සසප /සසජාතශි කොලඹ රැස්වීම
ඇමරිකාව ශ්‍රී ලංකාවේ යුද අපරාධයන්ට සුදුහුනු ගාන්නේ මන් ද?

Why is the US whitewashing Sri Lankan war crimes?

2015 ඔක්තෝබර් 05

සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාව පිලිබඳව ඇමරිකාවේ මූලිකත්වයෙන් මෑතකදී සම්මත කල යෝජනාවේ ඇඟවුම් සාකච්ඡා කරන ප්‍රසිද්ධ රැස්වීමක්, ඔක්තෝබර් 14දා සවස කොලඹදී පවත්වයි. 26 වසරක වර්ගවාදී යුද්ධය අවධියේ මිලිටරිය සිදුකල අපරාධ වසං කිරීමට වොෂින්ටනය, ආන්ඩුව සමග ප්‍රතිගාමී කුමන්ත්‍රනයක යෙදී සිටියි.

ඇමරිකාව, බෙදුම්වාදී එල්ටීටීඊයට විරුද්ධව හිටපු ජානාධිපති මහින්ද රාජපක්ෂගේ යුද්ධයට සහාය දැක්වූ අතර 2009 වසරේ එහි අවසන් මාස වන තෙක්ම මිලිටරියේ යුද අපරාධ නොදුටුවාක් මෙන් සිටියේය. බීජිනය සමග රාජපක්ෂ ආන්ඩුවේ සමීප බැඳීම් අවසන් කරන ලෙස බලකිරීමේ උපායක් ලෙස වොෂින්ටනය, කුහක ලෙස “මානව හිමිකම්” ප්‍රශ්නය මතු කිරීමට පටන් ගත්තේ ඉන් පසුවය.

මේ වසරේ ජනවාරි ජනාධිපතිවරනයේදී මෛත්‍රිපාල සිරිසේන පෙරමුනට දමා රාජපක්ෂ ඉවත් කිරීම සඳහා ඇමරිකාව, “තන්ත්‍ර මාරු” මෙහෙයුමක් වෙත හැරුනි. සිරිසේන ආන්ඩුව රටේ විදෙස් පිලිවෙත බීජිනය වෙතින් වොෂින්ටනය දෙසට වේගයෙන් මාරු කල අතර කොමිසමේ යෝජනාව ඊට ලැබුනු තිලිනයකි.

පූර්වයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් පරීක්ෂයනයක් සඳහා ඇමරිකාව කල ඉල්ලීම දැන් අතහැර දමා ඇත. නව යෝජනාවෙන් ශ්‍රී ලංකා ආන්ඩුවට, තමන්ගේම දේශීය පරීක්ෂනයක් කිරීමට ඉඩ සැලසෙන අතර යුද අපරාධයන්ට චෝදනා එල්ල වන සියල්ලන්ම නොවේ නම් බොහෝ දෙනෙකු ගලවා හරිනු ඇත. එජා වාර්තාව ගනන් බලන්නේ, යුද්ධයේ අවසන් අදියරේදී දෙමල සිවිල් වැසියන් ලක්ෂ ගනනක් මිය ගිය බවය.

සිය භූ දේශපාලනික ආසක්තයන් පෙරට ගෙනයාමේදී ඇමරිකානු අධිරාජ්‍යවාදය, රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රන හා සාපරාධී යුද්ධ සඳහා නරුම ලෙස “ මානව හිමිකම්” කඩතුරාව යොදා ගන්නේ කෙසේ ද යන්න පිලිබඳ තවත් කැපී පෙනෙන අවස්ථාවකි මේ. ආන්ඩුව කොමිසමේ යෝජනාව “රටට ලැබුන දැවැන්ත ජයග්‍රහනයක්” ලෙස හුවාදක්වයි. සැබවින්ම ආන්ඩුව, ඇමරිකානු යුද සැලසුම් පිටුපස පෙලගැසෙමින්, ශ්‍රී ලංකාවේ පමනක් නොව ලෝකයේම වැඩකරන ජනතාවට දරුනු අන්තරායක් නිර්මානය කරයි.

සසප/සසජාතශි රැස්වීම, මෙම තීරනාත්මක දේශපාලන ප්‍රශ්න හා අධිරාජ්‍යවාදී යුද්ධයේ වැඩෙන අන්තරායට මුහුනදීම සඳහා නැතිවම බැරි ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය සාකච්ඡා කරනු ඇත. අප කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් හා සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ රැස්වීමට සහභාගී වී එම සාකච්ඡාවට එලඹෙන ලෙසය.

රැස්වීම පැවැත්වෙන තැන- කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය

දිනය හා වේලාව- ඔක්තෝබර් 14 බදාදා සවස 4.00

Share this article: