ශ‍්‍රී ලංකා ආන්ඩුව ප්‍රෝඩාකාරී “තොරතුරු දැනගැනීමේ අයිතිය” පිලිබඳ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරයි

Sri Lankan government presents phony “Right to Information” bill

රොහාන්ත ඩි. සිල්වා, 2016 අපේ‍්‍රල් 4

ශ‍්‍රී ලංකා ආන්ඩුව, තොරතුරු දැන ගැනීමේ අයිතිය පිලිබඳ කෙටුම්පතක් පසුගිය මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ, එය පුරවැසියන්ට රජය මගින් රඳවාගෙන සිටින තොරතුරු මුදා හරින ලෙස ඉල්ලීමට අවකාශ ලබා දෙන “ඉතා වැදගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහනයක්” බව ප‍්‍රකාශ කරමිනි.

නමුත් සත්‍ය වශයෙන්ම, එමගින් ලබාදෙන්නේ ඉතා සීමා සහිත ප‍්‍රවේශයක් පමනක් වන අතර, ජාතික ආරක්ෂාව, රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු හෝ රටේ ආර්ථිකය පිලිබඳ තොරතුරු එම සීමාවෙන් පිට තත්වාකාර වාරනයකට ලක්කොට ඇත.

මෙම නීතිමය ප‍්‍රතිපදානය බොහෝ කල්පමා වූ එකකි. පසුගිය වසරේ ජනවාරි ජනාධිපති වරනයේදී, මෛත‍්‍රීපාල සිරිසේන පොරොන්දුවුයේ, මෙම තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ නීතිය, ඔහු බලයට පැමිනීමෙන් පසු දින සියයේ වැඩ පිලිවෙල යටතේ ගෙන එන බවයි. මැතිවරන ප‍්‍රචාරන යාන්ත‍්‍රනයේ අරමුන වූයේ, සිරිසේන, පරාජයට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අඥාදායක ක‍්‍රමවේදයන්ට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්පයක් ලෙස හුවා දැක්වීමටය.

2014 දක්වා රාජපක්ෂගේ රජයේම කැබිනට් ඇමතිවරයෙකු වූ සිරිසේන, රාජපක්ෂ බලයෙන් පහකිරීම සඳහා ඇමරිකානු පිටුබලය යටතේ කෙරුනු තන්ත‍්‍ර-මාරු මෙහෙයුමේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය වසන් කිරීම සඳහා මෙවැනි ව්‍යාජ පොරොන්දු යොදා ගත්තේය. රාජපක්ෂ විසින් ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පාගාදැමීමට නොව ඔහු චීනය සමග තිබු සමීප සම්බන්ධයට විරෝධය දැක්වු වොෂින්ටනය, ශ‍්‍රී ලංකාව ඇමරිකාවේ චීනයට එරෙහි “ආසියාව දෙසට හැරීම” වැඩපිලිවෙලට ඈඳා ගැනීම සඳහා සිරිසේන බලයෙහි පිහිටුවීමට ආධාර කලේය.

මෙම පනත් කෙටුම්පතේ ඉතා වැදගත් වන දෙවනි කොටසේ “තොරතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීම” සම්බන්ධව කරුනු දැක්වෙන අතර, එමගින් රාජ්‍ය තොරතුරු හෙලිකිරීම නිෂේධනය කිරීමට පුලුල් ප‍්‍රතිපදානයන් සපයයි. මේ අතරට “රාජ්‍යයේ ආරක්ෂාවට, භෞමික අඛන්ඩතාවට හෝ ජාතික ආරක්ෂාවට බලපාන” ඕනෑම කරුනක් ඇතුලත්ය.

මෙයටම අදාල තවත් වගන්තියක් “රහස්‍ය භාවයක් සහිතව ලබාගත් තොරතුරු, ශ‍්‍රී ලංකාව හා තවත් රාජ්‍යයක් අතර සම්බන්ධතාවන්ට, ජාත්‍යන්තර ගිවිසුම් වලට හෝ ජාත්‍යන්තර නීතියට, අගතියක් වන අයුරින්” හෙලි කෙරීම තහනම් කෙරේ.

“රාජ්‍යයේ ආරක්ෂාව, භෞමික අඛන්ඩතාව හා ජාතික ආරක්ෂාව” පැවති සෑම රජයක් විසින්ම නිරතුරුව තොරතුරු ලබාගැනීමේ නිදහස වැලකීමට පමනක් නොව අනෙකුත් සියලු මර්දනකාරී ක‍්‍රියා සඳහා ව්‍යාජ හේතු වශයෙන් යොදාගෙන ඇත. බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව කල වර්ගවාදී යුද්ධයේදී, රජයේ විරුද්ධවාදීන් “ද්‍රෝහීන්” වශයෙන් නම් කර සිරගතකොට, වධ හින්සාවන්ට හෝ ඝාතනයට ලක් කෙරිනි.

රාජපක්ෂ රජයේ කොටස් කරුවෙකු වී සිටි සිරිසේන එහි මානව අයිතිවාසිකම් උල්ලංඝනය හා යුද අපරාධ වලට වගකිවයුතුය. සිරිසේන විසින් අගමැතිකමට පත්කල රනිල් වික‍්‍රමසිංහ, වර්ගවාදී යුද්ධය ආරම්භකල, මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳ එයටම උරුම වූ දීර්ග වාර්තාවක් සහිත, එක්සත් ජාතික පක්ෂයේ (UNP) නායකයාය.

අනෙකුත් රාජ්‍යයන් සමග ඇති සම්බන්ධතා, ගිවිසුම් හා ඒහා බැඳුනු වගකීම් පිලිබඳ කරුනු හෙලිකිරීම වාරනය කිරීමට රජය ගෙන ඇති තීරනය අවධානයට ලක්විය යුතුය. ජාතික රාජ්‍ය අතර රහස්‍ය රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතා පැවතීම අසාමාන්‍ය නොවුවත්, වර්තමානයේ ශ‍්‍රී ලංකාව තුල එය ඉතාම සංවේදී කරුනකි.

බලය ලබාගැනීමේ සිට, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව රටේ විදේශ ප‍්‍රතිපත්තිය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කඳවුර තුලට මාරුකල අතර එක්සත් ජනපදය පමනක් නොව ඉන්දියාව සමග ද මිලිටරි සම්බන්ධතා ශක්තිමත් කරගෙන ඇත.

පසුගිය වසර තුල ඉහල පෙලේ ඇමරිකානු නිලධාරින් වැලක් සම්බන්ධතා තරකර ගැනීම සඳහා ලංකාවට පැමිනියේය. පෙබරවාරි මාසයේදී, “ආරක්ෂක සහයෝගීතාව, ජාත්‍යන්තර හා කලාපීය කරුනු ඇතුලු කරුනු ගනනාවක් සාකච්ඡාවට ලක් වූ, ප‍්‍රථම ශ‍්‍රී ලංකා-ඇමෙරිකා “සහයෝගීතා සංවාදයේදී” වොෂින්ටනයේදී පැවැත්විනි.

ශ‍්‍රී ලංකාව එක්සත් ජනපදයේ චීනයට එරෙහි යුද සැලසුම් වලට කොතරම් සමීපව ඇදෙමින් තිබෙනවාද යන්න හෙලිකිරීමට කොලඹ පාලනයට කිසිසේත්ම අවශ්‍ය නැත. වොෂින්ටනය මගින් තීව‍්‍ර කරමින් ඇති මිලිටරි ප‍්‍රකෝපකරනයන් හෝ අධිරාජ්‍යවාදී යුද්ධයට හා අධිරාජ්‍ය වාදයට එරෙහිව සටන් කිරීමේ දීර්ග සම්ප‍්‍රදායක් ඇති ශ‍්‍රී ලංකාවේ කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් එල්ල විය හැකි විරෝධතා වලට බියෙන් කරන සුදානම් වීම් ගැන කිසිදු ප‍්‍රසිද්ධ සාකච්ඡාවකට ඉඩ නොතැබීමට දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයන් පියවර ගෙන ඇත.

“තොරතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීමට” අදාල වන කරුනු අතර: විදේශ විනිමය අනුපාත හෝ විදේශ විනිමය ගනුදෙනු පාලනය සම්බන්ධ ආර්ථික හෝ මුල්‍යමය ප‍්‍රතිපත්ති වෙනස් කිරීම හෝ පවත්වාගෙන යාම්, බැංකු හෝ නය රෙගුලාසි, බදු, භාන්ඩ හා සේවා වල මිල, කුලී හෝ වේතන අනුපාත, වැටුප් සහ අනෙකුත් ආදායම් ස්ථාවර කරනය, පාලනය හෝ ගැලපුම්; සහ විදේශ වෙලඳ ගිවිසුම් වලට අදාල තීරන ගැන නුසුදුසු අවස්ථාවන්හීදී කරුනු හෙලි කිරීම මගින් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට අගතියක් වන, අවස්ථාද ඇතුලත්ය.

වෙනත් වචන වලින් කිවහොත්, රජය ආර්ථික කටයුතු සම්බන්ධ සියලුම තොරතුරු වාරනය කිරීමට මාන බලයි. වානිජ විශ්වසනීය භාවය, වෙලඳ රහස්, වෘත්තිකයන් හා රාජ්‍ය ආයතන අතර කෙරෙන සන්නිවේදන, රහස්‍ය භාරකාරත්ව සම්බන්ධතා හා විදේශ වෙලඳ ගිවිසුම් යන මේ සියල්ල සම්බන්ධව, සාකච්ඡා මට්ටමේ ඇති කරුනු ද ඇතුලුව, තොරතුරු දැනගැනීම සඳහා ඇති අයිතිය ප‍්‍රතික්ෂේප කර ඇත.

මෙම කරුනු දේශපාලන වශයෙන් ඉතා සංවේදීය. ශ‍්‍රී ලංකාව ලෝක ආර්ථික අවපාතයෙන් බැටකෑ අතර, රජය බරපතල ගෙවුම්ශේෂ අර්බුදයකට මුහුන පා සිටී. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝජිත කන්ඩායමක් කොලඹට පැමින සිටින අතර අපේ‍්‍රල් 2 සෙනසුරාදා ඔවුන් ආර්ථික ප‍්‍රතිව්‍යුහකරන කොන්දේසි ගැන සාකච්ඡාවක් පවත්වනු ඇත.

ග‍්‍රීසියේදී මෙන්, ජාමුඅ විසින් බදු වැඩි කිරීම, තවදුරටත් සුබ සාදන හා සහනාධාර කැපීම හා රාජ්‍ය දේපල පුද්ගලීකරනය කිරීම ඇතුලු දැඩි කප්පාදු පියවරයන් වල තවත් වටයක් නිර්දේශ කරනු ඇත.

මෙම නීතිමය ප‍්‍රතිපාදනය යටතේ, රජය විසින් යම් තොරතුරක් මුදාහැරිය යුතුයි තීරනය කිරීමට “තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ කොමිසමක්” පිහිටවනු ඇති අතර, විවිධ රාජ්‍ය ආයතන තුල තොරතුරු ලබාදීම හෝ ප‍්‍රතික්ෂේප කිරීම් සඳහා තොරතුරු නිලධාරීන්ද පත් කෙරෙනු ඇත.

මෙම කොමිසමට පුලුල් නෛතික බලතල ඇති අතර එමගින් කරන විභාගයන් “නඩු විභාගයක් ලෙස සලකනු ලැබේ”. එය අල්ලස් පනත යටතේ පිහිටුවා ඇති අල්ලස් කොමිසමට සමාන වන අතර, පුද්ගලයන්ට එය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කිරීමට බලය ඇත.

යම් රාජ්‍ය ආයතනයක් හෝ මෙම කොමිසම මගින් ලබාදීමට ප‍්‍රතික්ෂේප කල තොරතුරක් යම්කිසි දේශපාලන විරුද්ධවාදියෙක් හෝ මාධ්‍ය මගින් අනාවරනය කලහොත් එයට විරුද්ධව ගතහැකි නීතිමය ක‍්‍රියාමාර්ග මොනවාදැයි කෙටුම්පත මගින් නියම කර නැත. නමුත්, කොමිසමේ නියමයන් කැඩීම් දඬුවම් ලැබිය හැකි වරදක් බව එමගින් ඉඟිකර ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිය, යනු ශ‍්‍රී ලංකාවේ පමනක් නොව ජාත්‍යන්තරව සෑම රටකම පාලක පන්තියට වහකදුරු වන් දෙයකි. වැඩී එන ආර්ථික හා සමාජීය අර්බුදය හමුවේ, ආන්ඩු විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් යටපත් කර පොලිස් රාජ්‍ය පියවරයන් ගනිමින් සිටිති.

ශ‍්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනත් කෙටුම්පත පවතින සම්මතයෙන් බැහැර වීමක් නොවේ. එහි හමගිය ප‍්‍රජාතන්ත‍්‍රීය මතුපිටට පිටුපසින්, වික‍්‍රමසිංහ-සිරිසේන රජය විසින් දශක ගනනාවක වර්ගවාදී යුද්ධය තුලදී ගොඩනගාගත් ආරක්ෂක යාන්ත‍්‍රනය එලෙසම පවත්වාගෙන යන අතර, එය වැඩකරන ජනතාවගෙන් යුද්ධයට හා කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව නැගෙන විරෝධය මැඩීමට, නොපසුබටව යොදාගනු ඇත.

Share this article: