ලංකාවේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව එජා මානව හිමිකම් කොමිසමේ වාර්තාව ගැන උදම් අනයි

වසන්ත රූපසිංහ විසිනි, 2015 ඔක්තෝබර් 4

එකසත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන් ඉදිරිපත් කල ලංකාවේ යුද අපරාධ පිලිබඳ පරීක්ෂන වාර්තාව සහ ඇමෙරිකාව හා ලංකාව එක්ව මානව හිමිකම් කවුන්සිලයට ගෙන එන යෝජනාව ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ උද්දාමයට පත්ව සිටිති.

ඔවුන් කයිවාරු ගසා ඇත්තේ එම වාර්තාවෙන් හා යෝජනාවෙන් තමන් ලෝකයම දිනාගෙන ඇති බව පැහැදිලි වන බව යි. සත්‍යය නම් මේ දෙකෙන්ම ප්‍රකාශයට පත්ව ඇත්තේ ලංකාවේ ආන්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ භූ දේශපාලන උවමනාකම් පිටුපස පෙල ගැසීම සහ ඊට ගෙවීමක් ලෙස රුදුරු යුද අපරාධ ආවරනය කර ගැනීමට ආන්ඩුවට ඉඩ සැලසීම යි.

හුසේන්ගේ වාර්තාව නිකුත්වීමෙන් දින දෙකකට පසුව සැප්තැම්බර් 18දා ලංකාවේ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවත්වූ සාකච්ඡාවකදී සිරිසේන මෙසේ පැවසීය: ,“ජනවාරි 8 ජනාධිපතිවරනයේ ප්‍රතිපලයෙන් අනතුරුව සිදුකල 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම ඇතුලු විවිධ පියවරයන් ශ්‍රී ලංකාව පිලිබඳ සැර බාල කෙරුනු යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ගෙන ඒමත් සමග ලංකාව ගලවා ගනු ලැබූ“ බව යි. “ඉදිරිපත්වේ යැයි කියලා බියෙන් බලාපොරොත්තුවූ වාර්තාවට වඩා මෙම වාර්තාව සියගුනයකින් නැතිනම් දහස් ගුනයකින් යහපත් එකකි“.

මෙම ප්‍රකාශ අමු මුසාවන් ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට යුද්ධය යලි ඇරැඹීමට සහාය දී මිලිටරිය අතින් යුද අපරාධ සිදු වෙද්දී ඇමෙරිකාව අහක බලාගෙන සිටියේ ය. පසුව රාජපක්ෂ සමයේ යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය ගැන ජාත්‍යන්තර පරීක්ෂන ඉල්ලා සිටින යෝජනා එජා මානව හිමිකක් කවුන්සිලය තුලින් ගෙන ඒමට ඇමෙරිකාව ක්‍රියා කලේ ය. එසේ ක්‍රියා කලේ, මානව හිමිකම් පිලිබඳ කැක්කුමක් නිසා නොව, රාජපක්ෂ චීනය සමග ඇති කරගනිමින් සිටි ආර්ථික හා දේශපාලනික සම්බන්ධතාවලින් ඈත් කොට සිය භූ දේශපාලනික අවශ්‍යතාවලට ගැලපෙන ලෙස ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය වෙනස් කිරීම සඳහා පීඩනය යෙදීමට යි.

එසේ කල ඔබාමා පරිපාලනය දැන් “සැර බාල“ වාර්තාවක් එන තැනට වැඩ සැලසුවේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී බවක් පිලිගෙන නොවේ. නව ආන්ඩුව සිය විදෙස් පිලිවෙත එක්සත් ජනපදයේ භූ දේශපාලනික අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස වෙනස් කිරීම, වොෂිංටනය හා මානව හිමිකම් කොමසාරිස්ගේ “සැරබාලවීමට“ හේතුව යි.

ජනාධිපතිවරනයේදී රාජපක්ෂ ඉවත් කර සිරිසේන බලයට ගෙන ඒමට, වික්‍රමසිංහ ද හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ද මැදිකරගෙන කොලඹ පාලන තන්ත්‍ර මාරු මෙහෙයුමක් සඳහා ඇමෙරිකාව මූලිකත්වය ගත්තේ එම වෙනස සිදු කර ගැනීමට යි. ඇමෙරිකාව කේන්ද්‍ර කරගත් ගෝලීය ධනවාදයේ අර්බුදය තුල ලෝක ආධිපත්‍ය තහවුරු කරගැනීමට හැරී සිටින වොෂිංටනය, චීනය යටකර ගැනීමේ යුද සැලසුම් මුවහත් කරමින් සිටී. ලංකාව තම ග්‍රහනයට ගැනීමට වොෂිංටනයට අවශ්‍යව ඇත්තේ මේ නිසා ය.

“ජාත්‍යන්තර ප්‍රජාව තුල ලංකාව කෙරෙහි සාධනීය බලාපොරොත්තුවක් ඇති කල යහපාලනය, දේශපාලන ප්‍රතිසංස්කරන හා ප්‍රතිසංධාන පියවර ගෙන එනුලැබූ ජනවාරි 8දා වෙනස සිදු නොවූයේ නම් ශ්‍රී ලංකාව මේ වනවිට ජාත්‍යන්තරව කොන්විය හැකිව තිබිනි” යැයි ප්‍රකාශ කරමින් සිරිසේන මේ තන්ත්‍ර මාරුව වක්‍රව පිලිගෙන ඇත.

මානව හිමිකම් මහ කොමසාරිස්ගේ වාර්තාව “සිතුවට වඩා දහස් ගුනයකින් යහපත් බව“ සිරිසේන සඳහන් කරන්නේ, විශේෂයෙන්, යුද අපරාධකාරයින්ගේ නම් සඳහන් නොවීම නිසා ය. ඊට ද හොඳ හේතු ඇත: යුද්ධය ගෙන ගිය ආන්ඩුවල ප්‍රධාන ඇමතියෙකුව සිටි සිරිසේන මෙහෙයුමේ අවසන් සති දෙකේ ආරක්ෂක ඇමතිව සිටි බවට පුරසාරම් දොඩයි. වික්‍රමසිංහ 1983 සාපරාධී යුද්ධය පටන් ගත් යූඇන්පී ආන්ඩුවේ ඇමතියෙකි. රාජපක්ෂ ඇතුලු පිරිස මෙන්ම මොවුන් ද අපරාධවලට වග කිව යුතු නිසා සියලු දෙනාගේම නම් වාර්තාවෙන් අයින් කර ඇත.

දහනව වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට හා යහපාලනයට පදනම දමා ඇතැයි සිරිසේන කරන ප්‍රකාශ ද මුසාවන් ය. ව්‍යවස්ථා සංශෝධනය ඇස්බැන්දුමකි. ජනාධිපති ධුරයට තරඟ කල හැකි වාර ගනන දෙකකට සීමා කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එය පත්වීමෙන් අවුරුදු හතරකට පසුව පමනක් කල හැකිවීම, ඉහල අධිකරන විනිසුරුවන්, මැතිවරන කොමිෂම , රාජ්‍ය සේවා කොමිසම හා විගනකාධිපති පත් කිරීම ව්‍යවස්ථා සභාවකට පැවරීම මගින් විධායක ජනාධිපතිගේ බලතල සීමාකිරීමක් කර ඇත. එහෙත් ව්‍යවස්ථා සභාව සමන්විත වන්නේ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල නියෝජිතයන් හා ධනපති සංස්ථාපිතයේ පුද්ගලයන්ගෙනි. ජනාධිපති අත සෑහෙන බලයක් තවමත් තබාගෙන ඔහු සහ අගමැති එක්ව විධායක බලය පාවිච්චි කරති. පාර්ලිමේන්ත්තුව පසුගිය සමයේ අපකීර්තිමත් පාලනය ගෙනගිය එජාපයේ හා ශ්‍රීලනිපයේ මන්ත්‍රීන්ගෙන් සැදි ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී වහන්තරාවකි.

ජාතික එකමුතුව නමින් එජාප හා ශ්‍රීලනිප එකතුවී සිටින්නේ ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමට ද ඊට එරෙහිව මතුවන ප්‍රතිරෝධයන් වැඩීමට ද ධනපති පන්තියේ ශක්තිය ගොනුකර ගැනීමට යි.

සිරිසේන සමග සාකච්ඡාවට එකතුවී සිටි අගමැති වික්‍රමසිංහ මෙසේ පැවසුවේ ය: “අප අපගේ ස්වාධිපත්‍ය විකුනුවේ නෑ. අපි ආරක්ෂා කර ගත්තේ ශ්‍රී ලංකාවේ අනාගතය ගැන පමනක් නොව පැවැති පාලාධිකාරියේ දේශපාලන වීවීපීඅයි [දේශපාලනිකව වඩාත් වැදගත් පුද්ගලයින්] බේරා ගත්තෙමු.“

පලමුවෙන් වික්‍රමසිංහ ස්වාධිපත්‍ය බේරා ගැනීම ගැන: ලංකාවේ ධනපති පන්තියේ දක්ෂිනාංෂික සම්ප්‍රදායික පක්ෂය වන එජාපයේ නායක, ඇමරිකන් අධිරාජ්‍යවාදයේ සුවච ගැත්තෙකු වන වික්‍රමසිංහ ස්වාධිපත්‍ය ගැන කතා කිරීම විකාරයකට වඩා වැඩි දෙයකි. සිරිසේන හා වික්‍රමසිංහ කර ඇත්තේ වංචනිකව තොරොම්බල් කරන “ස්වාධිපත්‍යය“ කුනු කූඩයට දමා ඇමෙරිකන් ගැති විදේශ පිලිවෙතකට මාරු වීම යි. නිශ්චිතාර්ථයෙන්, මෙය චීනයට එරෙහි ඇමරිකානු යුද ධාවනයට ලංකාව ගැට ගැසීමකි. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ බල කිරීම ඉදිරියේ සිරිසේන හා වික්‍රමසිංහ ස්වකැමත්තෙන් දන නමා ඇත.

මින් යලිවතාවක් පෙන්නුම් කර ඇත්තේ, ලියොන් ට්‍රොට්ස්කි පෙන්වා දුන් පරිදි ඊනියා ජාතික ධනපති පන්තියේ මොනම කොටසකටවත් අධිරාජ්‍යවාදයෙන් ස්වාධීනවූ ක්‍රියාකලාපයක් නැති බව යි. ආර්ථිකව ද දේශපාලනිකව ද ජාතික ධනපති පන්තිය අධිරාජ්‍යවාදය සමග දහසක් හුයපටින් ගැට ගැසී ඇත. බටහිර බලපෑම් ගැන ඉඳහිට වාචාලා කතා දෙසා බෑ රාජපක්ෂ ද චීනය සමග සම්බන්ධකම් ගෙන යන ගමන් ඇමරිකානු පාලකයන්ගේ හොඳ හිත දිනා ගැනීමට ක්‍රියා කලේ‍ ධනපති පන්තියේ මෙම ස්වභාවය නිසාම ය.

දැන් වික්‍රමසිංහ දේශපාලන වීවීපීඅයි කාරයින් බේරා ගැනීම ගැන: මේ කතා කරන්නේ යුද අපරාධ චෝදනාවලින් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හමුදාවේ ඉහල නිලධාරීන් බේරා ගැනීම ගැනය. ඇත්තෙන්ම නම් වීවීපීඅයි කාරයින් වන වික්‍රමසිංහ හා සිරිසේන තමතමන්වත් බේරා ගත්හ. මෙය සාපරාධී ක්‍රියාවකි. යුද්ධයේදී මරා දැමුනු, අනේක විධ වධහිංසාවන්ට වඩාත්ම ලක්වූ දෙමල වැසියන්ද ඇතුලු සිංහල, දෙමල, මුස්ලිම් කම්කරුවන් හා දුගීන් ෙකෙරෙහි වික්‍රමසිංහ ඇතුලු ධනපති නායකයින්ට ඇත්තේ පිලිකුලකි.

ධනපති දමෙල ජාතික සන්ධානයේ ද ආධාර ඇතිව ඇමෙරිකන් රජ්‍ය තාන්ත්‍රිකයන් සමග කුමන්ත්‍රනයකින් යුද අපරාධ ගැන විභාග කිරීමේ ඊනියා දේශීය යාන්ත්‍රනයක් සහිත යෝජනාවලියක් වික්‍රමසිංහ ලබාගෙන ඇත්තේ එලෙස ඇත්ත අපරාධකරුවන් බේරා ගැනීම සඳහා ය.

එම යෝජනාව අනුව දකුනු අප්‍රිකාවේ සත්‍ය කොමිෂමට සමාන “සත්‍යය හා මෛත්‍රිය පිලිබඳ කොමිසමක්“ පිහිටුවන බවට වික්‍රමසිංහ මෑතදී පවසා ඇත.

1995දී අප්‍රිකානු ජාතික සම්මේලනය නායකත්වය දුන් ආන්ඩුව, වර්නභේදවාදී පාලනය සමයේදී සිදුකල අපරාධ සෙවීමට ඔවුන්ගේ සත්‍ය හා ප්‍රතිසංන්ධාන කොමිෂමක් (ටීආර්සී) පිහිටුවූයේ ය. එය, කලු ජාතික පාලක පන්තියේ ආධාරයෙන් යුතුව ධනේශ්වර පාලනය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ හා රටතුල පීඩිත ජනයාගේ ශක්‍ය විප්ලවවාදී නැගිටීමක් වෙනතක හරවා යැවීම සඳහා ක්‍රියාත්මක කල වැඩපිලිවෙලක කොටසක් විය. ටීආර්සී ය වර්නභේදවාදී පාලනය යටතේ සිදුවූ සැබෑ අපරාධය වසන් කල අතර එම පාලනයේ ගොදුරුබවට පත්වූ අයට පොරොන්දුවූ සහන ලබාදීමට හෝ අසමත් විනි.

ලංකාව තුල ද මෙබදු කොමිසමක් ප්‍රෝඩාවක් වන අතර ම එහි ප්‍රථම ගොදුර වනු ඇත්තේ සත්‍යය යි. මානව හිමිකම් වාර්තාවේ දැක්වෙන දෙමල ජනයා මුහුන දුන් රුදුරු ව්‍යසනයට විපරීත ලෙස, එහි රෙකමදෝරු කිරීම් හා ඒවා තවත් දියාරු කර ඉදිරිපත් කර ඇති ඇමෙරිකානු-ශ්‍රී ලංකා යෝජනාව කම්කරුවන්ට හා දුගීන්ට එරෙහිව සිදු කෙරෙන පලල් කුමන්ත්‍රනයක කොටසකි.

ලංකාවේ වර්ගවාදී යුද්ධය, 1948 ඊනියා නිදහසින් පසු ධනපති පන්තිය කම්කරු පන්තිය වාර්ගිකව බෙදා සිය පන්ති පාලනය පවත්වා ගැනීම සඳහා ගෙනගිය දෙමල විරෝධී ප්‍රතිපත්ති වල ප්‍රතිපලයකි. යුධ අපරාධ ඇතුලු එහි විනාශකාරී ප්‍රතිවිපාක අහෝසි කල හැක්කේ, එහි මූලයවන වන ධනපති ක්‍රමය පෙරලා දමා සමාජවාදී ක්‍රමයක් ඇති කිරීමෙනි.

අවශ්‍ය වන්නේ, සිංහල දෙමල මුස්ලිම් කම්කරුවන් ජාත්‍යන්තරවාදී ප්‍රතිපත්ති මත එකමුතු කර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක්, එනම් දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා- ඊලාම් සමාජවාදී සමුහාන්ඩුවක් බලයට ගැන ඒමට සටන් කිරීම යි. සමාජවාදී සමානතා පක්ෂය මෙම ක්‍රියා මාර්ගයට සටන් කරයි.

Share this article: