සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට කර ගැසූ මධ්‍යම පන්තික කන්ඩායම් වික්ෂෝප වෙයි

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2015 සැප්තැම්බර් 22

නව ආන්ඩුව බලයට ගෙන ඒමට කර උර දුන් මධ්‍යම පන්තික සංවිධාන සහ කන්ඩායම් අමාත්‍ය මන්ඩලයේ විශාලත්වය හා අපරාධ කරුවන් හා දුෂිතයන් ආරක්ෂා කිරීම ගැන දැන් ආරම්භ කර ඇති උද්ඝෝෂනය වංචනිකය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුන බලයට ගෙන ඒමට දර දිය ඇද්ද මධ්‍යම පන්තික සංවිධාන සහ කන්ඩායම් දැන් ආන්ඩුව කෙරෙහි සිය කනස්සල්ල ප්‍රකාශ කිරීමට පටන් ගෙන ඇත. ඔවුන්ගේ මූලික විවේචනයන් එල්ල වී ඇත්තේ, විශාල අමාත්‍ය මන්ඩලයක් සහිත "ජාතික ආන්ඩුවක්" හැදීම, අපරාධ කරුවන්ට හා දුෂන අක්‍රමිකතා වලට විරුද්ධව නීතිමය පියවර ගැනීමට ආන්ඩුව "අසමත්වීම" සම්බන්ධයෙනි.

අසාධාරන සංඛ්‍යාවක් ඇමතිවරුන් පත්කිරීම "ලජ්ජා විරහිත ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගිය මාර්ගයේම ගමන් කිරීමක්" යයි සැප්තැම්බර් 10 පැවති මාධ්‍ය හමුවක දී සමාජ සාධාරනත්වය සඳහා ජාතික ව්‍යාපාරයේ (සසාජාව්‍යා) නායක මාදොලුවාවේ සෝභිත භික්ෂුව ආන්ඩුවට චෝදනා කලේ ය. “මෙය අඛන්ඩව ඉදිරියට ගියොත්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම ඇමතිවරු බවට පත්වීම අප ඉක්මනින් ම දකිනු ඇත” යි හෙතෙම ප්‍රකාශ කලේ ය. එහෙම වුනොත් “19 වන ව්‍යවස්ථා සංශෝධනයත් විගඩමක් බවට පත් වන” බව ඔහු වැඩි දුරටත් කියා ඇත.

සසාජාව්‍යා සිවිල් සංවිධාන, රාජ්‍ය නො වන සංවිධාන, වෘත්තීය සමිති, කලා කරුවන්, වෘත්තිකයන් ආදීන් ගේ එකතුවකි. ඔවුන්ගේ නියෝජනය කරන්නේ රාජපක්ෂ පාලන තන්ත්‍රය යටතේ සිය වරප්‍රසාද අහිමි වූ ඉහල මධ්‍යම පන්තික සමාජ ස්තරය යි.

දහනවවන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇමති මන්ඩලය 30 ට සීමා කර ඇත. එහෙත්, ජාතික ආන්ඩුවක් හැදීමේ දී එකී සීමාව ඉක්මවා යාමේ රෙගුලාසි ද උක්ත ව්‍යවස්ථා සංශෝධනයට ඇතුල් කර ඇත්තේ පාලක පක්ෂයට අවශ්‍ය පරිදි දේශපාලන අල්ලස් දීම සඳහා ය. තමන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ එවැන්නක් තිබුන බව නොදැන සිටි බවක් ඇඟවීමට සෝභිත සහ සසාජාව්‍යා දැන් දරන උත්සාහය මුලුමනින් ම වංචනික ය.

සසාජාව්‍යා විසින් 19 ව්‍යවස්ථා සංශෝධනය හැඳින්වූයේ, එය “ප්‍රජාතන්ත්‍රවාදයේ පෙර ගමන්කරු” ලෙසය. එමගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරී සර්ව සාධාරන “ප්‍රජාතන්ත්‍රවාදයක් සහ යහපාලනයක්” රට තුල ස්ථාපිත වනු ඇතැයි සසාජාව්‍යා මහජනතාව තුල බරපතල ප්‍රචාරයක් ගෙන ගියේය.

අනාගත පරම්පරාව සඳහා වඩා හොඳ සමාජයක් ගොඩ නැගීමේ සිය උත්සාහයට ආන්ඩුව විසින් දී ඇති පිලිතුර ගැන ඔහුගේ කන්ඩායම “ලැජ්ජාවට පත්වන” බව සසාජාව්‍යා හි ප්‍රමුඛ ක්‍රියාකාරියෙකු සහ නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙකු සහ නිෂ්පාදකයෙකු වන ධර්මසිරි බන්ඩාරනායක පසුගිය සතියේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කර ඇත. විශාල අමාත්‍ය මන්ඩලයක් පත්කිරීම මහ ජනතාව අපේක්ෂා නොකල බව කී බන්ඩාරනායක ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ පුද්ගලයින් පාලනයට පත් කිරීම "වෙනසක්" ලෙස පිලිගැනීමට තරම් තම කන්ඩායම “මුග්ධ” නො වන බව සඳහන් කලේය. යහපාලනය ගැන බලාපොරොත්තු සුන් වූ ජනතාව ප්‍රශ්න කරන්නේ ආන්ඩුවෙන් හෝ ඇමතිවරුන්ගෙන් නොව, තම කන්ඩායමෙන් බව බන්ඩාරනායක පැවසුවේ ය.

සසාජාව්‍යා හි තවත් ප්‍රමුඛයෙකු හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති, කලාකරු ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර චෝදනා කලේ “ජාතික ආන්ඩුව ගැන සාකච්ඡා මධ්‍යයේ ජාතික අපරාධ පාපිස්ස යටට තල්ලු කර ඇති” බවට යි. ඒකාධිපති මහින්ද රාජපක්ෂ ගේ දුෂන සහ දුෂ්ට ක්‍රියා වලට එරෙහිව හඬ නැගූ තමන් යහපාලනය යටතේත් එය දිගට ම කරන බවට තේනුවර කයිවාරු ගැසුවේ ය.

මෙම "විද්වතුන්" වල්ගය පෑගී කුලප්පු වී සිටින්නේ වැඩි කලක් යන්නට මත්තෙන්ම තමන් ප්‍රජාතන්ත්‍රවාදීන් හා යහ පාලකයන් ලෙස වෙස් ගැන්වූ සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීන් ලෙස කම්කරුවන්ගේ හා දුගීන්ගේ ඇස් ඉදිරිපිට එලිදරවු වන්ට පටන් ගැනීම නිසාය. සිරිසේන හා වික්‍රමසිංහ, දුෂිතයන් ලෙස හංවඩු ගැසූවන් සමගම එක්වී එජාප-ශ්‍රීලනිප සභාගයක් අටවා ගෙන ඇත්තේ කුමක් නිසාද යන්න ප්‍රශ්න නොකරන්නේ ඇත්ත වසන් කිරීමට ය.

"ජාතික ආන්ඩුවක්" අටවා ඇත්තේ ප්‍රධාන කොටම කරුනු දෙකක් මතය: එකක්, චීනයට එරෙහිව යුදවාදී "ආසියාවට හැරීමේ" වැඩපිලිවෙලක් ගෙනයන ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සමග පෙල ගැසීම තහවුරු කර ගැනීමය; අනෙක, ගෝලීය ආර්ථික අර්බුදයේ කොටසක් ලෙස ලංකාවේ අර්බුදය ගැඹුරුවන තතු තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත කප්පාදු වැඩපිලිවෙලක් රුදුරු ලෙස ක්‍රියාවට දැමීමට හා ඊට එරෙහිව පැනනගින කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල මැඩීමට ධනපති පාලනයේ අත් ශක්තිමත් කර ගැනීමටය.

සසාජාව්‍යා නායකයන්ට හෝ "විද්වතුන්ගේ" හා කලාකරුවන්ගේ මන්ඩපවලට, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ඇමරිකානු ගැති වැඩපිලිවෙල ගැන "ලජ්ජාවක්" නැත. ඔවුන් ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීමට මැදිහත්වී සිටින බව පිලි ගන්න බැවිනි. සිරිසේනට හා වික්‍රමසිංහට කරදීමෙන් ඔවුන් කලේ ව්‍යාජ වාම නව සම සමාජ නායක වික්‍රමබාහු කරුනාරත්න මෙන් කෙලින්ම ඇමරිකාව ලංකාව තුල සිදුකල තන්ත්‍ර මාරුවට කර දීමයි.

ආන්ඩුවට එරහිව තම අයිතීන් සඳහා කම්කරුවන්, තරුනයන් හා දුගීන් අරගල වලට එලඹුන විට, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ නමින් ඒවාට එරෙහිව මෙම මධ්‍යම පන්තික කන්ඩායම් කඩා පැන්නොත් පුදුමයක් නැත.

Share this article: