සෑන්ඩර්ස්ගේ මැතිවරන උද්ඝෝෂනය තුල සමාජවාදය කොහි ද?

Where’s the socialism in the Sanders campaign?

2016 අප්‍රේල් 16

1984 ජනාධිපතිවරනයේ ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රාථමික වටයේ දී වෝල්ටර් මොන්ඩේල්, සිය ප්‍රධාන ප්‍රතිවාදියා වූ ගැරී හාට්ගේ මූල ද්‍රව්‍ය වලින් තොර පුහු වාචාල කථා පිලිබඳව, එවකට (බර්ගර් නිෂ්පාදකයින් අතර) පැවති ජනප්‍රිය ප්‍රචාරක වැකියක් උපුටා දක්වමින් චෝදනා මුඛයෙන් යලි යලිත් විමසා සිටියේ, “මස් කොහිදැයි” යනුවෙනි. 2016 උද්ඝෝෂනයේ දී වර්මොන්ට් සෙනේට් සභික බර්නි සෑන්ඩර්ස්ගෙන් ද කෙලින්ම එවැනි ප්‍රශ්නයක් ඇසිය හැකි ය: “සමාජවාදය කොහි ද?”

පසුගිය ගිම්හානයේ සෑන්ඩර්ස් එක් වර ම මතුව ආවේ, වෝල් වීදිය ද “මිලියනපතියන් හා බිලියනපතියන්” ද ඇමරිකානු දේශපාලනය මත ආධිපත්‍යය දැරීමට දැඩි විරුද්ධත්වයක් පාමින්, තෙමේම “ප්‍රජාතාන්ත්‍රික සමාජවාදියෙක්” ලෙස පෙනී සිටිමිනි. ශිෂ්‍යයන් හා තරුන කම්කරුවන් අතර සමාජවාදය පිලිබඳ ව වැඩෙන සහයෝගය මත වාරුවී සිටින ඔහු, ඩිමොක්‍රටික් ප්‍රධාන අපේක්ෂිකාව හා හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරමින් ඡන්ද මිලියන 7.5කට වැඩි ගනනක් දිනාගෙන තිබේ.

ධනවාදයේ ආර්ථික දිරාපත්වීම, මූල්‍ය අර්බුද හා නිමක් නැති යුද්ධ හැරෙන්නට අන් යමක් දැක නැති වැඩකරන ජනතාවගේ තරුන පරපුර වෙතින් සහයෝගය දිනාගැනීමට සෑන්ඩර්ස්ට හැකිවීමට තීරනාත්මක වී ඇත්තේ, ඔහු සමාජවාදය සමඟ අනන්‍ය වීම යි. මාධ්‍යය විසින් සමාජවාදය යක්ෂාවේෂ කිරීම නො කඩවා කරගෙන ගිය ද මෑත පැවති මත විමසුමක් පෙන්නුම් කලේ, අවුරුදු 30ට අඩු ඡන්ද දායකයන්ගෙන් සියයට 32ට 43ක් වශයෙන් සැලකිය යුතු පරතරයක් සහිතව, ධනවාදයට වඩා සමාජවාදයට කැමති බව යි.

දැන් සෑන්ඩර්ස් ඉඳහිට පාවිච්චි කරන සමාජවාදී ලේබලයට පිටින් ඔහුගේ “සමාජවාදය” අතුරුදහන්වී ඇත. මහා අවපාතයෙන් මෙපිට දරුනු ම මූල්‍ය අර්බුදයට එක්සත් ජනපදය හා ලෝක ආර්ථිකය ඇද දැමූ වෝල් වීදියේ බැංකු, තෙල්, ආයුධ නිෂ්පාදන සමාගම් ආදී කිසිදු ක්ෂේත්‍රයක් මහජන අයිතිය හා ප්‍රජාතාන්ත්‍රික පාලනය යටතට පත් කිරීමට ඔහු යෝජනා කර නැත.

අප්‍රේල් 14දා රාත්‍රියේ බ්රූක්ලින්හි හිලරි ක්ලින්ටන් සමඟ පැවති විවාදයේ දී, 2008-2009 වෝල් වීදියේ අර්බුදය තුල මධ්‍යම ආන්ඩුව විසින් ඇප දී ගලවා ගත් විශාලතම එක්සත් ජනපද බැංකු, බිඳ හෙලීමට සෑන්ඩර්ස් කර ඇති ආයාචනය ගැන ප්‍රශ්න කල විට, ඔහුගේ සමාජවාදයේ පරිපූර්න හිස් බව ප්‍රකාශයට පත් විය. එම බිඳවැටීම සිදු විය යුත්තේ කෙසේදැයි තීරනය කිරීම බැංකුවලට ම පැවරිය යුතු යයි සෑන්ඩර්ස් යෝජනා කරන්නේ මන්දැයි සීඑන්එන් මාධ්‍යවේදී ධනා බෑෂ් ප්‍රශ්න කලේ ය.

සෑන්ඩර්ස්: අප ඒවා බිඳ දැමීම අවශ්‍ය වන්නේ, පද්ධතිමය අන්තරායක් බවට පත්වීමෙන් ඒවා වලක්වා තරඟකාරී මූල්‍ය පද්ධතියක් තුල යහපත් ආර්ථිකයක් ඇති කිරීම අවශ්‍ය නිසා ය.

බෑෂ්: සෙනට් සභික මහතානෙනි හුදෙක් බැංකු බිඳ දැමීම නෙවෙයි, එය කිරීම බැංකුවලට ම පැවරිය යුතු මන්දැයි යන සුවිශේෂී ප්‍රශ්නයට ඔබ පිලිතුරු දුන්නේ නැහැ.

සෑන්ඩර්ස්: මටත් ඒ ගැන හරියට ම කියන්න බැහැ. ආන්ඩුව බැංකුවලට කිව යුත්තේ ඒවා අසාර්ථක වීමට තරම් විශාල වැඩි බව යි. ඒ නිසා ඒවායේ ප්‍රමානය නිශ්චිත විය යුතු යි. එතකොට බැංකුවලට ම පුලුවන් විකුනා දැමිය යුත්තේ මොනවාදැයි තීරනය කරන්න. එවැනි තීරන භාන්ඩාගාර දෙපාර්තමේන්තුවෙන් ගැනීම නුවනට හුරු යයි මම හිතන්නේ නැහැ.

මෙහි රැඩිකල් වන කිසිවක් ඇත්තේ නැත. බැංකු වත්කම් විකිනීම පිලිබඳ තීරන ගැනීමට ආන්ඩුව මැදිහත් වීම “නුවනට හුරු නැති” බව කියමින් සෑන්ඩර්ස් තර්ක කරන්නේ, නිදහස් වෙලඳපොල කොන්සවෙටිව්වාදියෙකු මෙනි. මෙලෙස කීවේ “වෝල් වීදියේ ව්‍යාපාර මොඩලය වංචාකාරී” යයි පුන පුනා කීමෙන් පසුව යි. කුඩා පරිමානයකින් වුවත් වංචාකාරයන්ට බාධාවකින් තොරව තම මෙහෙයුම් දිගට ම කරගෙන යා හැකි බව පෙනෙන්නට තිබේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කර ඇති පරිදි, වෝල් වීදියේ බැංකු බිඳ දැමීමට සෑන්ඩර්ස් කරන යෝජනාව, සමාජවාදී පියවරක් නො වේ. සමාජ සම්පත් මූල්‍ය වංශාධිපති කල්ලියක් විසින් පුද්ගලික ධනය සමුච්චය කරගැනීම සඳහා උපයෝගී කරගනු වෙනුවට, මානව අවශ්‍යතා සඳහා පාවිච්චි කිරීමට හැකි වන පරිදි, බැංකු පද්ධතිය මහජන අයිතියට හා ප්‍රජාතාන්ත්‍රික පාලනයට යටත් කිරීමක් සෑන්ඩර්ස් යෝජනා නො කරයි. ඒ වෙනුවට ඔහු දේශනා කරන්නේ, තමන් “තරඟකාරී මූල්‍ය පද්ධතියක්” යයි කියන දෙය නිර්මානය කිරීම සඳහා බැංකු කුඩා කොටස්වලට වෙන්කොට ඒවායේ පුද්ගලික අයිතිය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයි.

මහා බැංකු කොටස් වලට වෙන් කිරීමට සෑන්ඩර්ස් කරන යෝජනාව, පාලක පන්තියේ මෙන් ම මූල්‍ය නිලධරයේ ද කොටසකගේ ආස්ථානය යි. මිනියපොලිස් ෆෙඩරල් බැංකුව හා එහි සභාපති නීල් කෂ්කාරි එම යෝජනාව දිරිගන්වන ප්‍රසිද්ධ සමුලු පවත්වමින් සිටියි. හිටපු ගෝල්ඩ්මන් සැක්ස් බැංකුකරුවෙක් හා බුෂ් පරිපාලනයේ භාන්ඩාගාර නිලධාරියෙක් වන කෂ්කාරි, බැංකුවලට ඇප තැබීමට වියදම් කල ඩොලර් බිලියන 700ක්වූ, අමාරුවේ වැටී ඇති වත්කම් ගලවා ගැනීමේ වැඩසටහනෙහි පරිපාලකයා විය.

සමාජවාදය පිලිබඳ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට කැප කල, පසුගිය නොවැම්බර් 19දා ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ පැවැත්වූ එකම ප්‍රසිද්ධ රැස්වීමේ දී සෑන්ඩර්ස් සිය පිලිවෙත් ඉදිරිපත් කලේ, ධනවාදය ආරක්ෂා කිරීමට මිස එය අහෝසි කිරීමට යොමු නො වූ ෆ්රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට්ගේ නිව් ඩීල් හා ලින්ඩන් ජොන්සන්ගේ ග්‍රේට් සොසයිටි ලිබරල් පිලිවෙත්වල ම දිගුවක් වසයෙනි. “නිෂ්පාදන මාධ්‍යවල අයිතිය ආන්ඩුව විසින් හිමිකර ගත යුතු යයි මං හිතන්නේ නැහැ... මං විශ්වාස තබන්නේ, ඇමරිකාව තුල ආයෝජනය කරන හා දියුනු වන පුද්ගලික සමාගම් කෙරෙහි” යයි ඔහු අවධාරනාත්මක ව කීවේ ය.

රැකියා, සෞඛ්‍ය රක්ෂනය, අධ්‍යාපනය හා එවැනි අනෙකුත් සුභසාධන ගැන සෑන්ඩර්ස් ඉදිරිපත් කරන පිලිවෙත් 1960 ගනන්වල ඩිමොක්‍රටික් පක්ෂ පිලිවෙත තුල පැවතිය නො හැකි වූ දේ නො වේ; එලෙස ම ඒවා 1890 ගනන්වල ජනතාවාදීන් විසින් යෝජිත පිලිවෙත් සහ දුම්රිය මාර්ග හා උපයෝගීතාවන්ගේ රාජ්‍ය අයිතියත්, 20 වන සියවස මුල දී සංගත ඒකාධිකාරය බිඳ දැමීමත් යෝජනා කල ප්‍රගතිශීලී හා ගොවි-කම්කරු පක්ෂවල පිලි‍වෙත්වලට වඩා රැඩිකල් ද නොවේ.

තමන් විසින්ම කුඩා වීම යන, වෝල් වීදිය සඳහා සෑන්ඩර්ස් දැන් යෝජනා කරමින් සිටින දෙයට ‍ඓතිහාසික පූර්වාදර්ශයක් ද පවතී. එනම්, 1984 දී විදුලි සංදේශ කර්මාන්තය කැබලි කිරීම යි. ආන්ඩුවේ තල්ලුව යටතේ ඒටී ඇන්ඩ් ටී යන දුරකථන ඒකාධිකාර සංගතය කොටස් හතකට බෙදුනේ එම කර්මාන්තයේ කම්කරුවන්ට ඉමහත් ව්‍යසනයක් නිර්මානය කොට ඇති නිර් නියාමනයේ, වත්කම් පැහැර ගැනීමේ හා බද්ධ වීමේ ක්‍රියාදාමයක් ආරම්භ කරමිනි. දැනට වෙරිසොන් විදුලි සංදේශ කම්කරුවන්ගේ වැඩ වර්ජනය මඟින් ප්‍රදර්ශනය කරනු ලැබෙන්නේ ද එය යි.

වෙරිසොන් පිකට් වැට වෙත පැමිනි සෑන්ඩර්ස්ට, එකකට පසු තවෙකක් වසයෙන් වැඩ වර්ජන පාවා දී ඇති, වත්මන් අරගලයට ද එවැන්නක් සූදානම් කරමින් සිටින, ඇමරිකා විදුලි සංදේශ කම්කරු වෘත්තීය සමිතියේ අනුමැතිය ද ලැබී ඇත. සමාජවාදියෙක් ඉස්මතු කල යුතු ඉල්ලීම වන්නේ, වෙරිසොන් හා අනෙකුත් විදුලි සංදේශ සමාගම් කම්කරුවන්ගේ ප්‍රජාතාන්ත්‍රික පාලනය යටතේ ජනසතු කල යුතු බව යි. එහෙත් සෑන්ඩර්ස් සමාජවාදියෙක් නො වේ.

ස්වාධීන හා තරුන යන දෙවර්ගයේ ම ඡන්ද දායකයන් මිලියන ගනනක් තමන් ඩිමොක්‍රටික් පක්ෂය වෙත දිනාගෙන ඇතැයි බ්රූක්ලින් විවාදයේ අවසාන අදියරේ දී සෑන්ඩර්ස් උදම් ඇනී ය. “කලින් දේශපාලන ක්‍රියාදාමය තුල ක්‍රියාකාරී නො වූ මිලියන ගනන් තරුනයින් දැන් එතුලට එමින් සිටිනවා. ඔවුන්ට ඩිමොක්‍රටික් පක්ෂයේ දෙර විවර කල යුතු යයි මා විශ්වාස කරනවා” යයි ඔහු කීවේ ය.

සෑන්ඩර්ස්, හිරු උදාවන්නේ තමන්ගේ කෑගැසීම නිසා යයි සිතන කුකුලෙක් මෙනි. මිලියන ගනන් කම්කරුවන් හා තරුනයන් වමට එමින් සිටින්නේ, එම ක්‍රියාදාමයෙන් ප්‍රයෝජන ගන්නා තාවකාලික හා නො වටිනා වර්මොන්ට් සෙනට් සභිකයා නිසා නො ව, ඇමරිකානු හා ලෝක ධනවාදයේ අර්බුදය හා බිඳ වැටීම හේතුවෙනි.

මෙම ව්‍යාපාරයට ඩිමොක්‍රටික් පක්ෂ විලංඟුව දැමීමට තතනන සෑන්ඩර්ස්, ඒ සඳහා සිය “සමාජවාදී” භූමිකාව හා වෝල් වීදියට විරුද්ධ කයිවාරු උපයෝගි කර ගත්ත ද ඔහුට සහයෝගය දෙන්නන්ට තිබෙන අභිලාෂයන්, සෙනට් සභිකයාගේ අභිලාෂයන් සමඟ අනන්‍ය කිරීම වැරදි ය. දේශපාලනයට වෛෂයික තර්කනයක් පවතී. එක්සත් ජනපදයේ න්‍යාය පත්‍රය මතට, ධනේශ්වර පද්ධතියට එරෙහි මහජන අරගල ගෙන එන දේශපාලන රැඩිකලීකරන සන්තතියක සංක්‍රාන්ති සමයක් පමනක්, සෑන්ඩර්ස්ට ලැබෙන සහයෝගයෙන් පිලිබිඹු කෙරේ.

සමාජවාදය යනු කුමක් ද එය අවශ්‍ය වන්නේ මන් ද හා එය ලඟා කරගත හැක්කේ කෙසේදැයි පැහැදිලි කල හැකි නව දේශපාලන නායකත්වයක් කම්කරුවන් හා තරුනයන් අතර ගොඩනැගීම අවශ්‍ය කෙරේ. 2016 මැතිවරනයේ දී ද ඉන් ඔබ්බට ද සමාජවාදී සමානතා පක්ෂය භාරගන්නා කර්තව්‍යය එය යි.

පැට්‍රික් මාටින්

Share this article: