සිරියාව මුල්කරගත් එක්සත් ජනපද රුසියානු ආතතීන් උත්සන්න වේ

US-Russian tensions rise over Syria

බිල් වෑන් ඕකන් විසිනි, 2015 සැප්තැම්බර් 17

ඇමරිකාව හා එහි කලාපීය සහචරයින් විසින් සන්නද්ධ කර සහාය දෙනු ලබන ඉස්ලාමීය මිලිෂියාවන්ට එරෙහි ජනාධිපති බෂර් අල් අසාද්ගේ ආන්ඩුවට ආධාර පිනිස, වඩාත් සෘජු මැදිහත්වීමක් සඳහා සූදානම් වෙමින්, වයඹ දිග වරාය නගරයක් වන ලටාකියාව ආසන්නයේ “පෙරටු මෙහෙයුම් ගුවන් කඳවුරක්” රුසියාව විසින් පිහිටුවනු ලබන බවට එක්සත් ජනපදය නගන චෝදනා හමුවේ, මොස්කෝව හා වොෂින්ටනය අතර ආතතීන් පැතිර යමින් තිබේ. v

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තා කලේ, රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, දින 10ක් තුල තුන්වන වතාවටත් රුසියානු විදේශ ඇමති සර්ගේ ලැව්රොව් වෙත කථාකරමින්, 14දා අසාද් තන්ත‍්‍රයට දිගටම ලැබෙන රුසියානු පිටුබලයට එරෙහිව අනතුරු ඇඟවූ බවය.

දුරකථන සාකච්ඡාව ගැන රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශයට අනුව, සිරියානු ආන්ඩුවට ලැබෙන රුසියානු සහාය, “ගැටුම තියුනු කර පතුරුවා හැරීමට හා අන්තවාදයට එරෙහිව අප එකඟවී සිටින අරමුන කඩාකප්පල් කිරීමට තුඩු දෙනු ඇති බව කෙරී පවසා” ඇත.

සිරියාව තුල එකම නීත්‍යානුකූල රුසියානු භූමිකාව, ඇමරිකාවේ හා තුර්කිය, සව්දි අරාබිය හා පර්සියන් ගල්ෆ් කලාපයේ අනෙකුත් ප‍්‍රතිගාමී සුන්නි රාජාන්ඩු අතුලු කලාපීය සහචරයින් විසින් ඒකාබද්ධව මෙහෙයවනු ලබන, වොෂින්ටනය විසින් එකට එකතුකරනු ලැබ ඇති ඊනියා “සභාගය” ට යටත් කටයුතු වලට සීමාවිය යුතු බව පවසනු ලබන පූර්වයෙන් නිකුත් කල ප‍්‍රකාශ, කෙරී යලි පුනරුච්ඡාරනය කර ඇති බවක් පෙනී යයි.

පූර්ව සාකච්ඡා වලදී කෙරී, රට තුල ගුවන් ප‍්‍රහාරවල නිරතව සිටින ඇමරිකානු මිලිටරිය සමග “ගැටුමක” අවදානම, සිරියාව තුල රුසියානු මැදිහත්වීම් ප‍්‍රසාරනය කිරීම මගින් නිර්මානය කරනු ඇති බවට කෙලින්ම පවා තර්ජනය කර ඇත.

ඇමරිකාවේ මූලිකත්වයෙන් සිදුවන මෙම ගුවන් ප‍්‍රහාර, සිය ගුවන්යානා සිරියාව තුල පලමු ප‍්‍රහාර දියත් කල බවට ඔස්ටේ‍්‍රලියාව නිවේදනය කිරීමත් සමග උනුසුම් වෙමින් තිබේ. 14දා එල්ල කල එම ප‍්‍රහාරයන්ගේ එල්ලය අයිඑස්අයිඑස් හා සිරියානු මධ්‍යස්ථාන බව එහි සඳහන් විය.

මේ අතර ප‍්‍රන්ස ආරක්ෂක ඇමති ලේ ඩ‍්‍රයන් ඉන්ටර් රේඩියෝවට 16දා කියා ඇත්තේ, ප‍්‍රන්ස ප‍්‍රහාරක යානා ඉදිරි සති වලදී තමන්ගේම ගුවන් ප‍්‍රහාර ක‍්‍රියාත්මක කරනු ඇති බවයි. ඒ බෙහෙවින් විනාශයට පත්ව ඇති සිරියාවේ කලින් පැවති කාර්මික හා වානිජ්‍ය අගනුවර වන ඇලෙපෝ අසල අයිඑස්අයිඑස් පෙර ගමන නතරකිරීමේ උත්සාහයක් ලෙසය. ලේ ඩ‍්‍රයන් අවධාරනය කල ඊනියා “කැරලිකරුවන්” වන ඉස්ලාමීය හමුදා තවමත් තමන් “නිදහස් සිරියානු හමුදාව” බව කියා ගන්නා අතර ඔවුන්, 15දා නගරයේ ආන්ඩුවට පක්ෂපාතී බටහිර කොටසට ෂෙල් වෙඩි එල්ල කරමින් ලමුන් 14ක් ඇතුලු සිවිල් වැසියන් 38 දෙනෙක් ම්ලේච්ඡ ලෙස මරා දැමීය.

රුසියානු හමදා සමග මිලිටරි ගැටුමක අනතුර ඉහල නංවමින් වොෂින්ටනය, රුසියාව සමග මිලිටරියෙන් මිලිටරියට ඇති සම්බන්ධකම් බිඳ දැමීය. ඒ පසුගිය වසරේ ඇමරිකාව විසින් උසිගන්වන ලද ෆැසිස්ට්වාදීන්ගේ නායකත්වයෙන් යුකේ‍්‍රනය තුල සිදුවූ කුමන්ත‍්‍රනයෙන් පසුව, මොස්කෝව ක‍්‍රිමියාව ඇඳාගැනීම මුල්කරගෙන එය හුදෙකලා කිරීමේ ව්‍යාපාරයක කොටසක් ලෙසය.

සිරියාව තුල සිටින දෙරටේ හමුදා අතර කුමන හෝ ඝර්ෂනයක් “සමතයකට” පත්කිරීමේ අරමුනින් සාකච්ඡා ආරම්භ කිරීමට රුසියාව යෝජනා කර ඇති බව 16දා කෙරී පිලිගත්තේය. ඉල්ලීම සාකච්ඡාවට බඳුන්වන නමුත් එවන් බැඳීමක් සඳහා කිසිදු කැපවීමක් ගැන කෙරී ඇඟවුම් කලේ නැත.

සිරියානු ආන්ඩුව පෙරලා දැමීමට උත්සාහ කරන අයිඑස්අයිඑස් හා අනෙකුත් ඉස්ලාමීය හමුදා පරාජය කිරීමේදී, එරට ආන්ඩුවේ හමුදාවන්ට ආධාර කිරීම තීරනාත්මක බව අවධාරනය කරන අතර රුසියානු නිලධාරීන්, සිරියානු භූමිය තුල කිසිදු සෘජු මැදිහත්වීමක් හෝ ගොඩනැගීම්, මොස්කෝව විසින් සිදුකරනු ලබන්නේය යන චෝදනා ප‍්‍රතික්ෂේප කලේය.

තජිකිස්ථානයේ ඩුෂන්බේහිදී සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානය අමතමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 15දා, සිරියාවට සපයන රුසියානු මිලිටරි ආධාර යුක්තිසහගත කලේය. “ත‍්‍රස්ත‍්‍රවාදී ප‍්‍රචන්ඩත්වයට එරෙහිව සටන් කරන සිරියානු ආන්ඩුවට අපි උදව් කරන්නෙමු. අපි මිලිටරි හා තාක්ෂනික ආධාර සපයන අතර අවශ්‍ය නම් ඉදිරියට ද එසේ කරන්නෙමු. අනෙකුත් රටවල්ට ද අප කියන්නේ අප සමග එක්වන ලෙසයි.”

“කිසිවෙකුට හෝ නොගැලපෙනවා විය හැකි රෙජිමයන් හා ආන්ඩු වෙනස්කිරීමත් ඇතුලු, අවස්ථාවාදී අරමුනු ඉටුකර ගැනීම පිනිස, වෙන් වෙන් ත‍්‍රස්තවාදී කන්ඩායම් සෘජුව හෝ වක‍්‍ර ලෙස ප‍්‍රයෝජනයට ගන්නා පිලිවෙත් වලින් ගලා එන, භූ දේශපාලනික අභිලාෂයන් පසෙකට දමා, ඊනියා දෙපිටකාට්ටුකම් නතර කරන” ලෙස රුසියානු ජනාධිපති බටහිර බලවතුන්ට කියා සිටියේය.

“විපක්ෂයේ නිරෝගිමත් පාර්ශවය” සමග දේශපාලන සම්මුතියකට ජනාධිපති අසාද් සූදානම් බව ද පුටින් පැවසීය.

අසාද් නෙරපා හැරීමෙන් පිටත කිසිදු සම්මුතියකට හැකියාවක් නැති බව වොෂින්ටනය හා එහි කලාපීය සහචරයෝ අවධාරනය කර තිබේ. කෙසේ වෙතත් සමහර යුරෝපීය නිලධාරීන් මෙම පිලිවෙත ප‍්‍රශ්නයට බඳුන්කර ඇත. ඒ අසාද් රෙජිමයේ ඉක්මන් කඩා වැටීමක ප‍්‍රතිපලය වශයෙන්, අයිඑස්අයිඑස් හෝ අල් කයිඩාවට බැඳී ඇති අල් නුස්රා පෙරමුන ඩැමස්කසය යටත්කර ගනු ඇති බවට පවතින බිය නිසාය.

පසුගිය සතියේ බි‍්‍රතාන්‍ය විදේශ ඇමති ෆිලිප් හැමන්ඞ් යෝජනා කලේ, හය මාසයක “සංක‍්‍රමනීය කාලයකට අසාද්ට බලයේ සිටීමට ඉඩ දිය හැකි බවයි. එවැනි ක‍්‍රියාවලියක කාල පරාසය හා ප‍්‍රතිපලය තමන් මත පැටවීමට ලන්ඩනයට ඇති අයිතිය ගැන ප‍්‍රශ්න කරමින් සිරියානු ආන්ඩුව එම යෝජනාව ප‍්‍රතික්ෂේප කලේය.

පසුගිය සතියේ ඉරානයට කල නිල සංචාරයකදී ඕස්ටේ‍්‍රලියානු විදේශ ඇමති සෙබෙස්ටියන් කූස් මාධ්‍ය වෙත පැවසුවේ, “ක‍්‍රියාත්මක කල හැකි පොදු ප‍්‍රවිෂ්ටයක්” අවශ්‍ය බවය. “ඉස්ලාමීය රාජ්‍ය ත‍්‍රස්තවාදයට (අයිඑස්අයිඑස්) එරෙහිව සටන් කරන අසාද්ගේ මැදිහත්වීම ද එයට ඇතුලත්ය. මගේ අදහස වන්නේ ප‍්‍රමුඛත්වය, ත‍්‍රස්තයට එරෙහි සටන බවයි. රුසියාව හා ඉරානය වැනි බලවතුන් නොමැතිව මෙය කල නොහැකි වනු ඇත.”

මොස්කව් බලධාරීන් අවධාරනය කලේ, සිරියාවට පියාසර කරන රුසියානු යානා මිලිටරි මෙන්ම මානවවාදී ආධාර ද රැගෙන ගොස් ඇති බවය. තම ගුවන් පථයන් හරහා ගමන් කිරීමට රුසියාවට අවසර නොදෙන ලෙස වොෂින්ටනය බල්ගේරියාවේ හා සිරියාවේ ආන්ඩුවලට බලපෑම් කර ඇත. ඉන් පසුව ගුවන් යානා ඉරානය හා ඉරාකය ඔස්සේ පියාසර කරවීමට පියවර ගෙන ඇත. අයිඑස්අයිඑස්ට එරෙහි යුද්ධයේදී තමන්ගේ සහචරයා යයි කියන බැග්ඩෑඩ් රෙජිමය වෙත ද එවැනිම බලපෑමක් යොදන්නේ ද යන්න ගැන කිසිවක් පැවසීම ඇමරිකානු නිලධරයින් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

“පසුගිය දින 10 තුල සෑම දිනකම දැවැන්ත කොන්ඩෝ ප‍්‍රවාහන ගුවන් යානා දෙක බැගින් ලටාකියා ගුවන් තොටුපල වෙත පැමිනෙමින් තිබේ. ඒ අතර භාන්ඩ නැව් ටෝටුඅස් වරාය නගරයේ රුසියානු කඳවුරෙහි නතරකර ඇත.” ඇමරිකානු නිලධරයෙක් පැවසූ බවට මැකාති ප‍්‍රවෘති ඒජන්සිය එසේ වාර්තා කලේය. සැපයුම් වලට මේ දක්වා ඇතුලත්ව ඇත්තේ, “මිනිසුන් 1500ට සෑහෙන කලින් සකස් කල නිවාස, වැඩි දියුනු කල ටී-90 යුද ටැංකි 10, වැඩි දියුනු කල සන්නද්ධ පුද්ගල රථ 36ක් හා කාලතුවක්කු 15ක්” බව එය වාර්තා කලේය. ඒ සමග රුසියානු මැරින් කොමාන්ඩෝවරුන් 200ක් ද යවා ඇත.

මෙම ලැයිස්තුව නිවැරදි නම්, කලාපය තුලට වොෂින්ටනය විසින් මෙහෙයවා තිබෙන මිලිටරි ආම්පන්න හා හමුදා භට සංඛ්‍යාවට සාපේක්ෂව එය අල්පයකි. ඇමරිකානු ආයුධ වලින් අති විශාල ප‍්‍රමානයක් දැන් ඇත්තේ අයිඑස්අයිඑස් අතෙහිය. ඒ මොසුල් හා තවත් තැන්වල ඉරාක හමුදා යටත්කර ගැනීමෙන් පසුව ඔවුන් සතුව පැවති ආයුධ හා මෙවලම් අත්පත්කර ගැනීමත් සමගය. මේ අතර ඇමරිකානු භටයින් 3000ක් ඉරාකයට පිටත්කර යවා ඇත. ඇමරිකානු යුද ගුවන්යානා පැය විසිහතරේම ඉරාකය හා සිරියාවට ඉහලින් පියාසර කරන අතර ප‍්‍රහාර එල්ල කරයි.

කෙසේ වෙතත් මෙම ස්ථානගතකිරීම් තිබියදීම වොෂින්ටනයට, අයිඑස්අයිඑස් වෙත බෝම්බ දැමීමේ වසරක කාලය සඳහා පෙන්නීමට ඇත්තේ නොතැකිය යුතු තරම් අල්ප ජයග‍්‍රහනයක් පමනි. ඔත්තු වාර්තා අනුව ඉස්ලාමීය මිලිෂියාවන්ට, වසරකට පෙර ඔවුන් පාලනය කල තරම්ම භූමි ප‍්‍රදේශයක් ද ඒ තරම්ම සටන්කරුවන් සංඛ්‍යාවක් ද හිමිව ඇත.

15දා රුසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කල ප‍්‍රකාශයක් මෙසේය, “යුක්තිසහගත ප‍්‍රශ්නය මතුවෙයි. එනම්, විදේශික ගුවන් ගමන් ගනන් කිරීමට කැමැත්තක් දක්වන එම රටවල්, කලාපය තුලට මිලිටරි සේනාංක පිටත්කර යැවීමෙන් අපට අත්වී තිබෙන ප‍්‍රතිපල මොනවා ද යන්නයි. හවුල විසින් අයිඑස්අයිඑස්ට එරෙහි සටනේදී ජයග‍්‍රහන අත්කරගත්තා යයි පැවසීම අවාසනාවකි.”

මෙම තක්සේරුව සෙනේට් සන්නද්ධ සේවා කමිටුව හමුවේ සාක්ෂි දෙමින් 15දා ඇමරිකාවේ මධ්‍යම අනදෙන මධ්‍යස්ථානයේ ප‍්‍රධානී ජෙනරාල් ලොයිඩ් ඔස්ටින් හෙලිකල තොරතුරු මගින් ප‍්‍රබල ලෙස සනාථ කෙරුනි. සිරියාව තුල ඇමරිකාව පුහුනු කල “කැරලිකරුවන්” කී දෙනෙක් සිටිනවාදැයි සෙනේට් සභිකයින් ඇසූ ප‍්‍රශ්නයකට පිලිතුරු වශයෙන් ඔහු පැවසුවේ, “ඒ සුලු සංඛ්‍යාවකි.....අපි කථාකරන්නේ හතරදෙනෙක් හෝ පස් දෙනෙක් ගැනය.” පෙන්ටගන් නිලධාරීන් පැවසුවේ, යන්තම් සියය ඉක්මවූ එවන් සටන්කරුවන් සංඛ්‍යාවක් පුහුනුවීම් සිදුකරන බවය. ඊට ප‍්‍රතිචාර දක්වමින් සෙනේට් සභිකයින් පවසා ඇත්තේ ඩොලර් මිලියන 500ක පුහුනු කිරීමේ වැඩසටහන “අසාර්ථක” හා “විනාශයක්” බවය.

පැහැදිලි කාරනය නම්, සිරියාව තුල වොෂින්ටනයෙහි මූලික අරමුන අයිඑස්අයිඑස් පරාජය කිරීම නොව, තන්ත‍්‍ර මාරුවක් බවය. එහි අරමුන මැද පෙරදිග රුසියාවට ඇති එක් සහචරයෙකු අහිමි කිරීමය. එසේම එරට එකම විදේශ නාවික කඳවුර අහිමි කිරීමය. ඒ බලශක්තියෙන් පොහොසත් කලාපයේ, වඩාත් පුලුල් වශයෙන් ගත් කල යුරේෂියානු භූ ස්කන්ධය මත, මිලිටරිමය වශයෙන් ඇමරිකානු ආධිපත්‍යය පැටවීමේ පුලුල් මූලෝපායක කොටසක් ලෙසය.

ඒ අන්තය දක්වා ඇමරිකානු අධිරාජ්‍යවාදය, රුසියාවට එරෙහි මිලිටරි තර්ජන පුලුල් කරමින් සිටියි. බ්ලූම්බර්ග් ප‍්‍රවෘති අංශය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පෙන්ටගනයේ මයිකල් මැක්කෝඩ් ඇඟවුම් කලේ, බොහෝකොටම මොස්කෝව සමග ගැටුමකට සූදානම් වීම සඳහා 2017 ඇමරිකානු අයවැය යලි හැඩගස්වමින් තිබෙන බවය.

“මීට පෙර පැවති සියලු අයවැය සමග සසඳන කල, මෙම අයවැය ලේඛනයේදී අප වැඩියෙන්ම සිහියට නගාගත යුත්තේ, රුසියාවයි. ආයෝජනයේදී හා හැඩගැස්වීමේදී අපි නිවැරදි දේ කරන්නෙමු ද යන කොන්දේසි අනුවය.” මැක්කෝඩ් පැවසීය.

ඊට පෙර ජනාධිපති බරක් ඔබාමාගේ ඒකාබද්ධ මාන්ඩලික ප‍්‍රධානී මැරින් කෝප්ස් ජෙනරාල් ජෝසෆ් ඩන්ෆෝර්ඩ්ගේ සාක්ෂියෙහි රුසියාව, “එක්සත් ජනපදයට අනුභූතික තර්ජනයක් එල්ල කල හැකිය” හා එරටේ කටයුතු “අනතුරු ඇඟවීමට නොඅඩුය” යනුවෙන් පැවසීය. ඩන්ෆෝර්ඩ්, ත‍්‍රස්තවාදයට වඩා බොහෝ විශාල තර්ජනය ලෙස රුසියාව වර්ග කිරීම අර්ථභාරීය.

Share this article: