ආන්ඩුව සහ මාධ්‍යය වැලිවේරිය හමුදා ප්‍රහාරයේ වගකිව යුත්තන් වසන් කිරීමට යත්න දරයි

විලානි පීරිස් විසිනි, 2015 සැප්තැම්බර් 3

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂනය කල වැලිවේරියේ ජනයාට, 2013 අගෝස්තු 1 දා එල්ල කල ම්ලේච්ඡ හමුදා ප්‍රහාරයෙන් වසර දෙකක් ගත වුවද ඒ සම්බන්ධයෙන් වැඩුනු මහජන විරෝධය සමහන් නොවී ඇති තතු යටතේ ප්‍රහාරයට වගකිව යුත්තන් වසන් කිරීමට ආන්ඩුව සහ සියලු ධනේශ්වර මාධ්‍යයන් යත්න දරමින් සිටී.

එහි කොටසක් ලෙස, වැලිවේරිය ජල දූෂනය සම්බන්ධයෙන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිදුකල ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වාර්තාව හා නිගමන සම්බන්ධයෙන් එකී මාධ්‍යයන් පරිපූර්න නිශ්ශබ්දතාවයක් රකියි.

ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ පිහිටි වෙනිග්‍රොස් සහ තුන්නාන පිහිටි හංවැල්ල රබර් ප්‍රඩක්ට්ස් යන කර්මාන්ත ශාලාවන්ගෙන් විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හා ඊට එරෙහිව උද්ඝෝෂනය කල ජනතාවට එල්ල කල පොලිස් මිලිටරි ප්‍රහාර පිලිබඳව මාස 6 ක පමන කාලයක් පුරා සසප සිදු කල කම්කරු පරීක්ෂනයේ වාර්තා හා නිගමන 2014 ජුලි 20 දා ගම්පහ සනස ශාලාවේ දී ප්‍රසිද්ධියේ ඉදිරිපත් කෙරිනි.

ප්‍රදේශයේ ජනතාවගෙන් ලබා ගත් සාක්ෂි සහ නිරීක්ෂන ද රජයේ හා රජයේ නොවන පිලිගත් විද්‍යාත්මක පර්යේෂන ආයතන මගින් කරන ලද විමර්ශනයන් ද අදාල ක්ෂේත්‍රයන් පිලිබඳ ප්‍රාමානිකයන්ගෙන් ලබා ගත් අදහස් හා දැනුම ද අන්තර්ජාලය ඇතුලු විවිධ දැනුම් මූලාශ්‍රයන්ගෙන් ලබා ගත් දත්ත සහ තොරතුරු ද මත මෙම වාර්තාව හා නිගමන පාදක විය.

වැලිවේරියේ හමුදා ප්‍රහාරයෙන් 18 හැවිරිදි රවිශාන් පෙරේරා හා 17 හැවිරිදි අකිල දිනේශ් ජයවර්ධන නම් ශිෂ්‍යයන් දෙදෙනා ද නිලන්ත පුෂ්ප කුමාර නම් 29 හැවිරිදි කම්කරුවා ද ඝාතනයට ලක් වූහ. තවත් 40 කට පමන තුවාල සිදු විය. ප්‍රහාරයෙන් ආබාධිත තත්වයට පත්වූවෝ හා රෝගී තත්වයට පත්වූවෝ අදද ඉන් පීඩා විඳිති.

බොහෝ දෙනෙකුට අද වනතෙක්ම පිරිසිදු ජලය ලැබී නොමැති බවත් කම්හල බියගම නිදහස් වෙලෙඳ කලාපයට ගෙනගිය ද කිසිදු ප්‍රශ්නයක් විසඳා නොමැති බවත් ‍ප්‍රද්ශවාසීහු පවසති.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව පසුගිය මහ මැතිවරනය ආසන්නයේදී හමුදා ප්‍රහාරයට ව්‍යාජ විරෝධයක් පලකරමින් බොරු පොරොන්දු මාලාවක් ලබාදුන්නේ ජල දූෂනයේ හා හමුදා ප්‍රහාරයේ සැබෑ වග උත්තර කරුවන් යට ගසමින් ඡන්ද ගසා කෑමේ ප්‍රයත්නයක් ලෙසය.

මෙම ප්‍රයත්නයට බැකිම දුන් මාධ්‍යයන් අතරින් රාවය පුවත්පත ප්‍රමුඛය. "රතු පස්වලට වසර දෙකයි මහින්ද සමග නැගිටිමුද ?” යන මැයෙන් අගෝස්තු 9 දින පලකල ලිපියෙන් රාවය යත්න දැරුවේ හමුදා ප්‍රහාරයේ වාසිය එක්සත් ජාතික පක්ෂයට ලබා දීමටය.

රතුපස්වල ජලය ගැන ආයතන වාර්තා කිහිපයක්ම වරින්වර නිකුත්වී තිබූ නමුත් ඒවායේ කරුනු එකිනෙකට පරස්පර විරෝධී බව පවසන එම ලිපිය කියා සිටින්නේ "සැලකිල්ලට ගතයුතු වන්නේ මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව" බවයි.

රාවය එම වාර්තාව අගය කරන්නේ ප්‍රහාරයේ සැබෑ වගඋත්තරකරුවන් වසන් කරමින් හමුදා නිලධාරීන් කීප දෙනෙකුට එහි වගකීම භාර කරන බැවිනි. “අන දෙන නිලධාරීන්ට හා ප්‍රධාන නිලධාරීන්ට එරෙහිව යුද හමුදා විනය යටතේ කටයුතු කල යුතු බව” මානව කොමිසන් වාර්තාව කියා සිටින බව ලිපියෙන් පෙන්වා දෙයි.

සසප පරීක්ෂනය ආරම්භයේදීම පෙන්වා දුන්නේ මිලිටරි ප්‍රහාරයේ වගකීම හුදෙක් හමුදාව මත පැටවීමට දරන ප්‍රයත්නය යටින් පවත්නේ සැබෑ වගකිව යුත්තන් වසන් කිරීම බවයි. ස්වාධීන පරීක්ෂනයක් පැවත්වීමට තීන්දු කරමින් 2013 නොවැම්බරයේදීම සසප මෙසේ පෙන්වා දුන්නේය.

“හමුදා උසාවියේ පරීක්ෂනයෙහි ප්‍රතිඵලය කුමක් වේදැයි දැනටමත් පැහැදිලිය. අගෝස්තු 01දා ප්‍රචන්ඩ ප්‍රහාරයට නියෝග දුන් ආන්ඩුවේ ක්‍රියාකලාපයට සුදුහුනු ගෑම සඳහා තනි තනි නිලධාරීන් හා සෙබලුන් වරදකරුවන් ලෙස හංවඩු ගැසීමක් සිදුවෙමන් පවතී.”

ලාභයම අරමුනු කරගත් කම්හලේ පාලකයන් නිසි ආකාර ප්‍රතිකාරක පද්ධතියක් පවත්වාගෙන නොයාම හේතුවෙන් පරිසරය හා ජලය දූෂනය වී ඇති බවත් පලාතේ මහජනයා රෝගී තත්වයට පත් වී ඇති බවත් සසප පරීක්ෂනය නිගමනය කලේය. පාලකයන්ගේ ලාභය ආරක්ෂා කර දීමේ අරමුන කර ගනිමින් ධනපති ආන්ඩුව මිලිටරිය යොදා පහර දී ඇති බවත් සසප පෙන්වා දුන් අතර රාවය එම කරුනු මුලුමනින්ම යට ගසයි. සසප විසින් කම්කරු පරීක්ෂනය ආරම්භ කලේ මුලසිටම කරන ලද මෙම යටගැසීම්වලට විරුද්ධවයි.

වැලිවේරිය ප්‍රහාරයෙන් මාස ගනනක් ඇතුලත, එනම් 2014 මාර්තු 16 දින, වෙනිග්‍රොස් කම්හල හිමි ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගමටම අයත්, හංවැල්ල තුන්නානේ පිහිටි හංවැල්ල රබර් ප්‍රඩක්ට්ස් කම්හලෙන් සිදු කෙරෙන පරිසර දූෂනයට එරෙහිව උද්ඝෝෂනය කල ප්‍රදේශයේ මහජනතාවට එරෙහිව ආන්ඩුව විසින් පොලීසිය මෙහෙයවා එල්ල කල ප්‍රහාරයෙන් දුසිම් ගනනකට තුවාල සිදු කෙරුන තත්වයේදී එම අප්‍රේල් මාසයේදී, තුන්නාන ප්‍රදේශයට ද තම කටයුතු පුලුල් කිරීමට පරීක්ෂන කමිටුව තීරනය කලේය.

කම්කරු පරීක්ෂනයේ වාර්තා හා නිගමන ලෝක සමාජවාදී වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධියට පත්කල අතර පොතක් ලෙස මුද්‍රනය කර පලාතේ මහ ජනයා අතර හා කම්කරු පීඩිතයන් අතර බෙදා හැරිනි.

පරීක්ෂනය ඇරඹූ තැන් පටන් එහි වැඩ කටයුතු කඩාකප්පල් කිරීමට රාජ්‍යය හා කම්හල් පාලකයන් නිරන්තරව මැදිහත් විය. රාවය හා සියලු ධනපති මාධ්‍යයන් මේ පිලිබඳව මුනිවත රැක්කේ ධනපති ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩකටයුතු යට ගැසීමටය. පරීක්ෂනය සඳහා සාක්ෂි රැස් කරමින් තුන්නාන ප්‍රදේශයේ උද්ඝෝෂනයේ යෙදුනු සසප සාමාජිකයන් නීති විරෝධී ලෙස රඳවා ගත් පොලීසිය ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගත්හ. පොලීසිය විසින් හිමිකරු බිය වද්දා ශාලාව ලබා දීම වැලැක්වූ බැවින්, පරීක්ෂනයේ නිගමන ප්‍රකාශ කිරීම සඳහා 2014 ජූනි 29 දා වැලිවේරියේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම අවලංගු කිරීමට කමිටුවට සිදුවිය.

නිගමන ප්‍රකාශයට පත් කරමින් කමිටුව මෙසේ පෙන්වා දුන්නේය. “වෙඩි තැබීමෙන් මිය ගිය තිදෙනාගේ මරන පරීක්ෂනයේ දී වැලිවේරිය පොලීසියේ ඕඅයිසී (ස්ථානාධිපතිවරයා) කියා සිටියේ හමුදාව අගෝස්තු 1 දින එම ස්ථානයට පැමිනියේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පනිවිඩයක් රැගෙන බව යි. හමුදා අන දෙන නිලධාරියා ආරක්ෂක ලේකම් සමග සාකච්ඡා කර පැමිනි බව ඉන් පෙනේ. මේ අනුව හමුදාව යෙදවීමට ද තිදෙනෙකු ඝාතනය කිරීමට ද මුලුමනින් ම වගකිව යුත්තේ ආන්ඩුව යි.”

කමිටුව මෙසේද අවධාරනය කලේය. “ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතා මත කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ අයිතීන් කපා හෙලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක්‍රියාවට දමන ආන්ඩුව ඊට එරෙහිව පැන නගින අරගල මැඩීමට බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය සමග ගෙන ගිය වර්ගවාදී යුද්ධයේ දී වර්ධනය කෙරුනු මිලිටරි-පොලිස් විධික්‍රම යොදා ගනී.”

කමිටුව මෙසේ ද නිගමනය කලේය: “වැලිවේරිය හමුදා ක්‍රියාන්විතය වනාහි ඉදිරියේ එන මහජන අරගල තලා දැමීම සඳහා ආන්ඩුව සහ හමුදාව දැනුවත්ව සිදු කල අත්හදා බැලීමකි. ”

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් ප්‍රහාරයේ සැබෑ වග උත්තරකරුවන් මෙලෙස වහංගු කරන්නේ කම්කරු පීඩිත මහජනතාවට එරෙහිව මෙම විධික්‍රමයන්ම අනුගමනය කිරීම සඳහා සැදී පැහැදී සිටින බැවිනි.

අනෙක් අතට, කල් ගතව ප්‍රසිද්ධියට පත් මානව හිමිකම් කොමිසමේ වාර්තාවෙන් හා රාවය ලිපියෙන් යට ගසන්නේ වැලිවේරියේදී හා තුන්නානේදී සිදු කෙරුන ජල දූෂනය මෙන්ම හමුදා හා පොලිස් ප්‍රහාරයන් ලාභය අරමුනු කරගත් ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිඵලයක් බවයි. රාවය ඇතුලු ධනපති මාධ්‍යයන් ද සියලු ධනපති ආන්ඩු ද සසප පරීක්ෂනය නොදන්නා ලෙස කල් ගෙවන්නේ මෙම තතු තුලය.

සසප නිගමන මෙ‍සේ අවධාරනය කලේය: “ධනේශ්වර ක්‍රමය පෙරලා දැමිය හැකි එක ම විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය ස්වාධීනව සමාජවාදී ප්‍රතිපත්ති යටතේ කාර්මික දූෂනයට එරෙහි සටනේ දී මූලිකත්වය ගත යුතු ය. ”

ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත්මත පාදකව සසප ගෙන යන මෙම අරගලය සමග ඒකාබද්ධ වන ලෙස කාර්මික දූෂනයට එරෙහිව ඉදිරියට එන කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් පරික්ෂන කමිටුව ඉල්ලා සිටියේය.

Share this article: