එක්සත් ජනපදය ඉරාකය හා සිරියාව තුල මිලිටරි ශක්තිය තර කිරීමේ වෑයමක

US signals military escalation in Iraq and Syria

බැරී ග්‍රේ විසිනි, 2015 ඔක්තෝබර් 26

සිරියාව තුල දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් වන රාජ්‍යතාන්ත්‍රික කලබගෑනිය මධ්‍යයේ ඔබාමා පාලනාධිකාරය, සිරියාව හා ඉරාකය තුල තම මිලිටරි කටයුතු දැඩි කිරීමේ අවශ්‍යතාව අවධාරනය කරයි.

සිරියාවේ සිවිල් යුද්ධය පිලිබඳ ව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ රුසියාව, සෞදි අරාබිය හා තුර්කියේ විදේශ ඇමතිවරුන් අතර වියනාවේදී 23දා පැවති අතීරනාත්මක රැස්වීම් දිනයේ දී ම, ආරක්ෂක ලේකම් ඇස්ටන් කාටර් වාර්තාකරුවන්ට පැවසුවේ, ඊට පෙර දිනයේදී 2011න් පසු ඉරාකය තුල ඇමරිකානු හමුදා භටයෙක් මරනයට පත්වූ පලමු අවස්ථාව සලකුනු කල මෙහෙයුම වැනි මිලිටරි කටයුතු, ඉදිරියේදී තවත් වැඩි වනු ඇති බව යි.

ඔක්තෝබර් 22 උතුරු ඉරාකයේ කිර්කුක් ආසන්නයේ අයිඑස්අයිඑස් මධ්‍යස්ථානයකට එරෙහිව කුර්දි පැස්මෙගා හමුදා සමග ඇමරිකානු හමුදා ඒකාබද්ධ ප්‍රහාරකට සහභාගී වූහ. අයිඑස්අයිඑස් සංවිධානය විසින් රඳවා ගෙන සිටි සිරකරුවන් 70 නිදහස් කර ගැනීමට ගෙන ගිය, පෙන්ටගනය සාර්ථක යැයි පවසන ප්‍රහාරයේ දී, මාස්ටර් සැරයන් ජේෂුවා වීලර් මරුමුවට පත් විය. 2014 ජූනියේ දී අයිඑස්අයිඑස් සංවිධානයට එරෙහිව බව පවසන, ඉරාකය තුල නව යුද්ධය දියත් කිරීමෙන් පසුව වොෂින්ටනය, ප්‍රහාරයන්ට ඇමරිකානු හමුදා මැදිහත්ව සිටින බව ප්‍රසිද්ධියේ පිලිගත් පලමු අවස්ථාව මෙය විය.

මෙහෙයුම හා වීලර්ගේ මරනය, ඉරාකය තුල වර්තමාන මැදිහත්වීමේදී ඍජුවම ඇමරිකානුවන් සටන් බිමට පිවිසෙනු නැතැයි ජනාධිපති බරක් ඔබාමා නිමක් නැතිව කරන ප්‍රකාශ සුන් කලේය. එහෙත් කාටර් කිර්කුක් මෙහෙයුම කොන්දේසි විරහිතව ආරක්ෂ කල අතර, එය යොදා ගත්තේ ඉරාකය තුල සිය මෙහෙයුම් තීව්‍ර කිරීමේ ඇමරිකානු අවශ්‍යතාවය අවධාරනය කිරීම පිනිස ය.

“වඩ වඩා මෙහෙයුම් සිදුවනු ඇතැ” යි සිකුරාදා පෙන්ටගනයේ මාධ්‍ය හමුවේ දී කාටර් පැවසුවේ ය. ඔහු පුද්ගලිකව ම ඊට අනුමැතිය දී තිබුනේ ය යන වාර්තා තහවුරු කරමින්, ඇමරිකානු හමුදා “අවදානම් දරනු ඇත, ඒ ගැන ප්‍රශ්නයක් නැතැ”යි ද ඉරාකය තුල අයිඑස්අයිඑස් විරෝධී හමුදාවන්ට “අප සපයන අනුග්‍රහය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදය කැපවන” බව ද පැවසීය.

ධවල මන්දිර ප්‍රකාශකයෙකු ද මෙහෙයුම ආරක්ෂා කරමින්, “ඉරාක හමුදා පුහුනු කිරීමේ, උපදෙස් දීමේ හා උපකාර කිරීමේ අපගේ මෙහෙයුම සමග එය පෑහෙන” බව පැවසීය.

කාටර් 22දා ඇමරිකානු මෙහෙයුම ආරක්ෂා කිරීම, අයිඑස්අයිඑස් හමුදාවන්ට එරෙහි වර්තමාන ගුවන් ප්‍රහාර ඉක්මවා යන ඇමරිකානු මිලිටරි කටයුතු වර්ධනය වීමත් සමග අනුරූප විය. ඒකාබද්ධ හමුදා ප්‍රධානී ජනරාල් ඩන්ෆෝර්ඩ්, පසු ගිය සතියේ ඉරාකයේ සංචාරය කිරීමෙන් පසු ව පැවසුවේ එහි මිලිටරි මෙහෙයුම් “දැඩි කිරීමට” කාලය එලඹ ඇති බව යි.

පසු ගිය මාසයේ දී, කාටර් ඉරාකය හා සිරියාව තුල මිලිටරි ව්‍යාපාරයේ එකිනෙකට වෙනස් පැති වෙනුවෙන් වග කිව යුතු මෙහෙයුම් අධීක්ෂනයට හමුදා ලුතිනන් ජනරාල් සීන් මැක්ෆාලේන් පත්කලේය.

සිරියානු පෙරමුනේ දී, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ කඩතුරාව යටතේ සිරියාව තුල පියාසර තහනම් කලාපයක් පිහිටුවීමට රාජ්‍ය ලේකම් කෙරී හා අනෙකුත් අය බල කරමින් සිටින බව අඟවන ජ්‍යේෂ්ට නිලධාරියෙකුගේ රහස් හෙලි කිරීම් මත පාදක වාර්තාවක් පසු ගිය සතියේ නිව් යෝක් ටයිම්ස් පත්‍රය පල කලේ ය. ටයිම්ස් පත්‍රයට අනුව, ආරක්ෂක ලේකම් කාටර් හා පෙන්ටගනය ඊට විරුද්ධ වන්නේ, එය ඇමරිකානු හමුදාවන් ප්‍රධාන විහිදුවීමක පටලවනු ඇති අතර, එරට උතුරේ හා බටහිර අසාද් විරෝධී “කැරලිකාරී” හමුදාවන්ට බෝම්බ හෙලීම උත්සන්න කරමින් සිටින රුසියානු ජෙට් යානා සමග පහසුවෙන් ම ඍජු ගැටුමකට මග පාදනු ඇති බවට අනතුරු අඟවමිනි.

ඉරාකය හා සිරියාව තුල මිලිටරි මැදිහත්වීම දැඩි කිරීමේ ඇමරිකානු පියවර බොහෝකොටම පෙරට එන්නේ, එම දෙරට තුල මෙන් ම මැද පෙරදිග පුරා වර්ධනය වන රුසියානු බලපෑම පිලිබඳ උත්සුකයෙනි. ඔවුන් විමසිලිමත් වන්නේ, රුසියාවේ මැද පෙරදිග එක ම අරාබි මිතුරා වන සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් බලයෙන් පහ කිරීමට දඟලන, සීඅයිඒ අනුග්‍රහ ලබන අල්කයිඩා කන්ඩායම් ඇතුළු ඉස්ලාමීය මීලීෂියා හමුදාවන්ට බෝම්බ හෙලීම ආරම්භ කිරීමට සැප්තැම්බරයේ දී මොස්කෝව ගත් තීරනය පිලිබඳව යි. රුසියාව මැදිහත්වන්නේ පැරනි සෝවියට් සංගමයේ දේශසීමාන්ට පිටතින් ඇති එක ම මිලිටරි කඳවුර වන ටාර්ටස්හි ගුවන් කඳවුර, හා ව්ලැඩිමීර් පුටින් තන්ත්‍රය නියෝජනය කරන කතිපයාධිකාරීන්ට තීරනාත්මක වූ තෙල් හා ගෑස් නල මාර්ග ආරක්ෂා කිරීමට ය.

එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත් විට අයිඑස්අයිඑස් හමුදාවන්ට එරෙහි යුද්ධය හැම විට ම, අසාද් පලවා හැරීම හා සිරියානු ආන්ඩුවේ ප්‍රධානියා ලෙස තමන්ගේ රූකඩයකු එහි පිහිටුවීමේ අධිෂ්ඨානයට දෙවැනි වන කාරනයක්ව ඇත. තෙල් වලින් පොහොසත් මැද පෙරදිග ඇමරිකානු අධිකාරය පිහිටුවීමේ අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට මෙය තීරනාත්මක යයි සැලකේ .

1991 පලමු ගලෆ් යුද්ධයත් සමග ඇරඹෙන, කලාපය තුල ආසන්න වශයෙන් අවුරුදු 25ක මිලිටරි ආක්‍රමනය, එක්සත් ජනපදයට අත්කරදී තිබෙන්නේ ව්‍යසනයකි. ඇෆ්ගන් රූකඩ තන්ත්‍රය තලිබාන් සංවිධානය විසින් වටලනු ලැබීම, වසර අවසානයේ දී හමුදා ඉවත් කරන බවට දී ඇති පොරොන්දු ආපසු ගැනීමට ඔබාමාට බල කරමිනි; මුවම්මර් ගඩාෆි පහ කිරීමට හා ඝාතනය කිරීමට මෙහෙයවූ ඇමරිකානු අනුග්‍රහ ලත් යුද්ධනේ පසු ලිබියාව කැබලිතිවී ගොසින්ය; මේ දක්වා අසාද් ඉවත් කිරීමට වොෂින්ටනය අසමත් වී ඇත; ඉරාකය තුල එය ඇට වූ ආන්ඩුව පෙර නො වූ ආකාරයට විවෘතව ඉරානය සමග මිතුරු වන අතර රුසියාව දෙසට නැඹුරු වෙමින් සිටී.

ඇමරිකාවේ ඉරාක තානාපති ලුක්මන් ෆේලි මෑත දී සීඑන්එන් ප්‍රවෘත්ති සේවයට පැවසුවේ, බැග්ඩෑඩයේ ෂියා නායකත්වයෙන් යුත් ආන්ඩුව “අයිඑස්අයිඑස්ට එරෙහිව අප ගෙන යන සටනට පරිත්‍යාග” කිරීමේ රුසියානු පියවර සතුටින් පිලිගනු ඇති බව යි. ප්‍රමුඛ ඉරාක ෂියා නායකයෙකු මෙම මස මුල දී රොයිටර් පුවත් සේවයට පැවසුවේ, “එලඹෙන දින කීපයේ දී හෝ සතිවල දී, ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සහාය ලබා ගැනීම සඳහා රුසියාව ඇමතීමට ඉරාකයට බල කෙරෙනු ඇති අතර එය රඳා පවතින්නේ සිරියාව තුල ඔවුන් ලබන සාර්ථකත්වය මත යැයි මම සිතමි” යනුවෙනි.

ඔහු මෙසේ ද පැවසී ය, “රුසියාවට ඉරාකය තුල වඩා විශාල කාර්යාභාරයක් තිබෙනු දැකීමට අපි බලාපොරොත්තුවෙන් සිටිමු. ඔව්, නිශ්චිතව ම ඇමරිකාවට වඩා විශාල කාර්යභාරයක්.”

එදිනම රුසියාව, සිරියාව තුල මිලිටරි මෙහෙයුම් සමායෝජනය සඳහා ප්‍රධාන ඇමරිකානු සහචරයෙකු වන ජෝර්දානය සමග ගිවිසුමක් ඇතිකර ගත්තේය.

එදින ම අයිඑස්අයිඑස් එරෙහි යුද්ධයේ සිය නියෝජිතයා ලෙස ඔබාමා විසින් පත් කෙරුනු ජනරාල් ජෝන් ආර්. ඇලන්ගේ ඉවත්වීම ධවල මන්දිරය නිල වශයෙන් නිවේදනය කලේ ය. විශ්‍රාමික නාවික නිලධාරියෙකු මෙන් ම ඇෆ්ගනිස්තානයේ ඇමරිකාව මෙහෙය වූ යුද්ධයේ හිටපු අනදෙන්නා නොවැම්බර් මැද දී නික්ම යනු ඇති අතර, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඔහුගේ නියෝජ්‍යා වන බ්‍රෙට් මැක්ගර්ක් ඒ වෙනුවට පත් කෙරෙනු ඇත. නිවේදනය වාර්තා කරමින් නිව් යෝක් ටයිම්ස් කරුනු සහිතව සඳහන් කලේ සිරියාව තුල ඇමරිකානු ප්‍රතිපත්තිය පිලිබඳව පෙන්ටගනය හා රාජ්‍ය දෙපාර්තමේන්තුව අතර මතභේද පවතින බව යි.

සිරියාව තුල රුසියානු මිලිටරි මැදිහත්වීම, ඇමරිකානු රාජ්‍ය හා විදේශ ප්‍රතිපත්ති සංස්ථාපිතයන් තුල මේ වන විටත් පවතින බෙදීම් තියුනු ලෙස ඉස්මතු කරයි. කොංග්‍රස් මන්ඩල රිපබ්ලිකානුවන්, 2016 ජනාධිපතිවරනය සඳහා පොර කන සෑම රිපබ්ලිකානු අපේක්ෂකයකු ම සහ විශ්‍රාමික මිලිටරි හා ඔත්තුසේවා නිලධාරීන් හා ඩෙමොක්‍රටික් නායකත්වයේ කන්ඩායම් ඔබාමා පාලනාධිකාරයේ ප්‍රතිපත්ති ඇති තරම් ආක්‍රමනකාරී නොවේ යයි හෙලා දැක ඇති අතර ඔවුහු, අසාද් හා සිරියාවට එරෙහිව වඩා ආක්‍රමනකාරී මැදිහත්වීමක් ඉල්ලා සිටිති. බොහෝ දෙනා සිරියාව තුල පියාසර තහම් කලාපයක් ඉල්ලා සිටින අතර ඇතමෙකු ඉල්ලා සිටින්නේ කලාපය තුල ඇමරිකානු හමුදා යෙදවුම් බෙහෙවින් වැඩි කරන ලෙසයි.

මෙම විවේචකයන්ට අයත් වන්නේ, ඉරාකයේ හිටපු ඇමරිකානු අනදෙන්නා මෙන් ම හිටුපු සීඅයිඒ අධ්‍යක්ෂ ඩේවිඩ් පෙට්‍රාඋස් හා වෝල් ස්ට්‍රීට් ජර්නල් හා වොෂින්ටන් පෝස්ට් වැනි ප්‍රකාශනයන්ගේ කතෘ මන්ඩල යි. ඔවුන්ගේ සංඛ්‍යාවට ඩෙමොක්‍රටික් ජනාධිපතිවරන නාමයෝජනය තුල දැනට පෙරමුන ගන්නා, හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද ඇතුලත් වේ, ඇය සිරියාව තුල ඊනියා “ආරක්ෂක කලාපයක්” ඇති කිරීම සඳහා උද්ඝෝෂනය කරමින් සිටී.

අනෙක් අතින් ප්‍රමුඛ දේශපාලනය නායකයෝ, අසාද් ඉවත් කිරීමේ ඇමරිකානු උවමානාව පැත්තකට දමන ලෙස පාලනාධිකාරයට බලකිරීම සඳහා මෑත දී මාධ්‍ය වෙත හැරී ඇති අතර අසාද් හා රුසියානු ජනාධිපති පුටින් යන දෙදෙනො සමගම සමායෝජනයක් බලාපොරොත්තු වෙති . මෙයට හිටපු ජනාධිපති ජිමී කාටර් ඇතුලත් ය, ඔහු පසු ගිය සතියේ නිව් යෝක් ටයිම්ස් හි තීරු ලිපියක් පල කලේය. සිරියානු සිවිල් යුද්ධය අවසන් කිරීමට “ජාතීන් පහකගේ සහභාගිත්වය ඇති සැලැස්මක්” ඔහු යොජනා කලේය. එය අසාද් බලයෙන් පහකිරීමේ සැර බාල කිරීමේ හා අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය හැකි අනුප්‍රාප්තිකයෙකු පිහිටුවීමේ සංක්‍රමනීය ක්‍රියාදාමයක් සඳහා රුසියාව හා ඉරානය සම්බන්ධ කරගනු ඇත.

“මැද පෙරදිග වැටීම වැලැක්වීමේ මාවතක්” යන ශීර්ෂයෙන් හෙන්රි කීසිංගර් මෙම මාසයේ එවැනි ම අදහසක් පල කලේ ය. එය රුසියාව හා අසාද් යන දෙපාර්ශ්වය සමග සමායෝජනයක් යෝජනා කරයි.

ඇමරිකානු, රුසියානු, සෞදි හා තුර්කි විදේශ ඇමතිවරුන්ගේ සිකුරාදා වියනාවේ රැස්වීම අවසන් වූයේ අසාද්ගේ අනාගතය පිලිබඳ ප්‍රධාන ප්‍රශ්නය ගැන එකඟතාවයක් නැතිව ය. ඕනෑ ම විසඳුමක් පදනම් විය යුත්තේ අසාද් බලයෙන් ඉවත් විය යුතු බවට වන එකඟත්වයක් මත බව වොෂින්ටනය හා රියාද් පාලනය දිගට ම බල කරන අතර මොස්කෝව අසාද්ගේ නැති පාලනයක් බැහැර නො කරන නමුත් එය පූර්ව කොන්දේසියක් කර ගැනීම ප්‍රතික්ෂේප කර යි.

කෙසේ නමුත්, කෙරී හා රුසියානු විදේශ අමාත්‍ය සර්ජේයි ලැව්රෝව් යන දෙදෙනා ම සාකච්ඡාව සාධනීය බව විස්තර කල අතර, වඩා වැඩි සංඛ්‍යාවක් සහභාගීවන්නන් සමග, මෙම සතිය තරම් හැකි ඉක්මනින් තවත් රැස්වීමකට එකඟ වූහ. රුසියාව, ඉරාකය හා යුරෝපී සංගමය අවධාරනය කරමින් සිටින්නේ ආරාධනය කරනු ලබන ජාතීන් අතර ඉරානය සිටිය යුතු බව වන නමුත් කෙරී මේ මොහොතේ එය බැහර කලේ ය.

අවසානයේ අසාද් ඉවත් කිරීම කෙරෙහි මොස්කෝව යොදන පීඩනය දැඩි කරනු ඇති බවට ද ඇඟවුම් පවතී. ගෙවී ගිය සතියේ දී විස්තීරන සාකච්ඡාවක් සඳහා අසාද් මොස්කව්වලට කැඳවුනු අතර, එතැන් සිට ලැව්රෝව් හා අනෙකුත් රුසියානු නිලධාරීන් සිරියාව තුල ලබන වසරේ වේලාසනින් පැවත් විය යුතු පාර්ලිමේන්තු හා ජනාධිපතිවරන සඳහා යෝජනා කර ඇත.

රාජ්‍යතාන්ත්‍රික උපාමාරු කුමක් වුවත්, ඇමරිකානු අධිරාජ්‍යවාදය මැද පෙරදිග එහි අධිකාරවත් තැනින් ඉවත් ව සිටීම පිලිගැනීමට සූදානම් නැත. එහි මිලිටරිවාදී හා සාපරාධී ප්‍රතිපත්ති කලාපයේ මහජනතාවට ව්‍යසනයක් වී ඇති අතර වොෂින්ටන් යුද්ධ මිලියන ගනනක් නො වේ නම් සිය දහස් ගනනක් ඝාතනය කිරීම හා තවත් මිලියන ගනනාවක් සරනාගතයන් බවට පත්කර තිබේ.

යුද්ධ යුක්තිසහගත කිරීමට යොදා ගැනුනු මුසාවාදී කඩතුරා ― ත්‍රස්තවාදය, ජනඝාතක අවි තර්ජන, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ― යන සියල්ල මුළුමනින් ම හෙලිදරව් වී අපකීර්තියට පත්ව ඇත. අද වොෂින්ටනය සිරියාවේ අල් කයිඩා ශාඛාව වන අල්-නුස්රා සමග එලිපිට ම මිතුරු ය, තන්ත්‍ර මාරුවක් සඳහා අසාද්ට එරෙහි ඇමරිකානු යුද්ධය තුල ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ම එය නම් කර තිබුනේ විදේශීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ය.

ඇමරිකානු පාලක පන්තිය මැද පෙරදිග සිය ගැඹුරු වන අර්බුදයට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වනු ඇත්තේ මිලිටරි ප්‍රචන්ඩකම් හා කඩාවැදීම් දෙගුන කිරීම හා න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව සමග යුද්ධයක අනතුර වැඩිකිරීම මගිනි. සියල්ලට ම වඩා හදිසි වන්නේ අධිරාජ්‍යවාදී යුද තර්ජනයට හා එහි නැගීමට තුඩු දෙන ධනේශ්වර පද්ධතියට එරෙහිව කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක වර්ධනය යි.

Share this article: