ඉන්දියානු ආන්ඩුවේ ජේඑන්යූ ශිෂ්‍ය දඩයමට විරුද්ධ වනු!

Oppose Indian government’s witch-hunt of JNU students

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (ශ‍්‍රී ලංකා) විසිනි , 2016 අපේ‍්‍රල් 7

“ජාතික-විරෝධී” සටන් පාඨ හඬ නැගු බවට චෝදනා කරමින්, දිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ (ජේඑන්යූ) ශිෂ්‍යයන්ට එරෙහිව ඉන්දියාවේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව මුදාහැර ඇති දඩයමට විරුද්ධ වන ලෙස, සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), ඉන්දියාවේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර තරුනයන්ගෙන් සහ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

ජේඑන්යූ ව ට එරෙහි රාජ්‍ය මර්දනයේ අරමුන වන්නේ, මහජන විරෝධතාවන් අපරාධ ගනයට ලා ඒවා නීති විරෝධී බවට පත් කිරීමයි. මේ වනාහි, සිය ආයෝජක-ගැති “ප‍්‍රතිසංස්කරන” වලට සහ චීනයට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද සුදානම පිටුපස පෙල ගැසීමට එරෙහිව කම්කරුවන්, ගම්බද දුගීන් හා ශිෂ්‍යන්ගෙන් මතුවන විරෝධයට, රාජ්‍ය ප‍්‍රචන්ඩත්වයෙන් හා වාර්ගික ප‍්‍රතිගාමිත්වයෙන් පිලිතුරු දීමට ආන්ඩුව පැත්තෙන් කෙරෙන සුදානම්වීම් වල කොටසකි.

ඉන්දියානු අධිකරනය විසින් අෆ්සාල් ගුරු මරන දන්ඩනයට පත්කර වසර තුනක් පිරීම නිමිත්තෙන් පෙබරවාරි 9 වෙනි දා පැවති විරෝධතා ව්‍යාපාරයේ දී ඉටුකල භූමිකාව හේතුවෙන්, ජේඑන්යූ ශිෂ්‍ය සභාපති කන්නයියා කුමාර් සහ තවත් ශිෂ්‍යයන් දෙදෙනෙකු වන උමාර් ඛාලිඩ් හා අනිර්බාන් භට්ටාචාර්ය ට එරෙහිව රාජද්‍රෝහී චෝදනා එල්ල කෙරී ඇත. එහි තේරුම වන්නේ, ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමේ හැකියාව ඇති බවයි. 2001 දෙසැම්බර් මාසයේ ඉන්දියානු පාර්ලිමේන්තුවට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් කාශ්මීර් මුස්ලිම් ජාතිකයෙකු වූ ගුරු ට විරුද්ධ ව ඉන්දියානු බලධාරීහු බොරු චෝදනා ගොතනු ලැබූ හ.

ජේඑන්යූ පරිපාලනය විසින්, ආන්ඩුවේ විධානයන් මත, කුමාර්, ඛාලිඩ්, භට්ටාචාර්ය සහ තවත් සිසුන් 18 දෙනෙකු ට එරෙහිව, විශ්වවිද්‍යාලයෙන් නෙරපීමේ ශක්‍යතාවය ද සහිත දැඩි විනය පියවර සඳහා අර අදිමින් සිටී.

ජේඑන්යූ සිසුන් ට එරෙහි ප‍්‍රහාරයට නායකත්වය දෙනු ලබන්නේ බීජේපී ආන්ඩුවේ ඉහල ම මට්ටමේ බලධාරීන් විසිනි. බීජේපී යේ සමීපතම සහකරුවෙකු වන ෆැසිස්ට් වාදී ආර්එස්එස් සංවිධානයේ තරුන අංශය වන අඛිල් භාරතීය විද්‍යාර්ති පරිශාද් (ඒබිවීපි) වෙතින් “පැමිනිලි” ලැබීමෙන් පසු ජේඑන්යූ කාර්යාලය පරීක්ෂා කිරීමට හා කුමාර් අත්අඩංගුවට ගැනීමට ස්වදේශීය ඇමති රාජ්නාත් සිංග් දිල්ලි පොලීසියට උපදෙස් දුන්නේ ය. ඉන්දියාවේ විශ්වවිද්‍යාල සම්බන්ධව ඍජු ව වගකිව යුතු මානව සම්පත් සංවර්ධන ඇමතිනි ස්මිරිති ඉරානී, බීජේපී උප සභාපති බල්බීර් පුන්ජ් විසින් සංස්කරනය කරන ලද Communists and Jihadists at Work in JNU(කොමියුනිස්ට්වාදීන් සහ ජිහාඩ්වාදීන් ජේඑන්යූ ව තුල වැඩ) නමැති පොත්පිංච ප‍්‍රවර්ධනය කරන අතර ම, “ජාතික-විරෝධී” කන්ඩායම් සුනු විසුනු කරන ලෙස විශ්වවිද්‍යාල පරිපාලනයන්ගෙන් ඉල්ලා ඇත.

හයිද්‍රාබාද් විශ්වවිද්‍යාලයේ පීඑච්ඩී සිසුවෙකු වූ රෝහිත් වෙමුලා විසින්, උත්තර ප‍්‍රදේශයේ මුස්ලිම් ජනයා ට එරෙහිව වාර්ගික ප‍්‍රචන්ඩත්වය ඇවිස්සීමේ බීජේපී භූමිකාව එලිදරව් කල වාර්තාමය සිනමා පටයක් ප‍්‍රදර්ශනය කරනු ලැබීමෙන් පසුව, ඔහුගේ ශිෂ්‍යභාවය අහෝසි කරන ලෙස එම විශ්වවිද්‍යාලය ට ඉරානී බල පෑම් කලා ය. ආන්ඩුවේ පිටුබලය ලත් දඩයම වෙමුලා අසරනභාවයට පත් කොට ජනවාරියේ දී සියදිවි නසා ගැනීමට ඔහු ව ඍජු ව ම පෙලඹුවේ ය.

ජේඑන්යූ සිද්ධි උපුටා දක්වමින් “දේශපේ‍්‍රමය” ඉගැන්වීම සඳහා හමුදාවෙන් “උපදේශකයන්” කැඳවන ලෙස ඉරානී දැන් ඉන්දියාවේ ජාතික විශ්වවිද්‍යාල වලින් ඉල්ලා සිටින්නී ය.

ජේඑන්යූ සිසුන් ට එරෙහි ආන්ඩුවේ නඩුව වනාහි, ඉතා පැහැදිලිව, දේශපාලනිකව අභිපේ‍්‍රරිත බොරු නඩුවකි. පෙබරවාරි 9 විරෝධතා උද්ඝෝෂනයේ දී සිසුන් “පාකිස්ථානයට හිතැති” සටන් පාඨ හඬ නැගූ

බව විදහා දක්වන සහ මාධ්‍ය සංගත මගින් පුලුල් ව විසුරුවා හරිනු ලබන වීඩියෝ පට ව්‍යාජ ලෙස වෙනස් කල ඒවා බව පෙනෙන්නට තිබේ.

අති මූලිකව, රාජ්‍යය විසින් නීති විරෝධී කෙරී ඇති “ජාතික-විරෝධී” කතාව පිලිබඳ සංකල්පය වඩාත් මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම උල්ලංඝනය කරන අතර එයට දැඩි ලෙස විරුද්ධ විය යුතු ය.

හින්දු වාර්ගිකවාදය සමග මුසු කෙරුනු ඉන්දියානු ජාතිකවාදී ආක‍්‍රමනශීලීත්වයක් ප‍්‍රවර්ධනය කිරීම සඳහා බීජේපීය කරගෙන යන වැඩකටයුතු සමග මෙය ඉතා හොඳින් ගැලපෙයි. මුස්ලිම් සහ සෙසු සුලුතරයන් ට එරෙහි ප‍්‍රචන්ඩත්වයන්ට සමාව දීම හෝ නොතකා හැරීම සිදු කරන අතරේ, Hindutva (හින්දු ජාතිකවාදී) දෘෂ්ටිවාදීන් රටේ අධ්‍යාපනික, සංස්කෘතික සහ විද්‍යාත්මක සංවිධානයන්හි මුල්පුටු වලට ගෙනඒම සඳහා ඔවුන්ගේ මාස 23 පාලන කාලය තුල නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ බීජේපී ආන්ඩුව ක‍්‍රමානුකූලව මැදිහත් වී ඇත.

රාජ්‍ය මර්දනය සහ වාර්ගික ප‍්‍රතික‍්‍රියාව

මෝදි ආන්ඩුවේ ජේඑන්යූ ශිෂ්‍ය දඩයම වනාහි, ආඥාදායක පාලන විධික‍්‍රම වලට හැරීමේ හා කම්කරු පන්තිය සහ ගම්බද දුගීන් මූලික ඉලක්කය බවට පත් කර ගත් සමාජ ප‍්‍රතිගාමීත්වයක් ඇවිලවීමේ වැඩකටයුතුවල කොටසකි.

ගෝලීය ධනේශ්වර අර්බුදයෙන් බැට කන ඉන්දියානු ධනේශ්වරය, තමා විසින්ම “ශක්තිමත් හින්දු නායකයා” ලෙස ප‍්‍රකාශයට පත්කරගත් මෝදි සහ ඔහු ගේ බීජේපී ය බලයට ගෙන එනු ලැබුවේ, ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය වඩවඩාත් ආකර්ෂනය කර ගැනීම අරමුනුකර ගත්, සමාජ දහනශීලී නව ලිබරල් ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාවට දැමීම පිනිස ය. මෝදි, කලින් පැවති කොංග‍්‍රස් ආන්ඩුවේ පිලිවෙත් පෙරට ගෙන යමින්, සමාජ වියදම් හා මිල සහන කප්පාදු කොට, පුද්ගලීකරනය වේගවත් කර ඇත. නමුත් මේ මගින් සිදුවී ඇත්තේ, දොට්ට දැමීම් වලට සහ කම්හල් වසා දැමීමට බාධාවන කම්කරු නීති අහෝසි කිරීම, ලාභ කෘෂිකාර්මික ඉඩම්වලට කර්මාන්තකරුවන්ට සහ දේපොල සමාගම් වලට පහසුවෙන් ප‍්‍රවේශවීමට ඉඩ සැලසීම සහ පීඩාකාරී භාන්ඩ සහ සේවා බද්ධ (ජීඑස්ටී) හරහා වැඩකරන ජනයා මතට බදු බරෙන් දැවැන්ත කොටසක් පැටවීම ඇතුලු වඩාත් ජනතා විරෝධී පියවරයන් සඳහා මහ ව්‍යාපාරිකයන් ගේ අභිලාශය තව තවත් ඇවිස්සීම පමනි.

මෙම පියවරයන් ක‍්‍රියාවට දැමීමට මහ ව්‍යාපාරිකයන් සමග කුමන්ත‍්‍රනය කරන අතර ම මෝදි ආන්ඩුව, මහජනතාවට හොරෙන්, චීනයට එරෙහි වොෂින්ටනයේ මූලෝපායාත්මක ප‍්‍රහාරයේ සහ යුද සුදානමේ “පෙරමුනු” සහකරුවෙක් බවට ඉන්දියාව පරිවර්තනය කරමින් සිටී. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප‍්‍රාදේශීය ආන්ඩුකාරයන් ලෙස ක‍්‍රියා කිරීම මගින් ඉන්දියානු ධනේශ්වරය එහි කොල්ලකාරී අභිලාෂයන්, මූලිකව ම දකුනු ආසියානු කලාපය තුල තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමට බලාපොරොත්තු වෙයි.

මෙම අති-ප‍්‍රතිගාමී න්‍යාය පත‍්‍රය සාමකාමීව ක‍්‍රියාවට දැමීමට හැකියාවක් නැත. “ඉහල වර්ධනය” පිලිබඳ ඉන්දියානු ප‍්‍රභූවේ පූච්චානමට යතාර්ථය සැඟවිය නොහැක. ඉන්දියාව වෙන කවරදාටත් වඩා අද සමාජමය වසයෙන් අසමාන වේ. පසුගිය සියවස් කාර්තුව තුල ධනවාදී ප‍්‍රසාරනයේ ලාභ අතලොස්සක් දෙනා විසින් ගිල දමා ඇති අතර සුවිශාල බහුතරයක් දරිද්‍රතාවයට, කුසගින්නට හා ආර්ථික අනාරක්ෂිතභාවයට ඇද දමා ඇත.

තම විරුද්ධවාදීන් “ජාතික-විරෝධීන් ලෙස ලේබල් ගැසීම මගින් ඔවුන්ගේ රාජ්‍ය මර්දනය යුක්තිසහගත කිරීමට බීජේපී ආන්ඩුව උත්සාහ කරයි. හින්දු වර්ගවාදය ඇවිස්සීම මගින් ප‍්‍රතිගාමිත්වය උසිගැන්වීමට සහ කම්කරු පන්තිය බෙදීමට එය තැත් කරයි.

ගෝලීයව, ධනවාදී බිඳවැටීමේ කොන්දේසි යටතේ ලෝකය පුරාම පාලක පන්තීහු සමාන විධික‍්‍රමයන් යොදා ගනිමින් සිටිති. මර්දනකාරී රාජ්‍ය උපකරනයන් හි දැවැන්ත ප‍්‍රසාරනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන රුදුරු ප‍්‍රහාරයන් සාධාරනීකරනය සඳහා සෑම තැනකදී ම ව්‍යාජ “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” යොදා ගනු ලබයි. මේ අතර, ලොවපුරා ධනේශ්වර ප‍්‍රභූව, ප‍්‍රකෝපකාරී ජාතිකවාදය ප‍්‍රවර්ධනය කරන මෝදි සහ ජපානයේ අගමැති අබේ වැනි දේශපාලනඥයන් ට සහ පක්ෂ වලට තම අනුග‍්‍රහය දක්වයි. එමෙන්ම, මොවුන් එක්සත් ජනපද ජනාධිපතිවරන නාම යෝජනා සඳහා තරඟ වදින රිපබ්ලිකන් පක්ෂයේ වර්තමාන ඉදිරිපෙල තරඟකරු වන ඩොනල්ඩ් ට‍්‍රම්ප් වැන්නන් තුලින් කැපී පෙනෙන අයුරින් ප‍්‍රකාශිත ආකාරයට, සරනාගතයින්ට, සංක‍්‍රමනිකයන්ට සහ සුලු ජනවාර්ගිකයන්ට දරුනු ලෙස පහර දෙයි.

ස්ටැලින්වාදී සීපීඅයි, සීපීඑම් සහ කම්කරු පන්තිය දේශපාලනිකව මර්දනය කිරීම

සමාජ දරිද්‍රතාවය, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාර, ගෝලීය ආධිපත්‍යය සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ලේවැකි හා නොහික්මුනු ධාවනය සම්බන්ධයෙන් ඉන්දියානු ප‍්‍රභූවේ සහයෝගිත්වය හා වාර්ගික ප‍්‍රතිගාමිත්වයේ වර්ධනය යන මේ සියල්ල ඉස්මතු කරන්නේ, ඉන්දියානු කම්කරු පන්තිය විසින්, ධනවාදයේ අසාර්ථකත්වයට සහ සමස්ත ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයට එරෙහිව සමාජවාදී විසඳුමක් අප‍්‍රමාදව ඉදිරිපත් කර ගැනීමේ අවශ්‍යතාවය යි.

එහෙත්, ඉන්දියානු මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (සිපීඑම්) සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) යන ස්ටැන්වාදී පක්ෂවල ප‍්‍රතිචාරය හුදෙක් එහි ප‍්‍රතිවිරුද්ධය වේ.

කම්කරු පන්තිය ඉන්දියානු දේශපාලන සංස්ථාපිතයට ගැට ගැසීමේ ප‍්‍රයත්නය ඔවුන් විසින් දෙගුන කර ඇත.

ජේඑන්යූ ශිෂ්‍ය සංගමයේ සභාපති කන්නයියා කුමාර්, සීපීඅයි ශිෂ්‍ය සංවිධානය වන සමස්ත ඉන්දියානු ශිෂ්‍ය සම්මේලනයේ (ඒඅයිඑස්එෆ්) නායකයෙකි. කුමාර්, සීපීඅයි නායකත්වයේ උපදෙස් මත අධිකරනය සහ හමුදාව ඇතුලුව ඉන්දියානු රාජ්‍ය ආයතන කෙරෙහි ඔහු ගේ විශ්වාසය නිරන්තරව ප‍්‍රකාශ කොට ඇති අතර “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” සහ “අනාගමිකවාදය” ආරක්ෂා කිරීම පිනිස ඉන්දියානු ධනේශ්වරයේ සම්ප‍්‍රදායික පක්ෂය වන කොංග‍්‍රස් පක්ෂය සමග සන්ධාන ගතවීමට පක්ෂව කතාකර තිබේ.

ඇත්ත වසයෙන් ම, හින්දු දක්ෂිනාංශය සමග රහසිගතව කුමන්ත‍්‍රනයේ යෙදීම සම්බන්ධ ව දසක ගනනාවක වාර්තාවක් තිබෙන කොන්ග‍්‍රසය ට කම්කරු පන්තියේ අරගල රුදුරු ලෙස මර්දනය කිරීම ගැන කීමට කිසිවක් නැත. සත්තකින් ම, එය ජේඑන්යූ සිසුන්ට එරෙහි දඩයමට විරුද්ධත්වය ප‍්‍රකාශ කල නමුත්, “ඉන්දියානු මාතාවට ජයග‍්‍රහනය” යන සටන් පාඨය හඬ නැගීම ප‍්‍රතික්ෂේප කල මහරාස්ට‍්‍ර රාජ්‍ය සභාවේ මුස්ලිම් මන්ත‍්‍රීවරයෙකු ගේ මන්තී‍්‍ර ධුරය තහනම් කරන ලෙස කොන්ග‍්‍රසය බල කර සිටියේ ය.

බීජේපී ය සහ ඇතැම් විට එහි මිත‍්‍ර පක්ෂය වන ති‍්‍රනමුල් කොන්ග‍්‍රසය පරාජය කිරීමේ අවශ්‍යතාවය හුවා දක්වමින්, සීපීඑම් විසින් නායකත්වය දෙනු ලබන වාම පෙරමුන බටහිර බෙංගාලයේ ප‍්‍රාන්ත මැතිවරනය කොන්ග‍්‍රසය සමග එකාබද්ධ ව තරඟ කරන අතර මැතිවරනයෙන් පසු එය සමග සභාග ආන්ඩුවක් ගොඩ නැගීමට අපේක්ෂා කරයි.

හින්දු අධිපතිවාදී බීජේපී ය බලයට පත්වීම වැලැක්වීමේ එකම මාවත එය බව කියාපාමින්, දක්ෂිනාංශික මධ්‍යම ආන්ඩු පෙලකට සහයෝගය දීම ස්ටැලින්වාදීන් පසුගිය විසිපස් වසර තුල සාධාරනීකරනය කර ඇත. මෙම ආන්ඩු අතරින් බොහොමයක් කොන්ග‍්‍රසය විසින් නායකත්වය දුන් ඒවාය. නව ලිබරල් ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාවට දැමූ සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග මූලෝපායාත්මක හවුලක් පවත්වාගෙන ගිය ආන්ඩුවලට කම්කරු පන්තිය ගැට ගසමින්, දේශපාලනිකව කම්කරු පන්තියේ ගෙල සිර කිරීම සඳහා වන ස්ටැලින්වාදීන්ගේ නිර්දය ධාවනයේ ප‍්‍රතිඵලයක් ලෙස අද, ප‍්‍රථම වතාවට බීජේපීයට පාර්ලිමේන්තු බහුතරයක් හිමි වී තිබේ.

ජේඑන්යූ ව මර්දනය කිරීමට සහ බීජේපී ය විසින් ඔවුන් ගේ විරුද්ධවාදීන් “ජාතික-විරෝධීන්” ලෙස ලේබල් ගැසීම කෙරෙහි ස්ටැලින්වාදීන් ගේ ප‍්‍රතිචාරයේ දෙවන සහ වඩාත් වැදගත් කාරනාව වන්නේ; ඔවුන් විසින් හඳුන්වනු ලබන සැබෑ “ප‍්‍රගතිශීලී” ඉන්දියානු ජාතිකවාදී සම්ප‍්‍රදාය ඉහලින් ම ආරක්ෂා කරන්නවුන් ලෙස තමන් ව ප‍්‍රවර්ධනය කර ගැනීම සඳහා සීපීඅයි සහ සීපීඑම් පක්ෂ දෙක මහහඬින් කරන උද්ඝෝෂනය යි.

යථාර්තයේ දී, ඉන්දියානු ජාතිකවාදය සැමවිට ම එහි පාලනයේ සැබෑ ස්වරූපය වසන් කිරීමේ සහ සිය ආත්මාර්ථකාමී පන්ති අරමුනු වලට මහ ජනතාව ගැට ගැසීමේ ඉන්දියානු ධනේශ්වරයේ දෘෂ්ටිවාදාත්මක උපකරනයක් වී ඇතුවාක් මෙන් ම දැනුදු එසේ වන්නේ ය.

බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනය ට එරෙහි අරගලය ඔවුන්ගේ පාලනයෙන් පිට පනිනු ඇතැයි භීතියට පත් එම්.කේ. ගාන්ධි සහ ජවහර්ලාල් නේරු විසින් නායකත්වය දුන් කොංග‍්‍රසයේ “ප‍්‍රගතිශීලි ජාතිකවාදීහු” විසිවන සියවසේ ප‍්‍රථම භාගයේ උපමහාද්වීපය තුල පැන නැගුනු අධිරාජ්‍ය විරෝධී කැරැල්ල මර්දනය කලහ. තමන් ට උරුම ව තිබු යටත් විජිත රාජ්‍ය පාලන උපකරන යටතේ 1947-48 බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමග ගිවිසුමක ට එලැඹි ඔවුහු, මුස්ලිම් පාකිස්ථානය සහ හින්දු ඉන්දියාව ලෙස දකුනු ආසියාව වාර්ගික ව බෙදා වෙන් කලහ. මෙම බෙදා වෙන් කිරීමේ දී සිදු වූ ජනසංහාරයෙන් මිලියනයක් මරනයට පත් වී මිලියන දහයක් සරනාගතයන් බවට පත් වුවා පමනක් නො වේ; එය ඉන්දියාව සහ පාකිස්තානය අතර ප‍්‍රතිගාමී අන්තර්-රාජ්‍ය ගැටුම් නිර්මානය කල අතර ඉන්දියාව තුල දී වර්ගවාදය ධනේශ්වර පාලනයේ අත්‍යවශ්‍ය ආධාරකයක් බවට පරිවර්තනය කෙරින.

ලියොන් ට්‍රොට්ස්කි සහ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක‍්‍රියාමාර්ගය

ස්ටැලින්වාදී පක්ෂ ඉන්දියාව තුල සහ ලොව පුරා සිදුකල විනාශකාරී භූමිකාව පිලිබඳව ඉන්දියානු කම්කරුවන් සහ තරුනයන් විසින් ශේෂ පත‍්‍රයක් සකසා ගත යුතු සුදුසු ම කාලය දැන් එලැඹ ඇත.

සීපීඑම් සහ සීපීඅයි ප‍්‍රතිගාමී දේශපාලනය කඨෝර ලෙස ගලා එන්නේ; 1920 ගනන් වල දී රුසියානු කම්කරු පන්තියෙන් බලය කොල්ල කා ගත් වරප‍්‍රසාදිත නිලධරය කෙරෙහි ඔවුන් ගේ සහයෝගය, ලෝක සමාජවාදී විප්ලවයේ ක‍්‍රියාමාර්ගය ප‍්‍රතික්ෂේප කිරීම සහ “තනි රටේ සමාජවාදයේ” ධජය යටතේ ලෝක අධිරාජ්‍යවාදයට අනුගත වීමේ ඔවුන් ගේ පොදු ස්ටැලින්වාදී මූලයන්ගෙනි. මෙම පිලිවෙත් මත පදනම් වූ ස්ටැලින්වාදීහු, ඉන්දියාවේ සහ ධනේශ්වර වර්ධනය ප‍්‍රමාද වූ සෙසු රටවල ඓතිහාසික න්‍යාය පත‍්‍රයේ සමාජවාදය නොතිබූ බවත්, අධිරාජ්‍යවාදයට සහ “වැඩවසම්වාදී ප‍්‍රතිගාමිත්වයට" විරුද්ධවීමේ දී ජාතික ධනේශ්වරයේ “ප‍්‍රගතිශීලී” කොටසට සහයෝගය දීම හැර කම්කරු පන්තියට කල හැකි වෙනත් යමක් නොමැති බවත් කියාපාමින් “අවධි දෙකේ විප්ලව න්‍යාය” දේශනා කලහ.

බටහිර බෙංගාලයේ සහ කේරලයේ ධනවාදී රාජ්‍ය උපකරන දිගු කලක් පරිපාලනය කිරීම ඇතුලු ව දසක ගනනාවක් ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ ආබද්ධ කොටසක් ලෙස මෙම නිවුන් ස්ටැලින්වාදී පක්ෂ ක‍්‍රියාත්මක වී තිබේ. 1991 දී, ගොර්බචෝව් යටතේ, නිලධාරි තන්ත‍්‍රය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීම සහ ඉන්දියානු ධනේශ්වරය විසින් රාජ්‍ය-පාලිත සංවර්ධනය අත හැර දැමීම සමග සීපීඅයි සහ සීපීඑම් තව තවත් දකුනට ලුහුටා ගියහ. “වම” ආන්ඩු තැනූ කවර තැනෙක වුවද, ආයෝජක-හිතැති පිලිවෙත් ලෙස ඔවුන් විසින්ම හඳුන්වනු ලබන පිලිවෙත් අනුයමින් ලෝක ධනවාදය සඳහා ලාබ ශ‍්‍රමය නිශ්පාදනය කිරීමේ ස්වර්ග රාජ්‍යයක් බවට ඉන්දියාව පරිවර්තනය කිරීමේ පාලක පන්තියේ ධාවනයට ඔවුහු මුලුමනින් ම සහයෝගය දී ඇත.

1917 රුසියානු විප්ලවයේ දී ලෙනින්ගේ සම නායකයා වූ ලියොන් ට්‍රොට්ස්කි ජාත්‍යන්තර සමාජවාදයේ ක‍්‍රියාමාර්ගය මත පාදක වෙමින් ස්ටැලින්වාදී නිලධරය ට එරහිව දෘඩතර අරගලයක යෙදුනි. ඉන්දියාවේ තරුනයන් සහ කම්කරුවන් දැන් හැරිය යුත්තේ, අද දින හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) තුල සහ එහි අන්තර් ජාල ප‍්‍රකාශනය වන ලෝක සමාජවාදී චෙබ් අඩවිය තුල අන්තර්ගත කරගෙන තිබෙන මෙම ක‍්‍රියාමාර්ගය වෙතය.

බීජේපී යේ කම්කරු විරෝධී සහ වර්ගවාදී න්‍යාය පත‍්‍රය පරාජය කල හැක්කේ, දකුනු ආසියාවේ එක්සත් සමාජවාදී සමුහාන්ඩුවක් සඳහා අරගලයේ කොටසක් ලෙස, ඉන්දියාව තුල කම්කරුවන් ගේ සහ ගොවියන් ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා, සමාජවාදී ක‍්‍රියා මාර්ගයක් මත පාදක වූ සහ ගම්බද දුගීන් ගේ සහය ලත් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමක් මගින් පමනි.

චීනයට එරෙහිව එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද ධාවනය සමග ඉන්දියානු ධනේශ්වරයේ පෙල ගැසීම ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමේ හදිසිභාවය දැඩි ලෙස ඉස්මතු කොට ඇත.

වත්මන් ඉන්දියාවේ කම්කරු පන්තිය, ශිෂ්‍යයන් සහ සෙසු තරුනයන් මුහුන දෙන කර්තව්‍යයන් මේවාය.

සසජාතශි සෑම රටක ම විප්ලවවාදී මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී පක්ෂ ගොඩ නැගීමට සටන් කරන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ තරුන සංවිධානයයි. ඉන්දියානු කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමේ අරගලයට ඒකාබද්ධ වීමට සුදානම් සියලු දෙනාට ම ජාත්‍යන්තර කමිටුවේ ශ‍්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ශ‍්‍රී ලංකාවේ සසජාතශි සිය නොමසුරු සහයෝගය දීමට උනන්දු සහගතව සිටී.

එහි ප‍්‍රථම පියවර ලෙස මැයි 1 වෙනිදා, ඉරුදින පැවැත්වෙන ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර මැයි දින රැලියට එක්වන ලෙස ඉල්ලා සිටිමු.

Share this article: