ශ්‍රී ලංකාව: ජාතික කම්කරු සංගමය ඩීසයිඩ් වත්තේ කල පාවාදීම

Betrayal by National Union of Workers at Deeside estate in Sri Lanka

එම්. දේවරාජා විසිනි, 2015 ඔක්තෝබර් 02

ග්ලෙනුජ් වතුයායේ ඩීසයිඩ් කොටසේදී ජාතික කම්කරු සංගමයේ (ජාකස) මෑත කටයුතු පෙන්නුම් කරන්නේ, කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ මොනම ස්වාධීන පියවරක් වුව යට ගැසීමට වෘත්තීය සමිති කොතෙක් දුරට උත්සාහ ගන්නේ ද යන වගයි. වෘත්තීය සමිති නිලධරය කම්කරුවන් තිදෙනෙකු බොරු වැරදි වලට හසුකර සේවයෙන් පහ කල අතර ඔවුන්ට රැකියා නැවත ලබා ගැනීම පිනිස කිසිදු හේතුවක් නොමැතිව සමාව ඉල්ලීමට සිදුවිය. එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ජාතික සමඟි ආන්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු ද වන පී. දිගම්බරම් විසින් ජාකස ට නායකත්වය දෙනු ලබයි.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ආධාරකරුවකු වන ජී. විල්ෆ්‍රඩ්, එන්. නෙස්තූරියන් සහ ෆ්‍රැන්ක්ලින් යන අය දඩයමට ලක්වූහ. ඔවුන් ගෙවීමකින් තොරව අගෝස්තු 19 වනදා යලි සේවයේ පිහිටුවන ලදී. මසකට වැඩ තහනම් කෙරුනු එස්. ඩග්ලස්නුමන්, එෆ්. ඇන්ටන් ජූලියන්, එස්. බෙනඩික්ට්, සහ එස්. ජනරත්නම් යන කම්කරුවන් පසුගිය ජුනියේ යලි සේවයේ පිහිටවනු ලැබුනි.

මැයි 22වන දින සේවයෙන් පහකරනු ලැබුවේත්, අනිත් සිව්දෙනාගේ වැඩ තහනම් කරනු ලැබුවේත් ඔවුන් වතු පරීක්ෂක වරයෙකුට ශාරීරිකව පහර දුන්නේය යන කලමනාකාරීත්වයේ බොරු චෝදනා මතය. කලමනාකාරීත්වය වංචනික පරීක්ෂනයක් පැවැත්වීය. එවැනි සිද්ධියක් සිදු නොවූ බවට කම්කරුවන් සය දෙනෙක් සාක්ෂි දුන්හ. ඒබ්‍රහම් විසින් කල පැමිනිල්ලකට අනුව නඩු විභාගයක් පැවතින. අධිකරන ක්‍රියාමාර්ගය ගැනෙන අතරතුර සමත මන්ඩලයකදී පැමිනිල්ල ඉවත්කරගැනීමට තමන් කැමති බව ඒබ්‍රහම් පවසද්දීත් කලමනාකාරීත්වය එය ප්‍රතික්ෂේප කලේය.

කැඩෙන දලු ප්‍රමානයේ දෛනික ඉලක්කය කිලෝ 16 සිට 18 දක්වා ඉහල නැංවීමට විරුද්ධව පෙබරවාරියේදී ඩීසයිඩ් කම්කරුවන් ගෙනගිය තෙදින වැඩවර්ජනයෙන් පසුව මෙම කම්කරු දඩයම සිදුවිය. පසුගිය වසර මැද නව කොන්දේසි ඉදිරිපත් කල අතර අමතර නිෂ්පාදනය වෙනුවෙන් කම්කරුවන්ට ගෙවීමක් නොකෙරුනි.

ලංකා කම්කරු කොන්ග්‍රසය (සීඩබ්ලිව්සී) හෝ ජාකස වැඩවර්ජනයේ නියුතු කම්කරුවන්ට සහය සඳහා කිසිවක් නොකල අතර ඔවුන්ට ආපසු හැරෙන ලෙස පැවසූහ. කලමනාකාරීත්වය පැවති මට්ටමට ඉලක්ක පහත දැමූ නමුත් කම්කරුවන්ට අඩන්තේට්ටම් කිරීමට පටන් ගත්තේය. මාර්තුවේදී ඒබ්‍රහම් සහ විල්ෆ්‍රඩ් ඇතුලු කිහිපදෙනෙක් කම්කරුවන්ට එල්ලවූ බඹර ප්‍රහාරයක් අරබයා උනුසුම් වාදයක පැටලුනහ. සීඩබ්ලිව්සී සහ කලමනාකාරීත්වය බොරු චෝදනා කිරීම සඳහා එබ්‍රහම් පොලඹවා ගැනීමට මෙම සිද්ධිය යොදාගත්හ.

කලමනාකාරීත්වය වෙත යොමුකිරිම සඳහා ජාකස මස්කෙලිය ශාඛාවේ නායකයයෝ, සිය රැකියා නැවත ලබාගැනීම සඳහා ඉදිරියේදී මෙවන් ක්‍රියාවන්හි නිරත නොවන වගට සඳහන් සමාව ඉල්ලීමේ ලිපි කම්කරුවන්ගෙන් ලබාගත්හ. ඔවුන් සමාව ඉල්ලීමට තල්ලුකෙරුනේ කිසිත් වරදක් නොමැතිවයි. මෙම පියවරයන් නැවතත් කියාපාන්නේ වෘත්තීය සමිති කම්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී නොසිට කර්මාන්ත පොලිසියක් ලෙස ක්‍රියා කරන බවයි.

ඔවුන් යලි සේවයේ පිහිටවන ලද්දේ වුවත් මෙම ලිපි උපයෝගී කරගෙන ඕනෑම මොහොතක ඕනෑම සුලු චෝදනාවක් මත ඔවුන් සේවයෙන් පහ කිරීමේ අවදානමක් ඇති අතර කිසිදු අනාගත කම්කරු අරගලයකදී ඊට සම්බන්ධ නොවීමට තර්ජනය කිරීමටත් අනතුරු ඇඟවීමටත් ඉඩ ඇත.

කෙසේ වෙතත් මෙම ගනුදෙනුව කෙරී ඇත්තේ වඩා ගැඹුරු හේතු මතය. සසපට වතුකරය තුල එහි දේශපාලන අරගලයේ කොටසක් ලෙස ඩීසයිඩ් හි දේශපාලන අරගලයේ නිරතවීම පිලිබඳ වාර්තාවක් ඇත. පෙබරවාරියේ සිට සසප, කම්කරුවන්ට එරෙහි නඩු විභාගය සහ විමර්ශනය ඇතුලු අඩන්තේට්ටම් සහ වැඩ ප්‍රමානය වැඩිකිරීමට එරෙහි කම්කරුවන්ගේ අරගලය පසුපසින් සමීපව සිටියේය. සසප තේ වතුකරයේ අර්බුදය සහ වෘත්තීය සමිති වල සහය ඇතිව තේ සමාගම් ගෙනයන ප්‍රහාරය පැහැදිලි කල අතර එම ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමට කම්කරුවන් වෙත සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කලේය.

වැඩ ප්‍රමානය ඉහල දැමීමට එරෙහි වෙමින් අරගලයට මුල පිරූ සටන්කාමී කම්කරුවන්ට එරෙහිව වෘත්තීය සමිති සහය ඇතිව සිදුකල ග්ලෙනුජ් කලමනාකාරීත්වයේ කුමන්ත්‍රනය ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහාද සසප විසින් හෙලිදරව් කරනු ලැබින. කම්කරුවන්ගෙන් නැගෙන කවර ආකාරයේ හෝ ප්‍රතිරෝධයක් මැඩපැවැත්වීම උදෙසා මෙම දඩයම සිදුකෙරෙන බව පැහැදිලි කරමින් අපි ඩීසයිඩ් දඩයමට එරෙහිවන ලෙස අනිත් වතු වල කම්කරුවන් අතරේද උද්ඝෝෂනය කලෙමු.

දඩයමට එරෙහිව ජුලි 5වනදා අප්කොට් හිදී සසප ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්විය. ජාකස ප්‍රාදේශීය නායකයින් පොලිසියේ උදවු ඇතිව අපේ උද්ඝෝෂනය නැවත්වීමටඋත්සාහ කල ද එය අසාර්ථක විය. එම ස්ථානයේම අගෝස්තු 9 වනදා පැවැත් වූ අපගේ මහමැතිවරන රැස්වීම කම්කරුවන්ට එරෙහි ප්‍රහාරයේ වඩා පුලුල් ගම්‍යයන් පැහැදිලි කිරීම සඳහා යෙදවින. ඩීසයිඩ් සහ අනෙකුත් වතු වල සසප වෙත වැඩෙන උනන්දුවක් සහ සහයෝගයක් ඇත.

වෘත්තීය සමිති නායකයින් සහ කලමනාකාරීත්වය සසප බලපෑම දෙස සැලකිලිමත් වූවාට සැක නැත. ජාකස අත ශක්තිමත් කරන සමාව ඉල්ලීමේ ලිපි ලබාගනිමින් සේවයෙන් පහකල කම්කරුවන් යලි සේවයට බඳවාගැනීමේ ගනුදෙනුවකට යාමට කලමනාකාරිත්වය තීරනය කර ඇත.

වැවිලිකරුවන්ගේ සංගමය නව සාමුහික ගිවිසුමක් සඳහා වෘත්තීය සමිතිවල සොච්චම් පඩි ඉල්ලීම ඉවත දමා ඇති අතර දලු කැඩීමේ ඉලක්ක ඇතුලුව නිෂ්පාදනයේ සැලකිය යුතු වැඩිවීමක් තිබිය යුතු බවට බලකරයි. වැවිලිකරුවන්ගේ සංගමය ලෝක වෙලඳපොලේ තේ මිල පහල යාම සහ අපනයන පරිමාව අඩුවීම ගෙන හැර දක්වයි. කම්කරුවන් දරිද්‍ර වැටුප් මට්ටම් වල සිරකරන අතර රුදුරු ලෙස ඉහල ඉලක්ක ක්‍රියාවට දැමීමට වෘත්තීය සමිති තේ සමාගම් වලට සහාය දෙනු ඇත. සමාගම් සහ වෘත්තීය සමිති යන දෙපාර්ශවයටම අවශ්‍ය වන්නේ කම්කරුවන් ස්වාධීන මාවතක් වෙත යාම යටපත් කිරීමයි.

වෘත්තීය සමිතිවල ව්‍යාපාර ගැති වැඩපිලිවෙලට විරුද්ධවන ලෙසත් සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් කරමින් ප්‍රජාතන්ත්‍ර අයිතීන් සහ නිවාස, සෞඛ්‍යාරක්ෂාව සහ යහපත් වැටුප් සහිත ජීවන තත්වයන් ආරක්ෂාකර ගැනීමට දේශපාලනිකව සුදානම් වන ලෙසත් සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

Share this article: