the 75th anniversary of the death of Leon Trotsky

අපේ වාර්තාකරුවන් විසිනි, 2015 නොවැම්බර් 23

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ 75 වන සංවත්සරය සමරමින් ජර්මනියේ බර්ලින්, ෆ‍්‍රෑන්ක්ෆර්ට් හා බොකම් යන නගරවල පැවැත්වූ රැස්වීම්වලට 200කට වැඩි පිරිසක් සහභාගි වූහ. රැස්වීම්වල දී ඇති වූ සාකච්ඡාවල හරි මැද පැවතියේ වර්තමානයේ යුද්ධය හා ආඥාදායකත්වය දෙසට පවත්නා තල්ලුව හමුවේ ලියොන් ට්‍රොට්ස්කිගේ ජීවිතය හා අදහස් දරන්නා වූ සමකාලීන වැදගත්කම පිලිබඳ කරුන යි.

බර්ලිනයේ හම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ පැවති සසජාතශි රැස්වීම

බර්ලිනයේ හම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ පැවති රැස්වීමට ශිෂ්‍යයෝ හා තරුනයෝ 100ක් පමන සහභාගි වූහ. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ලේකම් පීටර් ෂ්වාර්ස් ප‍්‍රධාන දේශනය ආරම්භ කලේ වර්තමාන සමාජ, දේශපාලන සහ භූ දේශපාලන අර්බුදය පිලිබඳ විශ්ලේෂනයකිනි.

“ධනවාදී සමාජය යලි වතාවක් ලෝක පරිමාන වශයෙන් ගැඹුරු අර්බුදයකට මුහුන දී සිටිනවා. මිලිටරිවාදය, ජාතිකවාදය හා ෆැසිස්ට් බලවේග වර්ධනය වෙමින් පවතිනවා,” ෂ්වාර්ස් පැවසී ය. “නොවැම්බර් 13 දා පැරිසියෙහි භයංකර ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ල වුනේ මේ න්‍යාය පත‍්‍රය පෙරට දැමීමට ඔන්න මෙන්න කියා තිබූ මොහොතේ ම යි. ප‍්‍රමුඛ පෙලේ ජර්මානු පුවත්පත් -- විශේෂයෙන් ම Frankfurter Algemeine Zeitung yd Die Welt -- ත‍්‍රස්තවාදී ප‍්‍රහාරවලට ප‍්‍රතිචාර දක්වා තිබෙන්නේ ඒකාධිපතිවාදී රාජ්‍යයක් හා දක්ෂිනාංශික ආන්ඩුවක් ඉල්ලා සිටිමිනු යි.”

කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් වැඩි දෙනෙකු මෙම තල්ලුවට විරුද්ධ නමුත් ඔවුන්ගේ විරුද්ධත්වයට කිසිදු දේශපාලනික ප‍්‍රකාශනයක්, කිසිදු ඉදිරි දර්ශනයක් අත් කර ගත නොහැකි බව ෂ්වාර්ස් කියා සිටියේ ය. 1930 ගනන්වල වයිමාර් සමූහාන්ඩුව ඇද වැටුනු මොහොතේ මෙන් අද ද කුඩා කල්ලියක් -- විරුද්ධ නො වී ඉඩ හැරිය හොත් -- අන්ත දක්ෂිනාංශික න්‍යාය පත‍්‍රයක් පිලිගැන්නවීමට තර්ජනය කරමින් සිටී.

මෙම තත්ත්වය තුල දී ට්‍රොට්ස්කිගේ ජීවිතය හා ලියවිලි හැදෑරීම අතිශයින් ම වැදගත් වේ.

ට්‍රොට්ස්කි ඝාතනය දේශපාලනික සංහාරයක කූට ප‍්‍රාප්තියක් වූ බව ෂ්වාර්ස් ප‍්‍රකාශ කලේ ය.

“මාක්ස්වාදීන් විසින් දශක ගනනාවක් තිස්සේ ගොඩ නගා ගෙන තිබූ සමස්ත සමාජවාදී සංස්කෘතියට ම එරෙහිව ස්ටැලින්වාදී භීෂනය එල්ල කෙරුනා. විශේෂයෙන් ම මේ ජර්මනියේ දී එසේ සිදු වුනා. ඔක්තෝබර් විප්ලවයෙන් පසුව සෝවියට් සංගමය තුල දියුනු තියුනු වූ මේ භීෂනය” කම්කරු පන්ති විඤ්ඤානයේ අක්මුල්වලට ම පහර දුන්නා. මේ අයුරින් සමාජවාදී කම්කරු ව්‍යාපාරයේ ගෙල නොසිඳුනා නම් දෙවන ලෝක යුද්ධය හා නාසි ජන සංහාරය ඇති නො වෙන්න ඉඩ තිබුනා.”

මෙම විප්ලවවාදී සමාජවාදීන්ගේ පරම්පරාවේ වඩාත් ම කැපී පෙනෙන නියෝජිතයා වූයේ ට්‍රොට්ස්කි ය. ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක වැදගත්කම මුල දී ම අවබෝධ කර ගත් ඔහු නොනවතින විප්ලව න්‍යාය වර්ධනය කලේ ය. මේ අර්ථයෙන් ගත් කල ඔහු ලෙනින් ලඟට ඔක්තෝබර් විප්ලවයේ වඩාත් ම වැදගත් නායකයා වූවා පමනක් නො ව සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදී පරිහානියට එරෙහි අශමනීය විරුද්ධවාදියෙක් ද වූයේ ය.

ජර්මානු ධනවාදය යුද්ධය හා ෆැසිස්ට්වාදය කරා තල්ලූ කරන ලද්දේ වෛෂයික ගාමක බලවේග මිස අනෙකක් විසින් නොවන බව ට්‍රොට්ස්කි අවබෝධ කර ගත්තේ ය. තවත් ලෝක යුද්ධයකට යාමට කම්කරු පන්තියට බල කිරීම සඳහා සියලු කම්කරු සංවිධාන කුඩු කර දැමිය යුතු විය.

“කොමියුනිස්ට්වාදී පෙරටු බලඇනිය වනසා දැමීම පමනක් නො ව සමස්ත කම්කරු පන්තිය ම බලාත්කාරයෙන් අසමගි කොට තබා ගැනීම ද ෆැසිස්ට්වාදයේ කර්තව්‍යයකි,” ෂ්වාර්ස් 1932 දී ට්‍රොට්ස්කි ලියූ What Next? (මීලඟට කුමක් ද?) නම් ලිපියෙන් උපුටා දැක්වූයේ ය.

ට්‍රොට්ස්කි මෙම අවබෝධය පදනම් කර ගෙන නාසීන්ට එරෙහිව කම්කරු පක්ෂවල -- එනම් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ (එස්පීඩී) සහ ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ (කේපීඩී) -- එක්සත් පෙරමුනක් උදෙසා පෙනී සිටියේ ය. ෆැසිස්ට්වාදයේ අනතුර පවතින බව පිලිගැනීම ප‍්‍රතික්ෂේප කල කේපීඩීය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය නාසීන්ගේ සමාජ-ෆැසිස්ට්වාදී නිවුන් සොහොයුරා ලෙස හැඳින්වූ අතර අවසානයේ හිට්ලර් චාන්සලර් තනතුරට පත් වූ විට කිසිදු ප‍්‍රතිරෝධතා ව්‍යාපාරයක් සංවිධානය නො කර සිටියේ ය.

කේපීඞීය හා කොමියුනිස්ට් ජාත්‍යන්තරය මෙම විනාශයෙන් කිසි පාඩමක් උකහා නොගත් තත්ත්වය තුල තුන් වන ජාත්‍යන්තරය ප‍්‍රකෘතිමත් කිරීම තව දුරටත් කල නොහැකි යැයි නිගමනය කල ට්‍රොට්ස්කි හතර වන ජාත්‍යන්තරය ගොඩ නැගීමට කැඳවුම් කලේ ය. “මීලඟ ඓතිහාසික කාල පරිච්ඡේදය තුල දී සමාජවාදී විප්ලවයක් සිදු නොවුව හොත් මානව වර්ගයාගේ සමස්ත සංස්කෘතිය ම විනාශයේ තර්ජනයට ලක් වනු ඇත,” ෂ්වාර්ස් හතර වන ජාත්‍යන්තරයේ සමාරම්භක ලියවිල්ලෙන් උපුටා දැක්වී ය. “දැන් සියල්ල රඳා පවත්නේ කම්කරු පන්තිය මත ය, එනම් එහි විප්ලවවාදී පෙරටු බලඇනිය මත ය. මානව වර්ගයාගේ ඓතිහාසික අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය බවට සිඳී ඇත.”

ස්වෙන් වූර්ම්

දෙවන කථිකයා වූ හම්බෝල්ට් විශ්ව විද්‍යාලයෙහි ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සසජාතශි නියෝජිතයා වන ස්වෙන් වූර්ම් විශ්ව විද්‍යාල තුල සසජාතශි කරන වැඩ කටයුතු සඳහා මෙම කාරනාවල ඇති වැදගත්කම ගැන කතා කලේ ය. විශ්ව විද්‍යාල තුල යුද්ධය උදෙසා කෙරෙමින් පවතින දෘෂ්ටිවාදාත්මක සූදානම ලියොන් ට්‍රොට්ස්කිගේ ඓතිහාසික උරුමයට එල්ල කරන ප‍්‍රහාර සමග අත්වැල් බැඳ ගත්තේ අහම්බෙන් නොවන බව වූර්ම් ප‍්‍රකාශ කලේ ය.

කතාවලින් පසුව වර්තමාන යුද තල්ලුව ගැන සහ ට්‍රොට්ස්කිගේ ජීවිතය හා අදහස් සමග බැඳී ගත් ඓතිහාසික ප‍්‍රශ්න ගැන සජීවී සාකච්ඡාවකට මුල පිරුනු අතර එම සාකච්ඡාව රැස්වීමෙන් පසුව ද අඛන්ඩව පැවතී ගෙන ගියේ ය.

ෆ‍්‍රෑන්ක්ෆර්ට් රැස්වීමේ සාහිත්‍ය මේසය

ෆ‍්‍රෑන්ක්ෆර්ට් රැස්වීමට කම්කරුවෝ හා තරුනයෝ 50 දෙනෙක් පමන සහභාගි වූහ. එය ද අවසන් වූයේ ෂ්වාර්ස් ඉදිරිපත් කල වාර්තාව ගැන කෙරුනු සජීවී සාකච්ඡාවකිනි. සාකච්ඡාවේ හරි මැද පැවතියේ විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීම පිලිබඳ ප‍්‍රශ්නය යි. සහභාගි වූ එක් අයෙක් සසජාතශි හා සසප අනෙක් “වාම” පක්ෂ හා සංවිධාන සමග සන්ධානගත වීමට උත්සාහ කල යුතු යැයි යෝජනා කලේ ය. එම අදහසට එකඟතාව පල කල සිසුවෙක් “කම්කරුවන් තුල තම ශක්තිය පිලිබඳ විශ්වාසය යලි ගොඩ නැගීම සඳහා” පවත්නා වෘත්තීය සමිති තුල සහභාගි වීම අත්‍යවශ්‍ය ද යන ප‍්‍රශ්නය මතු කලේ ය.

මෙවැනි ඉදිරි දර්ශන අසාර්ථක වීමට නියමිත බව ෂ්වාර්ස් අවධාරනයෙන් කියා සිටියේ ය.

“පලමු ප‍්‍රශ්නය විය යුත්තේ මෙය යි: අප අපගේ පක්ෂය ගොඩ නගන්නේ කුමන පදනමක් මත ද?” ජර්මානු විප්ලවවාදී කාල් ලීබ්නෙක්ට් මෙම ප‍්‍රශ්නයට පිලිතුරු දුන්නේ මේ වදන් වලිනි: “පලමුව පැහැදිලිකම, අනතුරුව එක්සත්කම.” ෂ්වාර්ස් මෙසේ ද පැවසුවේ ය: “අද දින කම්කරු පන්තිය තුල කිසිදු පලල් සමාජවාදී ව්‍යාපාරයක් නොපවතින්නේ ඇයි? මෙය වටහා ගත හැකි වන්නේ ස්ටැලින්වාදීන් කල ඓතිහාසික අපරාධ වටහා ගත හොත් පමන යි. ඔවුන් කල මහා ජන ඝාතන ගැන අප දැනට මත් කතා කර තිබෙනවා. ඔවුන්ගේ ප‍්‍රතිපත්ති සැබෑ ලෙස ම ඓතිහාසික වූත් විනාශකාරී වූත් පරාජයන්ට තුඩු දුන්නා.”

දේශපාලන වැඩ පිලිවෙල නො තකා සකලවිධ ව්‍යාපාර සමග එක්ව වැඩ කිරීමට වුවමනා කරන අය ග‍්‍රීසියේ සිරිසාවේ ක‍්‍රියා කලාපය අධ්‍යයනය කල යුතු බව ෂ්වාර්ස් ප‍්‍රකාශ කලේ ය. “[ග‍්‍රීසියේ] සිරිසා, [ස්පාඤ්ඤයේ] පොදෙමොස්, ජර්මනියේ ඩයි ලින්ක් -- මෙවැනි පක්ෂ හැම රටක ම දකින්න පුලුවන්. ඒවා සකස් වී තිබෙන්නේ අර්ධ වශයෙන් තමන් ‘සමාජවාදීන්’ ලෙස සහ සමහරුන් තමන් ‘මාක්ස්වාදීන්’ යැයි පවා හඳුන්වා ගන්නා විවිධ කන්ඩායම්වලින්. මූලික වශයෙන් ගත්තා ම ඒවා ඉහල මධ්‍යම පන්තික පක්ෂ. ඒවා පන්ති දේශපාලනය වෙනුවට අනන්‍යතාව, සමාජ ලිංගිකත්වය හා පරිසරවේදය ආදේශ කර තිබෙනවා. ඒවා ධනපති පක්ෂ. බලයට පත් වූ විට ඒවා ක‍්‍රියාත්මක කරන්නේ දක්ෂිනාංශික ප‍්‍රතිපත්ති.”

වෘත්තීය සමිති පිලිබඳ ප‍්‍රශ්නයට ප‍්‍රතිචාර දැක්වූ ෂ්වාර්ස් මෙසේ පිලිතුරු දුන්නේ ය: “පසු ගිය 30 වසර තුල දී කම්කරු පන්තියේ විශ්වාසය විනාශ කර දමා තිබෙන සාධකයක් ඇත් නම් නම් ඒ තමයි වෘත්තීය සමිති.” ගෝලීයකරනය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ද වෘත්තීය සමිතිවල ද ජාතික ප‍්‍රතිසංස්කරනවාදී ප‍්‍රතිපත්තිවල පදනම් බිඳ දමා ඇති බව ඔහු පැහැදිලි කලේ ය.

වෘත්තීය සමිති සංගතවල කොටසක් බවට පත් වී කවර හෝ සමාජ විරුද්ධත්වයක් මතු වුව හොත් මර්දනය කරන කාර්මික පොලීසියක් බවට පරිවර්තනය වී ඇති සැටි ෂ්වාර්ස් විස්තර කලේ ය.

“වෘත්තීය සමිති කම්කරු අරගල පාවා දෙන ආකාරය ගැන කියැවෙන වාර්තාවලින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පිරිලා. ගුවන් ගමන් වේවා දුම්රිය වේවා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වේවා -- හැම ක්ෂේත‍්‍රයක දී ම කම්කරුවන් අද වෘත්තීය සමිති දෙස බලන්නේ වෛරයෙන්. ඔවුන් තව දුරටත් ඒවා තමන්ගේ නියෝජිතයන් ලෙස සලකන්නේ නැහැ.”

බොකම්හි රූර් විශ්ව විද්‍යාලයේ දී ද මීට සමාන ප‍්‍රශ්න මතු විය. එම රැස්වීමට 60 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගි වූහ. එහි දී කතා කල වානේ කම්කරුවෙක් තම අයිතීන් ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවෙන් සිටි තම කම්හලේ කම්කරුවන්ට සැනෙකින් වෘත්තීය සමිති නිලධරය සමග ගැටීමට සිදු වූ බව පැහැදිලි කලේ ය.

ශ‍්‍රාවක පිරිසේ එක් සාමාජිකයෙක් ජර්මනියේ දී ෆැසිස්ට්වාදය වැලකිය හැකිව තිබුනේ කෙසේ දැයි විමසා සිටියේ ය. එවකට ද කේන්ද්‍රීය ප‍්‍රශ්නය වූයේ කම්කරු පන්තිය තුල නායකත්වය පිලිබඳ ප‍්‍රශ්නය බව ඊට පිලිතුරු දෙමින් ෂ්වාර්ස් පැවසුවේ ය. තුන් වන ජාත්‍යන්තරයේ හා කේපීඩීයේ ස්ටැලින්වාදී නායකත්වය කම්කරුවන් නාසීන්ට එරෙහි සටනට මුලුමනින් ම නුසූදානම් තත්ත්වයකට පත් කලේ ය.

ලෝක යුද්ධයේ අනතුර ගැන ද ප‍්‍රශ්න නැගින. එක් සිසුවෙකු ශාන්තිකරය තුල ආක‍්‍රමනිකයා චීනය ද යන ප‍්‍රශ්නය මතු කල විට සිය මිලිටරි බලය යොදා ගෙන ආසියාව තුල සිය ආධිපත්‍යය බලාත්මක කර ගැනීම සඳහා “ආසියාවට හැරීම” නමැති වැඩ පිලිවෙල හරහා චීනයට එරෙහිව යුද්ධයක් සූදානම් කරමින් සිටින්නේ නිශ්චිත වශයෙන් ම එක්සත් ජනපදය බව ෂ්වාර්ස් කිසි සැකයකට ඉඩ නො තබා පැහැදිලි කලේ ය.

“එක්සත් ජනපදයේ පාලක කව තුල චීනයට එරෙහිව හැකි ඉක්මනින් යුද්ධයට යා යුතු දැයි නැත් නම් චීනය සිය මිලිටරියේ තත්ත්වය වැඩි දියුනු කර ගන්නා තෙක් පොරොත්තු විය යුතු දැයි සාකච්ඡා කරන බලගතු හඬවල් ඇසෙනවා,” ෂ්වාර්ස් පැවසී ය. පලමු වන ලෝක යුද්ධය පුපුරා යාමට පෙර රුසියාව සම්බන්ධයෙන් ජර්මානු ධනේශ්වරය තුල ද මීට බෙහෙවින් සමාන සාකච්ඡාවක් සිදු වෙමින් පැවති බව ඔහු සඳහන් කලේ ය.

Share this article: