කටුනායක වෙලඳ කලාපයේ මිනිස් බල කම්කරුවෝ දරුනු රැකියා කොන්දේසිවලට මුහුන දෙති

අපේ වාර්තාකරුවන් විසිනි , 2016 අපේ‍්‍රල් 11

ඊනියා මිනිස්බල සමාගම් විසින් සපයනු ලබන තරුන කම්කරුවන් දසදහස් ගනනක් පුද්ගලික කර්මාන්ත ශාලාවල හා විදුලිබල මන්ඩලය, ටෙලිකොම් හා බැංකු ඇතුලූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන තුල රුදුරු සූරාකෑමකට ගොදුරුව සිටිති. අනියම් හා කොන්ත‍්‍රාත් පදනමේ සේවයට බඳවා ගනු ලබන මෙම කම්කරුවන්ට දුෂ්කර හා අනාරක්ෂිත සේවා කොන්දේසි යටතේ සොච්චම් දෛනික වැටුපකට සේවය කිරීමට සිදුව ඇත. වැටුප් සහිත නිවාඩු, වෛද්‍ය හා ප‍්‍රවාහන පහසුකම් සහ අමතර දීමනා හෝ අර්ථසාධක අරමුදල් වැනි සීමිත සමාජ සුභසාධන පවා මෙම කම්කරුවන්ට අහිමි කර ඇත.

පසුගිය රාජපක්ෂ ආන්ඩුව යටතේ මෙන්ම, වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව යටතේ ද සූරාකෑමේ මෙම ශ‍්‍රම වහල් ක‍්‍රමය තවදුරටත් රට තුල ව්‍යාප්ත වෙමින් පවතී. සන්ඬේ ටයිම්ස් පුවත් පතේ පෙබරවාරි මාසයේ පල වූ වාර්තාවක ට අනුව රජයේ ප‍්‍රධාන බැංකු දෙකක සමස්ත ශ‍්‍රමබලකායෙන් සියයට 17 ත් 23 අතර සංඛ්‍යාවක් මිනිස්බල කම්කරුවන් වන අතර තවත් පුද්ගලික බැංකුවක ශ‍්‍රම බලකායෙන් තුනෙන් එකක් ම මිනිස්බල කම්කරුවෝ වෙති. බැංකුවක ස්ථිර කාර්යාල සහායක රැකියාවක් සඳහා මාසික වැටුප රුපියල් 47,000 ක් ගෙවන නමුත් එම තනතුර සඳහා බඳවා ගන්නා මිනිස්බල කම්කරුවකුගේ වැටුප රුපියල් 12,000 ක් බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

අපොස සාමාන්‍ය පෙල හෝ උසස් පෙල සමත් ඔවුන්ගෙන් බහුතරය, උග‍්‍රවන විරැකියාව හා දරිද්‍රතාවය යටතේ රැකියා සොයා ගමින් නගරයට සංක‍්‍රමනය වුවන් ය.

සතියේ දිනවල උදෑසන හා රාතී‍්‍ර වැඩමුර ආරම්භවීමට පෙර සිය ගනනක් රැකියා විරහිත තරුනයන් හා කම්කරුවන් රැකියාවක් අපේක්ෂාවෙන් කටුනායක නිදහස් වෙලඳ කලාප දොරටුව ඉදිරිපිට රැස්වීම සුපුරුදු දසුනකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් සමග කතා කල කටුනායක මිනිස්බල කම්කරුවෝ තමන් මුහුන දී සිටින දුෂ්කර සේවා කොන්දේසි විස්තර කලහ.

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ විසි දෙහැවිරිදි දනුක සහ කුරුනෑගල දිස්ති‍්‍රක්කයේ දහහත් වියැති විරාජ් ලොසවෙඅ වාර්තාකරුවන් සමග කතාවට මුල පිරුවේ “මෑන්පවර් කොම්පැනි අපව මරාගෙන කනවා” යැයි ප‍්‍රකාශ කරමිනි.

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් කලා අංශයෙන් 34 වැනි තැනට උසස් පෙල සමත්ව ඇති දනුකට විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට සුදුසුකම් තිබුන ද රැකියාවක් සොයාගෙන නගරයට සංක‍්‍රමනය වී ඇත්තේ ආර්ථික දුෂ්කරතා නිසාවෙනි. කැලනිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියක් හදාරන ඔහු සීදුව ග්ලෝබල් පාර්ක් සමාගමේ පරිගනක ආශි‍්‍රත රැකියාවක් කර ඇත.

“මාසයකට මට තිස් පන්දාහක් විතර ගෙව්වා. නමුත් හුඟක් දවස්වලට රෑ වැඩ කරන්න වෙනවා. මට උපාධිය කරන්න සති අන්තවල නිවාඩු ගන්නත් බැරි නිසා මම අයින් වුනා. නිවාඩු ගන්න පුලුවන් ස්ථිර රැකියාවක් ලැබෙනකන් මෑන් පවර් යටතේ රක්ෂාව කරනවා.

“අද අපි බියගම නිවෙකයේ ඞීපීඑල් කියලා අත් ග්ලව්ස් හදන ෆැක්ටරියක රෑ වැඩ කරලයි ආවේ. රුපියල් 1100 ක් දුන්නා නමුත් වැඩ අමාරුයි. රත්වෙලා එන ග්ලව්ස් එක ගලවන්න තියෙන්නේ. ඇගිලි පිච්චෙනවා. අතේ දියපට්ටා ආවා.

“මීට පෙර මාස දෙකක් විතර අමායා කියලා මෑන් පවර් ආයතනයකින් ඒටීජී ගාමන්ට් එකේ වැඩට ගියා ඒකේ දවසට රුපියල් 800 යි ගෙවන්නේ. ඒක මදි නිසා තමයි අලුත් තැනට ගියේ. ඒක ඊටත් නරකයි. සාමාන්‍යයෙන් පැය 12 ක් අපි එක මුරයකට වැඩ කරන්න ඕනා. සුපර්වයිසර්ලා කියන ඕනම වැඩක් අපි කරන්න ඕනෑ.” දනුක පැවසුවේය.

“මම කලින් වැඩ කරපු ග්ලෝබල් පාර්ක් එක මුදල් ඇමති රවී කරුනානායකගේ. ඒකේ රුපියල් 2500 ක් වැඩි කලා බොරුවට රටට පේන්න. නමුත් කලාපේ අනික් ෆැක්ටරිවල ඒකවත් වැඩිකරලා නෑ. මේ ආන්ඩුව බලයට ආවේ මෑන් පවර් ක‍්‍රමය නැති කරනවා කියලා ඒකෙන් වුනේ අපිට ගෙවන වැටුප රුපියල් 200 න් අඩු වුන එක විතරයි. මෑන් පවර් නැති වුනෙත් නැහැ. රැකියා ස්ථිර කිරීමකුත් නැහැ” යැයි ඔහු කීවේය.

විරාජ් සාමාන්‍යපෙල විභාගයෙන් සමත් වුවත් උ.පෙ විභාගයට පෙනී නොසිට වයඹ කාර්මික විද්‍යාලයේ වසරක රථවාහන විදුලි කාර්මික පාඨමාලාවක් අවසන් කර ස්ථීර රැකියාවක් ලැබෙන තුරු මිනිස්බල සමාගම් යටතේ තාවකාලික රැකියාවල නිරතව සිටී.

“කාර්මික විද්‍යාලයට ලමයි 80 සම්මුඛ පරික්ෂනයට ආවා. තෝරගත්තේ 15 යි. පොල්ගහවෙල පිහිටි මයික්රෝ කියලා කම්පැනියක රැකියාවක් ලබා දෙනවා කිව්වා. මම මෙහෙ වැඩට ආවේ අවුරුද්දට සල්ලි කීයක් හරි සොයා ගන්න. මේ ආන්ඩුව රාජපක්ෂ ආන්ඩුවට වඩා අන්තයි.” විරාජ් කීවේය.

සාමාන්‍ය පෙල විභාගයෙන් ගනිතය අසමත්වීම නිසා වැඩිදුර අධ්‍යාපනය අතහැර රැකියාවක් සොයාගෙන පැමිනි බව ශී‍්‍රමතී එන්ටප‍්‍රයිසස් මිනිස්බල ආයතනය හරහා ස්මාර්ට් ෂර්ට් ගාර්මන්ට් හි සේවයට බැඳුන මාතලේ ප‍්‍රදේශයේ තරුනයෙක් පැවසුවේ ය.

“මම හිතුවේ විභාග අසමත් ලමයි තමයි මේ වගේ රැකියාවල් කරන්නේ කියලා. නමුත් ෆැක්ටරියේ ඉන්න හුඟක් ලමයි උසස් පෙලත් සමත් අය.” සුභවාදී අනාගතයක් නොදකින ඔහු “එන විදිහකට මූන දෙන” බව පැවසීය.

කටුනායක කොටුගොඩ පදිංචි තිස් හැවිරිදි අෂාන් අමිල හා කුරුනෑගල පදිංචි විසි හැවිරිදි සම්පත් වසර එකහමාරක් එක්ස්ප්‍රෝලංකා සමාගමේ වැඩ කරති. ඔවුන් එහි සේවයට බැදී ඇත්තේ ‘ලංකා’ හා ‘අයෝනා’ යන මිනිස්බල ආයතන මගිනි.

“අපි උදේ 8 ඉදලා හවස 5 වෙනකන් වැඩ. අඩි 40 දිග කන්ටේනර්වලට කිලෝ 8 ක් බර පෙට්ටි 1500 ක් විතර දවසකට පටවනවා. රුපියල් 800 යි ලැබෙන්නේ. අතිකාල පැයකට රුපියල් 90 යි. සතියේ පඩිය 7500 ක් විතර ලැබෙනවා. අපිව ස්ථිර කරනවා කියලා කිව්වාට කරන්නේ නැහැ. මගේ අම්මා බ්රුන්ඩික්ස් ගාර්මන්ට් එකේ අවුරුදු 30 ක් වැඩ කරලා සෑහෙන අර්ථ සාධකයක් ලැබුනා. නමුත් අපිට එහෙම වරප‍්‍රසාද නෑ. අපි කියන්නේ මෑන් පවර් කම්කරුවන්ව ස්ථිර කරන්න කියලයි. එක මුරයක පඩිය අඩුම තරමින් රුපියල් දාහක්වත් කරන්න කියලයි. දේශපාලනය නම් අපිටි තිත්ත වෙලා තියෙන්නේ” අමිල පැවසුවේය.

අමිලගේ මිතුරා සම්පත් හිටපු යුද සෙබලෙකි. සම්පත් මෙන් බොහෝ ගම්බද තරුනයන් විරැකියාව සහ දරිද්‍රතාවය නිසා හමුදාවට බැඳුනි. ඔවුන්ගෙන් දහස් ගනනක් මිය ගිය අතර තවත් දහස් ගනනක් ආබාධිතයෝ බවට පත් වූහ.

“මම යුද්ධය පැවති කාලේ අවුරුදු 9 ක් හමුදාවේ විශේෂ කාර්ය බලකායේ වැඩ කලා. යුද්දේ ඉවර වුනායින් පස්සේ අපිව පාරවල්වල, වතුවල වැඩට දැම්ම. ඒක නිසා අයින් වුනා. නාවික හමුදාවට බැඳෙන්න බලාපොරොතු වෙනව.” සම්පත් කීවේය.

විසිදෙහැවිරිදි අර්ජුන් යාපනේ පදිංචි දෙමල තරුනයෙකි. කලා අංශයෙන් උසස් පෙල සමත් ඔහුට විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට අවශ්‍ය සුදුසුකම් නැත. අර්ජුන සහ ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු ස්මාර්ට් ගාර්මන්ට් ෆැක්ටරියේ වැඩ කරති.

“යාපනනේ පැත්තේ රැකියා අවස්ථා අඩුයි. මම මැලේෂියා යන්න ඉන්නේ. මගේ යාලුවෝ එහේ වැඩ කරනවා. මාවත් ගන්නවා කිව්වා. ස්මාර්ට් එකේ දවසේ පඩිය රුපියල් 800 යි. මාසයම වැඩ කලොත් තිස්දාහක් විතර ගත්ත හැකියි.” අර්ජුන පැවසුවේය. අවසානයේ දී අර්ජුන සහ ඔහුගේ මිතුරන් පවසුවේ ද අනාගතය ගැන “ලොකු බලාපොරොත්තුවක්” නැති බව ය.

ආරියරත්න (42) තිදරු පියෙකි. ඔහු නිදහස් වෙලඳ කලාපයෙන් (නිවෙක) න් පිටත පුද්ගලික ආයතනයක රැකියාවක් කරයි. එහෙත් මාසිකව ඔහුට ලැබෙන රුපියල් 45,000 වැටුප පවුලේ වියදම පියවා ගැනීමට ප‍්‍රමානවත් නො වන නිසා ඉරිදාදින වලට වෙනත් රැකියාවක් සොයා ගැනීමට ඔහු නිවෙකට එයි.

“වතුකරයේ ගොඩක් පාසල්වල අධ්‍යාපනය හොඳ මට්ටමක නෑ. මගේ ලමයි තුන්දෙනා යන්නේ පුද්ගලික පාසලකට. ලමයින්ගේ අධ්‍යාපන වියදම් විතරක් මාසයකට රුපියල් 15,000 ක් විතර වෙනවා. කෑම බීම, වතුර බිල්, ලයිට් බිල් වියදම එකතු වුනහම මගේ මාසේ පඩිය මදි. ඉරිදා දවස්වලට කීයක් හරි අමතර ආදායමක් හොයා ගන්න එන්නේ ඒ නිසයි. බලයට එන කිසිම ආන්ඩුවක් අපේ ප‍්‍රශ්න විසඳන්නේ නැහැ.” යයි කීවේ ය.

මෙම තරුනයන්ගෙන් ප‍්‍රකාශයට පත්වන ඉහල යන තරුන විරැකියාව ජාත්‍යන්තර ප‍්‍රපංචයකි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෑත වාර්තා වලට අනුව ලෝක පරිමාන විරැකියාව මිලියන 210 ක් වන අතර ඉන් මිලියන 75 ට අධික ප‍්‍රමානයක් තරුන ජනයා වෙති. ලංකාවේ ශ‍්‍රමබලකායයෙන් සියයට 54 ක් අනියම් කම්කරුවන්ය. උසස් පෙල සමතුන් හා උපාධිධාරීන් අතර විරැකියාව සියයට 10 ක් පමන වේ.

ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ වෘත්තීය සමිති හා වත්මන් ආන්ඩුව බලයට ගෙන ඒමට කරබදු වූ තවත් වෘත්තීය සමිති, විදුලිබල මන්ඩලයේ, ටෙලිකොම් හා ජල මන්ඩලයේ මිනිස්බල කම්කරුවන් ස්ථිර කරන්නැයි ඉල්ලමින්, 2015 ජනාධිපතිවරනය ආසන්නයේ සත්‍යග‍්‍රහ හා විරෝධතා පැවැත් වුහ. මිනිස්බල කම්කරුවන්ගේ සේවය ස්ථීර කරන බවට ජනාධිපති මෛත්රීපාල සිරිසේන හා එක්සත් ජාතික පක්ෂය (එජාප) ජනාධිපතිවරනයේ දී සහ මහ මැතිවරනයේ දී පොරොන්දු වුහ. සමිති නායකයෝ සිරිසේනගේ සහ එජාපයේ බොරු පොරොන්දුවලට මිනිස්බල කම්කරුවන් යට කලහ.

නමුත් කිසිදු කම්කරුවෙක් මේ වන තෙක් ස්ථිර කර නැත. කප්පාදු පියවර රැසක් සමග වත්මන් සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුවේ ආර්ථික න්‍යාය පත‍්‍රය වී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිර්දේශිත ආර්ථික කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමීමයි. ඊනියා ප‍්‍රතිව්‍යූහකරන සැලසුම් යටතේ රාජ්‍ය අංශයේ රැකියා කප්පාදු කිරීම සහ රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කිරීමට නියමිතය. එම සැලසුම් පිටුපසින් පවතින්නේ මෑන්පවර් කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරුවන්ගේ සේවා කොන්දේසි සහ වැටුප් මට්ටම් ඉහල දැමීම නොව, මහා ධනපතියන් සඳහා කම්කරුවන් සූරාකෑමේ කොන්දේසි තවදුරටත් තහවුරු කරදීම යි.

Share this article: