ගෝලීය ආර්ථිකයේ විභේදන රේඛා සටහන් කරමින් ඇපල් (නිෂ්පාදන) අලෙවිය පහත වැටේ

Apple sales decline points to faultlines in global economy

බැරී ග්‍රේ විසිනි, 2016 අප්‍රේල් 28

වෙලඳපොල ප්‍රාග්ධනය අතින් ලොව ප්‍රමුඛයා වන ඇපල් සමාගම, 13 වසරකට පසුව මේ වර්ෂයේ පලමු කාර්තුවෙහි සිය අලෙවිය පහත වැටුන බව 26දා වාර්තා කලේය. ආදායමේ හා ලාභයේ පිරිහීම විශ්ලේෂකයින් අනාවැකි පලකොට තිබුනාට වඩා නරක අතට හැරුන අතර සමාගමේ වැඩිම අලෙවිය සහිත නිෂ්පාදනය වන අයි ෆෝන් අලෙවිය, එම දුරකථනය හඳුන්වා දුන් 2007 වසරෙන් පසුව පලමු කාර්තුව තුල අලෙවියේ පිරිහීමකට මුහුනදීම ඊට හේතුව විය.

මේ වසර තුල ඒ වන විට සියයට 20න් පහත වැටී තිබුන ඇපල් කොටස්, 27දා තවත් සියයට 6.26න් පහත වැටුනේ, දිනය තුල නැස්ඩැක් කොම්පොසිට් දර්ශකයේ අගය සියයට .5න් පහතට ඇද දමමිනි.

සමාගමේ වර්ධන සැලසුම්වල තියුනු සංශෝධනය, ලෝක කොටස් වෙලඳපොලවල තිගැස්සෙන සුලු ඉහල නැඟීම පිටුපසින් සැබෑ ආර්ථිකයේ ඇතිව තිබෙන පල්වීම හා පසුබෑම පිලිඹිඹු කරනවා පමනක් නොව, බෙහෙවින් පුම්බන ලද වත්කම් අගය තිරසාර නොවන බව හා නොවැලැක්විය හැකි කඩාවැටීමකට මුහුනපානු ඇති බවට නිකුත් කෙරෙන අනතුරු ඇඟවීමක් ද වේ.

යූඑස්ඒ ටුඩේ පුවත් පතට ලියමින් මූල්‍ය විශ්ලේෂක ජෝන් ෂිනාල්, සමාගමේ කාර්තුගත වාර්තාවේ ඇඟවුම් මෙසේ කැටි කලේය. “සියල්ල එකට ගත් කල ඔබට ලැබෙන වට්ටොරුව, ඇපල් කොටස් වලින් පලා යන බෙයා වෙලඳපොලයි.“

සමහර විට අන් කිසිම සමාගමකට වඩා ඇපල්, 2008 සැප්තැම්බරයේ වෝල් වීදියේ කඩාවැටීමේ තැන් සිට, වෙලඳපොල විසින් මූල්‍ය වත්කම් වලට හා කොටස් වලට පවරන ලද ඓතිහාසිකව පෙර නොවූ විරූ යෝධ මිල උද්ධමනය පිලිබඳ නිදසුනකි. ඩොලර් බහු ට්‍රිලියන බැංකු ඇපදීම් හා ලෝක මහ බැංකු විසින් ලිහා හරින ලද මුදල් අච්චු ගැසීමේ ද නය ප්‍රසාරනයේද නාඬගම් වලින් ඉහලට තල්ලුවූ කොටස් මිල ගනන්, පශ්චාත් වෝල් විදී කඩාවැටීමේ අවම මට්ටමේ සිට තුන් ගුනයකින් ඉහල නැඟ තිබේ. එය ලෝක මූල්‍ය කතිපයාධිකාරය තවත් පොහොසත් කරමින් ධනවත් හා සුපිරි ධනවත් කොටස හා අවශේෂ ලෝකය අතර ආගාධය තවත් පුලුල් කලේය.

මෙම ක්‍රියාවලිය එක් සංඛ්‍යා ලේඛනයකින් මනාව පෙන්නුම් කරයි. ඇපල් අවසන් වතාවට අලෙවියේ කාර්තුගත වැටීමකට මුහුන දුන් 2003 වසරේදී එහි වෙලඳපොල ප්‍රාග්ධනය, එනම් කොටස් අගය, ඩොලර් බිලියන 5ක් විය. අද, මෑතකදී කොටස් අගය කඩාවැටීමෙන් පසුව පවා ඇපල් සමාගමේ වෙලඳපොල අගය ඩොලර් බිලියන 500කි. සිය ගුනයකටත් වැඩි ඉහල නැඟීමකි.

කොටස් අගය දැවැන්ත හා අතාර්කික ලෙස පිම්බීම, මූල්‍ය පරපුටුකමේ නැඟීම පිලිබඳ නිදසුනකි. ලාභය හඹා යෑමේ උමතුව හමුවේ ප්‍රාග්ධනය, ගලා යන්නේ නිෂ්පාදන ආයෝජනය කරා නොව, -ඒ අතින් ගත් කල සමාජ යටිතල ව්‍යුහය දිරාපත් වීමට අතහැර තිබෙන අතර වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් පහතට ඇද දැමෙමින් තිබේ- සමපේක්ෂනයේ වඩ වඩාත් අවදානම් සහිත, අද්භූත හා ප්‍රෝඩාකාරී ආකෘතීන් තුලටය.

සැබෑ ආර්ථිකය පිරිහෙමින් තිබේ. මේ මස මුල නිකුත් කල සිය “ලෝක ආර්ථික දැක්ම” තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු ඇඟවූ පරිදි, වෙලඳාමේ, නිෂ්පාදනයේ හා ආයෝජනයේ වර්ධන අනුපාතය පහත වැටෙමින් තිබේ. පසුගිය වසරක කාලය තුල ජාමූඅ, ලෝක ආර්ථික වර්ධනය පිලිබඳ සිය අනාවැකි සිව් වතාවක් පහත හෙලීය. එසේම එය, ඇමරිකාව, යුරෝපය හා ජපානයේ සිට ලතින් ඇමරිකාව, අප්‍රිකාව හා චීනය දක්වා ගෝලීය ආර්ථිකයේ සෑම වැදගත් කොටසක්ම පිලිබඳ තක්සේරුව පහත හෙලා ඇත. එය අනතුරු ඇඟවූයේ “එක විට සිදුවන පසුබෑමක්” පිලිබඳවය.

මහ බැංකු පොලී අනුපාතය ශුන්‍යය හා රින අගයකට පවා හැරවීම හා මහා පරිමානයෙන් මුදල් අච්චු ගැසීමේ මෙහෙයුම් හෙවත් “ප්‍රමානාත්මක ලිහිල් කිරීම” පැවතියේ වී නමුත් ලෝක ධනවාදයට වර්ධනයේ සාමාන්‍ය අනුපාතයන් කරා යලි පැමිනීමට නොහැකිවීම, තෙල් වැනි අමුද්‍රව්‍ය මිල හා ඉල්ලුම පහත වැටීම තුල පිලිබිඹු වේ. උතුරු ඇමරිකාවේ, යුරෝපයේ හා එන්ට එන්ටම අවශේෂ ලෝකයේ වැඩකරන ජනතාවන්ට එරෙහිව ම්ලේච්ඡ කප්පාදු පැටවීම මඟින් පසුබෑම තවත් ගැඹුරු කරනවා පමනි.

මෑත මාසවල ඇමරිකාවේ කඩ සාප්පු වසා දැමීම් රැල්ලක් දැකගත හැකි විය. දැවැන්ත සාප්පු ජාලයන් විසින් මෙසේ සාධාරන වැටුප් හා සුරක්ෂිත රැකියා අවස්ථා විනාශ කිරීම මඟින්, කම්කරු පන්තික ගනුදෙනුකරුවන්ට කරන අලෙවි කටයුතු කඩා වැටී තිබේ. වොල්මාර්ට් හා මැසි සමාගම් සාප්පු සිය ගනනක් වසා දැමීමෙන් පසුව, පසුගිය සතියේ සියර්ස්/කේමාර්ට් ද අලුතෙන් වසා දැමීම් මාලාවක් නිවේදනය කලේය.

2008 කඩාවැටීමෙන් පසුව ලෝක ආර්ථික වර්ධනයේ ප්‍රධාන මූලාශ්‍රය වූ චීන ආර්ථිකයේ මන්දගාමී වීම, අමුද්‍රව්‍ය හා කාර්මික භාන්ඬ අපනයනය කල රටවලට දරුනු ව්‍යසනයක් උදාකල අතර ප්‍රධාන සංගත වල ආදායම් හා ලාභ මත ද ව්‍යසනකාරී බලපෑමක් ඇතිකර තිබේ. ඒ සමඟම පෞද්ගලික හා පොදු නය, පාලනයෙන් පිට පනිමින්, නව හා පලමුවැන්නටත් වඩා විනාශකාරී මූල්‍ය අර්බුදයකට මඟ හෙලි කරයි.

සති අන්තයේ ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කලේ, චීනයේ නය, රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 237ක වාර්තාගත මට්ටමකට ලඟාවී ඇති බවය. එම තත්වය, ලෝකයේ දෙවන ලොකුම ආර්ථිකය, ලේමන් බ්‍රදර්ස් ආයෝජන බැංකුව කඩාවැටීමට තුඩු දුන් වර්ගයේ කඩා වැටීමකට ගමන් කරමින් තිබෙන බවට හෝ ජපානයේ පැවතුනාක් වැනි පහත් වර්ධනයේ දිග්ගැසෙන අවධියකට පිවිස තිබෙන බවට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට හේතු විය.

2016 පලමු කාර්තුව තුල ලාභය සියයට 22ක වැටීමක් හා සමස්ත අලෙවිය සියයට 13න් පහත වැටීමක් ඇපල් සමාගම නිවේදනය කිරීමේ සන්දර්භය මෙයයි. අයි ෆෝන්ස් අලෙවිය සියයට 16න් වැටුනි. අයිපෑඩ්ස් සියයට 19න් ද මැක් පරිගනක සියයට 12න් ද ඇපල් ඔර්ලෝසු ඇතුලු “අනෙකුත් නිෂ්පාදන අංඟ” සියයට 50න්ද වැටුනි.

හොංකොං හා තායිවානය ද ඇතුලු මහා චීනයේ අලෙවිය අන් කවර තැනකටත් වඩා පහත වැටී ඇත. 2015 එම කාර්තුව තුලම සියයට 71ක වර්ධනයක් පෙන්වූ එහි පහත වැටීම දැන් සියයට 26කි.

ඇපල් අලෙවියෙන් චීන වෙලඳපොල හිමිකර ගන්නා පංඟුව සියයට 25ක් පමනක් වුව ද එරට, සමාගමේ පලමු කාර්තු ආදායම් පරිහානියෙන් සියයට 60කට වග කීවේය. කැන්ලේස් පරියේෂන කන්ඬායමේ ෂැන්හයි විශ්ලේෂකයෙක් උපුටා දක්වමින් නිව් යෝර්ක් ටයිම්ස් පැවසුවේ, 2013 තරම් මෑතකදී සියයට 50ක වාර්ෂික වර්ධනයක් පෙන්වූ චීනයේ ස්මාර්ට් ෆෝන්ස් වෙලඳපොල 2016දී සියයට 4.7ක වර්ධනයක් පමනක් පෙන්වනු ඇති බවය.

දෙවන කාර්තුවේදී ඇපල් පුරෝකථනය කර ඇත්තේ ඊටත් වඩා නරක තත්වයකි. පලමු කාර්තුවටත් වඩා ආදායම බිලියන 7න් අඩු බිලියන 41-43 අතර වේ යයි එය තක්සේරු කර ඇත.

ගෝලීය ආර්ථික අර්බුදයෙන් දෙදරුම් කෑ ප්‍රධාන ඇමරිකානු සමාගම ඇපල් පමනක් නොවේ. බලාපොරොත්තු වූවාට වඩා දුබල ආදායමක් පලමු කාර්තුවට ලබාගත් ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ කොටස් කඩා වැටුනි. දෙවන කාර්තුවේ තක්සේරුව වෙලඳපොල බලාපොරොත්තු සුන්කර දමා ඇත.

තෙල් මිල වැටීමෙන් ඇතිවූ බලශක්ති ක්ෂේත්‍රයේ කැලඹීමට ප්‍රතිචාර වශයෙන්, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් වර්ගීකරන ආයතනය, එක්සන් මොබිල් සමාගමේ ඉහලම නය වර්ගීකරනය මහා අවපාතයෙන් පසුව පලමු වතාවට පහත හෙලීය.

ඇපල්හි අලෙවිය පහත වැටීම, වසර විසි පහක කාලයක් පැවතීගෙන ආ ආර්ථික හා භූ-දේශපාලනික වර්ධනයේ මුලු අවධියම අවසන් වෙමින් ඇති බවත්, පන්ති අරගලයේ පිපිරීමක් සමඟ සම්පාත වෙමින් මහ බලවතුන් අතර ආර්ථික ගැටුම්වල, ජාතිකවාදයේ හා මිලිටරිවාදයේ නව හා ප්‍රචන්ඬ අවධියක් විවෘතවී ඇති බවත් ඇඟවුම් කරයි.

1987 ඔක්තෝබරයේදී වෝල් වීදිය, ඩව් ජොන්ස් දර්ශකයේ ඉතිහාසයෙහි ලොකුම වැටීම අත් දුටුවේය. එය ඇඟවුම් කලේ රේගන්-තැචර් ප්‍රතිගාමී වට්ටෝරුව බිඳ වැටුන බවයි.

1989 ටියන්ආන්මෙන් චතුරස්‍රයේ ඝාතනය හා දෙවසරකට පසුව සෝවියට් සංඟමය විසුරුවා හැරීම, ලෝක ධනවාදයට තාවකාලික පිම්බීමක් අත්කර දෙමින් ඇමරිකානු හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් සඳහා නව අමුද්‍රව්‍ය හා ලාභ ශ්‍රම මූලාශ්‍ර විවෘත කර දුන්නේය. එහෙත් 1990 ගනන්වල ප්‍රසාරනය අන් සියල්ලටත් වඩා ගිනි අවුලුවන ලද්දේ, ඇමරිකානු මහ බැංකුව විසින් සම්පාදනය කරන ලද ලාභ නය, තවදුරටත් බැංකු බිඳ විසුරුවීම හා පැරනි කම්කරු ව්‍යාපාරයේ බිඳ වැටීමෙන් පාලක පන්තියට සැලසූ වාසි සහගත තත්වය විසිනි.

නයෙන් ගිනියම් කල මෙම බුබුල දශකය අවසානයේ කඩා වැටුනේ, ඊනියා “ආසියානු ව්‍යාඝ‍්‍රයින්ගේ අර්බුදය, දිගු කාලීන ප්‍රාග්ධන කලමනාකරන ආයතනයේ කඩා වැටීම හා රුසියානු නය පැහැර හැරීම හමුවේය. ඊලඟට පැමිනියේ 2000-2001තුල බිඳ වැටුන ඩොට්.කොම් බුබුලයි. එය පසු පසින් අවමුඛ කොටස් බුබුල 2008දී පුපුරා යාම, මහා අවපාතයෙන් පසුව පැන නැඟි ලොකුම මූල්‍ය හා ආර්ථික අර්බුදය නිර්මානය කලේය.

වත්මන් බුබුල පූර්වයෙන් පැවති ඒවාට වඩා දැවැන්ත හා පැතිරී ගිය එකකි. එහි හදවතෙහිම ඇත්තේ මධ්‍යම බැංකු විසින්ම කැටි කරගත් යෝධ නය සංකේන්ද්‍රනයකි. කොටස් වෙලඳපොලවල හා පොහොසතුන්ගේ බැංකු ගිනුම්වල “ප්‍රකෘතිය” ද වැඩකරන ජනතාව මුහුනපා සිටින ගැඹුරුවන සමාජ අර්බුදය ද අතර පවතින සුවිසල් ප්‍රතිඝතිතාව, සමාජ ප්‍රතිරෝධයක් හා ප්‍රගාඪ දේශපාලන රැඩිකලීකරනයක් අවුලුවයි.

දෙවන ලෝක යුද්ධය කරා මාවත සකස් කලා සේම, ලෝක ධනවාදයේ පද්ධතිමය අර්බුදය, පාලක පන්තීන් පෙර නොවූ විරූ තරම් ප්‍රචන්ඬත්වයකින් යුක්තව, ජාතික වාදයේ, යුද්ධයේ හා ආඥාදායකත්වයේ මාධ්‍යය තුලින් සිය අර්බුදයෙන් ගොඩයෑමේ මඟක් සෙවීම කරා තල්ලු කරයි. ඒ සමඟම එය, ලෝක යුද්ධයට ඇති එකම විකල්පය වන සමාජවාදී විප්ලවයට ද ආවේෂය සපයයි. විසඳිය යුතු තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, කම්කරු පන්තියේ එලඹෙන අරගලයන් සඳහා නව දේශපාලන හා විප්ලවවාදී නායකත්වයක් ගොඩනැඟීමයි.

Share this article: