යුද තර්ජනය හමුවේ ඇමරිකානු හා රුසියානු මිලිටරි නිලධාරීහු හමුවෙති

US, Russian military meet amid warnings over war threat

බිල් වෑන් ඕකන් විසිනි, 2015 සැප්තැම්බර් 15

ඇමරිකානු හා රුසියානු මිලිටරි නිලධාරීහු, සිරියාවට ඉහල අහසේ මෙහෙයුම්වල යෙදෙන සිය ප්‍රහාරක ගුවන් යානා අතර ගැටුමක් වලක්වා ගැනීමේ අරමුන සහිත වැඩ පිලිවෙලක් සඳහා එකඟත්වයක් ඇතිකර ගැනීමට 14දා, තුන්වන වීඩියෝ හමුව ද පැවැත්වූහ.

පෙන්ටගනයට අනුව 10දා, සිරියාවට ඉහල අහසේදී ඇමරිකානු හා රුසියානු ප්‍රහාරක ජෙට් යානා සැතපුමක් පමන එකිනෙකට සමීපයෙන් ගමන් ගැනීමේ සිද්ධිය හමුවේ, රැස්වීම පැවැත්වින.

“දෘෂ්‍යමාන දුරක ගමන්ගත්” බව බැග්ඩෑඩයේ ඇමරිකානු මිලිටරි ප්‍රකාශක කර්නල් ස්ටීව් වොරන් පැවසීය. “සියලු ගුවන් නියමුවන් නියමිත පරිදි කටයුතු කරමින් සිය මෙහෙවරෙහි නිරත විය. එහෙත් මෙය අනතුරුදායකය, හරි ද?... සටන් පථයෙහි අසම්බන්ධීකරන නියාමකයින් වැඩ කරන සෑම අවස්ථාවන්හිදීම අනතුරක හැකියාව පවතියි.”

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශනයක සඳහන් වුනේ, මෙහෙයුම් පිලිබඳ ඒකාබද්ධ එකඟත්වයකදී “පැනනඟින මූලික අවශ්‍යතා හමුවේ ස්ථානගතවීම සමීපවී” ඇත යනුවෙනි. එහෙත් ගිවිසුමකට තවමත් එලඹ නැති බව ද ඉන් ඇඟවුම් කෙරින.

සිරියානු ගුවන් පථයේ “ගැටුම් මඟහැරීම” අරමුනු කරගත් වීඩියෝ හමුව, වඩා පුලුල් හා ඉහල පෙලේ සාකච්ඡාවන්හි ආරම්භය බවට පත්කර ගැනීමේ රුසියානු යෝජනාව වොෂින්ටනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබින.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 13දා පැවසුවේ, සිරියාව තුල ගෙන යන එක්සත් ජනපද හා රුසියානු මෙහෙයුම් සමීපව සම්බන්ධීකරනය පිලිබඳව සාකච්ඡා කිරීමට අගමැති ඩිමිත්‍රි මෙඩ්විඩෙව්ගේ නායකත්වයෙන් ඉහල පෙලේ රුසියානු මිලිටරි හා සිවිල් නිලධාරීන් කන්ඩායමක් වොෂින්ටනය කරා යැවීමට තමා කර තිබූ යෝජනාව ඇමරිකානු නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බවය.

“මට පෙනෙන්නේ අපගේ සහකරුවන් සිතාබැලිය යුතු බොහෝ දේ ඇති බවය. පොදු සතුරා යයි කියනු ලබන අයිසිස් වරුන් වෙනුවට “මධ්‍යස්ථ” සිරියානු මිලිෂියාවන් රුසියානු බෝම්බ ප්‍රහාරයන්ට ඉලක්ක කරගෙන ඇතැයි ඇමරිකාව ප්‍රකාශ කරන තතු හමුවේ පුටින් තවදුරටත් පැවසුවේ, “අප ඉලක්ක නොකල යුතු යයි” සලකන ප්‍රදේශ නම්කරන ලෙස පෙන්ටගනයෙන් අප කල ඉල්ලීමට ප්‍රතිචාරයක් ලැබී නැති බවයි.

“මධ්‍යස්ථ” විපක්ෂ බලවේග යයි කියනු ලබන “නිදහස් සිරියානු හමුදාව” වෙත රුසියානු ගුවන් ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව කර ඇති වොෂින්ටනයේ අනතුරු ඇඟවීම්, රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් වන මාරියා සකාරෝවා විසින් සිහිපත් කරන ලදී. මෙම බලවේග ස්ථානගත ප්‍රදේශ පිලිබඳව කුමන හෝ තොරතුරක් සැපයීම ඇමරිකාව විසින් ප්‍රතික්ෂේප කිරීම යොමුවී ඇත්තේ එය, “බෙහෙවින් කථාබහට ලක්ව ඇති නමුත් දක්නට නැති බොරු සංවිධානයක්” ය යන මඟහැරිය නොහැකි නිගමනය කරාය.

නැඟී එන ආතතීන්හි මූලය පවත්නේ, අයිසිස්වරුන්ට හා “ත්‍රස්තවාදීන්ට” එරෙහිව සටන් කරන්නේය යන පොදු කඩතුරාව යටතේ ඇමරිකානු අධිරාජ්‍යවාදය හා රුසියානු තන්ත්‍රය විසින් හඹා යන්නාවූ, එකිනෙකට මුලුමනින්ම ප්‍රතිවිරුද්ධ අරමුනු තුලය. ඇමරිකාවේ ප්‍රමුඛ අරමුන, තන්ත්‍ර මාරුවේ සිරියානු සිවිල් යුද්ධය උසිගන්වමින් එරට, සව්දි අරාබිය, කටාර් හා තුර්කිය සමඟ පෙල ගැසුනු මුල් අවස්ථාවේ පැවති ආකාරයටම පවතියි. ඇමරිකාවට අවශ්‍යව ඇත්තේ, තෙලින් පොහොසත් මැද පෙරදිග තුල සිය ආධිපත්‍ය පිහිටුවා ගැනීම අරමුනු කරගත් ව්‍යායාමයේ කොටසක් ලෙස ජනාධිපති බෂර් අල් අසාද්ගේ පාලනය අවසන්කර රූකඩ ආන්ඩුවක් ඇටවීමය.

අනෙක් අතට රුසියාව, දෙසතියක් තිස්සේ සිදු කරන තම ගුවන් ප්‍රහාර සමඟින් මැදිහත්ව ඇත්තේ, පැරනි සෝවියට් සංඟමයට පිටතින් ඇති තම එකම මිලිටරි කඳවුර වන ටාටස් නම් මධ්‍යධරනී මුහුදේ ඇති සිරියානු වරායෙහි නාවික මධ්‍යස්ථානය අහිමිවීම හා මැද පෙරදිග සිය එකම සහචරයා වන අසාද් නඟා සිටුවා ඔහුගේ ඇද වැටීම වලක්වා ගැනීම පිනිස ය.

පහරදීමට ඉලක්ක කරගත නොයුතු තැන් පෙන්වාදීම පෙන්ටගනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමත් රුසියාව එම ස්ථාන ඉලක්ක කිරීමත් මත පැනනැඟී ඇති ආරවුල යටින් පවතින්නේ, තන්ත්‍ර මාරුව සඳහා ගෙන යන යුද්ධයේදී තම ප්‍රධාන කුලී බලවේග ලෙස සීඅයිඒ, සව්දි අරාබිය, කටාර් හා තුර්කිය විසින් අරමුදල් හා අවි සම්පාදනය කරනු ලැබ ගොඩනඟා ඇති, සිරියාවේ අල් කයිඩාවට සම්බන්ධ අල් නුස්රා පෙරමුන හා එවැනි වෙනත් නිකායික මිලිෂියාවන් මත වොෂින්ටනය වාරුවී සිටින්නේය යන කැත රහසය.

ඉඩ්ලිබ් හා ලටාකියා ප්‍රාන්තවල හා ඩැමස්කස්හි ගම්බද ප්‍රදේශවල මෙන්ම උතුරේ පිහිටි හමා නගරයෙන් ඉස්ලාමීය හමුදා පසුබැස්වීම අරමුනු කරගත් සිරියානු ආන්ඩුවේ හමුදාවන්හි පුලුල් ප්‍රති ප්‍රහාර සඳහා ආධාර කරමින් රුසියාව, මෙම හමුදා මධ්‍යස්ථාන වෙත යලි යලිත් බෝම්බ හෙලනු ලබයි.

මොස්කෝවේ හා වොෂින්ටනයේ ප්‍රතිවාදී අරමුනු පිලිබඳව හා ඇමරිකානු හා රුසියානු මිලිටරි මෙහෙයුම් අතර සමීප භාවය නිසා ලෝකයේ ප්‍රධාන න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර අවි ගැටුමක් ඇවිලයාමේ හැකියාව පිලිබඳ කනස්සල්ල, සව්දි අරාබිය, ඉරානය හා ජෝර්දානයට කෙරෙන සිව් දින සංචාරයට පෙරාතුව ජර්මානු විදේශ ඇමති වෝල්ටර් ස්ටේන්මියර් විසින් 14දා කල අනතුරු ඇඟවීම තුල නව ප්‍රකාශනයක් අත්කර ගත්තේය.

තමන්ට අවශ්‍යව ඇත්තේ, “අවසානයේදී ගැටුමකට තුඩු දිය හැකි පරිදි මිලිටරිමය වශයෙන් මැදිහත්වීම පිලිබඳව ඇමරිකාවට හා රුසියාවට වහාම අනතුරු ඇඟවීම” බව ඔහු පැවසීය. “අවසානයේදී අපට අවශ්‍ය සියලු කලාපීය හවුල්කරුවන් එකම මේසයකට ගෙන ආ හැකිවන පරිදි සව්දි අරාබිය හා ඉරානය අතර පාලමක් ඉදිකිරීම” සිය සංචාරයේ අරමුන බව ද ඔහු පැවසීය. සව්දිය සිරියාවේ තන්ත්‍ර මාරුව සඳහා වන යුද්ධයේ මූලික සහචරයා වන අතර ඉරානය සිරියාවේ සමීප සහචරයාය.

සිරියාව මුල්කරගෙන බර්ලිනය හා වොෂින්ටනය අතර වැඩෙන බෙදීම් පිලිබඳ සලකුනකි, ජර්මානු විදේශ ඇමතිගේ ප්‍රකාශ. ඇමරිකාව යලි යලිත් උත්සාහ කරන්නේ සිරියාව පිලිබඳ කුමන හෝ සාකච්ඡාවකින් ඉරානය බැහැර කර තැබීමට ය. කලාපය තුල ඇමරිකාවේ අර්බුද ග්‍රස්ත පිලිවෙත, නේටෝ සන්ධානයේ සමාජිකයින් අතර එන්ට එන්ටම බෙදීම් ඇති කරමින් තිබේ.

මින් වඩාත්ම නාටකාකාර සිදුවීම තුර්කිය සම්බන්ධයෙනි. ප්‍රධානකොටම ඉරාකයේ ද සිරියාවේ ද කුර්දි ඉලක්ක වෙත බෝම්බ හෙලීමට තමන්ගේම ප්‍රහාරක යානා යවන අතර තුර්කිය, සිරියාවට ප්‍රහාර එල්ල කිරීම පිනිස ඇමරිකාවට තුර්කි ගුවන් කඳවුරු පාවිච්චි කිරීමට ඉඩ දෙමින් අයිසිස්ට එරෙහි සටනට සැබවින්ම සම්බන්ධ විය. තුර්කිය, තුර්කි කම්කරු පක්ෂයේ (පීකේකේ) “ත්‍රස්තවාදී” ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වන බව පවසමින් වොෂින්ටනය ආරම්භයේදී මෙම කටයුතු වලට සහාය දුන්නේය.

කෙසේ වෙතත් ඒ සමඟම ඇමරිකාව, අයිසිස් වෙත ප්‍රහාර එල්ල කිරීමේ ගොඩබිම් හමුදාවක් ලෙස සිරියාව තුල කුර්දි ජනතා ආරක්ෂක ඒකක යොදාගැනීමට උත්සාහ කලේය. ඊට ඉස්ලාමීය මිලිෂියාවන්ගේ සැබෑ අගනුවර ලෙස යොදාගෙන තිබුනු උතුරු සිරියාවේ රකා නඟරය අත්පත්කර ගැනීමේ සැලසුම්ගත ආක්‍රමනය ද ඇතුලත් විය.

මේ සතිය මුල පෙන්ටගනය ගුවනින් සිරියාවට දැමූ ටොන් 50ක අවි හා මූනිස්සම්, කුර්දි ආරක්ෂක ඒකක හා ඊට බැඳුනු කුඩා අරාබි මිලිෂියාවන් සඳහා බව වාර්තා විය.

සිරියාවේ කුර්දි හමුදා හා එහි දේශපාලන හස්තය වන ප්‍රජාතන්ත්‍ර එක්සත් පක්ෂය, තුර්කියේ පීකේකේ සමඟ බැඳී සිටියි. ඔවුන් රුසියාවේ ගුවන් ප්‍රහාර සඳහා ද සිය සහාය පලකොට තිබේ.

සිරියාව තුල දැනටමත් පවතින අස්ථාවර තත්වය තවත් උග්‍ර කරමින් තුර්කි ආන්ඩුව 14දා, ඇමරිකානු හා රුසියානු තානාපතිවරු දෙදෙනාම කැඳවා, අයිසිස්ට එරෙහිව සිරියානු කුර්දි හමුදාවන්ට කුමන හෝ සහායක් දීමට එරෙහිව අනතුරු ඇඟවීය.

“අපට පැහැදිලි ස්ථාවරයක් තිබේ. එම ආස්ථානය එක්සත් ජනපදයට මෙන්ම රුසියානු සමූහාන්ඬුවට ද දන්වා ඇත.” රූපවාහිනී ප්‍රකාශයකදී එසේ පැවසුවේ තුර්කි අගමැති අමෙට් ඩවුටොග්ලුය. “අපට විරුද්ධව යුද්ධයක් ගෙන යන ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ කුමන හෝ සහයෝගයක් අපට පිලිගත නොහැකිය.”

“එක්සත් ජනපදය හා එහි මිතුරන් අල් කයිඩාවට සම්බන්ධ කන්ඬායම් වලට එරෙහිව සටන් වදිනවාක් සේම තුර්කිය ද පීකේකේ හා එයට බැඳුනු සංවිධාන වලට එරෙහිව සටන් වැදීමට අධිෂ්ඨානවත්ව සිටියි.”

සිරියාව තුල ඉස්ලාමීය මිලිෂියවන්ගේ ප්‍රමුඛ ආධාරකරුවා වන තුර්කිය, දේශසීමාව දිගේ ඇති සිරියානු කලාපය මත “පියාසර තහනම් කලාපයක්” ඇටවීම පිනිස දිගටම බලපෑම් කරයි. එහි අරමුන, තහනම් කලාපය ආවරනයක් ලෙස යොදාගෙන කුර්දි හමුදාවන්ට පහරදී දේශසීමාවෙන් ඔබ්බට පලවා හැරීමය.

මෙම ප්‍රශ්නය මුල්කරගෙන ඇන්කාරාව හා වොෂින්ටනය අතර ගැටුම්කාරී තත්වයක් නිර්මානය වී ඇත. ඇමරිකානු යානා සිරියාව තුල කුර්දි හමුදාවන්ට ගුවන් ආරක්ෂාව හා සහාය සපයමින් සිටියදී පවා තුර්කි ජෙට් යානා ඔවුන්ට පහර එල්ල කිරීම පිනිස යෙදවීමේ හැකියාව මත එවන් තත්වයක් උද්ගතව පවතී.

Share this article: