ප්‍රන්සය සිරියාවට බෝම්බ හෙලයි

France launches bombing campaign in Syria

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2015 සැප්තැම්බර් 28

පසු ගිය 27දා එලිසි මාලිගාව ප්‍රන්ස ප්‍රහාරක යානා සිරියාවේ අභ්‍යන්තර ඉලක්කයක් වෙත බෝම්බ හෙලූ බව නිවේදනය කල ජනාධිපති ෆ්‍රැන්කොයිස් හොලන්ද්ගේ ප්‍රකාශයක් නිකුත් කලේ ය.

ඉලක්කයන් වූයේ රකා නගරාසන්නයේ පිහිටි ඉස්ලාමීය රාජ්‍ය (අයිසිස්) හමුදාවලට අයත් පුහුනු කඳවුරු බවත් මෙම ප්‍රහාරයන් අසල් වැසි ඉරාකයේ අයිසිස් ඉලක්කයන්ට එරෙහිව ප්‍රන්සය ද ඇතුලත් නැටෝ බලවතුන් විසින් දියත් කරනු ලැබ ඇති බෝම්බ ප්‍රහාරක ව්‍යාපාරයේ ව්‍යාප්තියක් බවත් ප්‍රධාන මාධ්‍ය වාර්තා පෙන්නුම් කලේ ය. ජෝර්දාන් හි රඳවා තිබුනු මිරාජ් - 200 ජෙට් යානා හයක් ද එක්සත් අරාබි රාජ්‍යයේ රඳවා ඇති රැෆේල් ජෙට් යානා හයක් ද ප්‍රහාර එල්ල කිරීමේ නිරත විනි.

ආන්ඩුව තම ප්‍රහාරයන්ගේ ඉලක්ක පිලිබඳව හෝ ඒවායින් සිදු වූ අලාබහ හානී සම්බන්ධ කිසිදු නිස්චිත විස්තරයක් ප්‍රසිද්ධ නො කලේ ය. “බෝම්බ ප්‍රහාරය ක්‍රියාත්මක වීමේ දී අපගේ ස්වාධිපත්‍ය රැකගැනීමට හා අපගේ පාර්ශවකරුවන් සමග සහයෝගය ඇතිකර ගැනීම උදෙසා සති දෙකක පෙර දියත් කල ගුවන් මෙහෙයුම් අතරතුර ගොනු කර ගත් බුද්ධි තොරතුරු මත පදනම්” වූයේ ය යි එලිසිහි නිල ප්‍රකාශය කියා සිටියේ ය.

සිරියානු ආන්ඩුවේ හමුදාවන්ට ප්‍රත්‍යක්ෂ තර්ජනයක් එල්ල කරමින් නිල ප්‍රකාශය නිවේදනය කලේ ගුවන් මෙහෙයුම හුදෙක් අයිසිස් සංවිධානයෙන් පමනක් නොව (සිරියානු) ජනාධිපති බෂාර් අල් අසාර්ද් ගේ මාරක බෝම්බ ප්‍රහාර යන්ගෙන් ද සිවිල් වැසියන් මුදවා ගැනීම” සඳහා බව ය.

ප්‍රන්සය සිය පැරනි කොලනියක් වන සිරියාව තුල බෝම්බ හෙලීම යුද ක්‍රියාවක් වන අතර එය සිදු කෙරුනේ, සියලු ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් විසින් සන්නද්ධ කෙරුනු හා මුදල් ආයෝජනය කරන ලද ඉස්ලාමීය බට කන්ඩායම යොදා ගනිමින් 2011 වසරේ දී දියත් කල තන්ත්‍ර මාරු යුද්ධයේ උත්සන්න කිරීමක් ලෙසය. මෙම උත්සන්නිය සිරියාවේ ලේ වැගිරීම් ඉහල නංවන අතර මැද පෙරදිග රටවලට හා යුරෝපයට පලා යන දශලක්ෂ ගනන් සිරියානු සරනාගතයන් මුහුන දෙන අපේක්ෂා භංගත්වයේ අර්බුදය වැඩි දියුනු කරයි.

මෙය අල්කයිඩාවට සම්බන්ධ සිරියානු ඉස්ලාම්වාදීන්ට එරෙහිව ගෙන යන “ත්‍රස්ත විරෝධී” යුද්ධයක කොටසක් යයි කියන ප්‍රන්සයේ සමාජවාදී පක්ෂ (පීඑස්) ආන්ඩුව මහජනයා වෙත ඉදිරිපත් කරන්නේ මෙම ආක්‍රමනය සාධාරනීයකරනය සඳහා ගොතන ලද බොරු තර්ක තොගයකි. අයිසිස් වෙනුවට ඊට පටබැඳි අරාබි කෙටි පදය ඩෙෂ් යන්න භාවිත කරමින් ප්‍රන්ස අගමැති මැනුඑල් චාල්ස් මෙසේ පැවසී ය. “ අපි ඩෙෂ්ට පහර දෙන්නේ මෙම ත්‍රස්තවාදී සංවිධානය සිරියාවේ සිට ප්‍රන්සයට පහර දීමට සූදානම් වෙමින් සිටින බැවිනි. ....ඒ නිසා අපි ආරක්ෂාව සඳහා ඉදිරිපත්ව සිටිමු.”

ප්‍රන්සයට හෝ ප්‍රන්ස සහචරයෙකුට එරෙහිව පහර දීමත් සිදු නො කල ආන්ඩුවක් ඇති රටක් වන සිරියාවට බෝම්බ හෙලීමෙන් ආත්මාරක්ෂාවට ඇති අයිතිය භාවිත කරන්නේ ය යන ප්‍රන්සයේ තර්කය ගජ බින්නයකි. සිරියාවේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින්නේ ය යන ප්‍රන්සයේ කියා පෑම, අසාද් පෙරලා දමා සිරියාව තුල නෙටෝ ගැති තන්ත්‍රයක් සහිත නව විජිතයක් ස්ථාපිත කිරීම සදහා වූ පුලුල් න්‍යාය පත්‍රය සහතික කර ගැනීම පිනිස ඉස්ලාමීය ත්‍රස්තවාදී භට කන්ඩායම් භාවිත කර ඇති ප්‍රන්ස ආන්ඩුවේ ප්‍රතිපදාව සමග එක එල්ලේ ම පරස්පර විරෝධී වන්නේය.

ගිය වසරේ ඉරාකය තුල අයිසිස් මධ්‍යස්ථාන වලට ප්‍රහාර එල්ල කල ප්‍රන්ස නිලධරයෝ, සිරියාවේ අයිසිස් ව්‍යාපාරයට හානි සිදු කලහොත් අසාද් තන්ත්‍රය යලි ස්ථාපිත වනු ඇති බවට කරුනු ඉදිරිපත් කරමින්, සිරියාවේ අයිසිස් බලකායන්ට පහර දීම ප්‍රතික්ෂේප කලහ. මෙම ප්‍රකාශයෙන් ගලා එන වසන් කල නොහැකි නිගමනය නම්, ප්‍රන්සය පර්සියානු ගල්ෆ් ප්‍රදේශයේ අරාබි රාජ්‍යයන් සහ වොෂිංටනයේ බලපෑම් සහිත ප්‍රතිපත්ති සකසන කන්ඩායම් සමග පෙල ගැසෙමින්, අසාද් තන්ත්‍රය විනාශ කිරීම සඳහා සහායක බල ඇනියක් ලෙස අයිසිස් සංවිධානය භාවිතා කලේ ය යන්නය.

අයිසිස් පුහුනුව ලැබූ තුවක්කුකරුවකු විසින් පසු ගිය මාසයේ දී උතුරු ප්‍රන්සයේ තලිස් දුම්රියට එල්ල කිරීමට යද්දී ව්‍යර්ථ කල ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ප්‍රන්ස නිලධරයෝ, සිරියාව පුරා අයිඑස් හමුදාවන් ඉලක්ක කර පහර දීම ආරම්භ කලහ. එසේ වුවත් පැරිසිය සිරියාවේ ඉස්ලාමීය ත්‍රස්ත කන්ඩායම්වලට සහාය ලබා දීම නො නවත්වා කර ගෙන යයි. ප්‍රන්ස ගුවන් යානා අයිසිස් මධ්‍යස්ථාන වලට පහර දෙන්නේ වුව ද ඒවා, අල්කයිඩාවට සම්බන්ධ කන්ඩායමක් ලෙස එක්සත් ජනපද ආන්ඩුව විසින් හඳුනා ගනු ලැබ ඇති නමුත් පැරීසිය හා වොෂිංටනය තම මිත්‍ර පෙරමුනක් ලෙස දැක ගන්නා අල් නුස්රා පෙරමුනට බෝම්බ ප්‍රහාර එල්ල නො කිරීම පිලිබඳ අප්‍රසිද්ධ නිල තීන්දුව ල මොන්ඩේ පුවත් පත ඊයේ විස්තර කලේ ය.

ප්‍රන්සය අයිසිස් ඉලක්කයන්ට පහර දීම අනුමත කරන්නේ සමාජවාදී පක්ෂයේ පුලුල් න්‍යාය පත්‍රයට හානියක් නොවන තාක් දුරට පමනකි යි ප්‍රන්ස ආරක්ෂක ඇමති ජින් ලී ඩ්‍රයන් සැප්තැම්බර් 18 දා පැහැදිලි කලේ ය. අයිසිස් වෙත එල්ල කරන ගුවන් ප්‍රහාර සැලකිල්ලට ගත යුත්තේ බෂාර් (අල් අසාද්) ට පක්ෂපාතී බලඇනි විසින් පවත්වා ගැනෙන පුලුල් පරිමාන පරිපාලනය හැකිලී යන තෙක් වන අතර ......ප්‍රහාරයෙන් බෂාර්ට මිලිටරි සහාය ලබා දීමක් ඇඟවුම් නො කරන බව ඔහු පැවසී ය.

සිරියාව තුල මිලිටරි මැදිහත් වීම් වැඩි කිරීමට යුරෝපා හා එක්සත් ජනපද නිලධරයන් ගේ යෝජනා දශ ලක්ෂ සංඛ්‍යාත සිරියානු සරනාගතයින්ගේ දුක් පීඩා ගැන පාලන ප්‍රභූවේ කර්කෂ නො තකා හැරීමත් මැදපෙරදිග අලලා ගත් යුද්ධයක අනතුර ගනනකට නොගැනීමත් පිලිබඳව සාක්ෂි දරයි.

ප්‍රන්සය සහ එහි නැටෝ මිත්‍ර පාර්ශවය රුසියාව සමග මිලිටරි ගැටුම් මෙන් ම “පූර්න යුද්ධයක” අනතුරු දරා සිටින බවට හොලෙන්දෙ පෙබරවාරි මාසයේ දී අනතුරු ඇඟවීය. එම අවස්ථාවේ ම ඔහු යුක්රේනයේ නැටෝ සහය ලබන ආන්ඩුව සහ නැගෙනහිර යුක්රේනයේ රුසියානු සහය ලබන බෙදුම්වාදී හමුදාවන් අතර සාම ගිවිසුමකට මූලිකත්වය ගැනීම සඳහා ජර්මනියට සහයෝගය පල කලේ ය. න්‍යෂ්ටික අවි වලින් කෙරෙන තුන්වන ලෝක යුද්ධයක් පිලිබඳ අනතුරු ඇඟවීම තිබියදීම අසාද් තන්ත්‍රයේ ප්‍රමුඛ ජාත්‍යන්තර ආධාරකරුවා වන රුසියාව සමග මිලිටරි ගැටුමක් සිරියාව තුලින් අවුස්සා ගැනීමේ තර්ජනයක් මතු කරන ප්‍රතිපත්තියක් අනුව යෑමට හොලෙන්දේ යොමු වූයේ මාස කීපයක් ගත වීමත් සමග ය.

මොස්කෝව සිරියාවේ වරාය නගරයක් වන ලැටකියා අසල ගුවන් කඳවුරක් යලි ස්ථාපිත කර ඇති අතර වාර්තාවන පරිදි අවම වශයෙන් ප්‍රහාරක යානා තිහක් යොදා ගෙන අසාද් තන්ත්‍රයට සහාය සඳහා අයිසිස් ඉලක්කයන්ට එරෙහිව තමන්ගේම ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටී. වාර්තාවන පරිදි අසාද් තන්ත්‍රය ආසන්නයේ පිහිටි අයිසිස් ඉලක්කයන්ට පහර දීම නො නවත්වා කරගෙන යන අතරේ සිරියානු හා රුසියානු යුද ගුවන් නිරීක්ෂන කලාපය තුල ප්‍රන්ස ජෙට් යානා ප්‍රහාර සඳහා යොදා ඇති බවක් පෙනී යයි.

රුසියානු ගුවන් යානා සමග ප්‍රන්සයේ එක්සත් ජනපදයේ හෝ සිරියාවට බෝම්බ හෙලන සෙසු අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ජෙට් යානා අතර ගැටුමක් පහසුවෙන් ම සිදු වීමේ ඉඩ කඩ පවතියි. ඒ සමගම ගිය වසරේ නැටෝ සහාය ලත් කියෙව්හි කුමන්ත්‍රන ය මගින් යුක්රේනය තුල ඇවිලවූ සිවිල් යුද්ධයේ තැන් සිට නැටෝ සහ රුසියානු හමුදා පසුව තම මිලිටරි ශක්තිය හා යුරෝපය අලලා ගත් සෝදිසි මෙහෙයුම්වල පරිමාව තව තවත් ඉහල නංවා ඇත.

මෙම පුපුරන සුලු ජාත්‍යන්තර සන්දර්භය තුල ප්‍රන්ස නිලධරය සහ මාධ්‍ය සිරියානු සහ රුසියානු හමුදාවන්ට තර්ජනය කිරීමේ ආක්‍රමනශීලී ස්ථාවරයක් මත පිහිටා ගනිමින් සිටී. 26දා ල මොන්ඩේ පුවත්පත සමග සාකච්ඡාවක දී ආරක්ෂක ඇමති ලී ඩ්‍රියන් සිරියාව තුල ප්‍රන්ස ගුවන් හමුදාවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්, ප්‍රන්සය, රුසියාව හා සිරියාව අතර තොරතුරු හුවමාරු කර ගැනීමක් සිදු නොවනු ඇති බව සහතික කලේ ය. “සිරියානු මෙන්ම රුසියානු ජෙට් යානා ද අයිසිස් විරෝධී පාර්ශවයේ ගුවන් යානාවලට එරෙහිව ප්‍රහාර එල්ල නො කරන තාක් දුරට ඒවා ප්‍රහාරයට ලක් නොවනු ඇතැ” යි ල මොන්ඩේ පෙන්වා දුන්නේ ය.

මෙම ප්‍රකාශයේ ඇඟවුම් විශ්මය ජනකය. ප්‍රන්සය නැටෝ පාර්ශවයේ සහායෙන් මිලිටරි ක්‍රියාන්විතයන් මෙහෙයවමින් සිටින්නේ එය ප්‍රන්ස යුද ගුවන් යානා, රුසියානු හා සිරියානු ගුවන් යානා සමග ගැටුමකට මග පාදනු ඇති බව නොදැන නොවේ. රුසියාවේ ගුවන් යානා වලට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ රුසියාව සමඟ යුද්ධයක් ඇරඹීම සඳහා ප්‍රන්ස යුද ගුවන් යානා සූදානම් කෙරෙන්නේ ද නොඑසේනම් එහි ප්‍රතිපලය ලෙස පැන නගින හා ගැටුම තුල රුසියාව කොතෙක් දුර ගමන්කරනු ඇතිදැයි නැටෝ නිලධරය සලකා බලා තිබේද යන ප්‍රශ්නය කිසිවකු විසින් සමාජවාදී පක්ෂ ආන්ඩුවෙන් විමසනු ලැබ නැත.

මෑත සතිවලදී එක්සත් ජනපද, යුරෝපා, රුසියා සහ ඊස්රායල් නිලධරයන් අතර ඔවුන්ගේ පිලිවෙත් ඒකාබද්ධ කිරීමේ උත්සාහයක් ලෙස සහ සිරියාව තුල තම මිලිටරි ක්‍රියාන්විතයන් උත්සන්න කිරීමේ දී එකිනෙකා වෙත වෙඩි තබා ගැනීම් මගහරවා ගැනීම පිනිස ඉහල මට්ටමේ සාකච්ඡාවක් පවත්වනු ලැබිනි. අද දිනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී එක්සත් ජනපද නිලධරයන් සමග සාකච්ඡා කල සහ සිරියාව සහ යුක්රේනය පිලිබද සාකච්ඡා සඳහා මෙම සති අන්තයේ පැරීසියට යෑමට නියමිත රුසියානු අගමැති වැලැඩිමීර් පූටින්, අසාද් අවසාන වසයෙන් පෙරලා දැමිය යුතු බව කියා සිටින සිරියානු ඉස්ලාම්වාදී විරුද්ධ පක්ෂය සමග සාම ගිවිසුමක් සඳහා රුසියාව සිතා බැලීමට ඉඩ ඇතැයි සංඥා කර ඇත.

මෙබඳු කුහක සාකච්ඡා විනාශකාරී ගැටුමක් පුපුරා ඉස්මත්තට ඒමට එරෙහිව සහතිකයක් සම්පාදනය නො කරයි. 1999දී සර්බියාවට එරෙහිව නැටෝ බෝම්බ හෙලීම් සිදු කල අතරතුර රුසියානු සහ නැටෝ භටකායන් පෙල ගැසී කොසෝව තුල කල මැදිහත්වීම්වල දී නැටෝ අන දෙන නිලධාරි, එක්සත් ජනපද ජෙනරාල් වෙස්ලි ක්ලාක්, ප්‍රිස්ටිනා ගුවන් තොටුපලට ලඟා වෙමින් සිටි රුසියානු හමුදාවන්ට එරෙහිව ප්‍රහාරයක් එල්ල කරන ලෙස අන කලේ ය. ක්ලාක්ගේ යුරෝපා සහචරයින් මෙම අනට කීකරු නොවීමට ගත් තීන්දුව නිසා පමනක් ප්‍රධාන බලයන් අතර බෝල්කන්හි යුද්ධයක් ඇති වීම වැලකී ගියේ ය. හොලන්දේ ගේ ප්‍රකාශ පෙන්නුම් කරන පරිදි අද එබඳු අන කිරීමක් යුරෝපා නිලධරයන් විසින් ප්‍රතික්ෂේප කරනු ඇත යන්න කිසිසේත්ම පැහැදිලි නැත.

Share this article: