ශී‍්‍රලනිප සංවත්සරය: ඓතිහාසික මුසාකරනයේ වේදිකාවක්

මිනූෂ ප‍්‍රනාන්දු විසිනි, 2015 සැප්තැම්බර් 26

පසුගිය 2 දා පොලොන්නරුවේදී පැවැත්වුනු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ (ශී‍්‍රලනිප) 64 වන සංවත්සරය, තම පක්ෂය විසින් සමස්ත ඉතිහාසය පුරා ඉෂ්ඨ කරන ලද ප‍්‍රතිගාමී භූමිකාව වසන් කිරීම සඳහා යොදාගත් මුසාකරනයේ වේදිකාවක් විය. ධනපති ශී‍්‍රලනිපයේ ලේ වැකි ඉතිහාසය වසන් කරමින් එය කම්කරු-පීඩිත ජනී ජනයාගේ “දිවි පෙවත දියුනු කිරීම සඳහා දර්ශනයක් ඇතුව” ගොඩනැගූ පක්ෂයක් ලෙස පින්තාරු කිරීමේ කාර්යය පවරා තිබුනේ මුඛ්‍ය දේශනය පැවැත් වූ කොලඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සරත් විජේසූරියටයි.

ශී‍්‍රලනිපයේ ඉතිහාසය මුසාකරනය සඳහා විජේසූරිය සතු සුදුසුකම් බොහෝය. තම ජීවිත කාලය තුල කම්කරු පන්තිය සම්බන්ධයෙන් හෝ දෙමල පීඩිත ජනවර්ගය සම්බන්ධයෙන් කවර හෝ උත්සුකයක් පල නොකල ඔහු, 2015 ජනවාරි ජනාධිපතිවරනයේදී කි‍්‍රයාත්මක වූ පාලන තන්ත‍්‍ර වෙනස් කිරීමේ එක්සත් ජනපද මෙහෙයුම පිටුපස පෙල ගැසුනු මධ්‍යම පන්තික ඊනියා බුද්ධිමතුන් අතරින් ප‍්‍රමුඛතමයෙකි. ඔහු නියෝජනය කරන්නේ පසුගිය රාජපක්ෂ පාලන තන්ත‍්‍රය යටතේ සිය වරප‍්‍රසාද අහිමි වූ ඉහල මධ්‍යම පන්තික සමාජ ස්ථරයයි. ජනාධිපතිවරනයෙන් ජයගත් මෛතී‍්‍රපාල සිරිසේනගේ හා එජාප නායක, අගමැති රනිල් වික‍්‍රමසිංහ ගේ නායකත්වයෙන් පිහිටුවා ඇති එක්සත් ජනපද හිතකාමී තන්ත‍්‍රයේ ඊනියා යහපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් විවිධ මාධ්‍යයන්හි මොර දෙන්නන් අතර ප‍්‍රමුඛයා වී ඇත්තේ ද විජේසූරිය යි. v

1948 ඊනියා නිදහසෙන් පසු බලයට පැමිනි එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවෙන් 1951 දී ඉවත්වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බන්ඩාරනායක ශී‍්‍රලනිපය අටවන ලද්දේ ධනපති පන්ති පාලනය රැකගැනීමේ දැනුවත් උපායක් ලෙසිනි. බොල්ෂේවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) හා ලංකා සම සමාජ පක්ෂය (ලසසප) ගෙනගිය දේශපාලනික වැඩකටයුතුවල ප‍්‍රතිඵලයක් ලෙස, එජාප ආන්ඩුව යනු බි‍්‍රතාන්‍ය යටත් විජිතවාදීන්ගේ උපකරනයකට වැඩි යමක් නොවේය යන්න මහජනතාව විසින් මේ වනවිට වටහා ගනිමින් පැවතින. අනෙක් අතට, බහුතරයක් දෙමල වතු කම්කරුවන්ගේ ඡන්ද අයිතිය අහෝසි කරමින් කම්කරු පන්තිය තුල වර්ග භේදය ඇවිලවීම සඳහා එජාප ආන්ඩුව ගෙනයමින් සිටි වැඩ කටයුතුවලට හා අනෙකුත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවරයන්ට එරෙහිව කම්කරු පන්තියේ එකමුතුවටත් ඔවුනගේ සමාජ හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් තහවුරු කිරීමටත් ගෙනගිය අරගලය හේතුවෙන් ලසසප ය කෙරෙහි අව්‍යාජ ජනතා සහායක් ද වැඩෙමින් පැවතින. මෙම කරුනු සැලකිල්ලට ගත් ධනපති පන්තියේ කොටස්, එජාපය කෙරෙහි විරසක වන මහජනතාව ලසසප ය වටා රැලිවීම වලක්වා රඳවා ගනුවස් වෙනත් ධනපති පක්ෂයක අවශ්‍යතාව වටහා ගත්හ. ශී‍්‍රලනිප ය පිහිටුවීම මගින් බන්ඩාරනායක ඉටු කලේ මෙම අවශ්‍යතාවයි. මෙම ඓතිහාසික සත්‍යය මුසාකරනයේ යෙදෙමින් කථිකාචාර්ය විජේසූරිය නිර්ලජ්ජිතව පැවසුවේ “දුක් විඳින මිනිසුන් ගැන” පහල වී තිබූ “දයානුකම්පාව” හේතුවෙන් බන්ඩාරනායක ශී‍්‍රලනිපය පිහිට වූ බවයි. 1951 දී බන්ඩාරනායක විසින් ශී‍්‍රලනිපය ඇරඹුවේ අධිරාජ්‍ය විරෝධී සහ සමාජවාදී වාචාලයන් සමග වෙලී තිබුනු සිංහල ජනතාවාදී ධනේශ්වර දේශපාලන පක්ෂයක් ලෙසිනි. එය කවර කලෙකවත් දුගී ජනයාගේ පක්ෂයක් නොවීය.

විජේසූරිය මෙසේ කියයි: ‘මේ දීප්තිමත් විද්වතා (බන්ඩාරනායක) තම මව් රටට පැමින ගම් දනව්වල දුක් විඳලා දුගී ජනයාගේ දිවිපෙවෙත දියුනු කිරීම සඳහා දර්ශනයක් ඇතිව ශී‍්‍රලනිපය ගොඩ නැගුවා.’ ඓතිහාසික සත්‍යය විජේසූරියගේ මෙම මුසාකරනයට සාකල්‍යයෙන් ම විපරීතය. බි‍්‍රතාන්‍යයේ අධ්‍යාපනය ලබා ලංකාවට පැමිනි බන්ඩාරනායක 1932 දී දේශපාලනය අරඹන්නේමත් ‘දුගී ජනයා’ - සුවිශේෂිතව කම්කරු පන්තිය - වාර්ගික රේඛා ඔස්සේ බෙදීම අරමුනු කොටගත් සිංහල වර්ගවාදී සිංහල මහා සභාව ආරම්භ කරමිනි. 1939 දී, එවකට ලසසප නායකයෙකුව සිටි කොල්වින් ආර්. ද සිල්වා මෙම සිංහල මහා සභාව ඉතා නිවරැදිව ගුනාංගීකරනය කලේ, ‘දුඹුරු ෆැසිස්ට්වාදයේ දේශීය ශාඛාවක්’ ගොඩනැගීමේ විභවය අන්තර්ගත කරගත් ‘භයානක ප‍්‍රතිගාමී සංවිධානයක්’ ලෙසයි.

දිවයිනේ ධනපති පාලනය ඉමහත් අර්බුදයකට ඇද දැමූ 1953 හර්තාලයේ අත්දැකීම් උඩ, කම්කරු පන්තියේ ශක්තිය බිඳිනුවස් වර්ගභේදය වඩාත් ඉස්මත්තට ගත් බන්ඩාරනායක 1956 මැතිවරනය සඳහා වූ සිය උද්ඝෝෂනය “සිංහල පමනක්” ව්‍යාපාරය මත පදනම් කලේය. ඔහු උත්සුක වූයේ, අධිරාජ්‍ය විරෝධී පූච්ඡානම් පදනම් කර ගනිමින් බි‍්‍රතාන්‍ය විජිත පාලනය යටතේ තමන් කොන් කිරීම පිලිබඳව නොසතුටට පත්ව සිටි කුඩා ව්‍යාපාරිකයන්, බෞද්ධ භික්ෂූන්, හා ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුලු සිංහල සුලු ධනේශ්වරයේ කොටස් බලමුලු ගැන්වීමටයි.

1955 ඔක්තෝබර් මාසයේදී ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඇන්.ඇම්. පෙරේරා පාර්ලිමේන්තුව අමතමින් “සිංහල පමනක්” ප‍්‍රතිපත්තිය “බොහෝ කැරලි කෝලාහල, ලේ වැගිරීම් සහ සිවිල් යුද්ධයකට මගපාදනු ඇතැයි” කල අනතුරු ඇඟවීම නොතකමින් 1956 ජුනි 25 වන දින පාර්ලිමේන්තුවට රාජ්‍ය භාෂා පනත ගෙන ආ බන්ඩාරනායක සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කලේය. එමගින් ශී‍්‍ර ලංකා ඉතිහාසයේ පලමු වරට දෙමල විරෝධී සංහාරයකට තුඩුදුන් තත්වයක් නිර්මානය කෙරින.

තමන් විසින් ම ඇවිල වූ ජාති භේදවාදී ගින්නට ඇදවැටෙමින් 1959 සැප්තැම්බර් මාසයේදී බන්ඩාරනායක බෞද්ධ භික්ෂුවක් අතින් ඝාතනය වීමෙන් පසු, 1960 මැයි මස ශී‍්‍රලනිප නායකත්වයට පත් වූ බන්ඩාරනායකගේ වැන්දඹුව බන්ඩාරනායකට නොදෙවෙනි අයුරින් පැසසීමට ද විජේසූරිය මැලි නොවීය. ඇගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය තුල වර්ගවාදය අවුලවමින්, කම්කරුවන් මත එල්ල කල දැවැන්ත ප‍්‍රහාර මාලාවට පිටුපස හැරවූ විජේසූරිය, සිය ධුර කාලය අවුරුදු පහේ සිට හත දක්වා වැඩි කරගැනීම ඇය විසින් සිදු කල එකම වරද ලෙස දැක්වීය.

විජේසූරිය වැරැදි ලෙස නොතකන, එහෙත් කම්කරු පන්තියේ එකමුතුවට සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට ඇය විසින් එල්ල කල ප‍්‍රහාර මාලාව මාගලකට වඩා දිගය. අග‍්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු සිය සැමියාගේ දේශපාලනික උරුමය වූ සිංහල වර්ගවාදය නැවත වරක් ඉස්මත්තට ගෙන එමින් 1960 දෙසැම්බර් මාසයේදී අධිකරනයන්හි භාවිතා වන භාෂාව ලෙස සිංහල භාවිතා කිරීමට විධිවිධාන හඳුන්වා දීම ඉන් එකකි. මේ තත්වය තුල රාජ්‍ය සේවයේ යෙදී සිටි සිංහල බස හැසිරවීමට නොහැකි සේවකයන් ඉවත් කෙරුනි. මෙය දෙමල සහ මුස්ලිම් ජනයාට එරෙහි බලගතු වෙනස්කමක් ලෙස ඉතිහාස ගත වී ඇත. බහුතර ජනතාවක් දෙමල බස කතා කරන ප‍්‍රදේශ වල සිංහල ජනයා පදිංචි කරවීමට ගත් තීරනයට එරෙහිව ෆෙඩරල් පක්ෂය (ෆෙප) ගෙනගිය විරෝධතාවන් හදිසි නීතිය යටතේ මර්දනය කල බන්ඩාරනායක ෆෙප නායකයන් සිරගත කලේය.

එමෙන්ම 1960 දශකයේ මුල්භාගයේ ලොව පුරා නැගී ආ කම්කරු අරගල වල නව කාල පරිච්ඡේදයත් සමග ශී‍්‍ර ලංකාව තුල නැගී ආ කම්කරු අරගල මැඩීමට ඇය එම හදිසි නීතියම යොදා ගත්තාය. 1962 දී ප‍්‍රවාහන කම්කරුවන්ගේ අරගලය කුමන්ත‍්‍රනයක් ලෙස හුවා දක්වමින් එය මැඩ පැවැත්වීමට හමුදාව යෙදවූ බන්ඩාරනායක වැඩ වර්ජන බිඳ දැමීමට හමුදාව සහභාගී කරගැනීමට සහ හදිසි සේවා සඳහා සුදුසුකම් ඇති පුද්ගලයන්ගේ සේවය බලහත්කාරයෙන් ලබා ගැනීමට නීති ද සම්පාදනය කලාය.

සිය ප‍්‍රතිගාමී වැඩපිලිවෙල තවදුර ගෙන ගිය ඇය, 1963 දී, ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට නාගරික සහ වතු කම්කරුවන් මිලියනයක් රැලි කල ඉල්ලීම් 21 ව්‍යාපාරය තලා දැමීමට නව කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කලාය. 1960 මැතිවරනයේදී ශී‍්‍රලනිප සමග “තරඟ නොවදින” ස්ථාවරයට පැමිනෙමින් ලසසප ප‍්‍රදර්ශනය කල පරිහානිය අවබෝධ කරගත් බන්ඩාරනායක, ලසසප ට සහ ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට සභාග ආන්ඩුවක් සඳහා ආරාධනය කලාය. ඉල්ලීම් 21 ව්‍යාපාරය දියකර දැමූ ලසසප, කොප ද සමග එක්ව 1964 දී බන්ඩාරනායකගේ සභාග ආන්ඩුවට ඇතුලු විය. කම්කරු පන්තියට දුර දිග යන විපාක ගෙන දුන් මෙම සිදුවීම ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල හැඳින්වෙන්නේ 1964 මහා පාවාදීම ලෙසයි. ඓතිහාසික වශයෙන් ගත් කල ට්‍රොට්ස්කිවාදීයැයි කියා ගත් පක්ෂයක් ධනපති ආන්ඩුවකට ඇතුලු වූ ලොව පලමු අවස්ථාව එයයි.

මෙම පාවාදීම සිදුකල ද්‍රෝහී නායකයන් විජේසූරිය විසින් ඔජ වඩවන ලද්දේ “ඉතාමත් විශිෂ්ට නායකයන්” ලෙසයි. ඔහු මෙසේ පැවසීය: ‘ඉතාමත් ම විශිෂ්ට නායකයන් සමග වාමාංශික පක්ෂවල නායකයන් සමග බන්ඩාරනායක මැතිනිය සභාග ආන්ඩුව පිහිටෙව්වා. ඒ නායකයන්ගේ දැනුමෙන් ඉතා වැදගත් ප‍්‍රතිසංස්කරන දියත් කලා.’

කම්කරු අරගල බිඳ දැමීම සඳහා ලසසප සිය ආන්ඩුවට ඇතුලු කර ගැනීමෙන් නොනැවතුන බන්ඩාරනායක සිංහල දෙමල කම්කරුවන්ගේ එකමුතුව බිඳ දැමීම ද ඉලක්ක කර ගනිමින් නැවත වතාවක් වර්ගවාදය ඉස්මත්තට ගෙන එන ලදී. 1964 ඔක්තෝබරයේදී 975,000ක් වූ වතු කම්කරුවන්ගෙන් 525,000 කට රට හැර යාමට බල කෙරෙන, සිරිමා-ශාස්තී‍්‍ර ගිවිසුම ලෙස පසුව ප‍්‍රචලිත වූ ගිවිසුමකට ඉන්දීය අග‍්‍රාමාත්‍ය ශාස්තී‍්‍ර සමග අත්සන් කරන ලදී.

1964 සභාග ආන්ඩුව එය පිහිටුවා හය මසක් ගතවීමටත් මත්තෙන් එය බිඳ වැටුන අතර, 1960 දශකයේ අග භාගයේ ඇරඹි කම්කරු නැගිටීම් මධ්‍යයේ, එජාපයට එරහි ජනතා විරෝධය ගසා කමින් නැවත වතාවක් 1970දී ශී‍්‍රලනිප බලයට පැමිනියේය. කෙසේ වෙතත් 1971 වනවිට විරැකියාව, අඩු අධ්‍යාපනික අවස්ථා, ඉඩම් නොමැති කම නිසා ගම්බද ප‍්‍රදේශ වල වර්ධනය වෙමින් පැවති කෝපය සහ ඉච්ඡාභංගත්වය පුපුරා ගියේය. 1964 ලසසප පාවාදීමේ විපාක ලෙස එම පුපුරා යාම සිදු වූයේ ජනතා විමුක්ති පෙරමුනේ කැරැල්ලක ස්වරූපයෙනි. බහුතරයක් තරුනයන් වූ 17,000 ක් සිරගත කරමින් සහ තවත් 20,000 ක් ඝාතනය කරමින්, සෝවියට් සංගමය, චීනය, බි‍්‍රතාන්‍යය ප‍්‍රන්සය, ඉන්දියාව, පකිස්තානය ආදී රටවලින් ලත් ඒ හෝ මේ ආකාරයේ සහය ඇතිව බන්ඩාරනායක කැරැල්ල මැඩපැවැත්වූවාය.

තරුන නැගිටීමෙන් පිලිබිඹු වූ සමාජ අර්බුදය පිලිබඳව ගනන් බැලූ බන්ඩාරනායක යලි වර්ගවාදය උත්සන්න කිරීමට තීන්දු කලාය. රාජ්‍ය ආගම බුද්ධාගම බවට පත් කිරීම, සිංහල පමනක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීම සහ කලින් පැවති එජාප ආන්ඩුව ෆෙප සමග එක්ව අධිකරනයන්හි දෙමල භාෂාව භාවිතා කිරීමට හැකි වන පරිදි ගෙන ආ රෙගුලාසි අහෝසි කිරීම ඇතුලත් නව ව්‍යවස්ථාවක් 1972 දී සම්මත කරන ලදී. 1983 න් ඇරැඹි දශක තුනකට ආසන්න කාලයක් පුරා ඇදී ගිය කුරිරු සිවිල් යුද්ධයට පූර්විකාව සැපයූ මෙම විසකුරු ව්‍යවස්ථාව කෙටුම්පත් කෙරුනේ විජේසූරිය විසින් ‘විශිෂ්ට නායකයන්’ ලෙස හැඳින්වූ අයගෙන් කෙනෙකු වූ ලසසප යේ කොල්වින් ආර් ද සිල්වා විසිනි.

සභාග ආන්ඩුවේ මෙම කි‍්‍රයාමාර්ගයට ප‍්‍රතිචාරී වශයෙන් ෆෙප විසින් වෙනම රාජ්‍යයක් සඳහා වන යෝජනාවක් සම්මත කලේය. ෆෙප තවත් දෙමල ධනපති සංවිධාන කිහිපයක් සමග එක්ව දෙමල එක්සත් විමුක්ති පෙරමුන පිහිටුවන ලදී. සිය වර්ගවාදී වැඩපිලිවෙල තව දුර ගෙනගිය බන්ඩාරනායක විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලු කර ගැනීමේදී දෙමල සිසුන් සීමා කරන “ප‍්‍රමිතිකරනය” හඳුන්වා දුන්නාය.

1970 දශකයේ මුල් භාගයේ පුපුරා ගිය ලෝක ආර්ථික අර්බුදය හමුවේ මහජනයා කන, නොකන දේ පවා පාලනය කල සභාග ආන්ඩුව කම්කරු-පීඩිත මහජනතාව මත දැවැන්ත කප්පාදු වැඩ පිලිවෙලක් පැටවීය. මෙම ප‍්‍රහාරයන්ට එරෙහිව පැන නැගි 1976 මහා වැඩවර්ජනයේ බලපෑම යටතේ 1977 මැතිවරනයේදී ශී‍්‍රලනිපයේ ආසන සංඛ්‍යාව 8 ක් දක්වා පහත වැටින. මෙම තත්වය ගසා කමින් බලයට පැමිනි එජාප, ජාත්‍යන්තර හා ජාතික ප‍්‍රාග්ධනය සඳහා වන ලාභ ශ‍්‍රම වේදිකාවක් බවට ශී‍්‍ර ලංකාව පරිවර්තනය කිරීමේ ‘විවෘත ආර්ථික පිලිවෙත’ කි‍්‍රයාවට නැංවීය.

එතැන් පටන් වසර 17 කට පසු ශී‍්‍රලනිප නායකත්වය හොබවන ආන්ඩුවක් නැවත බලයට පැමිනියේ 1994 පොදු පෙරමුන ආන්ඩුව ලෙසය. එවකට එම පෙරමුනේ නායකත්වයේ සිටි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග සම්බන්ධයෙන් අදහස් දක්වමින් විජේසූරිය පැවසුවේ ඇය ඊට පෙර තිබූ එජාප ආන්ඩුව විසින් ඇතිකර තිබූ “අභාග්‍ය සම්පන්න තත්වය දුරු කිරීම” සඳහා ශී‍්‍රලනිප ට “නායකත්වය දීමට සමත්” වූ බවයි.

නමුත් සත්‍ය වශයෙන්ම කුමාරතුංග සිදුකලේ තමන් බලයට ඒම සඳහා ගසා කනු ලැබූ එජාපයේ වෙලඳ පොලගැති කි‍්‍රයාමාර්ග වලට සහ උතුරේ සහ දකුනේ නිර්මානය වී තිබූ සිවිල් යුද තත්වයන්ට එරෙහි ජනතා විරෝධය තිබියදීම, සිය වසර හයක පාලන කාලය තුල පුද්ගලීකරනය සහ උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල දෙමල ජනතාවට එරෙහි යුද්ධය ඉදිරියටම ගෙන යාමය.

ව්‍යවස්ථානුකූලව සිය ධුරකාල දෙක අවසන් වීමෙන් පසු කුමාරතුංගගේ අනුප‍්‍රාප්තිකයා ලෙස 2005 ජනාධිපති ධුරයට පත්ව ශී‍්‍රලනිප නායකයා ද වූ මහින්ද රාජපක්ෂ 2006 දී යුද්ධය යලි ආරම්භ කරමින්, 2009 දී එල්ටීටීඊය මිලිටරිමය වශයෙන් පරාජයට පත් කලේය. යුද්ධයේ අවසාන මාස වල සිවිල් වැසියන් 40,000ක් ඝාතනය කෙරුනු අතර 300,0000 ජනයා මිලිටරි කඳවුරු තුල සිර කෙරින.

වැඩි කල් නොගොස් එම මිලිටරිය සහ පොලීසිය දකුනේ කම්කරු පන්තියට එරෙහිව යොදාගත් ඔහු කටුනායක පැවති විරෝධතාවක දී එක් කම්කරුවෙකු ද, හලාවත පැවති ධීවර විරෝධතාවයක දී ධීවරයෙකු ද, පිරිසිදු ජලය ඉල්ලා රතුපස්වල දී කල උද්ඝෝෂනයක දී ශිෂ්‍යයන් ඇතුළු තිදෙනෙකු ද ඝාතනය කලේය. කම්කරු-පීඩිත ජනී ජනයාගේ “දිවි පෙවත දියුනු කිරීම සඳහා දර්ශනයක් ඇතුව” ගොඩනැගූ පක්ෂය විසින් ඉටු කල මේ සියල්ල විජේසූරිය විසින් “ගෞරවයෙන් සිහිපත්” කලේය.

ශී‍්‍රලනිප පිලිබඳ විජේසූරියගේ මුසාවාද සහ ප‍්‍රශස්ති එක හෙලා අනුමත කරමින් අදහස් දැක්වූ එම පක්ෂයේ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මෙසේ පැවසීය: ‘අපි අද සිටින්නේ 1956 යුගයේ නොවේ. අපි අද සිටින්නේ 1970 යුගයේ නොවේ. අපි අද සිටින්නේ 1994 යුගයේ නොවේ. අපි අද සිටින්නේ 2005 යුගයේ නොවේ. එක් එක් කාල පරිච්ඡේදය තුල ලෝකය වෙනස් වන විට අපේ රටත් වෙනස් වී තිබෙනවා. ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ජනතාවගේ ප‍්‍රශ්න, ජාත්‍යන්තරයේ ගැටලු, අන්තර්ජාතික ප‍්‍රවනතා, ආර්ථික බලවේග, සංස්කෘතික බලවේග, තාක්ෂනික වෙනස්කම් මානව සමාජයේ ප‍්‍රගමනය සඳහා තිබෙන්නා වූ නව ගමන්මග සමග වෙනස් වී තිබෙනවා.”

‘මානව සමාජයේ ප‍්‍රගමනය සඳහා තිබෙන්නා වූ නව ගමන්මග’ පිලිබඳ සිරිසේනගේ පූච්ඡානම් තිබියදී ඔහු අද මුලුමනින්ම කරබදු වී සිටින්නේ, චීනය ආර්ථික සහ මිලිටරිමය වශයෙන් වටලෑම එල්ල කරගත් එක්සත් ජනපදයේ ‘ආසියාවට හැරීම’ නම් වූ මූලෝපායටයි. මෙම මූලෝපායේ අභ්‍යන්තර ගතිකය යොමුව පවත්නේ ‘මානව සමාජයේ ප‍්‍රගමනය’ සඳහා නොව අන්තර් අධිරාජ්‍යවාදී යුද්ධ අවුලුවාලමින් සමස්ත පෘථිවි ගෝලයම අග්නි ජාලාවක් බවට පත් කෙරෙන විනාශකාරී න්‍යෂ්ටික යුද්ධයක් දෙසටයි.

Share this article: