ඇමරිකාව චීනයට එරෙහිව දකුනු චීන මුහුදේ මිලිටරි ප්‍රකෝපකරන දියත් කරයි

US launches South China Sea military provocation against China

නික් බීම්ස් විසිනි, 2015 ඔක්තෝබර් 27

දකුනු චීන මුහුදු ප්‍රදේශයේ චීනය හිමිකම් පාන දිවයින් වටා නාවික සැතපුම් 12 සීමාව තුලට යුද නැවක් පිටත්කිරීම මඟින් ඇමරිකාව, චීනයට එරෙහි ඉවබව නැති මිලිටරි ප්‍රකෝපකරනයක් දියත් කර ඇත.

එරට වේලාවෙන් අද උදෑසන යූඑස්එස් ලාසන් නමැති මිසයිල් නාශක ඩිස්ට්‍රෝයර් යාත්‍රාව, ස්ප්‍රැට්ලි දූපත් සමූහයේ චීනය වාඩිලාගෙන සිටින හා හිමිකම් කියන සූබි හා මිස්චීෆ් ගල්පර කොටස වටා තහනම් කලාපය තුලට ඇතුලු විය. මුහුද ගොඩකර නිර්මානය කල ඉදිකිරීම් සඳහා චීනය හිමිකම් කියයි. ඩිස්ට්‍රෝයර් යාත්‍රාව සමඟ P-8A හා P-3 යන නිරීක්ෂන ගුවන් යානා ද ගමන් ගනියි. ඇමරිකානු තොරතුරු වලට අනුව මේ ගැන චීනයට දැනුම්දී නොමැති අතර කිසිදු සිද්ධියක් ඇතිවී නැත.

චීනය ඇමරිකාවට එරෙහිව කිසිදු මිලිටරි ක්‍රියාවක යෙදී නොසිටීමේ කාරනය සැලකිල්ලට ගන්නා කල මෙම මෙහෙයුමේ අත්තනෝමතික හා ආක්‍රමනික ස්වභාවය කැපී පෙනේ. මෙය යොමුවී ඇත්තේ, චීන රෙජිමය මට්ටුකිරීමේ අරමුන සහිත පූර්ව භංග ප්‍රහාරයක් එල්ල කර, එක්කෝ ඔවුන් ඇමරිකානු නාවික හමුදාවට මුහුනදීමේ හෝ නැතහොත් මූලෝපායික දකුනු චීන මුහුදු ප්‍රදේශයට දශක ගනනාවක් තිස්සේ හිමිකම් පෑම නතරකිරීමේ වොෂින්ටනයේ අනට කීකරු වීම වෙතය. ඉදිරි වසර පහේ ආර්ථික පිලිවෙත සලකා බැලීමට පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වෙන අතරතුර මෙම මෙහෙයුම නිවේදනය කරනු ලැබීම අහම්බයක් නොවේ.

මෙහෙයුම ගැන කෙටි පැහැදිලි කිරීමක් කල ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නම සඳහන් නොකල නිලධාරියෙකුට අනුව, ලාසන් නෞකාව පිටත්කර හැරීම එකම සිද්ධිය නොව ප්‍රකෝපකරනයන් මාලාවක ආරම්භයයි. ඇමරිකාවේ කටයුතු, චීනය සමඟ මිලිටරි ගැටුමක හා න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර යුද්ධයක තර්ජනය උග්‍ර කරයි. එයට කලාපයේ මෙන්ම ඉන් ඔබ්බෙහි රටවල් ද ඇදී එනු ඇත. මේ මාසයේ මුල ජ්‍යෙෂ්ඨ චීන හමුදා නිලධාරියෙක් පවසා තිබුනේ චීනයේ ස්වෛරීත්වය උල්ලංඝනය කරන ඕනෑම බලවේගයකට එරට “කෙලින්ම මුහුන දෙනු” ඇති බවයි. ඔක්තෝබර් 9දා චීන විදේශ අමාත්‍යාංශය අනතුරු අඟවා තිබුනේ, චීනය “ නාවික ගමනාගමනයේ හා ගුවන් ගමන්වල නිදහස ආරක්ෂා කිරීමේ නාමයෙන්, ස්ප්‍රැට්ලි දිවයින් වටා ඇති එරට මුහුදු ප්‍රදේශ හා ගුවන් පථය උල්ලංඝනය කිරීමට කිසිදු රටකට ඉඩ නොදෙන” බවයි.

කලාපය තුලට ඇමරිකාවේ කඩාවැදීම, වොෂින්ටනය එක්සත් ජාතීන්ගේ මුහුදේ නීතිය පිලිගන්නේය යන බොරුව ද සමඟ “නාවික ගමනාගමනයේ නිදහස” යන ප්‍රෝඩාකාරී බැනරය යටතේ ඇමරිකානු මිලිටරිය විසින් ගෙනයනු ලැබූ ව්‍යායාමයක ප්‍රතිපලයයි. මෙම කියාපෑමේ අමූලික කුහකත්වය, ඇමරිකාව එම එජා මුහුදු නීතිය පිලිගන්නේවත් නැතැයි යන කාරනය සලකන කල කැපී පෙනේ.

ධවල මන්දිරයේ ප්‍රකාශක ජොෂ් අර්නස්ට් නාවික හමුදාවේ කටයුතු පිලිබඳ නිශ්චිත ප්‍රශ්න වලට පිලිතුරු දීම ප්‍රතික්ෂේප කලේය. ඔහු පැවසුවේ ඒවා පෙන්ටගනය සමඟ බේරාගත යුතු බවයි. ඇමරිකාව දකුනු චීන මුහුදේ නාවික ගමනාගමනයෙහි නිදහස පිලිබඳ වැදගත්කම ගැන චීනයට පැහැදිලි කර දී ඇති බව ඔහු පැවසීය.

“ලෝකයේ එම කලාපය හරහා ඩොලර් බිලියන ගනන් වන වෙලඳාම් සිදුවේ. එම වෙලඳ කටයුතු නිදහසේ සිදුවන බවට වගබලාගැනීම ගෝලීය ආර්ථිකයට තීරනාත්මකය.”

අර්නස්ට්ගේ එම ප්‍රකාශ, 2003දී ඉරාකය ආක්‍රමනය කිරීම යුක්තිසහගත කිරීම පිනිස යොදාගත් “ජනඝාතක අවි” පිලිබඳ “මහා බොරුව” මෙන්ම 2011දී ලිබියාවේ ගඩාෆි තන්ත්‍රය පෙරලා දැමීමට ඇමරිකාවේ මූලිකත්වයෙන් පෙරට ගත් “මානවවාදී” උත්සුකයන්ට දෙවෙනි වන්නේ නැත.

දකුනු චීන මුහුදේ භූමි ප්‍රදේශයන්ට චීනයේ හිමිකම්පෑම හා මෑත කාලයේ සිදුකරන ලද මුහුද ගොඩකිරීමේ ව්‍යාපෘතීන් වෙලඳාම නිදහසේ ගලායාමට තර්ජනයක් බවට කරන ප්‍රකාශ අමු විකාරයකි. කලාපයේ භාන්ඩ නිදහසේ එහා මෙහා යාම අවහිර කිරීමට චීනයට අවශ්‍යතාවක් නැත්තේ, එරට ආර්ථික වශයෙන් රැඳී සිටින්නාවූ ජීව රුධිරය එය වන බැවින්ය.

ඇමරිකානු ප්‍රකෝපකරනයන් ගලා එන්නේ, පසුගිය දශක තුනක කාලය තුල චීනය අත්කරගත් ආර්ථික වර්ධනය දැන් වොෂින්ටනයේ ගෝලීය පරමාධිකාරයට ලොකුම තර්ජනය වී ඇති බවට කෙරෙන අධිරාජ්‍යවාදී ගනන් බැලීම් වලිනි. නිෂ්පාදන කටයුතු වලට වඩා ලාභ සමුච්ඡයේ ප්‍රමුඛ රූපාකාරය සමපේක්ෂනය හා මූල්‍ය පරපුටුකම වන යෝධ කැසිනෝවකට සිය ආර්ථිකය වඩ වඩාත් සමාන වන තතු හමුවේ ඇමරිකානු පාලක පන්තිය, ආර්ථික වශයෙන් ඉදිරි මාවතක් සම්පාදනය කිරීමට මුලුමනින්ම අපොහොසත්ව සිටියි. ගෝලීය ආධිපත්‍යය සුරක්ෂිත කර ගැනීම පිනිස දරන උත්සාහයේදී සිය සුපිරි මිලිටරි බලය යොදාගැනීමට වොෂින්ටනය අධිෂ්ඨාන කරගෙන සිටියි.

ඇමරිකාවේ කටයුතු මෙහෙයවන බලවේග පිලිබඳ කැපී පෙනෙන දසුනක් ඇමරිකානු ජනාධිපතිවරනයේ රිපබ්ලිකානු අපේක්ෂක බෙන් කාර්සන් විසින් මෑතකදී යොදා තිබුනු ට්වීටර් සටහනක තිබුනි. “චීනය සමග තරඟකල හැක්කේ මෙයාකාරයටයි” යන සටහන ඇති ඇමරිකානු ගුවන්යානා හාරක නෞකාවක පින්තූරයක් එහි ඇතුලත් විය.

මෙහෙයුමේ සැබෑ අරමුන මුහුදේ හා ගුවනේ නිදහස රැකගැනීම නොවේ. චීන භූමිය තුල ද දකුනේ හයිනෑන් දූපතෙහි ද පිහිටි ප්‍රධාන චීන ආරක්ෂක හා මිලිටරි මධ්‍යස්ථාන වලට එරෙහිව මිලිටරි ක්‍රියාන්විතයන් සංවිධානය කර සූදානම් කිරීමේ නිර්බාධිත ඇමරිකානු අයිතිය කියාපෑම එහි අරමුනය.

තවදුරටත් එහි පුලුල් දේශපාලන න්‍යායපත්‍රයක් ද අන්තර්ගතය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ අබිං යුද්ධ හා ජපානය “විවෘත කල” ඇමරිකානු අද්මිරාල් පෙරීගේ බ්ලැක් බෝට්ස් ද ඇතුලු 19වන සියවසේ රාජ්‍යතාන්ත්‍රික හයිකාරකම් (ගන්බෝට් ඩිප්ලොමසි) සිහිපත් කරන, චීනය යලි වතාවක් අර්ධ යටත් විජිත තත්වයට පිරිහෙලන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දිගුකාලීන මූලෝපායයි ඒ.

චීනය සමග තමන්ගේ ආර්ථික බැඳීම් කවරක් වේවා, ආසියානු ශාන්තිකර කලාපය හා ඉන් පිටත ද සිය අධිකාරය පවත්වාගෙන යාම පිනිස තම මිලිටරි ශක්තිය යොදාගැනීමට ඇමරිකාව අධිෂ්ඨාන කරගෙන සිටින බව, ගිනිකොන දිග ආසියානු කලාපයේ රටවලට ප්‍රදර්ශනය කිරීමේ අදහස ද මෙහෙයුම පිටුපස පවතියි.

කැමරන් ආන්ඩුවෙන් හා බ්‍රිතාන්‍ය රාජ්‍යයෙන්, රතුවෙනුත් රතු පලස් මත පිලිගැනීමක් ලත් චීන ජනාධිපතිගේ බ්‍රිතාන්‍ය සංචාරය නිමවනවාත් සමඟම දියත් වූ මෙහෙයුම අරමුනු කර ඇත්තේ, ඇමරිකානු අරමුනු වලට විරුද්ධ වුවහොත්, අවශ්‍ය නම් මිලිටරි බලය යොදා හෝ ඒවා තලා දමන බවට අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් වෙත පැහැදිලි පනිවිඩයක් දීමය.

මිලිටරිය වෙතින් මාස ගනනක් තිස්සේ එල්ලවූ පීඩනයෙන් පසුව ඔබාමා පාලනය, පසුගිය මාසයේ සිදුවූ ෂීගේ ඇමරිකානු සංචාරයෙන් පසුව මෙහෙයුම දියත් කරන ලදී. ඔබාමා සමඟ පැවති පෞද්ගලික සාකච්ඡා වලදී මෙන්ම ප්‍රසිද්ධ සාකච්ඡා වලදී ද ෂී, මතභේදයට තුඩුදී ඇති දිවයින් හා ගල්පර ප්‍රදේශවලට හිමිකම් කියන ෆිලිපීනය හා වියට්නාමය ඇතුලු අනෙකුත් රටවල් කරගෙන යන ආකාරයට, එම ප්‍රදේශ වලට චීනයේ හිමිකම් හා ඉදිකිරීම් සඳහා ඇති අයිතිය දිගින් දිගටම අවධාරනය කලේය. ඒ සමඟම ඔහු පැවසුවේ, කලාපය තුල චීනයේ ඉදිකිරීම් “කිසිදු රටක් ඉලක්ක කර නොගන්නා හා බලපෑම් ඇති නොකරන බවට හා චීනය මිලිටරීකරනය අනුගමනය කිරීමට අදහස් නොකරන” බවය.

චීනයේ නිල ආස්ථානය වන්නේ, ආරක්ෂක අවශ්‍යතා මතුව ඇති තැන්වල මිලිටරි පහසුකම් ඉදිකර ඇතැයි යන්නය. මෙය සිදුවන්නේ, ඇමරිකානු නාවික හා ගුවන් හමුදා, කලාපය තුල නිතිපතා මිලිටරි කටයුතුවල යෙදී සිටින හා චීනය තුලට දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරීම පිනිස දකුනු චීන මුහුදේ ඇමරිකානු මිලිටරියේ ගුවන්/මුහුදු යුද සැලසුම් ප්‍රයෝජනයට ගන්නා තතු තුලය.

ෂී පසුබැස්සවීමට අසමත්වූ තැන ඔබාමා ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී පැවසුවේ, ඇමරිකාව “ජාත්‍යන්තර නීතියෙන් ඉඩ සැලසෙන කුමන තැනක හෝ නාවික ගමනාගමනයේ හා ගුවන් ගමන් වල යෙදෙනු ඇති” බවය. රැස්වීමෙන් ක්ෂනික ඉක්බිත්තේ නිකේ ඒෂියන් රිවිව්හි පලවූ වාර්තාවකට අනුව, “කෝපයට පත් ඔබාමා එක්සත් ජනපද පැසිෆික් ආඥාපති හැරී හැරිස්ට කථාකරන ලෙස සිය සමීප නිලධාරියෙකුට නියම කර, දකුනු චීන මුහුදේ මෙහෙයුමක් අරඹන ලෙස එක්සත් ජනපද නාවික හමුදාවට බලය පැවරීය.” මෙය අඩුම තරමින් පසුගිය ජූනි මාසයේ සිටවත් නාවික හමුදාව බලකරමින් සිටි දෙයකි.

දිගුකාලීන සන්දර්භයක තබා බලන කල දකුනු චීන මුහුදේ මෙහෙයුම, පසුගිය 25 වසර තිස්සේ ඇමරිකානු මිලිටරිවාදය අනුගමනය කරන රටාවට අනුකූලය. 1991 සෝවියට් සංඟමය බිඳවැටීමෙන් පසුව ඇමරිකාව, තම ගෝලීය පරමාධිකාරය පවත්වාගැනීම පිනිස නම්, රුසියානු හා චීන විප්ලව මඟින් තමන් කපාහරින ලද ලෝකයේ දැවැන්ත ප්‍රදේශ යටත්කරගෙන යලි විජිතකරනයට ලක්කල යුතුය යන අවබෝධය මත කටයුතු කර තිබේ.

වොෂින්ටනයේ මිලිටරිවාදී තල්ලුව එකකින් පසු තවෙකක් වශයෙන් ව්‍යසනයන් ගෙන ආවේය. එයට ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ, තවත් යුද්ධ හා තන්ත්‍ර මාරු මෙහෙයුම් දියත් කරමිනි. මැද පෙරදිග තමන් මුහුනදී සිටින අර්බුදය මධ්‍යයේ ඇමරිකානු අධිරාජ්‍යවාදය, චීනය සමඟ යුද්ධයේ මාවතට පිවිසෙමින් ඊට ප්‍රතිචාර දක්වා ඇත.

මෙම පිස්සුව අධිරාජ්‍යවාදී දේශපාලඥයින්ගේ නොමඟ ගිය මානසිකත්වයේ නිමැවුමක් නොවේ. ඒ වෙනුවට අධිරාජ්‍යවාදී භූදේශපාලනය, ලෝක ධනේශ්වර ක්‍රමයේ උමතුවෙහි ප්‍රකාශනයකි. ගෝලීය ආර්ථිකයක වැඩී යාම ද ලෝකය ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් හා මහ බලවතුන් ලෙස බෙදී තිබීම ද අතර ගැඹුරු වන ප්‍රතිවිරෝධයන් තුලින් එය මතුව එයි.

වොෂින්ටනයේ තර්ජන කෙරෙහි පල වන බීජිනයේ ප්‍රතිචාරය අතිශයින්ම ප්‍රතිගාමීය. ඔවුන් ඇමරිකානු අධිරාජ්‍යවාදයට පිලිතුරු දෙන්නට යන්නේ ප්‍රති තර්ජන මඟිනි. මිලිටරි තරකිරීම් හා චීන ජාතිකවාදය වැපිරීම මඟින්ය. චීන ධනපති කතිපයාධිකාරයේ නියෝජිතයින් ලෙස ඔවුහු, යුද්ධයේ තර්ජනයට එරෙහිව කම්කරු පන්තිය එක්සත් කර මෙහෙයවීමේ කුමන හෝ ව්‍යායාමයකට සතුරු වෙති.

දකුනු චීන මුහුදේ වත්මන් සිදුවීම් ක්ෂනිකව දිග හැරෙන්නේ කෙසේ ද යන්න නොතකා ඒවා නිසැකවම, තුන්වන ලෝක යුද්ධය දෙසට තබන තවත් පියවරක් සලකුනු කරයි. කම්කරුවන් හා තරුනයින්, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත පදනම් වෙමින්, ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟීම තුලින් මෙයට ප්‍රතිචාර දැක්විය යුතුය.

Share this article: