ග්‍රීසිය තුල ස්ටැලින්වාදය

Stalinism in Greece

ක්‍රිස්ටෝපර් ඩ්‍රෙයර් විසිනි, 2015 අගෝස්තු 31

“සිරිසා, ග්‍රීක මැතිවරනයට පූර්වයෙන් ව්‍යාජ වමේ උපාමාරු” යන හිසින් අගෝස්තු 28 දින ප්‍රකාශයට පත් කල ලිපිය පිලිබඳව සිය අදහස් ප්‍රකාශ කල පාඨකයෙක්, ග්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂය වන කේකේඊ සමග ඇති වෙනස්කම් මොනවාදැ යි ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් විමසුවේ ය. අපි පිලිතුරක් පහතින් පල කරන්නෙමු. මුල් ප්‍රකාශය මෙතැනින් කියවිය හැකිය.

ඔබ බලාපොරොත්තු වන්නේ කේකේඊ සහ අප අතර වන නොඑකඟතා දැනගැනීමට ද? ඒවා ඔක්තෝබර් විප්ලවය සහ ලෝක සමාජවාදී මූලධර්ම සඳහා අරගලයට ප්‍රතිපක්ෂ වූ ස්ටැලින්වාදී පාවා දීමට එරෙහිව හතරවන ජාත්‍යන්තරය ගෙන ගිය අරගලයෙහි සමස්ත ඉතිහාසය අන්තර්ගත කර ගනී.

කේකේඊ යනු සෝවියට් නිලධරයේ ප්‍රතිවිප්ලවවාදී අපරාධ තුල ගිලී ගිය ඉතිහාසයක් ඇති ජාතික ස්ටැලින්වාදී පක්ෂයකි. එය ස්ටැලින්වාදීන් විසින් සිදු කෙරුනු විප්ලවවාදී සමූලඝාතනයට සහාය දුන් අතර ට්‍රොට්ස්කි ඝාතනය ග්‍රීසිය තුල සංවිධානය කලේ ය. එය බැතිමත් ව ක්‍රියාවට දැමූ සෝවියට් නිලධරයේ ප්‍රතිපත්ති ග්‍රීක සිවිල් යුද්ධයේ දී කම්කරු පන්තිය ලද පරාජය කල් ඇතුව ම සහතික කලේ ය.

පස්චාත් යුද කාල පරිච්ඡේදය තුල කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රෙම්ලින් නිලධරයේ විදේශ පිලිවෙතට යටත්ව පවත්වා ගැනුනි. මෙලෙසින් එය 1967 දක්ෂිනාංශික කුමන්ත්‍රනයේ සාර්ථකත්වයට සහ එම ජුන්ටාව ඇද වැටීමෙන් අනතුරුව ග්‍රීසිය තුල ධනේශ්වර දේශපාලන අධිකාරය යලි ස්ථාපිත කිරීමට අවශ්‍ය දේශපාලන කොන්දේසි නිර්මානය කිරීම සඳහා තීරනාත්මක ලෙස දායක විය. කේකේඊය නව ප්‍රජාතන්ත්‍රවාදී හා පැසොක් යන පක්ෂ දෙකෙහි ම ධනේශ්වර ආන්ඩුවලට අනුමැතිය දී ඒවාට සහභාගී වූයේ ය.

සෝවියට් සංගමය විසුරුවා හැරීම සහ රුසියාවේ හා නැගෙනහිර යුරෝපයේ ධනවාදී පුනස්ථාපනය, අනෙකුත් ජාතිකවාදී ස්ටැලින්වාදී සංවිධානවලට මෙන් ම, කේකේඊයට ද පෙර කල තම පැවැත්ම තහවුරු කල ද්‍රව්‍යමය සම්පත් අහිමි කලේ ය. තව දුරටත් සෝවියට් සංගමයේ සහයෝගය නො මැති වූ එයට සුලු ධනේශ්වර බුද්ධිමතුන් කොටසකගෙන් ලැබුනු අවධානය අඩු වී ගියේය. සිරිසා සහ අනෙකුත් ව්‍යාජ වාම සංවිධාන සමග කුමන හෝ ප්‍රතිපත්තිමය අන්තර්ගතයකින් තොර වූ එහි ආරවුල්, කම්කරු පන්තියේ කොටසක්, විශේෂයෙන් වෘත්තීය සමිති තුල, තම සංවිධානාත්මක පරිපාලනය යටතේ රඳවා ගැනීමට කේකේඊ නිලධරය දැරූ ප්‍රයත්න මුල්කොටගත් ඒවා ය.

කේකේඊය නො නැවතී ස්ටැලින් සහ ඔහුගේ හෙන්චයියන් ගැන ගුන ගායනා කරයි. මෙය මධ්‍යම පන්තික වාම ලිබරලුන්ට නම් සුලු කරුනකි. එහෙත් මාක්ස්වාදීන්ට නම්, පක්ෂයක අගැයීම තීන්දු කෙරෙනුයේ එහි ඉතිහාස පිලිබඳ පරීක්ෂනයක් තුලිනි. ස්ටැලින්වාදයේ තිරිසන් අපරාධ සමග අනන්‍ය වන දේශපාලන සංවිධානයක් යනු ග්‍රීසියේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ සතුරෙකි.

ග්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ ස්වභාවය තීන්දු කිරීමේ දී සිප්රාස් පිලිබඳ කේකේඊයේ කුහක විවේචන ස්ටැලින්වාදය පිලිබඳ එහි නින්දිත ගුන ගැයුම්වලට වඩා අඩු වැදගත් කමකින් යුක්ත නොවේ.

Share this article: