මෙල්බර්න් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය, සසජාතශි සමාජයට එරෙහි තෙවන වාරනය ද පනවයි

University of Melbourne student union imposes third ban on IYSSE club

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ(ඔස්ට්‍රේලියාව) විසිනි, 2015 සැප්තැම්බර් 01

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), මෙල්බර්න් විශ්වවිද්‍යාලය තුල තමන්ට සම්බන්ධ ශිෂ්‍ය සමාජයක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කල අයදුම්පත පසුගිය අගෝස්තු මස 18දා ශිෂ්‍ය සංගමයේ සමාජ හා සමිති කමිටුව මගින් මාස 18ක් ඇතුලත තෙවන වතාවටත් ප්‍රතික්ෂේප කර ඇත්තේ හුදෙක්ම අපැහැදිලි හා අසාමාන්‍ය තත්වයක්ය යන පදනම මතය.

ශිෂ්‍ය සමාජයක් පිහිටුවීමට ගත් උත්සාහය ප්‍රතික්ෂේප කරමින්, සමාජ හා සමිති කමිටුව මාර්තුවේදී ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී තීරනයට සිය විරෝධය පල කරන සසජාතශි, අප්‍රේල් 16 දා කමිටුව වෙත ඉදිරිපත් කරනු ලැබූ සිය විවෘත ලිපිය පොදු ප්‍රකාශනයක් ලෙස සිසුන් අතර බෙදාහැරීමට ගත් තීරනය එහි උපුටා දක්වා තිබුනි. එය ප්‍රකාශ කොට තිබුනේ පහත පරිදිය. විවෘත ලිපියක් නිකුත් කිරීම මඟින් සසජාතශි සමග ඇතිකර ගත හැකිව තිබුනු කුමන හෝ "මිත්‍රශීලී සබඳතාවක්" කඩාකප්පල් වූ බැවින් අනුබද්ධ සමාජයක් පිහිටු වීමට ඉඩ නොලැබෙනු ඇති බව කමිටුව කියා ඇත.

ඊට හේතු වූයේ අන් කිසිවක් නොව, සිය කටයුතු වලට පැනවෙන වාරනය නිහඬව පිලිගැනීම සසජාතශි විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමය. සමාජ හා සමිති කමිටු සාමාජිකයින් කෝපයට පත්ව ඇත්තේ එබැවිනි. තහනමට හිස නැමීම වෙනුවට සසජාතශි කලේ, කමිටුව නාමිකව නියෝජනය කරන එම සිසුන් ඉදිරියේ එහි ස්වභාවය හෙලිදරව් කිරීමය.

සමාජ හා සමිති කමිටුව ස්ටෙෆන් ස්මිත් හා ක්ලේයර් පොලොක් යන නිලධරයන් දෙදෙනාගෙන් සමන්විත වෙයි. 2014 වසර අගදී මේ දෙදෙනා තෝරා පත් කරගනු ලැබුවේ, "පුලුල් ක්‍රියාකාරකම්! ශිෂ්‍ය මැතිවරන සංවිධානයේ කොටසක් ලෙසය. තවත් හත් දෙනෙකු විශ්වවිද්‍යාලයේ අනුබද්ධිත සමාජයන්හි විධායක සාමාජිකයින් අතරින් තෝරා පත් කර ගැනුනි: යස්මින් ලු (විද්‍යා ශිෂ්‍ය සංගමය), ලොරන් ටෙලර් (කොස්මික් හිචිහයිකර්ස් අගැයීමේ සමාජය), ගුල්සරා කපුලාන් (සෙකියුලර් සමාජය), එලිෂ් හන්ට් (ඉංජිනේරු ශිෂ්‍ය සමාජය), ස්ටීවන් කොනොලි (පයිරෙට්ස්), රයන් ඩේවි (කලා ශිෂ්‍ය සමාජය) හා ෆිලිප් මෙලිස් (ජ්‍යාත්‍යන්තර සබඳතා සමාජය).

සසජාතශි යෙන් පලිගැනීමේදී සමාජ හා සමිති කමිටු සාමාජිකයින් කරන්නේ වඩා පුලුල් පුර්වාදර්ශයක් සැපයීමයි. ඉන් නිකුත් කෙරෙන පනිවුඩය නම්: කමිටුවේ තීරන ප්‍රසිද්ධියේ අභියෝගයට ලක් කරන්නා වූ හෝ ඒවා සම්බන්ධව ප්‍රසිද්ධ සාකච්චාවක් ලබා ගැනීමට උත්සාහ කරන්නා වූ සිසුන් පවා දඩයමට ලක්වීමට ඉඩ ඇති බවත් එහි සිසුන්ගේම සමාජ පිහිටු වීම පවා තහනම් කිරීමට ඉඩ ඇති බවයි.

කට වහගෙන නොසිටියහොත්, සසජාතශි පිහිටු වීම සඳහා ලිඛිතව කැමැත්ත පල කල ශිෂ්‍යයින් 56 දෙනාගේ ශිෂ්‍ය සමාජ සමාජිකත්වය දින නියමයක් නොමැතිව තහනම් කෙරෙන බවට, සමාජ හා සමිති කමිටුව විශේෂයෙන්ම ඔවුන්ට තර්ජනය කර ඇත.

සසජාතශි සමාජයක් පිහිටුවීම කඩාකප්පල් කිරීමට පසුගිය මාස 18ක කාලය පුරා සිදු කල දේශපාලනිකව මෙහෙයවුනු කමිටුවේ ව්‍යායාමය, එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය තවත් ඉදිරියට යාමකි.

එම ශිෂ්‍ය සමාජයේ නම එහි අරමුනු "පිලිබිඹු නොකරයි " වැනි ව්‍යාජ හේතුන් මත, අනුබද්ධ කිරීම සඳහා ඉදිරිපත් කල සසජාතශි අයදුම්පත, සමාජ හා සමිති කමිටුව විසින් මුලින්ම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ 2014 අප්‍රේල් මාසයේදීය. සමාජවාදී විකල්පය නම් ව්‍යාජ වාම සංවිධානයේ ශිෂ්‍ය සමාජයෙහි නම සමග එය “ගැටෙන බව" ද කමිටුව සඳහන් කර තිබුනි.

මෙකී ප්‍රකාශ දෙකම ප්‍රතික්ෂේප කරමින් සසජාතශි, 2014 අප්‍රේල් 28 වනදා පිලිතුරක් සැපයීය. ඉන් පලමුවැන්න, "සසජාතශි යන නාමයේ අන්තර්ගත ජාත්‍යන්තරවාදය හා සමාජ සමානතාවය සඳහා වූ අරගලය යන දෙකම, වසර 160ක කාලයක් පුරා සමාජවාදී ව්‍යාපාරයේ මූලික ප්‍රතිෂ්ඨාවන් ව පැවතී ඇත යන්නයි. දෙවැන්නට පිලිතුර, "හජාජාක සටන් වැදුනු ට්‍රොට්ස්කිවාදයේ මූලධර්මයන්ට හා වැඩපිලිවෙලට විවෘතවම විරෝධය පල කරන සමාජවාදී විකල්ප වාදීන්ගේ අරමුනු සමග සසජාතශි යේ අරමුනු කිසිසේත්ම ගැටෙන්නේ නැත යන්නය. සිරියාවට එරෙහි යුද්ධයේදී , යුක්රේනයේ ෆැසිස්ට් පන්නයේ දේශපාලන විප්ලවයේදී හා චීනයට එරෙහි යුද සුදානමේදී, ඇමෙරිකානු හා ඕස්ට්‍රේලියානු අධිරාජ්‍යවාදයන්ට සහාය දුන්නාවූ ද වෘත්තීය සමිති සංවිධානයන්ගේ ආරක්ෂාවට ප්‍රහාර එල්ල වීමේදී ද රැකියා හා සේවා තත්වයන් ආරක්ෂා කරගැනීම සඳහා වූ කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ඕනෑම ස්වාධීන අරගලයක් මැඩලීමේදී ද ආන්ඩුවේ හා මහා ව්‍යාපාර වෙනුවෙන් කාර්මික පොලීසියක් ලෙස ක්‍රියා කිරීම හැරෙන්නට අන් කිසිවක් නොකල, සමාජවාදී විකල්පය සංවිධානය එම ප්‍රකාශය තුලින් හෙලිදරව් කෙරිනි.

2015 මාර්තුවේදී ත් කමිටුව නැවත වතාවක් සසජාතශි අයදුම්පත ප්‍රතික්ෂේප කලේ "අරමුනු එකිනෙකට ගැටෙන" බවට කලින් ද කියා සිටි අපකීර්තිමත් ව්‍යාජ හේතු සඳහන් කරමිනි. සසජාතශි විවෘත ලිපියක් ලියමින් ඊට ප්‍රතිචාර දැක්වූයේ, මෙල්බර්න් විශ්වවිද්‍යාල සිසුන් ඉදිරියේ කමිටුවෙහි දේශපාලන වාරන පිලිබඳ නින්දිත වෛෂයික වාර්තාව විදහා දක්වමිනි.

ලිපිය මෙසේ ආරම්භ විය: "පලමුවත් ප්‍රමුඛතමවත්, කිනම් සමාජ පිහිටු විය හැකිද නොහැකි ද හා කිනම් සංවිධාන ශිෂ්‍යයන්ගේ සංවිධානය වීමේ හා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ භාවිතාවට වල කපයි ද යන්න නිර්නය කිරීමේ හැකියාව තමන් සතු වන බවට සමාජ හා සමිති කමිටුව හෝ වෙනත් ඕනෑම සංවිධානයක් අදහස් කරන බව මින් පෙනී යයි. සියලුම ශිෂ්‍යයින් හට ඔවුන්ගේ රුචිකත්වය අනුව සංස්කෘතික, අධ්‍යාත්මික, දේශපාලන, ක්‍රීඩා හෝ අධ්‍යාපනික ආදී කවර වර්ගයේ සමාජයක් හෝ පිහිටුවා ගැනීමට අවසරය තිබිය යුතුය."

ලිපිය තව දුරටත් පැහැදිලි කලේ, සසජාතශි ප්‍රකාශිත අරමුන "ශිෂ්‍යයින් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය හා මූලධර්ම පිලිබඳව හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පිලිබඳව දැනුවත් කිරීම" බවයි. සමාජවාදී විකල්පය "හජාජාක කොටසක් හෝ ට්‍රොට්ස්කිවාදී සංවිධානයක් හෝ නොවේ. එය වනාහි, 1951 දී ඉතා පැහැදිලිව හජාජාක මූලධර්ම ප්‍රතික්ෂේප කර ඉන් බිඳී වෙන්ව ගිය "රාජ්‍ය ධනවාදය" ලෙස හැඳින්වුන සුලු ධනේශ්වර දේශපාලන ප්‍රවනතාවක් සමග අනන්‍යවූ සංවිධානයකි."

ලිපිය තවදුරටත්, සසජාතශි හා සමාජවාදී විකල්පය සංවිධානය අතර මූලික දේශපාලන වෙනස්කම් විමසුමට ලක් කලේය. එසේම අපගේ අනුබද්ධ වීම අවහිර කිරීම සඳහා කමිටුව ඉදිරිපත් කරනු ලැබූ මුසාවන් හා පදනම් විරහිත ප්‍රකාශ එලිදරව් කරන ලදී. විශේෂයෙන්ම සමාජ හා සමිති කමිටුවේ තීරනය ප්‍රකාශ කිරීමට මොහොතකට පෙර, කමිටුවේ නිලධාරී ස්ටෙෆන් ස්මිත් විසින් කල ප්‍රකාශය, එනම්, "කමිටු සාමාජිකයින් තෝරා පත්කරගනු ලැබ" ඇති හෙයින් ද ඔවුන්ගේ ක්‍රියාවන් පිලිබඳව ඕනෑම විවේචනයක් හෝ එලිදරව් කිරීමක් "ශිෂ්‍යයන් නියෝජනය කිරීමේ ක්‍රියාවලිය " කඩාකප්පල් කිරීමට හේතු විය හැකි හෙයින් ද සසජාතශි විසින් කමිටුවේ පූර්ව තීරන "ප්‍රජාතන්ත්‍ර විරෝධී" යයි ප්‍රහාරයට ලක් නොකල යුතුව තිබුනි යන ප්‍රකාශය ලිපිය මගින් එලිදරව් කරන ලදී.

මුලුමනින්ම වගකීමට නොබැඳී ඇති බව තමන් විසින්ම ප්‍රකාශ කරගනිමින්, තමන් නියෝජනය කරනවා යයි කියන, ශිෂ්‍යයන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පිලිබඳ කිසිදු සඳහනක් නොමැතිව, ඒක පාර්ශවීය ලෙස තීරන ගැනීමේ අයිතිය තමන් වෙතම පවරා ගන්නා කමිටුවේ ආස්ථානය කිසිසේත්ම පිලිගත නොහැකිය.

රටේ පවතින දෙවනි ඉපැරනිම හා වඩාත්ම කීර්තිමත් විශ්වවිද්‍යාලයන්ගෙන් එකක් වන මෙල්බර්න් විශ්වවිද්‍යාලය තුල බලයේ සිටින ශිෂ්‍ය සංවිධානය තුල රජකරන මෙවන් සංකල්ප අවබෝධ කරගත හැක්කේ, එය අති මූලික ජාතික හා ජාත්‍යන්තර දේශපාලන හා ආර්ථික ක්‍රියාදාමයේ පිලිබිඹුවක් ලෙස සලකාගෙන පමනි.

මෙල්බර්න් විශ්වවිද්‍යාලය තුල සසජාතශි යට එරෙහි ප්‍රහාරය හා සමගාමීව, බ්‍රිස්බේන්හි ග්‍රිෆින්, නිව් කාර්ස්ල්, බටහිර සිඩ්නි හා සිඩ්නි විශ්වවිද්‍යාලය ද ඇතුළු විශ්වවිද්‍යාල පාලනාධිකාරීන්, ශිෂ්‍ය සමිති පරිපාලකයින් හා රට පුරා දේශීය පාලක සභා අපගේ ක්‍රියාවන්ට එරෙහි ක්‍රමික වාරනයක් ක්‍රියාවේ යොදා තිබීම අන් කෙලෙස නම් පැහැදිලි කල හැකි වන්නේ ද ?

මූලික ප්‍රජාතන්ත්‍රීය මූලධර්ම හා අයිතීන්ට කුමන හෝ කැපවීමක් ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාදාමය, ලේබර් පක්ෂය, හරිතයන්, ව්‍යාජ වම්මුන් ද ඇතුළු ඕස්ට්‍රේලියානු පාලක පන්තිය හා එහි දේශපාලන සංස්ථාපිතය විසින් පසුගිය දශක එක හමාරක කාලය තුල ද පසුගිය දෙවසරක කාලය තුල වේගයෙන් ද ඉදිරියට ගෙන ගොස් ඇත.

2001 වසරේ පටන් බලයට පත් ලේබර් හා ලිබරල් ආන්ඩු දෙවර්ගයම, "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය" නමැති වහන්තරාව යටතේ, මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන් විලෝපනය කරන අතර මහා පරිමානව පොලිස් හා බුද්ධි අංශ බලතල ව්‍යාප්ත කරමින් නෛතික පොලිස් රාජ්‍යක් අටවා තිබේ. හිටපු ජාතික ආරක්ෂක ඒජන්සියේ කොන්ත්‍රාත් කරුවකු හා වර්තමානයේ එහි අකටයුතු කම් හෙලි කරන්නා වන එඩ්වර්ඩ් ස්නෝඩන් අනාවරනය කල පරිදි, "පයින් ගැප්" වැනි ඕස්ට්‍රේලියානු බුද්ධි අංශ හා ඔත්තු බැලීමේ මධ්‍යස්ථාන මුලුමනින්ම එන්එස්ඒ යන එම ඇමෙරිකානු ඒජන්සියේ ගෝලීය ඔත්තු බැලීමේ ජාලය හා අනුබද්ධව කටයුතු කරමින් සිටී.

විශේෂයෙන්ම 2013 වසරේ පටන් ඇබොට් ආන්ඩුව හා කෙටි කාලීන ලේබර් විපක්ෂය, ඔත්තු බැලීමේ අංශයන්ගේ බලය වැඩි කරලීමේ නීති මාලාවක් සම්මත කිරීමට සමත්ව ඇත්තේ, අර්බුදකාරී වාතාවරනය තවදුරටත් අවුලුවමින් හා ඉතා පුලුල්ව වේදිකා ගත කෙරුනු "ත්‍රස්ත විරෝධී" පොලිස් ප්‍රහාර හා දේශපාලන රැකවරන පතන්නන් හෙලා දැකීම හරහා ඇතිකරනු ලැබූ මුස්ලිම් -විරෝධී විදේශිකයින් නොරිස්සීම වපුරන අතරෙහිය. මෙම දකුනු නැඹුරුව, ආන්ඩුවේ සංක්‍රමනික-විරෝධී වැඩසටහන් තුලින් ප්‍රස්ථාරගත ආකාරයකින් විදහා දක්වන අතර ක්‍රමික හා නීති විරෝධී වටලෑම් හා දේශපාලන රැකවරන පතන්නන් රටින් නෙරපා හැර, නාඋරු, පැපුවා නිව් ගිනීයා හා කාම්බෝජය වැනි රාජ්‍යන්හි ගාල්කරනු ලැබේ..

මෙම ප්‍රහාර සිදුවනුයේ කැන්බරාහි පිටුබලය සහිතව ඇමෙරිකාවේ මූලිකත්වයෙන් පැන නැඟී ඇති ගෝලීය මිලිටරිවාදී තල්ලුව යටතේය. ඇමෙරිකානු හා ලෝක ධනවාදය මුහුනපා සිටින ගැඹුරු වන ආර්ථික අර්බුදයෙන් ප්‍රේරනය ලබමින් වොෂින්ටනය, ලිබියාවේ, යේමනයේ හා ඉරාකයේ යුද්ධ දියත් කොට, රුසියානු පිටුබලය ලබන සිරියානු ජනපති බෂර් අල්-අසාද්ට එරෙහිව පාලන තන්ත්‍ර මාරු කිරීමේ මෙහෙයුම් පුලුල් කොට, ඉරානය සමග යුද තර්ජනයක් ඇති කොට, රුසියාව සමග යුදමය ආතතීන් උත්සන්න කොට හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ "ආසියාවට හැරීම" වැඩ සටහනේ කොටසක් ලෙස චීනයට එරෙහි යුද සූදානම වේගවත් කොට ඇත. ඕස්ට්‍රේලියානු අධිරාජ්‍යවාදය වොෂින්ටනයේ සියලුම මැදපෙරදිග මෙහෙයුම්වල හා චීනයට එරෙහි යුද සූදානමේ ප්‍රධානතම පාර්ශවකරු බවට පත්ව ඇත.

ඕස්ට්‍රේලියාවේ කම්කරු පන්තිය හා තරුනයන් අතර පවත්නා ගැඹුරු යුද විරෝධී මානසිකත්වය අවමංගත කිරීම සඳහා දෙවන ලෝක යුද්ධයේ ශත සංවත්සර නිල "සැමරුම" ඔස්සේ යුද්ධය උත්කර්ෂයට නැංවීම ඇතුලු ඔස්ට්‍රේලියාව තුල මෙම යුද ධාවනය ජාතිකවාදය හා මිලිටරි වාදය සමග අත්වැල් බැඳ ගනියි. මෙවන් තතු යටතේ මර්දනය තීරනාත්මක වන අතර යුද විරෝධී හඬ යටපත් කිරීම පාලක ප්‍රභුවට තීරනාත්මක වැදගත් කමක් ගෙන දෙයි.

සසජාතශි ට එල්ල කරන්නාවූ ප්‍රහාරයන් සේවය කරන්නේ, චීනයට එරෙහි යුද සූදානමට හා ඇමෙරිකාවේ ප්‍රමුඛත්වයෙන් ජාත්‍යන්තරව සිදුකරනු ලබන මිලිටරි කුමන්ත්‍රනයන්ට විරුද්ධ වෙමින් හා රැකියා, වැටුප්, අධ්‍යාපනය, සෞඛ්‍ය, සුභසාධන සේවා හා අනෙකුත් සමාජ අයිතීන් මත එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම සඳහා ශිෂ්‍යයන් හරවා ගැනීමට උත්සහ දරන්නා වූ එකම ශිෂ්‍ය සංවිධානය නිහඬ කරලීම වෙනුවෙනි. අවසන් විග්‍රහයේදී, එතෙර යුද්ධ දියත් කිරීම හා මෙතෙර කප්පාදු පියවරයන් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරැකීම සමග ගැලපෙන්නේ නැත.

මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ සමාජ හා සමිති කමිටුවේ ප්‍රයත්න හමුවේ සසජාතශි, බියපත්ව නිහඬ නොවනු ඇත. අපි අපගේ හා ශිෂ්‍යයින්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්හි ආරක්ෂාව වෙනුවෙන් දිගටම සටන් කරන්නෙමු. අපි නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් හා විශ්වවිද්‍යාල තුල සංගම් පිහිටුවීමේ නිදහස වෙනුවෙන් ද සිය කැමැත්ත පරිදි අනුබද්ධ ශාඛා පිහිටුවා ගැනීමටත්, විශ්වවිද්‍යාල සම්පත් සිය රැස්වීම් හා ක්‍රියාකාරකම් වෙනුවෙන් භාවිත කිරීමට සියලුම ශිෂ්‍යයන්ට ඇති අයිතියක් බවට පත් කිරීම වෙනුවෙන් ද නැගී සිටින්නෙමු.

සසජාතශි යේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහිව සිදුකෙරෙන සියලුම ප්‍රහාරයන්ට විරුද්ධ වන ලෙස හා අනුබද්ධ සමාජය පිහිටුවීමට එරෙහිව පවත්නා සියලුම බාධා හා නීති හකුලා ගැනීමට බල කරන ලෙසත් අපි සියලුම ශිෂ්‍යයින්ගෙන් ඉල්ලා සිටිමු. සසජාතශි ට එරෙහි තහනම ඉවත් කරගන්නා ලෙසට බල කරමින්, මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයට විරෝධය පල කිරීමේ ලිපි යවන මෙන් අපි සියලුම විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගෙන් හා විශ්වවිද්‍යාලවල අනෙකුත් සංගම්වල නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින්නෙමු. මූලික ප්‍රජාතන්ත්‍රීය මූලධර්මයක් ලෙස විශ්වවිද්‍යාලය තුල, විශ්වවිද්‍යාල හෝ ශිෂ්‍ය සංගම් අධිකාරින්ගෙන් ලැබිය හැකි දඬුවම් පිලිබඳ බියකින් තොරව ප්‍රකාශනයේ පුර්න නිදහසක් ශිෂ්‍යයන් විසින් ඉල්ලා සිටිය යුතුය.

මේ සියල්ලටත් වඩා යුද්ධයට, සමාජ අසමානතාවට හා දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මත එල්ල කෙරෙන්නා වූ ප්‍රහාරයන්ට එරෙහිව සටනට පිවිසීමට බලාපොරොත්තු වන සියලුම ශිෂ්‍යයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ, සසජාතශි හා එක්වන ලෙසයි.

විරෝධතා ලිපි , මෙල්බර්න් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ සමාජ හා සමිති කමිටු නිලධාරීන් වන ස්ටෙෆන් ස්මිත් හා ක්ලේයර් පොලොක් වෙත clubs@union.unimelb.edu.au යන ලිපිනයට ද මෙල්බර්න් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ සමාජ හා සමිති කමිටුවේ මහ ලේකම් හැනා ඩෝල්ටන් වෙත secretary@union.unimelb.edu.au යන ලිපිනයට ද යැවිය යුතුය.

කරුනාකර සියලු ලිපිවල පිටපත් iysseaus@gmail.comයන ලිපිනයට යොමු කරන්න. තෝරාගත් ලිපි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කරනු ඇත.

Share this article: